ආණ්ඩුවේ මුද්‍රණාලයේ මුල් පුටුවට ගිය පළමු කාන්තාව


රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලයාධිපතිනිය

ගංගානි කල්පනී 

  • ලක්බිමේ නම තැබූ දියණියෝ   

 

“රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව කියන්නේ ඒ කාලේ කාන්තාවන්ට දොර ඇරිලා තිබුණු රැකියා ස්ථානයක් නෙමෙයි. මම මේ රැකියාවට අයදුම් කරනකොට මුද්‍රණ දෙපාර්තමේන්තු රැකියාවේ කාන්තාවෝ හිටියේ නැහැ. එතන ඔක්කොම තිබුණේ පිරිමි අයට වෙන්වූ වැඩ. ඒ නිසාම මේ අභියෝගය භාරගන්න මට ලොකු කැමැත්තක් ඇතිවුණා. මේ ලෝකේ ජීවිතේ දිනපු සෑම ගැහැණියක්ම කටුක, අඳුරු සමයක් පසු කරපු අය. මමත් ඒ වගේ ගැහැණියක්. අවශ්‍යය වෙන්නේ හොඳ ආකල්ප පමණයි.”   


පිරිමියාට සාපේක්ෂව ගැහැණිය අරමුණු කරා ළඟා වෙන්නේ බොහෝ බාධක කම්කටොලු මැදිනි. මවක්, බිරිඳක් මෙන්ම රැකියාව සහ සමාජ පරිසරයේ අවශ්‍යතා හිසේ පටවාගත් ඇයව සැමවිටම බාහිරින් අප දකින්නේ සුන්දර, ළඳ බොළඳ, සුකුමාල ගැහැනුන් සේය.   


නමුත් ඒ වගකීම් සියල්ල හිසමත දරා සිටින ඇය හදවතින්, මනසින් එඩිතරය. ආත්ම ශක්තියෙන් පිරිපුන්ය. ජීවිතේ ධනාත්මකව ගොඩනගාගත් ගැහැනුන් අතර මේ දිගහැරෙන්නේ එවන් තවත් අභිමන් ලියකගේ කතාවකි.   


සිය උගත් දැනුම අබිබවා කාර්යක්ෂමතාව සහ ආත්ම ශක්තියෙන් රාජ්‍යය සේවයේ ඉහළ පුටුවට ගිය ඇය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වර්තමාන මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනී මහත්මියයි.   
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් කෙරෙන කාර්යය ඉතාම සුවිශාලය. ලංකාවට අවශ්‍ය රජයේ සෑම අයදුම්පතක්ම උපතේ සිට මරණය දක්වා ආකෘති පත, ගැසට්, අයවැය, පාර්ලිමේන්තු අණපනත් සියල්ල මුද්‍රණය වෙන ලංකාව තුළ පවතින ආයතන අතර සුවිශේෂී ආයතනයක් වන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුල් පුටුව හොබවන ඇය අපේ ලක්බිමේ නම තැබූ දියණියන් අතර සුවිශේෂී චරිතයක් වන්නීය.   


දරුවන් දෙදෙනෙකුගෙන් සමන්විත පවුලේ බඩපිස්සී මෙන්ම එකම දියණිය වූ ඇය කුඩා කල සිටම අධ්‍යාපනයට උපන් හපන්කම් කීය. නාවලපිටිය සිය පියා උපන් ග්‍රාමයේ කුඩා කල ජීවිතය ගතකරන ඇය පියාගේ රැකියා ස්ථාන මාරුවත් සමග සිය මවගේ ගම්පියසට පැමිණීම සිදුවන්නේද කුඩා අවධියේදීමය.   
“මගේ පියා සේවය කළේ සෞඛ්‍ය අංශයේ. ඉතින් ඔහුගේ සේවා ස්ථාන මාරුවීම් එක්ක අපටත් විවිධ තැන්වලට යන්න වුණා. චූටිම කාලේ තාත්තාගේ ගමේ නාවලපිටියේ ජීවිතේ ගෙවුණත් තාත්තාගේ රැකියා ස්ථාන මාරුවත් එක්ක අපට එන්න වුණා අම්මාගේ ගමට. හොරණ, උඩුව කියන ප්‍රදේශයට. හොරණ උඩුව කියන ග්‍රාමය මට මගේ ජීවිතේ බොහෝ දේවල් ලබාදුන්න තැනක්. ප්‍රාථමිකයේ ඉඳලා විශ්වවිද්‍යාල ප්‍රවේශය තෙක් මම ඉගෙනගත්තේ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ.   


මගේ මව්පියන් දෙන්නාගෙන් පස්සේ ජීවිතේ ගොඩදාපු යෝධ සෙවනැල්ල වූයේ හොරණ ශ්‍රීපාලි විද්‍යාලය. ජීවිතේ ගොඩක් දේවල්වලට අඩිතාලම දැම්මේ මගේ පාසල. මගේ ජීවිතේදී මුණගැහිච්ච ගුරුවරු සියලුම දෙනාට මම අදටත් පිංදෙනවා. අපේ ජීවිතවලට අරමුණක් දුන්නේ පාසල් ගුරුවරු.   
මුලින්ම කියන්න ඕනෑ මගේ අම්මා ගෘහණියක්. තාත්තා විතරයි රැකියාවක් කළේ. අපේ අම්මා හරිම ශක්තිවන්ත ගැහැණියක්. තාත්තාගේ වැටුප කළමනාකරණය කරගෙන තමයි අපිට ඇය ඉගැන්නුවේ. කවදාවත් අයියවයි මාවයි ලොකු ලොක්කෝ කරන්න හීන එයාලට තිබුණේ නැහැ. නිතරම කිව්වේ ඉගෙන ගත්තොත් විතරයි ජීවිතේ ගොඩයන්න පුළුවන් කියලා විතරයි.”   
තම එකම සහෝදරයා සමඟ කුඩා කාලයේ සිටම හැදී වැඩුණු ඇයට කෙළිදෙලෙන් ගත කරන දඟකාර අතිසුන්දර ළමා කාලයක්ද හිමිවිය.   


කෙල්ලෙක් වුණාට පුංචි කාලේ හරිම දඟ චරිතයක් මම. අයියා එක්ක හැදුණ නිසා මගෙත් තිබුණේ ඔක්කොම කොලු වැඩ. ඉස්සර අයියා එක්ක රණ්ඩු කරලා අයියාගෙන් බේරෙන්න මම දුවලා ගිහින් ගස් නගිනවා.   
කෙල්ලෝ හැදෙන්න ඕනෑ කෙල්ලෝ විදිහට මිසක් කොල්ලෝ විදිහට නෙමෙයි. අම්මා දෝස්මුර තියනවා. අයියා එක්ක ගස් උඩ නැගලා ගඟේ ඇළේ පනිනකොට අම්මාගෙන් හොඳ කෝටුපාරවල් හම්බවෙලා තියෙනවා ඇතිවෙන්න.”   
ඒ වගේම තමයි විශ්වවිද්‍යාලයට ගියා. රැකියාවේ ඉහළ තනතුරකට ගියා කියලා අම්මා ගමේදි කියලා දුන්නු දෑතේ රැකියාවල් කවදාවත් අමතක කරලා නැහැ. අදටත් ගමේ ගියාම හිත යන්නෙම ඒ දේවල්වලට. රබර් කපන්න, පොල් අතු වියන්න, පැදුරු වියන්න, ගොයම් කපන්න මට හොඳට පුළුවන්. අපිටත් තිබුණා රබර්යායක්. ඉස්සර ඉස්කෝලේ නිවාඩු දවසට මාත් යනවා අම්මා එක්ක රබර් කපන්න. ඇය ඇයගේ සුන්දර ළමා දිවිය සිහිපත් කරයි.   
කුඩා කල සිටම පොත්පත් කියවීමට තිබූ ආසාව නිසාම අධ්‍යාපනයට ඇලුම් කළ ඇය අධ්‍යාපන කඩඉම් තුළ ඉතා විශිෂ්ට දක්ෂතා දැක්වූවාය. විද්‍යා විෂයයන් ආශ්‍රිතව උසස් පෙළ විභාගයට පෙනී සිටි ඇයට තිබූ එකම සිහිනය වූයේ විශ්වවිද්‍යාලයකට ප්‍රවේශවීමය. 1980 ඇයගේ විශ්වවිද්‍යාල සිහින සැබෑවෙමින් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය සඳහා ඇයට අවස්ථාව හිමිවිය.   


“පාසල් කාලේ ඉඳලා විශ්වවිද්‍යාලයට යෑමේ ලොකු සිහිනයක් තිබුණා. විශ්වවිද්‍යාලයට ආවට පස්සේ උපාධිය අවසන් වුණාම රජයේ රැකියාවකට යන්න ඕනෑ කියලා අරමුණක් තිබුණේ නැහැ. විශ්වවිද්‍යාල ජීවිතේ ඉතින් ශිෂ්‍ය අරගලවල සමිති සමාගම්වල ක්‍රියාකාරී සාමාජිකාවක් වුණා. ජීවිතේ කට්ට කියනදේ පුංචි කාලේ ඉඳලා මට හරි හුරුපුරුදු දෙයක්. කොහොම හරි උපාධිය අවසන්වුණු ගමන්ම ගැසට් පත්‍රයේ තිබුණු රැකියා කීපයකටම මම අයදුම්පත් දැම්මා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පුහුණුවෙන කළමනාකරුවන් බඳවා ගැනීම්වලට අයදුම් කළා. ඒකට සුදුසුකම් ලබලා ඉන්න කොට ගුරුපත්වීම් ලැබුණා. ඔය අතරෙදි දවසක් කැම්පස් එකේදි දැක්කා ගැසට් එකේ තියෙනවා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට පුහුණු අධිකාරිවරුන් බඳවා ගන්නවා කියලා. ඒකට යාළුවෝ කවුරුත් දැම්මේ නැහැ. මොන හේතුවකටද මන්දා මට ඒකට අයදුම් කරන්න හිතුනා. ඒ වෙනකොට පරිපාලන විභාගය ලියලා සමත් වෙලා හිටියත් මගේ හිත තිබුණෙම මුද්‍රණ දෙපාර්තමේන්තු රැකියාවට. මුද්‍රණ දෙපාර්තමේන්තුවේ පුහුණුවෙන අධිකාරි තනතුරට බඳවාගැනීම් කරද්දි සුදුසුකම් ලෙස ඉල්ලලා තිබුණේ විද්‍යාවේදී උපාධිය සහ රසායන විද්‍යාව හදාරා තිබීම. ගුරුපත්වීම ලැබුණු දවසේම තමයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙත් පත්වීම ලැබුණේ. අවසානයේ මම තෝරාගත්තේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ රැකියාව.”   


රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ පුහුණුවන අධිකාරිවරියක් ලෙස වසර 3 ක් සේවය කොට වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇයට එංගලන්තයට යාමට අවස්ථාව හිමිවිය. ඒ මුද්‍රණය පිළිබඳ එක් වසරක පාඨමාලාවක් සඳහාය. එතැන් පටන් මුද්‍රණ සේවයේ සියලු අංශයකම පුහුණුව ලැබුවා රාජකාරිය දේවකාරියටත් වඩා උනන්දුවෙන්, උත්සාහයෙන්, කැපවීමෙන් විනයානුකූලව සිදුකළ ඇය කෙටිකලක් තුළ විශේෂ ශ්‍රේණියේ සහකාර මුද්‍රණලාධිපතිනිය ලෙස පත්වීම ලබන්නීය.   
“මුලින්ම මේ රැකියාවට ආපු දවසෙම මොන ප්‍රශ්නය ආවත් මේ රැකියාවෙන් යන්නේ නැහැ කියන අධිෂ්ඨානයේ මම හිටියා. මම මේ වෘත්තියට එනකොට මේ රස්සාවේ කාන්තාවෝ හිටියේ නැහැ. මේ රස්සාවේ කාන්තාවෝ හිටියේ ලිපිකරු තනතුරුවල විතරයි. ඒත් එක්කෙනයි දෙන්නයි. මොකද මෙතන කරන්න තියෙන්නේ ඔක්කොම පිරිමින්ට වෙන්වූ වැඩ. පිරිමි කරන වැඩ ගෑනු කරනකොට සිතනවට වඩා අභියෝගාත්මකයි.”   


ඒත් හිතේ ශක්තිය තියෙනව නම් පිරිමි දහයකගේ වැඩ එක ගෑනියෙකුට කරන්න පුළුවන්කම තියෙනවා. මුලින්ම මම මුද්‍රණවලට සම්බන්ධ මැෂින්වල වැඩ පුහුණු වුණා. පාප්ප හදන තැන ඉඳලා මුද්‍රණයක් ඉවර වෙලා එළියට යන තැන වෙනකම්ම හොඳ පුහුණුවක් ලැබුවා. මෙහි තියෙන සියලුම අංශ පිළිබඳ හොඳ අවබෝධයක් මම ලැබුවා. මේ රැකියාව කාන්තාවකට ඇත්තටම අභියෝගාත්මකයි. හැබැයි මට ඕනෑ දෙයක් ඔට්ටුයි. ඒවා එක්ක හැප්පෙන්න මට ආත්ම ශක්තියක් තිබුණා.   
මුද්‍රණ දෙපාර්තමේන්තුවේ රැකියාවද අට පහට සීමා වූ රැකියාවක් නොව පැය විසිහතරම හෝ ඊටත් වඩා සේවය වෙනුවෙන් කැපවිය යුතු රැකියාවකි.   


“අය වැය, මැතිවරණ, හදිසි ගැසට් එවැනි අවස්ථාවලදී අපි නොනිදා දින ගණන් වැඩ කරපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි. සේවකයෝ ගෙදර ගියත් අදාළ වැඩේ ඉවර වෙනකම් මම කවදාවත් ගෙදර යන්නේ නැහැ. දැන් වුණත් උදේට වැඩට ආවම සමහර දවසට ගෙදර යන්නේ ඊටත් පහුවෙනිදා උදේට. තීරණාත්මක ගැසට් වගේ විශේෂ දේවල් ආවම අපට ගෙදර යන වෙලාවක් තීරණය කරන්න බැහැ. පෞද්ගලික ජීවිතේ විශේෂ අවස්ථා පවා මම රැකියාව වෙනුවෙන් කැප කරලා තියෙනවා. මම ජීවිතේ වැඩිපුරම කැපවෙලා තියෙන්නේ මගේ ජීවිතේ දේවල්වලට වඩා රැකියාව වෙනුවෙන්. ඒ ගැන හැබැයි දුකක් නැහැ. රාජකාරියේ අදාළ වැඩ ටික සතියක් නිදිමරලා හරි ඉවර කරලා තමයි මම නිදහසේ හුස්ම ගන්නේ. ඒක මගේ පුරුද්දක් ඇය කියන්නීය.”   
මේ තාක් ඇයගේ ජීවිතය ඉහළටම රැගෙන පැමිණි ජීවිතය ධනාත්මක ගොඩනැගූ මහා යෝධ සෙවනැල්ල වූයේ ඇයගේ ආදරණීය සැමියා වූ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියකු වූ සිසිර ලලන්ත මහතාය.   
“ඔහු මට මුණගැහුණේ මේ රැකියාවට ආපු අලුත. බන්ධනාගාරය ඉතින් එහාපැත්තෙනේ. මග තොටේදී හමුවෙනවා ඉස්සර. ඔහොම ගිහින් අපේ හිතවත්කම ආදරයකට පෙරළුණා. ඇත්තටම ඒක මඟතොටේදි හමුවූ ප්‍රේමයක්. එයා කවදාවත් ගැහැනියගේ පැත්තෙන් සාම්ප්‍රදායිකව හිතුවේ නැහැ. 

 
එතකොට මම මුද්‍රණ දෙපාර්තමේන්තුවේ පුහුණු වෙන අධිකාරිවරියක් ලෙස ආපු අලු‍ත. ඔහුගේ ගම රත්නපුරේ. බන්ධනාගාර නිලධාරිවරයෙක් නිසා ගෙදරින් අපේ විවාහයට ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් අපි අපේ තීරණ වෙනස් නොකරපු නිසා පසුකාලීනව අපේ විවාහයට කැමැත්ත ලැබුණා.”   
“ඇත්තටම ඔහු හොඳ සැමියෙක් වුණ නිසා මිස නැත්නම් මට මේ තරම් දුර එන්න ලැබෙන්නේ නෑ. මුද්‍රණ දෙපාර්මේන්තුවේ රැකියාවක් කියන්නේ මම කලින් කිව්වා වගේ පැය අටේ සේවයෙන් පස්සේ විවේක ගන්න පුළුවන් තැනක් නෙවෙයි. හැම වෙලාවම කාර්ය බහුලයි. හරි හරියට පිරිමි එක්ක ගැටෙන්න වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ ස්වභාවය ඔහු හොඳින් තේරුම් අරගෙන හිටියා. අදටත් ඔහුගෙන් ලැබෙන සහය උපරිමයි. ඔහු මට ලබා දෙන මානසික නිදහස හැමදේකටම වඩා වටිනවා. දරුවෝ දෙන්නා ලැබුණාට පස්සෙවත් දැන් ඔයා වැඩ කළා ඇති දරුවෝ වෙනුවෙන් ගෙදර ඉන්න කියලා කවදාවත් කිව්වේ නැහැ. නිතරම කිව්වේ ඔයා ඔයාගේ ගමන යන්න කියලා විතරයි. අදටත් සැමියාගේ ආදරය රැකවරණය නිදහස මට එදා වගේම ලැබෙනවා.   


ඉස්සර මට මතකයි දරුවෙක් ලැබුණම ප්‍රසූත නිවාඩු දුන්නේ දින 48 වගේ පොඩි කාලයක්. අපි දෙන්නා රාජකාරි එක්ක කාර්ය බහුල වෙද්දී මගේ පුතාලා දෙන්නව බලාගෙන මට ලොකු ශක්තියක් වුණේ මගේඅම්මයි තාත්තයි.   
ඇය කියන්නීය.   


මේ වෙනකොට ලොකු පුතා විවාහකයි. පොඩි පුතා උපාධිය අවසන් කරලා ඉන්නේ. ඒ දෙන්නම උපාධිධාරීන් වුණත් හරිම කැමැති ගොවිතැන්වලට සහ වගා කටයුතුවලට. දැනට වගාවන් කිහිපයක් කරගෙන යනවා.   
2016 වසරේ රජයේ මුද්‍රණාලාධිපතිනිය ලෙස පත් වූ ඇය රජයේ මුද්‍රණාල සේවයේ මේ වෙන විට වසර 35 ක සේවා කාලයක් අවසන් කර ඇත. තවත් කාලයක් ඇයට ඉතිරිව ඇත. ඇයගේ ගමන් මඟ ගැන අවසාන වශයෙන් ඇය මෙසේද පැවසුවාය.   


1986 මේ රැකියාවට එද්දී මේ රැකියාව කාන්තාවන් කරපු රැකියාවක් නෙවෙයි. මේ රැකියා ස්වභාවයට මාත් එක්කම රැකියාවට ආපු බොහෝ කාන්තාවෝ අයින් වුණා. හැබැයි මම ඒ අභියෝගය භාර ගත්තා. කොයි තරම් දුෂ්කරතාවලට මුහුණ දුන්නත් මම කවදාවත් රැකියාව එපා කර ගත්තේ නැහැ. ප්‍රශ්න එන්න එන්න මම ශක්තිමත් වුණා. රජයේ මුද්‍රණාලයාධිපතිනිය තනතුරට එද්දී ගොඩක් පිරිමි අභියෝගයක් වුණා. මොකද මේක පිරිමි ආධිපත්‍යයේ තිබුණු රැකියාවක් නිසා.

   
මට මතකයි සිරිමාවෝ මැතිනිය අගමැතිනිය වෙන​කොට මම පාසල් වියේ දරුවෙක්. කාන්තාවක් රටේ අගමැතිනිය වුණා නම් කාන්තාවට පිරිමියා අබිබවා යන්න පුළුවන් කියන දේ මට එදා හැඟු‍ණා. කවදා හරි දවසක මමත් ඉහළ පුටුවකට යනවා කියන පුංචි අධිෂ්ඨානයක් හදවතේ කොනක එදා තැන්පත් වුණා.” 
කාන්තාවක් මුල් පුටුවකට එනවා කියන්නෙම අභියෝගයක් තමයි. මේ තැනට එද්දිත් එල්ල වුණු බාධාවලට, කෙණෙහෙලිකම්වලට මම කවදාවත් ප්‍රතිප්‍රහාර දෙන්න ගියේ නැහැ. ඒවා අබිබවා මම සේවය වෙනුවෙන් උපරිමයෙන් කැප වෙලා වැඩ කළා. මහන්සි වෙලා අවංකව සේවය කළ නිසා තමයි මම මේ පුටුවට ආවේ. සමහර මැතිවරණවලදී සමහර ගැසට් ගැහුවේ දොරවල් වහගෙන, මුරකාවල් දාගෙන. ගැහැනියක් විදියට පිරිමි එක්ක ගැටිලා මම ඒ හැම අභියෝගයකටම සාර්ථකව මුහුණ දුන්නා. කරන රජකාරිය අවංකව කරන නිසා මම හරි නිදහස්. මෙතනින් එහාට විශ්‍රාම යනතෙක් මම මගේ රාජකාරිය අකුරටම කරනවා. විශ්‍රාම ගියාට පස්සේ මම ගමට යනවා පදිංචියට. හොරණ මම හැදුණු ගමට තමයි ගොඩක් ආදරේ. ගිහිල්ලා ගොවිතැනක් බතක් කරගෙන නිදහසේ ඉන්න එක තමයි එකම හීනය.   

 

 

නදීශා අතුකෝරළ