අළුගෝසුවනේ එල්ලාපන්


ශ්‍රී ලංකාවේ අධිකරණයක් අසල ‘මහ එක දුන්නා’යි අසන්නට ලැබුණොත් එහි අර්ථය වන්නේ විත්තිකරුවන්ට එල්ලුම් ගස නියම කළ බවයි.   


විනිශ්චයකාර ආසනයේ ඉඳගන්නා කිසිවෙකුටත් තවත් මනුෂ්‍යයකු එල්ලුම් ගස් යැවීමට අවශ්‍ය නැති වුවද සාක්ෂි ඔප්පු වුණහොත් මරණ දඬුවම දීම හැර වෙනත් කළ හැකි කිසිවකුත් නැත. 

අධිකරණයක් මඟින් සිදු කරන්නේ මරණ දඬුවම නියම කිරීම පමණි. එල්ලුම්ගසට ගොඩවීමට සිටින සංඛ්‍යාව ඉහළ ගියේ හිටපු ජනාධිපතිවරු සිය රත්තරං වටිනා අත්සන එසේ මෙසේ දෙයකට නොතැබූ නිසාය.   
චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියගේ කාලයේ එක්තරා ලේකම්වරියක විසින් ගංගොඩවිල සෝම හිමියන්ගෙන් එල්ලා මරා දැමීමට ජනාධිපති තුමිය අත්සන් තබන නිසා එතුමියටත් පව් සිද්ධ වෙනවා දැයි ඇසුවාය. එවකට විසූ ශ්‍රේෂ්ඨ බෞද්ධ පඬිරුවනක් වන සෝම හිමියන් ප්‍රකාශ කළේ, එල්ලා මරණ පෝරිසාදයාගේ සිට ඊට සම්බන්ධ වන සියලු දෙනාටම පාපකර්මයේ කොටස් හිමිවන බවය.   


ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය සංගෘහික කොට ඇති දණ්ඩ නීති සංග්‍රහයෙහි ජනාධිපති තුමා විසින් අපරාධකරුවන් එල්ලා මැරිය යුතු යැයි සඳහන් කොට නැත. ශ්‍රී ලංකාවේ සිවිල් නඩු විධාන සංග්‍රහයෙහි හෝ වෙනත් නීතියක ජනාධිපතිතුමා විසින් අපරාධකරුවන් එල්ලා දැමීම කළ යුතු යයි සඳහන් කොට ඇත.   


ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද එවැනි සඳහනක් නැත.   


ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය මෙසේ දක්වයි. 

 
1. ශ්‍රී ලංකා ජනරජයේ කවර හෝ අධිකරණයකදී වරදකරු කරන ලද කවර හෝ වරද කරුවෙකුට   


(අ) සම්පූර්ණ සමාවක් ​ෙහ් නිත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් හෝ දීමට.   

(ආ) නියම කරන ලද යම් දඬුවමක් ක්‍රියාත්මක කිරීමට කාලසීමාවක් නොමැතිව හෝ සුදුසු යයි ජනාධිපතිවරයා කල්පනා කරන කාල සීමාවක් ඇතිව හෝ කල් තැබීමට.   

(ඇ) ඒ වරදකරුට නියම කරන ලද දඬුවමත් වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමටත්   

(ඈ) මරණ දඬුවමට නියම වූ විටක ජනාධිපතිවරයා විසින් විනිශ්චයකාර තුමාගෙන් වාර්ථාවක් ලබාගෙන නීතිපතිවරයාගෙන් වාර්තාවක් ලබාගෙන එයද අධිකරණය අමාත්‍යවරයාට යැවීමට නීතිපතිවරයාට යැවිය යුතුය. ඉන් පසු එය අමාත්‍යවරයාගේ නිර්දේශයද සහිතව ජනාධිපතිවරයා වෙත යැවිය යුතුය.   


මෙහි කවර ස්ථානයක්වත් එල්ලුම් ගස් යැවීමට ජනාධිපතිවරයා විසින් අත්සන් කළ යුතු යැයි දඬුවම ක්‍රියාත්මක කළ යුතු යයි සඳහන් නැත. ඇත්තේ විවිධාකාර වූ සමාව දීම පිළිබඳවය.   


එහෙත් මෙතෙක් වර්තමාන ජනාධිපතිතුමා විසින් අධිකරණය දුන් තීන්දු (උදා. ​ෙජ්.අාර්. ජයවර්ධන මහතා ​ෙගා්නවල සුනිල්ට සමාව දීම) වෙනස් කළ බවට වාර්තා වූයේ නැත. එය එතුමාගේ යහපාලන ප්‍රතිපත්ති අතර අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ වටිනා ප්‍රතිපත්තියකි.   


මෙහිදී මතුවන වැදගත් ප්‍රශ්නය නම් එල්ලා මරා දැමීමට අත්සන් තැබීම් මෙම කාර්යභාරය ජනාධිපති තුමාට කවුරුන් කෙලෙස පැවරුවාද යන්නයි.   


අධිකරණයක් විසින් පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කළ පසු සිදු කරනු ලබන වැදගත්ම කාර්යභාරය නම් ගරු විනිශ්චකාර තුමාගේ අත්සනින් යුතුව ලිපියක් මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයාට භාර දීමය. මෙම ලිපිය අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින්, අධිකරණයේ මරණීය දණ්ඩනය නියම කළ පසුව නඩු පොත කාර්යාලයට ගෙන්වා ගෙන ඒ මොහොතේම ලිපියක් සකස් කොට විනිශ්චකාර තුමාගේ අත්සන ලබාගෙන සිරගෙට ගෙනයාමට පෙර අපරාධ කරුට භාර දිය යුතුය. 

 
එම ලිපියේ මෙසේ සඳහන් වේ.   


ඉහත සඳහන් නඩුවේ චූදිත වන යන යුෂ්මතාට විරුද්ධව මේ අධිකරණය විසින් අද දින දඬුවම් පමුණුවා ප්‍රකාශයට පත් කරනු ලබන දණ්ඩනයේ වග හැටි නම්, ඔබ බන්ධනාගාරය තෙක් ගෙන ගොස් එකී බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළත දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා නම් කරනු ලබන යම් දිනයකදී හා වේලාවකදී යුෂ්මතාගේ ගෙල වැලලා ප්‍රාණය හානි වන තුරු එල්ලා තබන බවයි’   මරණ දඬුවමට නියම කළ පසු විත්තිකරුට භාර දෙනු ලබන ලිපිය මඟින් දඬුවම ලිඛිතව ස්ථිරව භාර දෙනු ලබන අතර විත්තිකරුගේ අතට එය භාර දීමෙන් අධිකරණයේ තීරණය ඔහුට වැටහෙන ලෙස සන්නිවේදනය වූ බවට ස්ථිරව නඩු පොතෙහි සටහන් තබනු ලැබේ.   
එමෙන්ම අධිකරණය විසින් ඒ මොහොතේම එතෙක් සිරකර තැබීමේ බලපත්‍රය ද අත්සන් කොට දෙනු ලැබේ.   


මෙහිදී ද ඉතා වැදගත් කාර්ය්‍යයක් සිදුවේ. එනම් අපරාධකරු හැර වෙනත් අයකු එල්ලුම්ගස් යැවීම වැළැක්වීමට පියවර ගැනීමයි.   ඒ අනුව නඩු තීන්දුවේ සඳහන් වන පුද්ගලයා ද මරණ දඬුවමට ලක් වූ පුද්ගලයාද, දැනට කූඩුවේ සිටින පුද්ගලයාද එක් අයකු බව අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් සහතික විය යුතුය.   


අධිකරණය ශාලාවේ සියලුම ආලෝක ධාරා නිවා දමා තීන්දුව ප්‍රකාශ කොට එම පෑනෙන් තවක් අයකු එල්ලුම් ගස් යැවීමට නොහැකි ලෙස පෑන් තුඩ මේසයේ ඇන කඩා දමා පෑන මේ​සය මතට විසිකොට යනු ලැබේ.   
එලෙසම පුද්ගලයකු මරණය දණ්ඩනයට නියම කළ අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් ජනාධිපතිතුමාගේ ලේකම් වෙත ලිපියක් යැවිය යුතුය.   


එහි මෙලෙස සඳහන් වේ   


‘දණ්ඩ නීති සංග්‍රයේ වගන්තිය යටතේ වරදකරු කරන ලද හෙයින් ගරු විනිශ්චකාර මහතා විසින් විත්තිකාර (..............) මරණ දණ්ඩනයට නියම කළ බව මෙයින් ඉතා ගෞරවයෙන් වාර්තා කරමි.   
මෙම සියලු වාක්‍ය සහ නියමයන් සියල්ලම බ්‍රිතාන්‍ය සුදු ජාතිකයන් විසින් යටත් විජිත සමයේදී අපට දුන් දායාදයන් ය.   


මෙම කුණු කන්දල් අපට දී අපේ තේ කුරුඳු, ගම්මිරිස්, ඇත් දළ ඔවුහු ගෙන ගියහ. සැබැවින්ම බ්‍රිතාන්‍ය විනිශ්චකාර වරු කරගෙන ගිය බ්‍රිතාන්‍ය රජතුමාගේ අත්සනට යොමු කිරීම නිදහස ලැබීමෙන් පසුව ජනාධිපතිතුමා ගේ අත්සනට යොමු කෙරිණි. මෙය විනිශ්චයකාරවරු අනුගමනය කරන සම්ප්‍රදායක් යැයි ඇතැමෙක් පවසති.   


විත්තිකරුවන්ට දඬුවම් දීමත් එම දඬුවම ක්‍රියාත්මක කිරීමත් අධිකරණයේ කාර්ය භාරයක් විනා එය විධායකයේ කාර්ය භාරයක් නොවේ. යහපාලන යයි ගෙන යාම සඳහා අධිකරණයත් විධයකයත් වෙන් කොට තබා ගැනීම උතුම් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි. එබැවින් අධිකරණයේ කාර්යයන් විධායකයට නැතහොත් ජනාධිපතිතුමාට භාර නොදිය යුතුය. පැමිණිලි විභාග කිරීම, දඬුවම් දීම, දඬුවම් ක්‍රියාත්මක කිරීම අධිකරණයේ වගකීමයි. මෙම වගකීම ජනාධිපතිතුමාට පැවරීමට වඩා අධිකරණය විසින්ම අවසන් කිරීම වඩාත් යුක්ති සහගත නොවේද.?   


ශ්‍රී ලංකාවේ ඇති තනතුරු අතර ඉතා ඉහළ වගකීමක් ද, සමාජ ගෞරවයක්ද පහසුකම් ද වෘත්තීය ගෞරවයද ඇති විනිශ්චකාර ධූරය භාරගන්නා විට, සාක්ෂි විභාග කිරීම, දඬුවම් නියම කොට හෝ නොකොට තීන්දු දීම, එම තීන්දුව ක්‍රියාත්මක කිරීම, එමෙන්ම දඬුවම් දීම ඊට අඩංගු බව මහජනතාවගේ පිළිගැනීමයි. 

 

විනිශ්චකාරතුමෙකු සිය තනතුර භාර ගන්නේ මිනිසුන් එල්ලා මැරීමට සිදු වන බව දැන දැනමයි. එබැවින් එම කාර්යය කිරීමට අධිකරණයට ඉඩ දිය යුතුය. ලෝකයේ අධිකරණ ව්‍යුහය ආරම්භ වූයේ ද නඩු අසා දඬුවම් දීම සඳහාය. එ් නිසා සාධාරණ ක්‍රියා පටිපාටිය වන්නේ නඩුව අසා තීන්දුව දීමෙන් පසු දඬුවම ක්‍රියාත්මක කිරීම අධිකරණයටම භාර දීමය.   

 

 


එබැවින් මරණීය දණ්ඩනය පමණක් ජනාධිපති තුමාගේ හිසමත පැටවීම සුදුසු නොවන්නේ ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව ‘මෛත්‍රී’ නමැති කෘෘරත්වයෙන් තොර පවිත්‍ර චරිතයට සිය ඡන්දය දුප්පත් මිනිසුන් එල්ලා මරා දැමීමට නොවන නිසා බැවිනි.   


එහෙත් විනිශ්චකාරතුමෙකු සිය තනතුර භාර ගන්නේ මිනිසුන් එල්ලා මැරීමට සිදු වන බව දැන දැනමයි. එබැවින් එම කාර්යය කිරීමට අධිකරණයට ඉඩ දිය යුතුය. ලෝකයේ අධිකරණ ව්‍යුහය ආරම්භ වූයේ ද නඩු අසා දඬුවම් දීම සඳහාය. එ් නිසා සාධාරණ ක්‍රියා පටිපාටිය වන්නේ නඩුව අසා තීන්දුව දීමෙන් පසු දඬුවම ක්‍රියාත්මක කිරීම අධිකරණයටම භාර දීමය.   


බොහෝ විද්වතුන් විසින් ප්‍රකාශ කරන අදහස නම් ප්‍රාණය හානි වන තුරු එල්ලා මරා දැමීමට අවසාන අත්සන යෙදීමේ කාර්ය භාරය අග්‍රවිනිශ්චයකාර තුමාට භාර දිය යුතු බවයි.   


අධිකරණ කාර්යය අධිකරණයටම භාර දීම විනා එය රාජ්‍ය නායකයාට භාර දී​ෙමන් යුක්තිය ඉටු විය හැකිද? යන ප්‍රශ්නයට යහපත් පිළිතුරක් ලැබුණේ නැත. 

 
ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ රජතුමා විසින් මරණ දඬුවම ලෙස නියම කළේ හීයෙන් විද මරා දැමීමය. එකල අධිකරණයක්, පාලකයාත් එක් අයෙකු විය. එහෙත් අධිකරණයත් විධායකයත් ව්‍යවස්ථාදායකයත් වෙන් කොට පවත්වාගෙන යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහාය.   රටක පාලකයෙකුගේ ප්‍රධානතම කාර්යය වන්නේ ජනතාව ආරක්ෂා කිරීමය. අද මුළු ලෝකයේම පාලකයෝ මත් කුඩු සතුරාගෙන් තම ජනතාව බේරා ගැනීම සඳහා බිහිසුණු අරගලයක යෙදී සිටිති. මත් කුඩු රටක ජනතාවගේ, සංවර්ධනයත් විනාශ කර දමයි. සිංහල ජාතියට මත්කුඩු බෙදා දීමට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇතැයි ඇතැම්හු පවසති. 

 
ශ්‍රී ලංකාවේ උරුමය කුඩා ජන සංඛ්‍යාවක් වූ සිංහලයන්ගේ ප්‍රමුඛත්වයට භාර දිය යුතුය. එහෙත් මත් ද්‍රව්‍ය ව්‍යාපාරය සිංහලයන් ​ෙගාදුරු කර ගන්නා බවට පවසන්නෝ බහුලව සිටින රටක මත්ද්‍රව්‍ය නිසා සිරුරු බෙලහීන වේ නම් ජාතියක පැවැත්ම ගැන සැකයක් මතු වේ.   


මත් ද්‍රව්‍ය ලිංගික ශක්තිය නැති කරයි. මෙම ඇබ්බැහි වීම ජාතියක් වඳ වීමට බලපාන බව සත්‍යයකි. එබැවින් මත් ද්‍රව්‍ය සතුරා විනාශ කිරීම වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛත්වය ගත යුතුව තිබේ. එබැවින් විදේශවල සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එන අපරාධකරුවන්ට උපරිම දඬුවම් දීම රටක් හා ජාතියක් ආරක්ෂා කිරීමට අත්‍යාවශ්‍ය වේ. රට ආරක්ෂා කිරී​ෙම්දී ජාති හෝ ආගම් භේදයක් නොතිබිය යුතුය.   


වර්තමාන ශ්‍රී ලංකාවේ මහා මානව හිතවාදීන් සැරසෙන්නේ කුඩුකාරයින් ආරක්ෂා කොට මුළු රටම වනසා දැමීමටය. කුඩු කාරයින් මනුෂ්‍යයන් බව සත්‍යයකි. එහෙත් ඔවුහු මනුෂ්‍යයින් බෙලහීන කරන්නේ ක්‍රම ක්‍රමයෙන් සහ සමූහ වශයෙනි. එයින් මනුෂ්‍ය වර්ගයා විනාශ කෙරේ.   චීන ජනතාවට අබිං පුරුදු කොට පරාජය කළා සේම කුඩු පුරුදු කිරීමෙන් අපේ ර​ෙට් සංවර්ධනය බිඳ වැටේ. කුඩු සමාජ ද්‍රෝහියෝ බිහි කරයි. විකෘති මනස් සහිත පුද්ගලයෝ බිහිකරති. තරුණයෝ අකාලයේ මිය යති. උතුරේ යුද්ධයට වඩා භයානක යුද්ධයක් කුඩු ව්‍යාපාර සමඟ කළ යුතුව තිබේ.   


මනුෂ්‍යකු මරා දැමීමට විරුද්ධ වීම සාමාන්‍ය කාරණයකි. කුඩු ව්‍යාපාරිකයාගේ ශරීරය මනුෂයකු හා සමාන වුවද ඔවුහු මනසින් මනුෂ්‍යයන් නොවේ. කුඩුවලට ඇබ්බැහි වූවෝ ක්‍රම ක්‍රමයෙන් මිය පරලොව වඩිති. දරු පවුල් විනාශ කොට, අසල් වාසීන්ට වද දී සමාජ පිළිලයක් වී සිටින්නා මනුෂ්‍යයකු නොවේ.   


එල්ලා මරණු ලබන්නේ මනුෂයකු නොවේ. කුඩ්ඩෙකි. අපරාධකරුවෙකි. ඔහු රට වනසයි. ජනතාව අරක්ෂා කිරීම ජනාධිපති ධූරයට අයත් කාර්යයකි.   


දෙවන ලෝක යුද්ධයෙන් පසු නියුරන්බර්ග් නඩු තීන්දුවෙන් පවසන ලද්දේ මනුෂ්‍ය සංහතිය විනාශ කිරීමට දඬුවම් දිය යුතු බවයි. එය එල්ලා මරා දැමීමෙන් කෙළවර විය. කුඩු ව්‍යාපාරිකයෝද මනුෂ්‍ය සංහතියට විරුද්ධව මනුෂ්‍ය සංහතිය විනාශ කිරීමට ක්‍රියා කරන්නෝ වෙති.   


මෙතෙක් ක්‍රියාත්මක නොකළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කොට ශ්‍රී ලංකාවට කුඩු ගෙනවිත් අසු වී එල්ලුම් ගස් යාමට සිටින පුද්ගලයකු එල්ලා දැමුවොත් එයට ඉතා දැඩි ප්‍රතිඵලයක් ජාත්‍යන්තර වශයෙන් ලැබෙනු ඇත. විය යුත්තේ ද එයයි. අපට අවශ්‍ය වන්නේද එයයි! එල්ලා මරා දමන බව දැනගත් විට විදේශිකයන් මේ රට මත්ද්‍රව්‍ය ගෙන ඒමට අකමැති වනු ඇත.   


මෙහි වැදගත් කාර්යභාරයක් මාධ්‍යයට තිබේ.   


මත්ද්‍රව්‍ය රේගුව හරහා රට තුළට පැමිණේ. අල්ලා ගනු ලබන මත්ද්‍රව්‍ය රට තුළට යාමට නොදී එවෙලේම විනාශ කිරීම අත්‍යවශ්‍ය වේ. සේවා අධිකරණ ගබඩාවෙන් නැති වූ බව අප අසා ඇත. ප්‍රවාහනයේදී ද අතුරුදහන් වී ඇත. අවශ්‍ය වාර්තා අසුවන අවස්ථාවේදීම ලබාගෙන මත් ද්‍රව්‍ය විනාශ කළ යුත්ත​ේ රට තුළට යාම වැළැක්වීම අවශ්‍ය නිසාය.   එල්ලුම් ගසට නියම වූවන්ගේ සියල්ලන්ම වාගේ ඉල්ලා සිටින්නේ ඉක්මනින් එල්ලා මරා ඉවරයක් කරන ලෙසටය. තිත්ත වී ගිය ජීවිතයේ අවසායෙක් දැකීමට ඔවුහු ප්‍රාර්ථනා කරති. එල්ලා මරා දැමීමට නියම කොට එසේ නොකොට මානසිකව වද දීම ඉතා භයානක දඬුවමකි. එහෙත් මෙම අපරාධකරුවෝ සිරගෙය තුළ සිට භාවනා නොකරති.   


ලෝකයේ සියළුම මංකොල්ල හා අපරාධ සැලැසුම් කරන ලද්දේ සිරගෙවල් තුළදීය. දීර්ඝ කාලීනව සිරගෙය තුළ සිය රාජ්‍යය පිහිටුවා ගන්නා ඔවුහු සානුකම්පති සිතුවිලි වලින් තොර කෘෘරත්වයේ කෙළවරට පියනඟන පිරිසකි. මෙවැනි අපරාධකරුවන්ගෙන් සිරගෙය නොව මුළු සමාජයට නිදහස් විය යුතුය. එහිදී ජනාධිපතිතුමා ගෙන ඇත්තේ විශිෂ්ඨ තීන්දුවකි.   මෙම මාන හිතවාදීහු, එම්නෙස්ටි, එස්.ජී.ඩී සදාම් හුසේන් එල්ලා මරණ විට අන්ධ වී සිටියහ. ලාංකික දියණියක් වූ කිනියාවේ සිටි රිසානා රාෆික් ගේ බෙල්ල කඩුවකින් කපන විට තද නින්දේ පසු වූහ. න්‍යෂ්ටික අවි ගබඩා ඇතැයි පූර්ණ අසත්‍ය මත මුළු රටක් වනසන විට මානව හිතවාදීන් කතා නොකරන යුගය කුඩුත් සමඟ සියලු සාක්ෂි ඇතිව ඇල්ලූ මුළු රටක් විනාශ කරන තිරිසනකුට දඬුවම් දීමට විරුද්ධ වන්නේ මානව දයාවෙන් නොව විදේශවලින් එන ආධාර කුට්ටියේ පරිමාව ඉතා විශාල බැවිනි.   
එක් අයකු වෙනුවෙන් මුළු රටක් විනාශ වීමට ඉඩදීම මානව හිතවාදය නොව එය උඩුගම් බලා යන සමාජ විරෝධී සංකල්පයක් බව පෙනේ.   


ඉතිහාසයේ ග්‍රීක යුගයේ සිටම එන නෛතික සිද්ධාන්තයන් වන මිනිසා නීතිගරුක වන්නේ දඬුවමට ඇති බිය නිසා බව ඇතැමෙක් නොදනිති. ඇතැමෙක් පවසන්නේ වෙඩි තබා මැරීම, විදුලි පුටුවට, ගෑස් දැමීමට වඩා එල්ලා මැරීම කෲර බවය. මරා දැමීම නැළවිලි ගීයකට වඩා වෙනස් නිසා එහි කෲර බවක් ගැබ් වී තිබේ. එහෙත් එහි ඇත්තේ පිළිගැනීම නොව, රටක්, ජාතියක්, මිනිස් සමාජයක් ආරක්ෂා කිරීමය.   


එල්ලුම් ගස් යාමට පෙර අපරාධකරුවෝ දහස්වරක් මානසිකව මියයති. මෙම මානසික වදයෙන් නිදහස් කිරීම හැකි ඉක්මනින් සිදු කිරීම මාන හිතවාදීන්ගේ යුතුකමයි.   


අනෙක් මහා තර්කය වන්නේ විදේශ රටවල් හා ජාත්‍යන්තර සංවිධාන විරුද්ධ වන නිසා දඬුවම නොදිය යුතු බවය. පහසුවෙන් එම රාජ්‍යවලට ලංකාවට පැමිණ මුදල් දී කුඩු කිලෝ ගණනින් එකතු කොට ඒ රටවලට ගෙන යාම කොපමණ ලාබද? හොඳද? එවිට කඩු ව්‍යාපාරිකයන් එල්ලුම් ගස් යන්නේ නැත. නැව් වලින් හා ගුවන් යානාවලින් මෙම ව්‍යාපාරය සිදු කරන්නේ නම් එය නැවැත්වීමේ වගකීම ජාත්‍යන්තර සංවිධාන භාර ගත යුතුය.   
එහෙත් දැන් සිදුව ඇත්තේ පුවත්පත් පිටු පුරවා සංවාද මණ්ඩපයක් ඇති කිරීම විනා ප්‍රායෝගික ක්‍රමෝපායක් ඉදිරිපත් නොකිරීමය.   


කුඩු ව්‍යාපාරිකයන්ගේ මව්පියන් භාර්යාව සහ දරුවන් දැනුම්වත් කොට මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනවල කැඳවා සම්බන්ධතා ගොඩනැංවීම හා තොරතුරු ගැනීම භයානක පියවරක් වුවද එය කළ යුතුව තිබේ. ඊට හේතුව බොහෝ අපරාධ සිදුවන්නේ මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් වීමෙනි.   


වර්ෂ 1800 සිටම මරණීය දණ්ඩනය (කැපිටල් පනිෂ්මන්ට්) පිළිබඳව සමාජ විග්‍රහයින් කරන ලද පරීක්ෂණ අනුව පෙන්වා දෙන ලද්දේ මරණීය දණ්ඩනය නිසා අපරාධ අඩුවීම හෝ මර්දනය වීමය යන දෙකම සිදු නොවන බවයි. එහෙත් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් රටින් රටට යන ප්‍රවාහකයින් එල්ලා මරා දමන ලද රටවල්වල කුඩු හෝ වෙනත් මත්ද්‍රව්‍ය ​රැගෙන පැමිණෙන විදේශිකයන්ගේ සංඛ්‍යාව අඩු වී ඇති බව සියලුම සමාජ විද්‍යාඥයෝ පිළිගනිති.   


ශ්‍රී ලංකාවේ ජනතාවගේ අදහස වන්සේ ද දේශීය වශයෙන් මත්ද්‍රව්‍ය බෙදා හරින මහ පරිමාණ ව්‍යාපාරිකයින්ට උපරිම දඬුවම් දියු යුතු බවයි. එය ජනතා යහපතට හේතු වේ. එක් මිනිසකුගේ ක්‍රියාවක් නිසා මුළු රටක් විනාශ වේ නම් ඒ පාපතරයා විනාශ කිරීමේ වරද කුමක්ද?   


මෙය ශ්‍රී ලංකා ඉතිහාසයට ගොවි සමාජයට කැලලක් හෝ වරදක් නොවේ. අපගේ ඉතිහාසය සිංහබාහු හා සිංහ සීවලී දක්වා වූ අතීතයේ සිංහයා සිය පියා බව දැන දැනම හීයෙන් විද සිංහබාහු විසින් මරා දැමුවේ බහුතර රට වැසියා ආරක්ෂා කිරීමටය. එය රටක පාලකයාගේ යුතුකම නොවේද?   


අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වූයේ 1976 වර්ෂ​ෙය්දීය. 1935 ඇමෙරිකා එක්සත් ජනපදය 199ක් එල්ලුම් ගසට යනව ලදී. 1967 දී දෙදෙනකු දක්වා එම සංඛ්‍යාව අඩු කළේය. 1967 සිට 1972 වනවිට ඇමරිකාවේ 600ක් එල්ලා මරණයට පොරොත්තු ලේඛනයේ සිටියහ.   


අයර්ලන්තය, ස්පාඤ්ඤය, ප්‍රංශය, රුසියාව හා චීනය තවමත් මරණීය දණ්ඩනය නියම කරන ප්‍රසිද්ධ රටවල් වේ. 

 
කැනඩාවේ පොලිස් නිලධාරියකු හෝ බන්ධනාගාර නිලධාරියෙකු මරන ලද පුද්ගලයකුට මරණ දණ්ඩනය දෙනු ලැබේ. එහෙත් අනෙක් මනුෂ්‍යයින්ගේ ජීවිතවල එතරම් වටිනාකමක් නැති නිසා එම මිනීමරුවන්ට මරණ දඬුවම හිමි නොකරයි.   
 

 

 

 

 

 

කොග්ගල 
වෙල්ලාල බන්දුල