අහිංසක ගවයන්ට දස වධ දුන් මිනිසා යකඩ යකාට බිලි වූ හැටි


ජීවිතයට යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


කුරීකොටුව, කේ.පී.සී. කරුණානායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

අහිංසක ගවයන්ට දස වද දුන් මිනිසා යකඩ යකාට බිලි වූ හැටි   


අධිරාජ්‍යවාදී පාලන සමයේ කොළඹට කිට්ටුව ඉතාමත් සුන්දර ගම්මානයක් විය. ගම වටා පිහිටි විදේශිකයන් වූ සුදු ජාතින් හට අයත් අක්කර තුන්හාරසීයක විශාලත්වයෙන් යුත් ඉතාමත් සරුසාරවත් පොල් ඉඩමක් ඇතුළු විශාල වතු කීපයකින් මෙම ගම වට වී තිබීම ගමේ සුන්දරත්වය වැඩි වීමට ප්‍රධානතම හේතුවක් විය. නමුත් අද වන විට එම සියලු වතු ඉඩම් වෙන්දේසි හා බලෙන් අත්පත් කර ගැනීම් නම් වූ බිහිසුණු රකුසන් දෙදනෙකුට මෙම ඉඩම් ගොදුරු වී ඇති හෙයින් එදා පැවති ඒ සුන්දරත්වය අසුන්දරත්වයක් බවට පත් වී ඇති බව නම් නොරහසකි.   


ඉහත සඳහන් මේ විදේශීක සුදු ජාතිකයන් සතුව තිබූ මෙම ඉඩමේ දහස් ගණනක තරම් වූ විශාල ගව පට්ටියක් විය. මෙම ගව පට්ටියේ වැඩි වන හා වයස් ගත ගවයින් ඇතුළු ගව පැටවුන් පට්ටියෙන් ඉවත් කර පුවත් පත්වල පවා දැන්වීම් මගින් ප්‍රකාශයට පත් කර වසරකට දෙවතාවක් පමණ මහා පරිමාණ ගව වෙන්දේසියක් පවත්වන අතර මෙම ගවයින් මිලදී ගැනීම සඳහා මස් කඩ කරුවෝ මෙන්ම නිවෙස්වල හදා වඩා ගැනීම සඳහා පැමිණෙන අයද සිටිති. නමුත් වත්තේ ඉපිද වත්තේ හැදී වැඩී ඇති මෙම සත්ත්වයින් දක්කාගෙන යනු ලබන්නේ පා ගමනිනි. එයට ද හේතුව වී ඇත්තේ එදා මෙදා මෙන් රථ වාහන නොතිබූ අතර බොහෝ විට තිබුණේ ගොන් කරත්ත වීමය.   


එම හේතුව නිසා විවිධ ප්‍රදේශවලින් පැමිණි මස් කඩ කරුවන් මෙන්ම නිවෙස්වල හදා වඩා ගැනීම සඳහා ගනු ලැබූ ගවයින් දක්කාගෙන ගියේ පා ගමනිනි. වත්තේ ඉපිද වත්තේ හැදී වැඩී වත්තේ මිය යාමට සිටින ගවයින් කිසි දිනක පාරකට හෝ වත්තෙන් පිටව ගොස් නැති හෙයින් මෙම සත්තු පාරට වන් විට ආපසු හැරී වත්ත දෙසටම දිවයති. දඟලති. නොයා පාරේ බුදියති. මෙම වකවානුවේ මෙම සතුන් මස් කඩවලට මෙන්ම නිවෙස්වල හදා වඩා ගැනීම සඳහා කුලී පදනම මත සතුන් දක්කාගෙන ගොස් භාරදෙන එක්තරා මිනිසෙක් විය. ඔහු කරනුයේ අාපසු ඇදගෙන දුවන හා නොයා පාරේ බුදියන මෙම ගවයින් හට නැගිට්ටවීම සඳහා පහර පිට පහර දීමයි. වල්ගය දෙකට නවා හපයි. පිටුපස පෙදෙසට හා පා වලට ඉ​ෙණ් ඇති පිහිය ගෙන අනියි. මෙසේ මේ අන්දමට ඉතාමත් කෲර අන්දමින් දස වධ දෙයි. මෙලෙස එදා මෙම සතුන්හට මෙතරම් කෲර අන්දමින් සත්ව හිංසනය කළේ එදා අධිරාජ්‍ය යුගයේ අද මෙන් සත්ව හිංසනයට එරෙහි නීතියක් රීතියක් නොතිබූ හෙයිනි.   


එම වකවානුවේ ඉතා කුඩා දරුවෙකුව සිටි මා තාත්තාත් සමග නගරයට ගියේ කොණ්ඩය කපා ගැනීම සඳහාය. කොණ්ඩය කපා අවසන් වූ මම දුම්රියක් දැක බලා ගැනීමේ ඉමහත් ආශාවක් ඇති බව තාත්තාට පවසා සිටියෙමි. තාත්තා ද ඊට අවනත වූයෙන් තාත්තාත් සමග දුම්රිය ගේට්ටුව දෙසට ගියෙමි. ඒ වන විටත් දුම්රියක් ළඟ ළඟම එන හඬ ද ඇසුණ අතර මගේ දුම්රියක් දැක බලා ගැනීමේ ආශාව ද ඉහ වහා ගොස් තිබිණි. එදා අද මෙන් තෙල් බලයෙන් ධාවනය වෙන බලවේග කට්ටල දුම්රිය නොතිබුණ අතර තිබුණේ ගල් අඟුරු යොදා ජල වාෂ්ප බලයෙන් ධාවනය වූ දුම්රියය. මෙම දුම්රිය අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා නම් වූ අන්වර්ථ නාමයක් ද තිබිණ.   


අපි එදා දුම්රියක් දැක බලා ගැනීමට දුම්රිය ගේට්ටුව අසලට යනවාත් සමගම එදා ඒ ඉතාමත් කෘෘර අන්දමින් ගවයින් හට වධ හිංසා පමුණුවමින් ගව ඝාතකාකාගරවලට මෙන්ම නිවෙස්වල ඇති දැඩි කර ගැනීම සඳහා ගවයින් දක්කාගෙන ගිය ඒ මිනිසා ද අධික ලෙස බීමත්ව ඒ මේ අත විසි වෙමින් වසා තිබුණ ගේට්ටුව අස්සෙන් රිංගා දුම්රිය පාර හරහා යාමට දුම්රිය පාරට පය තබනවාත් සමගම නුදුරින් පැමිණෙමින් තිබුණු දුම්රියේ රියදුරු මිනිසෙකු රේල්පාරේ සිටිනවා දැක නොනවත්වාම හූ හඬ දෙමින් දුම්රිය නළාව නාද කර වූ අතර බීමතින් වියරු වැටී සිටි ඒ අවාසනාවන්ත පව්කාර මිනිසාට ඉදිරියෙන් එන්නේ දුම්රියක් දැයි සිතා ගැනීමට බැරි තරම් වූ ප්‍රකෘති සිහියකින් නොසිටි හෙයින් දුම්රිය නළාවෙන් නැගුණ හූ හඬ ඇසී තෝ හූ කිය කියා එන්නේ මට ගහන්ඩද? එහෙනම් වර බලන්ඩ යයි කියමින් මිනිසෙකු සමග ගහ ගැනීමට සැරසෙනවා මෙන් දෙඅත් අමෝරා සිටියේය.   


අහෝ පාප කර්මයක මහත, ඉදිරියෙන් වේගන් ආ ඒ දුම්රිය මිනිසා ද යට කරගෙන වේගයෙන් ඉදිරියට ගියේ එදා තිබූ එම ජල වාෂ්ප බලයෙන් ධාවනය වූ ඒ දුම්රියන් අද ඒවා මෙන් තිරිංග තදකර ක්ෂණිකවම නතර කළ නොහැකි හෙයිනි. 


දුම්රියේ එන්ජිමේ හැපුණ මෙම මිනිසාගේ හිස සම්පූර්ණයෙන්ම කුඩු පට්ටම් වී ගිය ඒ මළ කඳ දෙස බැලීමට පවා නොහැකි තත්ත්වයක් තිබිණි. කුඩු පට්ටම්ව ඉවතට විසි වී ගිය හිස් මොළ කැබලි අහුලා කෑමට පැමිණි කපුටෝ අවට ගස්වල වසා කෑ මොර දෙන්නට විය.   


එදා හරි හැටි බහ නොතෝරෙන කුඩා දරුවෙකුව සිටි මා හට එදා මෙය කුමන කර්ම ඵල විපාකයක් නිසා සිදු වූවක් දැයි අවබෝධ නොවුන ද අද මට මෙය කුමන කර්ම ඵල විපාකයක් අනුව සිදු වූවක් දැයි මැනවින් වැටහේ. 


 
අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවක් මෙසේය.  

එකෙකු කළ පාපේ තිදෙනෙකුට විය ශාපේ   


අදමින් ජීවත් වෙනවා විතරට   
දැහැමින් මිය යනු සොඳමයි දනහට   

යනුවෙන් ලෝ වැඩ සඟරා කතු හිමි බුදු බණ දක්වන්නේ අධර්මයෙන් ජීවත් වෙනවාට වඩා ධාර්මිකව සිට මිය යාම යහපත් බවයි. එහෙත් ජීවත් වීමට පව් වැඩ කරන අය අනන්තවත් සිටිති. කවදා නමුත් එම පව්වලට විපාක ලැබෙන බව බුදු දහමේ දැක්වේ. අපට දැකිය හැකි වෙන්නේ මොලොවදීම පව් ඵල දෙන හැටි පමණකි. එය සිදු වෙන්නේ සමාජයට පාඩමක් කියා දීමට බව දන්නා අය සිටින්නේ ද ටික දෙනෙකි. එහෙත් ඉඳ හිට හෝ පව් කාරයෙකුට විඳින්නට සිදු වෙන දුක් ගැහැට ගැන වැඩිහිටියන් දරුවන්ට කියා ​ෙදන්නේ ඔවුන් එම පව් වැඩවලින් මුදවා ගැනීමටය.   


රජරට පළාතේ පුජනීය නගරයට ගව්වක් පමණ දුරින් පිහිටි ගමක හැටේ දශකයේ සිදු වූ සිදු වීමක් ජීවත් වන්නන්ට පාඩමක් කියා දෙන්නකි. සිරිපාල නමින් ඔහුව හඳුන්වමි. එය ඔහුගේ නියම නම නොවේ. සිරිපාල ගොවි පවුලක බාලම පිරිමි දරුවා විය. පියා ගොවිතැන් කර පවුලට අවශ්‍ය සියලු දෑ නොඅඩුව සැපයීය. එකල අද මෙන් සුඛෝපභෝගී විදුලි උපකරණ ද තට්ටු ගෙවල් ද ගම්වල නොවීය. ගමකට සිමෙන්ති දමා උළු සෙවිලි කළ ගෙවල් තිබුණේ එකක් හෝ දෙකක් පමණි.   


සිරිපාලගේ පවුලද සිටියේ කටු මැටි නිවසකය. බර කරත්තයක් හා පා පැදියක් ඔවුන් සතු වාහන විය. ඉගෙනීම ගැන උනන්දුවක් ගැමියන් නොදැක් වූ නිසා සිරිපාලගේ අයියලාත් අක්කලාත් ගොවිතැන් කරමින්ම ජීවත් වූහ. සිරිපාල නගරයේ මුදලාලි කෙනෙකු සමග මිතුරු වී මස් පිණිස හරකුන් සැපයීමට පුරුදු විය. හරක් පට්ටි හිමිකරුවන්ට මුදල් පෙන්වා ඔවුන් වසඟ කොට හරක් මිලදී ගැනීමට සිරිපාලට අපහසු දෙයක් නොවීය. හරකුන් නගරයට ගෙන යාම කරන ලද්දේ ඒ සඳහා පුහුණු කරවන ලද ශක්තිමත් හරකෙකුගේ අාධාරයෙනි. මිලදී ගන්නා හරකෙකු හෝ දෙදෙනෙකු මෙම පුහුණු කළ හරකාට ඈඳූ විට හරකා මස් කඩ මුදලාලිගේ නිවස දක්වාම එම හරක් ද රැගෙන පැමිණෙයි. සිරිපාල කරන්නේ පා පැදියේ නැගී උන් සමග පැමිණි මුදලාලිගෙන් මුදල් ලබා ගැනීමයි.   


එම ගමේ හරක් සොයා ගත නොහැකි වූ විට අහල පහල ගම්වලින් ද හරකුන් මිලදී ගැනිනි. වෙළෙඳාමෙන් අත මිට සරු වූ සිරිපාල තරමක් විශාල ගෙයක් ද සාදාගෙන නගරයේ තරුණියක් විවාහයට ද ගත්තේය. දිනපතා හරක් දෙදෙනෙකු මසට සැපයීමෙන් සිරිපාල පොහොසතකු විය. ඇතැම් විට හරක් හොරකමේ ද සිරිපාල යෙදුණේය. මුදල් ඇති වීම යහළුවන් වැඩි වීම ස්වභාවික දෙයක් නිසා සිරිපාලට යහළුවන්ද වැඩි විය. පරණ ලොරියක් මිලදී ගත් සිරිපාල ඉන් පසුව ලොරියෙන් හරක් ප්‍රවාහනය කළේය. එද මෙන් පොලිස් ඇස එදා හරක් හොරුන් කෙරේ යොමු නොවුණි.   


සිංහල අවුරුදු කාලයට හරක් මස් අලෙවිය එකල වැඩි විය. අද මෙන් කුකුළු මස් බහුල නොවීමත් ගැමියන් ඌරු මස් මිලදී නොගැනීමත් නිසා හරක් මස් වැඩිපුර අලෙවි විය. එක් අවුරුදු උත්සව සමයක් එළඹෙත්ම සිරිපාල හරක් හත් අට දෙනා බැගින් නගරයට සපයන්නට විය. දිනක් සිරිපාල මිලදී ගත් හරක් අතර ගැබිණි එළදෙනක් ද විය. ගමේ තරුණ කැල මුදල් සම්මාදම් කරගෙන එම එළදෙන බේරා ගැනීමට ඉදිරිපත​් වුවද තමාගේ මුදලට සුළු මුදලක් අඩු වීම නිසා සිරිපාල එළදෙන තරුණයන්ට දීම ප්‍රතික්ෂේප කළේය.   


එම අවුරුදු උළෙල සිරිපාලට වැදගත් වුණේ ඔහු​ෙග් බිරිඳ ද කුළුඳුල් දරුවා ලැබීමට ආසන්නව සිටි නිසාය. ඔවුන් දෙදෙනා ජයට අවුරුදු කෑමට සියල්ල සූදානම් කළේය. සිංහල අවුරුද්දට පෙර දින සවස සිරිපාලගේ බිරිඳ ළිඳ ළඟ ලිස්සා වැටීම නිසා රෝහල් ගත කරන්නට සිදු විය. යාබද ගමෙන් මෝටර් රියත් ගෙන්වා සිරිපාල ඇය සමග රෝහලට පිටත් විය.   


රාත්‍රිය වෙන විට ගමට ආරංචි වූයේ සිරිපාල ගිය මොටර් රිය ලොරියකට හැපී බිරිඳ එතැනම මිය ගිය බවත් කුස තුළ දරුවාද මිය ගොස් තිබූ බවත් සිරිපාල රෝහල් ගත කළ විගසම මිය ගිය බවත්ය.   


ගැබිණි එළදෙන මසට විකිණීම නිසා එය සිරිපාලට පළ දුන් බව ගම පුරා පැතිර ගියේය. එළදෙන බේරා ගැනීමට ගම්මුන්ට සුළුවෙන් හෝ උදව් කළ නොහැකි වූ නිසාවෙනි. කළ වැරදිවලට දඬුවම් ලද බවත් දේවශාපයෙන් සිරිපාල හා බිරිඳ මිය ගිය බවත් අහල පහල ගම්වල පවා පැතිර ගියේය.  



මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවක්.   

ගල උඩට වැටී හිස පොඩි පට්ටන් වී ඔහු මෙලොවින් තුරන් වී යෑමට ගත වූයේ සුළු මොහොතකි.   


දැනට වසර තිහ හතළිහකට පමණ පෙර ගමේ ගොඩේ දියුණුවක් දකින්නට ලැබුණේ නැත. මුළු ගමටම තිබුණේ වරිච්චි කටු මැටි බිත්තියෙන් නිම වූ පොල් අතු සෙවිලි කළ දෑතේ ඇඟිලි ගණනින් ගැණිය හැකි වූ ගෙවල් අත ළොස්සකි. ගම මැද වූ රන් වන් කරලින් බර වුණු කුඹුරු යාය ගැමි ජනතාවගේ අටු කොටු සහලින් පුරවා කුස ගිනි නිවා දමා නිරෝගිමත් ජනතාවක් බිහි කර ලීමට සමත් විය.   


දැනට මෙන් රුපියල් සත දේවත්වයේ ලා සලකන සමාජයක් එදා නොතිබුණු නිසාවෙන් කොයි කවුරුත් බෙදා හදාගෙන කෑමට පුරුදු පුහුණු වී තිබුණි. නගරබද ජනාකීර්ණ වීමත් සමග ගමේ ඇති ලඳු කැලෑ මහ කැලෑ මුඩු බිම් මඩ වගුරු බිම් හිස් ඉඩම් පමණක් නොව සරුසාර තේ පොල් රබර් ඉඩම් පවා නගරබද වෙන්දේසිකරුවන් අත පත් විය.   


ඔවුන් විසින් ඒ ඉඩම් සුළු මුදලකට ගම්මුන්ගෙන් ලබාගෙන මංමාවත්, ජලය හා විදුලිය ආදි මූලික පහසුකම් ආදිය ලබා දී පර්චස් දහය, දොළහට, කට්ටි කඩා ගහකොළ කපා දමා සංවර්ධනය කර බිම් සකසා අත් පිට මුදලට හෝ ගෙවීමේ ක්‍රමයට විශාල ප්‍රචාරයක් ලබා දී ගම නගරය කිරීමටත් වඩා තමන්ට ලාබදායක ව්‍යාපාරයක් සකසා ගත්තේ දැඩි උන්නදුවකින් හා උද්යෝගයකිනි.   


ගැණුම්කරුවන් තමන් හිමි කරගත් ඉඩම වටා තාප්ප බිත්ති බැඳ ගේට්ටු ඉබි යතුරු දමා සුවිසල් මහල් දෙමහල් ගෙවල් දොරවල් තනා වෙන් වී තමන්ට පමණක් ආවේණික වූ හුදකලා ජීවිත ගෙවන්නට හුරු පුරුදු වී​ෙමන් ගමේ ගම් වැසියන්ගේ තිබූ සමගිය එකමුතුකම ළෙන්ගතුකම ඇතුළු සදාචාරය නැති භංග වී යෑමට ගත වූයේ ඉතා කෙටි කාලයකි.   


එදා කොතරම් දැහැමි ජන සමාජයක් තිබුණත් ගම්තුලානේ වනචර කාමුක හොර දෙටුවන් ද නොසිටියා නොවේ. වැස්සකටවත් පාසලට නොගිය, ගමේ පන්සලට පොහොය දිනකවත් අඩියක් නොතබන නමින් සිරිපාල වුවත් ගමේ කොයි කවුරුත් සිරා යන නමින් හඳුන්වන සිරිපාල ද මුළු ගමටම එපා වූ හාල්පාරුවෙකි. තම වියපත් දෙමව්පියන්ගේ අවවාද අනුශාසනාවන් තඹ සතේකට ගණන් නොගන්නා සිරා තරුණ විය ඉක්මවා ගියත් මෙතෙක් තනිකඩ දිවියක් ගත කළ දඩම්බරයෙකි. ඔහුගේ හොරමැර තක්කඩිකම් නිසා ගමේ තබා අහල ගමකවත් කෙල්ලක් සිරා සමග දීග කෑමට කැමැත්තක් දැක් වූයේ නැත. ගමේ ගවයෙක් එළුවෙක් හෝ කුකුළෙක් නැති වුණත් ඒ හොරකම සිරාගේ වැඩක් බව සහසුද්දෙන්ම ගම්මුන් දැන කියා සිටියත් සිරාට විරුද්ධව කිසිවෙක් නැගී නොසිටියේ ඔහුට ඇති බිය නිසාවෙන් බව නොරහසකි. ගමේ දේවාලයට ගොස් දෙවියන් ඉදිරියේ පුදු පූජා පවත්වා හොරාට දඬුවම් ලබා දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටීම හැර වෙනත් විකල්පයක් ගම්මුන්ට තිබුණේ නැත. හොරාගේ කල දවස නරක් වූ විට දෙවියන්ගෙන් ඔහුට දඬුවම් ලැබෙන බව ඒකාන්ත සත්‍යයක් නිසා ගමේ කවුරුත් පාහේ දෙස් දෙවොල් තබා නිසොල්මන් වීම පුදුමයට කරුණක් නොවීය.   


මේ අව් අස්සේ ගමේ ගොඩේ ගවයෙක් දෙන්නෙක් අතුරුදහන් වුවත් ඒ සතුන් පිළිබඳ හෝඩුවාවක් පවා දැන කියා ගැනීමට ලැබුණේ නැත. සේතන් අයියාගේ ගොන් නාම්බාද හිටි හැටියේම නැති විය. අහල පහල උදවිය ගමේ වන රොදේ අස්සක් මුල්ලක් නෑර සොයා බැලීමේදී වන ලැහැබේ ගල් තලාවක් මැද ගොන් නාම්බා මරා දමා තිබුණි. හතර ගාත් ගැට ගසා හොම්බට පොල් කටුවක් තබා බැඳ ගවයා මරා සතාගේ මස් ඇති තරම් ගෙන ගොස් තිබුණි.  මහ පොළොව පවා නෙඉවසන මේ අපරාධය සියසින් දැක බලා ගත් ගමේ තරුණයින් ගවයාගේ හිස ඇතුළු අනෙකුත් සුන්බුන් අසල වළ දමා මේ දරුණු අපරාධය කළ පාපතරයාට දෙස් තබා ගත වූයේ දින දෙකකි.   


මේ අතර සිරා තම වත්ත පාමුල ඇති කිතුලට නැග මල කපා රා මුට්ටිය බෑමට සූදානම් වුවා පමණි. අඩි පනහක් පමණ උසැති කිතුල් ගස මුදුනේදී ඔහු අල්ලා ගෙන සිටි අත්ත අත හැරී නොසිතූ ලෙස ගල්තලාව මතට ඇද වැටුණි. ගල්තලාව මතට ඇද වැටී හිස පොඩි පට්ටන් වී සිරා මෙලොවින් තුරන් වී යෑමට ගත වූයේ සුළු මොහොතකි.   


ගොනා පසු පස කරත්තය එන්නා සේ තමන් කරන ලද පාප කර්ම තමා කරා එන බව පැහැදිලි කරුණකි. සිරාගේ මරණින් මතු ගමේ ගොඩේ ගවයින් නැති වුණේ නැත. මේ පාපතරයා ගැන ගමේ වැඩිහිටියන් දැනුත් සිහිපත් කරන්නේ දැඩි පිළිකුලෙනි. 

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.  

 

 

 

    සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්