අහසත් වැලපෙන ලාඕසය


වළපල්ලට ගිය  රටවල්  

 

 

එක ගමකට එක වැඩක් කියා මුළු රටටම වැඩක් දෙන දේශපාලන බහිරවයන්ගෙන් රටකට වැඩක් නැත. ඔවුහු මෙලෝ මළදානයක් නොදන්නා නරුමයන්ය. වගා කරලා කන්න දෙන්න පුළුවන් රටවල් හිඟා කාලා කන්න දෙන තැනට වැඩ හදන්නේ මොවුන්ය.  


අගාධයට යන්නේ එවැනි මස්තබාල්දු දේශපාළුවන් ඉන්නා රටවල්ය. එවැනි රටවල අහස පවා වැලපෙයි. අහස වැලපෙන රහස එම රටවල නූගත් ජනතාව නොදනිති. ඔවුහු හිතේ ගිනි තියාගෙන ජනතාවගේ ගතේ ගිනි නිවීමට උත්සාහ දරති. නීති හදන්නේ ඔවුන්ය. නීති කඩන්නේත් ඔවුන්ය. හදන නීති බොහොමයක් ජනතා හිත සුව පිණිස නොවේ. ඔවුන්ගේ සුඛ විහරණය තකාය. එවැනි රටවල් වළ පල්ලට යනවා විනා වෙන කොහේ යන්න ද?  


අාරාජිකත්වයට පත් වූ රටවල් රාශියකට මම ද ගියෙමි. ඉකුත් සති කීපය මා ගත කළේ ශ්‍රී ලංකාවේය. ගම්මිරිස් කොළය මොකක් ද බුලත් කොළය මොකක් ද කියා හඳුනා ගන්නවත් බැරි දේශපාලකයන් ලංකාවේ ද සිටින බව මම දුටුවෙමි. රටේ සැබෑ තත්ත්වය අවබෝධ කරගත හැක්කේ නගරවලින් ඈත එපිට පිටිසර ගම්මානවලට ගිය විටය. වංචනික දේශපාලකයන්ට සුදුසු වන්නේ බුලත්, පුවක්, තොරණ, පාවාඩ, මල්මාලා ​ෙනවේ. පුන්නක්කු බාල්දි සහ තණකොළ මිටිය. ඉලපත්ය.

  
හිරිකිත දේශපාළුවෝ  


බොහෝ රටවල ඇති සම්පත්වලින් එම රටවලට ඩොලර් වැහි වස්සවන්නට හැකිය. ඇල්පෙනිත්තක්වත් නිපදවන්නේ නැති රටක් දියුණු වන්නේ කෙසේ ද? මේ රටවල තිබෙන්නේ ඩොලර් වගේ එන්න එන්නම ඉහළ යන ආර්ථිකයකි. එවැනි රටවල ජනතාව පළමු හුස්ම අවසාන හුස්මේ ඇරඹුම බව නොදනිති. ඔවුහු ටිකෙන් ටික මියයාම කොතරම් ශෝචනීය ද?  


අද ඔබ වෙත හඳුන්වා දෙන 27 වෙනි අසමත් රාජ්‍යය ලාඕසයයි (LAOS). කටුකයි, දුෂ්කරයි, පීඩිතයි කියා දිවිය හැර දමා යන්නට බැරිව නිරාදුක් විඳින බහුතර ජනතාවක් වෙසෙන දේශයකි මේ කියන ලාඕසය.  


සූත්තර සාස්තර  


ලාඕසය ද හිරේ විලංගුවේ දැමිය යුතු වංචනික දේශපාලන කම්බ හොරුන්ට හිතේ හැටියට නටන්නට ඉඩ දී බකන්නිලා ගෙන සිටින රජයක් ඇති රටකි. මේ රටේ ද දේශපාලකයන්ට එරෙහි නඩු වාෂ්පවීම සාමාන්‍ය සිද්ධියකි. මේ රටේ ද ජනතාවට මිල සූත්තර තේරෙන්නේ නැත. ඒ ගැන දේශපාලකයන් කියන හිරිකිත සාස්තර ද ජනතාවට නොතේරේ. ඔවුහු නූල් සූත්තරවලින් ජනතාව රවටති.  


ලංකාවේ මෙන් කන්අඩි පැළෙන්න හෝන් ගහන රියැදුරන්ගෙන් පිරි ලාඕසය අද ලොව කොන් වූ තවත් දේශයකි. මෙය ඉන්දු චීන සංස්කෘතිය සම්මිශ්‍රණය වීමෙන් බිහි වූ ජනරජයකි. දකුණු ආසියාව තුළ කොමියුනිස්ට් පාලන ක්‍රමයක අවසාන නැවතුම්පොළක් වශයෙන් ලාඕසය හැඳින්විය හැක. විටින්විට විවිධ දේශපාලකයන් විසින් සෝවියට් දේශය, චීනය සහ ඇමෙරිකාව වැනි බල කඳවුරුවලට පටු වාසිය තකා සමීපවීම තුළින් ලාඕසය ආපස්සට ඇදී ගියේ විදුලි වේගයෙනි.  


මියන්මාරය (බුරුමය), චීනය, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය යන රටවලට මැදිව පිහිටි ලාඕසය කාලයක් තිස්සේ ප්‍රංශ අධිරාජ්‍යයට නතුව තිබූ රටකි. නිදහස ලබාගෙන වසර 65 කි. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය (TRANSPARENCY INTERNATIONAL) සඳහන් කරන්නේ මෙය ලෝකයේ දූෂිතම රටවලින් එකක් බවයි.  


මෙය ද නීතියේ ආධිපත්‍යය බිඳවැටුණ ජනරජයකි. ග්ලෝබල් හන්ගර් (GLOBAL HUNGER INDEX) සඳහන් කරනුයේ රටේ මුළු ජනගහණයෙන් 1/3 කට වඩා දරිද්‍රතාවයෙන් පෙළෙන බවයි. බහුතරයකගේ දෛනික ආදායම ඩොලර් 1.25කට වඩා අඩුය.  


දැන් මෙහි මුළු ජනගහණය ලක්ෂ 67කට මඳක් වැඩිය (67,58,353). රටේ විශාලත්වය ව.කි.මී. 237,955ක් හෙවත් ව.සැ. 91,875 කි. ප්‍රංශකාරයින් විසින් මේ රටේ මුල් නම වූ මුන් ලාඕ (MUANG LAO) ලාඕසය (LAOS) යනුවෙන් වෙනස් කරන ලදී.  


මුළු ජනගහණයෙන් සියයට 45කට වැඩි සංඛ්‍යාවක් ජීවත්වන්නේ ඉතා දුෂ්කර කඳුකර ගම්මානවලය. ජනගහණයෙන් සියයට 64.7ක් බෞද්ධයන්ය. මාක්ස් ලෙනින් වාදය පිළිගන්නා එ්ක පාක්ෂික කොමියුනිස්ට් ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මකය. මෙහි ඇති එකම දේශපාලන පක්ෂය එල්.පී.ආර්.පී. (LPRP) පක්ෂයයි.  


අාරක්ෂක ලේකම්ට කළ පව් පල දුන් හැටි  


දීර්ඝ කාලයක් එනම් 1964 සිට 1973 දක්වා මේ රටට ගුවනින් හෙළුෑ බෝම්බ ප්‍රමාණය බෝම්බ ටොන් මිලියන 2කට වැඩිය. එනම් බෝම්බ ටොන් ලක්ෂ 20කට වැඩි වන අතර ඒ ඇමෙරිකාවට එරෙහි වීමේ ප්‍රතිඵලයකි. මෙහි ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම, රජයට එරෙහිවූවන් අතුරුදන් කිරීම හා ඔවුන්ට දස වද දී මරුමුවට පත්කිරීම ආදී චෝදනා එල්ල වූ ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් පිචිට් (PHICHIT) ප්‍රමුඛ හමුදා ප්‍රධානීහු 20 දෙනෙක් 2014 ගුවන් යානය කඩාවැටී මිය ගියහ.  


විදේශ මාධ්‍යයන් හැඳින්වූයේ ඔවුන්ට කළ පව් පල දුන් බවයි. ලාඕසය ඉන්ධන ඇති රටකි. තෙල් සම්පත නිසි අයුරින් ප්‍රයෝජනයට නොගෙන ඇත්තේ රජයේ දූෂණ හේතුකොට ගෙනය. රත්රන්, තඹ, ගල් අඟුරු ආදී විවිධ ඛනිජ ද්‍රව්‍ය රාශියක් ඇති පො​ෙළාවකි. එම කර්මාන්ත ද දූෂණයෙන් පිරී ගොස්ය.  

 


ලාඕසයේ ලක්ෂ 14ක් බඩගින්නේ  


චීනය, කියුබාව සහ වියට්නාමය හැරුන විට ලාඕසය ද කොමියුනිස්ට් රාජ්‍යයක් වුවත් එහි සංවර්ධනය සිදුවී ඇත්තේ මන්දගාමීවය. මෙහි දරිද්‍රතාවයෙන් පෙළෙන අයගේ සංඛ්‍යාව ලක්ෂ 14කට වැඩිය. අවුරුදු 5කට අඩු ළමයින් 663,000ක් පමණ මන්ද පෝෂණයෙන් පෙළෙති.  


මෙහි පිරිමින්ගේ ආයු කාලය අවු. 66කි. ගැහැනුන්ගේ ආයු කාලය අවු. 62 දක්වා අඩුවී ඇත. විවිධ ලෙඩ රෝගවලින් මියයන අයගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතී. සෞඛ්‍ය පහසුකම් නැතිවීම මූලික හේතුවයි. ජනගහණයෙන් සියයට 43කට පමණ පානීය ජල පහසුකම් නැත. සෞඛ්‍ය, අධ්‍යාපන, ගමනාගමන, විදුලිය, නිවාස පහසුකම් නැති ගම්මානවල ජනතාව ගෙවන්නේ ඉමහත් දුක්ඛිත දිවි පෙවෙතකි.  


පළාත් 17 පුරා නගර සභා, ගම් සභා, පළාත් සභා පිහිටුවා ඇත. ඒවාට මහජන නියෝජිතයන් දහස් ගණනක් පත්කරගෙන තිබේ. ඔවුන් නඩත්තු කිරීමට ජාතික ධනයෙන් අතිවිශාල ධනස්කන්දයක් වැය කරනු ලබයි. 1997 දී රාජ්‍ය සභාව හෙවත් පාර්ලිමේන්තුවේ තිබුණේ ආසන 99 කි. මේ වනවිට එම සංඛ්‍යාව 132 දක්වා වැඩිකර තිබේ. මන්ත්‍රී සංඛ්‍යාව වැඩිකර ඔවුන්ගේ දීමනා, වැටුප්, වරප්‍රසාද වැඩි කරනු ලැබ ඇතත් ජනතාවගේ පහසුකම් වැඩි කිරීමට කටයුතු කර නැත.  


ලංකාව වගේමය. මෙහි ද අධිකරණය දේශපාලන හොර දෙටුවන් දෙස බලන්නේ ඇස් වසාගෙනය. සුළු වරදක් කළ අසරණයන් එල්ලුම් ගස් යැවීමට ලාඕසයේ අධිකරණය ද හරිම දක්ෂය.  


පගා මරුවෝ  


සමූල ඝාතනය (GENOCIDE), මානව හිමිකම් කඩකිරීම, ආගමික නිදහස උල්ලංඝනය කිරීම ආදියෙන් නමක් දිනාගෙන සිටින ලාඕසයේ ආණ්ඩුව පවත්වාගෙන යන දේශපාලකයන් හැසිරෙන්නේ කුලප්පු හරකුන් වගේ යයි කියනු ලැබේ. රටේ දහදුක් විඳිමින් සිටි 200,000කට අධික පිරිසක් තායිලන්තයට පැනගොස් එහි නව දිවියක් ඇරැඹුවේ කොමියුනිස්ට් පාලනය එපාවෙලාය. වී, උක්, දුම්කොළ වගා බිම්වල ගිනි අව්වේ දුක් විඳින දස දහස් ගණනින් යුත් ජනතාවට මේ රට එපාවී අවසානය. වැඩිපුරම පුරවැසියන් රැකියා කරනුයේ මේ ගොවිබිම්වලය.  


එකම දේශපාලන පක්ෂය වූ එල්පීආර්පී පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමට පවා එහි ලොකු ලොක්කන්ට පගාව දෙන ක්‍රමයක් මෙහි ක්‍රියාත්මකය. රජයෙන් ඕනෑම වැඩක් කරගන්නට නම් මේ පක්ෂ සාමාජිකත්වය අත්‍යාවශ්‍ය බව කියනු ලැබේ. මෙහි දේශපාලකයන් ද රටේ සාරය උරා බොන්නේ ලේ මාපිලුන් වගේය. කූඩැල්ලන් වගේය. කිසිම හිරිකිතයකින් තොරවය. ජනතාව කඳුළු සලද්දී මේ රටේ ද දේශපාලකයන් ඔවුන්ගේ ඥාතීන් හා ආධාරකරුවන්ට රජ සැපය. රට කාබාසිනියා වුණේ මේ නිසාය.  

 


හොර තක්කඩි දේශපාළුවෝ ගසාකන හැටි  


2018 මාර්තු 15 දා නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ ලාඕසයේ හොර තක්කඩි දේශපාලකයන්ගේ ගසාකෑම් නිසා රජයට අහිමි වූ මුදල ඩොලර් මිලියන 44.8ක් බවය. ජනතාව සපයන අයබදු සාක්කුවේ දමා ගන්නා පාලකයන් ලාඕසයේ ද සිටින බව මින් පැහැදිලි වේ. 2016 වසරේ ද ඩොලර් මිලියන 50කට වැඩි මුදලක් ලාඕසයේ දේශපාළුවන් ගසාකෑ බව සඳහන්ය. මහජන දේපොළ සොරකම් කළ දේශපාලකයෝ මෙහි ද තවමත් විරාජමානව වැජඹෙති. වළ පල්ලට ගිය රටවල හැටි මෙහෙමය.  


උදාහරණයක් වශයෙන් මෙහි මහා මාර්ගයක කි.මී. 1ක දුර ප්‍රමාණයක් සඳහා වැයවන මුදල ඩොලර් 400,000 කි. ඒ සඳහා ඩොලර් මිලියන 1.7ක මුදලක් වැයවන බව ඇස්තමේන්තු කර මුදල් ගසාකන දේශපාලකයන් ලාඕසයේ ද සිටින බව කියන්නේ විදේශ මාධ්‍යයන්ය. ලාඕසයේ මාධ්‍යයන් නොවේ. ලාඕසයේ මාධ්‍යයන්ට මේවා පළකිරීම තහනම්ය.  

 

 

සිරි හීන්පැල්ල 
නිව්‌යෝර්ක් නුවර සිට ලියයි