අසිරිමත් කිතු උපත


අප ගැලවුම්කාරයාණන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිබඳව කල් ඇතිව සිහිපත් කළ සුභාරංචි පොතෙහි සඳහන් අනාවැකියක් මෙසේය.  


‘‘සමිදාණන් වහන්සේ නුඹලාට ලකුණුක් දෙන සේක. බලන්න, කන්‍යාවක් ගර්භනීව පුත්‍රයෙකු වදා එම්මානුවෙල් යන නාමය ඔහුට තබන්නේය.  


අපට ළදරුවෙක් උපන්නේය. එතුමා අපේ රජ වන සේක. එතුමා අසිරිමත් උපදේශකයාණෝය. පරාක්‍රමවත් දෙවියන් වහන්සේය. සදාතන පියාණෝය. සාමයේ කුමාරයාණෝය’’ (යෙසායා)  
දිවැස්වරුන්ගේ අනාවැකි සම්පූර්ණ වී ජේසුතුමාණන්ගේ අසිරිමත් උපත සිදුවන්නට අවශ්‍ය කටයුතු සූදානම් විය. ගාබ්‍රියෙල් දේවදූතයා කන්‍යාමරිය තුමියට මංගලම් කීමේ පණිවිඩය ශුද්ධ වූ ලූක්තුමාගේ සුවිශේෂයේ රමණීය ලෙසින් ඉදිරිපත් කර ඇත.  


‘‘සවැනි මස ගාබ්‍රියෙල් නම් ​ෙද්වදූතයා දෙවියන් වහන්සේ විසින් ගලීලියේ නාසරෙත් නම් නුවර විසූ දාවිත් රජ පරපුරෙන් පැවත එන ජෝසප් නම් මනුෂ්‍යයෙකුට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදි. ඒ කන්‍යාවගේ නම මරියාය. දේව දූතයා ඈ සිටි තැනට පැමිණ විපුල ප්‍රසාද ලත් උත්තමිය බවට මංගල වේ. ස්වාමීන් වහන්සේ ඔබ සමග යැයි කීය.’’  


එහෙත් ඒ වදන් අසා විවාහ ගිවිසුම් දී සිටි මේ කාන්තාව අතිශයින් කැලඹුණාය. ඇයට එය විශ්වාස කළ නොහැකි සිදුවීමක් විය.  


දේව දූතයා ඇයට කතා කොට ‘‘මරියාණෙනි බිය නොවන්න. ඔබ දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලද්දීය. ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්​ෙන්ය. උන්වහන්සේට ජේසු යන නාමය තබන්න. උන්වහන්සේ උතුම්ම මහෝත්තමයාණන්ගේ පුත්‍රයා යැයි කියවනු ලබන්නේය. උන් වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේ’’  


සම්ප්‍රදායික යුදා කාන්තාවක් වූ ඇය තිගැස්සී දේව දූතයාට කතා කොට ‘‘මට පුරුෂයෙකු නැති බැවින් මේක වන්නේ කෙසේ දැයි ඇසීය’’  


දේව දූතයා උත්තර දෙමින්,  


‘‘ශුද්ධාත්තමයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක. පර​මෝත්තමයාණන්ගේ අනුභාවද ඔබ වසා ගන්නේය. ඒ නිසා උපදින්නට සිටින තැනැත්තේ ශුද්ධය. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යැයි කියනු ලබන්නේය.’’   


මරියා ද,   


‘‘බැලුව මැනව ස්වාමීන් වහන්සේගේ දාසීයා ඔබගේ වචනය ලෙස මට මේවා යැයි කීවාය’’  


මෙහිදී ඔගස්ටස් අධිරාජ්‍යයා පැනවූ නියෝගයක් මත ජන සංගණනයක් පැවැත්වීම සඳහා ජෝසප් ද දාවිත්ගේ වංශයට අයත් බැවින් තම විවාහ බස් දී සිටි මරියා ද සමග ගලීලියේ නාසරෙත් නුවරින් පිටත්ව යුදයාවේ බෙත්ලෙහෙම් දාවිත්ගේ නුවරට ගියේය. මරියතුමී ජුසේ තුමා විසින් රැගෙන යනු ලබන දුෂ්කර ගමනේදී මරියතුමියගේ ප්‍රසව කාලය සම්පූර්ණ විය. තානායම් වල ඉඩ කඩ නොවූ බැවින් ඈ කුළුඳුල් පුත්‍රයා වදා රෙදිවලින් ඔතා ගවයන් තණ කන ඔරුවක තැබුවාය.  


එඬේරුන් රාත්‍රියේ බැටළු රැළ පරෙස්සම් කරමින් පිට්ටනියේ සිටියහ. ස්වාමීන් වහන්සේගේ තේජස ඔවුන් අවට බැබළිණ. ඔවුහු අතිශය බයට පත් වූහ.  


දේව දූතයා ඔවුනට කතා කොට,  


‘‘බය නොවෙල්ලා. මුළු සෙනඟට ඉමහත් ආනන්ද ජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි. මක් නිසාදයත් ස්වාමී වූ ක්‍රිස්තුස් නම් ගැලවුම්කාරයෙක් නුඹලාට දාවිත්තේ නුවර උපන් ​ෙස්ක. රෙදිවලින් ඔතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ළදරුවෙක් නුඹලාට සම්බ වන්නේය. මේක නුඹලාට ලකුණු යැයි කීවේය.’’  


එකෙනෙහිම දේව දූතයා සමග මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝය.  


‘‘ඉතා උසස් තැන්හි දෙවියන් වහන්සේට මහිමයද මෙලොවෙහි සුසිත් ජනයන්ට සාමයද වේවා’’  


එඬේරුන් එහි ගොස් ළදරුවා දුටුවෝය. දෙවියන් වහන්සේට ඔවුහු ප්‍රශංසා කළෝය.  


ශුද්ධ වූ මතෙව් තුමා ශාස්ත්‍රවන්තයන් තිදෙනාගේ පැමිණීම ආශ්චර්යවත් විලසින් සඳහනව් කරයි. ප්‍රභාෂ්වරව පායා ඇති වල්ගා තරුවක් දුටු ඔවුහු ඒ ඔස්සේ ජේසුස් වහන්සේ උපන් ස්ථානය සොයා පැමිණියෝය.  


‘‘පෙරදිග ඔවුන් දුටු තාරකාව ළදරුවා උපන් තැනට අවුත් ඉහළින් නවතින තුරු ඔවුනට පෙරටුවෙන් ගියේය. තාරකාව දැක ඔවුහු අතිශයින් ප්‍රීති ප්‍රමෝද වූහ. ඔවුහු ගෙට වැද ළදරුවා සිය මව වූ මරියා සමග සිටිනු දැක පසඟ පිහිටුවා වැද සිය කරඬු හැර රන් ද තුවරලා ද ගන්ද රසද යන පඬුරු උන්වහන්සේට පිදූහ.’’  


තමාට වඩා උසස් රජෙකුගේ උත්පත්තිය සිදු වූ බව දැනගත් හෙරෝද් රජ ශාස්ත්‍රවන්තයන්ගෙන් තොරතුරු නොලැබීම හේතුවෙන් කෝප වී කුඩා දරුවන් සියල්ලම මැරීමට අණ කළේය. ඔවුන් ගිය කල්හි ස්වාමීන් වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් ජෝසප්ට දර්ශනය වී,  


‘‘දරුවාද මැණියන්ද රැගෙන මිසරයට පලා ගොස් මා දන්වන තුරු එහි සිටින්නට අණකළේය.  


‘‘ඔහු රාත්‍රියේම ළදරුවාද මෑණියන්ද රැගෙන මිසරයට ගොස් හරෝද්ගේ මරණය තෙක් එහි සිටියෝය.  

 

 

 

 

 

 

 

 

 

 

කැනීෂියස් පලිහවඩන