අසර්බයිජානයේ තෙලෙන් ගසාකන දේශපාලුවෝ


වළපල්ලට ගිය රටවල්  

අසර්බයිජානයේ දුක්විඳින බහුතර ජනතාව

 

 

බංකොලොත් රටවල මා දුටුවේ ජනතාව පීඩාවට ලක් කර කාලකන්නි වින්දනයක් ලබන බඩ ගෝස්තරවාදී පාලකයින්ය. රටවල් ආරාජික වෙන්නේ ඒවායෙහි සොක්කන් ලොක්කන් වූ විටය. ඔවුහු ජනතා අභිලාෂයන් දේශපාලන පාවාඩයක් කරගනිති. ජනතාව උරණවෙන්නේ ඔවුන්ගේ අත්තනෝමතික ක්‍රියාවලටය. උරණ වූ ජනතාව උමතු කිරීම එම පාලකයින්ගේ වෑයමයි. අවිචාරවත් පාලකයින් උමතු වැඩ කරන බව ඔවුන්ට නොතේරේ.

   
එවැනි දේශයන්හි පුරවැසියන්ගේ සිත් වෙළාගෙන ඇත්තේ අවිනිශ්චිතතාව, සැකය, බිය හා සංත්‍රාසයයි. බොහෝ අසමත් රාජ්‍යයන්හි අර්බුද පිට අර්බුද පවතී. අභ්‍යන්තර සමගියක් නැත. හැමදාම ප්‍රචණ්ඩ අරගලය. බොහෝ රටවල් වනසන්නේ වර්ගභේදවාදය සහ ආගම්වාදයයි. ඒවායෙහි පාලකයින් යහ පැවැත්මට හා ආර්ථිකයට කර තිබෙන හානිය අපමණය.   


බලය පවත්වා ගෙනයාමේදී මහජන දේපොළ කොල්ලකෑමේදී සහ පවුල් බලය තහවුරු කරගැනීමේදී බොහෝ දේශපාලකයින් කුමන රටක වුවත් එක සමානය. අසාර්ථක දේශයන්හි උද්ධමනය ඉහළ යයි. වැටුපේ අගය අහසින් පො​ෙළාවට වැටෙයි. පාලකයින් සහනාධාර වෙනුවට විවිධ නිෂ්පාදන ඉහළ නැංවීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරයි. මේ රටවල බොහෝදුරට මා දුටුවේ අඳුරේ අතපත ගාන පාලකයින්ය.   


අසාර්ථක අස්ථාවර අසර්බයිජානය   


අද හඳුන්වාදෙනු ලබන්නේ අසාර්ථක අස්ථාවර අසර්බයිජාන් (AZERBAIJAN) ජනරජයයි. අසර්බයිජානය පිහිටා ඇත්තේ බටහිර ආසියාව සහ නැගෙනහිර යුරෝපය අතරය. රුසියාව, ජෝර්ජියාව, අර්මේනියාව සහ ඉරානය අසල්වැසි රාජ්‍යයන්ය. තුර්කියටද ඉතා කිට්ටුය. මෙය ලොව ප්‍රථම මුස්ලිම් රාජ්‍යය වන බව කියනු ලැබේ. සෝවියට් දේශය විසුරුවා හැරීමෙන් පසු 1991 අගෝස්තු 30දා වෙනම රාජ්‍යයක් බවට පත්විය. කැස්පියන් මුහුදෙන් හමන සුළඟ මෙහි රට වැසියන්ට සැපදායක නැත.   


පොදු ජනතාවගේ මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කරන රටවලින් මුල් තැනක් හිමි වී ඇත්තේ අසර්බයිජානයටය. මුළු ජනගහණයෙන් සියයට 85ක් ෂියා මුස්ලිම් ආගමිකයින්ය. සියයට 10ක් පමණ සුන්නි මුස්ලිම්වරුන්ය. මේ අතර රුසියානු භාෂාව ප්‍රමුඛ විවිධ භාෂා 12 ක් කතා කරන ජනවාර්ගිකයින් සිටින රටකි. ජනවාර්ගික අර්බුද නිතරම හටගන්නා දේශයකි.   


මෙහි වත්මන් ජනපති ඉල්හම් අලියෙව්ය. (ILHAM ALIYEV) ඔහුගේ පියා අසර්බයිජානයේ හිටපු ජනපතිය. හිටපු ජනාධිපති හෙයිඩර් අලියෙව් (HEYDER ALIYEV) මියයාමෙන් පසු පුතාට රටේ බලය හිමි විය. දීර්ඝ කාලයක් තිස්සේ මෙහි පවතින්නේ පවුල් පාලනයකි. රටේ විශාලත්වය ව.කි.මී. 86600 කි. එනම් ව.සැ. 23,400 කි. ජනගහණය එක් කෝටියකට මඳක් වැඩිය. හමුදා කුමන්ත්‍රණ කීපයක් මගින් විටින් විට පාලනය වෙනස්වූ රාජ්‍යයකි.   


තෙලෙන් ගසාකන දේශපාළුවෝ   


බොරතෙල් බැරල් මිලියන 15.5 කට වැඩි ප්‍රමාණයක් වසරකට නිපදවන මේ රාජ්‍යය අද ආර්ථික අතින් බිංදුවටම වැටී ඇත. තෙල් සම්පත හා ස්වභාවික ගෑස් හැරුණු විට රත්රන්, රිදී, යකඩ, තඹ, ක්රෝමියම්, ටයිටේනියම් වැනි ඛනිජ ද්‍රව්‍ය ඇති රටකි. රටේ හදන වයින් වලින් පවා ගසාකන දේශපාලකයින් සිටින ජනරජයකි. අර්තාපල්, කපු, දුම්කොළ, හොඳට වැවේ. මෙතරම් සම්පත් ඇති රටක් අගාධයට ඇදවැටුණේ කෙසේද? මෙහි වැඩිපුරම සිටිනුයේ තෙල් ආදායම සාක්කුවට දමාගන්නා දේශපාලකයින්ය.   


මෙහි මුළු ජනගහණයෙන් සියයට 49 ක් පමණ දරිද්‍රතාවයෙන් පෙළේ. ජනගහණයෙන් සියයට 37කට පමණ පිරිසිදු පානීය ජල පහසුකම් සපයා නැත. සෑම ළදරු උපත් 1000කදී ළදරුවෝ 23 කට වැඩි සංඛ්‍යාවක් උපතේදීම මියයති. ගමනාගමන, සෞඛ්‍ය, අධ්‍යාපන, විදුලිය ආදී පොදු පහසුකම් මෙතෙක් ලබාදී නැති ගම්මාන විශාල සංඛ්‍යාවකි. මෙහි රජයද මුල්තැන දී ඇත්තේ නවීන ක්‍රීඩාංගණ සහ අධිවේගී මාර්ග තැනීමටය. ජනතාවට පොදු පහසුකම් සැපයීමට නොවේ. කසළ බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවේ. රට පුරා බෝවෙන ලෙඩ රෝග ව්‍යාප්ත වෙමින් පවතින්නේ මේ නිසාය. මදුරු උවදුරද උග්‍රය. ශ්‍රමිකයින්ට අඩුම වැටුප් ගෙවන රටකි. විරැකියාව උග්‍ර වී ඇත. රැකියා නොමැති තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව ලක්ෂ 3 කට වැඩිය. ළමා ශ්‍රමිකයින් දහස් ගණනින් දුක් විඳින අයුරු දැකගත හැක.   


මේ විනාශ වෙමින් පවතින රට අතහැර යන අයගේ සංඛ්‍යාව දෙගුණ තෙගුණ වී ඇත. දේශපාලකයින් සිදුකරන මහා පරිමාණයේ දූෂණ වංචා උග්‍ර වී තිබේ. රටේද අසරණ ජනතාව උදෙසා එක නීතියක් සහ හොර දෙටු දේශපාළුවන් වෙනුවෙන් තවත් නීතියක් ක්‍රියාත්මකය. ඡන්දවලදී ජනතාවට දහසකුත් එකක් පොරොන්දුදී බලයට පත් වූ පසු ජනතාව නරකාදියට ඇද දමන දේශපාලකයින්ගෙන් අසර්බයිජානය පිරී පවතී. වසර 28 කට පෙර සෝවියට් පාලනයෙන් මිදුන රට තවම එතැනය.   


මෙන්න අසර්බයිජානයේ පවුල් පාලනය   


ලොව ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසූ රටවල් ගොඩ ගියේ නැත. රටේ ව්‍යවස්ථාව විහිළුවක් කරගත් ඊට අවනත නොවූ පාලකයින් සිටි රටවල් ඉදිරියට ගියේ නැත. මහජන දේපොළ පවුලේ සන්තර්පනය සඳහා යොදාගත් පාලකයින් සිටි රටවල්ද පාතාලයට ඇද වැටුණේය. අසර්බයිජානයට වුණේද ඒ ටිකමය. අසර්බයිජානයේ සැප විඳින්නේ සිය වරප්‍රසාද බුක්ති විඳින ප්‍රතිපත්තියක් නැති දේශපාලකයින්ය. හොර බිස්නස් කරන ව්‍යාපාරිකයින්ය. දේශපාළුවන්ගේ රැකවරණය හා ආශිර්වාදය ලබාගත් රජයේ ඉහළ නිලධාරීන්ය. හමුදා හා පොලිස් ප්‍රධානීන්ය. ලංකාවේ තත්ත්වයත් මෙහෙම නේද?   


1993 සිට 2003 දක්වා මෙහි ජනපති තනතුර දැරුවේ හෙයිඩර් අලියෙව්ය. වසර 10ක් තිස්සේ ඔහු ගෙනගියේ පවුල් පාලනයකි. ඔහු කේ.ජී.බී. (KGB) ඔත්තු සේවයේ අසර්බයිජාන් ඒකකයේ ප්‍රධානියාය. මාධ්‍ය මර්දනය කරමින්, දේශපාලන විරුද්ධවාදීන් මෙල්ල කරමින්, ඔහු ගෙන ගියේ ඒකාධිපති පාලනයකි. ඔහුට මැතිවරණ දූෂණ චෝදනා එල්ල විය. තම වාසිය තකා ව්‍යවස්ථාව සංශෝධනය කරගත් තවත් පාලකයෙකි.   


ඔහුගේ පුතා ඉල්හම්ය. ලේළි මෙහෙරිබන්ය. දියණිය ලයිලාය. ඔහු තම බිරිඳද රජයේ ඉහළ තනතුරු කීපයකට පත්කළේය. රටේ ආදායම් උපයන සියලු ප්‍රධාන ස්ථානවල පරිපාලනය සිදුකරන ලද්දේ මේ පවුලේ උදවියයි. අලියෙව් ප්‍රමුඛ ඔහුගේ ළමයි තිදෙනා ඩුබායිහි ඩොලර් මිලියන 75ක් වටිනා දේපොළ මිලට ගත් බවට අනාවරණය විය. මෙම ඩුබායි දේපොළ තම පවුලට හිමිවීම ගැන ජනපති හෙයිඩර් අලියෙව් මුනිවත රැක්කේය.   


පාලකයින්ගේ සල්ලි කඳු   


ඔහුගේ වැඩිමහල් දියණිය වන ලෙයිලා අලියෙව් රුසියාවේ අංක එකේ පොහොසතෙකු වූ කෝටිපති එමින් අගරාරොව් සමග විවාහවීම ජාත්‍යන්තර මාධ්‍යයන් හඳුන්වා දෙනු ලැබුවේ සල්ලි කඳු දෙකක් යාවීම වශයෙනි. ඔහුගේ බිරිඳ අසර්ෆෝන් (AZERFON) සහ අසෙන්කෝ (AZENCO) නැමති දුරකථන සමාගම් හා බැංකු සමූහයේ අයිතිකාරිය බව අනාවරණය කළේ වොෂින්ටන් පෝස්ට් පත්‍රයේ මාධ්‍යවේදී ඇන්ඩෲ හිගින්ස්ය. එහි ප්‍රාග්ධනය ඩොලර් බිලියන 3කට වැඩිය.   


දියණිය වූ ලෙයිලා අසර්බයිජානයේ මහා පරිමාණයේ වෙ​ෙළඳ ව්‍යාපාර 4 ක හිමිකාරියයි. ස්වීඩනයේ ජංගම දුරකථන සමාගම් දෙකක් වූ ටෙලියා සොනේරා (TELIA SONERA) සහ අසර්සෙල් (AZERCEL) ඩොලර් මිලියන 700කට මිලට ගත්තේ ඇයයි.   


මා මෙහි සඳහන් කළේ හිටපු ජනාධිපති හෙයිඩර් අලියෙව්ගේ පැටිකිරියෙන් සොච්චමක් පමණකි. මෙවැනි පාලකයින් ලොව බොහෝ රටවල සිටිති. අසර්බයිජානය අඳුරු අගාධයට ඇද වැටුණේ හිටපු ජනාධිපති හෙයිඩර් අලියෙව් මහජන දේපොළ සොරාකමින් උපයාගත් ධනය පවුල තරකර ගැනීමට යොදවා ගත් නිසාය. නීතියේ දෙවඟන ඇස් පියාගෙන සිටින තවත් රටකි මේ කියන අසර්බයිජානය. 

 
ජනපතිට කළ පව් පල දුන් හැටි   


හෙයිඩර් රුසියාවේ කේ.ජී.බී. (KGB) ඔත්තු සේවයේ ද සහාය ඇතිව බලයට පත් වී අසර්බයිජානය තුළ භීෂණය තීව්‍ර කිරීමට ක්‍රියා කළේය. ඔහු බලයට පත් වී අවුරුදු 10කට පසු ඔහුට එරෙහිව රට තුළ පැනනැගුණ ජනතා විරෝධය මැඩ පැවැත්වීමට 2003 අප්‍රේල් මස රූපවාහිනියේ සජීව විකාශනය තුළින් ජනතාව ඇමතීය. ඔහු තම ප්‍රකාශය ඉදිරිපත් කරද්දී සිහි නැතිව ඇදවැටුණේය. එම දර්ශනයද රූපවාහිනිය මගින් ප්‍රදර්ශනය කරනු ලැබීය. ඉන්පසු ඔහු රෝහල්ගත කරනු ලැබීය. ඔහුගේ වකුගඩු ක්‍රියා විරහිත විය. ප්‍රොස්ටේට් පිළිකාවෙන් ඔහු පීඩා වින්දේය. හෘද ස්පන්දනය උග්‍ර විය. 2003 දෙසැ 12 දා ඔහු මියගියේය. ජීවිතාන්තය තෙක් බලයේ රැඳී සිටීමට පෙරුම් පුරමින් සිටි ලොව තවත් පාලකයෙකුගේ ඉරණම එයයි.   


ඔහු රෝගාතුරවූ පසු නව අසර්බයිජාන් පක්ෂයේ නායකත්වයට ඔහුගේ පුතාවන ඉල්හම් අලියෙව් පත්කළේය. ඒ වනවිටත් 42 වැනි වියේ පසුවූ ඉල්හම් රටේ මර්මස්ථාන රාශියක පාලනය භාරව සිටියේය. තාත්තාගෙන් පුතාට රටේ පාලනය මාරුවුණේය. 2003 සිට මේ දක්වා වසර 16ක් තිස්සේ අසර්බයිජානය පාලනය කරන්නේ මේ ජනපති පුත්‍රයා සහ පවුලයි. අසර්බයිජානයේ පවුල් පාලනය තරවුණේ මෙසේය.   


2003 දී ජනපති තනතුරට පත් ඉල්හම් 2013 ඡන්දයෙන්ද ජය ගත්තේය. 2015 ජනවාරි 11 දා නිව්‌යෝර්ක් ටයිම්ස් (NEWYORK TIMES) පත්‍රයෙහි අසර්බයිජානයේ දේශපාලනය පිළිබඳ විශේෂ ලිපියක් පළවිය. අසර්බයිජානයේ අලියෙව්ගේ දෙබිඩි පිළිවෙත යන්න එම ලිපියෙහි සිරස්තලයයි. එම ලිපියෙහි අලියෙව් පවුල අසර්බයිජානයේ සිදුකළ දූෂණ වංචා පිළිබඳ දීර්ඝ විස්තරයක් සඳහන් වේ. 2003 අගෝස්තු 9 දින වොෂින්ටන් පෝස්ට් පුවත්පත RISE OF LEADERS SON (නායකයාගේ පුතාගේ නැගීම) යන සිරස්තලය යටතේ විශේෂ ලිපියක් පළ විය. ඉල්හම්ගේ පියා වූ හෙයිඩර් අලියෙව් හඳුන්වනු ලැබුවේ රතු තරුව (RED STAR) යනුවෙනි. 2013 වසරේදී මැක්සිකෝ නගරයේ ඉදිකර තිබූ ඔහුගේ යෝධ ප්‍රතිමාවක් මැක්සිකෝ රජය මගින් ඉවත් කරන ලදී.   


2012 සී.එන්.බී.සී. (CNBC) රූපවාහිනී මාධ්‍ය ජාලය මගින් අසර්බයිජානයේ අලියෙව් පවුලේ පැටිකිරිය පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිපදවා විසුරුවා හරිනු ලැබීය. එම වාර්තා චිත්‍රපටය නම් කර තිබුණේ FILTHY RICH ABOUT ALIYEVS FAMILY CORRUPTION යනුවෙනි. අසර්බයිජානයේ දේශපාලකයින් එරට තෙල් සම්පතින් ගසා කෑ අයුරුද අනාවරණය වී තිබේ. එහි රාජ්‍ය තෙල් නිෂ්පාදන ආයතනය හඳුන්වන්නේ සොකාර් (SOCAR) යනුවෙනි. තෙල්වලින් ලැබෙන ආදායම තැන්පත් කරන අරමුදල හඳුන්වන්නේ සොෆස් (SOFAZ) යනුවෙනි. මෙම තෙල් අරමුදලෙහි තිබූ ඩොලර් බිලියන 138ක මුදලින් දැනට ඉතිරි වී ඇත්තේ ඩොලර් බිලියන 38ක් පමණකි. ඉන් ඩොලර් බිලියන 100කට වැඩි මුදලක් වාෂ්ප වී අවසානය.   


බැංකුවලට පොලු තැබූ දේශපාලකයෝ   


අසර්බයිජානයේ බහුතර පුරවැසියන් කුසගින්නෙන්, දරිද්‍රතාවයෙන් විරැකියාවෙන් පීඩාවට පත් වී දුක් අඳෝනා නගද්දී ජනපති ප්‍රමුඛ පවුලේ පිරිස තෙල් සල්ලි යටිමඩි ගසා ඇති බව හෙළි වී තිබේ. 2015 සැප්තැම්බර් 10 දා යුරෝපා පාර්ලිමේන්තුවේදී අසර්බයිජානයේ අලියෙව් පවුලේ දූෂණ ක්‍රියා පිළිබඳ විමර්ශනයක් පැවැත්විය යුතු බවට යෝජනාවක්ද සම්මත විය. 2017 ජූලි 25 දා ‘ද ගාඩියන්’ පුවත්පතේ පළ වූ විශේෂ ලිපියක සිරස්තලය වූයේ අසර්බයිජානය පොහොසතුන් වඩාත් පොහොසත්වීම සහ දුප්පතුන්ට කිසිවක් නොලැබීම යන්නයි. රටේ පවතින ආර්ථික අවපාතය හේතුකොටගෙන අසර්බයිජානයේ ප්‍රධාන පෙළේ බැංකු 13ක්ම මේ වනවිටත් වසා දමා ඇත. මේවා දේශපාලකයින් විසින් පොලු තැබූ බැංකුය.   


තාත්තාගෙන් පුතාට පාලනය මාරුවුණ හැටි   


තාත්තා ජනාධිපති ධූරය දැරූ කාලයේදීම අසර්බයිජානයේ උප ජනාධිපති ධූරයද ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරයද, රාජ්‍ය තෙල් හා ගෑස් නිෂ්පාදන ආයතන වල සභාපති තනතුරුද දැරූ ඉල්හම් අලියෙව් ක්‍රමානුකූලව රටේ මුල් පුටුවට පත්වීමට මාර්ගය පාදා ගත්තේය. 2009 වර්ෂයේදී එරට පාර්ලිමේන්තුව මාර්ගයෙන් ජනාධිපතිවරයෙකුට එම ධූරය දැරීමට හැකි අවස්ථා සංඛ්‍යාව සීමා රහිත කරගැනීම මේ ඉල්හම් සිදුකරගත් ප්‍රථම ව්‍යවස්ථා සංශෝධනයයි. ඉන් රටට හෝ ජනතාවට වූ සෙතක් නැත.   


හතර වැනි වරටත් ජනපති පුටුවට පත්වූ අසර්බයිජානයේ හතර වැනි ජනපතිවූ ඉල්හම්ගේ පවුල ලන්ඩනයෙන් මිලට ගත් නිවාස සංකීර්ණය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යයන් මගින් විස්තර හෙළිකළේ 2019 අප්‍රේල් මාසයේදීය. එනම් මේ නුදුරු කාලයේදීය. මුදල් විශුද්ධිකරණය තුළින් මෙම ඩොලර් මිලියන 45කට වැඩි වටිනාකමකින් යුත් දේපොළ ලන්ඩන් නුවරින් මිලට ගත් බව හෙළි වී ඇතත් අලියෙව් පවුලට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැත. අසර්බයිජානයට ඇමෙරිකාව මගින් තෙල් අපනයනය සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක ඉවත්කරගැනීම සඳහා ඇමෙරිකාවේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු අසර්බයිජානයට ගෙන්වාගෙන ඔවුන්ට අල්ලස් ලබාදුන් බවට එහි ජනපතිට එරෙහිව චෝදනා එල්ල වී ඇතැයි 2013 මැයි මාසයේ හෙළිකරන ලද්දේ වොෂින්ටන් පෝස්ට් පත්‍රයයි. ලංකාවේ මෙන්ම ලොව බොහෝ රටවල දේශපාලකයින් සිදුකරන දූෂණ වංචා කාලයේ වැලි තලාවෙන් වැසීයන්නේ එම රටවල ජනතාවට කොකා පෙන්වමිනි.   

 

 


දේශපාලනය මුදල් උපයන රක්ෂාවක්ද?

   
දේශපාලනය මුදල් උපයන රක්ෂාවක් වශයෙන් සලකන දේශපාලකයින් සිටින හැම රටක්ම ප්‍රපාතයට ඇද වැටේ. අඳුරෙන් අඳුරට පත් වේ. එවැනි රටවල ජනතාවට දෙවි රැකවරණයක් ලැබෙන්නේ නැත. වත්මන් අසර්බයිජාන් ජනපති ඉල්හම් සහ ඔහුගේ බිරිඳ වූ මෙහරිබන් විසින් බ්‍රිතාන්‍යයේ හිලුක්ස්, එල්සීඑම්. මෙටස්ටාර් සහ පෝලක්ස් යන දැවැන්ත වෙ​ෙළඳ ව්‍යාපාර හරහා සිදුකළ ඩොලර් බිලියන 2.9 ක මුදල් විශුද්ධිකරණය (MONEY LAUNDERING) පිළිබඳවද ගාඩියන් පුවත්පත කළ හෙළිදරව්ව දැන් මහා ආන්දෝලනයක් බවට පත්වී තිබේ. මේ හෙළිදරව්වෙන් අසර්බයිජානය පාලනය කරන අලියෙව් පවුලට ගැලවීමට හැකිවේද?   

 

 

 

 සිරි හීන්පැල්ල 
නිව්‌යෝර්ක් නුවර සිට ලියයි