අසරණකමට කළත් පව පවමය


ජීවිතය යහ මගට ගැනීමට නිවරැදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.  


කඩවත මහර නුගේගොඩ ජයසේන හේවාපාත මහතා ලියා එවූ කතාවකි.  

අසරණකමට කළත් පව පවමය.  


අනවින කොඩවින හදි හූනියම්වලට දකුණු පළාතේම ප්‍රසිද්ධ රොමියෙල් කට්ටඩි මහතෙකි. මොහු මැතිරූ නූලක් පැන්නවීමෙන් කෙනෙකු කොර කරගත හැක. මැතිරූ භූමි පාළුවක් වත්තක වළ දැමීමෙන් ගෙහිමියන් එකා දෙන්නා දුක්විඳ අකාලයේ මියයන අතර වතුපිටි පාළුවී යයි. මැතිරූ තෙල් ටිකක් සතුරගේ ශරීර ගත කළහොත් ඔහු කෘශ වී දුක්විඳ මාස හයක් ඇතුළත මරණයට පත්වෙයි. ඒ ඔහු මැතිරූ තෙල්වලට කබර තෙල් ස්වල්පයක්ද මිශ්‍ර කරන නිසාය. ඒ බව දන්නේ ඔහුගේ හිතේෂී ගෝලයා පමණය. එකල මෙවැනි දෑ නිතරම ගම්වල සිදුවූ නිසා ඔහු සොයා එන්නන් ගෙන් අඩුවක් නොවීය.   


මවගේ මරණයෙන් පසු අඳුරු පාළු නිවසේ ඔහු තනියම වාසය කළේය. නිතරම බීමතින් සිටි ඔහු ගමේ කිසිවෙකු ඇසුරු නොකළේය. නමුත් මොහුගේ කෘෘරකම් දන්නා ගම්මු නිතරම මොහුට භය පක්ෂපාතී බවක් දැක්වීය. මෙම පාළු නිවසේ එක්වරම රුවැති කාන්තාවක් ගැවසෙනු දුටු ගම්මු පුදුමයට පත්වූහ. කොහෙන් හෝ වශී කරගෙන රැගෙනවිත් ඇතැයි තැන තැන මිමිණූහ. වයස තිහක් පමණ වූ රූමත් පැහැපත් නිතර සිනා මුසු මුහුණින් සිටින මෙම කාන්තාව නොබෝ දිනකින්ම අසල් වැසි සැම සමග කුලුපඟ විය. කුඩා දරුවන්ට මහත් ළැදි කමක් දැක්වූ ඇය ඔවුනට නිතරම රස කැවිල්ලක් හෝ පලතුරක් දීමට පුරුදුව සිටියාය. ඇගේ නම කමලා වුවත් අප ඇයට සුදු නැන්දා යයි කීවෙමු.  


අෑ පාළු අඳුරු නිවස පිළිසකර කර සුදුහුණු පිළියම් කරවූවාය. වත්ත පිටිය ශුද්ධ පවිත්‍ර කර මල් හා එළවළු සිටවූවාය. රොමියෙල් ගේ නිවස පිහිටියේ ඇළ රක්ෂිතයට ඉහත්තාවෙනි. රොමියෙල් ගේ පියා අස්වැද්දූ කුඹුරක් රක්ෂිතයේ වල් බිහිවී තිබුණි. සුදු නැන්දා මිනිසුන් යොදවා එහි නැවත වී වැපිරවීය. කට්ටඩි තැන ගෙදර පැමිණෙන්නේ දින තුන හතරකට වරක් බැවින් ඇය ගමට ගොස් තනි නොතනියට අවුරුදු පහක පමණ ඇගේ අක්කාගේ දුවණියක් රැගෙන ආවාය. නමුත් ඒ නංගි සුදු නැන්දාට අම්මා කියා අැමතුවාය.  


කට්ටඩි තැනට ඇති බිය නිසා රාජකාරියක් නොකරත් රක්ෂිතයේ වපුරා ඇති කුඹුර පරීක්ෂා කිරීමටත් ගමට අලුතෙන් පැමිණ ඇති කාන්තාවගේ විස්තර සොයා පොතේ සටහනක් ලියා තැබීමටත් කට්ටඩි තැන ගෙදර නොමැති අවස්ථාවක ගමේ රාලහාමි එහි ගියේය. සුදු නැන්දාගේ සිනාවටත් කතා විලාසයටත් නෙතග රැඳුණු නුරා බැල්මට රාලහාමිට ගිය කාරිය අමතක විය.  


දැනුම් තේරුම් ඇති අයකුගේ සහායක් කෙසේ හෝ ලබාගත නොහැකිව විස්සෝපයෙන් සිටි සුදු නැන්දාට දෙවියන් ගෙදරටම ගෙනත් දුන්නාක් මෙන් රාලහාමි හමුවිය. සුදු නැන්දා විගස තේ කෝප්පයක් සාදා දෑතින්ම ඔහුට එය පිළිගන්වා ඔහු අසළින්ම බිම වාඩිවී රාලහාමි ඇසීමටත් පෙර ඇගේ සත්‍ය කථාව රාලහාමිට පැවසුවේ ඉකිගසමිනි. දරුවා ඇගේ මුත් උප්පැන්න සහතිකයක් නොමැතිකමින් දරුවා පාසලකට අැතුළත් කරගැනීමට නොහැකි බැවින් උප්පැන්නයක් ලබාගැනීමට උදව් කරනා ලෙස අෑ ඉල්ලා සිටියේ දරුවාට අල්ලපු නිවසේ සෙල්ලම් කිරීමට යන ලෙස අණකරමිනි. ඇගේ සිතැඟි තේරුම්ගත් රාලහාමි ‘‘මේකනම් මහා බැරෑරුම් කාරියක් ළමයෝ’’ යයි පැවසුවේ තේ කොප්පය ආපසු දෙන ගමන් ඇගේ අතද මිරිකමිනි. රාලහාමි උප්පැන්න සහතිකයක් ලබාදීමට පොරොන්දු වූ අතර දෙදෙනාටම සතුටු වියහැකි කාරණා එහිදී සිදුවිය.  


මෙවැනි භාරදූර කාර්යයක් තමාට කිසිසේත් තනියම කළ නොහැකි බව දන්නා රාලහාමි නගරයේ තම මිත්‍ර පෙරකදෝරු ලියන්නා හමුවීමට ගියේය. තම අවශ්‍යතාව ඔහුට පැවසුයේ සුදු නැන්දා ගේ රූප ශ්‍රීය ගැන ද වර්ණනා කරමිනි. මිතුරාගේ උනන්දුව ඉදිරියේ සැඟවුණ යමක්‍ ඇති බව වටහාගත් ලියන්නා සියලු විස්තර දැනගැනීම සඳහා ඇය සෙනසුරාදා සවස රැගෙන එන ලෙස මිතුරාට දැන්වීය. රාලහාමි සෙනසුරාදා සවස සුදු නැන්දා සමග ලියන්නා වෙත ගොස් සියලු විස්තර ඔහුට පවසන මෙන් ඉල්ලා වෙනත් රාජකාරියක් සඳහා ගියේය. අගේ දැක්මෙනුත් බැල්මෙනුත් සියල්ල වටහාගත් ලියන්නා ඇගේ සියලු විස්තර වලට සවන් දී පළමුවෙන්ම ඔබ රොමියෙල් සමග විවාහ විය යුතුබව පැවසුයේ ඒ සඳහා ඇය ප්‍රතිඋපකාර කළයුතු ආකාරය ගැනද ඉඟියක් කරමිනි. සියල්ල ඇගේ යහපත පිණිසම සිදුවූ අතර ඔහුද ලැබූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තේය.  
ලියන්නාගේ උපදෙස් අනුව රොමියෙල් සමග නගරයට ගිය සුදු නැන්දා ඔහු හා විවාහ විය. ලියන්නා සහ රාලහාමි සාක්ෂියට අත්සන් තැබූහ. රොමියෙල් ඉතා සතුටින් මේ කාර්යයට සහභාගී වූ අතර රෙජිස්ට්‍රාර්වරයාට ගෙවිය යුතු මුදල් ගෙවා සියලු දෙනාටම විශේෂ සංග්‍රහයක් කළේය. සුදු නැන්දා කෙසේ හෝ මාස දෙකක් අැතුළත උප්පැන්න සහතිකය ලබාගෙන දරුවා පාසලකට ඇතුළත් කර ගත්තාය.  


සුදු නැන්දා දැන් දරුවා රැගෙන යයි. රැගෙන එයි. කුඹුර තුන්වන වරටද වැපිරුවාය. සියල්ල ඇගේ හිත සුව පිණිසම සිදුවන අතරතුර දින තුන හතරකින් ගෙදර පැමිණෙන රොමියෙල් සතියක් ඉක්මවීත් ගෙදර නොආවේය. ඔහු යනෙන තැන් කිසි දින නොපවසන බැවින් සොයාබැලීමේ මාර්ගයක්ද නොමැතිව සතියක් ඇය විස්සෝපයෙන් පසුවූවාය. රෝගියෙකු බැලීමට රෝහලට ගිය ගමේ ස්ත්‍රියක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ සිටින රොමියෙල් දැක සුදු නැන්දාට දැන්වීය. සුදු නැන්දා වහාම රෝහලට ගියාය.  
අසරණ තත්ත්වයෙන් සයනයේ උඩුකුරුව වැතිරී සිටි රොමියෙල් සුදු නැන්දා දුටු වහාම පැවසුයේ තමා කොඩිවිනයක් අස්කිරීම සඳහා මිනී වළක දපා යන්ත්‍ර මන්ත්‍ර ජපකර පුහුල කුකුළු බිල්ලද පන්දමද ගෙන නැවත ආතුරයා වෙත දුව එද්දී පාර වැරදී පාළු ළිඳකට වැටී ඇති බවය. ඔහුගේ කොන්ද කැඩී ඇති බැවින් අත පය පණ නැත. මාස හයක් පමණ රෝහලේ සිටිමුත් සුවයක් නොලැබ හෙයින් ඔහු ගෙදර රැගෙන එන්නට සිදු විය. කැත කුණු අදිමින් ඇය ඔහුට සියලු සාත්තු සාප්පායම් කළාය. රාත්‍රියට ඔහු නඟන අමනුෂ්‍ය හඬටත් අපිරිසිදුකමත් නිසා සුදු නැන්දාට දුවණිය නැවත ගමට යැවීමට සිදුවිය.  


ගෙදර එන්න එන්න අඟහිඟකම් වැඩි වීය. ගොයම් කපන කාලයට අෑ ගොයම් කැපීමට ගියාය. ඇගේ කුඹුර ඈ තනියම කපා පාගා ගත්තාය. අස්වැන්න ඉතා අල්පය. එනිසා ඈ මැදියමෙන් පසු ගෝනියක් රැගෙන දහවල් ගොයම් කැපූ කුඹුරට ගියාය. ගෝනිය පිරෙන තෙක් කපා දැමූ ගොයම් පිඩු පුරවා ගෙන ගෙදර ගෙනවිත් එළි වෙන්නට පෙරාතුව එ්වා පාගා පිදුරු ටිකද පුච්චා දැමුවාය. ඉන්පසු ගෝනිය රැගෙන පන්සල් වත්තට රිංගා වැටී ඇති පොල් අහුලා ගෙන ආවේ හිමිවරු පිබිදීමට පෙරය. කුඹුරු වැඩ නොමැති කළ ඈ ඇලේ මාළු කොටා විකුණා ​ෙසාච්චම් මුදලක් සොයා ගත්තාය.  


දිනක් ඇලේ මාළු කොටමින් යන සුදු නැන්දාට ලියන්නා හමුවිය. මාසයක් මාළු කොටා උපයනවාට වඩා වැඩි මුදලක් දිනකින් උපයා ගත හැකි ක්‍රමයක් ඈට ඔහු කියා දුන්නේය. ඒ මාළු කොටමින් යනවිට හමුවන ඉබ්බන් අල්ලා ගෙනගොස් වළක දමා තබා සෙනසුරාදාට ඒවා​ නගරයට ගෙන එන ලෙසට. ඊළඟ​ සෙනසුරාදා වනවිට අෑ ඉබ්බන් හතර දෙනෙකු වළට දමා තිබුණි. උන් අල්ලා ගෝනියකට දැමූ ඈ ​ෙගා්නියේ කට බැඳ එම ගෝනිය තවත් ගෝනියකට දමා ඊට උඩින් පොල් ගෙඩි හතරක් පහක් දමා එය හිස මත තබා ගෙන පයින්ම නගරයට ගියාය. පැය භාගයක් යාමටත් පෙර ලියන්නා අැයට අෑ කිසිසේත් බලාපොරොත්තු නොවූ තරම් මුදලක් අතට පත් කළේය.  


මාස හයක් පමණ මෙම ක්‍රමය කරගෙන යනවිට සුදු නැන්දා අත මුදල් ගැවසෙන්නට වීය. අෑ දැන් ගොයම් කපන්නට යන්නේ නැත. නමුත් පන්සල් වත්තට රිංගයි. ඒ පොල් ඇසිලීමටත් වඩා පන්සලේ ​ෙපාකුණ අසල ඉබ්බන් ගැවසෙන නිසාය. එක් අවසානාවන්ත සෙනසුරාදා දිනක අෑ ගෝනියද හිස මත තබාගෙන නගරය කරා යාමට ඉක්මන් ගමනින් ඇළ නියර උඩින් ගමන් කරද්දී පය ලිස්සා වෙල් ඉපණැල්ල මතට ඇද වැටුණාය. ඇගේම කරුමය අෑ වැටී තිබුණේ ගොදුරකට මාන බලමින් සිටි තඩි ​ෙපාළඟෙකු මතටය. ඈ දෙතුන් වරක් හපා කෑමෙන් ඌ ඌගේ තරහා පිරිමසා ගත්තේය.  


පසුදින කුඹුරට යන ගොවියෙකු සුදු නැන්දා දකින විට ඇගේ ඇස් පැලී ලේ ගලමින් තිබූ අතර සිරුරද ඉදිමී තිබුණි. වහාම රාලහාමිට සිද්ධිය දැන්වූ අතර රාලහාමි පොලිසියටද ලියන්නාටද දැන්විය. ඇගේ ඉදිමිණු සිරුර දැකීමෙන් ලියන්නාගේ සිත සසල වී ගියද ගෝනිය දැකීමෙන් ඔහුගේ විඥානය අවදි විය. වහාම අසල සිටි කොලුවකු අත රුපියලක් තබා ගෝනිය රැගෙන ගොස් කට්ටඩි ​ගෙදර තබන ලෙස පවසා ඔහුද ඒ පසුපසුම ගියේය. කොලුවා ගිය වහාම ගෝනිය ලිහා ඉබ්බන් නිදහස් කළ ඔහු අෑට අත්වීමට තිබූ විශාල අපකීර්තියකින් ඇගේ ආත්මය බේරා ගත්තේය.  

 



මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලිය එවූ කතාවක් මෙසේය.  

ගම වැනසූ සුන්දරා වස බී මළේය.  


දැනට දශක කීපයකට පමණ පෙර ගමේ දියුණුවක් දක්නට නොලැබුණත් සොබාසිරියෙන් අගතැන්පත්ව තිබුණි. රන්වන් කරලින් බරවූ කෙත්වතු, දියඇලි, සතා සීපාවා, කුරුලු කොබෙයියන්ගේ ගී හඬින් සුන්දර චමත්කාර දසුනෙන් පිරි ගමේ සිරියාව ගම්වැසි හැමදෙනාට ලැබදුන්නේ ඉමිහිරි මිහිරියාවකි. 


වසවිස අඩංගු පොහොර හා කෘමිනාශක ද්‍රව්‍යයන් භාවිතයේ නොතිබුණ නිසා රථවාහන අනතුරු වලින් සිදුවෙන අකල් මරණ සිදුවුනේ නැත. සියවසක් පවා ජීවත් වූ ගම්වැසියන්ද ගම්දනව්වල ජීවත් වූ බව නොරහසකි. පන්සලේ හාමුදුරුවන් ප්‍රමුඛ ගුරුතුමා වෙදමහතා දෛවඥ මහතා කට්ටඩි මහතා අැතුළු ප්‍රභූන් ගමේ උන්නතිය උදෙසා නිතරම නොමිලයේ තම සේවය දුන්හ. ගමේ හොරමැරකමක් සිදුවූවත් ඒ කලාතුරකිනි. එහෙත් ‘‘පැණිවරකාවටත් හෙණ ගහන්නා සේ නාහෙට නාහන’’ අවලමුන්ද ගම්තුලාවේ නොසිටියා නොවේ. ගමේ හොරසුරා පෙරා විකුණා ජීවත්වෙන සුළු සුළු හොරකම් කරන සුන්දරා ද එවැන්නෙකි. තම වියපත් මවුපියන්ට පවා හිරිහැර කරන සුන්දරා ගමේ කෙල්ලන්ට පවා උසුළු විසුළු කළත් කිසිම එකියක් මොහු සමග සබඳකමක් දැක්වීමට කැමැත්තක් නොදැක්වූයේ සුන්දරාගේ වනචරකම් ඉහවහා ගොස් තිබුණ බැවිනි. මෙම පාපතරයා මා දීග කෑමට වඩා යකෙක් බැඳගෙන ජීවත්වීම වඩාත් හොඳයැයි කෙල්ලන් සිතුවා විය හැක.  


ගොවිතැනක් බතක් කරගෙන වත්ත පිටියේ වගාවක් කර තියාගෙන පිටගමකින් හෝ හොඳ හැදිච්ච එකියක් කපුවෙකු ලවා හොයාගෙන විවාහ වී අපිවත් බලාගෙන හොඳින් රටේ හිටින්න බලපන් යයි තම වියපත් දෙමවුපියන් සුන්දරාට පැවසුවේ වරක් දෙවරක් නොවේ. තඹ සතේකට ඔහු ගණන් ගන්නා බවක් පෙනුණේ නැත. මේ අතර දිනක් නානතොටේ ගමේ ළාබාල කෙල්ලෙකුට නො​ෙහාබිනා අන්දමට විහිළු කළ සුන්දරා වැටුණේ ලොකු අමාරුවකය. ‘‘ආ නංගී කොහොමද?’’ කියා ඔහු ඇගේ අතින් ඇල්ලුවා පමණි. බේබද්දාට බියවූ ඇය මර ළතෝනි දී ගෙදර දුව ගොස් සුන්දරා තමාට හිරිහැර කළබව මවට පැවසුවාය. කලබලයට පත් දැරියගේ මව ඇය සමග ළඟම ඇති ​පොලිසිටය ගොස් පැමිණිලි ක​ෙළ් සුන්දරාට හොඳ පාඩමක් උගන්වන අදහසිනි. දැරියගේ මව ඇය පොලිසි ගිය බව දැනගත් සුන්දරා ඉමහත් බියට පත්විය. එකට කාබී සිටි තම සගයින්ද ඔහුගේ බිය වැඩි කළා මිස ඔහුට සහනයක් ලබානොදුන්නේ. ඔහු කළ වැඩේ වැරදි බැවිනි. හිරේ විලංගුවේ වැටෙනවාට වඩා තම ජීවිතය නැතිකර ගැනීම හොඳයැයි සිතූ සුන්දරා වස කුප්පියක් මිලට ගෙන විත් පානය කර ජීවිතයෙන් සමුගත්තේය. දැරියට කිසිදු අපයෝජනයක් සිදුව නැති බව වෛද්‍ය වාර්තා වලින් පෙන්වා දී තිබුණත් ඒ වනවිට පෙරහර ගොස් හමාර වී තිබුණි.  
මෙබදු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.  

 

 

 

සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්