අවුරුදු තුනක්ම පාසල් නොගියත් ශිෂ්‍යත්වය සමත් වූ දරුවෙක්


උපතින්ම දෘෂ්‍යාබාධිතයි. මේ ​ෙවන විට සැත්කම් 26කට මුහුණ දීලා

 

 

“විශේෂිත දරුවෙක් ... 

අගය කළ යුතු දරුවෙක්..... 
වටිනා දරුවෙක්.. 
දක්ෂ දරුවෙක්.. 

ඒත් ඔහු පිළිබඳව කිසිම තැනක සඳහන් වුණේ නෑ. තවත් දරුවන්ට ආදර්ශයක් වෙනුවෙන් විශේෂ අවශ්‍යතා සහිත දක්ෂ දූ පුතුන් පිළිබඳව අපි සමාජය දැනුවත් කළ යුතුයි.”‍ ආබාධ සහිත වූවන් ගේ සංගමයේ කුරුණෑගල දිස්ත්‍රික් සභාපතිවරයා එලෙස අප සමග කීවේය. 


අපි ඔහු සොයා ගියෙමු. Covid වසංගතය හේතුවෙන් පාසල් අධ්‍යාපනය කඩා වැටෙතැයි බියෙන් පසුවන දරුවන්ට සහ මව්පියන්ට අලු‍තින් හිතන්නට, පණිවිඩයක් දෙන්නට, කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී විද්‍යාලයේ විශේෂිත දරුවෙක් සමත් වෙයි. 


ඔහු මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 178ක් ලබා ගනිමින් සමත් වූ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකි. 


දෘශ්‍යාබාධිතව මෙලොව එළිය දකින ඊ.ඒ. උදිත ශාලු‍ක හේෂාන් සිල්වා ශිෂ්‍යයා 2020 වසරේ දී පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියේ, ගැටලු රාශියක් මධ්‍යයේ ය. 


පහේ කඩඉම් විභාගයට ඉදිරිපත් ​ෙවන්නට වසර 5ක අධ්‍යයන කාලයක නිරත විය යුතුය. ඒ කාලයත් මදි යැයි සිතන වර්තමානයේ බොහෝ මවුපියන් දරුවන් අමතර පන්ති ගණනාවකට රෑ දවල් දෙකෙහි රැගෙන යති. පොත් හල වල ඇති පොත්, ප්‍රශ්න පත්තර ගණනාවක් ගොඩ ගසමින් දරුවන්ගේ හිස මත තබන යුගයක, උදිත දරුවා පාසල් ගියේ ද වසර එකක් වැනි කෙටි කාලයකි. 


අවුරුදු තුනක්ම ඔහු පාසල් ගොස් නැත. ඒ කාලය තුළ දී ඔහුගේ නවාතැන් පළ වී තිබුණේ, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ ඇස්වාට්ටුව යි. 


සෑම මව්පියෙක්ම තම දරුවන්ට දැනුම, නිරෝගීකම, පෝෂණය ලබා දෙන්නට නොකරන දෙයක් නැත. උදිතගේ පියා ද දිනපතා තමාට ලැබෙන ඇඳුම් මහමින් ලැබෙන මුදල් වියදම් කෙරුවේ උදිතට මෙලොව එළිය දැකීමට සැලැස්වීමට ය. ඔහු වෙනුවෙන් කළ හැකි සෑම ප්‍රතිකාරයක් ම කළහ. ඒ ප්‍රතිකාර අතරතුර උදිත දරුවා සැත්කම් 26 කට මුහුණ දුන්නේ ය. එහෙත් උදිත ගේ දෑස් විවර කරවන්නට, දෙමව්පියන් නොව වෛද්‍යවරුන්වත් සමත් වූයේ නැත. 


වසර තුනක කාලයක් ප්‍රතිකාර කරන අතරතුර මව උදිතගේ නැණස පාදන්නට උත්සාහ කළාය. පාසලේ විශේෂ අධ්‍යාපන ඒකකය සතුව තිබූ recorder යන්ත්‍රය හරහා පාසලේ උගන්වන ඇතැම් පාඩම් කොටස් රෙකෝඩ් කර දරුවාට අසන්නට සැලැස්වීය. ඔහුට ඇසෙන්නට පොත් පත් කියවීය. මේ සියලු‍ දේට සවන්දෙන උදිත පුතා සැත්කම්වලින් ලද වේදනාවන් සමනය කර ගනිමින් මවට සවන් දුන්නේ ය. මව කියා දුන් පාඩම් හොඳින් අවධාරණය කර ගත්තේය. පාසලේ 4වසර අන්තිම වාරය ​ෙවන විට ඔහුට පාසල් යාමට හැකි තත්ත්වයට පත් විය. 


එහෙත් ඔහුගේ සම වයසේ සිටි දරුවන් ඔහුට වඩා ගොඩාක් විෂය කරුණුවලින් එහාට ගොස් සිටියහ. මේ පිළිබඳව අවධානය යොමු කළ පාසලේ විදුහල්පති, ගුරුවරු ඇතුළු උදිතගේ පන්තියේ යහළුවන් ද උදිතට ඉගෙන ගැනීමට උදව් උපකාර කළහ. ප්‍රදේශයේ අමතර පන්ති කළ ගුරුවරයෙකු ද නොමිලේම උදිත පුතාගේ පාඩම්වලට උදව් කළේ ය. 


ඉතාමත් අඩු පහසුකම් සහ බාධක මැද්දේ, අවුරුදු පහෙන් අවුරුද්දක් පමණ අධ්‍යාපනය ලබාගෙන, සාමාන්‍ය සිසුන් අතරේ විභාගයට පෙනී සිටිමින් ලකුණු 178 ලබා ගනිමින් ශිෂ්‍යත්ව කඩඉම පසු කරන්නට ඔහු සමත් වූයේය. 


ඉවසීම, ධෛර්යය හා කැපවීම මත සම වයසේ දරුවන් අභිභවා යන උදිත දරුවාගේ ඊළඟ අභියෝගය වී ඇත්තේ කුලියපිටිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීම ය. එහෙත් ඒ විද්‍යාලයට ඇතුළු ​ෙවන විට ඔහු මෙතෙක් උපකාර ගත් කුලියාපිටිය සුභාරතී විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ උපකරණ ආපසු භාර දිය යුතුව ඇත. ඒ නිසා උදිත පුතා පරිත්‍යාගශීලීන්ගෙන් බලාපොරොත්තු ​ෙවන දෙයක් තිබෙන බව අප සමග කීවේය. 


“මගේ තාත්තා ටේලර්වරයෙකු නිසා මට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න එයාට බැහැ. මේ වෙන කොටත් එයා මං වෙනුවෙන් ගොඩක් මුදල් වියදම් කරලා දැන් ආර්ථික අපහසුතා මැද්දේ ඉන්නේ. මගේ අක්කා, අයියා ඉන්නවා එයාලා තව ඉගෙන ගන්නවා. ඒ නිසා ඒ ඔක්කොම කරන්න තාත්තට පුළුවන් කමක් නෑ. 
මට අකුරු කරන්නට බ්‍රේල් මැෂින් එකකුත්, උගන්වන දේ රෙකෝඩ් කරන්නට recorder එකකුත්, ඉගෙන ගන්නට පරිගණකයකුත් තිබුණොත් වඩාත් පහසුයි. මගේ බලාපොරොත්තුව මේ සමාජයට වැඩදායී පුද්ගලයෙකු බවට පත්වීමයි. ඒ සඳහා මම ගුරුවරයෙක් වීමට බලාපොරොත්තුවෙන් අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යනවා” යැයි ඔහු කීවේය.

 

කුරුණෑගල චාන්දනී දිසානායක