අවම බස් ගාස්තුව ශත 5 යි!


 

අප එදිනෙදා ගනුදෙනු සඳහා භාවිතා කරන මුදල් ඒකකය රුපියල් හා ශත වශයෙන් කොටස් දෙකකි. ශත 100 ක් රුපියල් එකකි. මෙම මුදල් ක්‍රමය ආරම්භ කෙරුණු මුල් කාලයේදී එනම් 1942 දී පමණ ශතයේ ඒකකයන් සඳහා වැඩි වටිනාකමක් තිබුණි. බොහෝ දුරට ගනුදෙනු සඳහා ශත භාවිතාවුණි. කාසි ඒකකයක් ශත 1/4, ශත 1/2, ශත 1, ශත 2, ශත 5 වශයෙන් වූ අතර, ඉහළ ගනුදෙනු සඳහා ශත 10, ශත 25 නෝට්ටු යොදා ගැණුනි. පසු කාලයේදී ශත 10, ශත 25 හා ශත 50 සඳහාද කාසි නිකුත් කරන ලදී.   


මෙයාකාරයේ මූල්‍යමය වාතාවරණයක් පැවැති දැනට දශක පහකට පමණ ඉහතදී අවම බස් ගාස්තුව ශත 5 ක් විය. බොරැල්ල සිට නාරාහේන්පිට බස් ගාස්තුව ශත 5 ක් විය. වැල්ලම්පිටියේ සිට කොළොන්නාවට බස් ගාස්තුව ශත 5 ක් විය. පිටකොටුවේ සිට මිද්දෙණියට බස් ගාස්තුව රුපියල් 4 ශත 80 ක් විය. එකල රෙදි යාරයක් රුපියල් 2 ශත 12 ක් විය. කිරි තේ එකක් ශත 5 ක් විය. මම පාසල් යන කාලයේ එනම් 1970 ගණන්වලදී අමතර පංතිවලට පාසල් කාල​යෙන් පසුව නවතින දිනවලදී වීරකැටිය මැදි විදුහල ඉදිරිපිට තිබුණු පියදාස අයියාගේ තේ කඩෙන් පාන් කාලක් වඩේ එකක් කාලා තේ එකක් බොන්න වියදම් වුණේ ශත 10 කි. මේ අනුව බලන කල ගනුදෙනු සඳහා ශත භාවිතය වැඩි වශයෙන් සිදුවිය. රුපියල් භාවිතය සිදුවූයේ වැඩි වටිනාකමකින් යුත් ගනුදෙනු සඳහා පමණි. 


නමුත් අද වෙනවිට අවම බස් ගැස්තුව රුපියල් 14 කි. මෙයට වසර 50කට පමණ පෙර ශත 5 කින් කළ ගනුදෙනු කරන්නන්ට දැන් රුපියල් 14ක් අවශ්‍ය වේ. මෙයින් පැහැදිලිවෙන කරුණ නම් මුදල් ඒකකයේ වටිනාකම අඩුවී ඇති බවයි. මුදලේ ක්‍රය ශක්තිය අඩුවී ඇති බවයි. වෙනත් වචනයකින් කිවහොත් භාණ්ඩවල මිල මට්ටම ඉහළ ගොස් ඇති බවයි. මුදලේ වටිනාකම අඩුවීමත් පාරි​​භෝජන භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් ඉහළ යාමත් ආර්ථික උද්ධමනය වශයෙන් හැඳින්වේ. 


ක්‍රම ක්‍රමයෙන් මෙරට ආර්ථික උද්ධමනකාරීත්වය වැඩිවීමත් සමග ශීඝ්‍රයෙන් භාණ්ඩ හා සේවා මිල මට්ටම් වැඩිවෙන්න පටන් ගැණිනි. දේශීය නිෂ්පාදනයන් පහත වැටීමත්, භාණ්ඩ ආනයනය වැඩිවීමත් හේතුවෙන් මෙරට දළ ජාතික ආදායමෙන් වැඩි කොටසක් පිටරටවලට ඇදී ගියේය. ආර්ථික ප්‍රශ්න දිනෙන් දින උග්‍රවීමත්, විවෘත වෙළෙඳපොළ අර්ථ ක්‍රමයකට හැඩ ගැසීමත් දේශීය නිෂ්පාදනයන් නොසලකා හැරීමත් හේතුවෙන් දල ජාතික නිෂ්පාදිතය අඩු මට්ටමකට වැටීමත් විදේශ විනිමය ඌණතාවන්ට මුහුණ පෑමක් හේතුවෙන් විවිධාකාරයේ ආර්ථික හා සාමාජීය ප්‍රශ්න ගණනාවක්ම ජනිත විය. 


අප දැනට මුහුණපා සිටින උද්ධමනකාරීත්වයේ බැරෑරුම්කම හේතුවෙන් මුදලේ අගය ඉතා ශීඝ්‍රයෙන් අඩුව ගොස් ඇත. කිසිම භාණ්ඩයක හෝ සේවාවක මිල ශතවලින් ප්‍රකාශ කළ හැකි තත්ත්වයක් අද වෙනවිට නොමැත. මේ හේතුව නිසා ශත භාවිතය ක්‍රමයෙන් බැහැරව යන තත්ත්වයක් පවතී. 


ශත ගණන් පමණක් නොව අද අපි වෙළෙඳසලකට ගොස් භාණ්ඩයක් මිලදී ගත්විට හෝ බසයෙන් ගමන් කිරීමට මුදල් ගෙවා ටිකට් පතක් ලබාගත් විට ඉතිරිවෙන රුපියලක මුදල පවා ලබාගැනීමට නොහැකිවෙන අවස්ථා බෙහෙවින් ඇත. රු. 14 ක බස් ගාස්තුව වෙනුවෙන් රු. 15 ක් කොන්දොස්තරට දුන් විට ඉතිරි රු. 1 ක මුදල බොහෝ විට ලැබෙන්නේ නැත. ඇතැම් අවස්ථාවල දිළින්දන්ට වුවද ශතයේ කාසිවලින් කිසියම් මුදලක් දුන්නහොත් ඔවුන් අසතුටුවනු දක්නට ලැබේ. 


මේ අනුව බලන කල කිසිදු වටිනාකමක් නැති ශත භාවිතය තවදුරටත් අපේ ගනුදෙනු සඳහා තබා ගනිමින්, වෙ​ෙළඳ මිල ගණන් අතරේ පවත්වා ගෙන යාමෙන් වෙළෙන්දන් හා බදු මුදල් රැස්කරන්නන් අනිසි අන්දමින් වාසි ලබා ගන්නවා විනා මහජනතාවට වෙන සෙතක් නොවේ. 


රජයේ ආයතන හා පුද්ගලික ආයතනවල වැටුප් පත්‍රිකාවලින්ද, වෙනත් ගෙවීම්වලින්ද ශතයේ වටිනාකම් ඉවත් ​කොට ආසන්න රුපියල් එකකයට ගණනය කිරීම තුළින් ඒ ඒ ආයතනවලටත්, සේවකයන්ටත් ගනුදෙනු වඩාත් සරලාකාරයෙන් පවත්වා ගෙන යෑමට හැකිවනු ඇත. 


ආර්ථික උද්ධමනකාරීත්වයේ බැරෑරුම් තත්ත්වයකදී මිනිසුන්ට මුදල් කෙරෙහි ඇති විශ්වාසය කෙමෙන් අඩුව යන හෙයින්, ඔවුන් මුදල්වලින් පලා යෑමට තැත් කරති. මුදල් රැස්කර තබා ගැනීම වෙනුවට වත්කම් හා ආයෝජන භාණ්ඩ කෙරෙහි ඔවුන් යොමු වෙති. ඇතැමුන් විදෙස් බැංකු ගිණුම් පවත්වාගෙන යති. මේ අනුව ශත පමණක් නොව රුපියල කෙරෙහිද බො​හොමයක් දෙනාගේ උනන්දුව හා පිළිගැනීම ඉතා අඩු මට්ටමක පවතින බව පෙනේ.

 

 

මීගස්ආරේ ගුණපාල වික්‍රමආරච්චි