අවනීතිය රජකරවන දේශපාලකතුමා


ජනතාවට සේවය කිරීමට යැයි පවසමින් විවිධ පොරොන්දු දී ජනතාවගේම ඡන්දයෙන් බලයට පැමිණෙන දේශපාලනඥයා පසුව සිදුකරනු ලබන්නේද ජනතාව පීඩාවට පත් කරන ක්‍රියාකාරකම්ය. දේශපාලනඥයා සිදුකරන නීතිවිරෝධී ජාවාරම් හරහා තමන්ගේ සාක්කුවට වැටෙන මුදල කොපමණද යන්න මිස ජනතාවට සිදුවෙන පීඩාව කොපමණදැයි යන්න ඔහුට වැදගත් වන්නේම නැත.
දුෂ්කර පළාතක යහපාලන දේශපාලනඥයකු විසින් සිදුකරනු ලබන ව්‍යාපාරයක් නිසා ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. ඒ ඔහුගේ ඥාතියකුගේ නමින් පවත්වාගෙන යන මහා පරිමාණ කළුගල් ව්‍යාපෘතියකි.


 වසර ගණනාවක් තිස්සේ දේශපානනඥයා විසින් පවත්වාගෙන යනු ලබන මෙම ව්‍යාපාරය නිසා එම ස්ථානයේ නිර්මාණය වී ඇත්තේ මහා ආගාධයකි. එය බොහෝ විට පුංචි ලෝකාන්තයකි. එම ස්ථානයේ සිදුවෙන අනතුරු හා එයින් නැගෙන ශබ්දය හා පරිසර දූෂණය නිසා ජනතාව මහත් දුෂ්කරතාවට පත්ව සිටියද ඒ සඳහා ක්‍රියා කළ යුතු රාජ්‍ය ආයතන හා පරිසර ආයතනද නිහඬය.


ප්‍රදේශයේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධනය වැනි ව්‍යාපෘතිවලදී දේශපාලනඥයාගේ කළුගල් ලබා ගැනීම අනිවාර්යය. මේ නිසා රජයේ ව්‍යාපෘතිවලට නිෂ්පාදන සැපයීම ඒකාධිකාරියක් බවට පත්කර ගෙන සිටින දේශපාලනඥයා රජයටම සේවය සපයන ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නීතියට පටහැනිවය.


රාජ්‍ය දේපල අවභාවිතය පිළිබඳව මහා හඬක් නැගුවද තමා බලයට පත්වීමෙන් පසුව රාජ්‍ය දේපල රිසි සේ අවභාවිතා කළේය. දේශපාලනඥයාට අයත් අමාත්‍යාංශයක වාහන රිසි සේ භාවිතා කරමින් දේශපාලනඥයාගේ ළඟම ඥාතියෙකු බීමත්ව රිය පදවා මේ වන විට අනතුරු ගණනාවක් සිදුකර කිහිප දෙනෙකු මරණයට පත්කර තිබේ. එහෙත් දේශපාලකයාගේ බලපෑම මත ඥාතියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමක්ද සිදුනොවේ.


 දේශපාලනයට පැමිණි මුල් කාලයේම ද්විත්ව මිනිස් ඝාතනයකටද දේශපාලනඥයාට චෝදනා එල්ල වුවත් දේශපාලන බලයෙන්ම ඒවා යටපත් කිරීමට දේශපාලනඥයාට හැකි විය. තම කණ්ඩායමට එරෙහිව සමුපකාර මැතිවරණයකට ඉදිරිපත් වූ පුද්ගලයෙකුගෙන් දේශපාලනඥයා පළිගත්තේ ප්‍රදේශයේ පිහිටි සතිපොළේ ඔහුට වෙළෙඳාම් කිරීම තහනම් කරමිනි. දේශපාලනඥයාට එරෙහිව ගිය වරදට තම ජීවිකාවෙන් වන්දි ගෙවීමට එම සුළු වෙළෙන්දාට සිදුවිය.


 දේශපාලනඥයා තම පක්ෂ කාර්යාලය පවත්වාගෙන ගියේද රජයේ ඉඩමකය. ඒ පළාත් ඉඩමක බලෙන් පදිංචි වීමෙනි. රජයේ ඉඩම් බලෙන් අල්ලා ඒවාට ව්‍යාජ ඔප්පු සකස් කර තමා සතු කරගැනීමට ද දේශපාලනඥයා කටයුතු කළේය. එහෙත් ඒ සඳහා කිසිදු බාධාවක් දේශපාලනඥයාට එල්ලවන්නේ නැත.


දේශපාලනඥයා නියෝජනය කරන ප්‍රදේශය තුළ පිහිටා ඇති රක්ෂිත ඉඩම්වල වටිනා ගහ කොළද දේශපාලනඥයාගේ හෙන්චයියන් විසින් විනාශ කර දමති. එහෙත් මේ සියලු නීතිවිරෝධී කටයුතු වෙනුවෙන් රාජකාරිය ඉටුකළ යුතු රාජ්‍ය ආයතන නිහඬවම සිටින්නේ දේශපාලනඥයාගේ බලපෑම නිසාය.


අපේ රටේ ඇති දුෂ්කරම ප්‍රදේශයක් නියෝජනය කරන දේශපාලනඥයාගේ බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතා මැද ජීවත්වන්නෝය. එවන් දුෂ්කරතා මැද ජීවත් වන්නන්. මෙවන් දේශපාලනඥයෙකුගේ ක්‍රියාකාරකම් නිසාත් තවත් අසරණ තත්ත්වයට පත්වේ නම් එය සැබවින්ම ඛේදජනක තත්ත්වයකි.


දේශපාලනඥයාගේ වැයික්කිය තුළ විපක්ෂ දේශපාලනයේ යෙදීම සියතින්  ගෙල කපා ගැනීමක් වැනිය. ඒ තරමට දේශපාලනඥයාගේ ප්‍රජාතන්ත්‍රවාදය යහපත්ය. දේශපාලනඥයාගේ මෙම රළු දේශපාලනයට හරියටම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයද යහපාලනය යන්න ජනතාව තවමත් කල්පනා කරමින් සිටිති.


ආලවකයා