අලුත් බද්දෙන් අමරුවේ වැටුණු රත්ත්‍රන් බඩු කාර්මිකයෝ


රත්ත්‍රන් උණු කරමින්  

 

 

රත්ත්‍රන් කියපු සැණින් අපට මතක් වෙන්නේ හෙට්ටිවීදියයි. ඒ වගේම හෙට්ටිවීදිය කියපු සැණින් මතක්වෙන්නේ රත්ත්‍රන් පිළිබඳවයි.   


රත්ත්‍රන් හා හෙට්ටිවීදිය ගහට පොත්ත මෙන් එකිනෙකට බැඳී සිටියි. රත්ත්‍රන්වලට වටින දෙයක් නැතැයි බොහෝ දෙනා පවසති. ඒ නිසා “ඔයා මට රත්ත්‍රන්වලටත් වඩා වටින” බව පෙම්වතුන්-පෙම්වතියන් පවසන්නේ රත්ත්‍රන්වල ඉහළ අගයක් පවතින නිසා නොවේ ද?
  
රත්ත්‍රන් සඳහා වූ බද්දක් නියම කිරීමට රජය පියවර ගෙන තිබුණි. මෙම බද්දත් සමඟ රත්ත්‍රන් සඳහා පැවැති ඉල්ලුම සීග්‍ර ලෙස පහතට වැටුණ බව පාරිභෝගිකයෝ මෙන්ම, රත්ත්‍රන් භාණ්ඩ අලෙවිකරුවෝ ද පවසති.   
මේ පිළිබඳ සොයා බැලීම සඳහා අපි රත්ත්‍රන්වලට ප්‍රසිද්ධ කොළඹ 14, හෙට්ටිවීදියේ චාරිකාවක නිරත වීමු. එහිදී බොහෝ රන් භාණ්ඩ අලෙවිකරුවන් මෙන්ම, භාණ්ඩ නිෂ්පාදකයන් පැවැසුවේ මෙම කර්මාන්තය තව කිහිප දිනයකින් වැසී යාමේ අවදානමක් පවතින බවයි. විවිධ කරුණු කාරණා බලපෑවත් තමන්ගේ ජීවන වියදම සඳහාත් තමන්ගේ පවුල් සංස්ථාව පවත්වාගෙන යාම සඳහාත් මෙම ව්‍යාපාරය පවත්වාගෙන යන බවත් ඔවුහු කීහ.   
අප කොතරම් වටිනා රත්ත්‍රන් භාණ්ඩ පැළඳුවත් ඒවා නිර්මාණය කර දෙන්නේ එක්තරා කාර්මික පිරිසකි. ඔවුන් අතීතයේ සිට එම කර්මාන්තයේ නියැළෙන නිසා ඔවුන්ට ගෞරව නාමයක් ද ලබා දී තිබේ. අපි ඔවුන් හඳුන්වන්නේ “ආචාර්රී” යන නාමයෙනි. මෙම කර්මාන්තයේ නියැළෙන බොහෝ දෙනා එම ගෞරව නාමයෙන් අමතන ලෙස ඉල්ලා සිටින්නේ එම වෘත්තියේ ගෞරවය රැකදෙන ලෙසිනි.   
අද වනවිට වෙළෙඳපොළේ රන් පවුමක මිල රුපියල් 53,000ක් පමණය.   


එ්වා නිසි පරිදි තමන්ගේ අවශ්‍යතා අනුව නිම වී එනවිට එය රුපියල් ලක්ෂ ගණනක් වටියි. කැරට් 24 රන් පවුමකින් භාණ්ඩයක් සෑදිය නොහැකිය. එය රත්කොට ඊට තවත් අමුද්‍රව්‍ය යොදා සකස් කිරීමෙන් පසු එම භාණ්ඩ වෙළෙඳපොළට එන බව එම කර්මාන්තයේ නියැළෙන බොහෝ දෙනා පවසති.   

 

හෙට්ටිවීදියේ රන් භාණ්ඩ වෙළෙඳසල්  

 


ඔවුන් සඳහන් කරන්නේ මෙම රැකියාව ඉතා සුළුකොට තැකිය නොහැකි බවයි. මේ සඳහා ශ්‍රමය වගේම කාලයත්, මනා තීක්ෂණ බුද්ධියත් අවශ්‍ය බවත් ඒ සඳහා බොහෝ කාලයක් වැය කිරීමට සිදුවන බවත් ඔවුහු පවසති. එහෙත් තමන්ගේ ශ්‍රමය, දැනුම, කාලය වගේම ඊට වැයවන කාර්මික ඥානය ආදිය බලන කල තමන්ගේ අතට ලැබෙන සොච්චම් මුදල ඊට ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් පවසන්නේ. තමන්ගේ දෑතින් හා ශ්‍රමයෙන් නිමවන රන් භාණ්ඩවලින් උපරිම ලාභයක් ලබා ගන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් බවත් ඔවුන්ගේ නාමය රඳා පවතින්නේ තමන්ගේ අතින් නිර්මාණය වන රන් භාණ්ඩ නිසාවෙන් බවත් ඔවුහු පවසති.   
කොළඹ හෙට්ටිවීදියේ වසර ගණනාවක් පුරා රන් භාණ්ඩ නිර්මාණය කරන එම්. ත්‍යාගරාජා මහතා පවසන්නේ මෙම රැකියාව තව කෙටි කාලයකින් නැත්තටම නැතිවී යන බවයි.   


තම පරම්පරාව මේ රැකියාවේ නිරත වුවත් දැන් තිබෙන ගැටලු නිසා ඉදිරි පරම්පරාව මේ සඳහා යොමු නොවීමේ තත්ත්වයක් පවතින බව ද ත්‍යාගරාජා මහතා අප සමඟ පැවැසීය.   


“අපිට මේ දවස්වල කිසිම වැඩක් නැහැ. වෙනදට උ​ෙද් පටන් ගත්තම සවස් වෙනකම් ගොඩාක් වැඩ කරනවා. ඒත් දවස් කිහිපයක ඉඳලම අපි උදේට එනවා. දවල්ට යනවා. හවස් වෙනකම් ඉන්නේ නැහැ. හවස් වෙනකම් හිටියොත් අපේ අතින් තවත් මුදල් වැයවෙන නිසා අපි වේලාසනින් කඩේ වහලා යනවා.   


දැන් පවුමකට රුපියල් 5000ක් 6000ක් වගේ මුදලක් බදු වශයෙන් අය කරනවා. ඒ නිසා කවුරුත් අපේ ගාවට එන්නේ නැහැ. අපි උදේ ඉඳන් නිකම්ම තමයි කාලය ගෙවන්නේ.   


ඉන්දියාවට අපේ රටේ රත්ත්‍රන් ගෙනියනවා කියලා තමයි රත්ත්‍රන් භාණ්ඩ මිල වැඩි වුණේ. එහෙමනම් කරන්න ඕනෑ ඒ සඳහා ඉන්න බලධාරීන් මීට වඩා වැඩි අවධානයක් මේ පිළිබඳ යොමු කරන්න ඕනෑ කියන එකයි.   
උදාහරණයක් වශයෙන් රේගුව වගේම නාවික හමුදාව මීට වඩා කාර්යක්ෂම වෙන්න ඕනෑ. මම කියන්නේ නැහැ ඔවුන් කාර්යය ඉටු නොකරනවා කියලා. නමුත් මීට වඩා තවත් කාර්යක්ෂම වෙන්න ඕනෑ.   


පසුගියදා රත්ත්‍රන් කිලෝ 45ක් ඉන්දියාවට ගෙන යද්දී හසුවුණා. එදා ඉඳලා ලංකාවේ රත්ත්‍රන්වල මිල ඉහළ ගියා. එහෙම හොරෙන් ගෙන යන එක වළක්වනවා නම් ලංකාවේ රත්ත්‍රන් මිල වැඩි කරන්න වුවමනාවක් නැහැ. මේක මෝඩ පාලකයන්ගේ අදහස්. අපේ රටේ රත්ත්‍රන් ඉන්දියාවට ගෙන යන නිසා තමයි මෙහෙ මිල වැඩි වෙන්නේ.   


දැන් බලන්න රජයේ සේවකයකුට කීය ද වැටුප? 30,000ත් 40,000ත් අතර වෙනවා කියමුකෝ. එතකොට පවුමක් රුපියල් 60,000ක්, 70,000ක් වුණාම කොහොම ද ඒගොල්ලෝ රත්ත්‍රන් බඩු හදන්නේ? 

 
ඉන්දියාවට රත්ත්‍රන් ගෙන යන නිසා අපේ රටේ රත්ත්‍රන්වල මිල වැඩි වුණා. ඒක නැවැත්වුවා නම් අපේ රටේ රත්ත්‍රන් මිල පහළ යනවා. කොයි මාර්ගයෙන් පිටරටට යනවා ද කියලා අපි දන්නේ නැහැ. නමුත් කොහොම හරි පිට කෙරෙනවා.   


පසුගිය දවස්වල රත්ත්‍රන් මිල අඩු වුණාම අපිට ගොඩාක් වැඩ තිබුණා. ගොඩක් පාරිභෝගිකයෝ ආවා. දැන් කවුරුත් එන්නේ නැහැ. මිනිස්සුන්ට රත්ත්‍රන් ගන්නවාට වඩා ජීවත්වෙන්න කන්න දෙයක් හොයා ගන්න එපායැ.   
දවසකට අපේ ගාවට පාරිභෝගිකයන් 10, 12 වගේ ගාණක් ආවා. අපි කරන්නේ මැෂිනරිනේ (යන්ත්‍රානුසාරයෙන්). මේ දවස් ටිකේ කවුරුත් ආවේ නැහැ. පසුගිය දවස්වල ඉඳලා අපිට කිසිම වැඩක් නැහැ. කොටින්ම කිව්වොත් වේළෙනවා. අපි ඔහේ වාඩිවෙලා ඉන්නවා. දවල් 2-3 වෙද්දි කඩේ වහලා යනවා ගෙදරට. වැඩ නැති වෙනකොට මෙහෙ කඩේ ඇරන් ඉන්නකොට වියදම වැඩියි. මොකද කඩේ ඇරලා තිබ්බට වැඩ එන්නේ නැති වෙනකොට අපේ ලයිට් බිල, වතුර බිල යනවා. ඊට වඩා හොඳයි කඩේ වහලා ගෙදර යන එක.   



අපි ඉස්සර රත්ත්‍රන් පවුමක් අරගෙන එක එක නිර්මාණ හදනවා. එතකොට රුපියල් 50,000ක් 52,000ක් වගේ ගාණක් වෙනවා පවුමක්. දැන් බලන්නකෝ රුපියල් 63,000ක් 70,000ක් විතර යනවා. ඉතින් කොහොම ද මිනිස්සු ඒ බර දරාගන්නේ? මේ මිල වැඩි වුණාට පස්සේ තමයි එච්චර ගණනක් මිල ඉහළ ගියේ. රත්ත්‍රන් මිල වැඩි වුණා කියලා අපේ සාදන මිල වැඩි වෙන්නේ නැහැ. අපි එදා හදපු මිලම තමයි අදත් ගන්නේ.   
නමුත් රත්ත්‍රන් මිල වැඩි වුණාම මිනිස්සු කොහොම ද බඩු හදාගන්න එන්නේ? අපි එදා ගත්ත කුලියම තමයි අදත් ගන්නේ. අපි ඒවා මහ පරිමාණ ස්වර්ණාභරණ වෙළෙඳසල්වලට දෙනවා. ඔවුන් තමයි මිල තීරණය කරන්නේ.”


රන් භාණ්ඩ කර්මාන්තයේ නිරත ගෝපාල් රාජසේකරන් මහතා මෙසේ පැවැසීය.   


“අපි මේ පිළිබඳව අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කළා. නමුත් තවමත් විසඳුමක් නැහැ. ඉන්දියාවේ සිට පැමිණෙන රන් භාණ්ඩ නිර්මාණය කරන අය නීති විරෝධීව මෙරට රැඳී සිටිමින් මෙම කර්මාන්තයේ නිරත වනවා. ඒ ගැන අපේ “විශ්වකර්ම සමිතිය” අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කළා. ඔවුන් සඳහන් කළේ මේ ගැන දැනුවත් වී නැති බවයි. ඒ අතරම තමයි රත්ත්‍රන් මිල වැඩි වුණේ. ඒකෙන් අපි තවත් අසරණ වුණා. අපි දෙපැත්තෙන්ම බැට කනවා.   


අපිට වැඩ නැත්තටම නැති තත්ත්වයක් තමයි දැන් උදාවෙලා තිබෙන්නේ. ඔවුන් කුලියට තමයි අරගෙන ඇවිල්ලා මේ කර්මාන්තයේ නිරත වෙන්නේ. තැරැව්කරුවන්ගේ මාර්ගයෙන්, ඔවුන් පැමිණිලා මෙහෙ වැඩ කරනවා. අපි පාරම්පරිකව කරගෙන ආව වැඩ කොටස නැත්තටම නැතිවෙන තත්ත්වයක් තමයි දැන් තිබෙන්නේ.   


අපි අදාළ බලධාරීන්ට පැහැදිලිව කරුණු අවබෝධ කරලා දුන්නා. ඉන්දියාවෙන් පැමිණි අය ඉතා සුළු වැටුපකට මේ රැකියාව කරන්නේ. අපිට මාසයකට 60,000ක් 70,000ක් විතර අවශ්‍යයි ජීවත් වෙන්න. කඩ කුලී, වතුර බිල්, විදුලි බිල් සේරම අපි ගෙවන්න ඕනෑ.   


රත්ත්‍රන් අපට ආණ්ඩුවෙන් ගෙන්වලා දෙනවා. නමුත් වැඩි ආදායමක් යන්නේ ඉන්දියාවට. අපි මේ ගැන බලධාරීන්ව දැනුම්වත් කළා. අපේ විදේශ විනිමය නිකරුණේ ඉන්දියාවට ගලාගෙන යනවා. 2016 රත්ත්‍රන් කිලෝ 8000ක් ලංකාවට ගෙන්වලා තිබෙනවා. පසුගිය වසරේ එය කිලෝ 15,000ක් දක්වා ඉහළ ගියා. දැන් මේ වසරේ මුල් මාස 3 විතරක් කිලෝ 8000ක් ගෙන්වලා තිබෙනවා.   


එතකොට මේ අවුරුද්ද අවසන් වනවිට කොච්චර එයිද කියලා බලන්නකෝ. ගේන රත්ත්‍රන් මෙහෙට ඇවිල්ලා නැවත යන්නේ ඉන්දියාවට. ඉන්දියාවේ රත්ත්‍රන් මිල වැඩියිනේ. ඒ නිසා තමයි ලංකාවේ රත්ත්‍රන් මිල වැඩි කළේ. මිල වැඩි කළ ගමන් අපිටයි එහි බලපෑම ආවේ. කරන්න ඕනෑ මේ රත්ත්‍රන් ඉන්දියාවට යන එක නතර කරන එක. ඒක කරානම් මේ ප්‍රශ්නයට ගොඩක් විසඳුම් ලැබෙනවා.   


ඉන්දියාවේ රේගුවෙන් දිනපතාම වාගේ රත්ත්‍රන් අත්අඩංගුවට ගන්නවා. මෙහෙ ඉඳලනේ ඒවා පිටවෙන්නේ. ඇයි මෙහෙන් යන එක නවත්වන්න බැරි. අපිට කිසිදෙයක් කරන්න බැහැ. අපි අසරණයි මේ තත්ත්වය නිසා. ආසියාවේ, ශ්‍රී ලංකාව තමයි රත්ත්‍රන්වල මධ්‍යස්ථානයක් වෙන්නේ. මෙහෙන් තමයි පිටවෙන්නේ.   


ලංකාවේ අලෙවිය මේ නිසා පහත වැටිලා තිබෙනවා. ලංකාවට ගේන රත්ත්‍රන්වලින් 90%ක් යන්නේ ඉන්දියාවට. එසේ රත්ත්‍රන් පිටවි යාම තහනම් කළා නම් මෙහෙම බදු ගහන්න අවශ්‍ය නැහැ. පවුමක් ලක්ෂයක් වුණොත් කොහොම ද මිනිස්සු විවාහකයකදි රන් භාණ්ඩ හදන්නේ.   


මේ බද්ද නිසා අපේ බඩට තමයි පහර වැදිලා තිබෙන්නේ. මේ බදු ගහපු එක ලංකාවේ මේ කර්මාන්තයේ නිරත දෙමළ කට්ටියට විතරක් නොවෙයි, සිංහල, දෙමළ, මුස්ලිම් මේ සෑම දෙනකුටම බඩේ පහර එල්ල වෙලයි තිබෙන්නේ. වැඩ කරන අයට වැඩ නැහැ. බඩු ගන්න අය එන්නේ නැහැ. අපි මේ ඔක්කොම වැඩ කරන අය ඔහේ වාඩිවෙලා ඉන්නවා.”  


 

රන් භාණ්ඩ නිර්මාණකරුවකු වන කදිරේෂන් පවසංකර් මහතා:  


“අවුරුද්දට ගමේ ගිය නිර්මාණකරුවන් නැවත පැමිණෙන්නේ වෙසක් පෝය නිමවීමත් සමඟයි. ඒ ආවම ඔවුන්ගේ රැකියා අහිමි වී තිබෙනවා. හේතුව රන් භාණ්ඩ මිල ඉහළ ගිය නිසාත් මේ බදු පැනවීම නිසාත් අපි මේ රස්සාවෙන් ඉවත්වෙලා නිසා.  


අපි යටතේ සේවකයන් 150ක් විතර සේවය කරනවා. ඒක නිසා ඔවුන්ටත් රැකියා නැහැ මේ තත්ත්වය නිසා. අපි පාරිභෝගිකයන්ට අවශ්‍ය පරිදි නිර්මාණ සකස් කරනවා. ඒත් දැන් කවුරුත් එන්නැති නිසා වැඩ නැහැ. අපි ලොකු ලොකු කඩවලට භාණ්ඩ සපයනවා. දැන් අපිට ලැබෙන ඕඩර් නැවතිලා තිබෙන්නේ.”  


හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ අලෙවිසල් හිමියකු වන එස්. සිවලිංගම් මහතා:  


“මේ බද්ද නිසා රන් පවුමක මිල කලින් තිබුණට වඩා රුපියල් 7000ත් 8000ත් අතර මිලකින් වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා දැන් ගොඩාක් අය භාණ්ඩ මිලදී ගන්න එන්නේ නැහැ. අපේ බිස්නස් දැන් කඩා වැටිලා. ගාන වැඩිවෙන නිසා පාරිභෝගිකයන් රන් භාණ්ඩ මිලදී ගන්නේ නැහැ.  


ලෝක වෙළෙඳපොළේ රත්ත්‍රන් මිල ගණන් අනුව අපෙත් මිල අඩු වැ​ඩි වෙනවා. මේ බද්දත් එක්ක මිල ඉහළ ගියා.  


මේ බද්ද නිසා බිස්නස් අඩුයි. දැන් 53,000ක පවුමකට තවත් රුපියල් 6000ක් 7000ක් මේ බද්ද නිසා වැඩි වෙනවා. ඉතින් පාරිභෝගිකයන් කල්පනා කරනවා බඩු මිලදී ගන්නව ද නැද්ද කියලා.  


රත්ත්‍රන් මිලිග්‍රෑම් 100ක බිස්කට් එකකට බදු ගහන්න කලින් රු. 1000ක් වගේ තමයි වැඩි වුණේ. ඒත් මේ බද්දෙන් පස්සේ රුපියල් 7000කින් පමණ වැඩි වුණා. ඉතින් කවුරුත් බඩු මිලදී ගන්න එන්නේ නැහැ. අත්‍යවශ්‍ය කෙනෙක් තමයි මිලදී ගන්නේ.  


අනික තමයි පවුම් 25ක් මිලදී ගන්න අයකුට රුපියල් 175,000ක් පමණ අමතර ගෙවන්න වෙනවා. ඒක නිසා ඔවුන් ඒ මුදල්වලින් සිංගප්පූරුවට ගිහින් රත්ත්‍රන් මිලදී ගන්නවා. ඒක ඔවුන්ට ලාභයි. මොකද පවුම් 25ක් විතර ගෙන එන එක ඔවුන්ට ලාභයි. ගොඩක් අය රත්ත්‍රන්වලින් නිම කළ භාණ්ඩ පැළඳගෙන එනවා. එහෙම ගේන්න තහනමක් නැහැ. සිංගප්පූරුවේ ඉඳලා රත්ත්‍රන් ගේන්න තහනම්. නමුත් පැළඳගෙන එන්න පුළුවන්නේ. අන්න ඒ විදිහට තමයි ඔවුන් රන් භාණ්ඩ ගේන්නේ.   


සාමාන්‍යයෙන් එක් අයෙක් පවුම් 20ක විතර විවිධ රන් භාණ්ඩ පැළඳගෙන එනවා. පවුම් 10ක කර මාලයක් පැළඳගෙන එන්න පුළුවන්. පවුම් 5ක අත්පළඳනාවක් පැළඳ එන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි රන් භාණ්ඩ ගේන්නේ. පාවිච්චි කරන රන් භාණ්ඩවලට බදු ගහන්නේ නැහැනේ. ඔවුන් පිටරටවලින් රන් භාණ්ඩ ගත්තම අපේ රටේ බිස්නස් අඩුවෙනවා. මේක තමයි තත්ත්වය.”

 

 

 

 


සටහන:- නිශාන්ත කුමාර බණ්ඩාර  
ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය