අලුත් අලුත් දෑ තනන නාලන්දේ හපන්නු


කොළඹ නාලන්දා විදුහල ඉතිහාසයේ ලොව ජය ගත් බොහෝ දරු පිරිසක් රටට දායාද කර ඇත්තේය. ක්‍රීඩා අංශයෙන් පමණක් නොව නව නිපුණතා අංශයෙන් ලොව ජය ගන්නට නාලන්දා දරුවෝ දක්වන්නේ අපූරු හැකියාවකි. පසුගිය වසරේ පාසල් ඉතිහාසයේ පෙරළියක් ඇති කරමින් බ්‍රිතාන්‍ය මහ රැජිනගේ සුරතින් ‘‘බ්‍රිතාන්‍ය මහ රැජිනගේ තරුණ නායකයා’’ වන්නේ ද නාලන්දයේ දරුවෙකි. විද්‍යා වෛද්‍ය ඉංජි​නේරු යන අංශයන්ගෙන් නව නිපැයුම් කරමින් නාලන්දාවේ දරුවන් එතෙක් මෙතෙක් බිහි කළ මේ නව නිපැයුම් ජාත්‍යන්තරය ඇගැයූවේ රන් රිදී පදක්කම් වලින් පිදුම් ලබමිනි.


මේ ආ ගමන් මඟ තවදුරටත් ශක්තිමක් කරමින් නාලන්දයේ දරුවන් පසුගියදා තවත් අභිමානයක් රටටත් සිය උගත් පාසල් මාතාවටත් ගෙන ආවේය. ඒ නාලන්දයේ තවත් දරු පිරිසක් රටවල් 30 ක් පරදවමින් පසුගියදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවති ජාත්‍යන්තර තරුණ විද්‍යාඥයින්ගේ විද්‍යා පර්‌යේෂණ තරගාවලියට සහභාගී වී ජයග්‍රහණ අත් කරගෙන තිබීම නිසාය. ඔවුන්ගේ ඒ ජයග්‍රහණ පිටුපස වූ සුවිශේෂී හේතුත් වූයේ ඔවුන්ගේ ඒ නව නිපැයුම් ලංකාවේ වත්මන් කාලීන ප්‍රශ්නයන් කිහිපයකට පිළිතුරු සැපයූ නිසාවෙනි. එම්.එම්. තරිඳු දීපාලෝක මුණසිංහ, මනීෂ ප්‍රමුදිත රාජපක්ෂ, සෙනිත් නිම්නක රාජපක්ෂ, අයෝධ්‍ය පණ්චාල ද සිල්වා, දිනෙර සුසිරිවර්ධන, අකිල දුල්සර, ජානුක ධර්මරත්න පසුගියදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ පැවති ජාත්‍යන්තර තරුණ විද්‍යාඥයින්ගේ විද්‍යා පර්‌යේෂණ තරගාවලියට ඉදිරිපත් වූයේ ලොව පහසුකම් වලින් සපිරි රටවල් 30 ක් සමග තරග කරන්නටය. ලංකාවෙන්ම මෙවර මේ තරගාවලිය සඳහා සුදුසුකම් ලත් එකම දරු පිරිස වන්නේ ද මේ නාලන්දයේ දරුවන් පමණි.


කොළඹ නාලන්දාවටත් රටටත් අභිමානයක් ගෙන දුන් ජාත්‍යන්තරය ඇගැයු මේ පුංචි විද්‍යාඥයින්ගේ නව ​ෙසායා ගැනීම් ගැන ඔවුන් කතා කළේ මේ අයුරිනි.


රටේ පොලිතින් ප්‍රශ්නයට විසඳුමක් සෙවූ තරිඳු


පසුගිය කාලයේ මීතොටමුල්ල කුණු කන්දෙන් ඇවිළ ගිය කුණු ප්‍රශ්නයටත්, ඒ සමගම මතු වූ පොලිතින් ප්‍රශ්නයටත් සිය නව නිපැයුම හරහා පිළිතුරු දෙන්නට උත්සාහ කළ නාලන්දයේ එම්.එම්. තරිඳු දීපාලෝක පුතු ඒ වෙනුවෙන් අපූරුතම ආකාරයේ බැරලයක් තැනුවේය. ඒ සඳහා පාසලේ වත්මන් විදුහල්පති තිලක් වත්තුහේවා මහතා මෙන්ම පර්‌යේෂණ සංසදය භාර ආචාරිනී උපේක්ෂා අබේසේකර මහත්මිය අත හිත දුන් අතර ශ්‍රී ලංකා විද්‍යා පදනමේ සහයෝගය ද තරිඳුට හිමි විය.


ලංකාවේ කුණු ප්‍රශ්නය උග්‍ර වෙන්න වෙන්න පොලිතින් භාවිතය ගැන නිරන්තරයෙන්ම කතා කළා. නමුත් පොලිතින් භාවිතය අඩු වුණේ නැහැ. මේ නිසා පොලිතින් පිළිස්සීමත් තහනම් දෙයක් වුණා. මේ නිසා මට අවශ්‍ය වුණා පොලිතින් පිලිස්සීමේදී අපිරිසිදු වාතය පරිසරයට මුදා නොහාරින ක්‍රමයක් තනන්න. කර්මාන්ත ශාලාවල නම් පොලිතින් වැඩි උෂ්ණත්වයෙන් පිළිස්සීමේදී අපිරිසිදු වාතය පරිසරයට මුදා නොහරින බව මම සොයා ගත්තා. ඒත් නිවසේදී මේ ආකාරය වැඩි උෂ්ණත්වයෙන් පොලිතින් පිළිස්සිය නොහැකියි. මේ නිසා මම සෑදූ මේ උපකරණය මගින් නිවසේදී පොලිතින් මෙසේ පිලිස්සීම කරන්න පුළුවන්. මගේ මේ බැරලයෙන් එක වර නිවසක පොලිතින් කිලෝ ග්රෑම් 1 කටත් වඩා පිලිස්සිය හැකියි. මට මේ සඳහා විද්‍යා පදනමෙන් මූල්‍ය උපකාරය වගේම අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. තරිඳු පවසන්නේය. රටේ දැවෙන ප්‍රශ්නයකට විසඳුම් සෙවූ තරිඳුගේ අපේක්ෂාව ඉදිරියේදී මෙය තවත් වැඩි දියුණු කරන්නටය. තරිඳු ලැබූ ජයට වඩා අද සතුටු වන්නේ කලට ඇවැසි වැඩදායි යමක් රටට දායාද කළ නිසාවෙනි.

 


 

ගඟට වැටුණු අයෙකුට සෙනිතගෙන් ජීවිතාරක්ෂක ක්‍රමයක්.


සෙනිත් පාසලේ නාලන්දයේ පර්‌යේෂණ සංසදයට එක් වූයේ රටට දැනෙන අලුත් යමක් කරන්නටය. පසුගිය කාලයේ රටේ ඇති වූ විවිධ හදිසි අනතුරු සෙනිත්ගේ නෙත ගැටුණේ පර්‌යේෂණයන්ට අලුත් අදහසක් එක් කරමිනි.


පසුගිය කාලයේ විවිධ හේතු නිසා අපේ රටේ වාහන ගොඩාක් ගඟවල්වලට වගේම ඇළ මාර්ග වලට වැටුණා. මේ නිසා මේවායේ සිටි බොහෝ දෙනෙක් අකාලයේ මිය ගියා. කවුරුත් නොදන්න වේලාවක මෙවැනි දෙයක් සිදුවුවහොත් මේ අයට කිසිම ගැලවීමක් නැහැ. මේ නිසා මට ඕන වුණා මගේ නව නිෂ්පාදනය හරහා මෙවැනි අනතුරුවලට ලක්වන අය බේරා ගන්න ක්‍රමයක් සකසන්න. මෙය ඉංජි​ෙන්රු හා භෞතික අංශයේ නව නිර්මාණයක්. වාහනයක් පදවා ගෙන යද්දී හදිසි අනතුරක් හේතුවෙන් වතුරට වැටුණු අයෙකුට දිවි ගලවා ගැනීමේ Safety System එකක් මම නිර්මාණය කළා. මේ හරහා වතුරට වැටුණු අයෙකුට එතැන සිට අදාළ ගලවා ගැනීම් ඒකක වලට වගේම හදිසි අනතුරු ඒකකයට පණිවිඩයක් යැවීමේ හැකියාව තිබෙනවා. විශේ​ෂයෙන් සීට්‍ බෙල්ට් වගේම වාහනයේ වීදුරු ස්වයංක්‍රීයව මේ හරහා ඇරෙනවා. සෙනිත පවසන්නේය. වතුරට වැටුණු කෙනෙකුගේ ජීවිත අවදානම සියයට සියයක් නොවුවද මේ හරහා යම් ආකාරයකින් එවැනි අනතුරකට ලක් වූ අයෙකු ගලවා ගැනී​ෙම් හැකියාව පවතින බව සෙනිත්ගේ අදහසයි.


විෂබීජ වලින් තොරව පානීය ජලය බොන්න මනීෂගේ උපක්‍රමයක්.


නාලන්දා විදුහලේ 13 වසර මනීෂ ප්‍රමුදිත රාජපක්ෂ 12 වසර සෙනිත් නිම්නක රාජපක්ෂ හා 10 වසර අයෝධ්‍ය පංචාලක ද සිල්වා මේ නව නිපැයුමට දායක වූවෝය. ජාත්‍යන්තර තරුණ විද්‍යාඥයින්ගේ විද්‍යා පර්‌යේෂණ තරගාවලියේදී මේ දරුවන් රීදි පදක්කමින් පිදුම් ලැබුවේ පානීය ජලයේ අඩංගු අහිතකර රසායනික ඉවත් කර ගන්නා ක්‍රමයක් හඳුන්වා දීමෙනි.


අපි තුන් දෙනා එකතු වී තමයි මෙය සකස් කළේ. අපි පානය කරන ජලයේ අතුරු ඵලයක් ලෙස හැදෙන ට්‍රයික්ලෝරෝ මීතේන් හෙවත් ක්ලෝර​ෙෆා්ම් සූර්ය ශක්තිය යොදාගෙන සියයට සියයක් ඉවත් කළ හැකි අඩු වියදම් සහිත පරිසර හිතකාමී උපකරණයක් තමයි අපි සකස් කළේ නිවසේ ඇති අඩු වතුර ප්‍රමාණයක් වුවත් මේ ක්‍රමය භාවිත කළ හැකියි. ඒ වගේම මේ උපකරණය නිවසේ ගෘහස්ථ ටැංකියත් මත සකස් කිරීමෙන් අනතුරුවත් ශරීරයට හානිකර මේ රසායනික ද්‍රව්‍ය ඉවත් කළ හැකි වෙනවා. සාමාන්‍යයෙන් මේ රසායනිකය හේතුවෙන් පිළිකා ඇති වීමේ අවදානම වැඩියි. දැන් අපේ රටේ පිළිකා රෝගය බොහෝ දෙනෙක් අතර තියෙනවා. මෙයට පිළියම් යෙදීම අපහසු වුවත් අඩුම තරමින් අපි දිනපතා බොන වතුර ටිකවත් අපිට පිළිකා ආදී රෝග කාරකයන් නැතුව බොන්න පුළුවන් නම් එයත් වටිනවා. මේ නිසායි අපේ මේ නව නිෂ්පාදනය එවැනි දෙයක් වෙනුවෙන් යොමු කළේ. ඔවුන් තිදෙනා පවසන්නේය. මේ නාලන්දීය දරුවන්ගේ මේ නව උපකරණයේ වක්‍රතාව වෙනස් කරමින් විශාල ජල පරිමාවක වුවද ක්‍රියාත්මක කළ හැකි වන්නේය.

 


 

පොල් ගෙඩියෙන් උපරිම ප්‍රයෝජන ගන්න දිනෙර ගෙන් ක්‍රමයක්.


නාලන්දා විදුහලේ 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දිනෙර සුසිරිවර්ධන, අකිල දුල්සර හා ජානුක ධර්මරත්න යන පුතුන් තිදෙනාගේ නව නිපැයුම ද කාලීනව වැදගත් කමක් උසුලන්නේය. ලංකාවේ පොල් ගෙඩියේ වටිනාකම ඉහළ යද්දී මේ දරුවන්ට ඇවැසි වූයේ පොල් මිල බස්සන්නට නොව පොල් කිරෙන් උපරිම පළ ලබන ආකාරය රටට පවසන්නටය.


අද ලංකාවේ පොල් ගෙඩියක මිල ඉහළයි. ඒ වගේම අපේ රටේ අය පොල් ගෙඩියේ පෝෂණ ගුණය උපරිමව ලබා ගන්නා ආකාරය දන්නේ නැහැ. මේ නිසා පොල් ගෙඩියේ පෝෂණය නොලැබෙනවා වගේම ආර්ථික අතින් අවාසි සහගතයි. මේ නිසා අපේ පරීක්ෂණයේදී සොයා බැලුවා පොල් කිරි අතින් මිරිකද්දී වගේම බ්ලෙන්ඩරයෙන් මිරි​ෙකද්දී උපරිම ප්‍රයෝජන ගන්නේ කොහොමද කියලා. මේ සඳහා අපි මිරිකීමට යොදන වතුර වල උෂ්ණත්වය බැලුවා. වේගය බැලුවා. මේදය හා ප්‍රෝටීන අගයන් බැලුවා. මෙතැනදී අපි තේරුම් ගත්තා. අඩු වේගයෙන් වැඩි කාලයක් මිරිකීමෙන් හොඳ තත්ත්වයේ කිරි ලබා ගන්න පුළුවන් බව මේ කිරේ තෙල් ගතිය අවම වගේම හොඳ ​ප්‍රෝටීන් ප්‍රමාණයක් අන්තර්ගතයි.​ ෙම් දරුවෝ එසේ පවසති.


දරුවන් මේ ජයග්‍රහණය මැලේසියාවේදී ලැබුවේ ශ්‍රී ලංකා මැලේසියා තානාපති සේවයට වසර 60 ක් පිරෙන මොහොතදීය. එය තවත් සුවිශේෂී කරුණක් වන්නේය. නාලන්දා දරුවන්ගේ මේ නව සොයා ගැනීම් හමුවේ වඩාත් සතුටු වන්නේ නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතාය.


නාලන්දා විදුහලේ විදුහල්පති ලෙස අද මම ගොඩාක් සතුටට පත් වෙනවා. දරුවන්ගේ මේ ජයග්‍රහණයන් දැකලා. අපි නාලන්දාවේ දරුවන් ඉගෙනීමට වගේම විෂය බාහිර දේටත් යොමු කරනවා. අද පාසල් දරුවන් ඉදිරියට යද්දි රටේ සැබෑ ප්‍රශ්න වලටත් පිළිතුරු සැපයිය යුතුයි. අද මේ දරුවෝ ලෝකයේ ජය ගත්තේ අපේ රටේ සැබෑ ප්‍රශ්නවලට පිළිතුරු සපයලා. අපේ පාසලේ පර්‌යේෂණ සංසදය ඇති කළේ පාසලේ පංති කාමරයෙන් එහා ගිය දැනුමක් දරුවන්ට ලබා දෙන්නට. මේ කාර්යයේදී අධ්‍යාපන අමාත්‍යාංශය වගේම විවිධ සම්පත් දායකයින් මෙන්ම විවිධ සංවිධාන මෙන්ම විවිධ ආයතන අපිට ලබා දුන්නේ නොමසුරු සහයෝගයක්. එයට මගේ ස්තූතිය. අපේ පාසලේ පර්‌යේෂණ අංශය පමණක් නොවේ. ක්‍රීඩා ඇතුළු තවත් අංශ ගණනාවකින්ම දරුවන් ජාත්‍යන්තරය තුළ කැපී පෙනෙනවා. මේ සඳහා දරුවන්ව දිරිමත් කරන ගුරුවරුන්ටත් මම මගේ කෘතඥතාව පුදනවා. අපේ පාසලේ දරුවෙක් ලෝකයේ ඉහළම සම්මානය ලබාගෙන තියෙනවා. මහ රැජිනගේ තරුණ නායකයා ලෙස පසුගිය වසරේ පිදුම් ලැබුවේ නාලන්දයේ දරුවෙක් අන් පාසල් සමග සංසන්දනය කරද්දී නාලන්දයේ දරුවන්ගේ ජයග්‍රහණයන් අපිට පමණක් නොව රටටත් අභිමානයක්. විදුහල්පති තිලක් වත්තුහේවා මහතා එසේ පවසන්නේය.


නාලන්දා විදුහලේ පර්‌යේෂණ සංසදය ආරම්භ කළේ හිටපු විදුහල්පති රංජිත් ජයසුන්දර මහතාය. එදා මෙදා තුර සිට මේ දරුවන්ගේ ජයග්‍රහණයක් පසුපස සිටිමින් ඔවුන්ව දිරි ගන්වන්නේ පර්‌යේෂණ භාර ආචාරිනී උපේක්ෂා අබේසේකර මහත්මියයි.


2014 වසරේදී අපි මේ සංසදය ආරම්භ කළේ යම් අරමුණක් ඇතිව. සෑම වසරකම අපි ළමුන් 50 ක කණ්ඩායමක් බඳවා ගන්නවා. වාර්ෂිකව මේ දරුවන්ගේ අදහස් ගන්නවා. පසුව ඒ අදහස් සම්පත් දායකයින්ගේ අදහස් හා යෝජනාවලින් පොහොසත් කරනවා. අනතුරුව මේ දරුවන් ජාතික මට්ටමේ තරග වලට යොමු කරනවා. එයින් පිළිගැනීමටක ලක් වූ දරුවන් අපි ජාත්‍යන්තර තරගවලටත් යොමු කරනවා. මේ වන විට අපේ දරුවන් රටවල් ගණනාවකට ජාත්‍යන්තර තරගවලට සහභාගී වී ජය අත්කරගෙන තියෙනවා. අද පාසල් වල දරුවන්ට තියෙන ලොකුම අභියෝගයක් තමයි ජාත්‍යන්තර තරගවලින් ජයග්‍රහණය ලබා ගැනීම. ඒ වගේම මේවාට ඉදිරිපත් වී ජයග්‍රහණය කරන දරුවන්ට රටේ පිළිගැනීම අඩුයි. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ නව සොයා ගැනීම්වලින් ඉදිරියට යා හැකි මඟ අපැහැදිලියි. මේ දරුවන් ඉදිරියට යන්නට නම් රටක් වශයෙන් දරුවන්ව ඇගැයීමට ලක් කළ යුතු වෙනවා. නමුත් අපේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය මෙන්ම දෙමවුපියන් නිතරම උත්සාහ කරන්නේ අ​ෙප් පාසලේ දරුවන්ව ජාත්‍යන්තර තරග වලට යොමු කරවන්න. මේ ඒ උත්සාහයේ ප්‍රතිඵලයක්. ඇය පවසන්නීය.


රටට පමණක් නොව උගත් පාසල් මාතාවට ද බරක් නොවූ මේ පුංචි විද්‍යාඥයෝ හෙට දිනයේ ලොවම බබළවන්නෝය.

 

 

 

 

ප්‍රියන්ත රාජකරුණා