අල්ලසට යටවූ උතුරු මැසිඩෝනියාව


වළපල්ලට
ගිය රටවල්

 

 

දූෂණයෙන් කුණුවී ඕජස් ගලමින් තිබෙන රටවල් රාශියක කතාන්දරය මම කාලයක් තිස්සේ ලිව්වෙමි. එම රටවල පාලකයින්ගේ දූෂිත පැවැත්ම තව තවත් වර්ධනය කර ගන්නා අයුරු නිරීක්ෂණය කළෙමි. ඔවුන් සමාජයට දේශයට නපුරුකම් කරන නරුමයින්ය. වස්තුව කොල්ලකෑම ඔවුන්ගේ නිත්‍ය ලක්ෂණයකි.   


අද මා ලියන්නේ යුරෝපයේ තවත් ප්‍රපාතයට ඇද වැටෙමින් පවතින රටක් ගැනය. එය මැසිඩෝනියාවයි. නැතහොත් උතුරු මැසිඩෝනියාවයි. කොසෝවෝ, සර්බියාව, ඇල්බේනියාව, ග්‍රීසිය, බල්ගේරියාව යන රටවලට මැදිව පිහිටා ඇත. 1990 දී යුගෝස්ලෝවියාවෙන් කැඩී ගිය දේශයකි.   
ලක්ෂ 21කට මදක් වැඩි ජනගහනයකින් සමන්විත රටකි. විශාලත්වය ව.කි.මී. 25,713ක් හෙවත් ව.සැ. 9928කි. නව ජනපති ස්ටීව් පෙන්ඩරොව්ස්කිය. අගමැති ෂොරාන් සවෙව්ය. අඳුරු අගාධයට තල්ලු වෙමින් පවතින ග්‍රීසියේ බලපෑම මත 2019 පෙබරවාරි මාසයේදී මෙම රටේ නාමය උතුරු මැසිඩෝනියාව වශයෙන් වෙනස් කරන ලදී.   


අල්ලසට යට වූ රටක්   


මුළු ජනගහනයෙන් පුරවැසියන් ලක්ෂ 6කට වැඩි සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් පෙළේ. රැකියා විරහිත වූවන්ගේ ප්‍රතිශතය සියයට 27.3කි. විශේෂයෙන්ම මෙහිද තරුණ අසහනය උග්‍රවී ඇත. මීට පෙර මා හඳුන්වා දුන් රටවල් කීපයක මෙන් මේ රටේද තරුණ තරුණියන් යුරෝපයේ වෙනත් රටවලට රැකියා සොයා පලා යාම උග්‍රවී තිබේ.   
ලෝක බැංකුව, ෆ්‍රීඩම් හවුස්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්, යූඇන්ඩීපී යන ආයතනයන්හි වාර්තාවලට අනුව මේ රටේද අල්ලස, දූෂණය දෙගුණ තෙගුණ වී තිබේ. මේ හේතුකොට ගෙන රට ආපස්සට යන බව පෙනේ. දේශපාලකයින් රජයේ දේපොළ සහ මුදල් අවභාවිත කිරීම තුළින් රට අගාධයට තල්ලුවී ඇත. 2015 අගෝස්තු 15 දා මේ රට පරිහානියට යන අයුරු පිළිබඳ දීර්ඝතම පුවත් වාර්තාවක් පළකර තිබුණේ ‘‘බෝල්කන් ඉන්සයිට්’’ පත්‍රයයි.   


ජනතාව දිළිඳු භාවයේ පත්ලටම වැටී ඇත. දිළින්දෝ සොරකමට අැබ්බැහිවී සිටිති. එමෙන්ම තරුණ තරුණියෝද පාසල් යන ළමයිද්‍ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ඇබ්බැහිවී සිටිති. මෙය යුරෝපයේ තවත් මත් ද්‍රව්‍ය බෙදා හරින මධ්‍යස්ථානයකි. විවිධ ජනමාධ්‍ය වාර්තාවලට අනුව ජනගහනයෙන් 1/3ක් දිළින්දන්ය. නිවාස හිඟය උග්‍රවී ඇත.   
බොහෝ පුරවැසියෝ රජයේ කැලෑවල පැල්පත් අටවා ගෙන දිවි ගෙවති. නිවාස හා ඉඩම් ප්‍රශ්නය උග්‍රවී ඇතත් බලයට පත්වන පාලකයින් මුදල් සොරකම් කරනවා විනා රටේ දැවෙන ප්‍රශ්න විසඳන බවක් නොපෙනේ. නිතරම බලයට පත්වන්නේ හතර වරං ගහන දේශපාළුවන්ය.   


මැසිඩෝනියාවේ ජනතා දෝංකාරය   


ජනතාවට සෞඛ්‍ය, අධ්‍යාපන, ගමනා ගමන, විදුලිය, ජලය ආදී පොදු පහසුකම් ලබාදීමට අපොහොසත් රජයක් රටකට අවශ්‍යද? සෞඛ්‍ය පහසුකම් සඳහා රජය වසර පහ වැය කරනුයේ ජාතික ආදායමෙන් සියයට 8ක පමණ සොච්චම් මුදලකි.   
විවිධ බෝවන ලෙඩ රෝගවලින් මෙහි මියයන අයගේ සංඛ්‍යාව අධික බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙයි. බොහෝ ගම්බද පළාත්වලට ගමනා ගමන හා විදුලිය පහසුකම් නැත. උපතේදීම මියයන ළදරුවන්ගේ සංඛ්‍යාව අධිකය. ළමා ජනගහනයෙන් සියයට 25ක් පමණ මන්ද පෝෂණයෙන් පෙළේ. පාලකයින්ගේ කෙරුවාවල් වචනවලට පමණක් සීමාවී තිබේ.   


පගාව රජයන රටකි. පගාවක් නොදී රජයේ නිලධාරියකුගෙන් හෝ පොලිසියෙන් හෝ කිසිදු වැඩක් කරගත නොහැකි අයුරින් මේ රට හැඩගැසී තිබේ. යාචකයින්ගෙන් පිරුණු රටකි. දේශපාලකයින් මුදල් විශුද්ධිකරණය සිදුකරමින් සුරසැප විඳින අයුරු පෙනේ. ලංකාව වැනි රටවලද සුරසැප විඳින්නේ දූෂිත දේශපාලකයින් නොවන්නේද? මේ රටවලට කවදා සෞභාග්‍යයේ දොරගුලු විවෘත වේද?   


අල්ලස්ගත් අල්ලස් කොමසාරිස්වරිය   


කොටින්ම කියනවා නම් මේ කියන උතුරු මැසිඩෝනියාව වූ කලී දූෂණ මැඩ පැවැත්වීමට පත්කළ අල්ලස් කොමසාරිස්වරිය පවා අල්ලස් ගෙන හසුවූ රාජ්‍යයකි. හිටපු අගමැති නිකොලා ගුවෙස්කි 2015 වර්ෂයේදී සිදුකළ මහා පරිමාණයේ දූෂණ වංචා හෙළි කරන ලද්දේ මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයන්ය. අල්ලස් කොමසාරිස්වරිය වූ කටිකා ජැනේවා පගාව ගෙන නීතියේ රැහැනට හසුවූ අයුරු 2019 අගෝස්තු 22 දා අැසෝසියේටඩ් ප්‍රෙස් (AP) වාර්තාවක දීර්ඝ වශයෙන් පළවිය. 


දේශපාලකයින් හා සම්බන්ධ අල්ලස් නඩු වාෂ්ප කරමින් මේ අල්ලස් කොමසාරිස්වරිය කාලයක් තිස්සේ රැඟූ රංගනය අවසන්වී ඇතත් අනාගතයේදී ඇයට රජයේ ඉහළම තනතුරක් ලැබුණහොත් එය පුදුම විය යුතු කරුණක් නොවන බව ‘බෝල්කන් ඉන්සයිට්’ පත්‍රය කියයි.   


රට කෑ හිටපු පාලකයා   


මේ රටේ බිහිවූ දූෂිතම පාලකයා නිකොලා ගුවෙස්කි බව කියනු ලැබේ. ඔහු තම වී ඇම් ආර් ඕ දේශපාලන පක්ෂයේ මූලස්ථාන ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් යුරෝ මිලියන 4.6ක් වැය කළ අයුරු හෙළිවිය.   


එමෙන්ම ඔහු මුදල් විශුද්ධිකරණ (MONEY LAUNDERING) ක්‍රියාවන්හි නිරතවූ අයුරු අනාවරණය විය. යුරෝ මිලියන 17.5ක මුදලකට අගනුවරින් ඉඩම් හා නිවාස මිලට ගැනීම ඔහුට එල්ලවූ තවත් චෝදනාවකි. මේ සියලු වංචාවන් ඔහු සිදුකර ඇත්තේ පවුලේ ඥාතීන් සම්බන්ධ කර ගනිමිනි.   


ඔහු තම පක්ෂ මූලස්ථානය වූ වයිට් පැලස් (WHITE PALACE) සුදු මාළිගාව ඉදි කිරීම සඳහා රාජ්‍ය දේපොළ භාවිතා කළ අයුරු ඉතා නින්දාසහගත බව ස්වාධීන මාධ්‍යයන්හි හා බහුතර ජනතාවගේ මතයයි. ඔහු ඥාතීන්ගේ සහ තම හිතවතුන්ගේ නම්වලට මිලට ගත් ව්‍යාපාර හා විවිධ ආයතන හා නිවාස සංඛ්‍යාව 69ක් පමණ වන බව මාධ්‍ය වාර්තා දක්වයි. ඔහුට එරෙහිව අල්ලස් චෝදනා එල්ලවූ විට හිටපු අල්ලස් කොමසාරිස්වරිය විවිධ නීති තර්ක ඉදිරිපත් කරමින් කාලයක් තිස්සේ ඔහු රැකගත් අයුරු මාධ්‍ය හෙළි කළේය.   
නව රජයක් බලයට පත්වීමෙන් පසු 2018 ඔක්. 31 දා රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් මේ හිටපු පාලකයා මිලට ගත් දේපොළවලින් කීපයක්ම රජයට පවරාගනු ලැබීය. ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට ඔහු අත්අඩංගුවට ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී මේ හිටපු පාලක නිකොලා තමාට අයත් අති සුඛෝපභෝගී වෙඩි නොවදින මර්සිඩීස් බෙන්ස් රථයකින් මැසිඩෝනියාවේ සිට හන්ගේරියාවට පළා ගොස් හන්ගේරියාවේ දේශපාලන රැකවරණය ලබා ගත්තේය.   

 

 


දූෂිතයා දූෂිතයා සමඟ එක්වීම   


හන්ගේරියාව දැනට පාලනය කරන තවත් දූෂිත පාලකයකු වූ වික්ටර් ඕර්බන් මැසිඩෝනියාවේ හිටපු දූෂිත පාලක නිකොලාගුවෙස්කිට සැලකුවේ මෙහෙමය. මීට පෙර ලිපියක වික්ටර් ඕර්බන් හන්ගේරියාව වළ පල්ලට යැවූ අයුරු විස්තරාත්මකව මෙම තීරුව ඔස්සේ මම ඉදිරිපත් කළෙමි. මැසිඩෝනියාවේ හිටපු පාලක නිකොලාගේ කෙරුවාව පිළිබඳ දීර්ඝ විස්තරයක් 2018 නොවැ. 20 දා නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රයේ පළවිය.   


මේ හිටපු පාලකයාගේ පවුල්වල ඥාතීන් කීප දෙනකු සහ හිටපු ඇමැතිවරුන් කීප දෙනකුට වසර 2 දක්වා සිර දඬුවම් නියමවූ අයුරු 2018 නොවැ 16දා බීබීසී මාධ්‍ය වාර්තාවකින් කියැවුණි. හිටපු පාලකයාට එරෙහිව සාක්ෂි දීමට සාක්ෂිකරුවන් 500 කට වැඩි පිරිසක් ඉදිරිපත්වූ අතර ලිපි ගොනු 12,000ක් පමණ උසාවියට ඉදිරිපත් කර තිබුණි. 


දූෂණයෙන් වංචාවෙන් රටක් වළ පල්ලට යවා හොරකමින්, භීෂණයෙන්, මහජන මුදල් යටි මඩි ගසා ගැනීමෙන් වළ පල්ලට ගිය තවත් රටකට පැන ගිය නරුම පාලකයකුගේ මෙම කතාන්දරය මා මෙතෙක් ලියූ හැම ලිපියකටම වඩා අමුතුම කතාවකි.   


මෙය දූෂිත පාලකයින් දෙදෙනකු එකට එක්වූ ආකාරය දැක්වෙන දූෂිතයා දූෂිතයාට අතදෙන අයුරු විදහාපාන අපූරු කතාවකි. 

 

 

 

සිරි හීන්පැල්ල
 නිව්‌යෝර්ක් නුවර සිට ලියයි