අයිඩියල් සමූහ ව්‍යාපාරය තැනූ නලින් වෙල්ගම


අභියෝග ජයගත් මිනිස්සු

එස්.ඒ. වෙල්ගම මුදලාලි මහත්තයා යනු හරි අපූරු දැක්මක් තිබූ චරිතයකි. එ් දෙවැනි ලෝක යුද සමයයි. පළමු ලෝක යුද්ධයෙන් හෙම්බත්ව අසරණව සිටි ලෝකයේ බොහෝමයක් වූ ජනයා සිතන්නට ඇත්තේ දෙවැනි ලෝක යුද්ධය නිසා ලෝකය සහමුලින්ම විනාශ වේ යැයි කිියා විය හැකිය.


එහෙත් එස්.ඒ. වෙල්ගම මුදලාලි මහත්තයා යනු සහජයෙන්ම ගෙන ආ බුද්ධිය සහ දැක්ම අනුව කටයුතු කළ චරිතයක් විය. එසේ නොවන්නට එද‌ා දෙවැනි ලෝක යුද්ධය පැවැති සමයේදී ඔහු ව්‍යාපාර ක්ෂේත්‍රයට නොපැමිණෙන්නේය. මුළු ලොවම යුද භීතියෙන් ඇළලී ගීය මොහොතක එස්.ඒ. වෙල්ගම මුදලාලි මහත්තයා ස්වකීය ව්‍යාපාරය ඇරඹීය. එය හැඳින්වූයේ එස්.ඒ. වෙල්ගම සහ පුත්‍රයෝ නමිනි.


මේ විදියට රටම දන්නා කියන මේ එස්.ඒ. වෙල්ගම මහත්තයා උපන්නේ අගලවත්තේ වෙල්ගමදීය. කුඩා කල සිටම හේ කාර්මික අංශයට දක්ෂතා පෙන්වීය. ඒ නිසාම කාර්මික අංශයට නැඹුරුව සිටි ඔහු සුද්දන්ට අයත්ව තිබූ ආයතනයක මුලින්ම සේවය කළේය. එයින් ලද ​ෙව්තනය සහ සන්තෝෂයට ලැබුණු මුදල ද හරි අරපරිස්සමට ඔහු පොදි ගැසීය. එසේ කළේ ලෝභ කමකට නම් නොවීය.


ඔහුගේ දැක්ම ප්‍රායෝගික කරගැනීම උදෙසා යම්කිසි ප්‍රාග්ධනයක් ගොඩ නැගීමේ අරමුණ වෙනුවෙනි. ඒ අනුව කුඩා ලොරියක් මිලදී ගැනීමට ඔහුට හැකිවිණි. ඒ ලොරිය පදවා ගෙන ගියේ ද ඔහුම විය. හෙල්පර්ට හිටියේ ඔහුගේ අයියාය. එද‌ා එලෙසින් එක් ලොරියකින් පටන් ගත් එස්.ඒ. වෙල්ගම ප්‍රවාහන සේවය ගමින් නගරයටත් නගරයෙන් රටටත් ව්‍යාප්ත වී මුළු මහත් ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රිය නාමයක් වූයේ එස්.ඒ. වෙල්ගම සහ පුත්‍රයෝ නමිනි.


ඔහුගේ දක්ෂ නායකත්වය සහ භාරකාරත්වය යටතේ පුතුන්ගේ සහාය ඇතිව එස්.ඒ. වෙල්ගම සහ පුත්‍රයෝ පසු කලෙක ව්‍යවසායක ක්ෂේත්‍රයේ ඉහළම තලයට ගෙන ඒමට ඔහුට හැකිවුණි.


මෙලෙසින් ස්වකීය ව්‍යාපාරය වෙතින් හරිහම්බ කරගත් ධනයට වඩා ලොකු සම්පතකට ඔහු උරුමකම් කීවේය. ඒ ඔහු සතු ‘දරු සම්පතය.’ ඔහු සතු දරුවන් ගණන දහ දෙනෙකි. ඉතින් ඊට වඩා වෙන සම්පතක් තවත් තියෙනවද? මේ දූ පුතුනට ඔහු හොඳ හැටි ඉගැන්වීමට වග බලා ගත්තේය.


වෙල්ගම පුතුන් ඉගෙනීම සඳහා යොමුකර තිබුණේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය වෙතය. එසේ දරුවන්ගේ අනාගතයට පියස්ස තනා දුන් අතරේ වෙල්ගම මුදලාලි මහත්තයා ලෝබකමකින් තොරව අත දිගහැර සමාජ සේවය උදෙසා සෑහෙන පමණ ධනයක් පරිත්‍යාග කළේය. ආගම දහම වෙනුවෙන් ද සෑහෙන ධන පරිත්‍යාග කළේය. ඔහුගේ පුතුන් පෝෂණය වූයේ එකී දර්ශනය ඇතිවය.


අද ඔහුගේ පුතුන් ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවේ. ඔව්හු රටේ ප්‍රකට චරිත වෙති. ගුණ නැණ බෙලෙන් යුතු ඒ පුතුන් අතරින් අප මේ කතා කිරීමට සූද‌ානම් වන්නේ වෙල්ගම පවුලේ නමවැන්නා හෙවත් පිරිමි දරුවන් අතරින් බාලයා වූ නලින් වෙල්ගම ගැනය.


වෙල්ගම මුදලාලි මහත්තයා තම දරුවනට එක ලෙස ආදරය කළ බව සැබෑවකි. ඒ දරුවන් අතරින් මේ නලින් වෙල්ගම පුතු ගැන විශේෂිත දැක්මක් ඔහුට තිබිණි. එනම් කවද‌ා හරි ‘මටත් ඔයා තාත්තා වෙන්න ඕනෑ.’ යනුවෙන් මේ පුතු ගැන ඔහු කීවේය. ඊට හේතු වූයේ අනෙක් පුතුන් උසස් අධ්‍යාපනය ලබා විවිධ ඉසව් කරා යද්දී, මේ නලින් පුතු තමා මෙන්ම ජන්මයෙන්ම යාන්ත්‍රික හා තාක්ෂණික දැනුම උරුම කර ගෙන සිටි නිසාවෙනි.


එවකට ප්‍රවාහන සේවයේ ප්‍රකට නාමයක් දිනා සිටි එස්.ඒ. වෙල්ගම ආයතනයට එහා ගිය ලොකු අරුතක් ව්‍යවසායක ක්ෂේත්‍රයට ගෙන දේවි යැයි වෙල්ගම පියාණන් හිතන්නට ඇත. සැබැවින්ම ඔහු එද‌‌‌ා දුටු ඒ දැක්ම මේ නලින් පුතු වත්මනෙහි ප්‍රායෝගික කර ඇති අයුරු හරි අගනේය. හැබැයි, ඔහු ද තමාගේ ව්‍යවසායකත්වයේ ගමන පටන් ගත්තේ තම පියාණන් මෙන් බිංදුවෙනි. මෙරට මෝටර් රථ වාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී නාමයක් දිනූ දේශීයත්වයට ළැදි අයිඩියල් (Ideal) සමූහ සමාගමේ නිර්මාතෘවරයා වන්නේ නලින් වෙල්ගම නැමැති ඒ නිර්මාණශීලී ව්‍යවසායකයාය. මොහොතකට හෝ ඔහු ව්‍යවසායකත්වයේ පැමිණි ඒ ගමනේ කතාව ඔබ කියවිය යුතු යැයි අපි හඟිමු.


එද‌ා හැත්තෑව දශකයේ අග භාගයේදී පමණ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලින් උසස් පෙළට මුහුණ දුන් පසු ප්‍රතිඵල එනතෙක් ලන්ඩන් ඒ ලෙවල් කිරීමට ද නලින් වගබලා ගත්තේය. ඉන්පසුව ගණකාධිකරණ අංශයෙන් හද‌ාරා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහු එංගලන්තය බලා ගියේය. එහි ගොස් අධ්‍යාපනය ද ලබා තමාගේම ගණකාධිකරණ සේවයක් පවත්වාගෙන යාමට ඔහුට හැකි විණි. ඒ ඔහු සතු වූ උනන්දුව සහ දැක්ම නිසාමය. ඒ හැරත් ගෙදරට බරක් නොවී තමාගේ වියහියදම් තමා විසින්ම දරාගත යුතු යැයි ඔහු විශ්වාස කළේය. එසේ කටයුතු කළ ද තමාගේ ආත්මයේ ආත්මගතව තිබුණේ එම අංශය නොවේ යැයි ඔහු සිහිගන්වයි.


‘එද‌ා පාසල් අධ්‍යාපනය ලැබූ කාලයේ ඉඳලාම මගේ හිත තිබුණේ වාහන අංශය ගැනයි. ඒ නිසා මොන දේ කළත් මගේ හිත කිව්වේ වාහන අංශයේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනෑය කියලයි. චාටර්ඩ් කරලා කළමනාකරණයෙහි නියැළිලා කටයුතු කළත් මගේම ව්‍යාපාරයකින් ඉදිරියට යා යුතුය කියන අදහස තිබුණේ වාහන කෙරෙහි තිබූ ඇල්ම නිසාමයි.
එද‌ා ශාන්ත තෝමස් විද්‍යාලයට යද්දී මගේ යාළුවකුට ‘උපාලි මැස්ඩා’ රථයක් තිබුණෙ. ඒ කාලයේ හැටියට ඒක හරි අපූරු රථයක්. වැල්ලවත්තෙ අපේ ගෙදර සිට සමහරද‌ාට මම පාසල් ගියේ මගේ යාළුවා එක්ක එයාගේ ඒ උපාලි මැස්ඩා රථයෙන්. මේ වගේ හොඳ කාර් එකක් මටත් හදන්න ඇත්නම් කියන දේ එද‌ා නිරන්තරයෙන් ඇතිවූ අදහසක්. ඉතින් එංගලන්තයට ගිහින් හිටියත්, මගේ ජීවිතය ගෙවී ගියේ ඒ වගේ අදහස් එක්කයි.’ නලින් එලෙසින් කියයි.


සිහින දකින්නෝ සිහින සැබෑ කරගන්නෝ වෙති. එද‌ා ඔහු එලෙසින් දුටු සිහිනය එංගලන්තයේදීම යථාර්ථයක් කර ගැනීමට හැකිවිණි. අයිඩියල් ප්ලාන්ට් ඇන් වෙහිකල්ස් නමින් ආයතනයක් ඔහුගේ තව යාළුවකු සමග 1986 දී ස්ථාපිත කිරීමට හැකි වූ බව සඳහන් කරයි.


‘මගේ යාළුවාගේ නම ගාමිණී විතාරණ, අපි බිංදුවෙන් වගේ මේ ආයතනය පටන් ගත්තෙ. බ්‍රෑන්ඩ් නිව් වාහන ගෙන්වා එංගලන්තයේ සිට විවිධ රටවලට අපි ඒවා බෙද‌ා හැරීම සිදුකළා.’


නලින් ඒ කටයුත්ත පටන්ගෙන තිබියදී තාත්තාගෙන් පණිවුඩයක් ලැබිණි. එනම් ලංකාවට එන්න කියාය. ඇවිත් එස්.ඒ. වෙල්ගම සමාගමේ වැඩ ටිකත් අධීක්ෂණය කරන්න යැයි තාත්තා ඉල්ලීමක් කර තිබිණි.


‘අපි ඔක්කොම පෝෂණය වුණේ තාත්තාගේ මේ ආයතනයෙන්. එ් නිසා ඒක අපේ යුතුකමක්.’ යැයි විශ්වාස කළ නලින් 87 අග භාගයේදී පමණ ලංකාවට පැමිණියේය. එලෙසින් ඔහු ලංකාවට පැමිණීයේ වසර එකොළහකට විතර පසුවය.


‘ඒ එනකොට රටේ කලබල. මට ලංකාව පෙනුණේ හරියට සොහොන් පිටියක් වගෙයි. අපේ සුන්දර රටට වෙලා තියෙන දේ දැකලා හිතට දැනුණෙ වාවා ගන්න බැරි තරමේ දුකක්.’
එවකට ලංකාවේ තත්ත්වය එසේ වුවද නලින් නිරන්තරයෙන්ම ලංකාවේ රැඳී සිටීමට කටයුතු කළේය. ඒ අතරේ සෑම මාසයකම වාගේ එංගලන්තයට ගියේ තමාගේ ව්‍යාපාරයේ කටයුතු සොයා බැලීමටය. එංගලන්තයට අමතරව රථවාහන අලෙවිය සඳහා ලෝකයේ විවිධ රටවලට යාමට ඔහුට සිදුවිණි. සාමාන්‍ය මිනිසෙකු බසයක යන වාර ගණනට වඩා ඔහු ගුවන් ගමන්හි නිරත විය. ඒ හැරත් තම මිතුරා එංගලන්තයේ ව්‍යාපාරය ඉතා හොඳින් බලා ගැනීම නිසා ශ්‍රී ලංකාවේ සිට තමාගේ පවුලේ ව්‍යාපාර කටයුතුවලට ද‌ායක වීමේ අවකාශය නිර්මාණය වී තිබිණි.


මේවාට අමතරව 1996 දී පමණ අයිඩියල් ඔටෝ මොබයිල් පාට්ස් නමින් මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන ආයතනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට ද ඔහුට හැකි වී තිබිණි. මේ ලෙසින් ඔබට ‘අයිඩියල්’ කියන නාමය ලැබුණේ කෙසේ ද? අපි නලින් වෙල්ගමගෙන් විමසීමු.


අයිඩියල් හවුසස් කියලා ආයතනයක් එංගලන්තයේ තිබෙනවා. ඔවුන් සඟරාවක් පවා කරනවා. එය හරි ජනප්‍රියයි. එයාලා වාර්ෂිකව ප්‍රදර්ශනයකුත් පවත්වනවා. මේ ගැන මට ලොකු උනන්දුවක් තිබුණෙ. කවද‌ා හරි මගේම ආයතනයක් පටන්ගන්නේ නම් අයිඩියල් කියන නම තමයි ද‌ාන්නෙ කියලා හිතුවා.


අයිඩියල් නාමය නලින් වෙල්ගම මහතා අනාගතයේ දිනෙක කීර්තිමත් ව්‍යවසායකයකු කරා ගෙන යා හැකි යැයි නොසිතුව ද එද‌ා එලෙසින් ඒ නාමය යොද‌ා ගෙන තිබේ. කෙසේ වෙතත් එංගලන්තයේ සිට පවත්වාගෙන ගිය ව්‍යාපාරයට විවිධ බාධා එල්ල වූයේ රථවාහන ගෙන්වා ආනයනය කරන අනෙකුත් ආයතන වෙතිනි.


එතෙක් ගෙවී ගිය ජීවිතයේ ලොකුම කලකිරීමට ඔහු පත්වූයේ ඉනික්බිතිවය. එහෙත් එද‌ා ආ අභියෝගය ඔහු පසුව ජයගත්තේ යෝධ පියවරක් ඉදිරියට තබමිනි. ජීවිතයට ආ ඒ අභියෝග මොනවාද? ඔබ ඒවාට එද‌ා මුහුණ දී ජය ගත්තේ කෙසේ ද? අපි ඔහුගෙන් විමසීමු.


‘එද‌ා එංගලන්තයේ සිට කළ වාහන ආනයන අපනයන වැඩේදී ජපානයේ ‘කුබෝසන්’ (මහත්මයා) මට බෙහෙවින් උදව් කළා. නමුත් මම වාහන ගෙන්වා බෙද‌ා හැරීම ගැන ඩීලර්ස්ලා ඔහුට එරෙහිව චෝදනා යොමුකර තිබීම නිසා ඔහු මුහුණ දී සිටියෙ දැඩි අපහසුතාවකට. එයා මට උදව් කරන්න ගිහින් නේද මේ අපහසුතාවට මුහුණ දුන්නෙ කියලා මට මගේ හිතට වාවන්නෙ නැතුව ගියා.


එතෙක් මගේ ජීවිතයේ ඇති වූ විශාලම දුක අපේ තාත්තා නැති වූ දවසයි. ඉන්පසුව මම මුහුණ දුන්න ලොකුම දුක මේ කූබෝ මහත්මයාගේ ප්‍රශ්නයයි. මුදල් කියන දේ අපට හම්බ කරන්න පුළුවන්. ඒත් මේ වගේ අපට උදව් කළ මිනිස්සු අපට අමතක කරන්න බැහැ.


ජීවිතයේ මට වාවන්නෙ නැතුව ගියේ ඒ නිසයි.


මා වෙළී සිටි මේ මානසික ව්‍යාකූලතාව මගේ මිතුරකුට තේරුණා. ‘ඔයා අහවල් පන්සලේ හාමුදුරුවෝ හමුවන්න යන්නකෝ.’ කියලා එයා මට කිව්වා. සීදුව පැත්තෙ විහාරස්ථානයක වැඩ සිටි ඉතා වයෝවාද්ධ වූ ඒ නායක ස්වාමීන්වහන්සේ හමුවන්න මා ගියා. උන්වහන්සේ මගේ කේන්දරයත් බලලා ‘මහත්තයට දැන් මොකක්ද මගෙන් දැනගන්න ඕනෑ.’ කියලා ඇහුවා?


මම නිශ්ශබ්දව ඉඳිද්දී, මහත්තයා දන්නවා නේද ඉස්සර නවලෝක මුදලාලිටත් ලොකු ප්‍රශ්න ආවා. එද‌ා කොළොන්නාවේ මගේ ගුරු හාමුදුරුවෝ ළඟට ඇවිත් එතුමා වෙලාව බලා ගත්තා. එද‌ා නවලෝක මුදලාලිට අපේ නායක හාමුදුරුවෝ කී දේම තමයි අද මම ඔබට කියන්නෙත්. මොකද මේ පලාපල ඊට සමානයි. මේක වැරදි කෙනෙක් ළඟට ගිහින් පෙන්නුවොත් කියාවි මහත්තයාට හැමද‌ාම අර්බුද, ප්‍රශ්න කියලා. ඒ නිසා මේක පැත්තකට වීසි කරලා ද‌ාන්න. ඔයාගේ අනාගතය දීප්තිමත්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේවා අල්ලලා පැත්තකට ද‌ාන්න. අනෙක් අතට මහත්තයා මෙහෙම හිතන්නකෝ. ඔයා බෞද්ධයෙක්නේ. හෙට මැරුණොත් මොකද වෙන්නෙ? නිතරම අනිත්‍ය මෙනෙහි කරන්න. බුද්ධියෙන් හිතන්න. බුද්ධියෙන් ප්‍රශ්න විසඳන්න’ කියලා උන්වහන්සේ කීවා.


විශ්වාස කරන්න එද‌ා සිට මම ප්‍රශ්න කිසිවක් ඔළුවට ද‌ාගත්තෙ නැහැ. ඒවා ඇඟට ගත්තෙත් නැහැ. අපට ජීවිතය පුරාම තියෙන්නෙ අභියෝග. ප්‍රශ්නයක් ආවාම ඒවා ඇඟට ගත යුතු නැහැ. 1990 සිට මම ප්‍රශ්නවලට අභියෝගවලට මුහුණ දෙන්න පුරුදු වුණේ ඒ විදියටයි. කරන දේ හෘද සාක්ෂියට එකඟව කළොත් අපට වරදින්නෙම නැහැ.’
මෙලෙසින් දහමින් ජීවිතය අවබෝධ කරගත් නලින් වෙල්ගම මහතාගේ ජීවන රටාව ඉතා සරලය. දියණියන් දෙදෙන සහ බිරිඳ ඔහුගේ ලෝකය වෙයි. බිරිඳගෙන් ඔහුට ලැබෙන සහයෝගය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය.


‘ඉස්සර එංගලන්තයේදි මම අඩිපුඩි ගැහැව්වා. ඒත් ඒ කිසිවක් අද කරන්නෙ නැහැ. සමාජශාලාවල නෙවෙයි මගේ ජීවිතය ගෙවෙන්නෙ. මට හොඳ යාළුවො ටිකක් ඉන්නවා. නිතරම පන්සල් නොගියත් ඒ පිළිවෙත් සහ පන්සිල් රකිනවා. මට ඕනෑ සමාජ සේවයක් කොට මේ රට වෙනුවෙන් යමක් කිරීමටයි.’


ජීවිතයේ යථාර්ථය ගැන එසේ පවසන නලින් වෙල්ගම මහතාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ ‘අයිඩියල්’ සමාගම මෙරට ස්ථාපිත කරමින් මහේන්ද්‍රා රථවාහන නිෂ්පාදන පද්ධතියක් මෙහි ස්ථාපිත කිරීමට හැකිවීම නිසාය. එය ඔහු ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ තැබූ යෝධ පියවරකි.


2009 දී ලෝ ප්‍රකට මහේන්ද්‍රා සමාගමේ නිර්මාතෘ ආනන්ද මහින්ද්‍රා මේ ශ්‍රී ලාංකීය ව්‍යවසායකයා හට දුන් අභියෝගය ජය ගත්තේ තවත් ලෝ ප්‍රකට චරිතයක් වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා නලින් වෙල්ගම මහතා සමග එක්වීම නිසාය.


ඔබ කොහොමද අරවින්ද හඳුනන්නෙ?


ඉස්සර ඉඳලම මම අරවින්දගේ රසිකයෙක්. පසුකලෙක එයාට එයා ආස කරන රථ ආනයනය කරදීම කළේ මම. ඉතින් ඒ දැන හැඳිනීම අප අතර තිබුණෙ. මහේන්ද්‍රා ආයතනයේ ප්‍රධානියා හමුවීම සිදුවුණේ අරවින්ද නිසයි. එයා සංජේ මංජ්රේකාර් හරහා කතා කරලා මට අවස්ථාවක් අරන් දුන්නා.


ම​ෙහ්න්ද්‍රා සමාගමේ ශ්‍රී ලාංකීය නියෝජිත පැවරුම ලබා ගන්න තවත් ලාංකීය මහා පරිමාණ ආයතන දෙකක් සමග අප ද ඇතුළත් වුණා. අවසානයේ අවස්ථාව ලැබුණේ අපට. ඒ වෙලාවෙ මහේන්ද්‍රා සමාගමට අපේ ප්‍රාග්ධනය බලන්න ඕනෑ වුණා. ඔන්න ඒ වෙලාවෙ අරවින්ද සමග එක්වීම නිසා අපට එය පෙන්වීමට පුළුවන් වුණා.’


‘අරවින්ද සහ නලින්’ සුසංයෝගය අයිඩියල් සමාගම වෙත සම්මිශ්‍රණය වූ දිගු කතාවේ කෙටි සටහන එසේය.


වත්මනෙහි අරවින්ද මෙහි උප සභාපති වන්නේය. 2009 දී ඉන්දියාවේ මහින්ද්‍රා සමාගම සමග සම්බන්ධ වී කුඩා ට්‍රක් රථ ආනයනය පටන් ගත් අයිඩියල් සමාගම ඉන්පසු සුපිරි මහින්ද්‍රා වාහන ගෙන්වීම සිදුකළ අතර ශ්‍රී ලාංකිකයින් අතර වඩා ජනප්‍රිය වූයේ සේවයෙන් පසු ලබා දුන් විධිමත් ක්‍රමවත් සේවා සහ පහසුකම් නිසා යැයි කිව හැකිය.
මෙකී සියල්ල සමග නලින් වෙල්ගම නමැති මේ කීර්තිමත් ව්‍යවසායක චරිතය දැන් සූද‌ානම් වන්නේ අපේ රටේදීම වාහනයක් නිර්මාණය කිරීමටය. එනම් දීර්ඝ කාලීනව තිබූ ඔහුගේ සිහිනය ප්‍රායෝගික කර වීමටය. තව නොබෝ දිනකින් එය ඇරඹීමට නියමිත අතර ඒ මගින් ලෝකයට නිෂ්පාදනය වන්නේ ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ නාමය යටතේය.

 

බිරිඳ සහ දියණියන් දෙදෙනා සමග

 

 


ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ මහින්ද්‍රා සමාගමේ සියයට 35ක ආයෝජනයක් තිබෙන අතර ඉතිරි සියයට 65ක ආයෝජනය අයිඩියල් සමාගමේ වීම සාඩම්බරයට කරුණකි. ඔහු සතු මේ දැක්ම නිසා රථවාහන සඳහා සීට් (ආසන) නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයාගේ සිට තවත් බොහෝ අංශවල නිෂ්පාදක ආයතනවලට අවස්ථා රැසක් විවර වී තිබේ. තමා නායකත්වය සපයමින් ඔහු මේ ගමන් කරන්නේ තවත් පිරිසකට අත්වැල සපයමිනි.


‘මොන දේ කළත් අපි මේ රටට මුදල් උපයා දෙන්නෙ නැත්නම් මේ රට දියුණු කරවන්නෙ කොහොමද? බොහෝ සමාගම් කරන්නෙ භාණ්ඩ මෙහි අලෙවි කරලා රුපියල් ඩොලර් කරගෙන අපේ රටේ මුදල් අරගෙන යන එකයි. ඒත් අපේ අරමුණ එය නොවෙයි. අපේ රටට ඩොලර් ගෙන දීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරවීමයි.


එනම් මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමයේ නිෂ්පාදන ලෝකයට අපනයනය කර රටට මුදල් ගෙන දීම අපේ ඒකායන අරමුණයි. අපි හැමෝම උත්සාහ ගත යුත්තේ ඒ දේ කිරීමටයි. අල්පෙනෙත්ත පවා පිටරටින් ගෙන ඒමට වඩා අපි අල්පෙනෙත්තක් හරි නිෂ්පාදනය කරලා රට යවලා රටට සල්ලි හම්බ කර දීමයි වැදගත්.


අපට සෑම දෙයක්ම ජයගන්න පුළුවනි. ඒකට නිසි ඉලක්කයක් අවශ්‍යයි. ආර්ථිකය විතරක් තිබිලා මදි. කැපවීම සහ ඉලක්කය තියෙනවා නම් අපට නිවැරදිව ඒ ගමන යන්න පුළුවනි.’


එලෙසින් ව්‍යවසායකත්වයේ මහා කුලුනක් වූ නලින් වෙල්ගම මහතාගේ සංකල්පයෙන් හෙට දින ලොවට ද‌ායාද වන කර්මාන්තශාලාව සහ මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය යටතේ නිපදවන රථය ගැන විස්තර හෙට දවසේ බොහෝ දෙනා අතර සුවිශේෂී කතාබහකට ලක්වනු ඇත.

 

 

සටහන
 සඳුන් ගමගේ