අමු කැලෑ ගිනි තියන්නේ කවුද ?


පුංචි ශ්‍රීපාද කන්දේ ගින්න

වාසනාගම ගින්න

 

 

හැන්දෑවේ නැගෙන දුම්ගුලි අහසට ඇදී යද්දී පැය කීපයක් තුළ රෑබෝ වෙද්දී එම දුම්ගුලි අතුරින් මතුවන ගිනි දළු බුර බුරා ඉහළට නගින්නේ මහා ගිනි ජාලාවෙමිනි.   


මේ දසුන ජුලි මස සිට සැප්තැම්බර මාසය අතර කාලයේ දින ගණනාවක් මුළුල්ලේ ඌව දනව්වේ මිනිසුන්ට දක්නට ලැබෙයි. මේ මහා ගිනි ජාලා ඌව පළාතේ වන රක්ෂිත, වනජීවි අභයභූමි, ඓතිහාසික ඔසු උයන් පමණක් නොව හැම කන්දකම පාහේ කැලෑබිම් දහස් ගණනක් මේ වන විට වනසා අවසන්ය.  

 
ලෝකයේ හොඳම ඔක්සිජන් වායුව ඇති බවට ප්‍රකට ඇල්ල, ප්‍රදේශයේ රාවණා ඇල්ල රක්ෂිතයට අයත් පුංචි ශ්‍රී පාද කන්දේ ඇතිවු ගින්න පුංචි ශ්‍රී පාදය වටා අක්කර දහසක පමණ කැලෑබිම ගිනි රකුසාට ගොදුරු කළේය.   
විදේශීය සංචාරකයන් පවා සුසුම්ලමින් පැය 24 ක් පුරා පැතිර ගිය මේ ඛේදවාචකය බලා සිටියහ.   


පුංචි ශ්‍රී පාදය කන්ද මිහිකත නිමැවු අපූරු සොබාවික නිර්මාණයකි.   


මිදුම් අතරින් මෙම කන්ද තරණය කළ විට බදුල්ල, මොණරාගල හා හම්බන්තොට දසුන් නෙත මත සටහන් වෙන්නේ අපමණ සුන්දරත්වයක් මතුකරමිනි.   


රාවණා දිය ඇල්ල ගලා බසින්නේ රාවණා ඇල්ල වන ජීවි අභය භුමි රක්ෂිතය මැදිනි.   


මෙම රක්ෂිතයටම ආවේනික සත්ව විශේෂ මෙහි වෙසෙන බව පරිසරවේදීහු පවසති.   


ගින්න නිවී යන තෙක් බලා සිටීම හැර ගිනි නිවීම සඳහා කැඳවූ යුද හමුදාව හා සෙසු අංශයන්ට කළ හැකි දෙයක් නොවීය.   


සුළං හා පොර බදිමින් ගින්න පැතිර ගියේය.   


අවසානයේ ඉබේටම් නිවී ගියේය. ඒ වන විට රාවණා ඇල්ල වන ජීවි රක්ෂිතයෙන් හතරෙන් එකක කැලෑබිම වැනසී තිබිණ.   


මේ අතර බුද්ධ දාස රජතුමා විසින් ආරම්භ කරන ලදැයි සැලකෙන හෙක්ටයාර් 12000 කින් යුතු බිබිල නිල්ගල ඹෟෂධීය වන උයනට අයත් පුවක්පැලේ කොටසේ ඇතිවූ ගින්න පැතිර ගියේ අරළු, බුළු, නෙල්ලි, කුඩුම්බේරිය කොළ, බිම් කො​ෙහාඹ, ඇතුළු ඖෂධ ශාක හා කළුවර, බුරුත, ගම්මාලු ඇතුළු දුලබ වන සම්පත ද විනාශ කරමිනි.   


දුලබ මලක් වන එමෙන්ම ඌව පළාත් පුෂ්පය වන ගුරුළුරාජ පුෂ්පය පූදින්නේද මෙම ඖෂධ වනයේය. මෙම රක්ෂිතයේ අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් මේ වන විට ගින්නෙන් වැනසී ගොසිනි.   


හල්දුමුම්ල්ල, වංගෙඩි ගලකන්ද, ඌව සබරගමු මායිමේ පිහිටියේය.   


අපේ රටේ උසම දියඇල්ල වන බඹරකන්ද දියඇල්ල පිහිටි මෙම අපූරු කන්ද තරණය කර කූඩාරම් තුළට වී එහි හෝරා ගණනින් ගත කිරීමට හෝ රාත්‍රිය පහන් වන තුරුද රැඳී සිටීමට දෙස්-විදෙස් සංචාරක​ෙයා් ඇලුම් කරති.   


ඌවේ අසිරිය විඳින්නට පැමිණි සරසවි සිසුන් 10 දෙනෙක් මහා ගිනි ජාලාවන්ට කොටුවී ජීවිතයත් මරණයත් අතර හෝරා කීපයක් ගත කළේ මෙන්න මේ වංගෙඩි ගල මුදුනේදීය.   


“අපි වංගෙඩි ගලට ආවේ හරිම ආශාවෙන්. බොහොම අමාරුවෙන් වංගෙඩිගල මුදුනට නැග්ගා. දුෂ්කර වුවත් ඒක සොඳුරු වින්දනයක්. සවස් වෙන විට කන්ද වටේ කඳුපන්තියේ දුම්ගුලි නැගෙමින් තිබුණා. පැය කීපයක් යන විට අපට වංගෙඩිගල වටා දක්නට ලැබුණේ වේගයෙන් පැතිරයන මහා ගිනි ජාලාවක්. අපට කිසිම පැත්තකින් බහින්න බැරි විදියට වංගෙඩි ගල වටේම කැලෑව ගිනිගත්තා. කරන්න දෙයක් නැතිනිසා ගින්නට මැදිව අපි අරසරණ වුණා. ඊට පස්සේ පොලිස් හදිසි දුරකථන අංකයට 119 එකට කෝල් කළා. ඊට පසු යුද හමුදාව ආවා. යුද හමුදාව ආවත් ළංවෙන්න බැරිව බොහෝ වේලාවක් සිටියා.   


ගුවන් හමුදාව හෝ යොදවා අපි බේරාගන්නා බවට තොරතුරු ලැබුණා. කොහොම නමුත් දියතලාවෙන් යුද හමුදාව පැමිණ ආරක්ෂා සහිතව ගින්න පාලනය කළා. හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිරිසක්ද පැමිණ ගෙඩිගලින් අපව පහළට රැගෙන ආවා” යැයි සරසවි සිසුන් පැවසුවේ බිහිසුණු එම අත්දැකීම විස්තර කරමිනි.   


මේ වනවිට ගින්නක් නොනැගුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්, ගින්නෙන් නොවැනසුන කන්දක් නොමැති තරම්ය. මහා ගිනි ජාලාවලින් ස්වාභාවික ජල උල්පත්වලට ඇති බලපෑම ද අති විශාලය.   


බදුල්ල හිටපු දිස්ත්‍රික් ලේකම් පරිසරවේදී නිමල් අබේසිරි මහතා මේ කැලෑ විනාශය දකින්නේ මෙලෙසිනි. 

 
“ආහාර නැතිව දවසක් දෙකක් ජීවත්වෙන්න පුළුවන්. හැබැයි වතුර නැතිව ජීවත්වෙන්න බැහැ. මෙහෙම බලන කොට අපි ඉන්නේ බියකරු තැනක. අපේ අනාගත පරපුර වෙනුවෙන් අපි අපේ යුතුකම හරිහැටි ඉටු නොකළොත් අපේ වළටත් හෙණ ගහයි. බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන ලොග්ගල්ලා ඔය යම්කිසි හෙයකින් වියළිලා ගියොත් හානියට පත් වුණොත් ලංකාවේ වැඩිම වී නිෂ්පාදනය කරන අම්පාර දිස්ත්‍රික්කයට ජලය සපයන ඉඟිනියාගල ජලාශය විනාශ වෙනවා.   


අම්පාර, මඩකළපුව දිස්ත්‍රික් දෙකම මහා නිස්සාර කාන්තාර බවට පත්වෙනවා. කෘෂිකර්ම ආර්ථිකයෙන් ජීවත්වන ප්‍රදේශවලට ජලයදීමට නොහැකි වුවහොත් මහා වියළි කාන්තාර බවට අනාගතයේදී පත්වෙන්න පුළුවන්.   
වියළි කාලගුණ තත්ත්වයත් සමග ඇතැම් අය සතුන් දඩයම් කිරීමට, දැව ලබා ගැනීමට, ගින්නෙන් පසු ඇතිවන ළපටි තෘණ ගවයන්ට ලබාදීමට අනවබෝධයෙන් වගේම ගිනි දැකීමට ඇති උමතු ආශාවට, මෙන්ම පුරුද්දට ද මෙසේ කැලෑ ගිනි තබන බව ඒ පිළිබඳව කරන ලද පර්යේෂණවලදී අනාවරණය වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්. උදයකුමාර මහතා පවසන්නේය.   


වන හානිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට හා ගිනි තබන්නන් පිළිබද තොරතුරු දෙන අයට තෑගි පිරිනැමීමටද පියවර ගෙන ඇතැයි ඔහු සඳහන් කළේය.   


ඇත්තම කියනවා නම් කැලෑ ගිනි ඇතිවූ විට ඒවා නිවාලන්නට රාජ්‍ය අංශ ඉදිරිපත් වන්නේ එම ගින්නෙන් නිවාස, ජිවිත හෝ දේපළවලට තර්ජනයක් පවතී නම් පමණි.   


මේ ගිනි ඇති වන කඳු මුදුන්වලට ජල විදින යැවීමට බැරි බවද සත්‍යයකි.   


යුද හමුදාව පොලිසිය හා ප්‍රදේශවාසීන් කරන්නේ කොළ අතුවලින් ගසමින් ගින්න පාලනය කිරීමය. නැතිනම් ඉබේම නිවී යන තෙක් බලාසිටීමය.   


කෙසේ නමුත් එකම කාලයක එකම රටාවකට පැතිරයන මේ ගිනි පිළිබඳව විමසූවිට වන ජීවි ඉහළ නිලධාරියෙක් පැවසුවේ, සතා ඉතා සංවේදි බැවින් ගින්නට හසුනොවී පැනයන බවයි. කැලෑ ගිනිවලින් පසු මතුවන ළපටි ශාඛ වන සතුන්ට හොඳ ආහාරයක් සපයන බවද ඔහු අවධාරණය කළේය.   


කෙසේ නමුත් මෙය විවාදාත්මක සත්‍යයක් වුවත් විවාදාත්මක බැවින් තම නම සඳහන් නොකරන ලෙසටද එම නිලධාරියා ඉල්ලීමක් කළේය. 

 
අක්කර දහස් ගණනින් මෙසේ ගිනි තබා විනාශ කර ඇතත් සැකකරුවෙක් හෝ අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ හෝ වෙනත් ආයතනයක් මෙතෙක් සමත් වී නැත.   


එකම කාලයට එකම රටාවට මේ ගිනි දල්වන්නෝ දන්නේ කවරහුද?   


තවත් සති කීපයකින් ළපටි ශාකවලින් මේ කඳු යාය වැසී යා හැකිය. ජල උලපත්වලට වූ හානියට වගකියන්නේ කවරහුද?   

 

බඹරකන්ද දියඇල්ල

වංගෙඩිගලේ ගින්නට මැදිවු පිරිස බේරාගෙන එද්දි

 

 

 

 

 


සටහන හා ජායාරූප   
බදුල්ලේ පාලිත ආරියවංශ