අම්මාට නොසැලකූ පවට ඇගේ ආයුෂ කෙටි විය


ජීවිතය යහ මගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි

අම්බලන්තොට එස්. සෝමසිරි මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

තරුණ ජීවිත බිලි දුන් නරුමයා ජීවිතයෙන් වන්දි ගෙවීය


භීෂණය රට පුරා පැතිර ගියේය. මිල මුදල්, නිලතල, උස් මිටිකම් නොතකා සියල්ලෝම මර බියෙන් කල් ගෙවූහ. මරණය දැන් දැන් එතැයි වික්ෂිප්තව ගියහ. ආණ්ඩුවේ හමුදාවන්ද, ගිනිඅවි අතදැරු වෙනත් කණ්ඩායම් ද තරගයට මෙන් මිනී මරන්නට වූහ. රාත්‍රිය නොඑළඹ පවතීවායි පැතුවද රාත්‍රිය එළඹෙයි. උදේට තැන තැන දක්නට ලැබෙන ටයර් සෑයන්හි දැවෙන තරුණ ජීවිත දේශයේ අනාගත යැයි ඇතැම්හු අවංකවම තැවුලට පත් වුවද, තවත් අය යටි සිතින් ඊට ආශිර්වාද කළහ. තරුණ දූ දරුවන් සිටින අම්මලා, තම දරුවන් යළි කුසට ගත හැකි නම්​ යෙහෙකැයි පැතූහ. ඒ දරුවන්ගේ දිවි රැකගත යුතු නිසාවෙනි. වාහන සද්දයකට, අඩි සද්දයකට, බල්ලෙක් බුරට හඬන පමණක් නොව ගසකින් පොල් අත්තක් වැටෙන හඬට ද තිගැස්සෙන මව්වරු, පියවරු තම දරුවන් මෙම මෘග රැලෙන් බේරා දෙන මෙන් නිතර දෙවේලේ දෙවියන්ට කන්නලව් කළහ.  


මෙවැනි භීෂණකාරී පසුබිමක් තුළ ඉන් තම නිහීන මුග්ධ අරමුණු ඉටුකර ගත් නරුමයෝද නොසිටියෝ නොවෙනි. පෙර කල ගමේ බලවතෙකු ලෙස පෙනී සිටිමින් විවිධාකාරයෙන් ගම්වැසියන් රිදවූ හිටපු වෙල්මුලාදෑනියා එවැනි නරුමයන් අතර කෙනෙකි. නිල බල පට්ටම් ගැලවී නිකමෙකු බවට පත් ඔහුට තව තදුරටත් ගමේ වැසියන් වෙත ආධිපත්‍ය පැතිරවිය නොහැකි විය. සූදුව, සුරාව හා ස්ත්‍රී ලෝලත්වය ප්‍රශස්ත ලෙස පිරිවර කොට ගත් ඔහු තම මව්පියන් අසාධාරණ ලෙස උපයා තැබූ ඉඩකඩම් දේපොළ සිය තෘප්තිය වෙනුවෙන් කැප කොට මහ ගේ කබලට පමණක් සීමා විය.   


‘විදානෙයා’ ලෙස අනභිමුඛයෙහි ගම්වැසියන් විසින් අමතන ලද බව දැන සිටියද බැණ වදිනවා හැර අන් කළ හැකි යමක් නොවීය. ගමේ තරුණයන් විසින් තුට්ටුවකට මායිම් නොකිරීම ඔහු සිත රිදවීය. තරුණයන් කෙරෙහි වෛරයෙන් පසුවිය. එහෙත් ඔවුන්ට එරෙහිව මෙම පුද්ගලයාට ගත හැකි ක්‍රියා මාර්ගයක් නොවීය. එවැනි පසුබිමක් යටතේ භීෂණය විදානයා ලද ජයග්‍රහණයකි.   


තරුණ ජීවිත බිලි ගැනීමට මාන බලමින් දඩ බල්ලන් සේ එහෙ මෙහෙ දුවන නිල ලත් ගිනිඅවි දරන්නන්ගේ සුරතලෙකු වූ විදානේ තම පටු අරමුණු ඔවුන් ලබා මස්තකප්‍රාප්ත කර ගැනීමට හැකිවීම එම ජයග්‍රහණයයි. ව්‍යාජ හේතු දක්වමින් තමන්ට එරෙහි වූ තරුණයන් බිලි දීමට හෙතෙම ක්‍රියා කළේය. ඒ රාත්‍රි කාලයේ ගෙවල්වලට පැන බලයෙන් දක්කා ගෙන ගොස් අතුරුදන් කිරීම් සුලබ විය. මේ නිසා බොහෝ තරුණ දූ දරුවන් රාත්‍රි කාලයේ නිවෙස්හි නොසිටින අතර අසල ලඳු කැලෑවන්හි සැඟවී සිටියහ. වැඩි දිනක් ගත වෙන්නට මත්තෙන් මෙම පුවත විදානේගේ සවනත වැටුනි. ඔහු ක්‍රියාත්මක විය.   


දිනක් මධ්‍යම රාත්‍රියේ ගම්මානය බියට පත් කරමින් අසල බඩවැටිය දෙසින් වෙඩි හඬ නැගුනි. තිගැස්සී ගම්වැසියෝ පිබිදුනහ. බල්ලන් නොනවත්වා බුරන්නට වූහ. කිසිවක් සිතන්නටවත් කරකියා ගන්නටවත් අපොහොසත් වූ ගම්වැසියෝ වෙඩි හඬ මැකී ගොස් මද වේලාවකින් හඬ නැගුණු දෙයට ළඟා වූහ. දක්නට ලැබුණු දර්ශනයෙන් කම්පා වූවන් නැගූ විලාප හඬින් ගම දෙවනත් විය. ඒ වෙන විටත් රුධිර ධාරා ගලමින් තරුණ පුතුන් තිදෙනකු වැටී සිටියහ. එහෙත් පණ නළ නිරුද්ධය.  


වැඩි දිනක් ගත නොවිනි. මැදියම් රැයේ ගම පිබිදුනේ විදානෙගේ ගේ දෙසින් නැගුනු වෙඩි හඬ හා විලාප හඬිනි. කිසිවෙක් එළියට නොබැස්සහ. උදේ සැල වූයේ විදානේට  වෙඩි තබා ඝාතනය කර ඇති බවයි. දේහයට ගෞරවනීය ආදාහනය ද අහිමි කර නියෝග දී තිබුණි.   


මෙවැනි බැරෑරුම් අවස්ථාවලදී තම පෞද්ගලික කුරුරි අරමුණු ඉටුකර ගැනීමට මාන බලන ඕනෑම ජගතෙකුට එබඳු ඉරණමක් අත්වෙන බව අප තේරුම් ගත යුතුය. 

 



මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවක් මෙසේය.   


දිරිය මාතාවකගේ නොපසුබට උත්සාහය නිසා මුළු පවුලම අඳුරෙන් එළියට   


තේ, රබර්, ​පොල්, කුරුඳු, කෝපි, කොකෝවා, ගම්මිරිස් හා වී ගොවිතැන ආදී කෘෂිකාර්මික ආර්ථිකයෙන් රට ගොඩනැගෙනමින් තිබියදී ප්‍රේමදාස යුගයේදී ආරම්භ කරන ලද නිමි ඇඳුම් නිෂ්පාදනය හා ගෘහ ​සේවිකාවන් රට රැකියාවලට යෑම ගණ සැරේට සිදුවිය.   


පවුලේ ගෘහණිය විදේශ ගතවීමෙන් පසුව සැමියා බේබද්දෙකු වෙනවා නම් පුතා කුඩුකාරයෙකු වෙනවා නම් පාසල් යන දියණිය ගැබිනියක වෙනවා නම් ගෘහණිය විදේශ ගතවීමෙන් සොයන රට සල්ලිවලින් පලක් නැත. ඒ වෙනුවට විදේශ වෙළඳපොළ ඉලක්ක කර දේශීය හස්ත කර්මාන්ත ප්‍රවර්ධනය වඩා සාර්ථක වෙන බව වරක් එක්තරා අමාත්‍යවරයකුද පවසා තිබුණි. ඔහු එසේ පවසා තිබුණ් අප එක ඩොලරයක භාණ්ඩ පිට රට යවන විට ඩොලර් දෙකක් වටිනා භාණ්ඩ රටින් ගෙන්වන බැවිනි.   


මෙවන් පසුබිමක් පවතින අප රටේ සමහර කාන්තාවන් ‘රන් කහවනු’ සොයා රට ගොස් විදේශිකයන්ට බැල මෙහෙවරකම් කිරීම ලොකු ‘වීරකමක්’ ලෙස සිතුවත් වැඩිදෙනා රට රටවල යෑමට දැක්වූයේ දැඩි බියක් හා පිලිකුලකි.   


මෙයට වසර ගණනකට පෙර ගමේ ගොවිතැන් බත් හා කුලියක් මලියක් කර ජීවත් වූ ‘සයිමන්’ ගසකින් වැටීම නිසා මියගිය බැවින් බිරිඳ හා දරු තිදෙනා අන්ත අසරණ තත්ත්වයට පත්වූයේ නොසිතූ විරු අන්දමටය. ගැහැණු ළමයි දෙදෙනා සහ වැඩිමල් පිරිමි ළමයා පාසල් වියේ පසුවූ බැවින් තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබුණි.   


තම සැමියා වගාකර ඇති එළවළු වගාවේ පලාවර්ග හා අල බතල නගරයට ගෙන ගොස් මග අසල තබා වෙළ හෙළදාම් කරන දිරිය ගැහැණියක් වූ ‘සෝමා’ දරුවන් කුසගින්නේ නොතබා ඉගැන්වීමට ඉමහත් වෙහෙසක් ගත්තාය. දරුවන් තිදෙනා වියපත් දෙගුරන්ට බාරදී රටගොස් මුදල් හරි හම්බ කරන ලෙස සමහරු ඇයට උපදෙස් දුන්නත් දරුවන් සමග දුකසේ වුවද කාලය ගෙවීම හොඳ බව සිතූ ඇය එළවළු වෙළඳාමෙන් ‘ගොඩ’ ඒමට සිතුවාය.  


සෝමාගේ උත්සාහය ගැන පැහැදුන ගමේ වැඩිදෙනා ඇගේ පවුලේ දියුණුව උදෙසා එලවළු අලබතල හා පලා වර්ග නොමිලේම ලබාදුන්නේ අනුකම්පාව පෙරදැරි කරගෙනය. උදයට හා දහවලට දරු තිදෙනාට කෑම කවා එළවළු වෙළඳාමට ‘ටවුමට’ යන සෝමා සවස් කාලයේ තම නිවස කරා පැමිණියාය.   
නිවාඩු පාඩු වේලාවන්හිදී ළමයින්ද හැකි සැමවිටම උදව් පදව් දුන් බැවින් හා වෙළඳාමෙන් සිය ව්‍යාපාරය ඇරඹූ සෝමාට එය ත්‍රීවීලය දක්වා දියුණු කර ගැනීමට වැඩිකලක් ගත නොවීය.   


නගරයේ සතිපතා පැවති ‘පොලේ’ බිම් තීරුවක වෙළඳාම් කරන ඇයට පාසල් අධ්‍යාපනය නිම කළ තම වැඩිමහලු පිරිමි ළමයාගෙන් ලැබුණේ ලොකු සහයකි. ත්‍රීවීලරයේ රියදුරා ලෙස සේවය කළ ඔහු පිට හයර් යාමට පවා වැඩි උනන්දුවක් දැක්වූ බැවින් පවුලේ අඟහිගකම් ‘හිරු දුටු අඳුර සේ’ මැකී ගියේය. සෝමාගේ උත්සාහය නිසා අසරණ පවුලම ‘වළෙන්’ ගොඩ ආ බව ගමේ උදවිය පැවසුවේ ​නොමද සතුටකිනි.   



දැරිණියගල යටිවල ලලිතා රත්නසීලි මැණිකේ මහත්මිය ලියා එවූ කතාවක් මෙසේය.   

අම්මාට නොසැලකූ පවට ඇගේ ආයුෂ කෙටි විය 


මේ එක්තරා ගමක සිදුවූ කතාවකි. මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වුයේ තේ දළු කැඩීමය. මේ ගමේ එක්තරා අහිංසක මාපිය යුවළකට දරු දෙදෙනෙක් වූහ. මව්පියන් මෙන්ම දරුවනුත් ඉතාමත් අහිංසකය. නිසි කල ආ විට මවුපියෝ ඔවුනට පෙළවහක් කර දුන්හ.   


වැඩිමලා කුඩා පැලක් සාදාගෙන වෙන්ව ජීවත් විය. බාලයා මහ ගෙදර ජීවත් විය. ඈත ගමකින් ගෙන ආ අඹුවද වැඩට, පොළට ඉතාම කඩිසරය. ඇවිත් සුළු කලකින් ගෙදර පාලනය ඇය අතට ගත්තාය.   


පිරිමියා රූකඩයක් සේ මාපියන් බිරිඳ අතර අතරමැදියෙක් විය.   


නෝන්ජලයකු වූ ඔහු බිරිඳ කියන කියන දේ කරනවා හැරෙන්න වෙන විකල්පයක් නැත. මවුපියෝ මේ අඩන්තේට්ටම් ඉවසා සිටියහ.  


නැන්දා - ලේලී දබරය සුළුවෙන් සුළුවෙන් ඇවිලි ඇවිලී තිබුණේය. නැන්දාට බඩ යෑමක් තිබුණොත් බිරිඳ එදාට උයන්නේ බටු, මෑ කරල් වගේ මාළුය. බත් වෙනුවට නූඩ්ල්ස් වගේ දේවල් එදිනට සාදයි.   


නැන්දලා ලේලිලා ​වෛරය ඉස්සර කාලෙ ඉඳලාම පැවත එන්නකි. අදටත් එහෙමය. සියයට එක්කෙනෙක්, දෙන්නෙක් පමණ හොඳ අය සිටිති. නැන්දා නම් ඉතා හොඳය. බැරිම තැන ඇය සැමියාත් සමග ලොකු පුතුගේ ගෙදර ගියාය.   


දැන් බාල පුතුගේ බිරිඳ සොබනි (නියම නම නොවේ) වහ වහා ගමට ගොස් තම මව කැඳවා ගෙන ආවාය. මව මහළුය. ඇයට හොඳින් කවා පොවා නහවා සාත්තු කළාය.  


සාත්තුවේ හොඳකමට දෝ ඒ මහළු මවට පය බිම තමා ඇවිදීමට හැකිවිය.   


අම්මේ පිනි බාන්න එපා..... හෙම්බිරිස්සාව හැදෙයි. ගෙට වෙලා ඉන්න’ ඇය දල අරන් මිදුල අතුගාන විට එහෙම කියා දල උදුරාගන මිදුල අතුගාන්නීය.   
‘අනේ මෙහෙම ආදරයක්’ දුටු අය එහෙම කිවුවෝය. ටික කලක් ගතවිය. හදිසියේම ඇය මවට බණින්න පටන් ගත්තාය.   


​හොස්ස අගින් මැස්ස යන්න බැරි සේ ඇයට කේන්ති යයි. හේතුව කුමක්ද?   


දන්නේ ඒ අම්මාත් දුවත් පමණි. ගමේ අතින් අයට හොඳට කථා කළත් ඒ දුව අම්මාට කතා කරන්නේ පරුෂ වචනයෙනි.   


‘කාපිය මේ ටික කන්ඩ බැරිනම් දාපිය බල්ලට, තේ බොන්ඩ බැරිනම් වීසි කරපිය. පට්ට..... කියා’ අර අමු සිංහලවලින්ම බැණ වදින්නීය.  
ඒ අම්මා නිතර දෙවේලේ සිටින්නේ ඇඬූ කඳුළෙනි. යන එන හැමෝටම කියන්නේ අනිත් දුවගෙ දිහාවට ගිහින් අරින ලෙසයි.   
උදේම නැගිට උයා පිහා හිමිදිරි අරුනැල්ලේම සොබනි තේ දළු නෙළන්න යන්නීය. ගොම්මන් අඳුරත් කර පින්නාගෙන ගෙදරට පැමිණෙන ඇය කරන්නේ බැණ වැදීමය.   


‘අම්මාට බණින්න එපා පව්’ කියා කියන්න හැමෝම බිය විය. මොකද? අම්මාට බණින කෙනා අනිත් අයට මොනවා නොකරාවිද?  


ඇය පන්සලුත් යයි. දානයත් දෙයි. මහා ලොකුවට උයා සිල් කාරයින්ට දානයත් දෙයි. ඉවසා ඉන්න බැරිම තැන ඒ අම්මා ආරූඪ වෙන්න පටන් ගත්තාය.   
අපැහැදිලි භාෂාවෙන් මොන මොනවාදෝ කියයි. හැබැයි ඒවා දෙමළ භාෂාව වාගෙයි. දියණිය බයවී අම්මාට හොඳට සලකයි.   


මේ ආරූඪය බොරුවක්ද? ඇත්තක්ද? දකින්නන්ට කොහොම සිතුනත්..... ඇය හාමුදුරුවෝ වඩමවාගෙන විත් පිරිත් කියා පිරිත් නූල් බැඳ පිරිත් වතුරද පොවන විට ආරූඪය පහව ගොසිනි.   


ටික දවසක් ගතවිය. දැන් ඇය අම්මාට හොඳින් සලකයි. අම්මා දැන් ආරූඪ වෙන්නේ නැත. බොරුවක් වුණත් හැමදාම කරන්න බැරිය. අර දුව අම්මාට ආයිමත් බනින්න පටන් අරගෙන.   


අම්මා සැනසිල්ලේ ඉන්නේ දුව දළු කඩන්න ගිය දවසට පමණි. 

 
‘කම්මලේ බල්ලා ගානයි’ මම දැන්. අප දුටු විට අම්මා එහෙම කියන්නීය. කොතෙක් බැන්නත් අම්මා නොවේ ඇයට බණින්නේ. ඒ අම්මලාගෙ හැටිය.   
දුව තවම ගෙදර ආවෙ නෑ. හරියට වහිනවා. එක් සැඳෑවක අම්මා පාර බලාගෙන සිටියාය.   


අකුණු ගහන වැස්සේ සොබනි ගෙට ගොඩ වූවාය. අම්මා ගිනි මැලයක් ගසා දියණිය උණුසුම් කළාය. වෙව්ලා ගෙට ආ ඇයට උණ සෑදී තිබුණි. රෝහල් ගත කළත් ඇය සුමානයක් තිස්සේ දුක්විඳ අවසන් හුස්ම හෙළුවාය.  


දියණිය නැති සොවින් අනේ ඒ අම්මා හරියට ඇඬුවාය. “මට බැණ බැණ හරි දුව ජීවත් උනානම් අනේ කොච්චර හොඳද?” ඇය කීවේ එහෙමය.  
ඊට පසු ඇගේ ළමයි ඇවිත් ඒ මහලු අම්මා ඇගේ ගමට එක්කර ගෙන ගියේය.   


ඇගේ සැමියාත් දැන් මියගොස්ය. ඒ ගෙදර පාළුවට ගොස්ය. කාටවත්ම ඒ ගෙදර වාසය කරන්නට බැරිය. ආපු ආපු කෙනා මාසයකට වඩා ඉන්නේ නැත. අද ඒ ගෙදර වවුල් රජදහනකි.


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න. 

 

සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්