අමරණීය බව ලබන්නේ “සම්මා” තත්ත්වයට පත්වූ අයයි


අප පසුගිය සතියේ ‘සං’ යනුවෙන් කාරණා තුනක් විග්‍රහ කළෙමු. එනම් රාග, ද්වේශ, මෝහයි. මේ රාග, ද්වේශ, මෝහ ඇත්තා ‘සං’ නිසා විපතට පත් වෙන ආකාරයත්, සිද්ධාර්ථ බෝසතුන් ‘සං’ අවබෝධ කිරීමට සසරේ බොහෝ කාලයක් සැරි සැරූ බවත් පසුගිය සතියේ සඳහන් කළෙමු. රාග, ද්වේශ, මෝහ නැමැති ‘සං’, ඉවත් කිරීම හෙවත් ‘මා’ කිරීම ‘සම්මා’ තත්ත්වයට පත් වීමයි. එවැනිහු වීත රාගී, වීත දේවේශී, වීත මෝහී වෙන්නාහ.


ඒ තත්ත්වයට පත් වීමට නම් මුලින්ම ‘සං’ දැකිය යුතුය. එය ‘සං දස්සේසි’ නම් වේ. ‘සං’ වලින් හට ගන්නා ඉතිරි ඥාන පද තුන අද කෙටියෙන් විස්තර කරමු.


දෙවැනි ඥාන පදය වන්නේ ‘සංමාදපේති’ යන්නයි. එතැනදී ‘මා’ කියන වචනය තුළින් ඉවත් කිරීම හදුන්වනවා. රාග, ද්වේශ, මෝහ නිසා මත්වුණු, රත්වුණු, පිච්චුණු ස්වභාවය ඉන් පසු අවසානයි. ඔවුන් ‘සම්මා’ තත්ත්වයට පත්වෙනවා. සම්මා දිට්ඨියටත් පත් වෙනවා.


තුන්වැනි ඥාන පදය ‘සමුත්තේජේති’ කියල කියනවා. එනම් ‘සං’ සම්පූර්ණයෙන් ගලවා ඉවත් කළා කියන එකයි.


‘සං පහන්සේති’ යන හතරවැනි ඥාන පදය කියන්නේ ‘සං’ ප්‍රහාණය කළා, හෙවත් මිදී නිදහස් වුණා. කියන අදහසයි. 


බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘මහණෙනි, මම දැන් ‘සං’ වාරණය කළා.” කියලා. සං වාරණය කළා කියන්නේ ‘සංවරයි’ කියන එකයි. සිත, සංවරය, කය සංවරය, වචනය සංවරය. ඒ තුන් දොරහි රාග සිතිවිලි නෑ. ද්වේශ සිතිවිලි නෑ, මෝහ සිතුවිලි නෑ. හට ගන්නේ නෑ. හට නොගන්නා නිසා පැවතීමකුත් නෑ. නැති වෙන්න දෙයකුත් නෑ. එහෙනම් ඒ කෙනා සසරින් නිදහස්. ‘සංවර’ වීම ක්‍රමිකව විය යුතු දෙයක්.


‘මහණෙනි මම ‘සං’ සිඳ දැමුවා’ ඒකට කියනවා සංසිඳවීම කියන වචනය. 


‘මහණෙනි මා ‘සං’ ‘අන්ත’ කළා. ‘සං’ අන්ත කළා යනු අන්තයටම යැවුවා කියන එකයි. එයට ‘ශාන්ත’ කියනවා. රාග, ද්වේශ මෝහ සංසිඳ වූ කෙනා, අන්තයට යැවූ කෙනා, වාරණය කළ කෙනා ආර්ය මාර්ගයට පිවිසි කෙනෙක්.


බුදුරජාණන් වහන්සේට ‘සම්මා සම්බුද්ධ’ කියනවා....


මෙහි ‘බු’ කියන අදහස භවයයි. භව තුනයි. රාග භව, ද්වේශ භව, මෝහ භව. මේ භව තුන බුදුරජාණන් වහන්සේ වල් පැලෑටි ලෙස දකිමින් සුද්ධ කළා. මුලින්ම උදුරා දැමුවා... ආයෙත් පැළ නොවෙන විදිහට.


රාග, ද්වේශ, මෝහයෙන් මිදී නිදහස් වීමට තමයි මජ්ජිමා පටිපදා කියන්නෙ.. නිවැරදි වචනය මෙයයි.


යමෙක් රාගයෙන් මත්වෙනවා. ද්වේශයෙන් මත්වෙනවා, මෝහයෙන් මත් වෙනවා, මත් වීම් තුනයි. මත්වීමට කාරණා තුනයි.

එහෙනම් හේතු තුන තමයි ඒ.


‘හේතුං පටිච්ච සං භුතා
හේතු භංගා නිරුජ්ජති’ 


භවයෙන් භවයට අපිව අරන් යන, ඇදගෙන යන, අපිව දවන, තවන, මත්කරන, පුච්චවන හේතු තුන වන රාග, ද්වේශ, මෝහ යන හේතු තුන උපාදානය වීම වැළැක්වූවා.


හෙතෙම වීතරාග, වීත ද්වේශ, වීත මෝහ තත්ත්වයට පත් වෙනවා.


ඒ අය ඉතා හොඳින් සිතේ පවතින ‘දෙතාවය’ ලක්‍ෂණය දකිනවා. එනම් හොඳ - නරක කියන ගොඩවල් දෙක. රාග, ද්වේශ, මෝහ වලින් සසරට සසරේ සැරිසරන අයට කරන විනාශය දකිනවා. නමුත් ‘සං’ ඇති බොහෝ අය මේ දෙතාවය දකින්නේ නෑ. හේතුව ඔවුන් එය ‘සාර’ ලෙස අල්ලා සිටින නිසා.


‘සං’ නිසා පිච්චෙන, දැවෙන තැවෙන අය වීත රාගී, වීත ද්වේශී, වීත මෝහී වූ විට ඔවුන් ‘අමර’ තත්ත්වයට ගැනෙනවා. එනම් ‘අමරණීයයි’ 


එහෙනම් අමරණීය වීමත් හිතන තරම් ලේසි නෑ. අද අමරණීය වෙනවා කියන්නේ පාලම් බෝක්කු හදා, ගුණයහපත්ව හොඳින් ජීවත් වූ අයටයි. මේ සමාජය ගුණවතුන්ව අමරණීයත්වයට පත් කරනවා. රාග සතුන්, ද්වේශ සතුන්, මෝහ සතුන්ගේ ලෝකයේ අමරණීයත්වටය පත් වීම ලේසියි.. හොඳ ජීවිතයක් ගත කළා නම් ඔවුන්ටයි අමරණීය කියන්නේ.


නමුත් ගුණවතුන්, ධර්මය සොයා යන අයගේ ලෝකයේ අමරණීය තත්ත්වයට පත් වන්නේ ‘සම්මා’ තත්ත්වයට පත් වූ අයයි. එනම් මාරයාට හසු නොවන අයයි.


මේ විශ්වයේ චක්‍ර දෙකක් තියනවා. එකක් මාරයාගේ චක්‍රය. අනෙක ධර්ම චක්‍රය, ඔබ ඉන්නේ මාරයාගේ චක්‍රයේ. මාර චක්‍රයේ යන ගමන් ‘ධර්ම චක්‍රයට’ මාරු වෙන්න හදනවා. මාර චක්‍රය කැරකෙන්නේ රාග, ද්වේශ, මෝහයෙන්... එනම් ‘සං’ වලින් සංචක්‍රය තමයි ඒක.


ඊළඟට ධර්ම චක්‍රය කැරකෙන්නේ ‘විසං’ වලින්.... වීත රාග, වීත ද්වේශ, වීත මෝහ වලින් අමර චක්‍රය කියන්නේ මීටමයි.


බුදුරජාණන් වහන්සේ ‘ධම්මචක්කං පවත්තිතං’ යනුවෙන් ධර්ම චක්‍රය පවත්වමින් දේශනා කළේ ‘මාර චක්‍රයෙන්’ ගැළවීම ගැනය.
ධර්ම චක්‍රය පැවැත්වූවොත් ‘අප්පතිවත්තියං’ ‘පැවතීම’, ‘පැවැත්ම’ නැති වෙනවා. සංසාරයේ යාම නතර වෙනවා. මාර චක්‍රය පවත්වන අය ‘සං’ වැඩි දියුණු කරන අය ‘සං වර්ධනය’ කරගන්නවා. අද සංවර්ධනය කරනවා කියන්නේ ගොඩනැගිලි, ගෙවල්, කඩවල්, පාරවල් ඉදි කරන එකටය. පහසුව වැඩි දියුණු කරනවා. ඒ සඳහා කැලෑව, සත්තු, ස්වභාදහම විනාශ කරන්න වෙනවා. මාරචක්‍රය එහෙමයි.


මේ සියල්ල රාග ද්වේශ මෝහ වලින්... අත හැරිම නෙවෙයි, පහසුවයි සොයන්නෙ.. ‘සංවර්ධනය’ කියන්නේ මාර චක්‍රයට අයත් වචනයක්.


‘සංඛාර කියන්නේත්, සම්බන්ධ කියන්නේත් මාරයාගේ වචනයක්.


‘අපි අතර සම්බන්ධයක් තියනවා.’ සමහරු එහෙම කියනවානෙ.. එනම් රාග, ද්වේශ, මෝහ වලින් ඒ දෙදෙනා බන්ඳවලා ඉවරයි. ඉතින් පිච්චෙනවා, රත්වෙනවා, ඇවිලෙනවා.


පාරේ යන හැමෝම ඔබට සම්බන්ධද? නෑ.


පාරේ දැකපු කෙනෙක් මිය ගියා කිවුවොත් ඔබට ලොකු දුකක් නෑ... මොකද එයා සම්බන්ධ නැති නිසා හැබැයි ඔබ හා සම්බන්ධ කෙනෙක් මැරුණා කිවුවොත්, ඒ බැඳීමේ තීව්‍රතාවය අනුව ඔබ අඬනවා, වැළපෙනවා, කණගාටුවට පත් වෙනවා.


එහෙනම් ‘සං’ තමයි මේ සේරම කරන්නෙ ‘සං’- ‘බන්ධනය’ වුණොත් බන්ධනය කර ගත්තොත් වෙන්වීමක්, වුණත් දරා ගන්න බෑ.
පුද්ගලයෙක් විෂයේ හෝ වස්තුවක් විෂයේ හෝ සිදුවීමක් විෂයේ ‘සං’ ‘බන්ධනය’ කරගන්න එපා. ඔහුට ගැළවීමක් නෑ. සසර පුරාම මාරයාගේ උගුලේ පැටලී ඉන්නට සිදුවෙනවා.


හැම වේලාවේම ‘සං’, ‘විසං’ කිරීමට රාග, ද්වේශ, මෝහ බන්ධනයෙන් මිදීමට උත්සාහ කළ යුතුයි.

සටහන- අසංක ආටිගල