අපේ සංචාරක ව්‍යාපාරය යායුතු මග


 

සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට අතිවිශාල මුදලක් වැය කරනු ලැබුවත් මෙරටට පැමිණෙන සංචාරකයන් සෑහීමකට පත් නොවන ඔවුන් අප්‍රසාදයට පත්වන සිදුවීම් නිතර අසන්නට දකින්නට ලැබෙයි. සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට ගන්නා උත්සාහය මෙන්ම සංචාරකයන් මෙරට රඳවා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවක් පෙන්නුම් කරයි.


මෙරටට පැමිණෙන සංචාරකයා රට ගැන සෑහීමකට පත්වන්නේ නම් ඔහු නැවත නැවත මෙරටට පැමිණෙනු ඇත. ඔහු මෙරටට දක්වන ප්‍රසාදය තවත් සංචාරකයකුට මෙහි පැමිණීමට දිරිමත් කිරීමක් වනු ඇත.


සංචාරකයන්ට සිය විවේකය ගත කිරීම සඳහා යා හැකි රටවල් ගණනාවකි. ඒවා බෙහෙවින් ආකර්ශණීය සැප පහසුකම් ඇති රටවල්ය. එහෙත් ශ්‍රී ලංකාව තුළ වන කුඩා බිම් ප්‍රදේශයක නැරැඹුම් මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් පිහිටා ඇත. කෙටි කාලයකින් ඒ ස්ථානවලට ළඟා වීමටද හැකියාව ඇත. සාමාන්‍යයෙන් කොළඹ සිට පැය 4ක 5 ක කාලයක් තුළ එම නැරැඹුම් මධ්‍යස්ථානවලට යාමට හැකියාව ඇත.


අපේ රටේ පිහිටීම සංචාරක ව්‍යාපාරයට විශාල පිටුවහලක් වී ඇති අතර මේ අපූරු පිහිටීම වෙනත් රටවල් බොහොමයක නැත. ඇමෙරිකාව වැනි රටවලට යන සංචාරකයන්ට ඇතැම් ස්ථාන නැරැඹීමට පැය ගණන් ගත කරමින් ගුවනින් යාමට පවා සිදුවන අවස්ථා ඇත. නැතහොත් විශාල කාලයක් වැය කරමින් පැය ගණනාවක් ගත කිරීමට සිදුවනු ඇත. සංචාරකයන්ට ඒ සඳහා අධික වියදමක් දැරීමටද සිදුවෙයි.


විශේෂයෙන් විදේශ දියුණු රටවල සංචාරකයන් සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදයක් පිළිවෙළක් පවතී. යුරෝපා රටවල මෙන්ම සිංගප්පූරුව වැනි රටවල සංචාරකයන් සඳහා අනුගමනය කරනු ලබන විශේෂ ක්‍රමවේදයක් ඇත.


ආරක්ෂාව තහවුරු කිරීම


මෙම අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කරුණු ගණනාවකින් සමන්විත විය යුතුය. එහිදී විශේෂිත කරුණක් වන්නේ ආරක්ෂාවයි. උගන්ඩාව වැනි රටවල් පවා අදවනවිට සංචාරකයන් ඇද ගැනීමේ පිළිවෙළක් අනුගමනය කරනු ලබයි. අපේ රටේ සංචාරයට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න පවතී. මේ මෑතකදී තරුණ පිරිමි ළමයින් කීප දෙනෙක් සංචාරක කාන්තාවකට හිරිහැර කිරීමේ සිද්ධියක් වාර්තා විය. සංචාරයට පැමිණි කාන්තාවක් දූෂණයට ලක්වීමේ සිද්ධියක්ද වාර්තා විය. මීට අමතරව අනන්ත අප්‍රමාණ වශයෙන් සංචාරකයන් පීඩාවට පත්වූ අවස්ථා ඇත.


මේ සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ජනතාවගේ පැත්තෙන්ද ඉටුවිය යුතු සේවයක් ඇත. උදාහරණයක් වශයෙන් මාලදිවයිනේ ජනතාව සංචාරකයන්ට විශේෂ සැලකිල්ලක් දක්වති. දිවා ආහාරය සඳහා වූ ස්ථානවල ඉඩකඩ මුළුමනින්ම ඇහිරී තිබුණත් සංචාරකයන්ට ඉඩදීමට ඒ රටේ ජනතාව ඕනෑම මොහොතක සූදානම්ය. ඒ රට සියයට 60 කට වැඩි ආදායමක් ලබන්නේ සංචාරක කර්මාන්තයෙනි.

 


සංචාරක ව්‍යාපාරයෙන් ලබා ඇති බදු ආදායම (සංචාරක සංවර්ධන බද්ද)

  
වසර රුපියල් මිලියන
2013 1044.2
2014 1005.6
2015 1014.8
2016 1276.8
2017 1541.5

 



විදේශ සංචාරකයකු නිසි පිළිගැනීමක් නොවුවහොත් ඔවුන් තමන්ගේ රටට ගොස් ශ්‍රී ලංකාව ගැන යහපත් මතයක් ප්‍රකාශ කරන්නේ නැත. අපේ රටේ ජනතාව තුළ ඒ හැඟීම අඩුවීම බොහෝ විට දක්නට ලැබෙන වැරැද්දකි. විශේෂයෙන් ඇල්ල වැනි ප්‍රදේශවල ත්‍රිරෝද රථ රියැදුරන්, ආපන ශාලා හිමිකරුවන්, ප්‍රදේශවාසීන්, නිවාඩු නිකේතන හිමිකරුවන් මේ සියලුම දෙනා එම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන් රැක ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව ඇත.


ඇල්ල ප්‍රදේශයට පැමිණෙන සංචාරකයකුට ආරක්ෂාව පිළිබඳව කිසිම ප්‍රශ්නයක් ඇති නොවන බවට තහවුරු කළ හැකි නම් එය සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට හේතුවක් විය හැකිය. ඕනෑම රෑක සංචාරක කාන්තාවන්ට තනිව මහ මඟක යාමට හැකි ආරක්ෂාවක් තහවුරු කළ යුතුව ඇත.
ජීවිත තර්ජනයක් නොමැතිව සොරකම් කිරීමක්, දූෂණයක්, උසුළු විසුළු කිරීමක් නොමැතිව වැදගත් ලෙස තමන්ට අවශ්‍ය පරිදි අපේ රටේ සංස්කෘතියට හානියක් නොවන පරිදි මේ රටේ ඇවිදීමට සංචාරකයන්ට අවස්ථාව සැකසී තිබිය යුතුය.


නමුත් අපේ රටේ අය සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා යැයි කියමින් අති විශාල මුදලක් වැය කරමින් පිටරටවල දැන්වීම් ප්‍රචාරය කරති. රට අභ්‍යන්තරයේ නිසි වටපිටාවක් ඇති නොකර මේ රට තුළ ආරක්ෂාවක් සකසන්නේ නැතුව පිටරටවල ප්‍රචාරක කටයුතු කර සංචාරකයන් ගෙන්වා ගැනීමට උත්සාහ දැරීම ඵලදායි නොවේ.


මෙරටට පැමිණෙන සංචාරකයා තුළ සැකක් බියක් ඇති නොවීමට වගබලා ගත යුතුව ඇත. මේ තත්ත්වය ඇති කිරීම රජයකට තනිව කළ නොහැක්කකි. පොලිසියට තනිව කළ නොහැක්කකි. ජනතාවද ඒ සඳහා පූර්ණ සහාය දැක්විය යුතුව ඇත. එලෙස සහාය දැක්වීම තමන්ගේ ආර්ථිකයට වාසියක් වනු ඇත. සංචාරක කර්මාන්තය වටා වක්‍ර රැකියා මගින් ජීවත්වන අයට වැඩි වැඩියෙන් සංචාරකයන් පැමිණීම වාසි සහගතය.


සංචාරකයන්ට බලහත්කාරයෙන් උදව් උපකාර කිරීමක් අවශ්‍ය නැත. සීගිරිය නැරැඹීඹට යන සංචාරකයන්ට ඇතැම් පුද්ගලයන් සංචාරකයන්ගේ කැමැත්තකින් තොරව උදව් උපකාර කරන ස්වරූපයෙන් හිරිහැර කරන අවස්ථා දක්නට ඇත. සංචාරකයන්ට නිදහසේ අවශ්‍ය ස්ථාන නැරැඹීමට අවස්ථාව සැලසිය යුතුය. එය ඔවුන්ගේ ප්‍රසාදයට හේතුවක් විය හැකිය.


සංචාරකයන්ට බලහත්කාරයෙන් භාණ්ඩ විකිණීමෙන් වැළකී සිටිය යුතුය. අපේ ඇතැම් සුළු ව්‍යාපාරිකයන් සංචාරකයන්ට බලහත්කාරයෙන් භාණ්ඩ විකිණීමට ප්‍රයත්න දැරීම ඔවුන් පීඩාවට පත් කරවයි. සංචාරකයන්ට කිසිම ස්ථානයකදී පීඩාවක් නොවිය යුතුයි.


විදේශ සංචාරකයන්ට ඇතිවන අර්බුදකාරී තත්ත්වයකදී කඩිනමින් ඒ පිළිබඳව දැනුම් දීමට පහසුකම් හා ස්ථාන තිබිය යුතුය. හදිසියකදී 119 අංකයට ඇමැතීමට හැකියාව ඇති ලෙසට සංචාරකයන්ටද එවැනි පහසුකමක් සැලසිය යුතුව ඇත. ඇතැම් විට මහමඟ සුනඛයන්ගෙන් පීඩාවක් ඇතිවිය හැකිය. මීට අමතරව යහපත් වෛද්‍ය පහසුකම් සැලසිය යුතුව ඇත. 


පරිසර අලංකාරය සහ පිරිසුදුකමට පළමු තැන


පරිසරයේ අලංකාරය, පිරිසුදුකම සංචාරකයන්ට බෙහෙවින් වැදගත් අංශයකි. සචාරකයන් පයින් ගමන් යාමට ප්‍රියතාවක් දක්වන පිරිසකි. එබැවින් සංචාරකයන් ගමන් ගන්නා මාර්ග පිරිසුදුව තබා ගැනීම වැදගත් කරුණකි. ඇල්ල වැනි සංචාරකයන් බහුලව සැරිසරන ප්‍රදේශවල කුණු ප්‍රශ්නයට විසඳුමක් වහාම අවශ්‍යය.


මේ කටයුතු සඳහා අති විශාල මුදලක් වැය කිරීමට අවශ්‍ය වන්නේ නැත. ප්‍රදේශවාසීන්ටම ඒ කටයුත්තට මූලිකත්වය ලබාදීමේ හැකියාව ඇත.
කොටසක් පමණක් ඉදිකර ඇති ගොඩනැගිලි සම්පූර්ණ කර පරිසරයේ අලංකාරත්වය රැකගත හැකිය. ඒවායේ හිමිකරුවන්ට යම් සහනදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයට ඉදිරිපත් විය හැකිය. ණය මුදලක් ලබාදීම වැනි ක්‍රමවේදයක් සකස් කිරීමටද හැකියාව ඇත.


පරිසරයේ අලංකාරයට තවත් බාධාවක් වී ඇත්තේ විශාල දැන්වීම් පුවරුය. උදාහරණයක් වශයෙන් මහනුවර බලා යනවිට මඟ දෙපස පිහිටුවා තිබෙන දැන්වීම් පුවරු සඳහන් කළ හැකිය. නිවැරැදි මාවත සොයා ගැනීමටද මෙවැනි දැන්වීම් නිසා නොහැකි වේ.

 


මුදලක් අය කර අගනා සනීපාරක්ෂක සේවාවක් සැපයීම 


පිරිසුදු වැසිකිළි පහසුකම් අත්‍යවශ්‍යය. වැසිකිළිය පාවිච්චි කිරීමට මුදලක් අය කළත් එය පිරිසුදුව තබා ගැනීම අතිශයින් වැදගත්ය. දුම්රිය මැදිරිවල සහ ප්‍රධාන දුම්රිය ස්ථානවල පිරිසුදු වැසිකිළි පහසුකම් තිබීම වැදගත් දෙයකි.


තවද ප්‍රධාන බස් නැවතුම්පොළවල සහ දුම්රිය ස්ථානවල මෙන්ම දුරගමන් සේවා දුම්රියවල සියලුම සංචාරකයන් සඳහා ඉතා හොඳ විධිමත් ආපනශාලා පහසුකම් ඇතිකළ යුතුය.

 


සංචාරකයන් පැමිණි ප්‍රමාණය වර්ෂය සංචාරකයන් ගණන

 
  • 1995 -40,395
  • 2000 -40,0414
  • 2001- 3,36794
  • 2002 -3,93171
  • 2003 -5,00638
  • 2004 -5,66202
  • 2005 -5,49308
  • 2006 -5,59603
  • 2007 -4,94008
  • 2008 -4,38475
  • 2009 -4,47890
  • 2010 -6,54476
  • 2011- 8,55975
  • 2012- 10,05605
  • 2013 -12,74593
  • 2014 -15,27153
  • 2015 -17,98380
  • 2016- 20,50383
  • 2017 -21,16407
 

ප්‍රවාහන සේවය විධිමත් කිරීම


තවත් කරුණක් නම් ප්‍රවාහන සේවයයි. අදාළ දුර ප්‍රවාහනය සඳහා ස්ථිර ගමන් ගාස්තු ක්‍රමයක් අවශ්‍යය. ගුවන් තොටුපළේ සිට රට ඇතුළට එන සංචාරකයන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමට ටැක්සි රියැදුරන් අතර තරගකාරී බවක් තිබිය යුතු නැත. එම රියැදුරන් සඳහා කිසියම් පුහුණු වැඩපිළිවෙළක අවශ්‍යතාව පවතී. සංචාරකයන් සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව මෙම පුහුණුව අවශ්‍ය වේ.  


එමෙන්ම සංචාරකයන්ට හඳුනාගැනීමේ පහසුකම් සලසා දිය යුතුය. ඒවා වන්නේ කුලී රථවලට, ත්‍රීවිල්රථවලට නිශ්චිත වර්ණයක් යෙදීම, ඒවායේ මිල ගණන් ඇතුළත් සටහන් පත්‍ර ප්‍රදර්ශනය කිරීම මෙන්ම ආරක්ෂක අංශවලට මෙන්ම ත්‍රීවිල් පදවන්නන් සඳහා නිශ්චිත නිල ඇඳුමක් තිබීම ද වැදගත් වේ. තවද තොරතුරු දැනගැනී​ෙම් මධ්‍යස්ථාන සෑම නගරයකම විශේෂිත ස්ථානවල   ඇතිකල යුතු අතර එම කරුණු නිවැරදිව ඉදිරිපත් කළ යුතුය. 


සංචාරකයන්ට අලංකාර නිෂ්පාදන මිලදී ගැනීමට පහසුකම් සැලසීම අවශ්‍ය වේ. අපේ සංස්කෘතික අංග නැටුම් ගැයුම් වැයුම් චිත්‍ර මූර්ති අත්කම් නිර්මාණ යනාදිය සංචාරකයන්ට නැරැඹීමේ පහසුකම් සැලසීම අත්‍යවශ්‍යය.


මෙතුළින් සංචාරක ප්‍රසාදයත්, ජනතාවගේ අතමිට සරු වීමත් ශ්‍රී ලංකාවට කීර්ති නාමයත් එකවර ලැබෙනු ඇත.

 

 

ප්‍රිීති විරාජ් ද සිල්වා විසිනි
සකස් කළේ
දයාසීලි ලියනගේ