අපේ ලොකු ලූනු වැස්සට කුණු වෙයි


 

2015 වසර වන විට දේශීය ලොකු ලූනු නිෂ්පාදනය රටට අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය කිරීම පසුගිය කාලයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉලක්කය වී තිබිණි. එම ඉලක්කය අමතක කර දැමූ කෘෂිකර්ම බලධාරීහු මේ වන විට දේශීය ලොකු ලූනු නිෂ්පාදනය පහතට දමා අවසන්ය. මෙවරද හතරවෙනි කන්නයටත් දේශීය ලොකු ලූනු වගාකරුවන් දැඩි පීඩනයකට පත් වෙමින් සිය නිෂ්පාදන මහ වැස්සට යටව කුණු වී විනාශ වී යෑමේ තත්ත්වයට පත් වී හමාරය.   


දේශීය ලොකු ලූනු ගොවියා මේ වන විට රටට ණයකාරයකු බවට ඇදවැටී සියදිවි හානි කරගන්නා පුද්ගලයන් අතරට පත්වී හමාරය. පසුගිය කන්නයේ ද තම ලොකු ලූනු අස්වැන්න ජලයට විනාශ වී ණය ගෙවා ගැනීමට නොහැකිව ගොවියෙක් සිය දිවි තොර කර ගත්තේ ය. එම මාතෘකාව දින කිහිපයක් පමණක් කතාබහට ලක් වුවද මෙම කන්නය වන විට ඒ සියල්ල ජනතාවට අමතක වී හමාරය.  


මෙම කන්නයේ ද දේශීය ලොකු ලූනු අස්වැන්න නෙළීම ආරම්භ වනවාත් සමඟ අකාරුණික වූ අහස මහා ධාරානිපාත වර්ෂාව මහ පොළොවට පතිත කරමින් දේශීය ලොකු ලූනු වගාව සම්පූර්ණයෙන් විනාශ කරන්නට විය.   
සීගිරිය ප්‍රදේශයේ ගොවියෙක් හඬා වැටෙමින් අප සමඟ කියා සිටියේ සිය දිවි තොර කර ගැනීමට සිත් පහළ වුවද දියණියන් තිදෙනෙකු ජීවත්වන නිසා තමන්ට සිය දිවි තොරකර ගැනීමට නොහැකි බවය. එහෙත් තමන් ණය ගෙවා ගැනීමට නොහැකිව සිරගත වුවහොත් තම දියණියන්ට සිදුවන කලදසාව කුමක්ද යන්න තේරුම් ගැනීමට අපහසු බවය.  


පවතින වර්ෂාවත් සමග මෙවරත් දඹුල්ල, ගලේවෙල, සීගිරිය, හබරණ, නාඋල ආදී ප්‍රදේශවල ලොකු ලූනු අස්වැන්න නෙළා ගැනීමට නොහැකිව කුණු වී විනාශ වී ගොස් ඇතැයි ගොවීහු පවසති. අස්වැන්න නෙළා ගැනීමට දින කිහිපයක් තිබියදී එකවරම ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ලූනු වගාවන් දැඩි ලෙස විනාශ වී පිළිස්සී කුණු වී ගිය බව ගොවීහු කියති.  


සීගිරිය, දඹුල්ල, වෑවලවැව, ගලේවෙල ආදී ප්‍රදේශවල විශාල වශයෙන් දේශීය ලොකු ලූනු අස්වැන්න ගැලවීමකින් තොරව අතහැර දැමීමට සිදුව ඇතැයි එම ගොවීහු පෙන්වා දෙති.  


එමෙන්ම ගලවා ඇති ලොකු ලූනූ තොග ද වර්ෂාවත් සමඟ කුණු වී විනාශ වෙමින් පවතින බව ගොවීහු පෙන්වා දෙති. මෙසේ විනාශ වන ලොකු ලූනූ තොග විශාල වශයෙන් තැන තැන ඉවත් කිරීමටත් වළවල්වලට දමා විනාශ කිරීමත් ගොවීන් විසින් සිදු කෙරේ.   


ගොවීන් කියා සිටියේ පසුගිය කන්නෙත් ඊට පෙර කන්නයේ මෙවරත් එක විදියටම අස්වැන්න නෙළා ගැනීමට නොහැකිව වර්ෂාවත් සමඟ තම අස්වැන්න විනාශ වූ බවය. දේශීය ලොකු ලූනු ගොවියාට සිදුව ඇති මෙම තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා කිසිදු වගකිවයුතු පුද්ගලයෙකු නොපැමිණි බවද ඔවුහු පවසති.   


මාධ්‍යවේදීන් පමණක් ලොකු ලූනු වගා බිම්වලට පැමිණ තම දුක විමසූ බව ඔවුහු හඬා වැටෙමින් කියන්නට වූහ.  


මෙම ගොවීන් ද කියා සිටින්නේ තමන්ගේ මෙන්ම දරුවන්ගේ ද කනකර බඩු මෙවර උගසට තබා දේශීය ලොකු ලූනු වගාව ආරම්භ කළ බවය. ඉතාමත් සරුසාර අස්වැන්නක් මෙවර ලැබී තිබෙනු දැක ගැනීමට හැකි වූ බවත් එහෙත් අස්වැන්න නෙළීමට දින දහයක් පමණ තිබියදී එකවරම ඇදහැලුණ වර්ෂාවත් සමග තම වගාවන් සියල්ල විනාශ වූ බවය.  


ගොවීන් ඉල්ලා සිටින්නේ තම වගාවන්ට වූ විනාශයට වන්දි මුදලක් හෝ ලබාදෙන ලෙසත් එසේත් නොමැතිනම් තම ණය තුරුස් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට කටයුතු කරන ලෙසත්ය. එසේ නොමැති වුවහොත් තමන්ටද සිදුවන්නේ මෙවර සියදිවි හානි කරගැනීමට බව ඔවුහු හඬා වැටෙමින් කියන්නට වූහ.  

 


දේශීය ලොකු ලූනු වගාව සිදුකරන ගොවියකු වන ඩී. එල්. ඩී. පියසේන මහතා :  "මගේ කිලෝ හතළිස් දාහක් විතර මේ වන විට විනාශවෙලා ගලවන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි මේ විනාසේ වුණේ. දැන් වගා බිමේ ම ලොකු ලූනු කුණු වෙවී යනවා. මේක බලාගෙන ඉන්න බැහැ. පුදුම දුකක් තියෙන්නේ. කන්න දෙක තුනක් මේ විදියට විනාස වුණා. දැන් කරන්න දෙයක් ඇත්තෙම නෑ. වහ ටිකක් බීලා මැරෙන්න පුළුවන් ඒත් දරුවො තුන්දෙනෙක් ඉන්න නිසා මැරෙන්නත් බෑ. මේක කියන්න කෙනෙකුත් නෑ. ගිය කන්නෙත් මේ විදිහටම විනාස වුණා. කවුරුත් හෙව්වෙත් නෑ. බැලුවෙත් නෑ. වන්දි දුන්නෙත් නෑ. මේ සැරෙත් අපිට සිද්ධ වුණේ ඒකමයි. අඩුම තරමේ වහ බෝතලයක් බොන්නවත් දැන් වත්කමක් නෑ. තිබුණු ඔක්කොම මේවට ගැහුවා"  


එච්.ආර්. තරංගනී මාලා : “අපට සිද්ධ වුණේ පුදුමාකාර විනාසයක්. ලූනු හදනකොට වර්ෂාව ඇවිල්ලා තාවන් ටික විනාස උනා. නැවත බීජ අරගෙන තාවන් දාලා තමයි මේක හදා ගත්තේ. අස්වැන්න සරුවටම තිබුණා. හිතාගන්න බෑ ඉන්දියාවේ ලූනුවලට වඩා හොඳට මෙදා ලූනු අස්වැන්න ලැබුණා. අපි හිතාගෙන හිටියේ සියලුම ණය ගෙවලා ඊළඟ කන්නෙට ගොවිතැනක් බතක් කරන්ඩ පුළුවන් වෙයි කියලා. හැමදාම උදේට ඇවිල්ලා ලූනු කොටුව බලලා සතුටු වෙනව. හැබැයි සිද්ධ වුණේ එක වරුසාවක් ඇවිල්ලා ලූනු ගස් කොළ ඔක්කොම පිච්චිලා විනාශ වුණ එක. අපි කියන්නේ අඩුම තරමේ අපිට වගා හානියක් වන්දියක් දෙන්න බැරිනම් මේ බැංකුවල තියෙන ණය ටික ගෙවන්න කාලයක් හරි දෙන්න කියලා”  


 එච්.එම්. ඒකනායක බණ්ඩා මහතා,  


 “මෙදා ලූනු ටික හොඳටම හරි ගියා. ඒ අතරතුරේදි තමයි වැස්ස ආවේ. දැන් කන්න කිහිපයක් මේ විදිහට ම විනාශ වුණා. ලූනු ටික අරන් ගිහිල්ලා වියදම් කරලා කපලා කුණු වෙනවා. ඒවා අපි ගිහිල්ල වළදානවා. මේක තමයි ඇත්ත කතාව. හැබැයි මේකට වගකියන්න ඕන අහස කියලා අපි කියන්නෙ නෑ. ස්වභාවදහමේ අපට මුරණ්ඩු වෙලා. ඒ අපි හින්දම කියලා අපි දන්නවා. හැබැයි මෙහෙම දිගින් දිගටම වගාව පාළුවෙන්න, විනාස වෙන්න තවත් හේතුවක් තමයි ලූනු වගාව සඳහා පහුගිය කාලයේ රජයේ අවධානය යොමු නොවීම. නිසි කලට වේලාවට බීජ ටික නෑ වතුර ටික නෑ මේක තමයි වගා ප්‍රමාද වෙන්න එකම හේතුව. මේක හඳුනාගත්තේ නැති හින්දා අද විතරක් නෙවෙයි හෙටත් අපි මේ විදිහටම විනාශ වෙනවා”  


එච්.එම්.එස්. බණ්ඩාර : “අපේ ප්‍රධානම ආදායම් මාර්ගය වෙන්නේ ලොකු ලූනු වගාව. අවුරුද්දකට එක කන්නයයි වගා කරන්නේ. ඒකෙන් තමයි මුළු අවුරුද්දම යැපිලා අවසානයේදී ඊළඟ කන්නට ගොවිතැන් පවා කරන්නේ. ඉස්සර ලොකු ලූනු අස්වැන්න නෙළන කාලය වෙනකොට දඹුල්ලේ වාහන සේල් ගෘහ උපකරණ භාණ්ඩ වැහි වැහැලා. මොකද ලූනු හරි ගියාම මිනිස්සු ඒවා මිලදී ගත් නිසා. අදටත් මිනිස්සු ගෙවල් හදාගෙන ඉන්නේ ඒ කාලයේ ලොකු ලූනු අස්වැන්න ලැබුණු ආදායමෙන්.   


අද සිද්ධ වෙලා තියෙන්නේ සියල්ල විනාශවීමයි. ඒකට විශේෂම හේතුව තමයි නියම කාලයට වගා කරන්න අවශ්‍ය පහසුකම් ලබා නොදීම. පිටරටවලින් ලොකු ලූනු ගෙන්වන්න ඕන නිසා තමයි මේ වගා ප්‍රමාදයන් සිද්ධ කරන්නේ. මහවැලි වතුර දෙන්නේ අපිට ඕන වෙලාවට නෙවෙයි පරක්කු වෙලා. කන්න රැස්වීම්වල තීන්දු තීරණ ගන්නේ බලධාරීන්ට ඕන විදිහට. මේක තමයි රටේම ප්‍රශ්න බවට පත්වෙලා තියෙන්නෙ. නිසි කලට වගා ආරම්භ කිරීම සඳහා පහසුකම් රජය දෙනවා නම් මෙවැනි තත්ත්වයක් ගොවීන්ට අත්වෙන්​ෙන නෑ. දැන් කන්න හතරක් පහක් එක දිගටම මෙහෙම වුණා. ලූනු ටික රටින් ගේනවා. අපි වගා කරන ලූනු කුණුවෙලා වළ දානවා”  

 


 කෙසේ වෙතත් ජනමාධ්‍ය මගින් දිගින් දිගටම මෙම දේශීය ලොකු ලූනු ගොවීන්ගේ ගැටලුව පිළිබඳව බලධාරීන් දැනුම්වත් කරන්නට වුණා. එහෙත් දේශීය ලොකු ලූනු ගොවියාට සිදුව ඇත්තේ ඉහළ බලධාරීන් ගන්නා තීන්දු තීරණ පමණක් ඇස් දෙකින් දැක සතුටුවීමට පමණය. මෙවරද දේශීය ලොකු ලූනු වීනාශ වූ ගොවීන්ට වන්දි ලබාදීම සඳහා අතිවිශාල මුදලක් රජය විසින් වෙන් කොට ඇති බව මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ද ගෙන ගියේය. එහෙත් මේ වන තුරුත් කිසිදු ගොවියෙකුට සත පහක හෝ වන්දියක් ලැබී නැත.  


ප්‍රාදේශීය කෘෂිකර්ම නිලධාරීන්ගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔවුන් කියා සිටින්නේ අමාත්‍යංශය මගින් ගත් තීන්දු තීරණ මෙතෙක් පහළට ක්‍රියාත්මක වී නොමැති බවය. අමාත්‍යංශය ඉහළ නිලධාරීන්ගෙන් විමසීමේදී ඔවුන් කියා සිටින්නේ ‍ විනාශයට පත් වූ ගොවි බිම්, ගොවීන් පිළිබඳව තොරතුරු ලබාගනිමින් සිටින බවය. බොහෝ ගොවීන් කියා සිටියේ තම වගා භූමියට මේ වන තුරුත් මාධ්‍යවේදීන් හැරෙන්නට කිසිදු අයෙකු පැමිණ නැති බවය.  


දේශීය ලොකු ලූනු ගොවියාට මේ තත්ත්වය වසර ගණනාවක සිට පත්වීමට හේතු වී ඇත්තේ ඉහළ ජල කළමනාකරණය ගන්නා තීන්දු තීරණ මෙන්ම ප්‍රමිතියෙන් යුතු බීජ හිඟකම සහ පොහොර සහනාධාර මුදල් නිසි කලට නොලැබීම යන කරුණු කාරණා බවත් ගොවීහු පෙන්වා දෙති.

  
 එහෙත් ඒ පිළිබඳව කිසිදු අයෙකුගේ අවධානයක් යොමු නොකොට කාලගුණික බලපෑම් නිසා සිදු වූ හානියක් බව කියති. කෙසේ වෙතත් බොහෝ ගොවීන් කියා සිටින්නේ උඩ බිම බලා ගොවිතැන් කරන්නට ඔවුන් දැනුම්වත්ව සිටියද ජලය ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන්නේ රජයේ ජල ලේකම් කාර්යාලයේ අවශ්‍යතා හා ඔවුන්ගේ දින අනුව වීම නිසාවෙන් බවය. ඒ නිසා නිෂ්පාදන රැසක් විනාශ වීමේ වගකීම ජාතික ජල ලේකම් කාර්යාලය භාරගතයුතු බව ය.   

 

 

 

දඹුල්ල කාංචන කුමාර ආරියදාස