අපේ රටේ ගස් වගාවට ගිය කල


1983 තරම කාලයේ ආර්. ප්‍රේමද‌ාස අග්‍රාමාත්‍යතුමා රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කළෙ​්ය. ඊට අනගාරික ධර්මපාලතුමාගේ සහ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඡන්ම දිනය වන සැප්තැම්බර් 17 දිනය මුල් කර ගන්නා ලදී. නමුත් ඊට ප්‍රථම ගස් බැංකුව නමින් ප්‍රසිද්ධියක් දී එය කොළඹ 02 ගංගාරාම විහාරස්ථානයෙන් ආරම්භ විය. ඊට සියලු ප්‍රවෘත්ති පත්‍ර ආයතනවල සහාය සහ අනුග්‍රහය ලැබිණ. විශේෂයෙන් විජය පුවත් පත් ආයතනය ඊට ප්‍රමුඛත්වය දෙන ලදී.   


ඉන්දියාවේ රට පුරා ප්‍රචාරයට පත් කර තිබූ ප්‍රවෘත්තියක් මුල්කර ගෙන ඒ සම්බන්ධව උනන්දුවක් දැක් වූ අපට ඊට කැපවීමට සිතිණ. විවිධ දුෂ්කරතා ඇති ඉන්දියාව අද ගස් වගාවෙන් සංවර්ධනය වූ රටක් බවට පත්ව ඇත. ස්වභාව ධර්මයෙන් ගස් වගා සම්පත තිබුණ ශ්‍රීලංකාවට ඒ තත්ත්වය අහිමි වී ඇත.   


කොළඹ සිට විවිධ ප්‍රධාන මාර්ග ඔස්​සේ ලංකාව පුරාම ඇට, පැළ බෙද‌ා දෙමින් මේ සත්කාර්යය ක්‍රියාත්මක කෙරිණ. ඒ සම්බන්ධ තොරතුරු විස්තර අප විසින් එක් රැස් කර ඇත. ඒ ඇට, පැළ ලැබූ අය ඒ සම්බන්ධයෙන් දැක්වූ උනන්දුව පරීක්ෂාවට භාජනය කරන ලදී. කියන්නට ලියන්නට ඇත්තේ සතුටට කරුණක් නොව දුකට හේතු වන දෙයකි.   


ප්‍රවෘත්ති පත්‍ර තුළින් මුළු මහත් ලංකාව පුරාම ජනතාව දැනුම්වත් කළත් ඒ සම්බන්ධ ඇට, පැළ එකතු කර නොමිලේ බෙද‌ා දුන්නත් සමහර අවස්ථාවලට ගොස් අප ශ්‍රමයෙන්ම පැළ සිටුවා දුන්නත් එයින් සිදු වූ යහපතක් දකින්නට නොලැබීම දුකට හේතුවකි.   


කෑම ටික අනා කටට දැම්මත්, අලස දුර්වලයන්ට එය හපාගන්නටවත්, ගිලගන්නටවත් අවශ්‍යතාවක් නැති වීම දුකට කරුණකි. තම නිවෙස වටේ, ඉඩම වටේ, වැට අයිනේ ඉන්න ප්‍රධාන පාර අයිනේ මේ වගාව කළා නම් අද ලංකාවට යහපත් කාලගුණයක් එයින් ලැබෙන්න තිබිණ. කලට වැස්ස වාතාශ්‍රය ලැබීම ගැන අද රටේ ඉන්න අයට උනන්දුවක් නැත. අමතර ආද‌ායමක් ස්වභාවධර්මය රැක ගන්න ජනතාව දක්වන උනන්දුව නැත්තටම නැති වී ඇති බව නොකියාම බැරිය.   


ප්ලාස්ටික් මල් ගස් සම්බන්ධ උනන්දුව දක්වන ජනතාව අද වැඩිය. අනවශ්‍ය නාස්තිය ගැන නොසිතන අය අලසකම නිසා කෘත්‍රිම ප්ලාස්ටික් නිෂ්පාදන පසුපස යනවා මිස කෙසෙල් කොළය, පුවක් කොළය, කැන්ද කොළය ආදී දේශීය සම්පත්වලින් ඈත්ව සිටින බව නොකියාම බැරිය.   


මේ සම්බන්ධව රට අවදි කළ අප සංවිධානය ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයීය ගුරු මණ්ඩලය, ශිෂ්‍ය පිරිසගේ සහාය ඇතිව අකුරැස්ස බෝපගොඩ පාර, ඌරුමුත්ත ගමේ, ඌරුමුත්ත වත්තේ භද්‍රාවතී ප්‍රනාන්දු පුණ්‍ය අරමුදල සතු විශාල භූමිය තුළ වගාව සම්බන්ධ කළ සත් ක්‍රියාවෙන් ලද ප්‍රතිඵලය රටට ඉදිරිපත් කරන්නේ ලොකු සතුටකිනි.   


විවිධ බාධක හිරිහැර මැද මොනම පහසුකමක්වත් නොමැතිව කඳු මුදුන්වල, ගල්වලින් වැසුණ පාරවල් නැති, කූඩැල්ලන්, විෂකුරු සර්පයින් ගහන භූමියක අධ්‍යාපනය කඩවුණු විවිධ ප්‍රශ්නවලට මැදි වූ ජීවිත අසාර්ථක කර ගත් තරුණ දරුවන්ගේ නොමසුරු සහාය, උපකාරය ශ්‍රමය තුළින් ඇඟිල්ල තරම් වූ ගසේ සිට වට අඩි 7-8 තරම් ලොකු මහෝගනී ගස් ලක්ෂ හත අටකට වැඩි තේක්ක ගස් දස දහසක් පමණ ද පුවක් ගස් ලක්ෂ දහයක් පමණ ද වල්ලපට්ට (අගාවුඩ්) එක් ලක්ෂ පනස් දහසක් පමණද, සාදික්කා ගස් ලක්ෂය ඉක්මවා ද එන්සාල්, කරාබුනැටි, දොඩම්, කජු අමතර භෝග වගාවය.   


ලක්ෂ ගණනක් වූ සෑම මහෝගනී ගසකම වැනිලා වැලක්, ගම්මිරිස් වැලක්, කෝපි, තේ, කුරුඳු, කෙසෙල්, තිත්ත තිබ්බටු, කොච්චි මිරිස් ආදී අතුරු වගා ඇත.   


මෙවැනි වගා ව්‍යාපෘතියක් ලංකාවේ අක්කර දහස් ගණනක එළමල්දෙණිය වනාන්තරය ඊට යාව පිටබැද්දර වනාන්තරය. ඊට යාව සිංහරාජ වනාන්තරයට යාවූ ඌරුමුත්ත ගමේ, ඌරුමුත්ත වත්තේ වගා වී ඇත.   
ගස් බැංකුව නමින් රටට ගංගාරාමය හඳුන්වා දුන් මෙම ව්‍යාපෘතිය අද වන විට මෙවැනි සාර්ථක ප්‍රතිඵලයක් ලබා ඇත. මේ කටයුතුවලට අමතරව ඉංගිරිය, බුලත්සිංහල, නුගදණ්ඩවත්ත, සූරියවැව, වීරකැටිය කුරුණෑගල, දෙල්තොට, අඹකොටේ, ෂැකර්ලිය වත්ත යනාදී ස්ථානවලද මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.   


​ෙම් තත්ත්වය මුළු රට පුරාම සියලු මහා මාර්ගයන් අයිනේ වගා කිරීමට ඇරඹු වගා ව්‍යාපෘතියට දැන් වයස අවුරුදු 35ක් වේ. 

 
​මේ අවුරුදු 35 ඇතුළත මුළු මහත් ශ්‍රී ලංකාවේ සියලු ජනතාව කැපවූවා නම් අද ශ්‍රී ලංකාව සශ්‍රීක රටක් වන්නට තිබිණ. රට පුරාම කුඹුරු පුරන් වී ඇත. විදේශයෙන් ගෙනෙන සහලට අද මුළු රටම ගැති වී ඇත. ඉඳිකටුවේ සිට කර්මාන්තයට අවශ්‍ය දේ, පලා මිටියේ සිට එළවළු සියලු බෝග වගාවන් සඳහාම ඇට වර්ග ශ්‍රී ලංකාවට ආනයනය කෙරේ.   


මෙසේ බලන කල සුඛෝපභෝගී ආහාරවලින් සුපර් මාර්කට් ඇතුළ පිරී ඇත. ලෝකයේ මිල අධික මත් වතුර සුපිරිවෙළෙඳසල්වල පිරී ඉතිරී ඇත. ඇඳුම් පැලඳුමේ සිට පලා මිටියේ සිට සියලු ආහාර වර්ග ඇඳුම් පැලඳුම් පිටරටින් ගෙන්වන එකම රට ශ්‍රී ලංකාවයි.   


අපට තිබූ මැණික් සම්පත අද අපට අහිමිය. මැඩගස්කරය, අප්‍රිකාව වැනි රටවලින් මැණික් සහ ඩුබායි, සිංගප්පූරුව, තායිලන්තය වැනි රටවලින් රන්, රිදී, මුතු මැණික්, ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට ආදී එකී මෙකී සියලු දේ අප රටට එන්නේ විදේශයෙන්ය.   


මේ තත්ත්වය අප රටට උද‌‌ා වූයේ කෙසේද? එය උද‌ා කළේ කවුද?   


රේගු ගාස්තු, අය බදු වැඩි කරන තරමට මුහුදෙන් වට වූ මේ කුඩා රටට ගෙනන හොර ජාවාරම් බඩු ප්‍රමාණය ඉතා අධිකය. ඒ නිසා රජය බලාපොරොත්තු බදු, රේගු ගාස්තු රජයට ලබා ගත නොහැක. සැප සම්පත් භුක්ති විඳින අය අද ඒවා භුක්ති විඳිනවාට වඩා ප්‍රදර්ශනය කිරීමේ තේමාවට යටත්ව ජීවත් වෙති. සුඛෝපභෝගී යාන වාහන අධික වියදම් ආරෝග්‍යශාලා පහසුකම් ඊට අමතරව නිදහස් වෛද්‍ය සේවයක් තිබුණත් එහි නියම ප්‍රතිඵල නැති නිසා විදේශීය වෛද්‍ය පහසුකම් සෙවීමට සිදුව ඇත.   


නිදහස් අධ්‍යාපනය හුඹස්සකි. අද පෞද්ගලික අධ්‍යාපන සේවයට සියලු දෙනා ණය ගැතිව සිටිති. ඊට අමතරව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද මෙරටට වඩා විදේශීය රටවලට බරය. මෙරට රැකියාවට වඩා පිටරට රැකියා සොයන්න ගොස් ණය වන විනාශ වන රැවටෙන පිරිස් අධිකය.   


සසර කතර ගැන බුදු දහමේ විස්තර අමතකය. වැලිකතරට ගොස් අනාථ වන පිරිස් අධිකය. ශරීරයේ ඉන්ද්‍රියන් ද අහිමි වූ මළ සිරුරු අද ලංකාවට ගෙන ඒම වැඩි වී ඇත. මං මුළාවීම ගැන කියන්නට යමක් ඉතිරිව නැත.   
වෙසක් සමයේ කිවයුත්ත කෙටියන් මෙසේය.   


පුළුවන් අය තම ආහාරය වෙනුවෙන් කුමන දෙයක් හෝ වගා කළ යුතුය. ස්වභාවික සම්පත සඳහා ගස් වගා කළ යුතුය. වතුර බෝතලයට ගැති නොවී ජල සම්පත රැක ගන්න ඥ‌ානවන්ත විය යුතුය. නිරෝගිකම උතුම් සැපත බව බුදු බණය. නිරෝගිමත් අය අද රටේ සිටීද? ආයු සම්පත කාටත් අහිමිය. ලෙඩ රෝගවලින් දුබල වන, මනසින් පිරිහෙන අය ඒ දුර්වලතාවයෙන් තම තමන්වත් මිදී දෙමාපියන් දරුවන් හා ඥ‌ාතීන් ද එයින් මුදවා ගන්නට කල්පනා කර ණය නොවී ලද දෙයින් සතුටුව බැරි වැඩ නොකර කළ හැකි දේ පමණක් කර නිරහංකාර පිරිසිදු චරිතයක් නිර්මාණය කරගෙන තමන්ගෙන් කාටවත් වරදක් නොවන්න වග බලා ගන්න. සියලු ජාතීන් ආගමිකයින් සිත් යොමු කරගෙන වෙසක් සමයේ හොඳ අදිටනකින් බෞද්ධයන් යන නමට අගෞරවයක් නොවන්න, සැමට ආදර්ශමත් ජීවිතයකට මුලපුරන්න ආරාධනා කරමු.   

 

 


සියලු සත්වයන්ට සැප, ජය, අධිෂ්ඨාන ශක්තිය මානසික නිදහස හා සතුට උද‌ා වේවා. 

 

 

 

 

​ෙම් ගංගාරාමයේ   
ගල්බොඩ ඤාණිස්සර ස්ථවිර   
(පොඩි හාමුදුරුවෝ)