අපේ රටේ ඇමැතිවරුන්ට දෙවියන්ගේ හාල් කැවිලාද?


 

සිහිබුද්ධිය ඇති සහ අඩු තරමින් අතීත වැරදීම්වලින් පාඩම් ඉගෙන ගන්නා දේශපාලන නායකයින් සිටින රටවල බඩු මිල අඩු කිරීම සඳහා ගනු ලබන උපාය මාර්ගික ප්‍රවේශයන් සහ අප වැනි රටක තත්ත්වයන් අතර ඇත්තේ අහසට පොළොව මෙන් වෙනසකි. ඉන්දියාව වැනි රටක් ගත් විට නිෂ්පාදකයාගේ හෝ ගොවියාගේ ගෙල සිරකොට වෙළෙඳපොළ මිල අඩු කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීම් සිදුකරන්නේ නැත. විශේෂයෙන්ම වෙළෙඳපොළ තත්ත්වයන් විසින් ගොවියාට වැඩි මිලක් ගෙවන අවස්ථාවක එය වැළැක්වීමට රාජ්‍යය මැදිහත් වන්නේ නැත. ඊට අමතරව සහල් වැනි රටේ ආහාර සුරක්ෂිතතාවට ප්‍රබල බලපෑමක් ඇති කරන ආහාර ද්‍රව්‍යක මිල කෘත්‍රිමව අඩු කිරීම මගින් නිෂ්පාදකයා සහ ගොවියා අධෛර්යමත් කරන්නේ නැත. 


වෙළඳපොළ තුළ රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යවන්නේ වෙළෙඳපොළ කාර්යක්ෂමතාව වැඩිකිරීම මඟින් අතරමැදියන්ගේ සූරාකෑම සහ තොග රැස්කිරීම වැනි කූට වෙළෙඳපොළ තුළ උපක්‍රම වැළැක්වීම සඳහාය. ඊට අමතරව ආරක්ෂණ තොග පවත්වාගැනීම මෙන්ම සහතික මිලට වඩා මිල පහත වැටීම මඟින් ගොවියා අධෛර්යමත් වීම වැළැක්වීම සඳහාද රාජ්‍ය මැදිහත් වේ. එම ක්‍රියාවලිය තුළ මූලික අවධානය යොමුවෙන්නේ නිෂ්පාදකයා දිරිගැන්වීම මඟින් නිෂ්පාදනය වැඩි කිරීම හරහා මිල අඩු කිරීම මඟින් නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා එකවර ආරක්ෂා කිරීම සඳහාය.   


නමුත් අපේ රටේ ඇමතිවරු එවැනි දීර්ඝකාලීන ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කිරීම වෙනුවට පැනනගින තත්ත්වයන්ට සාපේක්ෂව කුමන හෝ කෙටි කාලීන උත්තර සොයති. දැන් ඔවුන් මහා පරිමාණ මෝල් හිමියන් වී තොග රැස් කරන නමුත් වෙළෙඳපොළට සහල් නිකුත් නොකරන බව පවසමින් පිට රටින් සහල් ආනයනය කිරීමට සැරසේ. ඒ මගින් සහල් වෙළඳපල තුළ ඇතිවන මිල විකෘතිය නිසා ගොවියා සහ කුඩා පරිමාණ කර්මාන්තකරුවන් තව දුරටත් අර්බුදයට ලක්වේ. එහිදී මහා මෝල් හිමියන්ට එම අර්බුදයට කෙටි කාලීනව මුහුණ දීමේ හැකියාව ඇත. කෙසේ වෙතත් සහල් ආනයනය කිරීමේ තීන්දුව මගින් යම් අයෙකුට හෝ පිරිසකට සහල් මෙ.ටො. 1කට ඇමෙරිකන් ඩොලර් 100ක පමණ කොමිස් මුදලක් ලබා ගැනීමේ හැකියාව ලැබේ. ගැසට් මගින් මිල අඩුකළ හැකි යැයි සිතන අප රටේ අමාත්‍යවරුන් ඒ සඳහා ප්‍රධාන වශයෙන් වෙනස් ක්‍රමවේද දෙකක් අනුගමනය කරන බව පෙනේ. පළමුවැන්න ආනයනික විකල්ප ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීම සඳහා ආනයනකරුවන්ට බදු සහන ලබා දීමය. දෙවැන්න වෙළෙඳපොළේ පැවතිය නොහැකි ආකාරයට නීතිය මඟින් මිල පහත දැමීම හෙවත් පාලන මිල පහත දැමීම මඟින් ගොවියාගේ සිට නිෂ්පාදකයා දක්වා වටිනාකම් එකතු කිරීමේ දාමයේ හුස්ම හිර කිරීමය.   
උදාහරණයක් ලෙස සීනි මිල පහත දැමීම සඳහා සීනි ආනයනකරුවන්ට කි.ග්‍රෑම් 1 කට රු. 50 ක බදු සහනයක් ලබා දුනි. නමුත් ඒ මඟින් කෙටිකාලීනව රජයට රු. මිලියන 13,000 ක බදු අදායමක් අහිමි කළද පාරිභෝගිකයාට සහනයක් ලැබුණේ නැත. ඒ අනුව එම බදු සහනය බදු වංචාවක් ලෙස සැලකීම වරදක් නොවේ. එසේ ආණ්ඩුව තම හිතවත් ජාවාරම්කරුවන්ට පිනට දුන් මුදලින් රටේ සමස්ත කුඩා වාරි පද්ධතිය යථාවත් කිරීම මගින් වී නිෂ්පාදනය 10% කින් වැඩි කිරීමේ හැකියාව ඇත. ඊට අමතරව සහල් පාලන මිල ගැසට්ටුව මඟින් කුඩා මෝල් හිමියාට, තොග සහ සිල්ලර වෙළෙඳුන්ට සාධාරණ ලාභයක් තබාගත නොහැකි ආකාරයට මිල පහත හෙළනු ලැබීය. නමුත් එම මිලට වෙළෙඳපොළෙන් සහල් මිලදී ගත නොහැකි බව ඕනෑම බත් කන අයෙකුට දැක ගත හැක. එසේම එම මිල පීඩනය පහළට ගලායාම හරහා අවසානයේදී ගොවියාට ඊට වන්දි ගෙවීමට සිදුවේ. එම ක්‍රියාවලිය තුළ පැවතිය හැක්කේ මහා මෝල් හිමියන්ට පමණි.   


කෙසේ වෙතත් ගැසට් මඟින් වෙළෙඳපොළ සහල් මිල අඩු කිරීම සඳහා ගනු ලැබූ උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව වෙළෙඳ අමාත්‍යතුමා පුද්ගලිකව මැදිහත්වී නව ක්‍රමයක් අත්හදාබලන ආකාරය දැකගත හැකි විය. ඊට අනුව තොග වෙළෙඳුන්ට මහා පරිමාණ ඇණවුම් ලබා දී ඔවුන්ගේ ලාභයෙන් යම් ප්‍රතිශතයක් අඩුකර ගන්නා ලෙස එකඟතාවකට පැමිණ එම ප්‍රතිශතය මිල අඩු කිරීමක් ලෙස පාරිභෝගිකයාට ලබා දේ. එම නව ක්‍රමය අනුව මිල මට්ටම් මාස 03 ක කාලයකට පසු වෙනස් වීමට හැකි අතර එම සහනය ලැබෙන්නේ සමූපකාර සහ ස.තො.ස. පාරිභෝගිකයින්ට පමණි. එම නව ක්‍රමවේදය පැහැදිලි කරමින් සමූපකාරවලට යවන ලද චක්‍රලේඛයට අනුව රු. 96 කට මිලදී ගන්නා සහල් කි.ග්‍රෑම් 1 ක් රු. 2 ක ලාභයක් තබාගෙන රු. 98 කට විකිණිය යුතුය. නමුත් තිරිඟු‍ පිටි විකිණීමේදී රු. 74 ට මිලදී ගන්නා පිටි කි.ග්‍රෑම් 1 ක් රු. 10 ක ලාභයක් තබා ගනිමින් රු. 84 ට විකිණීමට හැකිය. මෙම නියෝග උල්ලංඝනය කරන්නන්ට එරෙහිව පියවර ගන්නා බවද සමූපකාරවලට දන්වා ඇත. ඒ අනුව සහල් නිෂ්පාදකයින්ට සහ තිරිඟු‍ පිටි ආනයනකරුවන්ට ආකාර දෙකකට සලකන බව පැහැදිලිවන නමුත් ඊට හේතුව දක්වා නැත. ඒ පිළිබඳ සමූපකාර සේවකයින් අදහස් දක්වමින් සඳහන් කරන්නේ ඒ මඟින් සහල් විකිණීම අධෛර්යමත් කෙරෙන නිසා කෘත්‍රිම සහල් හිඟයක් මවා පෑමට හැකි බවය.   


මීට පෙර ඉහත සඳහන් කළ ආකාරයට සීනි ආනයනකරුවන්ට බදු සහන ලබා දීමෙන් පසුව නිකුත් කරන ලද ගැසට් නිවේදන අනුව පැකට් කළ සීනි කි.ග්‍රෑම් 1 ක් රු. 90 කට සහ පැකට් නොකළ සීනි රු. 85 ට විකිණිය හැකිය. ඒ අනුව සීනි ආනයනකරුවන්ගේ හිතසුව පිණිස පැකට් කිරීමේ පිරිවැය ලෙස කි.ග්‍රෑම් 1 කට රු. 5 ක් ලබාදී ඇත. නමුත් සහල් පැකට් කිරීමේදී කි.ග්‍රෑම් 5 ක පැකට් එකක් සඳහා රු. 5 ක් හෙවත් කි.ග්‍රෑම් 1 ක් සඳහා රු. 1 ක් ලබාදිය නොහැකි බව ආණ්ඩුව විසින් සහල් මිල පාලනය පැනවීමේදී තර්ක කරනු ලැබීය. මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ සහල් වෙළෙඳපොළ තුළ මිල විකෘතියක් ඇති කිරීම මඟින් නිෂ්පාදකයාගේ සහ ගොවියාගේ ගෙල සිරකිරීම සඳහා කිසියම් බලවේගයකට උවමනාවක් ඇති බවය. සහල් කි.ග්‍රෑම් 1 ක් 7-8 දෙනෙකුට ආහාරයට ගත හැක. ඒ අනුව මිල විකෘති කොට රු. 98 ට විකිණීමට බලකරන සහල් කි.ග්‍රෑම් 1 ක් රු. 105 කට විකිණීමට ඉඩ ලබාදෙන්නේ නම් එක් වේලකට එක් පාරිභෝගිකයෙකුට දැරීමට සිදුවන්නේ රු. 1 ක් පමණි. දැන් රු. 98 කට මිලක් පනවා තිබුණද මහජනයා නාඩු සහල් මිලදී ගන්නේ රු. 105 සහ රු. 110 අතර මිලකටය.   


සහල් වෙළෙඳපොළේ මිල විකෘතිය නිවරදිකොට දීර්ඝකාලීනව ගොවියා සහ මෝල් පද්දධතිය ආරක්ෂා කිරීම සඳහා රුපියලක මිල වැඩි වීමක් ලබාදීම පිළිබඳ රණ්ඩු කරන මිනිසුන් අපට හමුවන්නේ නැත. අප රටේ රු. 50 කට බුලත් විටක් මිලදී ගන්නා මිනිසුන් රු. 75 කට සිගරට්ටුවක් මිලදී ගන්නා මිනිසුන්, මෙන්ම අරක්කු බෝතලයක් සඳහා රු. 1000 ක් හෝ 2000 ක් වැය කරන මිනිසුන් සහ සාමාන්‍ය පාන්ගෙඩියක් රු. 60 ක් වෙන විට පැකට් කළ පෙති පාන් ගෙඩියක් සඳහා රු. 40 ක් වැඩිපුර ගෙවන මිනිසුන් සහල්වලට රුපියලක් වැඩිපුර දිය නොහැකි බවට රණ්ඩු කරනු ඇතැයි පිළිගත හැකිද? එම තර්කය මඟින් පවා පැහැදිලිවන්නේ සහල් වෙළෙඳපොළ තුළ මිල විකෘතියක් ඇතිකොට කුඩා පරිමාන නිෂ්පාදකයා සහ ගොවියා පීඩාවට පත් කිරීම සඳහා යම් නිලධාරීන් හෝ දේශපාලනඥයින් පිරිසකට උවමනාවක් තිබෙන බවය. එම නිසා එම ක්‍රියාවලිය වී ගොවිතැනට සහ සහල් කර්මාන්තයට සම්බන්ධ පවුල් ලක්ෂ 15 ක් හෙවත් දළ වශයෙන් ඡන්ද ලක්ෂ 30 ක් ආණ්ඩුවට අහිමි කිරීම සඳහා දියත්වෙන කුමන්ත්‍රණයක් ලෙසද හැඳින්විය හැක. මේ සියල්ල සිදුකරනු ලබන්නේ මහා මෝල් හිමියන් මට්ටු කිරීමේ නාමයෙනි. දිසාපතිවරු මගින් කුඩා මෝල් හිමියන්ට මුදල් නිකුත් කිරීම පමා කිරීම මගින් මහා මෝල් හිමියන්ට වී තොග වැඩි වශයෙන් මිලදී ගැනීමට ඉඩ සලසන්නේ ඔවුන් මට්ටු කිරීමටද? එසේ කුඩා මෝල් හිමියන් විසින් සහල් සැකසීමේදී කෙටුම් කුලිය ලෙස කි.ග්‍රෑ 1කට ලබා දුන් රු. 6ක කුලිය රු. 4 දක්වා අඩු කොට ඔවුන් අධෛර්යමත් කරන්නේ මහා මෝල් හිමියන් මට්ටු කිරීමටද? ඊට අමතරව මෝල් හිමියන් නොවන අතරමැදියන් විසින් වී තොග රැස් කිරීම වැළැක්වීම සඳහා ආහාර පාලන පනත යටතේ පියවර ගත හැකිව තිබියදී එසේ නොකරන්නේ මහා මෝල් හිමියන් මට්ටු කිරීමටද?   


ඊට අමතරව ගොවියාට සාධාරණ සහතික මිලක් ගෙවිය යුතු බව කියන වාමාංශික පක්ෂ පවා සහල් මිල අඩු කරනු යනුවෙන් සම්ප්‍රදායානුකූල බඩු මිල අඩු කරනු යන පොදු සටන් පාඨ කෝවට සහල් මිලද එකතු කරති. වෙළෙඳ ඇමතිවරයා කියන ආකාරයට අවශ්‍ය නම් ආනයනික සහල්වලට බදු සහන ලබා දීම මඟින් සහල් වෙළඳපොළ විනාශ කළ හැක. එතුමා එසේ මහා මෝල් හිමියන්ට අනතුරු ඇඟවීම සඳහා උත්සහා කළද බදු අඩු කිරීම මඟින් මිල අඩු කළ හැක්කේ ආනයනික සහල්වලය. නමුත් දේශීයව සහල් ලබා ගන්නේ පතල් කැණීම් මඟින් නොවේ. ඒ සඳහා දේශීය ගොවියාගෙන් වී මිලදී ගත යුතුය. අඩු මිලට සහල් දීමට නම් අඩු මිලට වී මිලදී ගත යුතුය. එසේම සහල් වෙළෙඳපොළ තුළ යථාර්ථවාදී නොවන මිල පාලනය මගින් හුස්ම හිර කිරීම නිසා කුඩා මෝල් හිමියන්ගේ පැවැත්ම අනතුරට ලක් වූ විට මහා මෝල් හිමියන් අඩු මිලට වී මිලදී ගන්නා අතර වැඩි මිලට සහල් විකිණීම සඳහා ඒකාධිකාරී අවස්ථාව ලැබේ. එමඟින් පාරිභෝගිකයා සහ ගොවියා යන පාර්ශ්ව දෙකම සූරාකෑමට ලක් වේ.   


මෙම තත්ත්වය වෙනස් කිරීමේ මුවාවෙන් එනම් සහල් මිල අඩුකොට මහා මෝල් හිමියාට දඬුවම් කිරීමේ මුවාවෙන් සිතාමතා සහල් වෙළෙඳපොළ තුළ මිල විකෘතියක් ඇති කළද ඒ මඟින් අවසානයේදී වාසි සැලසෙන්නේ මහා මෝල් හිමියන්ටමය. අප රටේ දීර්ඝ කාලයක් පැවති වෙළඳපොළ ව්‍යුහය අනුව මහා මෝල් හිමියන්ගේ වෙළෙඳපොළ කොටස පැවතියේ 20% ක මට්ටමේය. නමුත් පසුගිය කාලය පුරා සහල් වෙළෙඳපොළ තුළ පවත්වාගෙන යන කෘත්‍රිම මිල විකෘතිය නිසා 5000 ක් පමණ වූ කුඩා සහ මධ්‍යම පරිමාන සහල් මෝල් පද්ධතිය කඩාවැටුණි. දැන් එම මෝල් පද්ධතිය 2000 ක් පමණ දක්වා අඩුවී ඇති තත්ත්වයක් යටතේ මහා මෝල් හිමියන්ගේ කේවල් කිරීමේ බලය සහ වෙළෙඳපොළ කොටස් වැඩිවෙමින් ඇත. එසේම වෙළඳපොළ තුළ පවතින මිල විකෘතිය නිසා එනම් වී සඳහා වන සහතික මිල සහ කුඩා පරිමාණ මෝල්වල නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව සහල් මිල නියම නොකිරීම නිසා පළමුව බඩට වදින්නේ ගොවියාගේ සහ කුඩා මෝල් හිමියාගේය.   


මහා මෝල් පද්ධතිය තුළ පවතින ප්‍රමාණාත්මක ආර්ථික වාසිය නිසා ඒවාට අඩු ලාභ ප්‍රතිශතයක් යටතේ පවා පැවතිය හැකිය. ඊට අමතරව ඔවුන් සතුව පවතින මහා පරිමාණ වී වේළීමේ පහසුකම් සහ වී මිලදී ගැනීම සඳහා ලබා ගත හැකි සහන පොලී ණය පහසුකම් නිසා මෙන්ම මහා පරිමාණ ගබඩා පහසුකම් නිසා කුඩා මෝල් හිමියන්ට කිට්ටු වීමට නොහැකි ආකාරයට තරඟකාරීත්වයක් පවත්වා ගැනීමේ හැකියාවක් ඇත. ඒ නිසාම ඔවුන්ට ගොවියා සමඟ කේවල් කොට අඩු මිලට වී මිලදී ගැනීම මඟින් සහල් පාලන මිල අඩු මට්ටමක පවතින තත්ත්වය තුළ පවා ලාභ ප්‍රතිශතය බේරාගැනීමේ හැකියාව ඇත. එසේම කීරි සම්බා වැනි සහල්වලට ඉතා ඉහළ මිලක් පැනවීම නිසා කීරි සම්බා වී තරඟකාරීත්ව මිලදී ගැනීම මඟින් වැඩි ලාභයක් ඉපයීම හරහා සෙසු සහල් වර්ගවලින් ලැබෙන අඩු ලාභය තුලනය කර ගැනීමේ හැකියාව මහා මෝල් හිමියන් සතුව ඇත. ඒ සියල්ලට අමතරව සහල් සඳහා සහ ප්‍රවාහනය සඳහා වෙන් වශයෙන් බිල් නිකුත් කිරීම මඟින් නීතියෙන් රිංගා යාමට පමණක් නොව පාලන මිල නොසලකා වැඩි මිලට සහල් විකුණා නීතියෙන් බේරීයාමටද මහා මෝල් හිමියන්ට හැකියාව ඇත. කුඩා මෝල් හිමියන්ට එම කිසිදු වාසියක් නොලැබෙන බැවින් සහ මේ වෙන විටත් ඔවුන් ණය බරින් මිරිකෙමින් සිටින බැවින් සහල් මිල අඩු කළ විට පළමුව කඩාවැටෙන්නේ කුඩා මෝල් හිමියන්ය. ඒ තුළ මහා මෝල් හිමියන්ට ක්‍රමයෙන් තම වෙළෙඳපොළ කොටස් වැඩිකර ගැනීමට අවකාශය ලැබේ.   
මේ වන විට වෙළෙඳ අමාත්‍යවරයා ඉතා තදබල ලෙස ප්‍රකාශ කරන්නේ ඉදිරි වසර 3 තුළ සහල් මිල රු. 100 ට වඩා ඉහළ යාමට ඉඩ නොදෙන බවය. නමුත් මේ වන විටත් එතුමාගේ ගැසට් පත්‍රය නොසලකා හරිමින් උපරිම මිලට වඩා වැඩි මිලට සහල් විකුණන බව මුළු රටම දන්නා කරුණකි. ඒ නිසා ඉදිරියේදීත් එම උපරිම මිල නොසලකා වැඩි මිලට සහල් විකුණන බවට කිසිදු සැකයක් නැත. ඒ ආකාරයට යථාර්ථවාදී නොවන මිලක් පනවා ඊට වැඩි මිලට සහල් විකිණීමට අවස්ථාව ලබාදුන් විට වැඩි වාසි සැලසෙන්නේ වෙළෙඳ අමාත්‍යතුමා විසින් මට්ටු කිරීමට උත්සාහකරන බව කියන මහා මෝල් හිමියන්ට සහ අතරමැදියන්ටය. ඊට ප්‍රධාන වශයෙන් හේතුවෙන්නේ මිල ප්‍රශ්නය නිසා කුඩා මෝල් හිමියන්ට සහ කුඩා පරිමාණයෙන් සහල් සකස්කොට විකුණන ගොවීන් සහ ස්වයංරැකියා ලාභීන්ට වෙළෙඳපොළ අහිමිවීමය. එම තත්ත්වය යටතේ පාලන මිල දැඩිව ක්‍රියාත්මක කිරීමට උත්සහා කරන අවස්ථාවක කෘත්‍රිම සහල් හිඟයක් ඇතිවීම සහ ඇතිකිරීම වැළැක්විය නොහැක. වෙළඳපොළ තුළ පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකිණීම නොදැක්කා සේ සිටින ප්‍රතිපත්තියක් ආණ්ඩුව විසින් අනුගමනය කරන්නේ එම ගැටලුව පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් යුතුව බවට කිසිදු සැකයක් නැත. ඊට අමතරව ඉහත සඳහන් කළ ආකාරයට සහල් ආනයනය කිරීම මගින් කොමිස් ගැසීමේ උවමනාවද තිබෙන බවට කසිදු සැකයක් නැත.   


එසේනම් දැන් ඕනෑම තර්කඥානයක් ඇත්තෙකු විසින් යෝජනා කළ යුත්තේ කුමක්ද? එම තීන්දුව ගැනීමේදී පළමුව සැලකිල්ලට ගත යුතු කරුණුවන්නේ වෙනත් කිසිදු ආහාරයකට වඩා රටේ ආහාර සුරක්ෂිතතාවට අදාළව සහල්වල වැදගත්කමය. වෙනත් කිසිදු ආහාර ද්‍රව්‍යයක මිල පහත දැමීමට ගනු ලබන ක්‍රියාමාර්ග සහල්වලට අදාළව නැවත සලකා බැලීමට සිදුවෙන්නේ ඒ නිසාය. ඊට අමතරව වී ගොවිතැන ආරක්ෂා කිරීම, නව පරපුරට වී ගොවිතැන ආකර්ෂණීය ආර්ථික ක්‍රියාවලියක් බව තහවුරු කිරීම, වී ගොවියාගේ සුබසාධනය, කුඩා පරිමාණ වටිනාකම් එකතු කිරීමේ ක්‍රියාවලිය ආරක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම යන සාධක සියල්ල සැලකිල්ලට ගැනීමට සිදු වේ. විශේෂයෙන්ම කුඩා පරිමාණ වටිනාකම් එකතු කිරීමේ පද්ධතිය බිඳවැටීම සහ මහා පරිමාන ඒකාධිකාරිය වර්ධනය වීම ආහාර සුරක්ෂිතතාව පැත්තෙන් සහ ගොවියාගේ කේවල් කිරීමේ බලයට අදාළව ඉතා නිශේධනාත්මකව බලපානු ඇත. ඒ නිසා සහල්වලට උපරිම මිල පැනවීමේදී වී මිල ගොවියාට ජීවත්විය හැකි මට්ටමක පවත්වාගැනීම සහ කුඩා පරිමාණ සහල් සකස්කරන්නන්ගේ පැවැත්ම යන සාධක පළමුව සැලකිල්ලට ගත යුතුය. වර්තමාන මිල මට්ටම් අනුව අක්කරයකට ලැබෙන රු. 5000 ක පමණ වන පොහොර සහනාධාරය සහිතව අක්කරයක වී වගා කිරීම සඳහා දළ වශයෙන් රු. 65,000 කට ආසන්න පිරිවැයක් දැරීමට සිදුවේ. දළ වශයෙන් අක්කරයට බුසල් 90 ක මධ්‍ය අස්වැන්නක් ලබාගතහොත් රු. 50 ක සහතික මිල යටතේ රු. 93,000 ක පමණ ආදායමක් ලබා ගත හැක. ඒ අනුව අක්කරයකට රු. 28,000 ක පමණ ලාභයක් ලැබේ. ඒ ආකාරයට ගොවියාගේ ශ්‍රමයද ඇතුළත්ව වසරකට කන්න දෙකක් වැඩ කිරීම මගින් අක්කරයකට එක් දිනක් සඳහා ගොවියාට ලැබෙන්නේ රු. 300ක මුදලකි. ඒ අනුව අක්කර දෙකක් හිමි ගොවියකුගේ දිනක ආදායම රු. 600කි.   


ඒ අනුව වතු කම්කරුවාට දිනකට රු. 1000 ක් ගෙවිය යුතු බව පිළිගන්නා පිරිස් ගොවියාටද ද‍ළ වශයෙන් එවැනි ආදායමක් ලැබිය යුතු බව පිළිගන්නේ නම් වී සඳහා වන සහතික මිල අවම වශයෙන් රු. 60 ක් දක්වා වැඩි කළ යුතු බව පිළිගැනීමට සිදුවේ. වතුකම්කරු පවුලක දෙදෙනෙකු වැඩ කරන තත්ත්වයකදී වැටුප් දෙකක් ලැබෙන නමුත් ගොවි පවුලටම ලැබෙන්නේ ඉහත සඳහන් කළ ආකාරයේ ආදායමකි. ගොවි පවුල් ලක්ෂ 15 ක ජීවිතවලට මෙම තත්ත්වය අදාළ වේ. එම සාධාරණ, යුක්ති සහගත සහ මානුෂීය තර්කය පිළිගන්නා මිනිසුන් වී සඳහා වන රු. 60 ක සහතික මිලට අනුව සහල් පරිභෝජනය කිරීමට එකඟ වන බවට කිසිදු සැකයක් නැත. දේශීය නිෂ්පාදනය කඩාවැටීමට සලස්වමින් සැමවිටම අඩු මිලට සහල් පරිභෝජනය කළ යුතුය යන තර්කයට මෙම ප්‍රතිතර්ක ඉදිරිපත් කරන්නේ නම් මහජනයාගේ කැමැත්ත ලබා ගැනීම අසීරු නොවන බව සහතිකය. එසේ කළ නොහැකි බව යමෙකු පවසන්නේ නම් එය මේ රටේ ජනතාවට පොදුවේ කරනු ලබන අගෞරවයකි. ඒ නිසා “ගොවියාට වී වලට රු. 60 ක් ගෙවමු. අපි නාඩු සහල් කි.ග්‍රෑම් 1 ක් රු. 110 ට කමු” යනුවෙන් වෙළෙඳ අමාත්‍යවරයා කියන්නේ නම් මහජනයා ඊට විරුද්ධ නොවන අතර ගොවීන් එතුමාට සාධුකාර දෙනු ඇත. ඊනියා පාරිභෝගිකයා යැයි හඳුන්වන සිත් පිත් නැති මිනිසා මේ වන විටත් සහල්වලට ඒ මිල ගෙවන බව රහසක් නොවේ.   


නමුත් එම මිල වැඩි වීම මෙම කන්නයේදී ලබා දීම මඟින් වෙළෙඳ අමාත්‍යවරයා කියන ආකාරයට මහා මෝල් හිමියන්ට නීත්‍යානුකූලව අධික ලාභයක් ලබා ගැනීමට හැකියාවක් ලැබේ. ඒ නිසා එම සංයුත්ක විසඳුම ක්‍රියාත්මක කළ යුත්තේ ලබන කන්නයේ අස්වනු කැපීමත් සමඟය. එතෙක් අන්තර්කාලීනව පවතින අසාධාරණ සහ නීති විරෝධී ක්‍රියාවලිය ඉවසා දරා සිටීමට ගොවියාට සහ මහජනයාට සිදුවෙනු ඇත. නමුත් වී සඳහා සහතික මිල ඉහළ දැමීම සහ සහල් සඳහා ඊට අනුව පැනවිය යුතු මිල නීත්‍යානුකූල කිරීම මඟින් පමණක් ප්‍රශ්නය විසඳෙන්නේ නැත. ඒ සඳහා ඊට අනුබද්ධව තවත් ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට සිදුවේ. පළමුවැන්න රජය විසින් ආරක්ෂණ තොගයක් ලෙස අවම වශයෙන් අස්වැන්නෙන් 5% ක් සෘජුව මිලදී ගැනීම සඳහා දියුණු ස්ථාවර යාන්ත්‍රණයක් සකස් කිරීමය. එසේම ඊට සමගාමීව කුඩා සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට කෙටි කාලීනව වී මිලදී ගැනීම සඳහා අයිරා හෝ ණය පහසුකම් ලබා දීම සඳහා කාර්යක්ෂම යාන්ත්‍රණයක් සකස් කළ යුතුය.   


දැනට පවතින දිසාපතිවරුන් මඟින් ක්‍රියාත්මක කරන ක්‍රියාවලිය වඩා පුළුල් කිරීම සහ කාර්යක්ෂම කිරීම මෙන්ම එම ක්‍රියාවලිය අස්වනු නෙළීම ආරම්භ වෙන අවස්ථාවේදීම ආරම්භ කිරීම මගින් ප්‍රශ්නය විසඳෙනු ඇත. නමුත් එම ක්‍රියාවලිය තුළ සහල් කි.ග්‍රෑ. 1ක් සඳහා ලබාදෙන කෙටුම් කුලිය අවම වශයෙන් රු. 8ක් දක්වා වැඩි කළ යුතුය. කුඩා මෝල් හිමියන් සූරාකෑම මගින් පාරිභෝගිකයාට රුපියලක සහන දීමේ ක්‍රියාවලිය දිගුකල් පවත්වාගත නොහැක. ඊට අමතරව සමුපකාර පද්ධතිය මඟින් අවම වශයෙන් අස්වැන්නෙන් 10% ක් මිලදී ගැනීම සඳහා ණය පහසුකම් සහ දිරිගැන්වීම් ලබාදිය යුතුය. එම වී කුඩා මෝල් මඟින් සහල් බවට පත්කොට සමුපකාර මඟින් විකිණීම හරහා කුඩා මෝල් හිමියන්ගේ පැවැත්ම තවදුරටත් ශක්තිමත් කළ හැක. එසේම මේ වන විට ණය බරින් මිරිකී සිටින කුඩා මෝල් හිමියන් දිරිමත් කිරීම සහ වැසී ගොස් ඇති වී මෝල් නැවත සක්‍රීය කිරීම සඳහා කුඩා මෝල් හිමියන්ට සහන පැකේජයක් ලබා දිය යුතුය. කුඩා මෝල් පද්ධතිය ආරක්ෂා කිරීම රටේ ආහාර සුරක්ෂිතතාව සඳහා ඉතා වැදගත් පූර්ව කොන්දේසියක් වෙන බැවින් ඒ සඳහා මහජන බදු මුදල් යෙදවීම සාධාරණීකරණය කළ හැක. 

 
ඒ සියල්ලට අමතරව මෙම කන්නයේදී ආරම්භ වූ අතරමැදියන් විසින් වී තොග රැස් කිරීමේ ක්‍රියාවලියටද තිත තැබිය යුතුය. එසේම ගොවිජන බැංකුව නැවත සක්‍රීය කිරීම සහ පොහොර සහනාධාරය එම බැංකව හරහා සෘජුව මුදල් ලෙස ගෙවීම මගින් එම බැංකුවට ප්‍රාග්ධනය සැපයීම හරහා ගොවියා ණය බරින් නිදහස් කර ගැනීම සඳහා යම් මැදිහත්වීමක් රජය විසින් සුදු කළ යුතුය. මෙම මහා ප්‍රශ්නයට එවැනි සංයුක්ත පිළිතුරක් අවශ්‍ය බව වෙළඳ අමාත්‍යවරයා පිළිගන්නේ නම් එම පිළිගැනීම තුළින් පමණක් ප්‍රශ්නය විසඳීමේ දුෂ්කරතාවෙන් 50% ක් නිම වෙනු ඇත. කෙසේ වෙතත් මහා මෝල් හිමියන්ගේ පැවැත්මද 20% ක වෙළෙඳපොළ කොටසක සීමාවට යටත්ව තහවුරු කළ යුතුය. ඔවුන් විසින් රටේ වී සංචිත ගබඩා කිරීම සහ වී සහ සහල් තොග පවත්වා ගැනීමට අදාළ කරනු ලබන කාර්යභාරය සඳහා යම් දිරිගැන්වීමක් අවශ්‍යවනු ඇත. එසේම ඔවුන්ගේ තොග පවත්වාගෙන යාම පිළිබඳ යාවත්කාලීන තොරතුරු පාරිභෝගික අධිකාරිය විසින් ලබා ගැනීම සහ එම ක්‍රියාවලිය නියාමනය කිරීමද වැදගත් වේ. ඒ සඳහා සැබැවින්ම නව ආහාර සුරක්ෂිතතා නීතියක් අවශ්‍ය විය හැක.   


ඊට අමතරව දීර්ඝ කාලීනව රටේ ආහාර සුරක්ෂිතතාව පමණක් නොව මහජන සෞඛ්‍ය රැකීමට නම් වර්තමානයේ මෙ.ටො ලක්ෂ 18 ක් පමණ වන තිරිඟු පිටි පරිභෝජනය ලක්ෂ 9 ක් දක්වා අඩුකර ගත යුතුය. ඒ සඳහා කළ යුත්තේ තිරිඟු‍ ඇට සහ පාන් පිටි ආනයනකරුවන්ට පසුගිය රජය විසින් සහ වර්තමාන රජය විසින් ලබා දී ඇති පිළිවෙළින් කි.ග්‍රෑ. 1 කට රු. 20ක් සහ රු. 28 ක් වන බදු සහනය අහෝසි කළ යුතුය. ඒ මගින් මුල් කාලයේදී වසරකට රජයට ලැබෙන රු. මිලියන 34,000ක බදු ආදායම යොදවා අඩු ආදායම්ලාභීන්ට සහ වතුකම්කරුවන්ට විශේෂ ආහාර දීමනාවක් ලබා දිය හැක.   

 

 

 

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර