අපේ බදු මුදලින් අපරාධකාරයන් ජීවත් කරවීම


  • තුන්වේල ආණ්ඩුවෙන් කන්න ලැබෙන ෂුවර් තැන මෙන්න   
  • නොමිලේ ආණ්ඩුවෙන් ඉදුම් හිටුම්, ඇඳුම්, වෛද්‍ය පහසුකම් සමග ගාස්තු රහිතව ජිම් එකකුත්   
  • සිරකරුවෙක් නඩත්තුවට වසරකට රු. 274,192ක්   
  • හිරකරුවකුගේ දවසක වියදම රු.749ක්   
  • 2016 දී බන්ධනාගාරගත වූවන්ගෙන් 55ක් උපාධිධාරීන්  

 

 බන්ධනාගාරය අද මෙරට ජන ජීවිතයේ නිතර කතාබහට ලක්වන මාතෘකා වී තිබේ. බොහෝ විට දේශපාලන පළිගැනීම් යන වර්ගීකරණය යටතේ බන්ධනාගාරගත කෙරෙන බොහෝ බඩ තඩි නිරෝගී දේශපාලකයන් පසු දිනම රෝගි බවට පත්වේ. ඉන්පසු උන්නාන්සේලා බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරෙන අතර සුවපහසු ඇඳන්වලට වී ‘බෙඩ්රෙස්ට්’ එකක් ගන්නේද මහජන මුදල් වලින්මය. කුසගින්න නිවා ගන්නට අල්ලපු වත්තෙන් පොල් ගෙඩියක් කඩා ගන්නා පියා බන්ධනාගාරගතව අච්චු සිරකරුවකු ලෙස දහදුක් විඳිද්දී කෝටි ගණන් මහජන මුදල් ගසා කෑ දේශපාලනඥයෝ උසස් නිලධාරීයෝ දිනෙන් දින නඩු කල්දාන නිසා බන්ධනාගාර රෝහලට වී විවේක සුවයෙන් ගත කරති.   


අද අහස උසට නැග ඇති ජීවන වියදම හමුවේ මහජන බදු මුදලින් තුන්වේලම වේලාවට කෑ හැකි තැනක් ලෙස බන්ධනාගාරය සැලකිය හැකිය. බන්ධනාගාර ගතවූවකුගේ නඩත්තුවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව නීතියෙන් බැඳී සිටී. බන්ධනාගාර ආඥා පනත අනුව උදෑසනට ලබාදිය යුත්තේ කෑමට පාන් වුවද සෞඛ්‍ය හේතු මත දැන් එය අත්හිටුවා බත් දීමට කටයුතු යොදා ඇත. මේ අතර වේලට කොළ වර්ගයක්, අල වර්ගයක්, මාංස වර්ගයක් හා බත් නියමිත අවුන්ස ගණනක්ද ඇත.   


බන්ධනාගාරගත වූවකුගේ උදේ ආහාර වේල ලැබෙන්නේ උදේ හයටය. ඒ සීනි දැමූ කිරි තේ එකක්ද සමගය. ඊට තේ එකට යෙදිය යුතු තේ අවුන්ස ගණන ගැන නියමයක් ද ඇත. ඊටත් වඩා අප සාමාන්‍යයෙන් හෝටලයකට විත් උදෑසන ගන්නා මාළු කෑල්ල හෝ මස් කෑල්ල එක එක විදිහේ සයිස්වලය. එහෙත් ඔබ බන්ධනාගාර වුවහොත් ලැබෙන මාංශයේ අඩංගු විය යුතු නියමිත ග්‍රෑම් ප්‍රමාණය ලබා ගැනීමට ඔබට අයිතිවාසිකමක් ඇත. ලෝකයේ වෙනත් බන්ධනාගාරවල රැඳවූවන්ගේ ශරීර ශක්තිය රැක ගැනීමට චොකලට් ලබාදෙන බව අප අසා ඇතත් ලංකාවේ බන්ධනාගාරවල නම් අධි ශක්ති චොකලට් හෝ බිස්කට් ලබාදීමක් සිදු නොවන බව අප සමග සම්බන්ධ වූ බන්ධනාගාරගත නිලධාරියා පැහැදිලි කර දුන්නේය. බන්ධනාගාරයේ දවල් ආහාරය බොහෝ විට දහවල් දෙකට පෙර අනුභව කළ යුතු අතර හවස 4.30ට පෙර රාත්‍රී ආහාරය අනුභව කළ යුත්තේ සිරකරුවන් ගණන් ගැනීම් වැනි කටයුතු අඳුර වැටීමට පෙර සිදුවිය යුතු නිසාය. හවස 6.30ත් 7.00ත් අතර සවස තේවේල ලබා ගත හැක්කේ නියමිත සීනි අවුන්ස ගණනත් සමගය.  


පවතින නීතිය යටතේ අච්චු සිරකරුවන්ට තම කෑම වේල පිටතින් ගෙන ඒමට අවසර නැත. නමුත් විශේෂ දිනවල පිටතින් ආහාර ගෙන ඒමට අවස්ථාව සලසා ඇත. එහෙත් වරදකරුවන් නොවූ සැකකරුවන්ට තම ආහාරවේල පිටතින් ගෙන්වාගත හැකි අතර ඔවුන් මනාප නම් බන්ධනාගාරයේ ආහාර වේලද සප්පායම් වීමට තහනමක් නැත.  


පොදුවේ ගත්කල අපට පෙනීයන්නේ මේ බන්ධනාගාරගත වූවන් නඩත්තු කරන මහා ධනස්කන්දය වැය කරන්නේ මෙරට බදු මුදලෙන් බවය. බන්ධනාගාරය තුළ කෙරෙන වගාවන් හා ගෙවිපලවල්වලින් පලදාවක් බන්ධනාගාරය වෙත ලැබුණද එය ප්‍රතිශතයක් ලෙස ඉතා අවම අගයක් ගනී. 2017 දෙසැම්බර් 12 වැනිදින බන්ධනාගාරගතව සිටි මුළු සංඛ්‍යාව 20,883 කි. එය රැඳවියන් 1038කුත් පිරිමි සිරකරුවන් 19,845කුත් අයත් වීමෙනි. එම ලේඛනයට මරණ දඬුවම නියම වූ පුරුෂයෝ 342කුත් කාන්තවෝ 5 දෙනකුත් අන්තර්ගත වූහ. එමෙන්ම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ බන්ධනාගාරගතවූවන් 474 දෙනකුගෙන් 20 දෙනෙක්ම කාන්තාවෝ වූහ. මේ බන්ධනාගාරගත වූ පිරිසට විදේශීය කාන්තාවන් හා පුරුෂයන්ද වෙන් වෙන්ව දක්වා ඇත.   
මෙරට මහජන බදුවලින් නඩත්තු කරන බන්ධනාගාර පද්ධතිය කෝටි ගණනක මුදලක් නිතිපතා වැය කරන දැවැන්ත යාන්ත්‍රණයක් බව කිවයුතුමය. මෙරට ප්‍රධාන බන්ධනාගාර තුන ඇත්තේ වැලිකඩ, මහර සහ දුම්බරය. රිමාන්ඩ් බන්ධනාගාර ගණන 19කි. ඒ කොළඹ, තංගල්ල, යාපනය, අනුරාධපුර, මඩකළපුව, බදුල්ල, ගාල්ල, මාතර මීගමුව, නව මැගසින්, කෑගල්ල, ත්‍රිකුණාමලය, කළුතර, කුරුවිට, බූස්ස, මොනරාගල, පොලොන්නරුව, වාරියපොල සහ වවුනියාවේය. වැඩ කඳවුරු මීට අමතරව 10ක් ඇත්තේ වටරැක මීතිරිගල, හංගිලිපොළ, වීරවිල, පිටබැද්දර, කුරුවිට, වාරියපොල, කන්දෙවත්ත, තුන්කම, හා අඹේපුස්​ෙස්ය. මේ සියල්ලටම අමතරව පල්ලේකැලේ සහ අනුරාධපුර විවෘත කඳවුරු 2කුත් වටරැක තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලයකුත් පිහිටුවා ඇත. මීටත් අමතරව විවිධකාර රැඳවුම් මධ්‍යස්ථාන විවිධ වර්ගීකරණයන්ට ලක්කොට 25කට අධික සංඛ්‍යාවක් ඇතිමුත් ඒ එකින් එක හඳුන්වා දීමට ගියහොත් අපට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගැන මුළු පිටුවක්ම ලිවීමට සිදුවන බැවින් මේ දත්තයන් බන්ධනාගාර පද්ධතිය නඩත්තුවට සහ එහි නේවාසික පහසුකම් ලැබූවන්ට වැය කරන මහජන බදු මුදල ප්‍රමාණය තක්සේරු කර ගැනීමට හොඳටම ප්‍රමාණවත් යයි සිතමු.   


ලංකාවේ මොන රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය කරන්න කිව්වත් කිසිවකු පෞද්ගලීකරණය කරන ලෙස ඉල්ලන්නේ නැති එකම ආයතනය බන්ධනාගාර දෙපාර්තමේන්තුවයි. එමෙන්ම බන්ධනාගාර ගතවීමට කුලයමත, ජාතිය මත හෝ ආගම මත ප්‍රතිශතයක් ලෙස ඉල්ලුම් නොකරන රාජ්‍ය ආයතනද එයයි. නගර සභා ඡන්දයේදී කාන්තා නියෝජනය ප්‍රතිශතයක් ලෙස දක්වා ඇතිමුත් බන්ධනාගාරගත වීමට ඔය මොන හත්ඉලව්වක්වත් අදාළ නැත. අවසන් තීන්දුව ඇත්තේ නඩුකාරයා අතේය. සිකුරාදට අාගම කීමට බන්ධනාගාරයෙන් පල්ලියට යන පිරිසක්ද නැත. එහෙයින් සිරකරුවොත් මනුෂ්‍යයෝය යන වදන ප්‍රයෝගිකව ආර්ථාන්විත වී තිබේ.   


රාජ්‍ය බදු ආදායමෙන් නඩත්තුවන මෙම සිරකරුවන් මෙන්ම සිරකාරියන්ගේ දිවිනසා ගැනීමේ හෝ මරණයට පත්වූවන්ගෙන් එ් ගැන බරපැන දරන්නට වෙන්නේද මෙරට බදු ආදායමෙනි. අච්චු සිරකරුවන් හෝ සැකකරුවන් බන්ධනාගාරගත වූවන්ගේ මියගිය සිරුරු බොහෝ විට භාර ගන්නට ඥාතින් ඉදිරිපත් නොවේ. එවන් විටක ඒවා රජයේ වියදමෙන් ගෞරවාන්විත වන ලෙස අවසන් කටයුතු කරන්නට වැය කළ යුතු වන්නේ රාජ්‍ය බදු මුදල්ම නොවේද?   


2012 වසර සිට 2016 වසර දක්වා බන්ධනාගාර ගතවූවන්ගේ අධ්‍යාපන සුදුසුකම්ද පුදුම එලවන සුලුය. 2012 දී අපොස උ.පෙළ සමත් පිරිමින් 1058කුත් කාන්තාවන් 15කුත් බන්ධනාගාරගතව ඇත. 2016 වසරේදී අපොස උ.පෙළ සමත් පිරිමින් 896කුත් කාන්තාවන් 13 දෙනකුත් දක්වා එය අඩුවී ඇත. මේ දත්ත අනුව 2012 වසරේදී බන්ධනාගාරගත වූවන්ගෙන් 38ක් උපාධිධාරීන් වන අතර 2016දී බන්ධනාගාරගත උපාධිධාරීන් සංඛ්‍යාව 55 දක්වා ඉහළ යාම පෙන්නුම් කරන්නේ මෙරට අධ්‍යාපනයේ අඳුරු පැතිකඩක් නොවේද? 

 

 

 

බන්ධනාගාරගත වූවන් මහජන බදු මුදලින් කාබී නඩත්තු වනවා යයි මතයට වෙනස් ප්‍රායෝගික ක්‍රියාවලියක්ද අපට බන්ධනාගාර ක්‍රියාවලිය නිරීක්ෂණයේදී පෙනී ගියේය. මේ ක්‍රමය ක්‍රියාත්මක කොටඇත්තේ වයස අවුරුදු 16-22 ත් අතර වරදකරුවන්ටය. මොවුන් සඳහා තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලයක් පිහිටුවා ඇත. යුනිත පාසල නමින් වරනැගෙන මෙහිදී වයස පදනම් කොටගෙන මෝටර් කාර්මික ශිල්පය ආදී විවිධ කාර්මික පාඨමාලා පුහුණුවට අවස්ථාව සලසා ඇත. දරුවනට දඬුවම් කරනවා වෙනුවට මෙහිදී වන්නේ ඔවුනට විශේෂිත බලපත්‍රයක් මගින් ප්‍රයෝගික පුහුණුවක් ලබා දීමය. මෙම පුහුණුව ලබන තරුණ රැඳවූවන්ට අපොස විභාගයකට පවා මුහුණ දීමට පහසුකම් සපයා ඇත. බන්ධනාගාරගත කාලය අවසන්වූ පසු රජයේ රැකියාවන්ට නියුක්තවීමේ වරප්‍රසාදයක්ද ඔවුන් සතුය.  


ඇත්තටම මේ බන්ධනාගාරගත වූවන් නඩත්තුවට යන වාර්ෂික වියදම සංඛ්‍යාත්මකව ඔබ දුටුවහොත් මවිතයට පත්වනු ඇත. 2012 සිට 2016 දක්වා වසර 3ක කාලය තුළ එම පිරිවැය වැඩිවූ මුදල රු. 1,757,147,000ක් බව ගණන් බලා තිබේ. පුනරාවර්ථන ගිණුමේ සිරකරුවන්ගේ වියදම් 2012දී ඇස්තමේන්තු ගතකොටඇත්තේ 3,561,903, 900ක්ද ලෙසය. මෙම වටිනාකම 2016 වසරේදී දැක්වෙන්නේ රු. 5,319,050,000ක් ලෙසය. නමුත් සැනසීමක් වන්නේ මේ ඇස්තමේන්තුගත මුදලින් 2016 වසරේද වැයකොට ඇත්තේ රු. 4,792,326,093 පමණක් වීමය.   


බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මේ දත්ත අනුව 2012 වසරේදී බන්ධනාගාරගත වූවකු නඩත්තුවට 2012 දී වැයකළ මුදල රැ. 144,222කි. නමුත් 2016 වසරේ දී බන්ධගනාගාරගතවූවකු වෙනුවෙන් වර්ෂයකට වැය කරන මුදල රු. 274,192 දක්වා වර්ධනය වී තිබේ. මේ අනුව 2012 වසරේදී බන්ධනාගාරගතවූවකු වෙනුවෙන් මහජන බදු මුදලින් දිනකට වැයකළ මුදල රු. 395ක් වන අතර 2016 වනවිට බන්ධනාගාරගතවූවකු වෙනුවෙන් දිනකට වැය කරන මුදල රු. 749 දක්වා වැඩිවී තිබේ.   


2016 වසරේදී පමණක් බන්ධනාගාරගතවූවකුගේ වාර්ෂික ආහාර පරිභෝජනය පමණක් රු.46,563 ක් ලෙස දක්වා තිබීමෙන්ම මෙරට අපරාධකරුවන් නඩත්තුවට වැය කරන මහජන බදු මුදලේ ප්‍රමාණය අපට සිතා ගත හැකිය.   

 

 

 

 

 

 

 

 

 

වජිර ලියනගේ