අනුන්ට විපත් කළ ඩිංගිරාළ කට්ටඩියාට අත්වූ ශෝක ජනක ඉරණම


බිංගිරිය කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා ලිය​ා එවූ කතාවක් ​ෙමසේය. 

 
අනුන්ට විපත් කළ ඩිංගිරාළ කට්ටඩියාට අත් වූ ශෝක ජනක ඉරණම


පෙර දිනයක වයඹ එක්තරා ගමක සිදුවූ කතා පුවතකි. මෙහි විසූ යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳ හසල පළපුරුද්දක් හා දැනුමක් ඇති ඔහු අපි ඩිංගිරාල ලෙස හඳුන්වමු. මොහුගේ නිවසට යාබද ඉඩමේ විසූ ගුණවතී ඉස්කෝල හාමිනේ සමග යම් සිද්ධියකට උරණ වූ ​මොහු අැගේ හත් මස් ගැබිනියක වූ ජයවතී දියණියගෙන් පළිගැනීමේ චේතනාවෙන් මෙම ක්‍රියාදාමය සිදුකළේ ඇය මරණයට පත් කිරීමේ චේතනාවෙනි.   


දින ගණනාවක් යන්ත්‍රය ජප කර එය ඉබ්බෙකු අල්ලා ඉබ්බාගේ ගෙලෙහි බැන්ද ඩිංගි රාල ඌ එම ගුරුතුමියගේ ළිඳට දැමුවේ ඇගේ දියණියගේ දරු ගැබ හිරකර අැයව මරා දැමීමේ අටියෙනි. යන්ත්‍රය ගෙලෙහි බැඳි ඉබ්බා කවදා හෝ මැරෙන තුරු දරුවා ප්‍රසූත නොකෙරෙන අතර මේ හේතුවෙන් දරුගැබ හිර වී ජයවතී මරණයට පත්වනු ඇත.   
දිනක් ගුණවතී ස්කෝලෙ හාමිනේගේ නිවසේ සිටි අයෙක් මුහුණ කට සෝදා ගැනීමේ අදහසින් ළිඳ තුළට දැමූ බාල්දියට හසු වූ ඉබ්බා ගොඩට ගෙන බලන විට ඉබ්බාගේ ගෙළ බැඳි යන්ත්‍රය දුටුවෙන් සියල්ල සක් සුදක් සේ තේරුම් ගත් නිවැසියන් ඉබ්බාගේ ගෙළෙහි බැඳි යන්ත්‍රය ගලවා යන්ත්‍රය හා ඉබ්බා ඩිංගිරාල කට්ටඩිරාලගේ වත්‍තට විසි කළේ ඊළඟට සිදුවන දේ දැකබලා ගනු රිසියෙනි.   


ගත වූයේ දින හතකි. හදිසියේ බරපතළ ලෙස රෝගාතුර වූ ඩිංගිරාල කට්ටඩියා දරුණු ලෙද හෘදයාබාධයක් වැළඳී වත්තන් කරගෙන රෝහලකට රැගෙන ගියද අනුනට සිදුකරන්නට ගිය එම දරුණු විපාක තමන්ටම පටිසන් දෙමින් ඩිංගිරාල කට්ටඩි තැන හදිසියේ මිය පරලොව ගියේ ‘‘දිට්ඨ ධම්ම වේදනීය කර්මය’’ තමන්ටම පටිසන් දෙමිනි. මෙහි නම් ගම් මනඃකල්පිතය. මෙය සත්‍ය සිදුවීමකි.   

 



අම්බලන්තොට එස්. සෝමසිරි මහතා ලියා එවූ කතාවකි


නන්දෝරිස් බාස් උන්නැහේ දරු හය දෙනෙකුගේ කුස පිරවීමට නොගත් මහන්සියක් නැත. ඔහුගේ ප්‍රධාන වෘත්තිය කම්මල් වැඩ වුවත් අතට හසුවන ඕනෑම කුලී වැඩක් පැහැර නොහරී. ඔහු තම නිවසේ කොටසක කම්මල පවත්වාගෙන ගියේය. ඊට වැඩක් ලැබෙනුයේ එහෙමත් දවසකය. දිනපතා කිණිහිරය මත යකඩයක් තැළෙන්නේ හේන් සඳහා වල් කපන කාලයටය. ඒ කැති ​ෙපාරොව ආදී අාවුද මුවහත් කර ගැනීමට ගම්මුන් පැමිණීම නිසාය.  


නන්දොරිස්ගේ බිරිඳට ගම්මුන් අමතන්නේ ‘‘බාස් අක්කා’’ යනුවෙනි. ඇය දරුවන්ගේ දස සුමක්කරය හා ගෙදර වැඩ අවසන් වූ විගස ගම වටා යන්නීය. යළි පැමිණෙන්නේ ඉදි ගස් යට වැටුණු කොස් ඇට පුවක්‍් කොළයක බහා ගෙනය. නැතහොත් කොස් ගෙඩියක් පුවක් කොළයක් මත තබා හිසෙන් ඔසවා ගෙනය. ඉණේ මොනවා හෝ පළා අහුරකි. නැතහොත් වවුලන් හපකර ගස් යට හලා ගිය පුවක් ගෙඩි කීපයකි. පොල් කොළ අමුණා ​ෙදල් ගෙඩියක් ඇය ගෙන එන්නීය.   


කොස් ගෙඩියෙන් කොටසක් ආහාරයට ගෙන ඉතිරිය තම්බා අව්වට දමන්නීය. දෙල් තම්බා ලියා අව්වට දමන්නීය. පුවක් දිය බඳුනට දමන්නීය. නැතහොත් අටුවට විසි කරන්නීය. පොල් අතු වියා ගොඩ ගසා තබන්නීය. ඇයට ​ෙමසේ ආහාර සුරක්ෂිතතාව හා සම්පත් කළමනාකරණය ඉගැන්වූයේ ආණ්ඩුවේ මහත්වරුන් නොව දුප්පත්කම විසිනි.  
දවසකට එක් වේලකින් හෝ බඩ කට පුරවා එකම ඇඳුම දිනපතා සෝදා අන්දවා ඉරුණු පොත හා පැන්සල් කොටය අතට දී පයට මිරිවැඩි සඟළ නොපලඳවා ඇය දරුවන්‍ පාසල් යැව්වාය. දැන් විඳින දුක් කන්දරාවෙන් මතු දිනක නිදහස් විය හැක්කේ එමගින් පමණක් බව අකුරු නොදත් ඇගේ පුංචි මොළයට වැටහී තිබුණි.  


දෙ​ෙවනියා විජේපාල හැර අන් අය ඇල්මෙන් අකුරු උගනිති. මවගේ වදන් කනකට නොගත් ඔහු පාසල් නොගොස් කැලෑ පැන්න අවස්ථා ​ෙබාහෝය. මුල් ගුරුතුමාගේ බසටද දඬුවමටද අවනත නොවූ හේ පාසල් යාමට විරාමය නොව නැවතීමේ තිත තැබූවේය. ගමේ රස්තියාදු කොලු රැළට එක් වූ විජේපාල රෑ කෑමට පමණක් නිවසට එයි. එබඳු වෙලාවක් බලා මව හා පියා බොහෝ අවවාද දෙති. එවිට පංගුව උඩින් පල්ලෙන් හිස් කර පිටව යයි. කල් යත්ම කෑමට පවා නිවසට නොපැමිණෙයි. මව්පියන් ආරංචි කරන විට ගමේ සිටින බව පමණක් දැන සැනසෙයි.  


විජේපාල අසා තිබුණේ කොළඹ යනු සුරපුරක් බඳු තැනක් ලෙසිනි. ඔහුට එහි යාමට අදහසක් උපනි. ගමට ආසන්න නගරයට පැමිණ ඔහු කොළඹ බෝඩ් එක තිබූ බසයකට ​​ගොඩවිය. යාබද අසුනක සිටි මැදි වියට සමීප පිරිමි තැනැත්තෙක් තමා දෙස විපරමින් බලන බව විජේපාල නුදුටුවා ​ෙනාවේ. පසුව මොහු විජේපාලගේ අසුනට පැමිණියේය. තොරතුරු විමසුවේය. රැකියාවක් සොයා කොළඹ යන බව විජේපාල පැවසීය ‘‘මම රස්සාවක් සොයල දෙන්නම් මාත් එක්ක එන්න’’ විජේපාල ඊට එකඟ විය.  
කොළඹ නගරයේ මුඩුක්කු පේළියක තිබූ එක් නිවසක් ඉදිරිපිට මේ දෙදෙනා නතර වූහ. නිවෙසේ සිටිය යැයි සිතිය හැකි අයෙක් දොරකඩට පැමිණියහ. කරකැවූ උඩු රැවුලද මහත බඩද ලොමින් ගැවසුණු පපු පෙදෙසද ඔහුගේ බියකරු බව වැඩි කළේය. ඔහුට සමීප වූ විජේපාල කැඳවා ගෙන පැමිණි තැනැත්තා යමක් මිට මොළවා ගෙන යන්නට ගියේය. විජේපාල එහි නතර විය.  


පාන් කාලක් හා පරිප්පු හොදි බඳුනක් ආහාරයට ලැබුණි. හැන්දෑ වන විට තමා වැනි තවත් ළමයි කීප දෙනෙක් එහි පැමිණියහ. පසුදා රැකියාවට යාමට නියම විය.  
සෙසු ළමයි සමග ගිය විජේපාලට පැවරුණේ හොරකම, ගැටකැපීම, ගුස්ති ඇල්ලීම ආදී අවර ගනයේ කටයුතු ඉගෙනීමය. මීට අමතරව සර්කස්කරුවන් ලෙස ඔවුන් පෙනී සිටි හෙයින් එ්වා ඉගෙනීමට විජේපාලට සිදු විය.  


කලක් ගත විය. විජේපාල ශිල්පයෙහි කෙළ පැමිණියෙකි. තනියම බොහෝ දේ කළ හැකිය. ශිල්ප දක්වා උපයන ධනයෙන් කොටසක් ගුරාට දුන් පසු ඉතිරිය වැය වුණේ තමාගේ ශරීර කූඩුවේ අවශ්‍යතා සඳහාය.  


මේ අතර නන්දෝරිස්ලා​ෙගන් විජේපාල පිළිබඳ මතකය මැකී යමින් තිබුණි. වසර දහයකට අධික කාලයක් ගෙවී අැති බැවින් විජේපාල යළි පැමිණෙතැයි විශ්වාසයක් ඔවුන් තුළ නොවීය. දරුවන් ඉගෙන කියා ගෙන රජයේ රැකියා කරන හෙයින් මව්පිය දෙපළ එදා විඳි දුක් කන්දරාවෙන් නිදහස් වී සිටියහ.  


කාලය ගෙවී ගියේ විජේපාල දක්ෂ හොරෙකු චණ්ඩියෙකු හා සර්කස්කරුවෙකු බවට පත් කරවමින්. ඔහුට ගමට යාමට සිතක් අැති විය. එහි අරමුණ මව්පියන් හෝ අන් ඥාතීන් දැකීම නොවේ. කුඩා කාලයේදී තමන්ට මදිපුංචිකම් කළ ගමේ වංශවත් ලොක්කන්​ට පාඩමක් ඉගැන්වීමයි. ගමට එදා තිබු අඩිපාර වෙනුවට ගම්සභා පාරකි. කුඩා පොල් අතු ගෙවල් උළු ගෙවල් බවට පත්ව ඇත. තම නිවස තිබූ තැන කැළෑ රොදකි. ඒ අතරින් උළු වහලක් දිස් වේ. ඊට සමීප වූ විජේපාල අෑතදීම දුටුවේ හිසකෙස් සුදු පාට වියපත් තැනැත්තෙකු ඇඳි පුටුවක් මත සිට සැහැල්ලුවෙන් සුරුට්ටුවක් උරන බවයි. තවත් සමීප වූ කල ඒ සිය පියා බව ඇඳින ගත්​ෙත්ය. එහෙත් පියාට පුතා ඇඳින ගැනීමට මඳ වෙලාවක් ගත විය. බැහැරකට ගොස් සිටි මව පැමිණි පසු පුතා හැඳින ඔහු වැලඳ හඬන්නට වූවාය.  


ගමට පැමිණි විජේපාල යළි එක් වූයේ ගමේ චණ්ඩි රැළටය. ඔහු පිරිසට නායකත්වය දුන්නේය. ගමේ අපරාධ හොරකම් නොසණ්ඩාලකම් පෙරට වඩා වැඩි විය. ගම්මුන්ට විජේපාලා මහ ඇණයක් විය. පිළිලයක් විය. මහලු මව් පිය දෙදෙනාටද විජේපාල මෙල්ල කළ නොහැකි විය.  


අලුත් යමක් කර තම හැකියා ගමට ප්‍රදර්ශනය කිරීමේ පහත් බොළඳ ආශාවක් කලක සිට විජේපාල තුළ ලියලමින් තිබුණි. සහචරයන්ට මේ බව දැනුම් දුන්නේය. ඔවුන් ඊ​ට සහය පළ කිරීමට එක පයින් කැමති විය. ගමේ ගස් ගල්වල පවා දැන්වීම් පත්‍රිකා ඇලවිණි. නියමිත දිනය එළඹුණි. නියම කළ ස්ථානයට ගම්මු රොක් වී සිටිති. පිට්ටනිය මැද අත්කොට මේස් බැනියමක් හා කොට කලිසමක් හැඳ පාපැදියක් ළං කරගෙන විජේපාල සිටී. ශබ්දවාහිනි​ෙය් වාදනය වූ ගීතය නතර විය. නිවේදකයාගේ හඬ ප්‍රේක්ෂක කන් සිදුරු විද ගලා යයි. එළඹෙන සුබ මොහොතෙන් පාපැදියට නගින විජේපාල පැය 48ක් පුරා නොනවත්වා පිට්ටනිය වටා පාපැදිය පදවන බවත් එම කාලය ඉකුත් වූ පසු ඇඟමයිල් සෘජු වන ත්‍රාසය භීතිය දනවන සංදර්ශනයක් නැරඹීමට අවස්‍ථාවක් සලසන බවත් නිවේදනයේ කියැවිණි.  


සුබ මොහොත එළඹ ඇති බවට සංඥාව නිකුත්‍ විය. රතිඤ්ඤා පිපිරෙන හඬ අවට රැව් දෙයි. දෙඅත එක්කර පාපැදියට නමස්කාර කළ විජේපාල ඊට නැගී තම මෙහෙවර ඇරඹීය. අවට සිටි අය කෙමෙන් අඩුවන්නට විය. අවසන ඉතිරි වූයේ ආවතේවකරුවන් කීපදෙනා පමණි. විකාර. මූට පිස්සු ඇතැමෙක් නොකීවා නොවේ.  


පැය 48 ගෙවුණි. ඇඟ ලොමු ඩැහැ ගැන්වෙන ත්‍රාසජනක දර්ශනය කුමක්දැයි. නැරඹීමට ජනයා රැස්ව සිටිති. පිටිය මැද දිග කඹයක් එළා​ ඇත. විජේපාල කඹයේ මැදට පැමිණියේය එහි සිටි ආවතේවකාරයින්ට යමක් පැවසීය. ඔවුන් කඹයේ දෙපැත්තට ගියේය. විජේපාල කඹය ඔසවා එහි මැද ගැටයක් ගසා බෙල්ල හිර කළේය. දෙපැත්තේ සිටිය අය කඹය ඔසවා ගත්තේය. අවුරුදු කාලයට කඹ ඇදීමේ තරගය සිහිපත් ක​ෙළ්ය.  සංඥාව නිකුත් විය. ​ෙදපැත්තේ සිටිය වුන් කඹය දෙපැත්තට අැද්දෝය. දෙඅත් ඔසවා විජේපාල සංඥාව කළා මෙන් පෙනුණි. සහචරයන් සිතුවේ තව හයියෙන් අදින්නැයි කියනවා යැයි කියාය. තත්පර ගණනාවක් ගත වන්නට ඇත. කපා හෙළුෑ කෙසෙල් කඳක් සේ විජේපාල බිම ඇද වැටුණි. කඹය දෙපැත්තට අදින විට ගැටය තද නොවන සේ දෙපොට මාරු කළ යුතු මුත් කිසියම් ප්‍රමාදයකින් එසේ කිරීමට නොහැකි වී ඇති බව පසුව දැන ගන්නට ලැබුණි.   


පිරිස රොක් වූහ. විජේපාලගේ ජීවන සර්කස් ද එ් එක්කම නිම විය.‘‘යසයි ඕක මුළු ගමටම කරපු විනාසය. මේ ආත්මයේදීම පල දුන්නා. ඔහොම දේවල් නූනොත් තමයි පුදුම වෙන්න ඕන. ඕකට තමයි ළමයිනේ කියන්නේ කරපු පව් කම් මෙලොවදීම පල දෙනව කියලා” වැඩිහිටියෙක් කීවේය.  

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න. 

සකස් කළේ,   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්