අනුන්ගේ ප්‍රශ්නයකට මැදි වී සිපිරිගෙය උරුම වූ මිනිහෙක්



‘චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි’, 


අපේ බුද්ධ ධර්මයේ සඳහන් වන්නේ සෑම ක්‍රියාවකටම සිත මුල් වෙනවා කියලා. නරක සිතින් යම් දෙයක් කීවොත් හෝ සිදුකළහොත් කරත්තේ බැඳි ගොනා පසුපස එන රෝදය මෙන් දුක් විපාක පසු පස්සෙන් ලුහුබඳිනවා. ධම්ම පදයේ යමක වග්ගයේ එහෙමයි සඳහන් වෙන්නේ. අපි යම් කර්මයක් කරලා තියෙනවා නම්, ඒකට ලැබෙන ප්‍රතිවිපාකයන් නවත්තන්න කිසිම කෙනෙකුට බැහැ. මේ විඳවන්නේ ඒ පඩිසන් දීපු කර්මයක්.” 


වැලිකඩ මහ උළු ගෙදර වටකොට අහස උසට නැගි තාප්පයට එපිටින් ලෝකයක් ගැන සිහින දකින අත්තනායක, මට හමුවූයේ ‘පසුතැවිල්ල’ විශේෂාංගය සකස් කිරීම සඳහා ඉකුත් දිනෙක මා වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය අවස්ථාවකදීය. 


සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුව, ගම්පහ මහාධිකරණය මගින් පනවන මරණීය දණ්ඩනයකට යටත්ව අත්තනායක වැලිකඩ බන්ධනාගාරය වෙත එන්නේ ඉකුත් 2002 වර්ෂයේ නොවැම්බර් මාසයේ අගභාගයේ දිනයකදීය. 


“ජීවිතය කියන්නේ මොකක්ද කියලා හරියටම මම තේරුම් ගත්තේ මරණීය දණ්ඩනය නියම වෙලා වැලිකඩ බන්ධනාගාරයට ආපු දවසේ. දුවලා දුවලා යන්න හිතුණා. කෑ ගහලා අඬන්න හිතුණා. මට පිස්සු හැදිලා ද කියලා හිතුණා. ඒත්.... මම තාමත් ජීවත් වෙනවා. මම ජීවත් වෙන්නේ බුද්ධ ධර්මය නිසයි.” 


ගුරුවරුන් දෙපළකට දාව පවුලේ තෙවැනි දරුවා ලෙස උපත ලද අත්තනායක උසස් පෙළින් පසු නීතිඥ වෘත්තිය වෙත යොමු වීමේ දැඩි වුවමනාවකින් ඉගෙනීම් කටයුතු කරමින් සිටියේය. ඔහුට වැඩිමහලු පවුලේ සහෝදරයා ඒ වන වටත් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුව සිටි අතර සහෝදරිය වෛද්‍යවරියක ලෙස පත්වීම් ලැබ සිටියාය. 
“පුතේ, අයියා කිව්වා පොලිසියට බැඳිලාම ඉගෙන ගන්න පුළුවන් කියලා. මොකද පුතා කියන්නේ?” අත්තනායකගේ පියාණන් අලුත් යෝජනාවක් ගෙන ආවේ ඔහුගේ ජීවිතය වෙනත්ම මගකට යොමු කරමිනි. 


“තාත්තාගේ ආශාවත් තිබුණා අයියා වගේම මාවත් පොලිසියට බන්දන්න. මම ඒ ආශාව ඉෂ්ට කරන්න තීරණය කළා. උප පොලිස් පරීක්ෂකවරයෙකු විදිහට මම පොලිසියට බැඳුණේ 1990 විතර. ඒත් අවුරුදු දහයක පොලිසියේ රස්සාවට මම ආයුබෝවන් කිව්වේ නීතිඥයකු විදිහට ඉගෙන ගන්න දිගටම පාඩම් කරන්න ඕනි නිසා. මම නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගයෙන් සමත් වුණා. කෑගල්ලේ ඉඳලා කොළඹ එන්න කරදර නිසා මම කොළඹ පැත්තෙන් බෝඩිමක් හෙව්වා.” 


රාගම ප්‍රදේශයේ නිවෙසක කාමරයක් කුලියට ගත් අත්තනායක සිය ඉගෙනුම් කටයුතු කරගෙන ගියත් එම නිවසේ තිබූ ඝෝෂාකාරී තත්ත්වය ඉගෙනුම් කටයුතුවලට බාධාවක් විය. බෝඩිං කාමරයේ අපහසුතාව ගැන සිත්තැවුලෙන් සිටි ඔහුට දිනක් රාගම නගරයේදී සුනිල් අයියා හමුවිය. 


“මගේ පාසලේ මිතුරෙකුගේ සහෝදරයා තමයි සුනිල් අයියා. ඉස්කෝලේ යන කාලේ අපි ගොඩක් හිතවතුන් විදිහට ආශ්‍රය කළා. එයා පදිංචි වෙලා හිටියේ රාගම බටුවත්තේ. මම සුනිල් අයියාට කිව්වා මගේ ප්‍රශ්නය ගැන.” 


“අනේ මල්ලි අපේ ගෙදර ඕන තරම් ඉඩ තියෙනවා. අනික ඔයා ඉගෙන ගන්න කෙනෙක් නේ. ඒ නිසා අපි උදව් කරන්න ඕනේ නේ. එන්න කෝ අපේ ගෙදර. මගේ දුවයි පුතයි නෝනයි විතරයි ගෙදර ඉන්නේ.” 


අහම්බෙන් හමුවූ මිතුරාගේ ආරාධනය, අත්තනායකට මහ මෙරක් තරම් විය. ඔහු අලුත් නවාතැනට පිවිසෙන්නේ දහසකුත් එකක් වූ බලාපොරොත්තු හිසින් දරාගෙනය. කාලය දින සති ලෙසින් ගෙවා දමමින් ඉගිල ගියේ සුනිල් අයියාගේ නිවසේ ඇත්තන්ට අත්තනායක නැතිවම බැරි අයකු ලෙසට පත් කරමිනි. දරුවන්ගේ වැඩකටයුතු මෙන්ම ඔවුන්ගේ ඉගෙනීමේ වැඩකටයුතු රාශියක් අත්තනායකගේ කර මතට බර වූයේ ඔහු සැබෑ සහෝදරයකු වැඩිහිටියකු මෙන් දරුවන් දෙදෙනාට සැලකූ නිසාවෙනි. 


“ලොකු දුවට මම නැතුව මුකුත්ම කරගන්න බැරිවුණා. පුතාටත් එහෙමයි. පාඩම් කරන්නත් මාව ඕන. කෑම කන්නත් මාව ඕන. මමත් දරුවෝ දෙන්නට ආදරය කළා. ඒත්.. ඒ වෙද්දි ලොකු දුව සාමාන්‍ය පෙළ අවසන් වෙලා හිටියේ. ප්‍රතිඵල එනතුරු තමයි එයා ගෙදරට වෙලා හිටියේ. මේ සිද්ධිය වුණේ ඒ අතරවාරයේදී තමයි.” 


අසල නිවෙසක කාන්තාවක සමග සුනිල්ගේ අනියම් සබඳතාවක් නිවැසියන්ගේ කන වැකෙන්නේ සන්සුන්ව ගලා යමින් තිබූ ජීවිත කණපිට හරවමිනි. මේ ආරංචිය තම මෑණියන්ට පවසන්නේ ඔහුගේ දියණිය විසිනි. තම සබඳතාව පිළිබඳව දියණිය විසින් බිරිඳට පැවසූ පසු නිවෙස තමන්ට තහනම් ස්ථානයක් වේයැයි සුනිල් කිසිදා නොසිතීය. ඒ පිළිබඳව සුනිල් සිටියේ දියණිය සමග දැඩි අමනාපයකිනි. 


“සුනිල් අයියා ඒ ගෑනු කෙනාගේ ගෙදර නතර වුණා. ඒත් අක්කා ගෙදර නැති වෙලාව බලාගෙන ඉන්න එයා ගේ ඇතුළට එනවා. ඇවිල්ල මට කියනවා ආයෙත් පවුල එකතු කරලා දෙන්න කියලා. ඒත් අක්කා ඒකට කිසිම කැමැත්තක් දැක්වූයේ නැහැ. දරුවෝ දෙන්නත් අක්කගේ කීමට නතු වෙලා හිටියේ. එක දවසක් මම පුතා අමතර පන්තියකට දාලා එන්න රාගම ටවුන් එකට ගියා. එදා සෙනසුරාදා දවසක්. මම පුතාව ක්ලාස් දාලා ගෙදර එද්දි සුනිල් අයියා ගෙදර පුටුවක් උඩ ඉඳගෙන හිටියා. දුව උඩ තට්ටුවේ එයාගේ කාමරේ ළඟ හිටගෙන තාත්තා එක්ක කතා කර කර හිටියා.” 


සුනිල් අයියා නිවසට පැමිණි සෑම අවස්ථාවකදීම කෙළවර රණ්ඩු සරුවලකින් නිමවන බව අත්තනායක දැන සිටියේය. කිසිවකු නිවසේ නොසිටි අවස්ථාවක තාත්තාත් දියණියත් උස් හඬින් කථාවක පැටලී ඇති බව නිවසේ ගේට්ටුව අසලට පැමිණෙන විටම ඔහුට ඇසිණි.

 
“ඒ දෙන්නා බහින්බස් වෙනවා වගේ හැඟීමක් මට ඇති වුණේ මං ගෙට ගොඩ වෙද්දීමයි. මාව දැක්ක ගමන් සුනිල් අයියා කතාව නැවැත්තුවා. මම බයිසිකලේට දාන්න පෙට්ට්‍රල් කෑන් එකකුත් අරගෙන තමයි ආවේ. මම හිටියේ ඒ ගෙදර උඩ තට්ටුවේ කාමරයක. මගේ කාමරේට ඉස්සරහ තමයි දුවගේ කාමරේ තිබුණේ. මම කෙළින්ම මගේ කාමරේට ගියා. ඒ දෙන්නගේ කතා බහ ගැන මම තැකීමක් කළේ නැහැ.” 


අමතර පන්තියක් සඳහා පිටත්ව යාමට ඇති බැවින් අත්තනායක වහාම තම ඇඳුම් මදිමින් ගමනට සූදානම් වූයේය. ඒ මොහොතේදී සුනිල්, ඔහුගේ කාමරය වෙත පැමිණ අසල තිබූ පුටුවකට බර වූයේ දිගු කතාවකට මුල පුරමිනි. 


“මල්ලි, නොකළ වරදකට මම මේ අහුවුණේ. අන්තිමට යන්න එන්න තැනක් නැතුව ඒ ගෑනිගේ ගෙදරටම බින්න බහින්න මට වුණා. ඔයාට විතරයි පුළුවන් මේ පවුල ආයෙත් එකතු කරන්න. දරුවෝ දෙන්නා පවු. දුවට මගේ ගැන තේරෙන්නේ නැහැ. අක්කා යක්ෂණියක් වගේ මගේ ඇඟට කඩා පනිනවා. දුවට මම මේ දේවල් තේරුම් කරලා දුන්නත් එයා තේරුම් ගන්නේ නැහැ. මල්ලි මට උදව් කරනවාද? නැත්නම් මම කෝච්චියට පැනලා මැරෙනවා.” 


සුනිල් අයියාගේ අඳෝනාව අසා සිටීමට නොහැකි වූ අත්තනායක කතාව මැදට පැන්නේය. 


“සුනිල් අයියේ, මටත් මේ ප්‍රශ්න දැන් ඇතිවෙලා. මම ආවේ ඉගෙන ගන්න. මම මෙ​ෙහන් යන්න කියලා තීරණය කළා. මම යනවා කිව්වාම දරුවෝ දෙන්නා අඬනවා. අයියා දන්නවනේ. ඔයාටත් වඩා දරුවෝ මට ළෙන්ගතු වුණා මේ ටික දවසට. උන් දෙන්නා නිසා මම මේ කල්පනා කරන්නේ. අනුන්ගේ ප්‍රශ්න මගේ කරගන්න මට බැහැ.” අත්තනායක සැබෑ වූ අමනාපයෙන් පැවසීය. 


“මල්ලි එහෙම කරන්න එපා. බලමු මොකක් හරි හොඳ දෙයක් වෙයි නේ. අක්කා ඔය තරම් උඩ පනින්නේ එයාගේ ඔය කෙහෙල්මල් රස්සාව නිසානේ. රස්සාවට යන්න ගත්තට පස්සේ තමයි එයාට මගේ අගේ නැති වුණේ‘” තම සිතට නැඟි තරහව පාලනය කර ගත් බව හඟවමින් සුනිල් පඩිපෙළ බැස නිවසින් නික්ම යනු අත්තනායක බලා සිටියේය. 
ඒ සමඟම වාගේ ඉදිරියෙන් තිබූ දියණියගේ කාමරය දෙසින් කිසිවකු හෝ වියරුවෙන් මෙන් මහ හඬින් කෑ ගසන හඬක් අත්තනායකට ඇසිණි. ඒ හඬින් දැඩි බියට පත් වූ ඔහු වහාම සිය කාමරයෙන් එළියට බැස්සේය. ඉදිරියෙන් තිබූ දියණියගේ කාමරයේ අඩක් විවෘතව තිබූ දොරෙන් දුම් වලාවක් එළියට එන අයුරු ඔහු දුටුවේය. 


“මම පැනපු ගමන් දුවගේ කාමරේ දොර ඇරියා. අමුතු සද්දයකින් ඒ කෑගහන්නේ දුව කියලා මට තේරුම් ගියා. දුමින් පිරිලා තිබුණ කාමරේ කෙළවරකට වෙන්න දඟලමින් කෑ ගසමින් දුව හිටියා. එයාගේ මුළු ඇඟම ගින්නෙන් ඇවිළෙමින් තිබුණේ. මම පැනපු ගමන් එයාව අල්ලලා බිම පෙරළුවා. මම නොහිතපු විදිහට මටත් ගිනි ඇවිළුණා. ඒත් මම කොහොම හරි දුවව බිම පෙරළලා ගින්න නිවන්න උත්සාහ ගත්තා. ඒත් දුවව බේරගන්න බැරිවුණා. රෝහල්ගත වෙන කොටත් එයා මැරිලා.” ඔහු කියන්නේ එසේය. එහෙත් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනාවෙන් ඔහුට ගැලවෙන්නට හැකියාවක් නොමැති වී ඇත්තේ මියගිය දහසය හැවිරිදි දැරිවිය තනිව ගිනි තබා ගෙන සිය දිවි හානිකර ගත්තා යැයි කියන්නට පරිවේෂණීය සාක්ෂි කිසිවක් ඉදිරිපත් වී නොතිබීම මතය. 


පිටස්තර පාර්ශ්වයකින් එම ගිනිතැබීම සිදුකර ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තා සඳහන් කර ඇති මෙම සිදුවීමේ දී අත්තනායක ගෙනා පෙට්ට්‍රල් බඳුන දියණියගේ කාමරයට යන්නේ කෙසේද යන්න නඩුවේ දී පැන නැගී තිබූ විශාල සැකයට තුඩු දුන් කාරණයක් වී ඇත. 


“ඇත්තටම කොහොමද ඔයා ගෙනාපු පෙට්ට්‍රල් කෑන් එක දුවගේ කාමරේට ගියේ?” 


“මට මතක විදිහට මම ඒක උඩට අරගෙන ආවේ නැහැ. පහළ දොර ළඟ තියලා තමයි ආවේ. ඒත් මම පොලිසියටවත් කිව්වේ නැහැ සුනිල් අයියා මගෙත් එක්ක කතා කර කර ඉඳලා තමයි ගියේ කියලා. මට හිතෙන්නේ තාත්තා එක්ක රණ්ඩු කරගත්තු නිසා දුව ගිනි තියා ගන්න ඇති. එහෙම නැත්නම් සුනිල් අයියා ඒ වැඩේ කළාද දන්නේ නැහැ. නමුත් මම නිර්දෝෂී කියලා ඔප්පු කරගන්න මට බැරිවුණා. මරණීය දණ්ඩනයට එරෙහිව මම දාපු ඇපෑලෙන් මරණීය දණ්ඩනය ස්ථීර වුණා. අද මම මගේ ජීවිතයේ සියලු බලාපොරොත්තු අත් හැරදාලා ඉන්නේ. වෙලාවකට හිතෙනවා සියලුම සාක්ෂි මට අවාසි වෙන විදහටම ගැළපුණේ මම කළ පෙර පවකට කියලා. මම දරුවා මැරුවේ නැහැ. අන්තිමට සහෝදරියෙක් වගේ හිටපු සුනිල් අයියගේ නෝනාත් පුතත් මට වෛර කරන්න ගත්තා. අහල පහල උදවිය මට ශාප කළා. මගේ අතින් වරදක් වුණේ නැහැ. අද මම විරූපී පුද්ගලයෙක් වෙලා. මේ ඔක්කෝම මගේ පෙර කළ පවක්.” 


අත්තනායකගේ දෙඅතේ ඇඟිලි තුන හතරක්ම පිළිස්සීමට ලක්වීමෙන් අක්‍රිය වී ඇති අයුරු මෙන්ම ඔහුගේ මුහුණ සහ බෙල්ල ප්‍රදේශයේද පිළිස්සුම් කැළැල් රාශියක් දක්නට තිබේ. කෙසේ වෙතත් දැරියක මියගොස් ඇත. එය සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බවට සාක්ෂි නිවැරදිව ගැළපී ඇත. අධිකරණය අත්තනායක වැරදිකරු කරන්නේ එහෙයිනි. 
එමෙන්ම දෙවැනි වරට ද අත්තනායක වරදක් කළ බවට අභියාචනාධිකරණය ද තීරණය කර තිබිණි. “මම වරදක් කළේ නැහැ. ඒත් මම කරපු පවට අද මං දඬුවම් විඳිනවා.” අත්තනායකගේ කතාවේ ඇතැම් තැනක දොස් පරොස් තැන් කිහිපයක්ම පවතින බව ඔහුගේ කතාවෙන් හැඟෙයි. කෙසේ වෙතත්, අද ඔහු ‘මරණය’ අබිමුව සිනාසෙන්නට උත්සාහ දරන්නෙකි. 


“මම පසුතැවිලි වෙනවා. ඔව්. මම අනවශ්‍ය පවුල් ප්‍රශ්නයකට මැදි වුණා. ඒ පවුලේ ප්‍රශ්න ඇතිවෙද්දි දරුවෝ කියන දේ අහන්නේ නැතුව මම ඒ ගෙදරින් ගියා නම් අද මම නීතිඥවරයෙක්. පොලිස් නිලධාරියකු වෙලා හිටිය මම ඒ රාජකාරියට පයින් ගහලා ආවේ වැලිකඩ නතර වෙන්න වෙන්න ඇති. 


මේ වන විට වයස අවුරුදු 65ක් පමණ වන අත්තනායකගේ ජීවිතයේ අවසන් කාල වකවානුව එළැඹෙන තෙක් ඇඟිලි ගනිමින් සිටින්නේය. 


“මම අවුරුදු පහළොවකට වඩා වැඩියි මේ හිරගෙදරට ඇවිල්ලා. ආයෙත් එළියට යන්න බලාපොරොත්තුවක් නැතුවාම නොවෙයි. මට එළියේ කාත් කවුරුත් නැහැ. මුලදි අම්මයි තාත්තයි මාව බලන්න ආවා. ඒ දෙන්නා නැති වුණාට පස්සේ මට කාත් කවුරුත් නැහැ. ලෝක යථාර්ථය තමයි ඒ. 


මං මේකේ ඇතුළේ ජීවත් වෙන්නේ බුදු දහම නිසයි. අද මං පෝයක් එනකල් බලාගෙන ඉන්නේ සිල් ගන්න. මෙහේ තියෙන සියලුම ආගමික වැඩසටහන්වලට මම මූලික වෙලා කටයුතු කරනවා. මගේ කතාවෙන් ගන්න පුළුවන් හොඳම ආදර්ශය තමයි මොන දේ වුණත් අනවශ්‍ය කරදර ජීවිතේට වද්දගන්න ඕන නැහැ. අනුන්ගේ කරදර අපේ කර ගන්නේ නැතුව හිටියා නම් එච්චරයි. මට වැරදුණේ එතැනයි.” අත්තනායක අවසානයේ කීවේය. 


සැබැවින්ම සියල්ලන්ටම හිත මුල් වන බව ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. ඒ දහමේ පරම සත්‍යය පසක් නොවන්නේ දැයි මට හැඟිණි. 


(මෙහි එන නම් ගම් සියල්ල මන:කල්පිතයි) 


විශේෂ ස්තූතිය : බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන්ත ධනසිංහ, ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ටී.අයි. උඩුවර, ප්‍රධාන ජේලර් ප්‍රසාද් ප්‍රේමතිලක, පුනරුත්ථාපන අංශ භාර ප්‍රධාන නිලධාරී පියසිරි වටගොඩ යන මහත්වරුන්ට. 

 

 

නිමන්ති රණසිංහ