අනුන්ගේ පවට කර ගැසූ රංකිරාගේ ඉරණම


ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි

 

බිංගිරිය, කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.  

ගෙල වැළලාගෙන මියගිය කෙසෙල් හොරා 

 
උතුරු පළාතේ විසූ හේමචන්ද්‍ර ගුරුතුමා එකල ප්‍රදේශයේ සිටි කෘතහස්ත භාෂා දැනුමැති උපාධිධාරී ගුරු භවතෙක් විය. ප්‍රදේශවාසීහු ‘‘උපාධි මහත්මයා’’ යන ආරූඪ නමින් හැඳින් වූ මොහු ප්‍රදේශයේ පාසල් ගණනාවක පාසල් ගීතවල නිර්මාතෘවරයා ද විය. මුලින් පැවිදිව සිටි මොහු පසුකාලීනව පැවිදි බව අත්හැර ගිහියකු බවට පත්ව ඇත. මේ නිසාම බොහෝ තැන්පත් නිහතමානී ගති පැවතුම්වලින් හෙබි ඔහු විවාහ වී දැහැමි දිවි පෙවෙතක් ගත කළේය. ගීපද රචනයේ ද දක්ෂයකු වූ අතර විද්‍යාලයීය ශීල ව්‍යාපාර කටයුතුවල දී ද ප්‍රමුඛස්ථානයක් ගෙන කටයුතු කළේය.  


ගුරුතුමාගේ දයාබර මව වයස්ගතව මියපරලොව ගිය අතර එම භූමද‌ාන කටයුතු චාරිත්‍රානුකූලව සිදුකළේ අන්‍යයන්ට ද ඉන් ආදර්ශයක් ලබාගත හැකි වන අයුරිනි.  


හේමචන්ද්‍ර ගුරුතුමාගේ නිවස පිටුපස වූ කෙසෙල් කොටුවේ හොඳට සශ්‍රීකව වැඩුණු කෝලිකුට්ටු කෙසෙල් කැනක් විය. එම විශාල කෙසෙල් කැන ඔහු නොකපා තිබුණේ තම මවගේ තුන් මාසයේ ද‌ානමය පිංකමට ප්‍රයෝජනයට ගැනීමේ අදහසිනි. දිනක් උදෑසන බලනවිට කිසියම් අයකු කෙසෙල් කැන කපාගෙන ගොස් තිබිණ.  


මෙවැනි සොරකම් සියල්ලටම වගකිව යුත්තා ගමේම අයකු වූ සිරිසේන බැව් කවුරුත් දැන සිටියහ. කාටත් හොරා මැදියම් රැයේ කෙසෙල් කැන් කපන ඔහු ඒවා බෝවත්ත ප්‍රදේශයේ කඩ කිහිපයකට හොර රහසේ අලෙවි කළ ද එය අල්ලා ගැනීමට කිසිවෙකුටවත් හැකියාවක් නොතිබිණ. කෙසෙල් කැන් හොරා හොඳ හැටි දැන හැඳිනගත් හේමචන්ද්‍ර ගුරුතුමා වහා ඔහු සොයා ඔහුගේ ගෙදරට ගොස් ඔහු හමුවී ‘‘අනේ! සිරෝ මගෙ අම්මගෙ තුන් මාසේ දානයට ගන්ඩයි මම කෙසෙල් කැන තියාගෙන හිටියෙ. ඒක කරුණාකරල ගෙනැවිත් දෙන්ඩ’’ යැයි කොතෙක් ඇවටිලි කළ ද සිරා තමන් කිසිවක් නොදන්නා බව පුන පුනා කීවේ කපන ලද කෙසෙල් කැන ගේ තුළ මුල්ලක සඟවා තිබෙද්දීය.


ඒ අදහස සිතින් අත්හැර ආපසු තම නිවසට පැමිණ ගුරුතුමා මල් පහන් පූජාකොට දිනපතා මැතුරුවේ කෙසෙල් කැන කපාපු සිරාට සිතක් පහළ වී කෙසෙල් කැන ආපසු ගෙනැවිත් දේය යන අදහසිනි.  
ගත වූයේ දින කිහිපයකි. කෙසෙල් කැන සොරකම් කළ සිරා කපන ලද කෙසෙල් කැන ගේ මුල්ලක තිබිය දීම ගම අසලින් ගලා බසිනා කොළමුණුඔය ඉස්මත්තේ ගසක එල්ලී ගෙල වැළලාගෙන මියගොස් සිටියේ ‘‘මේ ජීවිතයේදීම කළ කම් පළදෙන හැටි’’ ආන්‍යයන්ට ද පෙන්වා දෙමිනි.   



මතුගම පියසේන දොඩම්​ගොඩ මහතා ලියා එවූ කතාවකි. 

අනුන්ගේ පවට කර ගැසූ රංකිරාගේ ඉරණම  


ගුණ දහමට ගරු කරන ගැමි සමාජයක් ගමේ පැවතුණ ද හොරුන්, බේබද්දන්, සල්ලාලයින් ඇතුළු මස් වැද්දන් ද ගමේ නොසිටියා නොවේ. ගමේ සුළු හොරකම් කරමින් ‘මතට’ හා ‘සූදුවට’ එයින් ලබා ගන්නා මුදල් වියහියදම් කරමින් දවස පුරා ගමේ කරක් ගසමින් ජීවිතය ගෙන ගිය රංකිරා ගමටම එපා වූ නරුමයෙකි.  
තම දිවි​යේ තරුණ විය ඉක්ම යාමට ‘ඔන්න මෙන්න’ කියා ඇතත් තවමත් ‘මහ ගෙදර’ වියපත් දෙගුරුන් සමඟ ඔවුන්ගේ පිහිටෙන් දිවිරැක ගන්නා මළපොතේ අකුරක් නොදත් සියල්ල දන්නා අයෙක් සේ හැසිරීමට ගන්නා ඔහුගේ උත්සාහය ඉතා බලවත් විය.  


පාරතොටේ හෝ සුදුපිටියේ හෝ රා පොළක දී දෙතුන් දෙනෙක් අතර සිදුවෙන රණ්ඩු දබරයක දී ඒ මැදට පැන ‘වීරයෙකු’ වීමට වෙහෙසෙන රංකිරා ‘පීචන්’ වෙන වාර අනන්තය.  


‘උඹට වැඩක් නැහැ! අපේ ප්‍රශ්නය අපි බලාගන්නම්’ කියා කල කෝලාහල කරන අය මොහුට බැණ වැදුණත් ඔහු ‘වැඩේ’ අතහරින පාටක් පෙනුණේ නැත.   


‘රංකිරෝ! උඹ කැලේ යන නයි රෙද්ද අස්සේ දා නොගෙන පාඩුවේ හිටපන්! නැත්නම් කාගෙහරි අතින් තමයි උඹ මැරෙන්නේ’ යයි ගමේ තලතුනා වැඩිහිටියන් අවවාද කළත් ඔහු රණ්ඩු සරුවල් බේරුම් කිරීම අත්හැරියේ නැත.  


දිනක් ගමේ බූරුපිටියේ දී සූදු අන්තුවන් දෙපලක් මුදල් බෙද‌ාගැනීමේදී සිදුවූ කෝලාහලයක් බේරුම් කිරීමට උත්සාහ ගත් රංකිරාට එකෙක් අනෙකාට එල්ල කළ පිහිපාරක් වැදී බරපතළ ලෙස තුවාලව ලේ වහනය වී මිය ගියේය. කලබලයට පත්වූ බූරු පොළේ සියල්ලෝම පැන දුවන්නට වූ අතර රංකිරාගේ නිසල දේහය පමණක් එහි තනි විය.



දම්මුල්ල, බෙලිඅත්ත ජේ. කණ්ඩම්බි මහතා ලියා එවූ කතාවකි මේ.

දකුණේ ස්ත්‍රී දූෂකයන්ට දුන් දඬුවම  


දකුණු ප්‍රදේශයේ උකුන් නමින් ප්‍රචලිත වූ ඔහුගේ සැබෑ නම වෙනකකි. පාසල් වියේ පටන් මෝරපු මැරයින්ටත්, අවි ආයුදවලටත් ඔහු ඇලුම් කළේ ඇඹලයකු ලෙසය. මැරයින් ඇසුර සමගින් කාන්තා පහස ද ඔහුට නිරායාසයෙන්ම ලැබුණි. සුරාවට ද ඇබ්බැහි වූ ඔහු වටා ද පාප මිතුරු කැලක් ගොඩ නැගුණි. සාමාන්‍ය පෙළ නොකරම පාසලට සමුදුන් ඔහු යළි කැඳවා ගැනීමට ගත් ගුරුවරුන්ගේ උත්සාහයන් නිෂ්ඵල විය. උකුන් ප්‍රදේශයේ නමගිය චණ්ඩියෙක් වීමට ගතවූයේ කෙටි කලකි.  


අසරණ පවුල්වල තරුණියන් පැහැරගෙන ගොස් දින ගණන් තිස්සේ දූෂණය කළේ මිතුරන්ගේ අතිනතට පත් කරමිනි. එම අහිංසකාවියන් ද ඥාතීන් ද ශාප කරමින් හඬා වැටුණා මිස නීතිය ඉදිරියට ගියේ නැත. නීතියේ පිහිට පැතීම කළු ගලේ ඔළුව ගසා ගැනීමක් ලෙස ඔවුහු සිතූහ. අද මෙන් එද‌ා පොලිසිය ද මැරයින් දූෂිතයින්ගේ සුරතලුන් බවට පත්වී තිබීම ඊට හේතුවයි.  


ප්‍රවාහන පහසුකම් නොතිබූ එද‌ා වෙසක් පොසොන් පෝ දිනවල දන්සල් බුදිමින් පෙරහරවල්, තොරණ බැලීමට යන්නේ පොඩි ට්‍රැක්ටර්වලින් හෝ පාගමනිනි. ආපසු එන්නේ ද බොහෝ රෑ බෝ වෙලාය. එසේ එන නඩවල සිටින රූමත් අහිංසකාවියන් පැහැරගනු ලබන්නේ මව්වරුන් හා ඥ‌ාතීන්ගේ මරළතෝනි මැදය. සුරාවෙන් සහ රාගයෙන් මත් වූ උකුන්ලා එම අඳෝනාවලින් ද වින්දනයක් ලැබූහ.  


නිමාවක් නැති මැර ක්‍රියාවන්ගෙන් කවද‌ා ගැලවීමක් ලැබේදැයි යන අවිනිශ්චිත සිතුවිලිවලින් මුළු සමාජයම ඇළලී ගියේය. නියඟය සදහටම නොපවතින්නා සේ, 89 භීෂණ සමය උදාවිය. සමාජයේ දූෂිත ක්‍රියාවල යෙදෙන අයට අවවාද කිරීමට නාඳුනන තරුණයෝ කටයුතු කළහ. ඉන් බොහොමයක් හැදුණි. නමුත් රාජ්‍ය බලයෙන් මෙන්ම මැර බලයෙන් මත් වූ උකුන්ලා වැඩි වැඩියෙන් අපරාධ සිදු කළේ නාඳුනන කණ්ඩායම්වලට බැර කරමිනි.  


ධාරානිපාත වැසි වැටෙමින් තිබූ අඳුරු දිනක උකුන් ඇතුළු තිදෙනෙකුගේ ඉරණම ද රුදුරු ලෙස විසඳුණි. ගම මැද තුන්මන් සලකට ප්‍රදර්ශනය විලස ඔවුන්ගේ සිරුරු ගෙනත් දමා තිබුණි. නිරුවත් සිරුරු සිදුරු කරමින් අනින ලද උල්පිහි ප්‍රහාරවලින් දැලක් සේ සිරුරු දිස්විය. ජනනේන්ද්‍ර ද කපා මු​වේ ගසා තිබුණි. අසල තිබූ බෝඩ් එකේ චෝදනා රාශියක් ලියා තිබුණි. ඉන් මුලටම ස්ත්‍රී දූෂණ 100ට වඩා සඳහන් විය. වෙනත් මැර ක්‍රියා රාශියක් ලියවී තිබුණි.  


දේශපාලන ක්‍රියාවලියේ අකාරුණික බවින් ලක්ෂයක පමණ අහිංසක ජීවිත එද‌ා රටට අහිමි විය. අශ්වයා පැන ගියාට පසුව ස්තාලය වසන්නාසේ පත්කළ කොමිසම් ද ජනතාවගේ මුදල් ගිල දැමුවා පමණි.  



මහනුවර කටුගස්තොට හේමන්ති ගාර්දියවසම් මහත්මිය ලියා එවූ කතාවකි

මත්පැනට ලොල්වූ නිහාල්


 උපාධිධාරියකු වූ නිහාල් රජයේ උසස් රැකියාවක් කළ විවාහක දරු තිදෙනකුගේ පියෙකි. මත්පැනට ලොල් වූ හෙතෙම සේවය අවසන්ව කෙළින්ම දුවන්නේ මත්පැන් අලෙවි සලටය. පඩි දවසට මිතුරන් හා මත් පැන් සාද පවත්වා ගෙදර එන්නේ හිස් අතිනි. බිරිඳත් දරු තිදෙනාත් රෑ වෙනතුරු දෑස් දල්වා පෙරමග බලා සිටින්නේ පියා කෑමට යමක් රැගෙන එනතුරුය. එහෙත් ඔහු හුඟක් රෑ බෝවී වැනි වැනී හිස් අතින් ගෙදරවිත් හොඳට රසට කෑම ඉල්ලමින් රණ්ඩු සරුවල් කරයි. දරු තිදෙනා කුසගින්නේ බියෙන් ඇළලී මවගේ සිරුරේ එල්ලී හඬා වැටෙති. මෙය අවට නිවැසියන්ට ද ඉමහත් කරදරයක් විය.  


දුක ඉවසිය නොහැකි තැන මේ බිරිඳ දැඩි තීරණයකට එළැඹියාය. ඇය දරු තිදෙනා මහගෙදර සිටින සිය එකම සහෝදරයාට භාරදී ඈත පළාතකට රැකියාවක් සොයා ගියාය. දින ගණනාවක් වෙහෙසුණ අැයට විශාල නිවසක මෙහෙකාරියක ලෙස රැකියාවක් ලැබිණි. සැමියාට රහසේ ජීවත්වූ ඇය මාසය අවසානයේ දරු තිදෙනාගේ වියදම සඳහා සිය සහෝදරයාට මුදල් එව්වාය. දරු තිදෙනාද පාසල් ගමන ද කර අධ්‍යාපනය ලබමින් නිදහසේ මාමාගේ නිවසේ කල්ගත කළහ.  


කලක් ගතවිය. බේබදු සැමියා මේ වනවිට නිවසේ තිබූ බඩු බාහිරාදිය සියල්ලම තුට්ටු දෙකට විකුණා ඒ මුදල් තැබෑරුමට පූජා කර තිබිණි. පසුව සේවයෙන්ද ඉවත් කරන ලද අතර ඔහු අන්ත අසරණ විය. සිය අඹුදරුවන් කුසගින්නේ තැබූ පවට ඔහුට දිනගණනක් කුසගින්නේ සිටීමට සිදුවිය. ​ගේ දොරද අහිමිවූ ඔහු මහ මහග සිඟා කන යාචකයෙක් බවට පත්විය. ඔහු දිනක් මහමග වූ කුණු කානුවක් තුළ වැටී මැරී සිටියේය.  


ඔහුගේ දුක්ඛිත මරණය පිළිබඳව ඔහුගේ බිරිඳවත් දරුවන්වත් කිසිවක් දන්නේ නැත. ඔහු ගැන නිකමටවත් සොයා බැලීමට ඔවුන්ට සිත් ​නොදුන්නේ ඔහු ගැන ඒ තරමටම එපාවී තිබූ නිසාය.  


කෙතරම් සම්පත් ඇතත් තමන් කළ හොඳ නරක අනුව මේ ජීවිතයේදීම ප්‍රතිඵල ලබන බැවින් මේ කතා පිංච හොඳ උදාහරණයකි.​  


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිද‌ා ලංකාදීපයට යොමු කරන්න 

 

 

සකස් කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්