අනුන් මුළා කළ කපුවාට වෙච්ච දේ


ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   

මතුගම පියසේන දොඩම්​ෙගාඩ මහතා ලියා එවූ කතාවක් මෙසේය.  


පුද බිමේ කොඩිවැල් කැපූ අධමයාට 

අමතක නොවෙන පාඩමක්!


දැනට වසර කිහිපයකට පෙර ගමේ ජීවත් වූ මළපොතේ අකුරක් නොදන්නා ගස් ගෙඩි කඩා ​ෙහා් අහළ පහළ අයගේ ​ෙගවල්වල කුලියක් මලියක් කරගෙන ජීවත් වූ ‘ඇටයා’ නමින් ගම්මුන් හැඳින්වූ ඔහු සිය දෙමාපියන්ගේ මරණින් පසු තනිකඩ දිවියක් ගතකළ අයෙකි. ගමේ ගොඩේ හැම දෙනාගේ වැඩපලට උදව්දෙමින් කාගෙත් හොඳ හිත දිනාගැනීමට මොහුට හැකියාවක් තිබුණත් ‘සූදුව’ හා ‘ මත් වතුර’ බීමට තදින්ම ඇම්බැහිවීම ඇටයාගේ තිබුණ ලොකුම දුර්වලකමකි.   


සුරාවෙන් මත් වූ විට ඔහු කරන්නේ අමනකම් හා මෝඩකම්ය. මොහුට කිසිවෙක් අවවාද නොකළේ ඔහු ඒ කිසිවක් ගණන් නොගන්නා බැවිනි. ගම මැද පිහිටි පැරණි බෝධි රාජයා පිහිටි ස්ථානය ගම්වැසියන් තෙල් මල් පහන් හා සුවඳ දුම් පුදා උදේ හවා වැඳුම් පිදුම් කරන හාස්කම් ඇති පුද බිමකි. පොහෝ දිනයන්හි කොඩිවැල්වලින් සහ පහන් කූඩුවලින් සරසා අලංකාර කිරීම ගම්වාසීන් ලොකු කුඩා බාල මහලු වැඩිහිටි හැමදෙනාගේම සිරිතකි.   


මේ අතර එක් වෙසක් මංගල්‍යයක් නිමිත්තෙන් ගමේ උදවිය එක්වී මෙම පුදබිම මනා ලෙස එළි පහළ කොට දැකුම්කලු ලෙස සරසනු ලැබීය.   


එහෙත් සිදුවී තිබුණේ ඉතා අවාසනාවන්ත සිදුවීමකි. පොහෝ දිනයට පෙර දින මෙම පිංබිම් සරසා තිබුණ කොඩිවැල් සියල්ල කපා දමා තිබුණි. මෙය රාත්‍රී කාලයේදී සිදු වූවක් බැවින් මෙය කරන ලද්දේ කවුරුන් විසින් දැයි ගමේ උදවියට හාංකවියසියක්වත් දැන ගැනීමට නොහැකි විය.   


පසුදා උදෑසන මේ බව දුටු ගම්වාසීහු මේ අපරාධය කළේ මිනිහෙක්ද? තිරිසනෙක්දැයි? අදහා ගැනීම පවා නොහැකි වී අන්ද මන්ද වූහ. සැදහැති උපාසක උපාසිකාවන් මෙම නිවට ක්‍රියාව හෙළා දුටුවත් ‘ඇටයා’ මේ ගැන එක වචනයක්වත් කතා කළේ නැත. මෙය ඔහුගේ අමන වැඩක් බව වැඩිදෙනෙක් විශ්වාස කළත් ඒ ගැන ඔහුගෙන් විමසීමට පවා කිසිවෙක් උනන්දුවක් දැක්වූයේ නැත.   


මේ විනාශය කළ අයට දඬුවම ‘උඩ සිටින දෙවියන් ලබාදෙන බව’ සහසුද්දෙන්ම ගම්වැසියන් විශ්වාස කළේ දැඩි භක්තියෙනි. දින දෙක තුනක් ගතවිය. ගමේ ගෙදරක කජු කැඩීමට ගිය ඇටයා කඩු අත්ත කැඩී ගසෙන් වැටුණේ මේ අතරය. අසල් වැසියන් ඔහු ළඟම ඇති රෝහල කරා ගෙන ගියත් උකුල් ඇටය බිදී සදා කල් නැගිටීමට නොහැකි වෙන බව පැහැදිලි විය.   


පුදබිමේ කොඩිවැල් කපා දැම්මේ තමා බවත්’ ඇටයා පාපොච්චාරණය කළේ ලෙඩ ඇඳේ සිටියදීය. අධික ලෙස මත්වතුර බීම නිසා ඇති වුණ අවසිහිය හේතුවෙන් විහිළුවට විනෝදෙට මෙන් පිංබිමේ කොඩිවැල් කපා දැමීමේ පාපකර්මය නිසා තමාට වරදට දඬුවම් ලැබුණ බව පිළිගත් ‘ඇටයා’ ටික දිනකින් බලවත් සිත් වේදනාවෙන් සිට මිය පරලොව ගියේය.   


මත්වතුර බීමේ හේතුවෙන් සිහි විකල්ව ගිය ‘ඇටයා’ කළ බරපතළ පාපකර්මය මේ ආත්මේදීම පල දුන් බව ගමේ වැඩි හිටියන් අතර තවමත් කතා බහ පවතී.   



නිකදළුපොත කරුණාදාස සපුතන්ත්‍රී මහතා ලියා එවූ කතාවක් මෙසේය.

අනුන් මුළා කළ කපුවාට වෙච්ච දේ.   


එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වූ ජුවානිස් දරුපවුල රැකගත්තේ වෙහෙසකින් වුත් සිත තුළ තිබුණේ කපටිකමයි. කොහේදෝ තැනකින් දැනගත් මන්තර ටිකක් කටපාඩම් කරගත් ඔහු නිවස තුළ කාමරයක් යොදා ගත්තේ දේවාලයක් සඳහාය. දේවරූප කීපයක් එහි තැන්පත් කොට සුවඳ දුම් අල්ලමින් පුද පූජා කරමින් වැඩේ පටන් ගත්තේ ලෙඩ රෝග මෙන්ම කරදර විපත්වලට පිහිට වෙනවා මෙන්ම නිසැකවම ඒවා දූරීභූත කරනවා යැයි පවසමිනි.   


ගේට්ටුව ළඟ දැන්වීම් පුවරුවක්ද සවිකිරීම නිසා පිටපළාත් වලින්ද ජනගඟ ඇදී එන්නට විය. මොහුගේ සෙත් ශාන්තිවලින් පිහිට ලැබූ අයෙකු නැති වූවත් ව්‍යාපාරයක් ලෙස නම් මෙය දියුණු විය. අතමිට සරුසාර ඔහු දැන් ​පොහොසතෙකි.   


 දිනක් ඈත ප්‍රදේශයකින් මව්පියන් සමඟ තරුණියක් පිහිට පතා පැමිණියේ සුවයක් නොවූ අසනීපයක් සුවකර ගැනීමටයි. තරමක හැඩකාරී තරුණියක වූ ඇය දෙස කෑදර සිතින් බැලූ ජුවානිස්​ෙග් සිතෙහි ඇති වූයේ වෙනත් අදහසකි. මැයට සෙත් ශාන්ති කිරීමට නම් අනෙක් අය කාමරය තුළින් පිට විය යුතු බව පැවසීය. එය එසේම සිදුවූයේ දියණිය​ෙග් රෝගය සනීපකර ගැනීමේ උවමනාව බලවත් නිසාය. 

 
විනාඩි දහයක් පමණ ගත වූවා පමණි. ‘‘අයියෝ මට නම් බෑ. අම්මේ, තාත්තේ, මේ මිනිහා මට කරදර කරනවෝ..’’ යැයි කියමින් විලාප දෙන හඬක් පිටතට ඇසුණි.   


උන්හිටිතැන් ද අමතක වූ අඹුසැමි දෙදෙනා දොර ඇරගෙන ගෙට ඇතුළු වන විට දියණිය අඩ නිරුවතිනි. කපුවා ගැහෙමින් මන්තර කියයි. කාරණය වැටහුණ දෙමව්පියන් කපුවාට පහර දෙන්නට වූයේ වියරු වූවන් ලෙසිනි.   
මේ කලබලය දුටු පිහිට පතා පැමිණි අනෙක් පිරිසද මොහුට ගුටි බැට වලින් සංග්‍රහය කර පොලිසියට භාර දුණි. ඉන්පසුව ඔහු දේවහාස්කම් මඟින් අනුනට ශාන්ති කර්ම නොකළේය. ජුවානිස්ට ගම්මුන්ගේ මුහුණ බැලීමටද නොහැකිය.   


නොයෙක් විට උසුළු විසුළුවලට මෙන්ම ඇනුම් පදවලටද ලක් විය. මේ නිසා සිත කලකිරී අඹු දරුවන්ද සමඟ පිට පළාතක පදිංචියට ගියේය.   


එහිදී ද මෙම ව්‍යාපාරයේ යෙදුණ නිසා ගම්මුන්ගේ පහර කෑමට ලක්ව මාරාන්තික තුවාල ලබා මියගිය බව ආරංචි විය.   


බඩ වියත රැකගැනීමට පමණක් නොව කුට්ටි පිටින් මුදල් උපයන කපටියනට මෙය​ හොඳ පාඩමක් බව අප කවුරුත් අව​ෙබා්ධ කර ගත යුතුය.   



අම්පාර ගලපිටිගල ධනපාල කොඩිතුවක්කු මහතා ලියා එවූ කතාවකි.   

ගවයන් සොරාගත් මත්ලෝලියාට දේව කෝපය


සිරිලක ගම් දනවුවල පාලනය රැඳුණේ ගම්මුලාදෑනියා අතය. ගමේ කෙරෙන සියලු කටයුතු සිදුවුණේ ඔහුගේ අනුදැනුම මතය. ගම්මුන් ඔහු හැඳින්වූයේ රාලහාමි යනුවෙනි. මෙය හතළිහේ දශකය අවසානය දක්වා පැවතුණි.   
ඔහුගේ රාජකාරිය කෙරෙන්නේ බොහෝ විට වාසි අවාසි මතය. කෙසේ වුවත් රාලහාමිගේ කීමට පිටින් වැඩ කරන නාහෙට අහන්නේ නැති කොටසකුත් ගමේ නැත්තේම නොවේ.   


හැඩිගල්ලේ මාටින් ගමේ සිටි එවැනි පුද්ගලයෙකි. රා මැදීම ද කරන අතර රා තිප්පොළක්ද රහසේ පවත්වාගෙන යන ලදී. ගමේ එක්තරා කොටසක් රා කට්ටට ඇබ්බැහි වී සිටියහ. මීට අමතරව මාටින් තවත් නොමනා ක්‍රියාවක යෙදුණ පුද්ගලයෙකි. සොකරම නොකරාම බැරි අංගයක් විය. ප්‍රධාන වශයෙන් ගවයන් සොරකම් කොට රහසිගතව මස්කඩවලට යැවීමට සලස්වන්නේ කිසිදු චකිතයකින් තොරවය.   


මොහු ගමට මහත් වූ හිසරදයක් විය. විශේෂයෙන් රාලහාමිට මොහු මහත් කරදරයකි. මොහුට විරුද්ධව එන පැමිණිලි අති මහත් විය. මෙම වකවානුව අලුතින් පිහිට වනු ලැබූ ගොවි ජනපදවලට ඉඩම්ලාභීන් තොරාගන්නා අවස්ථාව විය.   


රාලහාමිට කදිම අදහසක් පහළ විය. මාටින් ඉඩම්ලාභියකු ලෙස ගමෙන් පිටමං කිරීමට සිතා මාටින්ගේ අනන්‍යතාව සපුරා ඉල්ලුම් පතක් ඉදිරිපත් කරන ලදී. මාටින්ටද ඉඩම් ලාභියකු ලෙස ගමෙන් බැහැරවන්නට සිදුවිය. රාලහාමි දිග සුසුමක් හෙළා සිත සැහැල්ලු කරගත්තේ ගම්වාසීන්ට ද කිසියම් වූ සහනයක් දී පිළිලය ඉවත් වූ නිසාවෙනි.   


අලුත් පෙදෙසකට පැමිණි මාටින්ට සුපුරුදු ජීවන රටාවෙන් බැහැර වෙන්නට කිසිසේත් නොහැකි විය. රා මැදීමට පොල් ගස් නොමැත. නිතැතින්ම වෙනත් මගකට යොමු වූයේය. මත් වතුර සෑදීමට පෙළඹුණි. එය ක්‍රමයෙන් කසිප්පු පෙරීම දක්වා දිගු විය. ජන්මෙට වඩා පුරුද්ද ලොකුය. නව කෘෂිකාර්මික ජනපද බැවින් සෑම නිවසකම පාහේ සීසෑම ආදී කටයුතු සඳහා යොදා ගනු ලැබුයේ ගවයින්ය. දවසේ වැඩ නිම වූ පසු ගවයින් කණු පළේ ගැට ගසා තබන්නේ පසුදින ගොවි පොළෙහි කටයුතු සඳහා රැගෙන යන අදිටනින්ය.   


මාටින් තම සුපුරුදු කාරිය කිරීමට පරිසරය සකසා ගන්නේ කණු පළවල්වල ගැටගසා සිටින ගවයින් දිනෙන් දින අතුරුදන් වන්නට විය. මුලද ගම්වාසීන්ට මෙය මහත් වූ ප්‍රහේලිකාවක් විය. කෙසේ හෝ මෙය අහවලුන්ගේ වැඩක් යයි පැතිරෙන්නට වැඩි කලක් ගත වූයේ නැත. එහෙත් ඉතා සූක්ෂම අයුරින් කෙරෙන මේ ක්‍රියාව නවතාලන්නට මගක් නම් නොවීය.   


සිංහලයාගේ සිරිත මෙවන් අවස්ථාවල දෙවියන්ට කීම පළිගැසීමය. ‘‘අනේ දෙවියනේ මූට නම් හොඳක් වෙන්න එපා, හෙණ හතම වදින්න ඕනෑ, මේ කරන අපරාදවලට.’’ කියමින් ගම්මු පළි ගැසූහ.  


එය එසේ වී වැඩි කාලයක් ගත වූයේ නැත. එදින මද වැසි සහිත දිනයක් විය. අහ​ෙස් ගිගුරුම් හඬ විදුලිය කෙටීමද වැඩි විය. වේලාව හිරු අවරින් නොපෙනී යන්ට ආසන්නය. වැසිවලාවෙන් එයද වැසි ගොසිනි. මාටින් කසිප්පු පොළේ සිට වෙල්යාය බැද්දෙන් ගෙදරට දුවන්නට විය. එක් වරම මුළු පෙදෙසම ගිගුම් දුණි. මාටින්ගේ ගමන එතනින් කෙළවර විය. වැස්ස අනෝරා වැස්සක් විය.   


මාටින් ගෙදර නාවාට නිවැසියන්ට අරුමයක් නොවේ. පසුදා කුඹුරේ වැඩට ගිය අමරේ දුටුවේ මහ පොළො​ෙව් මඩ කා මැරී වැටී සිටින මාටින්ය. ගමේ කිහිප දෙනෙක් එක්ව මිනිය නිවසට ගෙන එන ලදී.   


එදින රාත්‍රියේ සිදු වූයේ අපූරු සිදුවීමකි. මළ ගෙදර සිටියේ කිහිපදෙනෙක් පමණි. සිටි අය බියට පත්කරමින් කොහේදෝ සිට පැමිණි නරි රැළක් ගෙමිදුලට විත් ඔවුනගේ ශබ්ද පූජාව පටන් ගති. පසුදාම මිනිය භූමදානයට කටයුතු සැලසුනි. එහෙත් දහවල් 10.00 පමණ යළිත් ගිගිරුම් සහිතව මහා වැසි ඇද හැළෙන්නට විය. ආගමික වතාවත් වත් නියමාකාරයෙන් ඉටුකිරීමට නොහැකි විය.   


මහා වැස්සේ මිනිය ඔසවා ගත් දසදෙනෙකු පමණ මිනිය කනත්තට ගෙන ගියද ඉතා අපහසුවෙන් වළට පස් දැමීම සිදු කරන ලදී. ඔහුගේ ක්‍රියාවන්වලට මේ භවයේදීම දඬුවම ලැබුණ සැටි සොබාදහම පවා මෙම ක්‍රියාවන් අනුමත කරන්නේ නැත. එය එසේමය. තමන් කරන ක්‍රියාව කුමක්දැයි හොඳින් තේරුම් ගත යුතුව ඇත.   

 

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් එ්වා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

 

 

සකස් කළේ,   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්