අනියම් පෙම්වතිය මරා පුලුස්සා මාඔයට දැමූ පෙම්වතා


ඇතැම් මිනිස් ඝාතන සිදු වන්නේ තිරිසන් සතුන් ඝාතනය කරනවාටත් වඩා අන්ත විදිහටය. මිනිසුන් සිතක් පපුවක් බියක් නැතිව මෙවැනි අපරාධ සිදු කරන්නේ කෙසේදැයි සිතාගැනීමටවත් නොහැකි තරම්ය.   


එවන් සාහසික මිනිස් ඝාතනයක තොරතුරු පසුගියදා පොල්ගහවෙල ගොඩවෙල ප්‍රදේශයෙන් වාර්තා විය.   
ඒ වසර තුනකට ආසන්න කාලයක් තමන්ගේ ආදරණීය පෙම්වතිය බවට පත්ව සිටි 48 හැවිරිදි කාන්තාවක් ඝාතනය කොට ඇගේ මළසිරුර පුලුස්සා දමා එහි ඉතිරි වූ ඇට කටු සහ අළු කොටස් මාඔයට දමා සැඟවූ අපූරු පෙම්වතෙකු පිළිබඳවය.   
අතිශය රහසිගතව සිදුකරන ලද එම සාහසික ඝාතනය සිදු වී දින 34 ක් ගත වීමටත් පෙර එහි සියලුම තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වී තිබුණේ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සේවය කරන දක්ෂ නිලධාරීන් පිරිසක් නිසාය. අපරාධයක් කිසි දිනෙක සැඟවිය නොහැක යන කියමන සැබෑ කරමින් මෙම සාහසික අපරාධයට සම්බන්ධ බවට සැක කරන මියගිය අයගේ පුතා, පියා සමඟ මාමා කෙනෙක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව සිටිති.   
විජේකෝන් මුදියන්සේලාගේ දීපිකා විජේකෝන් ඉබ්බාගමුව, තල්ගොඩපිටිය ප්‍රදේශයේ විසූ කාන්තාවකි. ඇය තම ප්‍රථම විවාහයෙන් වෙන්ව තනිවම දිවි ගෙවූ කතකි. මනා පැහැපත් පෙනුමකින් යුත් දීපිකාගේ සිරුරට දැඩි අලංකාරයක් එක් කළේ ඇයගේ දිගු කෙස් වැටියයි. මේ නිසාම එක් වරක් දුටු අයෙකුට දෙවරක් හැරී බලන තරමේ ආකර්ශනීය පෙනුමක් ඇය සතු විය. වයසින් අවුරුදු 48 ක් වුවද ඇයගේ පෙනුම එතරම් වයසක් කියා පෑවේ නැත.   
කොතරම් මනබඳනා පෙනුමක් තිබුණද ඇගේ ප්‍රථම විවාහය අසාර්ථක වී තිබුණි. මේ නිසාම ලංකාවේ විසීමට අකමැති වූ ඇය තම වැඩිමල් සොයුරිය සේවය කරමින් සිටින මැද පෙරදිග රැකියාවකට ගියේ සොයුරියගේ ද උදව්ව සහිතවය. එසේ මැද පෙරදිග සිටි දීපිකා නැවත 2017 වසරේදි මෙරටට පැමිණියාය.   
මැදපෙරදිග සිටින සොයුරිය තමන් ඉපැයූ මුදලින් කුරුණෑගල මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි වටිනා නිවසක් මිලදී ගෙන තිබූ අතර ඇය ලංකාවට නිවාඩුව සඳහා පැමිණි විට ගත කළේ මේ නිවසේය. නැවත විදෙස්ගත වූ විට තම නිවස පාළුවට තැබීමට අකමැති වූ ඇය එම නිවස බලාගැනීමට තම සොයුරිය වූ දීපිකාට පැවරුවාය. ඒ අනුව දීපිකා තල්ගොඩපිටියේ නිවසින් පැමිණ මිලේනියම් සිටි නිවසෙහි තාවකාලිකව පදිංචිව සිටියාය. මේ නිසාම දීපිකාගේ සොයුරා නිරන්තරයෙන්ම කුරුණෑගල සිටින තම සොයුරිය පිළිබඳ සොයා බැලීය.   


කුරුණෑගලට පැමිණි අවස්ථාවකදී අහම්බෙන් මෙන් හමු වූ තරුණයෙකු සමඟ දීපිකා පෙම් සබඳතාවක් ඇති කරගත්තේ මේ අතරය. පොල්ගහවෙල ගොඩවෙල ප්‍රදේශයේ පදිංචි මේ තරුණයා 35 හැවිරිදි අවිවාහකයෙකි. වසර 8 කට අධික කාලයක් දකුණු කොරියාවේ රැකියාවක නිරතව සිට පැමිණ සිටි අයෙකි. ආපසු මෙරටට පැමිණි ඔහු පොල්ගහවෙල ඉඩමක් මිලදී ගෙන එහි අලංකාර නිවසක් ද ඉදිකර තනිවම පදිංචිව සිටියේය. මෙරටට පැමිණෙන විට සෑහෙන ධනයක් උපයාගෙන පැමිණි බැවින් ඔහු නැවත රැකියාවක් සොයා නොගොස් තමන් උපයා ගත් මුදල් පොලියට දෙමින් ඉන් ආදායමක් ඉපැයීම රැකියාව බවට පත් කර ගත්තේය.   
දීපිකාට වඩා ඇගේ පෙම්වතා අවුරුදු 13 කින් පමණ බාල අයෙකු විය. නමුත් දීපිකාගේ පෙනුම නිසාම ඔවුන් දෙදෙනා අතර එතරම් වයස් පරතරයක් ඇති බව කිසිවෙකුටවත් කිව නොහැකි විය. මේ නිසාම දෙදෙනා නව පෙම්වතුන් යුවලක් සේ ඇසුරු කරන්නට වූහ. අසාර්ථක පළමු විවාහයෙන් වෙන්ව සිටි දීපිකාටද මේ අනියම් පෙම ආශ්වාදයක් ගෙන දෙන්නට ඇත. වයස් පරතරය නිසාම දීපිකාගේ පවුලේ සාමාජිකයින් මේ පෙමට විරුද්ධ වුවද දීපිකා එය නොසලකමින් පෙම්වතා ඇසුරු කරන්නට විය. දෙදෙනා විටින් විට මිලේනියම් සිටි නිවාසයේ මෙන්ම ගොඩවෙල නිවසෙහිද රාත්‍රිය ගත කරන්නට පුරුදුව සිටියහ.   
තම පෙම්වතා සමඟ කාලය ගත කළද දීපිකා නිතරම තල්ගොඩපිටියේ තම නිවසට දුරකතන ඇමතුමක් දීමට පුරුදුව සිටියාය. නමුත් ඒ සුපුරුදු දුරකතන ඇමතුම පසුගිය අගෝස්තු මස 18 වන දින නොලැබුණු අතර දීපිකාගේ සොහොයුරා ඇගේ ජංගම දුරකතනට ඇමතුමක් ගත්තද ඊට ප්‍රතිචාරයක් නොවීය. ඇගේ ජංගම දුරකතනය ක්‍රියාවිරහිත කර ඇති බව ලැබුණු ප්‍රතිචාරය විය.   


ඉන්පසුව ඔහු දීපිකා පදිංචිව සිටි මිලේනියම් සිටි නිවසේ දුරකතනයට ඇමතුමක් ගත්තද එයින් ද කිසිදු ප්‍රතිචාරයක් නොවීය. මෙයින් කලබලයට පත් ඔහු එම අවස්ථාවේදීම ඉබ්බාගමුවේ සිට කුරුණෑගල මිලේනියම් සිටි නිවාස සංකීර්ණය වෙත පැමිණියේ තම සොයුරිය පිළිබඳව සොයා බැලීමටය. මිලේනියම් සිටි නිවාස සංකිර්ණයේ නිරන්තරයෙන් ම දැඩි ආරක්ෂාවක් ක්‍රියාත්මක වූ අතර එහි පැමිණෙන්නන් මෙන්ම පිටව යන්නවුන් පිළිබඳවත් ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂාව භාරව සිටින නිලධාරින් විසින් සටහන් තැබීම සිදුවේ. ඔවුන්ගෙන් විමසා බැලීමේදී අනාවරණය වූයේ අගෝස්තු මස 18 වන දින නිවාස සංකීර්ණයෙන් පිටව ගිය දීපිකා නැවත එහි පැමිණ නැති බවය.   
කිසිවිටෙකත් තමන්ට නොකියා ගමනක් නොයන සොයුරිය මේ ආකාරයට නොදන්වා ගියේ කොහේදැයි සොයුරාට ප්‍රශ්නයක් විය. ඔහු දීපිකාගේ පෙම්වතා පිළිබඳව දැන සිටියද ඔහු සම්බන්ධයෙන් නිසියාකාර තොරතුරක් නොදැන සිටි බැවින් ඔහුගෙන් දීපිකා පිළිබඳව විමසීමටද ඔහුට හැකියාවක් නොවීය. මේ නිසාම ඇය නොදන්වා ගියද කොහේ හෝ සිට ආපසු එතැයි සිතුවද එදින සිට ඇගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත වී තිබූ අතර ඇය පිළිබඳව කිසිදු තොරතුරක් ද නොමැති විය. මේ නිසාම බියට පත් දීපිකාගේ සොයුරා සහ බිරිඳ අගෝස්තු මස 22 වන දින දීපිකාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් කළහ.   
වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා මිලේනියම් සිටි වැනි සුපිරි නිවාස සංකීර්ණයක පදිංචිව සිටි කාන්තාවක් අතුරුදන් වීම යම් ආන්දෝලනයකට ලක්විය හැකි පුවතක් බව සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසට කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත සහ කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.එම්.වයි.බී. ක්‍රිෂාන්ත මහත්වරුන්ට උපදෙස් දුන්නේය.   
එම උපදෙස් අනුව දීපිකාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවීම කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි (1) සමන් දිසානායක මහතාගේ අධීක්ෂණ යටතේ කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එච්.එන්. පුෂ්පලාල් මහත්වරුන්ට පවරනු ලැබීය. ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පලාල් මහතා දිවයිනේ පොලිස් ස්ථාන රැසකම සේවය කරමින් විශේෂ අපරාධ රැසක් සාර්ථකව විසඳා ඇති දක්ෂ නිලධාරියෙකි.   
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹූ පුෂ්පලාල් මහතා තම කණ්ඩායම සමඟ පළමුවෙන්ම කළේ අතුරුදන්ව සිටින දීපිකා විසින් භාවිත කළ ජංගම දුරකතනයේ අංකය හා සම්බන්ධ විස්තර වාර්තාවක් ලබාගැනීමය. එහි තිබූ දුරකතන ඇමතුම් දත්ත විශ්ලේෂණය කරමින් ඇය ලබාගෙන තිබූ ඇමතුම් රැසක් ඔස්සේ දින ගණනාවක් හඹා ගියද ඒ එකකින්වත් ඇයගේ අතුරුදන් වීමට අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට නොහැකි විය. 

 
නමුත් එයින් පසුබට නොවූ පොලිස් නිලධාරින් දුරකතන වාර්තාව තව දුරටත් විශ්ලේෂණය කිරීමේදී ඇය එක් අංකයකට වරින් වර ලබාගත් ඇමතුම් කීපයක්ම ඇති බව අනාවරණය කරගත්තේය. ඇය අවසන් වරට පසුගිය අගෝස්තු මස 17 වන දින ගත් ඇමතුම් අතරේ එම අංකයද තිබෙන බව ඔවුන්ට පෙනී ගියේය. එම දුරකතන අංකය පිළිබඳව සොයා බැලීමේදී එය පොල්ගහවෙල ගොඩවෙල පදිංචි අයෙකු භාවිත කරන ජංගම දුරකතනයේ අංකය බව හෙළි විය.   
ඒ වන විටත් පොල්ගහවෙල ප්‍රදේශයේ සිටින දීපිකාගේ පෙම්වතා සම්බන්ධයෙන් වන තොරතුරු ද පොලිසියට ලැබී තිබුණු බැවින් මේ තැනැත්තා ඇගේ අතුරුදන් වීමට සම්බන්ධ විය හැකියැයි සැක සිතූ පුෂ්පලාල් මහතා ඇතුළු කණ්ඩායම වැඩිදුර ප්‍රශ්න කිරීමට ඔහු සැකපිට අත්අඩංගුවට ගත්හ.   


අත්අඩංගුවට ගත් තැනැත්තාගෙන් කරන ලද මූලික ප්‍රශ්නකිරීම් හමුවේ ඔහු දිගින් දිගටම කියා ඇත්තේ තමා දීපිකා නමැත්තිය නොහඳුනන බවය. නමුත් තවදුරටත් කරන ලද ප්‍රශ්නකිරීම් හමුවේ අවසානයේදී මහන්සියකින් තොරවම දීපිකාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යවම තිබූ තොරතුරු සියල්ල ඔහුගෙන් වමාරා ගත හැකි විය.   
අත්අඩංගුවට ගත් මේ පුද්ගලයා දීපිකාගේ 35 හැවිරිදි පෙම්වතා බව පොලිස් නිලධාරින්ට අනාවරණය විය. නමුත් ඒ වනවිටත් දීපිකා තම ආදරණීය පෙම්වතා අතින් සදහටම නොඑන ගමන් ගොස් සිටියාය. ඇයට සිදු වූ දෙය ඇසූ පුෂ්පලාල් මහතා ඇතුළු පොලිස් නිලධාරින්ගේ ඇස් උඩ ගියේ සැකකාර තරුණයා එවැන්නක් සිදු කළාදැයි යන්න සිතමිනි.   
 “එදා රෑ අපි දෙන්නා අතරේ බහින් බස් වීමක් ඇතිවුණා. ඒ බහින් බස්වීම නිසා කේන්ති ගිහින් දීපිකා මට පිහියකින් අනින්න හැදුවා. ඒකෙන් බේරෙන්න මම පොරවක් අරන් ගහපු පහරකින් දීපිකා මැරුණා සර්. ඊට පස්සේ මම තාත්තයි අපේ මාමා කෙනෙකුයි එක්ක එකතු වෙලා එයාගේ මිනිය පුලුස්සලා, ඉතිරි වුණු ඇටකටු ටිකයි, අළුයි අලව්වෙන් මාඔයට දැම්මා......” සැකකරු දීපිකා ඝාතනය කළ ආකාරය එසේ පොලිස් නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කළේය.   
සැකකරුගෙන් අනාවරණය කරගත් ආකාරයට දීපිකාගේ මරණය සිදුව ඇත්තේ මෙසේය.   


මළ සිරුර පිලිස්සීමෙන් අනතුරුව දීපිකා රැගෙන ඇවිත් තිබූ අත්බෑගය, ජංගම දුරකතනය සහ කුඩයද නිවස පිටුපස තවත් ස්ථානයකදී පුලුස්සා දමා තිබියදී පොලිස් කණ්ඩායමට සොයා ගැනීමට හැකි වී තිබේ.   


දීපිකාගේ සිරුර සම්පූර්ණයෙන්ම පුලුස්සා දැමුවද පිළිස්සී නොගොස් ඉතිරිව තිබූ අස්ථි කොටස් කීපයක් සමඟ ඉතිරි වූ අළු කොටස් උරයක බහා සැකකාර පෙම්වතා තම පියා සහ මාමා සමඟ එක්ව ඒවා 24 වන දින අලුයම් කාලයේදී නිවස අසලින්ම ගලා බසින මාඔයේ ජලයට විසිකර දැමීය.   
පසුදිනට එළිවීමට පෙර මේ සියල්ල සාර්ථකව අවසන් කළ සැකකරුවන් ආපසු ගොඩවෙල නිවසට පැමිණ එහි වැටී තිබූ ලේ පැල්ලම්ද සෝදා හැර නිවස පවිත්‍ර කර තිබූ බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකරුගෙන් ලද තොරතුරු අනුව ඉන්පසුව මෙම අපරාධයට ආධාර සහ අනුබල දීමේ චෝදනාව මත ඔහුගේ පියා වන 65 හැවිරිදි විශ්‍රාමික රියැදුරෙකු සහ ඥාති මාමා බව කියන 61 හැවිරිදි පුද්ගලයෙකුද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.   
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව සැකකරුගේ පියා විසින් දීපිකාගේ සිරුරු කොටස් මාඔයට දමන ලද ස්ථානය පොලිසියට පෙන්වන ලදී. පසුව එම ස්ථානයට ගෙන්වූ කුරුණෑගල පොලිස් කොට්ඨාසයේ පිහිනුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත බණ්ඩාර මහතාට මාඔයේ කිමිදී පිලිස්සුණු මිනිස් සිරුරක අස්ථි කොටස් කීපයක් සමඟ ජංගම දුරකතන චාජරයක කොටසක්, පිලිස්සුණු කාන්තා කුඩයක් සහ පොහොර උරයක් සොයාගැනීමට සමත් විය.   
සැකකාර පෙම්වතාගේ නිවස පරීක්ෂාවට ලක්කිරීමේදී එහි සඟවා තිබූ ඝාතනයට යොදා ගත් බව කියන පොරව සමඟ ලේ තැවරුණු අත් ආවරණයක් සහ මුඛ ආවරණයක් පොලිස් නිලධාරින්ට හමුවී තිබේ. මීට අමතරව එම නිවසේ භාවිත කරන පොළොව සෝදා පිරිසිදු කරන උපකරණයක (මොප්) දිගු කාන්තා කෙස් රොදක්ද තිබී සොයාගෙන ඇති අතර නිවසේ බිත්තියක් මත තිබූ ලේ පැල්ලමක්ද සොයා ගැනීමට විමර්ශන මෙහෙයවන පොලිස් නිලධාරින් පිරිස සමත් වී තිබේ.   
පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගත් රැඳවුම් නියෝග මත සැකකරුවන් තිදෙනාගෙන් මේ වනවිටත් දීපිකාගේ මරණය සම්බන්ධයෙන් දීර්ඝව ප්‍රශ්න කෙරෙමින් පවතී. අධිකරණයේ නියමයෙන් මාඔයෙන් ගොඩගත් අස්ථි කොටස් පරීක්ෂාවට ලක්කිරීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එන්.ඒ.සී.පී. චමින්ද මහතා වෙත යොමු කර තිබේ.   


කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක මාලිංග කුමාර, සුජීව සමන්තකුමාර, සැරයන් (58068) බස්නායක, (5910) හේරත්, (15332) කාරියප්පෙරුම, කොස්තාපල් (51534) රෝහණ, (26938) අශෝක, (74342) රසික යන නිලධාරීහුද මෙම විමර්ශන කටයුතු සඳහා සහභාගි වූහ.

 

 

විස්තර හා සේයාරූ
පුෂ්පකුමාර ජයරත්න