අනියම් ඇසුරින් වැනසුණු පවුලක්


ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මඟපෙන්වීමක්  ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.


 
බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහ විහාරාධිපති නාලන්දේ විමලවංශ හිමියන් ලියා එවූ කතාවක් මෙසේය. 


කේලම් කීම නිසා ප්‍රේත ආත්මය ලැබූ භික්ෂුව


කේලම හෙවත් ඔවුනොවුන් කෙටවීම භයානක අකුසල කර්මයකි. මෙහි ඇති බියකරු බව නොසලකන ඇතැම් දෙනා කිසිදු ලජ්ජාවක් හෝ බියක් නොමැතිව කේලම් කියති. සමගියෙන් සිටින දෙදෙනකු අසමගි කරවීම, සමගියෙන් සිටින පවුලක් බේදභින්න කිරීම මහා අපරාධයකි. ඇතැම් අය අඬදබර ඇති කර ගනිති. ඇතැම් විට ඒවා දුරදිග ගොස් මනුෂ්‍ය ඝාතන පවා සිදුවන බව අපට නිතර අසන්නට ලැබෙයි. ඇතැම් ප්‍රශ්න නීතිය මගින් විසඳා ගන්නට නොගොස් කේලම් නොහොත් පිසුණු බස් කියා ඔවුනොවුන් කොටවා එම ප්‍රශ්න නිරාකරණය කරගැනීමට උත්සාහ කරති. ඇතැම් විට එළිපිට විරුද්ධකම් නොකර මිත්‍රවේෂයෙන් සිටිමින් කේලම අවියක් කොට ගෙන තම හිත්වල තිබෙන වෛරය පිරිමසා ගැනීමට උත්සාහ කරති. ඇතැම් දෙනා හුදු විනෝදාස්වාදය සඳහාම කේලම් කියති. කේලම් කියා ඔවුනොවුන් කොටවා පැත්තකට වී සිනාසෙමින් විනෝදයක් ලබති. එවැනි කාන්තාවන් සමාජයෙහි හඳුන්වන්නේ ‘කේලම් මල්ල’ වැනි විසුළු නම්වලින්ද බව කවුරුත් දන්නා සත්‍යයකි. කේලම් කීමට පුරුදු වූ අයට ඒ සඳහා මනා හැකියාවක් ඇත. අසන අයගේ සිත් ඇද බැඳ ගන්නා අයුරින් එය කියති.


 එක්තරා තරුණියක් විවාහ අපේක්ෂාවෙන් සිටියාය. විවාහය වසරින් වසර කල් ගොස් අවසන ඇයට ගැලපෙන තරුණයකු ලැබුණි. මහත් බලාපොරොත්තු ඇතිව විවාහ මංගල්‍යය සිදුකිරීමට සූදානම් විය. මංගල උත්සවයට දින කිහිපයක් තිබියදී තරුණයාගේ  පාර්ශ්වයෙන් විවාහයට අකැමැත්ත පළ වුණා. එයට බලපෑ  හේතුව වන්නේ කිසිවකු විසින් කියන ලද කේලම් බසක් ඔවුන් හිස්මුදුනෙන් පිළිගැනීමයි. බලාපොරොත්තු කඩවීමත්, ලැජ්ජාවත් නිසා තරුණිය මානසිකව  ඇදවැටුණි. අවසන අහිංසක තරුණිය සිය දිවි නසා ගත්තාය. එසේම එක්තරා කේලම් කාරියක් විසින් ඉතා සමගියෙන් විසූ සැමියකු සහ බිරිඳක් කේලාම් කියා අසමගි කළාය. එපමණක් නොව කේලමක් නිසා සැමියකු විසින් නිරපරාදයේ තම බිරිඳ ඝාතනය කෙරිණි. එයින් දරු පවුලක්ම අනාථ විය. එබඳු සිදුවීම් නිරන්තරයෙන් අප සමාජයෙහි අසන්නට  ලැබෙයි.


 අද පමණක් නොව, පෙර රජ දවසද  කේලම් බස් නිසා රජකම් පවා අහිමිවීමට හේතුවූ බව ඉතිහාසය පිළිබඳ කරුණු විමසීමේදී පෙනෙයි. උඩරට ජන ප්‍රධානීන් අතර තිබූ සමගිය කේලම්  බස් නිසා අසමගි බවට පත්විය. එය සිංහල රාජ්‍යය පරදේසක්කාරයන්ට හිමි වීමට පවා හේතුකාරක විය. කේලම් කියන්නේ කටෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. කටෙන් සිදුවන වැරදි හතරක් ඇත. එනම් 1. බොරු කීම 2. කේලම් කීම. 3. හිස් වචන හෙවත් සම්පප්‍රලාප කීම 4. පරුෂ වචන කීම යන මෙම අකුසල් කට නොහොත් වචනයෙන් සිදුවෙයි. ‘මානෙල් සුවඳමය-කුඩමසු  පිලී ගඳමය දෙකට එක දියමය. හොඳට නරකට දෙකට කටමය.’ යනුවෙන් සඳහන්ව ඇත්තේ එබැවිනි. අද පමණක් නොව, බුදුන් දවසද කේලම් කියන පුද්ගලයෝ සිටියහ. ගිහියන් අතර පමණක් නොව, පැවිද්දන් අතර ද එබඳු පුද්ගලයෝ සිටිති.


පිසුණු කියා සඟ දෙනමක් වෙනස් කොට
පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට
මුහුණු කුණුව තව පේතව විඳ ගැහැට
පිසුණු බසක් නොකියව් අද පටන් කොට


මෙය ලෝවැඩ සඟරාවේ එන කවියකි. සංඝයා වහන්සේලා දෙනමක් කේලම් කියා භේද කොට එම පාප කර්මයෙන් කල්පයක් තිස්සේ නිරයෙහි දුක් වින්දේය. නැවත හෙතෙම ප්‍රේත ආත්මභාවයක් ලබා මුහුණ කුණු වී මහත් දුකක් අත්වින්දේය. බුද්ධ කාලයේ එක්තරා භික්ෂුවක් අග්‍රශ්‍රාවක සැරියුත් මුගලන් දෙනම භේද කිරීමට අදහස් කර කේලම් කීවේය. සැරියුත් රහතන් වහන්සේ ළඟට ගොස් ‘ස්වාමීනී, මුගලන් හිමියන් ඔබවහන්සේගේ අගසව් පදවිය සමච්චලයට ලක්කරනවා. ඔබ වහන්සේගේ දහම් දැනුම, ඔබ වහන්සේගේ වංශය ආදිය සමච්චලයට ලක් කරනවා ආදී වශයෙන් කියයි. එසේ මුගලන් හිමියන් වෙතට ගොස්‘ස්වාමීනී, සැරියුත්  හිමියන් ඔබවහන්සේගේ සමෘද්ධිමත් භාවය සමච්චලයට ලක් කරනවා. එවැනි දෙය උන්වහන්සේටත් කරන්ට පුළුවන් කියනවා. ඔබ වහන්සේගේ වංශය පිළිබඳවත් ඉතා පහත් විදිහට කතා කරනවා’ ආදී වශයෙන් පවසමින් අගසව් දෙනම කෙටවීමට උත්සාහ කළේය. එහෙත් උන්වහන්සේලා එසේ බිඳුවීමට නොහැකි විය. එය රහතන් වහන්සේලාගේ හැටියකි. මෙකරුණ අරබයා බුදු හිමියන් විසින් ජාතක කතාවක්ද දේශනා කෙරිණ. කේලම් කියන ලද පුද්ගලයා බරපතළ පාපකර්මයක් කර ගත්තේය. යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමියන් විසින් රචිත ‘වන කතා’ ග්‍රන්ථයෙහි කේලාම් නිසා මිතුරන් කොටවන අයුරු මැනවින් දක්වා ඇත.


 අප දන්නා එක්තරා භික්ෂුවක් කේලාම් කියා තම අරමුණ ඉටුකර ගත් ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමට අදහස් කරමි. මේ කියන භික්ෂුව සිටි රජ මහා විහාරයට අයත් ගම් පියසෙහි ඉතා දුෂ්කර කොටසක සැදැහැවත් දායක පිරිසක් තමන්ගේ ආගමික කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා කුඩා පන්සලක්  ඉදිකර ගත්හ. සිල්වත් ගුණවත් භික්ෂුවක් එහි වඩා හිඳුවා ගත්හ. තම පුරාණ විහාරස්ථානයට අයත් දායක පිරිස අහිමි වීම පිළිබඳ බෙහෙවින් කෝපයට පත් වූ පුරාණ විහාරයෙහි විහාරාධිපති භික්ෂුව තම කෝපය නොපෙන්වීය. අලුත් පන්සලෙහි භික්ෂුවට මෙන්ම එම දායක පිරිසටද වෙනදාටත් වඩා ළෙන්ගතුකමක් දක්වමින් ඇසුරු කළේය. එසේ ඇසුරු කරමින් දායක පිරිසත්, ආගන්තුක භික්ෂුවත් කෙටවීම ජයටම කළේය. භික්ෂූන් වහන්සේ හමුවූ විට පැවසුවේ ‘මට මේවා කියන්ට වැඩකුත් නැහැ. ඒ වුණත් ඔබවහන්සේ නිසා නොකියත් බැහැ. ඔබ වහන්සේ ඔහොම ඉඳල හරියන්නේ නැහැ..... කොහොම හරි පන්සලේ අයිතිය තහවුරු කර ගන්ට....ඉඩමේ ඔප්පුව ඉල්ලගන්ට.... ඕකුන් විශ්වාස කරන්ට බැරි මිනිස්සු.’ යනුවෙන් පවසයි. එසේම දායකයන් හමුවූ විට පැවසුවේ ‘මම තමුසෙලාගේ හොඳටයි මෙහෙම කියන්නේ.... ඔය හාමුදුරුවෝ කොයි වෙලාවක හරි පන්සලේ ඉඩමේ ඔප්පුව ඉල්ලයි..... වැරදිලාවත් දෙන්ටනම් එපා..... තමුසෙලාට පන්සලත් නැතිවෙයි. අන්තිමට ඉඩමත් නැතිවෙයි......’මෙසේ කියමින් සහ තවත් නොයෙක් දෙය කියමින් හාමුදුරුවන්වත්, දායකයන්වත්  කෙටවීම ආරම්භ කළේය. එය සාර්ථක විය. හාමුදුරුවෝ පන්සල අත්හැර වෙනත් ප්‍රදේශයකට වැඩියේය. ඉන්පසු පන්සල යට සඳහන් පුරාණ විහාරයේ ශාඛාවක් බවට පත්විය. එම භික්ෂුවගේ අරමුණ ඉටුවිය.


එය බලවත් පාපකර්මයකි. එහි ප්‍රතිඵල වැඩි කල් නොගොස් අත්විඳීමට සිදුවිය. එම භික්‍ෂුව පිළිකා රෝගයට ගොදුරු විය. ලෝ වැඩ සඟරාවෙන් උපුටා දැක්වූ ඉහත සඳහන් කවියෙහි මෙන්ම පිළිකාව හටගත්තේ මුහුණුනෙහිය. එය දරුණු තුවාලයක් බවට පත්විය. එපමණක් නොව ඉකිළිය ප්‍රදේශයේද තුවාලයක් හට ගත්තේය. දියවැඩියා තත්ත්වය නිසා එම තුවාලයද දිනෙන් දින උත්සන්න විය. ඔහු නැඟූ මරලතෝනි හඬ ගම පුරාම ඇසුණි. ඔහු විඳි දුක් ප්‍රමාණය අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ඔහුට මෙම විපත අත්විඳීමට සිදුවූයේ කේලාම් කීමෙහි විපාක වශයෙන් බව සිතිය හැකියි. එබැවින් කුමන හේතුවක් නිසා හෝ කේලම් නොකීමට වගබලා ගත යුතුය. එය පරලොවදී මෙන්ම මේ ජීවිතයේදී පළ දෙන අකුසල කර්මයකි.


බිංගිරිය, කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවකි. 


පුතු තම මව සමග ඇතිකරගත් අනියම් ඇසුරින් මුළු පවුලම විනාශයට පත්වූ අන්දම” 


වයඹ පළාතේ ගමක විසූ මෙම දරුපවුල හොර මත්පැන් පෙරීමාදී නොයෙකුත් දුශ්චරිත ක්‍රියාවලිවල යෙදුණු අය වූහ. මව, පියා ඇතුළු පුතුන් සතර දෙනා මෙම දුශ්චරිත ක්‍රියාවලිය ජයටම කරගෙන ගිය අතර ඔවු නොවුන් සියල්ලෝම දවස පුරාම මත්පැනින් පෝෂණය වීම හැර අන් කිසිදු කටයුත්තක් නොකළහ. උදේ සිට රෑ වනතුරුම මත්පැනින් සප්පායම් වන මොවුහු  නිතරම සිටින්නේ කනමදයන් විලසිනි. අධික ලෙස මත්පැන්වලින් සප්පායම්වීම නිසා පුතුනට මාපියනුත් මාපියන්ට පුතුනුන් ක්‍ෂණිකව අමතක වන අතර දිනක් කායික බෙලහීනතාවකින් පෙළෙන එක් පුතකු තම මව සමග අනියම් ඇසුරකට වැටී සිටි අවස්ථාවක වෙරිමරගාතේ හදිසියේ නිවසට පැමිණි පියාට මොවුන්ගේ මෙම අනියම් ඇසුර ඇස්පනාපිටම දැකගත හැකි විය. මෙම අහඹු දසුනින් වඩාත් කෝපයට පත් පියා “මින් ඉදිරියට මෙවැනි දසුන් තම නෙතට නොදැකිය යුතුය”යන හැඟීමෙන් යුතුව නිවස තුළ තිබූ කඹයක් රැගෙන වත්ත පහළට ගිය මෙම අසරණ පියා තමා රැගෙන ආ කඹය ගසක අත්තකට දමා ගෙළ වැලලා ගත්තේ කිසිදු බහින්බස්වීමකින් තොරවය.


පියාගේ මෙම අකල් මරණින් සති කිහිපයකට පසු කායික බෙලහීනතාවකින් පෙළුණු මෙම තිරිසන් පුතු තමා පැදගෙන ආ අත්කරත්තයෙන් (ට්‍රයිසිකලය) වැටී බරපතළ ලෙස රෝගාතුරව මරණයට පත්වූ අතර මවද හෘදයාබාධයකින් උන්හිටි හැටියේ මරණයට පත්වූවාය.


 වැඩිමහල් පුතු තම රැකියාව වශයෙන් කළේ පොල් කැඩීමය. දිනක් පොල් ගසකට නැග්ග ඔහු පය ලිස්සා බිමට වැටී මරණයට පත්වූ අතර තවත් පුතෙක් යතුරුපැදිය ලොරියක ගැටී අවසනාවන්ත ලෙස මරණයට පත්විය. තවකකු සර්පයකු දෂ්ට කර මිය පරලොව ගියේය.


 මෙලෙස පවුලේ සියලු දෙනාම අකල් මරණවලට පත්වූයේ “දිට්ඨ දම්ම වේදනීය කර්ම” වලට අනුගත වෙමිනි. මෙලෙස පවුලේ එක් පුතකු කළ තිරිසන් ක්‍රියාවලිය මුළු පවුලටම පටිසන් දුන් බැව් මනාව පැහැදිලි වේ. මෙය සත්‍ය සිදුවීමකි.
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න. 

සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්