අනාගත ආහාර අර්බුදයට අප සූද‌ානම්ද ?


‘රත්නදීප ජන්ම භූමි  
ලංකදීප විජයභූමි  
මේ අපේ උද‌ාර වූ  
මාතෘ භූමියයි’  


ඉන්දියන් සාගරයේ මුතුඇටය, පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුද‌ාවලි ලත් මේ සොඳුරු භූමිය සැබැවින්ම සුන්දරවූත් ස්වභාවික සම්පත්වලින් අාඪ්‍යවූත් රමණීය දිවයිනකි. එහි ඇති අභිමානය පුරාණ රාජධානිවල ඇති මහා විස්කම්වල නෂ්ටාවශේෂවලින්ද ප්‍රකට වෙයි.   


එද‌ා මහ පැරකුම්බාවන් මහා පරාක්‍රම සමුද්‍රය නිමවා ප්‍රකාශ කර සිටියේ ජනතා ප්‍රයෝජනයට නොගෙන එක දිය බිඳක්වත් මහ සමුදුරට එක්වන්නට ඉඩ නොදෙන බවයි. එම ප්‍රකාශය සනාථ කරමින් ආදිමයන් මෙරට සිට පිටරටවලටද සහල් අපනයනය කළේ ලංකාවට පෙරදිග ධාන්‍යාගාරය යන විරුද‌ාවලිය අත්කර දෙමිනි.  


 ජාත්‍යන්තරයේ එසේ රන් අකුරින් නම ලියවුණු අපේ රත්න ද්වීපය සැබැවින්ම, ජල සම්පත, භූමි සම්පත, වන සම්පත, සමබර කාලගුණය, සමබර දේශගුණය ආදී ස්වභාවික සම්පත්වලින් ස්වයංපෝෂිත වූවකි. මෙම පරිසරය මෙම ස්වර්ණභූමියට උරුම වූ කප්රුකක් ලෙස සලකමින් එය රැකගන්නට පෙර රජදරුවෝ ක්‍රියා කළහ.  


එහෙත් යටත් විජිතවාදයත් සමඟ ඒ ස්වයංපෝෂිත ආර්ථික රටාව අපගෙන් ගිලිහී ගියේය. පිටරැටියන් මෙරට සම්පත් සූරාකෑමට ලක් කළ අතර මෙරැටියෝ සිය දේශයේම වහලුන් බවට පත්වූහ. කාලයත් සමඟ යටත් විජිතවාදයෙන් බැට කා පරාදීන මානසිකත්වයට පත්වූවෝ විවෘත ආර්ථික ප්‍රතිපත්තිවලද වහලුන් බවට පත්වූහ.  


එනම් වවාගෙන කා ජීවත් වූවෝ ගෙන්වාගෙන කන රටක ජීවත් වන්නෝ බවට පත්වූහ. එහි ප්‍රතිඵලය වූයේ කුස පුරවන බත් පිගාන සඳහා වූ අමුද්‍රව්‍යද ආනයනය කිරීමට පෙළඹීමයි. හාල්, පොල්, සීනි, අල, ලුණු, මාළු ආදී අත්‍යවශ්‍ය බොහෝ දෑ පිටරටින් ගෙන්වා පරිභෝජනය කිරීමට පුරුදු වූහ. එහි ඛේදවාචකය වූයේ කලකදී මෙරට සිට පිටරටට විකුණා විදේශ විනිමයක් ලැබූ දේම, අද ආනයන භාණ්ඩ බවට පරිවර්තනය වීමය.  


 මේ ඒ පිළිබඳව කරනා විමසුමකි.  


 ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 65610 ක් ​ෙව්. රටට අයත් සමුද්‍ර කලාපය වර්ග කිලෝ මීටර් 51,7000 වේ. දශක තුනක් තිස්සේ පැවැති යුද්ධය අවසන් වීමත් සමඟ මේ මුළු සමුද්‍ර තීරයම ධීවර කර්මාන්තය සඳහා විවෘත විය. මෙහි ඛේදවාචකය වන්නේ රට වටේට මත්ස්‍ය සම්පත සිටියද ටින් මාළු සඳහා වසරකට රුපියල් බිලියන 20ට අධික මුදලක් වැය කිරීමය.  


වර්ග කිලෝ මීටර් 316000ක් වූ තායිලන්තය ලංකාවට වඩා අඩු මුහුදු ප්‍රදේශයක් ඇති රටකි. එහෙත් ධීවර කර්මාන්තය සඳහා ලෝක වෙළෙඳ පොළෙන් 45%ට අධික කොටස් හිමිකර ගෙන සිටින්නේය. එබැවින් සංවර්ධනය කරා පියනගන රටක් වන ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිපත්ති සෑදිය යුත්​තේ තම භූමි සම්පත්වලින් උපරිම ඵල නෙළාගන්නේ කෙසේද යන්න සලකමිනි.  
 ගොවිතැන සඳහා ද මේ භූමියේ ඇත්තේ සාරවත් බවකි. ලාංකීය භූමියට එක් කලකදී වර්ෂාව ලැබෙන අතර තවත් කාලයකදී පෑවිල්ල ඇතිවේ. ආදී මුතුන් මිත්තෝ වර්ෂා කාලයේදී ගොවිතැන් කටයුතු ආරම්භ කර පායන කාලයේදී එහි ඵල නෙළාගත්හ.  


අතීත රජදරුවෝ එය තව තවත් ඵලද‌ායි කරමින් ජල කළමනාකරණය සඳහා වාරි සංස්කෘතියක් නිර්මාණය කළහ. ලක්දිවට උරුම වූ වාරි උරුමයන් ප්‍රමාණය 30,000ට අධිකය. අද වන විට මින් බොහෝමයක් කිසිදු ප්‍රතිසංස්කරණයක් නොමැතිව අභාවයට ගොස් තිබේ. එනම් කුඩා වැව් සහ මහා වැව් ගොඩවීම, ගංගා, ඇළදොළ ගොඩවීම, වාරි ජල මාර්ග හරස්කර අනවසර ඉදිකිරීම් සිදුකිරීම, මඩ ඉඩම් ගොඩකිරීම, කැලෑ කැපීම ආදී ව්‍යසනයන් හේතුවෙන් නියඟ හා ගංවතුර තත්ත්ව උද්ගත වී ඇත. එහි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ කෘෂිකර්මාන්තයේ බිඳ වැටීමය.  
කාලයක් තිස්​ෙස් වෙහෙස වී අස්වද්දන කුඹුරු පාළුවීම නිසා ගොවියාගේ ආර්ථිකය අස්ථාවර වන අතර ගොවි දරුවන් වෙනත් රැකියාවලට යොමුවීම ශීග්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඉන් කුඹුරු පුරන්වීම සිදුවන අතර ගොවිබිම් සෝද‌ාපාළුවට යයි. වී වගා කර බත්පත සරිකරගත් රටක සිටිනා අපි පිටරටින් බත් ඇටය එනතුරු බලාසිටිමු. ඊට රජයේ ප්‍රතිපත්තීන්ද බලපා ඇත.  
 එනම් ගොවියාට සහන සපයන ණය ආධාර, පොහොර සහනාධාර කපා හැරීම. ඇළවේලි ප්‍රතිසංස්කරණය කර මනා ජල සැපයුමක් සකස්කර නොදීම, වී අලෙවිය සඳහා වෙළෙඳපොළ තත්ත්වයන් ඇතිකර නොදීම ආදී හේතූන් ඊට බලපා ඇත. එහි අවසන් ප්‍රතිඵලය වී ඇත්​ෙත් මෙරට සිට පිටරටට සහල් යවා පෙරදිග ධාන්‍යාගාරය බවට පත්වූ රට පිටරටින් සහල් ගෙන්වා පරිභෝජනය කරන තත්ත්වයට වැටීමය.  


 2016 වසරේ පමණක් රජය සහල් ආනයනය සඳහා එ.ජ. ඩොලර් මිලියන 12.8ක් (2016 මහ බැංකු වාර්තාව) වියදම් කර ඇත. එනම් එම වසරේදී මෙරටට ගෙන්වා ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් තිස් දහසකි.  


 මීට අමතරව තිරිඟු මෙට්‍රික් ටොන් දහස් 948ක් සහ සීනි මෙට්‍රික් ටොන් දහස් 651ක් ගෙන්වා ඇත. සැබැවින්ම ශ්‍රී ලංකාව වී ගොවිතැනට සේම වෙනත් පරිභෝජන ආහාර නිෂ්පාදනය සඳහාද යෝග්‍ය පරිසරයක පිහිටි රටක් විය. උක් වගාව, අල වගාව, ලූණු වගාව, ඉරිඟු වගාව ඉන් ප්‍රධානය. එහෙත් ලංකාවේ වගා කළ හැකි මෙම බෝගද වැඩි වශයෙන් ආනයනය කිරීම සිදුවන්නේය.  
 2016 වසරේදී සීනි හා රසකැවිලි සඳහා එ.ජ. ඩොලර් මිලියන 344.6 ක්ද කිරි නිෂ්පාදනය සඳහා එ.ජ. ඩොලර් මිලියන 249.3 ක්ද, පරිප්පු සඳහා එ.ජ. ඩොලර් මිලියන 139.4 ක්ද, තිරිඟු හා ඉරිඟු සඳහා එ.ජ. ඩොලර් මිලියන 249.2 ක්ද, වෙනත් පරිභෝජන භාණ්ඩ සඳහා එ.ජ. ඩොලර් මිලියන 881.3 ක්ද වියදම් කර ඇත. මේ ආකාරයට 2016 වසරේදී ආහාර හා පාන වර්ග සඳහා පමණක් කර ඇති වියදම එ.ජ. ඩොලර් මිලියන 1627.4 කි.  


පොල් ත්‍රිකෝණය ලෙස කොළඹ කුරුණෑගල හලාවත නම් දරා ඇත. මේ නගරවලට අමතරව ලංකාවේ ඕනෑම තැනක පොල් වගා කළ හැකිය. එසේ වූ පොල් නිෂ්පාදනය ද මේ වන විට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත. එහි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ පොල් ආනයනය සඳහා පියවර ගැනීමය.  


ජනවහරට අනුව සිංහලයා බතුයි සම්බෝලයි කා මහා විස්කම් කළ අයෙකි. එහෙත් බත්පත සේම සම්බෝලයද විදේශ නිෂ්පාදනයක් වූයේ නම් එය කවර වූ ජාතියක අභාවයක් දැයි තීරණය කළ යුතුය.  


අතීතයේදී ආහාර සුරක්ෂිතතාව සඳහා මනා වූ පිළිවෙතක් තිබුණේය. ආහාර නිෂ්පාදන කාලයේදී සිය පරිභෝජනය සඳහා තම තමන් ආහාර නිෂ්පාදනය කරගත් අතර අතිරික්ත ආහාර කල්තැබීමේ ක්‍රම මගින් පසු ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කළහ.  


 එනම් මස්, මාළු වේළා ගැනීමෙන්ද, තල, කුරහන්, මෙනේරි, ඉරිඟු ආදී දේ වියළා තබා ගැනීමෙන්ද දෙහි ලුණු දැමීමෙන්ද කොස් අටුකොස් දැමීමෙන්ද කොස් ඇට වැලියට දැමීමෙන්ද ආදී ලෙසින් ආහාර හිඟ කාලයට ප්‍රයෝජනයට ගැනීම සඳහා කටයුතු කළහ.  


එහෙත් එවන් වූ සංස්කෘතියකට උරුමකම් කියූ අපි අද නාස්තිකාර ජාතියක් බවට පත්ව සිටිමු. කෘෂි නිෂ්පාදන ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 200ක් පමණ වැය කරන අතර එහි මූල්‍යමය පීඩාවන් පාරිභෝගිකයා මත පටවා ඇත. එහිදී ද විශාල මුදලක් ගෙවා මිලදී ගන්නා ආහාර ද්‍රව්‍ය එක්තරා පිරිසකට සීමාවන අතර මෙරටේ සමබර ආහාර වේලක් ගත නොහැකිව කුසගින්නේ සිටින්නෝ බොහෝ වෙති.  


මෙහි ඇති ඛේදවාචකය වන්නේ එසේ මිලදී ගන්නා ආහාරවලින් වැඩි කොටසක් අපතේ යැවීමය. එනම් නාගරික කුණු කසළවලින් සියයට 90ට වඩා වැඩි කොටසක් ආහාර බව සමීක්ෂණවලින් හෙළිවී ඇත.  


පසුගිය දි​ෙනක තෙල් නැවක ප්‍රමාදය නිසා ඇතිවූ අපහසුතා ඔබට මතක ඇතැයි සිතමි. එසේම මතු දිනක ආනයන ආහාර මත පදනම් වූ ආර්ථිකය අර්බුදයකට ලක්වුවහොත් ඔබ ගන්නා ක්‍රියාමාර්ගය කුමක් විය හැකිද? සැබැවින්ම ආහාර අර්බුදයක් ඇතිවූවා යනු මිනිසා කුසගින්නේ සිටීමය.  


ඊට උද‌ාහරණ ලෙස 1973-1979 කාලයේ සිදුවූ ආංශික සාගතය මතකයට නගා ගත යුතුව ඇත. ඒ සමයෙහි හාල් පෝළිම්, පාන් පෝළිම් ඇති විය. සතියකට දින දෙකක් බත් කෑම තහනම් විය. එක නිවසකට පාන් ගෙඩි 2ක් පමණක් ලෙස තීරණය විය. මඟුල් ගෙදරකට ගෙන්වන සෙනග සීමා කළේය. සීනි හිඟය නිසා සක්කර භාවිතයට ගත්තේය. මන්දපෝෂණය සමාජගත වූ අතර කුඩා දරුවෝ කුසගින්නේ මිය ගියහ.  


ඒ අඳුරු මතකයන් ගෙනහැර දක්වන්​ෙන් ආහාර සුරක්ෂිතතාවයේ ඇති වැදගත්කමය.  


එබැවින් ස්වයංපෝෂිත අර්ථ ක්‍රමයක සිටි අප ආනයන මත තවදුරටත් යැපිය යුතුද? රට වටා මුහුදය. රට අභ්‍යන්තරයේ මහා වැව්ය. සමබර දේශගුණය, සාරවත් පසය. එහි ඵල නෙළාගැන්මට තව තවත් ප්‍රමාද වන්​ෙන් කුමන හේතුවක් නිසාවෙන්ද? එය අනාගත ආහාර අර්බුදයට හේතුවක් නොවන්නේද?  


මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට කැලණිය විශ්වවිද්‍යාල​ෙය් ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.ජී. කුලරත්න මහතා සම්බන්ධ කර ගත්තෙමු.  

 


ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.ජී. කුලරත්න  
ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය  
කැලණිය විශ්වවිද්‍යාලය

 

  
 ඉතිහාසයේ මූලාරම්භයේදී ජන සමාජ නිර්මාණය වූයේ ඒ ඒ ප්‍රදේශවලට ආවේණික වූ සම්පත් ප්‍රයෝජනයට ගනිමින් අවශ්‍යතාව මත ආහාර නිෂ්පාදනය කිරීම සිදුවූවා. ජනගහන වර්ධනයත් සමඟ ආහාර නිෂ්පාදන ප්‍රමාණ වැඩිකර ගැනීමට අවශ්‍ය වූවා. ජලය රැස්කර තබා ගැනීමේ හා ප්‍රවාහනය කිරීමේ වාරි තාක්ෂණය නිර්මාණය වන්​ෙන් ඒ අනුවයි. පරිභෝජන අවශ්‍යතා තමන් විසින්ම සපුරාගත් ඒ අර්ථ ක්‍රමයටයි අපි ස්වයංපොෂිත අර්ථ ක්‍රමය යැයි කියන්නේ.  


එද‌ා අවශ්‍යතාව මත ආහාර නිෂ්පාදනය කළ ඒ ස්වයංපෝෂිත අර්ථ ක්‍රමය අද පරිභෝජනය මත සිදුවන අර්ථක්‍රමයක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා.   


නිදහසින් පසු රට සහලින් ස්වයංපෝෂිත කළ යුතුයි යන යහ ආකල්පය මත ඩී.ඇස්. සේනානායක වැනි නායකයෝ කටයුතු කළා. ඒ අනුව ගොවිජනපද පිහිටුවමින් වාරිමාර්ග සංවර්ධනය කරමින් කටයුතු සිදුකළා.   


තම ඉඩකඩම්වල තම තමන්ගේ පරිභෝජනය සඳහා වගා කටයුතු කළ යුතුයි යන්න සමාජගත කෙරුණා. ඒ ආකාරයට ආර්ථිකය සංවර්ධනයට ලක් කරන්නට කටයුතු කළත් 70න් පසු කාලයේ දැඩි ආහාර අර්බුදයක් ඇති වුණා. ඒ අයහපත් කාලගුණ විපර්යාස නිසා. ඒ කාලයේ එක ගෙදරකට පාන් ගෙඩි 2ක් සීමා කිරීමට වුණා. ගමකින් ගමකට හාල් ගෙනයන්න තහනම් කරන්න වුණා. ආහාර හිඟය දැඩිව මිනිසුන්ට පීඩා ගෙනදෙද්දී සිය ඉඩම්වල පුංචි හෝ දෙයක් වගාකර ගැනීමට මිනිස්සු කටයුතු කළා.  


ඒත් 1977න් පසු දේශීය නිෂ්පාදනය ඉක්මවා ගිය විදේශීය නිෂ්පාදනයන් ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය වර්ධනය වුණා. මෙරට නිෂ්පාදනය කරන භාණ්ඩවල මිල ගණන්වලට වඩා විදේශීය නිෂ්පාදන මිලදී ගැනීම ලාභද‌ායි බව පෙනී ගියා. ඒ නිසා අල, බතල, ලූණු, මුං ඇට වැනි අත්‍යාවශ්‍ය භව භෝග පිටරටින් ආනයනය කිරීම සිදුවුණා. එද‌ා ආර්ථික විශේෂඥයෝද එම ක්‍රියාවලිය සුබවාදී බව පෙන්වා දුන්නා. එම නිසා මුංඇට දෙක තුනක් කානුවක් අසලට විසි කළත් පැළවී කරල් ලබාදෙන තරම් සශ්‍රීක භූමියක සිටි අපි විදේශීය නිෂ්පාදන පරිභෝජනයට ගන්නා ජාතියක් බවට පත්වුණා.  


නිදහසට කලින් අපට ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අදහස් තිබුණා. එය අපිම වගාකර ගැනීමෙන් හෝ දේශීය නිෂ්පාදන වෙළෙඳපොළ තුළ සුලබ කර ගැනීමෙන් කළ හැකි වුණා.  


එ්ත් රජය මගින් දේශීය කෘෂිකර්මාන්තයට අඩු සැලකිල්ලක් දැක්වීම හා ආනයන ක්‍රියාවලිය වර්ධනය කිරීම නිසා අපි පරායත්ත ආකල්ප සහිත (අන් ජාතීන්ගෙන් යැපීමේ මානසිකත්වය) ජාතියක් බවට පත්වුණා.  මෙම ක්‍රියාවලිය නිසා දේශීය නිෂ්පාදන මිල වැඩි භාණ්ඩ ලෙසත් ආනයන භාණ්ඩ මිල අඩු නිෂ්පාදන ලෙසත් පාරිභෝගිකයා අතරට ගියා. එහිදී පාරිභෝගිකයාගේ ඉල්ලුම ආනයන භාණ්ඩ කරා යොමුවුණා.  


මේ නිස අදත් අපේ ආර්ථිකය විදේශ නිෂ්පාදන මත සැලසුම් කිරීම සිදුව තිබෙනවා. එය බරපතළ අර්බුදයක්. කෘෂිකර්මාන්තයේ ඇති ජෛව විද්‍යාත්මක විශේෂත්වයක් තමයි අවද‌ානම. ඒ කියන්​ෙන් ස්වභාවික ව්‍යසන නිසා ආහාර නිෂ්පාදන උච්චාවචනය වීම, එය විදේශ ආහාර මත ආර්ථිකය සැලසුම්කරණ රටවල් මුහුණ දෙන ලොකු අවද‌ානමක්.  


ඩොලරයේ උච්චාවචනය මත දේශීය වෙළෙඳපොළේ අ​ෙලවි වන විදේශීය භාණ්ඩවල මිල අඩුවැඩි වීම සිදුවෙනවා. ඉන් පාරිභෝගිකයා ගැටලුවලට මැදිවෙනවා. ඊට පිළියම් ලෙස රජය මිල සහනාධාර ලබා දෙනවා. මේ නිසා විදෙස් රටකට ගැතිවීම හා ජීවන වියදම පිළිබඳ අර්බුදවලට පාරිභෝගිකයා ලක්වෙනවා.  


1996 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ක්‍රියාකාරී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා සියලුම ජනතාවට සැමවිටම පෝෂ්‍යද‌ායී ආහාර ප්‍රමාණවත් ආකාරයෙන් ලබා ගැනීම ආහාර සුරක්ෂිතතාව ලෙස අර්ථ දක්වා තිබෙනවා.  


එහිදී ආහාර සුලබව තිබීම, ආහාරවලට ප්‍රවේශවීමේ හැකියාව, ආහාර ස්ථායිථාව යන ගුණාංග සලකා බැලෙනවා.  


මෙම කරුණු සපුරාගත නොහැකි වීමෙනුයි ආහාර අර්බුදයක් ඇතිවෙන්නේ. අපේ රටේ ආර්ථික කටයුතු අමාත්‍යාංශයක් තිබෙනවා. බෝග වගාව (වී, එළවළු) ධීවර කර්මාන්තය (වැව්/ මුහුදු) සත්ත්ව පාලනය (කිරි) යන කර්මාන්ත සංවර්ධනය කිරීම එහි මූලික කාර්ය භාරයත් වෙනවා.  එහෙත් භෝග වගාවෙන් හා සත්ත්ව පාලනයෙන් ප්‍රමාණවත් ආහාර නොලැබෙන නිසයි පිටරටින් ආහාර ආනයනය කිරීම සිදුවන්නේ.  


මේ පිළිබඳව අපි දීර්ඝව සිතා බැලිය යුතුයි. ඊට ආර්ථික සැලසුම්කරණයේ ඇති ජාතික ප්‍රතිපත්තිය සේම මිනිසුන්ගේ ආකල්පමය වෙනසත් අවශ්‍යයි.  


ඒ කියන්​ෙන් ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී ඒ පිළිබඳ පර්​ෙ‌ය්ෂණය කළ ආර්ථික විශේෂඥයන්ගේ දැනුම වැදගත් වෙනවා. ඒත් අද ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් වෙන්​ෙන් ​ෙද්ශපාලන වුවමනාව මත. එය ආර්ථික සංවර්ධනයට විශාල ගැටලුවක්. මීට අමතරව පාරිභෝගික ජනයාගේ ආකල්පය වෙනස. ඔවුන් තමන්ට තිබෙන කුඩා ඉඩකඩක වුවද සිය පරිභෝජනය සඳහා මිරිස් පැළ දෙක තුනක් හෝ හද‌ා ගැනීමේ ප්‍රවණතාව ඇතිකර ගත යුතුයි.  


ස්වයංපෝෂිත ආර්ථික රටාවක ජීවත් වූ අපි කරපිංචා කොළයත් වෙළෙඳ පොළෙන් මිලදී ගැනීමට කටයුතු කළොත් සිදුවන්​ෙන් කුමක්ද කියා කල්පනා කළ යුතුයි. ඉන් අපගේ යැපුම් මානසිකත්වය දුරුකළ යුතුයි. එසේ නොමැතිව අය වැය සහන දෙස බලාගෙන කටයුතු කළොත් අනාගතයේදී සිදුවන්​ෙන් දැඩි ආහාර අර්බුදයකට ගොදුරු වීම.  


අදටත් යම් ප්‍රමාණයක ආහාර අර්බුදයක් පවතිනවා. එය අනාගතයේදී තව තවත් වැඩිවිය හැකියි.  


කෘෂිකර්මාන්තයට යෝග්‍ය පරිසරයක් ඇති මේ භූමිය නිසි පරිදි කළමනාකරණය කර තම පරිභෝජන අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.

 

 

 

 

 

 

 

 

 

සටහන 
කුමාරි හේරත්