අන්තර්ජාලයේ ප්‍රකට “ යාහු ” සමාගම


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

 

පරිගණකය ඔස්සේ අන්තර්ජාලයේ වෙබ් පිටු සොයා යාමේදී ‘‘ගූගල්’’ වලට අමතරව බොහෝ දෙනා ‘‘යාහු’’ (Yahoo) වෙබ් සේවාව ඔස්සේද සෙවුම් - බැලුම් කරන බව කිව හැකිය. ඊට අමතරව විද්‍යුත් තැපැල් ක්‍රමය හෙවත් ඊමේල් නිසා ‘යාහු’ ලෝකයේ බොහෝ දෙනා අතර වඩා ප්‍රකටය. අන්තර්ජාලය ඔස්සේ වෙබ් පිටු සොයා යාමේ පහසුකම නැතහොත් ද්වාරය (Portal) හෙවත් මහා දොරටුව විවර කර දුන් මේ ‘‘යාහු’’ වෙබ් සමාගම මොනවගේද? ලෝකයට ‘‘යාහු’’ හඳුන්වලා දුන්නේ කවුද? ප්‍රකට සමාගම් ලොව දිනූ විශේෂාංගය වෙතින් අද අපි ඒ ගැන සොයා බලමු. 

 
යාහු සෙවුම් - බැලුම් ද්වාරය ඔස්සේ යාහු නිව්ස්, මේල්, ෆිනෑන්ස්, ක්‍රීඩා ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අන්තර්ජාලයේ පිටු සොයා යා හැකිය.  


‘‘යාහු’’ වෙබ් ද්වාරය ලෝකයට විවර කර දුන්නේ, පේරී යංග් සහ ඩේවිඩ් ෆිලෝය. ඒ 1994 සීතල උඳුවප් හෙවත් ජනවාරියේදීය. 1995 දී සමාගමක් ලෙස ලියාපදිංචි කළ අතර, මූලස්ථානය ස්ථාපිත කරවූයේ එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාවේ, සනිවෙල් හිදීය. 1994 සිට 2017 දක්වා ස්වාධීන ගමනක් ගිය ‘‘යාහු’’ මාර්ගයක ව්‍යාපාර අංශයෙහි සක්‍රීය වූ සමාගමක් වන වෙරිසොන් මීඩියා ආයතනය සතුවිය. 1990 දශකයේ මුල් භාගයේදී අන්තර්ජාල සෙවුම් - බැලුම් ක්ෂේත්‍රයේ දැවැන්තයා ලෙස වැජඹුණේ ‘යාහුය’ එලෙසින් වැජඹුණ ‘යාහු’ ගූගල් නිසා ටිකෙන් ටික පසුබෑමකට ලක් වූයේ අන්තර්ජාලයේ වෙබ් පිටු සොයා යාමේදී යාහුට වඩා ගූගල් වෙත ජනතාව නතු වූ නිසාවෙනි. කෙසේ වුවද වෙබ් පිටු නිර්මාණය කිරීමේදී වෙන්කර ගත යුතු වූ ‘ඩොමේන්’ (domain) ලබා ගැනීමේදී යාහු ඩොමේන් තවමත් පවතින්නේ ප්‍රමුඛ තැනකි.  

 

ජෙරී යංග් සහ ඩේවිඩ් ෆිලෝ

 


යාහු ඇරඹුම  


‘‘යංග් සහ ෆීලෝ’’ එවකට ස්ටැන්ෆර්ඩ් සරසවියේ විදුලි ඉංජිනේරු උපාධිධාරි අපේක්ෂකයින් ලෙස ඉගෙනුම ලබමින් සිටි සිසුවෝ වූහ. ඉගෙනුම ලබමින් සිටින අතරේදී මේ දෙදෙනා එක්ව ‘‘ජෙරී සහ ඩේවිඩ්’’ නමින් වෙබ් පිටුවක් නිර්මාණය කළේ. අනෙකුත් වෙබ් පිටු සොයා ගැනීමේ පහසුව ඇති සේවාවක් ලෙසය. 1994 මාර්තුවේදී එය ජෙරී සහ ඩේවිඩ් වෙනුවට යාහු ලෙස නම් කරන ලද්දේය. ඉන්පසුව වෙබ් පිටු නිර්මාණය කිරීමේදී යාහු මුලින්ම නිර්මාණය කළේ යාහු com (yahoo.com) පිටුවය. අන්තර්ජාල පරිශීලකයින් සඳහා සෙවුම් - බැලුම් කිරීමේ අවකාශය ලබාදීම එහි අරමුණ විය. 1995 වෙන විට වෙබ් පිටු සොයා දීමේ ප්‍රධාන සෙවුම් යන්ත්‍රය ලෙස ප්‍රකට වූයේ යාහු සෙවුම් යන්ත්‍රය හෙවත් Search Engine ය.  


යාහු සොයා ගත්ත සුපිරි ඩබල  


මේ විදියට එද‌ා යාහු සොයා ගත්ත ජෙරී යංග් සහ ඩේවිඩ් ෆිලෝ, කවුද කියලා මීළගට බලමු.   


ජෙරී යංග්   


යංග් චී යු ආන් 1968 නොවැම්බර් 6 වැනිද‌ා උපත ලැබුවේ තායිවානයේ තායිපේ නගරයේදීය. විදුලි ඉංජිනේරු අංශයේ උපාධිය මෙන්ම එම අංශයේම විද්‍යාවේදී උපාධිය ද ලබාගත් යංග් ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියෙන් එම උපාධි ලද නුවණැත්තෙකි. යංග් ගේ මව ඉංග්‍රීසි සහ නාට්‍ය අංශයේ ආචාර්යවරියක වූවාය. යංග් හට තම පියා අහිමි වූයේ අවුරුදු දෙකක පමණ වයසේ සිටියදීය. කුඩා යංග් හට තවත් සහෝදරයෙක් සිටියේය. ස්වාමියාගේ අකල් වියෝවින් පසුව යංග් ගේ අම්මා 1978 දී පුතුන් දෙදෙනාද කැටුව ඇමෙරිකාව බලා යාමට උනන්දු වූවාය. ඊට මිත්තණියද එක්ව සිටියාය. ඇමෙරිකාවේ කැලිෆෝර්නියාවේ ''Sanjose'' වෙත ගොස් සිටි මේ පවුල නඩත්තු කිරීම වෙනුවෙන් යංග් ගේ මව ඇමෙරිකාවට පැමිණ සිටි සංක්‍රමණිකයින් හට ඉංග්‍රීසි ඉගැන්වීම කළ අතර ‘‘යංග් චී යූ ආන්’’ ගේ නම ‘‘ජෙරී යංග්’’​ ලෙස ඇමෙරිකාවට ගැලපෙන විදියට වෙනස් කර ගත්තේය. මවගේ නම ‘‘ලිලී’’ ලෙසද සහෝදරයාගේ නම කෙන් ලෙසද වෙනස් කර ගෙන තිබිණි.  


‘‘මම ඇමෙරිකාවට එන විට දැන සිටි එකම ඉංග්‍රීසි වචනය ‘‘ෂූ’’ (Shoe) කියන වචනය විතරයි’’  


යනුවෙන් ‘‘ජෙරී යංග්’’ පසුකලෙක අතීතය මෙනෙහි කරමින් කියා සිටියේය. එසේ එක් ඉංග්‍රීසි වචනයක් පමණක් දැන සිටි ඔහු හට වසර තුනක් ඉක්ම වූ පසු ඉතාම චතුර ලෙස ඉංග්‍රීසි කතා කිරීමට හැකි විණි. ‘‘ඩේවිඩ් ෆිලෝ’’ ගේ හමුවීම සිදුවුණේ ‘‘යංග්’’ ස්ටැන්ෆර්ඩ් සරසවියේ ඉගෙනුම ලබමින් සිටියදීය. 1992 දී පමණ ශිෂ්‍ය හුවමාරු වැඩ සටහනක් යටතේ ඩේවිඩ් සහ ජෙරී හට ජපානය බලා යාමට සිදුවුණි. මාස හයක අධ්‍යාපන කාලයක් ගත කිරීමට සිදුව තිබූ මෙම වැඩ සටහන නි​යෝජනය කිරීමට තවත් සිසුවියක එක්ව සිටියාය. ඇයගේ නම අකිකෝ යමසාකිය. ජපන් ජාතික තරුණියක වූ ඇය එකී සමයේ හැදී වැඩුණේ සහ ජීවිතය ගත කළේ කොස්ටාරිකාවේදීය. ජපානයේදී ගත කළ සයමසක කාලය සොඳුරු ලෙසම ගෙවී ගියේ ‘යංග් හට අකිකෝ’ හමුවීම නිසාය. මේ දෙදෙනා සයමසක පුහුණුව නිමවා යළි පිටවූයේ ආදරවන්තයින් ලෙසය. ජෙරීගේ ජීවිතයේ ඒ විස්තර සමග ඊළඟට අපි ‘‘යාහු’’ බිහි කිරීමට ඔහු හා එක්වූ අනෙක් සගයා ඩේවිඩ් ෆිලෝ ගැනත් විස්තර දැන ගනිමු.  

 


ඩේවිඩ් ෆිලෝ  


ඩේවිඩ් රොබට් ෆිලෝ උපන්නේ 1966 අප්‍රේල් 20 වැනිද‌ාය.   


ඇමෙරිකාවේ මින්සොටාහි විස්කොන්සින් හිදී උපත ලැබූ ෆිලෝ, කුඩා කාලය ගෙවා දැමුවේ ලුසියානා පළාතේ මොස් බ්ලෆ්හිදීය. සෑම් හුස්ටන් උසස් පාසලෙන් පරිගණක අංශයේ උපාධිය ලැබූ ඔහු ශිෂ්‍යත්වයක් ලබා ස්ටැන්ෆර්ඩ් සරසවියට එක්වීමේ වරම් ලබා ගත්තේය. විද්‍යාවේදී උපාධිය ලැබුවේ ස්ටැන්ෆර්ඩ් සරසවියෙනි. ඇන්ජෙලා බියුනින් සමග විවාහ වී සිටින ෆිලෝ එක්දරු පියෙකි. ‘බියුනින්’ ඡායාරූප ශිල්පිනියකි. ලෝකය වටේ යමින් විවිධ ජන කොටස්වල චර්යා හැසිරීම් රටාවන් කාචයට හසුකර ගැනීම ඇයගේ විනෝද‌ංශය වේ. මේ ‘‘ෆිලෝ’’ පවුල පදිංචි වී සිටින්නේ කැලිෆෝර්නියාවේ පාලෝ ඇල්ටෝ පළාතේය. පරිගණක හා අන්තර්ජාල ක්ෂේත්‍රයේ ලොකු වැඩ පෙන්වන්නන් සිටින්නේ. මෙම පාලෝ ඇල්ටෝ කලාපයේය.  


ජෙරී සහ ඩේවිඩ්ගෙන් වෙබ් පිටු සොයා යාම වෙනුවෙන් මාර්ගෝපදේශනය  


1994 දී ජෙරී සහ ඩේවිඩ් අන්තර්ජාලයේ මහ කෙරුම්කරුවන් බවට පත්වූයේ වෙබ් පිටු සොයා යාමට ජෙරී සහ ඩේවිඩ්ගේ මාර්ගෝපදේශ යනුවෙන්, ඇරඹි සෙවුම් යන්ත්‍ර අවකාශය නිසාය. යාහු මුලින්ම තම ගමන ඇරඹියේ එලෙසින් බව මෙම සටහන ආරම්භයේදී අප සටහන් කළෙමු. 1994 යාහු ඉන්කෝපරේෂන් නමින් නම් කළ පසු ලක්ෂයක පණ පරිශීලකයින් පිරිසක් යාහු වටා එක් වූයේ අන්තර්ජාලය ඔස්සේ බොහෝ දේ සොයා යාම වෙනු​වෙනි. මෙනිසා 1995 වෙන විට සිකුවියා කැපිටල් වෙතින් ඩොලර් මිලියන දෙකක පමණ ආයෝජනයක් කිරීමට වහා පෙළැඹුණි. ඒ සමගම ප්‍රධා විධායක නිලධාරියා ලෙස ටිම් කූගල්ගේ සේවය ලබා ගත්තේ ඔහුට ලොකු මුදල් කුට්ටියක් ලබා දෙමිනි. කූගල් ප්‍රධාන විධායක වූයේ කුලී පදනම මතය. යාහු හිමිකාරිත්වයේ සම ප්‍රධානීන් දෙපළ වූයේ ජෙරී සහ ඩේවිඩ්ය. සිතු තරමටම යාහු මූල්‍යමය වශයෙන් සාර්ථක නොවීම නිසා ජපානයේ සොෆ්ට් බෑන්ක් මූල්‍ය ආයතනය වෙතින් නැවත යාහු පණ ගැන්වීම සඳහා මූල්‍ය ශක්තිය ලැබිණි. ඒ සමගම යාහු ලෝකයේ ප්‍රකට වූයේ හරියටම 1996 වසරේදීය. ඒ වෙන විට ඔවුන් සතු සේවක සංඛ්‍යාව 49 ක් සිටි බව සඳහන්ය. එමෙන්ම වයස අවුරුදු 35 ට අඩු ලොව හොඳම නවෝත්පාදන අංශයේ ව්‍යවසායකයින් ලෙසද ජෙරී සහ ඩේවිඩ්ගේ නාමයන් ව්‍යාපාරික පුවත් විසින් උපුටා දක්වන ලදී. මේ වන විට ‘‘ගූගල්’’ නමින් තවත් ‘‘සෙවුම්’’ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් පවතින බව මේ දෙදෙනා හට දැන ගැනීමට අවකාශය ලැබිණි. එමෙන්ම තම ප්‍රතිවාදියා ලෙස නැග එමින් සිටි ‘‘ගූගල්’’ හට කුමක් කළ යුතුද යන්න ජෙරී සහ ඩේවිඩ් කල්පනා කළෝය. ඒ අනුව ඩොලර් බිලියන කීපයක් ගෙවා පෙරට එමින් සිටි ‘‘ගූගල්’’ නමැති සෙවුම් යන්ත්‍රය හෙවත් ගූගල් සමාගම මිලදී ගැනීමට තීරණය කළද පසුව ඒ තීරණය වෙනස් වූයේ ‘‘නිරපරාදෙ අපි මොකටද මෙච්චර මුදලක් වැය කරන්නෙ’’ යනුවෙන් සිතූ නිසාය. ඒ ලෝභකම නිසා සිදුවූවේ 1998 දී නිර්මාණය වූ ‘‘ගූගල්’’ යාහු අබිබවා පෙරමුණ ගැනීමය. එලෙසින් ගූගල් පෙරමුණට එද්දී, යාහු තම සෙවුම් ක්‍රියාවලියේ, සාක්ෂාත්කරණය උදෙසා ‘‘ගූගල්’’ වෙතින් සෙවුම් කිරීමේ තාක්ෂණයේ සහාය ලබා ගැනීමට පෙළැඹුණි. එහෙත් ඒ ක්‍රියාවලිය ගූගල් විසින් 2004 දී නවතා දැමීමට තීරණය කළේය.  


යංග් හට අලිබබා හමුවීම  


1997 දී ජෙරී යංග් චීනයේ සංචාරයක නිරතව සිටියේය. එය ඔහුගේ ප්‍රථම චීන සංචාරය වූවේය. එහිදී ‘‘අලිබබා’’ නිර්මාතෘ ‘‘ජැක්මා හමුවීමට යංග් හට ඉඩ කඩ ලැබිණි.  
ඔයා චීන මහා ප්‍රාකාරයට සංචාරයක නිරත වෙන්න’’ ජැක් මා යංග් හට යෝජනා කළේය.  


හැබැයි ‘‘ජැක්මා’’ එදා ඔහුට හමුවූයේ ‘‘අලිබබා’’ නිර්මාතෘ හැටියට නම් නොවේය. මක්නිසාද යත් ඒ වෙන විට ‘‘අලි බබා’’ නමින් සමාගමක් ස්ථාපිතව නොතිබිණි. ජැක්මා එවකට කටයුතු කරමින් සිටියේ රජයේ සේවයේ නියුතුව සිටි සංචාරක මගපෙන්වන්නෙකු සහ ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරයකු ලෙසය. එනයින් එද‌ා ‘‘යංග්’’ හට ජැක්මා හමුවූවේ සංචාරක මගපෙන්වන්නෙකු හැටියටය. ‘ජැක් මා’’ තමාගේ අනාගත ව්‍යාපාරය ගැනද එම සංචාරය අතරතුරේදී යංග් සමග විස්තර කර සිටියේය. ඒ අනුව ‘අලිබබා’’ ‘‘වෙබ් පිටුව’’ නිර්මානය කිරීමේදී ‘යංග්’ අලිබබා හට සේවා ලබා දීමටද සපත වූවේය. ‘ජැක්මා’ කෙතරම් ශූරයකුද යන් ඉන් මාස කීපයකට පසුව තමාගේ ‘අලිබබා’’ අන්තර්ජාල වෙළෙඳාම ආරම්භ කිරීමට සමත් වුණි. එතරම්ම ඉක්මනට මේ සංචාරක මගපෙන්වන්නා සහ ඉංග්‍රීසි ගුරුවරයා හට හැකි වූයේ එද‌ා ‘‘යාහු’’ සම නිර්මාතෘ ‘‘ජෙරි යංග්’’ අහඹු ලෙස හමුවීමේ ඵලයක් ලෙසින්ය.  


ජීවිතයේදී මෙලෙසින් අහම්බයෙන් ඔබට බොහෝ දෙනා හමුවිය හැකිය. එහිදී අනවශ්‍ය ‘වල් - පල්’ කතා නොකර මෙලෙසින් ‘‘අග්‍රඵලය’’ ලබා ගත හැකි දේ ඕනෑම මිනිසකු වෙතින් ග්‍රහණය කරගත හැකි වන වග තාරුණ්‍යයේ වෙසෙන පාඨක ඔබ සිහි තබා ගත යුතු දෙයක් වෙයි.  


2008 දී මයික්‍රෝසොෆ්ට් සමාගමෙන් බිලියන 20 ක ලංසුවක්  


යාහු සතු සෙවීම් පරිශීලනය කිරීමේ අංශය තමන් යටතට පවරන්නේ නම් ඩොලර් බිලියන 20 ක් පමණ ලබා දෙන බව ‘‘බිල් ගේට්’’ සතු ‘‘මයික්‍රෝසොෆ්ට්’’ සමාගම කියා සිටියේය. එය සක්‍රීය නොවුනද පසුව ‘‘මයික්‍රෝසොෆ්ට්ලා’’ ඔවුනගේ ‘‘Bing'' හරහා යාහු සෙවීම් කිරීමේ අවකාශය යාහු හට ලබා දුන්නේය.  


මෙවැනි අන්තර්ජාල සමාගම්වල දියුණුව සහ ක්‍රියාකාරිත්වය බොහෝ විට රඳ‌ාපවතින්නේ ප්‍රධාන විධායකගේ ක්‍රියාකාරිත්වය මතය ‘‘යාහු’’ පටන් ගත්ද‌ා සිට විවිධ අවස්ථාවලදී, මූල්‍ය අර්බුදවලට ලක් වුණි එමෙන්ම ප්‍රධාන විධායක තනතුර සඳහා විටින් විට චරිත කීපයක ද‌ායකත්වය ලබා ගත්තේය. එලෙසින් ඔවුනට විටින් විට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවුණි. අන්තර්ජාල ව්‍යවසායකත්ව සහ තාක්ෂණ ක්‍රියාවලියේ හැටි එහෙමය. යාහු කරළියට එන විට ඔවුන්ට ප්‍රතිවාදියකු සිටියේ නැතත්, අද ‘‘යාහු’’ කරළියෙන් ඈතට විසි වීමට තරම්, ප්‍ර්‍රතිවාදීන් පිරිසක්, එනම් අන්තර්ජාල වෙළෙන්දෝ පිරිසක් (සමාගම්) බිහිව තිබේ. ගූගල්, එහිදී ප්‍රමුඛත්වය ගෙන ඇත. මයික්‍රොසොෆ්ට් බින්ග්, සහ ඊට පසුව යාහු පත්වී ඇත. Baidu, yandex, Duck Duck go, ASK.Com, Ecosia, Aol.com, futernet Archive, එලෙසින් වත්මන් අන්තර්ජාල තාක්ෂණ ක්‍රියාවලියේදී වෙසෙසින්ම සෙවීම් කිරීමේ ක්‍රියාවලියේදී පෙරමුණේ සිටින නාමයන් වේ. එද‌ා මොනයම් හෝ විදියකට යාහු මිලියන කීපයක් දී ගූගල් (google) මිලට ගත්තේ නම්? මේ කතාව මීට වඩා වෙනස් වෙන්නට ඉඩ තිබිණි. නමුත් ‘‘යාහු’’ ලා නම් ඒ ගැන පසුතැවිලි නොවන්නේ. ඔවුන්ද අද ‘‘වෙරිසෝන් මීඩියා’’ ජාලය සතු සමාගමක් ලෙස පවතින නිසාය. ඉහත කී සියලු සමාගම් අබිබවා නුදුරේදී තවත් සමාගමක් කරළියට ඒමට පුළුවන. ඒ නිසා අන්තර්ජාල තාක්ෂණ ක්‍රියාවලියේදී සද‌ාකාලිකව චණ්ඩියකු වී කටයුතු කිරීමට කාටවත් නොහැකි බව සඳහන් කළ යුතුම දෙයකි.

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ