අධික ලෝභයට ලැබුණු මරණ දඬුවම


ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය  ඒ වෙනුවෙනි.  

 

ඔහඔය කේ.එච්.එම්. වීරසේකර මහතා ලියා එවූ කතාවක් මෙසේය.  


මධ්‍යම කඳුකරයට ආසන්නයේ පිහිටි එක්තරා වතුයායක මුරකරුවකු ලෙස සේවය කළේ ඒ අසල ගම්මානයක පදිංචි අන්ජාන් පුල්ලේය.  


අඳුරු පැහැගත් පිජාමා සරමක් කාකි රෙද්දෙන් මැසූ විශාල සාක්කු සහිත කබායක් මඳක් පෑදුන තට්ට හිස වසාගත් කළු පැහැති කැප් තොප්පියක් ඔහුගේ ඇඳුම් පැළඳුම් විය.  


උරහිස මත රඳවාගත් පතරොම් තුවක්කුවක් අනික් උරය මත එල්ලාගත් දෙපැත්ත කැපෙන දඩයම් පිහිය පතුරම් විදුලි පන්දම හා බුලත්විට අඩුම කුඩුම සහිත ගමන් මල්ලක් එල්ලාගෙන කඩියෙකු මෙන් කඩිසරව ගලින් ගලට පනිමින් යන අන්ජාන් පුල්ලේ ගම්වාසීන්ට හුරු පුරුදු පුද්ගලයෙකි.  


දිවා රාත්‍රී වෙනසක් නොමැතිව දඩයම් සොයමින් අක්කර හැට හැත්තෑවක් ඇති වත්ත පුරාත් රාජකාරී නොමැති අවස්ථාවල ගමේ බඩවැටි ලඳු කැලෑ දියමංකඩවල් අසලත් සැරි සැරීම අන්ජාන්පුල්ලේගේ දින චර්යාව බවත් ඔහු දඩයමක් නොලැබ හිස් අතින් පැමිණි දිනයක් දැක නොමැති බවත් අසල්වාසීහු පවසති.  


ගමේ මගුල් ගෙදරකට හෝ වෙනත් උත්සවයකට මස් අවශ්‍ය වුවහොත් එම මස් ඇණවුම හිමිවන්නේ අන්ජාන් පුල්ලේටය. නියමිත දිනයේ අවශ්‍ය වෙලාවට මස් ඇණවුම ඔහු ලබාදෙන්නේ ඌරන්, මුවන් ගෝණුන් වනාන්තරයේ ගස් බැ‌ඳ ඇති තැනකින් මරා කපා ගෙනවිත් දෙන ලෙස පහසුවෙනි.  


මස් ඇනවුමක් කිසිම දිනෙක අතපසු නොකල අන්ජාන් පුල්ලේ විශ්වාස සහගත දඩයක්කරුවකු වූ නිසා ගමේ නගරයේ මස් අවශ්‍යතා සපුරාලීම් හැර අන්ජාන් පුල්ලේට විවේකයක් ගන්නට ඉඩකඩ ලැබුණේ නැත.  
කාලයක් ගතවිය. වියපත් අන්ජාන් පුල්ලේ වත්තේ මුරකරු රැකියාවෙන් සමුගත්තද තම ජීවනෝපාය වෙනස් නොකළේ වතුයායේ පාලකයින්ද විරුද්ධත්වයක් නොපෙන්වූ බැවින් ඔහු දිගින් දිගටම තම ව්‍යාපාරයේම නිරතවිය.  


තම වෙඩි පහරට ලක්ව මියගොස් බිම ඇද වැටෙන සතා කෙතරම් විශාල වුවත් අතරැඳි දෙපැත්ත කැපෙන දඩයම් පිහිතලයෙන් කෙටි කාලයකින් ඔහු හමගසා හිස, කඳ ගාත් කපා මස් කැබලිකර අතේ බරට මස් කිලෝ වශයෙන් කුට්ටි කිරීමට අන්ජාන් පුල්ලේ දැක්වූයේ විශ්මිත හැකියාවක් බව සතෙකු මස් කරන අයුරු දුටු අයෙකු පවසා ඇත.  


සුපුරුදු ලෙසින් තුවක්කුව උරයේ රඳවාගෙන ගමේ බඩවැටි අතර දිනපතා සැරිසරන අන්ජාන් පුල්ලේ දින කීපයක් දක්නට නොලැබුණි.  


කෙදිනකට පසු ගම්මානය අසලින් ගලාබසින ඔය අසලට ගිය ගම්වැසියකු මිනිස් අතක් බෙදා ගැනීමට කබරයින් දෙදෙනකු පොර බදන අයුරු දැක ඇත. මේ පිළිබඳව ආරක්ෂක අංශවලට කළ දැනුම්දීම පරිදි ගම්වාසින් හා ආරක්ෂක අංශ කළ සොයා බැලීමේදී හිස කඳ දෙපා දෙඅත් කපා වෙන්කර තිබූ අන්ජාන් පුල්ලේගේ සිරුරේ කොටස් වන සතුන්ගේ ආහාරයට ලක්වෙමින් තිබියදී සොයාගන්නා ලදී.  


පසුව සිදුකළ පරීක්ෂණවලදී හෙළිදරව් වූයේ අන්ජාන් පුල්ලේ එක්තරා පිරිසක් සමග පැවති පෞද්ගලික ආරවුලක් නිසා දැඩි වර්ෂාව පැවති දිනයක දඩයමේ යමින් සිටියදී ඔහු පාලම උඩට ගෙන ගොස් පාලම උඩදී හිස අත් පා කඳ කැබලි කර කපා ඔයේ ගසාගෙන යාමට පාලමෙන් පහළට දැමූ බවකි.  


ගලායන ජලයට දැමූ නමුත් ශරීර කොටස් පාවී නොගොස් ඒ අසලම රැඳී තිබුණි. සිරුරු කොටස් එක් ස්ථානයකට එකතු කර තිබෙනු දුටු ගම්වාසීහු ප්‍රකාශ කළේ අන්ජාන් පුල්ලේගේ සිරුර සතෙකුගේ මෙන් කපා කොටා වෙන්කර කැබලි කර තිබූ බවයි.  

 


පානදුර කිරි බේරිය සෞම්‍යලතා දේවේන්ද්‍රගේ මහත්මිය ලියා එවු කතාවක් මෙසේය.   

 
වැඩි තණ්හාව නිසා අකල් මරණයට ගොදුරු විය 


ඔහු නමින් බුවනපාල යැයි අපි කියමු. ජීවිතයේ සැඳෑ සමය ගෙවන කාලයට ළං වී සිටියත් බුවනපාල ගමේ කවුරුත් පාහේ දන්නා හඳුනන කෙනෙක් වශයෙන් නම පටබැඳී තිබුණේ බ්‍රෝකර් පාල ලෙසිනි. ඔහු රැකියාව වශයෙන් පුරුදු පුහුණු වී තිබුණේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් බඩු මුට්ටු වැනි දෑ තමන්ටද මුදලක් තබා ගනිමින් සිතු ලෙසින් ගණන් නියම කර බ්‍රෝකර්පාල බ්‍රෝකර් සේවය හරියටම අකුරට කර දීමය. කිසිම විටෙක තමන් පොරොන්දුවෙන ගණනට වඩා වැඩියෙන් යමක් සොයා ගැනීම ද පුරුද්දක් කරගෙන තිබුණ අතර දිනක් උදෑසන බුදුන් දෙවියන් වැඳ නමස්කාර කර පියමං තැබුවේ අද මට හොඳ වැඩක් හමුවේවා ප්‍රාර්ථනා කරමිනි.  


තම බිරියගේ වියෝවෙන් පසු දරුවන්ගෙන්ද වෙන්ව තමන්ම උවමනා පරිදි හොඳ හෝටලයකින් කා බී රෑ ගොම්මන් වේලාවට නිවසට පියමං කරන බුවනපාලට හදිසියේම පසුදින නෝනා කෙනෙක් සුපිරි නිවසක් මිලට ගැනීමට සොයාගෙන පැමිණි අතර තමා ළඟ හොඳ නිවාසයක් තිබෙන බව ප්‍රකාශ කරමින් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කළ අතර බුවනපාල විසින් තමන්ට උවමනා බ්‍රෝකර් මුදලද ප්‍රකාශයට පත් කළේය. හැකි ඉක්මනින් ඉඩම් කරුවා විසින් ගැනුම්කර නෝනාට විශාල මුදලකට විකිණීමට උවමනා කටයුතු පිළිවෙල කර අවසන් වූ විට බුවනපාල නොහොත් බ්‍රෝකර්පාලට තවත් මුදලක් වැඩියෙන් ඉල්ලන්නට තණ්හාව ඇතිවිය. අපි සිතමු පොරෙන්දුව ලක් 3කි. වැඩිපුර තවත් ලක්ෂ 2කක් විය. ‘අනිවාර්යයෙන් මට ලක්ෂ පහක් දෙදෙනාගෙන්ම දිය යුතුයි තරයේ කියා සිටිය ද ගැනුම් කාරිය විසින් ප්‍රකාශ කළේ මම කිසිම පොරොන්දුවක් වුණේ නැහැ. මගේ සතුටින් යමක් ලබා දුන්නොත් හැර මම තමාට ලක්ෂ 2ක් දෙන්නේ නැහැ යන්නයි.  


මේ පිළිබඳව බුවනපාල දෙපිරිස සමග බහින් බස් වීමක් ඇතිකර ගත්තේය.  


මට පො​රොන්දු මුදලට වඩා මුදලක් දෙන්නේ නැත්නම් මම දන්නවා ඒවා ගන්න හැටි’ කියමින් හැමදාම උදේට බුදුන් වැඳ රාජකාරියට ගිය බුවනපාල දේවාලයකට ගොස් පොල් ගසා මම සේරම මුදල් මගේ කකුල් දෙක ළඟට ගෙන්නා ගන්නවා කියමින් උදම් අනමින් පොල් සෙල්ලම ඇරඹීය.  


දින හතක් පසුවන දවසේ ඉඩම් හිමියාගෙන් නිවස සහ ඉඩම ලබාගත් ගැණුන්කාරිය පවුලේ සියලුම දෙනා සමග නිවසේ පදිංචියට පැමිණියේ කළයුතු සියලු ආගමික වතාවත් සිදුකරමිනි.  


පොල් ගැසීමට දේවාලයට ගිය බුවනාපාලට මෙම සුබ ආරචිය කන වැටුණි. අත තිබූ පොල් ගෙඩිය ගසා දේවාලයෙන් පිට වී තිබුණේ සිත තුළ කැකාරුණ වෛර, ක්‍රෝධය, තණහාව සියල්ල එකට පොදි බැඳගෙනය.  
අඩි දහයක් පය ඔසවා ගැනීමට නොහැකිව පපුවේ අමාරුවක් සෑදුණ බුවනපාල හදිසියේම රෝහල් ගත කළ ද පසුවදා තම නිවසට පැමිණියේ තවත් මිනිසුන් හතර දෙනෙකුගේ උදම් උපකාරයෙනි.  


විකුණූ ඉඩම් හිමියා විසින් තමන් ලබා දෙන්න පොරොන්දු වූ මුදල බුවනපාල එදා එපා කියුවද ඔහුගේ අවසන් කටයුතු කරන්නට එම මුදල් බුවනපාලගේ පුතාට පිරිනැමුවේ මිනිසත්කමේ නාමයෙනි.  

 


රඹුක්කන, කුරුණෑගල ඩබ්ලිව්.එච්. ලකීෂ මල්ෂාණි වීරකෝන් මෙනෙවිය ලියා එවූ කතාවක් මෙසේය.  


බල්ලන්ට වසදී මැරූ පවට  මත්වතුර විස වී මියදුන පාපතරයා  


අපි මොහු නමින් සිරිපාල යනුවෙන් හඳුන්වමු. මොහු කුඩා කළ සිටම ‘මාර’ චරිතයකි. එයට හේතුව වී ඇත්තේ මොහු ගේ පියා වූ සේතුං ද ගමේ සිටි අහිංසක මිනිසුන් ට වද හිංසා කරන්නෙකු වීමයි. මොහු කුඩා කළ පියා වූ සේතං මොහු අතට මන්නයක් දී මම මරා දමන ලෙස නිතර අණ කරන බව ගම්මු කවුරුත් දන්නා කරුණකි. කාලයාගේ ඇවෑමෙන් මොහු උස් මහත් වී ගමටම වින කරන කොඩිවිනයක් බවට පත් විය.  


මොහු ගමේ සිටි අහිංසක මිනිසුන්ගේ හරක් කුකුළන් වැනි සතුන් ද වල් ඌරන් ඉත්තෑන් තලගොයින් වැනි සතුන් මරාගෙන කෑමට රුසි​ෙයකි. මොහු සිදු කළේ ප්‍රාණගාතය පමණක් නොව ගමේ දුප්පත් මිනිසුන්ගේ වතුවලට පැන හොරෙන් කෙසෙල් කැන් කැපීම එළවළු කැඩීම වටිනා බෝග වර්ග හොරකම් කර විකිණීම ද මොහු කළ තවත් එක් පාපයකි.  


මුළු දවස පුරාම කටගොන්නක් මත් වතුර බීගෙන අහිංසක මිනිසුන් තලා පෙලා කටයුතු කිරීමට ද ඔහු ප්‍රිය කළේය. දිනක් මොහු ගම් වැසියෙකු සමග ආරවුලක් ඇතිකරගෙන එම ආරවුල සංසිඳවාලීමට පැමිණි ඉතාමත් අහිංසක ගම් වැසියෙකුට පිහියෙන් ඇණ මරා දැමුවේ ගැහැනු දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක් අනාථ කරමිනි. මේ සිද්ධියෙන් පසුව මොහු ටික කලක් සිරගතව සිටි නමුත් නැවත ගමට පැමිණ හොර මැරකම් ආරම්භ කළේය. මොහු ගේ වද හිංසා ගම්මුන්ට පමණක් නොව මොහුගේ දරු පවුලටත් ඉවසිය නොහැකි විය. මොහු බිරිඳට සහ දරුවන්ට නොයෙක් හිංසා කළේය. එම නිසා මොහුගේ බිරිඳ දරුවන් ද රැගෙන මොහුගෙන් වෙන්ව ගියේය.  


නිවසේ තනි වූ මොහු රිසිසේ සතුන්ට උගුල් අටවමින් සොරකමේ යෙදෙමින් කාලය කා දැමුවේය. මොහුට රෑට රෑට වතුවලට පැන හොරකම් කිරීමට ගමේ සමහර නිවෙස්වල සිටි සුනඛයන් විශාල බාධාවක් විය. එම නිසා මොහු බත් වලට වස කලවම් කර ගමේ සිටි සියලුම සුනඛයන්ට ලබාදීම නිසා එම සුනඛයන් තැන් තැන්වල මැරී කුණු වී පණුවන් ගසා ප්‍රදේශයේම දැඩි දුර්ගන්ධයක් හමාගියේ මිනිස් සිත් කම්පා කරමිනි.  


ටික කලකට පසු එක් දිනක් මොහුගේ නිවස අසලින් විශාල දුර්ගන්දයක් ගම පුරා පැතිර ගියේය. ගම්මු සිතුවේ මොහු විසින් මදු අටවා මරා දැමූ සතුන්ගෙන් එම දුගද වහනය වන බවයි. එදිනම මොහුගේ සගයෙකු මොහු සොයා නිවසට පැමිණියේ මොහු පළිබඳව කිසිදු ආරංචියක් නොමැති හෙයිනි. මොහු සිරිපාලගේ නිවසට එබී බලන විට ඔහු හතරගාතෙන් වැටී මියගොස් පණුවන් ගසා ඇති බව දුටුවේය. මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ මොහු මිය ගොස් ඇත්තේ ශරීරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය අධික වී පිපාසයෙන් අනේක දුක් විඳ බවයි. මොහුගේ මෙම මරණය මුළු ගමේම පිළිකුලට ලක්වූ අතර ගම්මු හැමදෙනාම පාහේ පැවසුවේ ඔහුට මෙලොවදීම කළකම් ඵලදුන් බවයි.  

 


මෙබදු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න 

ඔබගේ නිර්මාණ එවිය යුතු ලිපිය  

‘‘මේ ජීවිතයේදීම කළ කම් පළදෙන හැටි’’ ඉරිදා ලංකාදීප කර්තෘ මණ්ඩලය නො. 8 හුණුපිටිය හරස් පාර කොළඹ 2  

 

 

 

 

 

සකස් කළේ  
ප්‍රසන්න සංජීව ​තෙන්නකෝන්