අද රන්ජන් වගේ එදා එදා හෙළිකළ දුරකථන සංවාද


ප්‍රේමදාස සහ සිරිමාවෝ මැතිනිය සමග කළ දුරකථන සංවාද ඒ ජේ එළියට දමයි

එදා සර්වපාක්ෂික සමුළුවට සහභාගී වූ ශ්‍රීලනිප නියෝජිත පිරිස : ස්ටැන්ලි තිලකරත්න, මංගල මුණසිංහ, බණ්ඩාරනායක මැතිනිය, මෛත්‍රීපාල සේනානායක හා අනුරුද්ධ රත්වත්ත  ඒ. ජේ. රණසිංහ සමග

 

ඒ.ජේ. - මැඩම්ගෙ නම ආව අද ජේ.ඕ.සී. එකේදි. මාත් යනවනෙ ඒකට. හැමදාම දෙනව රිපෝට් එකක්. ඊයේ රිපෝට් එකක් ආවා රූපවාහිනියට, ගුවන් විදුලියට, බැංකු වලට පහර දෙන්න යනවා කියලා.   
මැතිනිය -- කවුද ජේ.වී.පීය ද?   
ඒ.ජේ. - ඔව්. තව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටත් පහර දෙනවා කියලා ඒ වාර්තාවේ තියෙනවා.   
මැතිනිය - ආ.හා. ඇයි මට ලියුමකුත් ලැබුණ ඒකෙන්.   
ඒ.ජේ. - ඔව්. ඒ නිසා බොහොම පරිස්සමින් ඉන්න.

 

රන්ජන් රාමනායකගේ හඬපට සිද්ධිය අද මෙරට සමාජයේ කැලඹීමකට හේතු වී ඇත. වසර ගණනක් තිස්සේ ඔහු තමා යම් යම් අය සමග දුරකථනයෙන් කළ කතා බහ පටිගත කර ඇතැයි ද මේ වන විට එවැනි සංවාද ලක්ෂයකට වඩා පටිගත කර ඇතැයි ද වාර්තා පළ වෙයි. ඉකුත් වසර හතර හමාරක කාලය තුළ පැවැති රජය කළ කී රහසිගත කටයුතු මේ හඬපට නිසා නිරාවරණය වී තිබේ.   
 
අධිකරණ ක්ෂේත්‍රයේ මෙන්ම රහස් පොලිසියේද සමහර ප්‍රධානීන් උසස් වීම් ලබා ගැනීම සඳහා දණින් වැටෙන අයුරු මෙම හඬ පටවලින් දැක ගත හැකිය.   
රන්ජන්ගේ හඬ පට සිද්ධිය ශ්‍රී ලංකාවේ දුරකථන කතා බහ පටිගත කර එළියට දැමූ පළමු සිද්ධිය නොවේ.   
 
මෙයට පෙර ද එවැනි සිදුවීමක් එළියට ආවේ ඒ.ජේ.ගේ. රහස් පෙට්ටගම නමිනි. ප්‍රේමදාස රජයේ ප්‍රවෘත්ති රාජ්‍ය ඇමැතිවරයා වූ ඒ.ජේ. රණසිංහ මහතා තමා සතුව තිබූ බලවතුන්ගේ දුරකථන සංවාද ඇතුළත් හඬ පට විශාල ප්‍රමාණයක් එළියට දැම්මේ ඉරිදා ලංකාදීප පුවත්පත මගිනි. ඒ.ජේ. පටිගත කර තිබූ හඬ පට ගබඩා කර තිබුණේ කැසට් පට වලය. ඒවා අසා පුවත් පතට ලියුවේ මෙම ලේඛකයාය. එම සිද්ධිය ද මෙවර තරම් තදබල ලෙස සමාජය කැලඹීමකට හේතු නොවුවත් මේ කියන කාලය වූ 1996 අග භාගයේ සමාජය පළමු වරට ජනපති ප්‍රේමදාස තම ඇමැතිවරයෙකු සමග දුරකථනයෙන් කළ සංවාදවල ඇතුළත් වූ දේ කියවීමට ලැබීමෙන් ජනතාව පුදුමයට පත්ව සිටියහ.   
ඒ.ජේ. රණසිංහ, ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ ප්‍රවෘත්ති රාජ්‍ය ඇමැතිධුරය දැරුවේය. ඒ මහතා එකළ ප්‍රකටව සිටියේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමීපතම සගයකු හැටියටය. ඒ.ජේ. යන කෙටි නමින් දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රචලිත වූ ඔහු ප්‍රේමදාස රජයේ කටයුතු සම්බන්ධයෙන් ජන මාධ්‍ය සමග වැඩිපුරම ගනු දෙනු කළ දේශපාලකයාය. රණසිංහ මහතා ප්‍රකටව සිටියේ ප්‍රේමදාසගේ හඬ ලෙසය.   
 
එ්.ජේ. රණසිංහ මහතා 1994 ජනපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග වැදුණේය.   
 
තමා ළඟ හිටපු ජනපතිගේත් ලොකු ලොක්කන්ගේත් සංවාද ඇතුළත් රහස් පෙට්ටගමක් ඇතැයි ඒ මහතා 1994 ජනපතිවරණ ප්‍රචාරක සමයේදී දිගින් දිගටම කියා සිටියේය. මෙම රහස් පෙට්ටගම ගැන කියා සිටියත් එහි ඇත්තේ කුමනාකාරයේ රහස් දැයි රණසිංහ මහතා කීවේ නැත.   
 
ඒ මහතා ජනාධිපතිවරණයට තරග කළේ බලහත්කාරයෙන් මෙන් එජාප ජනපතිවරණ අපේක්ෂකත්වය ගත් හිටපු ඇමැති ගාමිණී දිසානායක මහතාට එරෙහිවය.   
එජාප අපේක්ෂකයාට එරෙහිව ස්වාධීනව තරග වැදුණු රණසිංහ මහතාගේ කතා වලින් වැඩිපුරම රිදුණේ එජාපයටය. වැඩිපුරම වාසි වූයේ පසමිතුරා වූ චන්ද්‍රිකා කුමාරතුංග රජයටය. කෙසේ හෝ රහස් පෙට්ටගම ගැන කතා බහට සීමා වුවත් එහි ඇති රහස් කුමක් දැයි 1996 වනතුරුම එළියට ආවේ නැත. 1996 වසරේ අග භාගයේ දිනක ප්‍රධාන කර්තෘතුමා මෙම ලේඛකයා අමතා කීවේ ඒ.ජේ. රණසිංහ මහතා පෙට්ටගමේ රහස් හෙළිදරව් කිරීමට කැමැත්ත පළ කළ බවය. ඒ නිසා හිටපු ඇමැතිවරයා හමු වී පෙට්ටගමේ ඇති රහස් ලබා ගන්නැයි ප්‍රධාන කර්තෘතුමා උපදෙස් දුන්නේය. ඒ වන විට ඒ.ජේ. රණසිංහ මහතාගේ ලිපි ගණනාවක්ම පුවත් පතට ලියා තිබීම හේතුවෙන් සමීප හිතවත් කමක් මෙම ලේඛකයා හා ඒ මහතා අතර පැවැත්විණි. කර්තෘතුමා කී ලෙසම ඒ.ජේ. රණසිංහ හිටපු ඇමැතිවරයා තම රහස් පෙට්ටගම විවෘත කිරීමට කැමැත්ත පළ කළේය. “මේකෙ තියෙන්නේ බොහෝම රහස් දේවල් ඉරිදා ලංකාදීපෙටයි, සන්ඩේ ටයිම්ස් එකටයි විතරයි මම මේ රහස් ටික දෙන්නේ.” එසේ කී හිටපු ඇමැති රණසිංහ මහතා තම ලියන මේසය විවෘත කර කැසට් පටයක් එළියට ගත්තේය.   
 
එහි තවත් කැසට් පට දුසිමක් පමණ තිබුණි.   
 
“එහෙනම් අපි මේක අහල බලමු.” එසේ කී හිටපු ඇමැතිවරයා කැසට් පටය ගෙන කැසට් යන්ත්‍රයට ඔබා මේසයට ඇඟිල්ලකින් සෙමින් තට්ටු කළේ සුපුරුදු මඳ සිනහවෙන් මුහුණ සරසා ගෙනය.   
 
කැසට් පටය කරකැවී යන්ත්‍රයෙන් පළමු හඬ ලෙස පිටවූයේ හිටපු ජනාධිපති ​අභාවප්‍රාප්ත ප්‍රේමදාස මහතාගේ හඬය.   
 
​ප්‍රේමදාස - අද අර වැඩේ බලන්න.  
ඒ.ජේ. - එහෙමයි මේ දැන් යනවා.   
ප්‍රේමදාස - අර ගුර්ජිත් ආවෙනෑ ඊට පස්සේ.   
එ්.ජේ. - ගුර්ජිත් ආවේ දෙක හමාරට.   
ප්‍රේමදාස - ආ ඒක මට කීවනේ විස්තරේ.   
 
මෙහි ගුර්ජිත් යනුවෙන් හැඳින්වූයේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයේ එවකට සිටි පළමුවැනි ලේකම්වරයාය. කැසට් යන්ත්‍රය නැවැත්වූ හිටපු අැමැතිවරයා ඇහුණ නේද කතාව යැයි විමසීය.   
 
ඒ.ජේ. ගේ රහස් පෙට්ටගම රටට හෙළිදරව් කළේ එහෙමය. තමා සමග ජනාධිපති ප්‍රේමදාස සහ එවකට රජයේ ඉහළ පෙළේ පුද්ගලයන් දුරකථනයෙන් කළ සංවාද රණසිංහ මහතා සූක්ෂම ලෙස පිටපත් කරගෙන තිබිණි. ඔහු ළඟ එවැනි සංවාද අඩංගු කැසට් පට දුසිමක් පමණ තිබිණි.   
 
අද මෙන් නවීන තාක්ෂණය නොතිබූ එකල පටිගත කරගත් හඬ පට තිබුණේ කැසට් පටවලය. අද මෙන් නවීන මාධ්‍ය ජාලා නොතිබූ එකල අන්තර් ජාල පහසුකම් ද නොවූයෙන් හඬ පටය කැසට් යන්ත්‍රයෙන් අසා පුවත් පතේ ලිපි ලෙස පළ කිරීමේ අවස්ථාව අපට ලැබිණි. එවකට විපක්ෂ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමග ඒ. ජේ. කළ කතා බහ ජනාධිපති ප්‍රේමදාස සමග ජනාධිපතිවරයාගේ පවුලේ අය සමග ආදී ලෙස කතා කළ හඬ පට ගණනාවක් ශ්‍රවණය කර පුවත්පතට ලිවීමට මෙම ලේඛකයාට හැකි විය.   
​දේශපාලනයේදී දෙපිල බෙදී විරසකව කටයුතු කරන දේශපාලකයන් පෞද්ගලික ජීවිතයේදී ඉතා සුහදශීලීව කතා බහ, කරන ආකාරයත්, ජනාධිපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය ප්‍රධානීන් පෞද්ගලික ජීවිතයේදී කතා කරන ආකාරයත් ජනතාවට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ නැත. ඒ.ජේ. ගේ රහස් පෙට්ටගම ලෙස රහසේ පටිගත කර ගෙන තිබූ එම හඬ පට හේතුවෙන් දේශපාලන ලෝකයේ සිදු වන තිරය පිටුපස කතාන්දර ජනතාවට දැන ගැනීමට ලැබිණි. එමගින් එදා දේශපාලන ක්ෂේත්‍රය ද හෙල්ලුම් කෑවේය. බොහෝ දේශපාලකයන්ට වුවමනා වූයේ මෙම රහස් පෙට්ටගම හෙළිදරව් වීම නතර කර දමන්නටය. එහෙත් සති ගණනාවක් යන තුරු එම හඬ පට ඇතුළත් ලිපි පුවත් පතේ පළ කිරීමට හැකි වූයෙන් දේශපාලන ලෝකයේ කෙරුවාව ජනතාවට විවර විය.   
 
අද එහි වඩාත් නවීන සංස්කරණයක් රන්ජන්ගේ හඬ පට ආශ්‍රයෙන් පැමිණ ඇතත් දෙවරම සිදු වූයේ රාජ්‍යයේ ඉහළම ස්ථරවල කතා බහ ජනතාවට නිරාවරණය වීමය.   
එදා පළවූ එ්.ජේ. ගේ රහස් පෙට්ටගමේ කොටස් කිහිපයක් මෙසේ යළි පළ වේ. එදා භීෂණය සමයේ එයට මුහුණ දීමට ශ්‍රීලනිපයට කළ ආරාධනා, එවකට විපක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය ජනපති ප්‍රේමදාස හමුවීමට පැමිණීම හා ඒ ආශ්‍රිත කතා බහ මෙම සංවාදයට අයත්ය.   
මෙම සංවාද සඳහා පසුබිම් වූයේ 1989 වසරයි. එවකට ජවිපෙ සහ කොටි ප්‍රචණ්ඩ ක්‍රියා රට පුරා උත්සන්නව පැවතිණි. මේ තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා කළ හැකිව තිබූ කාර්යයක් වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ ජනාධිපති ප්‍රේමදාස එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමය. මේ සඳහා ඒ.ජේ. රණසිංහ ඇමතිවරයා දැඩි වෙහෙසක් ගත් අතර ආණ්ඩුව පිහිටුවීමට සියල්ල සූදානම්ව පැවතිණ. එහෙත් අවසානයේ ජනාධිපති ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්දිරයේදී කළ කතාවකින් සියල්ල ශෝක ජනක ලෙස කෙළවරවිය. එම කාලයේ කෙරුණු රහස් කතා බහ අඩංගු ටේප් පටියෙන් උපුටා ගත් කොටස් මෙහි පළවේ.   
 
ජනාධිපති ප්‍රේමදාස සහ 
ඒ.ජේ. රණසිංහ   
ඒ.ජේ. - අර ලියමන හම්බවුණාද?   
ප්‍රේමදාස - හම්බ වුණා. ඒ සහනය මිනිසුන්ට ලබා දීලා ගෙදර ගියොත් ඇති. එච්චරයි මට ඕනෑ.   
ඒ.ජේ. - ඒක බොහොම හොඳ චේතනාවක් සර්.   
ප්‍රේමදාස - ඒක හින්දා ඒක අරයට කියන්න. ඒ චේතනාව තමයි මේ කරන්ට් එකෙන් වැඩ කරන්නෙ කියලා කියන්න.   
ඒ.ජේ. - එහෙමයි.   
ප්‍රේමදාස - දැං එයාට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා නං වෙන විශ්වාසයක් නෙමෙයි ඒකයි.   
ඒ.ජේ. - එහෙමයි, එහෙමයි. හරියටම විශ්වාස කරනවා එයා.   
​ප්‍රේමදාස - ඒක තමයි ඒක කියන්න එයාට. වෙන කට්ටකමක් නෙවෙයි. මගේ හිතේ තියෙනවා ඒක. ඕනෑ මිතුරෙක් මං අත් අරින්න කැමැතියි කියන්ඩ. ඕනෑ හතුරෙක් මිතුරු කර ගන්ඩ කැමතියි කියන්ඩ. ඒක කියන්ඩ එයාට. (සිනාසෙයි.)   
ඒ.ජේ. - සර් මගෙ අදහසක් පහළ වුණා. නිකං අපේ නෝනත් කීවා. සර් අර ඕක්ලන්ඩ් හවුස් තියෙන්නේ ඕකට කතා කරන්න එයාට ඩිනර් එකකට.   
ප්‍රේමදාස - අ............හ්හ්......හහ්.... ඒ වුණාට හදල ඉවර නෑනේ. ඒක මං කතා කරන්නං. ඒ වුණාට ඔය ඩිනර් වලින් කරනවට වඩා ඉතිරි කරන්ඩ පුළුවන් මැජික් තියෙනවා. හහ්.......හහ්.   
ඒ.ජේ. - ආ..... දැං එයා හරිම සන්තෝසෙයි. මං කියනවා ඊයේ.   
ප්‍රේමදාස - මං කියන්නේ අපේ හිත හොඳ නං අනිත් අයගේ හිත නරක් වෙන්ඩ බෑනෙ.   
ඒ.ජේ. - එහෙමයි.   
ප්‍රේමදාස - තමන් පැළ කරන බීජය අනුව තමයි පලදාව ලැබෙන්නේ. මේ මිනිස්සු පුස් බීජ පැළ කරලා ඵල බලාපොරොත්තු වීම් හරි නෑනෙ.   
ඒ.ජේ. - මං කීව මැඩම් තව ටිකක් හිතලා බලන්න කියලා. මට කීව මං හිතන් හිටියෙ ප්‍රේමදාස හරි කට්ට මනුස්සයෙක් කියලා. මං කීව කට්ට කමක් නෑ අවංක කමක් තියෙන්නෙ කියලා. මැඩම්ට මං කියන්නෙ නෑ එයාගෙ හොඳ නරක. මැඩම් කතා කරලා එයාගෙ හොඳ නරක බලාගන්න කියලා මං කීව. මැඩම් පොඩි කෙනෙක් නොවේ අවුරුදු හැත්තෑවක කෙනෙක්නේ. කියලා කීව. නෑ නෑ මට පේනවා එයා හොඳ කෙනෙක් කියලා මැඩම් කීව. ඉතිං මං කීව සර් එච්චරයි කේලම් අහන්න නම් එපා කියලා.   
ප්‍රේමදාස - මං කීව බණ්ඩාරනායක මං අඳුන ගත්තේ එයාට හම්බ වෙන්නත් ඉස්සර කියලා. හහ්. හහ්.   
ඒ.ජේ. - එයා එකඟයි ඒවට. නැතිනං මට කතා කරන්න කියන්නේ නෑනෙ.   
ප්‍රේමදාස - ඉතිං හමුදාව ගැන කියලා මං ඉන්දියාවට දුන්න දෙකක් තුනක් බඩ පුරාම. දීලා මං කීවා මේක මගේ අදහස විතරක් නෙවේය. මිසිස් බණ්ඩාරනායකගේත් අදහස කියලා ඒක මං කීව. ගිවිසුම අත්සන් කරපු දවස් වල පිලික්ස් ඩයස් සමරු දේශනයේදි එයා කතාවක් කරලා තියෙනවා. ඒකෙ තියෙනවා එයා මහ බලවතුන් අපේ රටවල් අත් ඇරලා ගියේ මේ කලාපයේ ඉන්න බලවතුන්ට අපේ රටවල් යටත් කර ගන්ඩ නොවේ කියලා. හහ්. හහ්. මං ඒක ඊයේ මතු කරලා පෙන්නුව. පෙන්නල කීව මොනවද මේ දැං කියන්නේ කියලා. හහ්.හහ්. හහ්.හහ්. ඒ කතාව කියවලා බලන්න. අද මං දැක්ක ඩේලි නිව්ස් පත්තරේ කතාව දාලා තියෙනවා.  
ප්‍රේමදාස - හලෝ රණසිංහ.... මැතිනියට කියන්ඩ හොඳ කවියක් මං දෙන්නන් රණසිංහට මම ගබෝ සිං​ඤො මුදලාලිගේ මුනුපුරා ඒ.ඒ. ප්‍රේමචන්ද්‍ර පෙරේරා බැඳපු වෙලාව මම කීව කවි දෙකක්. එයා අපේ යාළුවෙක් ඒ කවි දෙක මං කියන්නං ඒක කවියත් තමයි. ඉන්නකෝ මං බලල කියන්නං ඔහොම ඉන්න.   
රන් රස පරෙවි ජෝඩුව තේ කොළ සීනි  
හාවයි සඳයි සුවඳයි කුසුමයි රමණී   
මේ කිරි පිඟානයි පැණි හැළියයි ලෙසිනි   
මේ යුවල දිනේ සමගිව නොකැඩෙන පෙමිනි   
ඒ එකක් මේ අනික. ඒක මට යාන්තං මතක.  
මනාලියකගේ සුසිනිඳු ඔසරි කොන   
යම් කිසි තරුණයකුගේ ඇඟ ගැටෙන දින   
මිනිහා වෙනස් වෙයි යන ඒ පරම දන   
හැකි නම් මිතුර ඔබවත් බොරු කරනු මැන   
කාටද කීවෙ ඕක. ප්‍රේමචන්ද්‍ර පෙරේරා බඳින වෙලාවෙ කීවෙ.   
අර මං පරෙව් ජෝඩුවක් කියලා නෑ කුරුලු ජෝඩුවක් කියලා කීවෙ. එයාට කියන්න ඒක හරි නෑ හරියට මම තැඹිලි ගෙඩියක් ළඟ ඉන්න කපුටෙක් වගේ කියලා. හහ්... හ්... එයාට හරියට ඉහළ යයි. මොකද එයානෙ තැඹිලි ගෙඩිය මම කපුට.   
හහ්.හහ්.හහ්.හහ්.   
අපි පහත් වෙලා ගිහිං එයා උස්සලා තියමු. එයාලා වලව්වල අයනේ. එයාලට ලොකුකම දෙන්න ඕනෑ. ඇති වැඩක් නෑ. ඉතිං හහ්. අර ඒ ගොල්ල අඳින ඇඳුම වගේම තමයි. හහ්.හහ්.හහ්.   
(දෙදෙනාම සිනාසෙයි.)   
අපිට තියෙන්නේ අපේ වැඩේ කර ගන්න එකනෙ. මං එහෙම කීවා. එතකොට රණසිංහ අර උපමාව හරි නෑ කියලා මං කීව විදිහට කියන්න. හරි උපමාව නම් තැඹිලි ගෙඩියක් උඩ ඉන්න කපුටෙක් වගේ කියලා කියන්න. කපුටා මම ඒ ගොල්ල තැඹිලි ගෙඩියනෙ.   
ඒ.ජේ. - හරි හරි. සර් මං කියන්නං.  
සංවාදය බණ්ඩාරනායක මැතිනිය සහ ඒ.ජේ. රණසිංහ
ඒ.ජේ. - සුබ උදෑසනක් මැඩම්.   
මැතිනිය - මෝනිං අර මිනිහ හම්බ වෙලාද?   
ඒ.ජේ. - කව්ද?   
මැතිනිය - වැලිවිට.   
ඒ.ජේ. - නෑනේ. ජේ.ඕ.සී. එකෙත් බැලුවා.   
මැතිනිය - අයියො. මරල ඇති එහෙනං. මරල පුච්චලා දානවනෙ. මිනිය පුච්චලා දාපුවම හොයන්නේ කොහොමද? පව්. ඔය පාර අයිනෙ පුච්චන්නේ ඒවනේන්නං.   
ඒ.ජේ. - ඒ මිනිහ මරන්න තරම් කෙනෙකුත් නොවෙයිලු. එයාට පොඩි ප්‍රශ්න වගයක් තිබ්බ කියලා මට ආරංචි වුණා. මං ජෙනරාල් ආටිගලටත් කීවා.​ ජේ.ඕ.සී. එකටත් කීවා. එස්.ටී.එෆ්. එකටත් කීවා. එස්.ටී.එෆ්. ලොක්කා කරුණාසේනටත් කීවා. ඒ ගොල්ල කියනවා ගෙනාවෙ නැතිලු. එතකොට මැඩම් අර ලියුම එවන්න මං ඒක පත්තරේ දාන්න.   
මැතිනිය - ආ මං බැලුව. එයා භාවනා කරනවා. ඒක ඉවර වෙලා එයි.   
ඒ.ජේ. - එතකොට මැඩම් මං දැක්ක ඊයේ පත්තරේ. මං කීව ජනාධිපතිතුමාට දෙන්නා කුරුලු ​ජෝඩුව වගේ ඉන්නව කියලා.   
මැතිනිය -- හහ්.හහ්.හහ්.   
ඒ.ජේ. - එතකොට කියනවා එයා. රණසිංහ එහෙම නෙවෙයි. තැඹිලි ගෙඩියට වහපු කාක්කා වගේ කියලා. එයා කාක්කා හහ්.හහ්.   
මැතිනිය - (සිනාසෙයි)   
එතකොට මම තැඹිලි. එයා මට හොඳට කතා කළා. අගමැතිතුමා ගැනත් කීවා.   
ඒ.ජේ. - බොහොම හොඳයි. මැඩම් එයා හොඳට කතා කරනවා. බ්‍රෝකර්ලා ඕනෙ නෑ. කෙළින්ම කතා කරන්න මං නං හරි සතුටුයි. මේක අපේ රටනෙ. රට බේරගන්න ඕනෑ.   
මැතිනිය - දැං අරුංගෙන් තාම උත්තරයක් නැද්ද? ජේ.වී.පී. කාරයන්ගෙන්.   
ඒ.ජේ. - තාම නෑ. අපි උත්සාහ කරනවා. මාත් පොඩි උත්සාහයක් දැම්මා.   
මැතිනිය - දාල බලන්න. දැං බලන්න එල්.ටී.ටී.ඊ. එක අැරියුම පිළි අරගෙන ආවෙ සාකච්ඡාවට. ඇයි මුංට බැරි.   
ඒ.ජේ. - ඒක තමයි මැඩම් මේ ගොල්ලන් කොහොම හරි එන්න එපායැ.   
මැතිනිය - ඒක තමයි මේ ගොල්ල කියන්නේ ඉන්දියන් හමුදාව ඉන්න හින්දා එයාලා මෙහෙ සටන ගෙනියන්නේ කියලා. ඉතිං එයාල යවන්න නං මෙයාලා යාපනයට ගිහිං සටන් කරන්න එපායැ. දෙයියනේ. ප්‍රභාකරන් දාස් ගණන් මිනිස්සු මැරුවා. මෙයාලා මෙහාට වෙලා සිංහල කොල්ලො මර මරා කියනවා ඉන්දියන් හමුදාව අරින්නලු. මොකක්ද මේකෙ තේරුම.   
ඒ.ජේ. - ඒක තමයි පිස්සු කතාවක්නේ.   
මැතිනිය - එයාලා සටන් කරනවලු. ඉන්දියන් හමුදාව ඉන්න හින්දා ඉතිං එයාලා එහාට ගිහිං එල්.ටී.ටී.ඊ. කාරයොත් එක්ක අත් වැල් බැඳ ගෙන සටන ගෙනිච්ච ඉන්දියන් කාරයො එළවන්න තිබුණනෙ. මෙහ සිංහල මිනිස්සු මරන්නේ නැතිව. මට මේක තේරෙන්නේ නෑ.   
ඒ.ජේ. - මාත් උත්සාහ කරනවා ගිය පාර ලංගම ස්ට්‍රයික් එක බේරුව වගේ තාම නායකයෙක් හම්බ වෙන්න බැරි වුණා.   
මැතිනිය - අන්ඩ ග්‍රවුන්ඩ් යන්න ඇති.   
ඒ.ජේ. - නමුත් උන් එන්න ඕනෑ. මෙහෙම බැරි වුණොත් ඔක්කොම පක්ෂ එක් වෙලා හොඳ උත්තරයක් දෙන්න ඕනෑ හොඳේ මැඩම්.   
මැතිනිය - ඔව්. ඒක තමයි. ජේ.වී.පී. එක මරන එක නවත්වන්නනේ අපි හදන්නේ කොල්ලො ටික නේද?   
ඒ.ජේ. - ඒක නේන්නං මැඩම්.   
මැතිනිය - ඉතිං අපිට දුක ඒකනෙ. එහෙ මරන්නෙත් අපේ සිංහල කොල්ලො. මෙහ මරන්නෙත් අපේ සිංහල කොල්ලො.   
ඒ.ජේ. - අනික අපේ ආමි එකෙන් මැරුවත් සිංහල කොල්ලොනෙ මැරෙන්නේ.   
මැතිනිය - ඒක තමයි මෙහෙම ගියොත් අපේ සිංහල කෙල්ලන්ට බඳින්න එකෙක් වත් නැතිව යයි.   
ඒ.ජේ. - හරියටම හරි. මාත් ඒක කියනවා. (සිනාසෙයි.)   
මැතිනිය - මං හමීඩ්ට කීවා. ඔය ගොල්ලන්ගෙ වගේ අපිටත් නීතිය පිළිගන්න වෙයි. එකාට තුන් දෙනා තියා ගන්න කියලා මිනිහ හිනා වෙනවා.   
ඒ.ජේ. - හරියට හරි මැඩම්. හරියට හරි.   
මැතිනිය - මේක පුදුම වැඩක්නේ. මොනව හරි කරන්න ඕනැ.   
ඒ.ජේ. - ඒක තමයි මැඩම් ජනාධිපති කියන්නේ. ඇක්ලන්ඩ් මන්දිරය අලුත්වැඩියා කරන්නෙත් ඒකට තමයි. වෙලාවක එන්න මැඩම් පවුලෙ කට්ටියත් එක්ක ඩිනර් එකකට.   
මැතිනිය - අපෝ මේ වෙලාවෙ බෑ. මේ වෙලාවෙ බෑ. ඔව් බලන්න යන්න ඕන. මම තමයි ආණ්ඩුවට ගත්තේ නොබැඳි සමුළුවට ආ අයගෙ නෝනලට ඉන්නයි ඕක ගත්තේ. හරි ෂෝක් බඩු ටිකක් තියෙනවා. ඕකෙ කාමර 13 ක් ද කොහෙද තියනවා කීව. පුටු එහෙම ගොඩක් තිබුණා.   
ඒ.ජේ. - හොඳ කතාවක් කියලා තියෙනවා මැඩම්. ජනාධිපතිතුමා මැඩම් හමු වෙන්න ඉස්සරලයි අගමැතිතුමා හඳුනා ගත්තේ කියලා.   
මැතිනිය - ඔව්. පාර්ලිමේන්තුවේදිත් කියලා තිබුණා.   
ඒ.ජේ. - මං කීව මැඩම් හොඳ කතාවක්. වේයන්ගොඩ සිරි සංඝබෝධි විද්‍යාලයේ 56 කොහෙද? මං ගියා ඔබතුමියගෙ අගමැතිතුමා හිටිය රැස්වීමකට. විශාල සෙනඟක් හිටිය. මං කතා කරලා කීවා අගමැතිතුමනි, ඔබතුමාට මේ වාසනාව පෑදුණේ රත්නපුරේ මැණිකක් ගත්ත නිසාය කියලා ඔබතුමියට මතකද?   
මැතිනිය - ඔව් ඔව්.   
ඒ.ජේ. - මං කීවා අගමැතිතුමනි, ඔබතුමාට කලින් මෙතුමිය ගවුම අඳින කාලේ සිටම මං දන්නවා කියලා. එතකොට අගමැතිතුමා කීවා මම දන්නවනං රණසිංහ දන්නවා කියලා. මං එයාව බඳින්නේ නෑ. කියලා මතක ද මැඩම්.   
මැතිනිය - ඔව්. ඔව්. (සිනාසෙයි)   
ඒ.ජේ. - ජනාධිපතිට ඕක කීවා මං. හිනාවුණා. මං දන්නේ නෑනේ රණසිංහ මේ ලේඩි මෙච්චර මේ රටට ආද​ෙරයි කියලා. අපිට ඕනෑ. මේ රට බේරගන්නෙ. මං ඉස්සර මැතිනිය ගැන දන්නේ නෑනෙ. දැන්නං කවුරු මොනව කීවත් මට ඕන සාමය කියලා කීවා. මං කීවා මැතිනියටත් දැං තේරිලා ඇති කියලා. හොඳයි මැඩම් මං නවතින්නම් මැඩම්.   
සංවාදය මැතිනිය සහ ඒ.ජේ. රණසිංහ 
ඒ.ජේ. - මැඩම්ගෙ නම ආව අද ජේ.ඕ.සී. එකේදි. මාත් යනවනෙ ඒකට. හැමදාම දෙනව රිපෝට් එකක්. ඊයේ රිපෝට් එකක් ආවා රූපවාහිනියට, ගුවන් විදුලියට, බැංකු වලට පහර දෙන්න යනවා කියලා.   
මැතිනිය - කවුද ජේ.වී.පීය ද?   
ඒ.ජේ. - ඔව්. තව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටත් පහර දෙනවා කියලා ඒ වාර්තාවේ තියෙනවා.   
මැතිනිය - ආ.හා. ඇයි මට ලියුමකුත් ලැබුණ ඒකෙන්.   
ඒ.ජේ. - ඔව්. ඒ නිසා බොහොම පරිස්සමින් ඉන්න.   
මැතිනිය - ඔය මට ආවේ දෙවැනි ලියමන. කලින් එකේ අනුරටත් මටත් තර්ජනය කරලා තිබුණා. ඉන්දියන් හමුදාව යවන්න කියලා අපි ඩබල් ගේම් එකක්ලු දෙන්නේ. දවල් මිගෙල් රෑ දනියෙල් කියලා තවත් මොනවද ලියලා තිබුණා. ඊයේ අපේ සාකච්ඡාවක් තිබුණා. එතකොට බයිසිකලේක ඇවිත් ලියුමක් අත අැරලා ගියාලු. ඒකෙත් මට තර්ජනය කරලා ඊ.පී.ආර්.එල්.එෆ්. එකයි. ඇමරිකාවයි. එක්ක කතාවට යනවා කියලා. ඉන්දියාවට පක්ෂයි කියලා මට තර්ජනය කරලා. මේ අර මිනිහ ඉන්නවද රූපවාහිනියෙ එක්කෙනා.   
ඒ.ජේ. - ඉන්නවා ඉන්නවා එයා ආමි එකේ.   
මැතිනිය - ආ එහෙනං ආමි එකෙන් ද අරං තියෙන්නේ.   
ඒ.ජේ. - ඔව්. එයාගේ තාත්තත් මාව හම්බ වෙන්න ආව. මම කීවා මොකවත්   
කරන්න එපා කියලා. හමුදාපතිටම කීවා. අතුරුගිරියෙ කෑම්ප් එකේ ඉන්නේ.   
මැතිනිය - ආමි එක මොකටද රූපවාහිනියෙ අය අරගෙන යන්නේ. එයාල මිනිස්සු බය කරවනවනෙ. දෙපැත්තෙන්ම තර්ජන... ජනාධිපතිට කියන්න රූපවාහිනියෙ අය බොහොම තර්ජන මැද්දේ මේ කරන්නේ. මෙහෙම අත්අඩංගුවට ගන්න එපා කියලා. තරහකාරයෙක් ලියුමක් එව්ව පලියට අත්අඩංගුවට ගන්නවා.   
යූ.ඇන්.පී. කාරයො අපිට විරුද්ධව එවනවා. අපේ අය ඔයාලට විරුද්ධව එවනවා. ජේ.වී.පී. අයත් තරහකාරයන්ගේ ලිස්ට් එවනවා. මේක නවත්වන්න කියන්න.   
ඒ.ජේ. - මැඩම් ඒක තමයි මේ ඊයේ හම්බවුණා ද ප්‍රසිඩන්ට්ව.   
මැතිනිය - ආ මම හම්බ වුණා. ටිකක් සතුටුදායකයි.   
ඒ.ජේ. - ආ හොඳයි. මං ඊයේ හැන්ඳෑවේ කීවා නිවේදනයක් නිකුත් කළත් මැඩම් ගෙන් අහල තමයි කරන්නේ කීවා. මං කීවා කේලම් වලට අහුවෙන්න එපා කියලා. විශේෂයෙන්ම යූ.ඇන්.පී. කාරයොයි. සම සමාජ කාරයොයි. කොමියුනිස්ට් කාරයොයි. හදන්නෙ මේක කඩාකප්පල් කරලා දාන්න. අපි එක්කහු වුණොත් උන්ට පාඩුනෙ.   
 
 
(ඒ.ජේ. මෙම සංවාද පටිගත කරගත් හැටි මීළඟට)
 
 
 
ප්‍රේමකීර්ති රණතුංග