අතීත මානවයාගේ සුසාන භූමිය


 

 

 

  • ශ්‍රී ලංකාවේ මුල් යකඩ යුගයට අයත්, ජනාවාස ව්‍යුහයේ සුවිශේෂ ලක්ෂණයක් වන්නේ, මිනිසුන් ජීවත් වූ ස්ථානවල සාධකවලට වඩා මිනිස් සුසානයන් පිළිබඳ පුරාවිද්‍යා සාධක සොයා ගැනීමට හැකි වීමය.

 

 

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ශිලා යුගයට පසුව එළැඹෙන ප්‍රධාන සංස්කෘතික අවස්ථාව ලෙස මුල් යකඩ යුගය හැඳින්වෙයි. ශ්‍රී ලංකාවේ ආරම්භක යුගයට අයත් අදාළ මූලික දේශපාලන, සමාජීය, ආර්ථික, සංස්කෘතික ව්‍යුහයන් මෙම යුගය තුළ දී බිහිවී තිබීම නිසා මෙම මුල් යකඩ යුගය ඓතිහාසිකව වඩාත් වැදගත් වෙයි.


මන්නාරම ආසන්නයේ තරුකතිස්වරම් කෝවිලට යාබද පුරා විද්‍යා රක්ෂිතයේ පොළොව යට අඩි 30 කටත් යටින් කළ කැණීම්වල දී පුරාවිද්‍යා සාධකයන් අතර ලෝකඩ උණු කළ අපද්‍රව්‍ය සොයා ගැනීමට ලැබුණි.


එයට අමතරව අනුරාධපුර ඇතුළු නුවර සහ සීගිරිය අලිගල ලෙනින් ලැබුණු පුරාවිද්‍යා සාධක ක්‍රිස්තු පූර්ව අට සියයටත් නව සියයටත් අතර කාලයට අයත් වේ යැයි සැලකේ. අනුරාධපුර - ඇතුළු නුවර සිදු කළ පුරාවිද්‍යා කැණීම්වල දී ස්ථාන දහ තුනකම යකඩ භාවිතය පිළිබඳ තොරතුරු ලැබුණි.


ශ්‍රී ලංකාවේ යකඩ යුගයේ ආරම්භය අපට වැදගත් වනුයේ ශ්‍රී ලාංකිකයන්, ක්‍රමානුකූලව ගොවිතැන් ඇරඹුවේ එම කාලයේ දී වන බැවිනි. වනාන්තර එළි කරන්නටත්, තද පස හෑරීමටත් ඉඩ ලැබුණේ යකඩ යුගය ආරම්භ වීමත් සමගය.


ශ්‍රී ලංකාවේ මුල් යකඩ යුගයට අයත්, ජනාවාස ව්‍යුහයේ සුවිශේෂ ලක්ෂණයක් වන්නේ, මිනිසුන් ජීවත් වූ ස්ථානවල සාධකවලට වඩා මිනිස් සුසානයන් පිළිබඳ පුරාවිද්‍යා සාධක සොයා ගැනීමට හැකි වීමය.


මෙම ඓතිහාසික සුසානයන් පිළිබඳව සැලකීමේ දී මෙයට වසර කීපයකට ඉහතින් දඹුළු පර්වතයට බටහිරෙන් ඉබ්බන්කටුවේ සිදු කළ කැණීම්වලින් මතු කරගත් සුසාන භූමි සමූහයෙන් ශ්‍රී ලංකාවේ විජයාවතරණයට පෙර වාසය කළ ජනතාව පිළිබඳ තොරතුරු රාශියක් දැන ගැනීමට හැකි විය.


එම සුසානයන් හතර වටින් ගල් පතුරු හරස් කොට තැනූ ගල් පෙට්ටිවල ඇටසැකිලි පිළිස්සු අළු සහ ඇට කැබලි මුට්ටිවල දමා පස් යට තැන්පත් කර තිබී හමු වී ඇත. ඒ සමගම පබළු, තඹකූරු හා යකඩ කැබැලි ද හමු වී ඇත. මෙම අළු තැන්පත් කර තිබූ කළගෙඩි ​ඉතා සියුම් ලෙස සකපෝරුව භාවිත කිරීමෙන් නිර්මාණය කළ ඒවා විය.


​ෙසායා ගත් එම නෂ්ටාවශේෂ කුඩා මැටි බඳුනක බහා එය ලොකු මැටි බඳුනක බහා තිබුණි. මිය ගිය අයගේ භෂ්මාවශේෂ තැන්පත් කළ කුඩා මැටි බඳුන් සමග මියගිය අය පරිහරණය කළ සමහර භාණ්ඩ ද තැන්පත් කර තිබී හමු විය. ඒ සමගම මිය ගිය අයගේ ඇට කැබලි පිළිස්සීමට භාවිත කළා යැයි සිතිය හැකි මැටි බේසමක් ද සොයා ගැනීමට හැකි විය.


දඹුල්ල ඉබ්බන්කටුව සුසානයට පසු පැරණිම සුසානය සීගිරිය, ඉහළ කළුවැල්ලා, උල්පත සිදු කළ පුරාවිද්‍යා කැණීම්වල දී සොයා ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්‍ඨ කථිකාචාර්ය ආචාර්ය ඩී.කේ. ජයරත්න ප්‍රමුඛ පුරා විද්‍යාඥයින් පිරිසකට හැකි විය.


මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය නිමල් සිල්වාගේ අධීක්ෂණය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘතිය මගින් සිදු කළ එම පුරාවිද්‍යා ගවේෂණයේ දී වර්ග මීටර් 3500ක ප්‍රදේශයක ව්‍යාප්ත වූ ශිලා මංජුසා සුසාන විසි හතක සුසාන සාධක හඳුනා ගැනීමට හැකි විය.


අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මායා උල්පත තුලානට අයත් මායා උල්පත ගමේ සිට කිලෝ මීටර් හතරක් බටහිරින් වූ මහා වනය මැද්දේ මෙම ඉහළ කලුවැල්ලා උල්පත සුසාන භූමිය පිහිටා තිබුණි.


​ෙමම සුසානය ආසන්නයේ උල්පත් රාශියක් පිහිටා ඇත. ඉහළ කලුවැල්ලා උල්පත නම් වූ ස්වභාවික දිය උල්පත පිහිටියේ ද මෙම සුසානයට ආසන්නයේ ඉනාමළුව කඳු වැටියේ නැගෙනහිර බෑවුමට ආසන්නවය.


එයට අමතරව මෙම ප්‍රදේශයේ ජලවහන රටාව සුවිශේෂ වැදගත්කමක් පෙන්නුම් කරයි. මෙම ඉනාමළුව කඳු වැටියේ නැගෙනහිර සහ බටහිර බෑවුම ඔස්සේ ගමන් කරන අතු ගංගා කීපයක් කලා ඔයට එකතු වෙයි. එසේම මේ අසලින් ආරම්භ වන අතු ගංගා කීපයක් බෙල්ලන් ඔයට එකතු වී හොරවිල ඔස්සේ මල්වතු ඔයට එකතු වෙයි. මුල් යකඩ යුගයට අයත් පුරාවිද්‍යා ජනාවාස ස්ථාන බොහෝමයක් මල්වතු ඔයේ මධ්‍යයම නිම්නය ආශ්‍රිතව පිහිටා ඇති අතර ඉහළ කලුවැල්ලා උල්පත සුසානය ද පිහිටා ඇත්තේ මල්වතු ඔයේ ආරම්භක අතු ගංගා ආශ්‍රිතවය.


ආචාර්ය ඩී.කේ. ජයරත්න පවසා සිටියේ මල්වතු ඔය ආශ්‍රිත පැරණි ජනාවාස ව්‍යාපෘතියේ හැඩරුව හඳුනා ගැනීම සඳහා මෙම ඉහළ කලුවැල්ලා උල්පත සුසානය ආශ්‍රිතව පුරා විද්‍යා සොයා ගැනීම් වැදගත් වන බවය.


මධ්‍යම කඳුකරයත් උතුරුමැද තැනිතලාවත් අතර පිහිටි මැද කලාපයක් වන දඹුල්ල සීගිරිය ප්‍ර​ෙද්ශයේ මෙම ඉහළ කලුවැල්ලා උල්පත සුසානය පිහිටා ඇත. මල්වතු ඔය නිම්නය ආශ්‍රිත ප්‍රදේශය තුළ පමණක් නොව, අන්තර් පාරිසරික කලාප අතර පැවති යැයි අනුමාන කළ හැකි පැරණි මානව සම්බන්ධතා පිළිබඳව අවබෝධ කර ගැනීමට මෙම සුසානය වැදගත් වෙයි. ඉහළ කලුවැල්ලා උල්පත සුසාන භූමියෙන් සොයාගත් සුසාන විසි හතක විවිධ ප්‍රමාණයේ ඒවා විය. අඩි එකහමාරේ සිට අඩි තුනහමාර දක්වා වන ප්‍රමාණයේ විශාලත්වයෙන් යුතු ඒවා විය. හතර පැත්ත කළු ගල් පතුරු හතරකින් වට කර උඩ ඉතාමත් ඝනකම් ටොන් ගණනක් බර අති විශාල ගල් පතුරකින් මෙම සුසානයක් ආවරණය කර තිබුණි. ලංකාවේ වෙනත් ප්‍රදේශවලින් සොයාගත් ශිලා මංජුසා සුසානවල ගල් පියන්වලට වඩා මෙහි ගල් පියන් ඝනකමින් වැඩි ඒවා විය.


​ෙමහිදී සොයාගත් සුසානවල ශිලා මංජුසාවල මිනිස් සිරුරේ විවිධ අස්ථි කොටස්, විවිධ මාදිලියේ පබළු, යබොර කොටස්, කුඩා රබස් කැබැලි, අටපට්ටම් ගඩොල් මැටි බඳුන් සහ මැටි වළං කැබැලි ද හමු වී ඇත.

 

 


කුඹල් සකයෙන් නිෂ්පාදනය කර ඇති කාල රක්ත වර්ණ සහ රක්ත වර්ණ මැටි බඳුන් අවශේෂයන් විශාල වශයෙන් මෙම සුසානය ආශ්‍රිතව ලැබී ඇත. පාත්‍ර, තැටි සහ බරණි මෙම සුසානයෙන් ලැබී ඇති ප්‍රධාන මැටි බඳුන් වර්ග වේ. මේවා ජනයාගේ භෂ්මාවශේෂ සහ සුසාන ද්‍රව්‍ය තැන්පත් කිරීම සඳහා යොදාගත් භාජන ලෙස සැලකෙයි.


මීට වසර 2550 කටත් වඩා ඈත අතීතයේ මුල් කාලීන යකඩ යුගයට අයත් මෙම පුරා විද්‍යා වස්තූන් නිසා අපේ වංශ කතාව පිළිබඳ අලුත් හෙළිදරව්වක් සිදුවෙයි.


අපේ වංශ කතාවල හැටිය විජයාවතරණයට පෙර අපේ රටේ හිටියෙ නොදියුණු ජන කොටසටක් යැයි පැවසෙනවා. නමුත් මේ සුසානය සොයා ගැනීමත් සමග ඒ කතාව බොරු වෙනවා. එසේ කියන ආචාර්ය ජයරත්න මෙසේ ද පැවසීය.


​ෙමම ගල් පතුරු ඉතාමත් සුක්ෂම ලෙසත් නොවැටෙන හා නොසෙල්වෙන සේ පුරුද්ද‌ා තියෙනවා. එවැනි දෙයක් කරන්නට හොඳ තාක්ෂණ ඥ‌ානයක් තියෙන්න ඕන.
එසේම එම යුගයේ ජනතාව යකඩ තාක්ෂණය සොයාගෙන එය භාවිත කර ඇති බව සුසානයහි තැන්පත් කර තිබූ ඊතළ කැබැලි වැනි යකඩ ආයුධවලින් පැහැදිලි වන බව ඔහු පැවසීය.

 

 

පීටර් කැනියුට් පෙරේරා