අඩි තිස් දහසක් උඩදී පෙන්වූ පිරිතේ බලය


 

 

ජපානයේ ටෝකියෝ නගරයේ සිට ශ්‍රී ලංකාව හරහා ලන්ඩන් ගමනාන්තය කරගෙන ගමන් ගන්නා කැති පැසිපික් වර්ගයේ ගුවන් යානාවකි. පෙරවරු 7.00 ට ගුවන්ගතවූ එම යානය මේ වෙන විට අඩි තිස් අට දහසකට පමණ ඉහළින් පියාසර කරමින් තිබිණ. එහි එක් මැදිරියක බ්‍රිතාන්‍ය ජාතික පිරිසක් සිටි අතර ඒ කණ්ඩායමේ එක් කාන්තාවක මානසික රෝගයකින් පෙළෙන බව සෙසු පිරිස ඇය වට කරගෙන සිටි ආකාරයෙන් පෙනිණ. කණ්ඩායමේ එක් අයකු වෛද්‍යවරයකු විය.   


මෙම මැදිරියේම ඊට ආසන දෙකකට ඈතින් වූ අසුනක බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් අසුන්ගෙන සිටි අතර ඒ අසලම වාඩිවී සිටියේ සීක් ජාතිකයෙකි.   


මොහොතකින් කණ්ඩායමේ වූ රෝගී කාන්තාව නැගිට අන් අය සමඟ පොර බදන්නට වූවාය. සෙසු අය ඇය සන්සුන් කිරීමට තැත් කළ අතර ඇයගේ ස්වරූපය තවත් දරුණු විය. ඇය එකිනෙකාට පහරදීමට පටන් ගත්තෙන් මහා කලබලයක් ඇතිවිය. මේ පොරය උත්සන්න වූයෙන් වෛද්‍යවරයා එන්නතක් විදීමට උත්සාහ ගත්තත් ඇය පමණක් නොව සෙසු අයද ඊට විරෝධතාව දැක්වූහ.   


මැදිරියේ වූ හැමෝම නොසන්සුන් වූ අතර එතැනට ගුවන් සේවිකාවන් පැමිණිය ද ඔවුන්ට කළ හැකි දෙයක් නොවීය. කලබලය තවත් උත්සන්න වෙද්දී සීක් ජාතිකයා බෞද්ධ භික්‍ෂූන් වහන්සේ දෙස කීපවරක්ම බලා යමක් කීමට සූදානම්ව යළි කණ්ඩායමේ වූ වෛද්‍යවරයා සමීපයට ගොස් බෞද්ධ භික්‍ෂූන් වහන්සේ පෙන්වා යමක් කියන ආකාරය උන්වහන්සේට ද පෙනිණ.   


වෛද්‍යවරයා සමඟ පෙරළා භික්‍ෂූන් වහන්සේ අසලට ආ සීක් ජාතිකයා උන් වහන්සේට ආචාර කොට මේ අවස්ථාවට පිළිසරණ වන ලෙස කීවේ දන්නා ඉංග්‍රීසියෙනි.   
තත්ත්වය වටහාගත් උන්වහන්සේ සිවුර තුළින් අඳනයෙහි සාක්කුවට අත දමන අතර වතුර වීදුරුවක් ගෙන එන ලෙස වෛද්‍යවරයාට දැන්වීය. ඔහු ක්‍ෂණිකව වතුර වීදුරුවක් ගෙනාවෙන් භික්‍ෂූන් වහන්සේ තම අතෙහි වූ කිසිවක් වීදුරුවට දමා ගාථා කීපයක් සජ්ඣායනා කොට එම ජලය ඇයගේ මුහුණට ඉස හැකිනම් වතුර ටිකක් බීමට දෙන ලෙසත් පැවසූහ.   


ඇයගේ මුහුණට මේ පිරිත් පැන් ස්වල්පය ඉසීමත් සමඟ මඳ නිසලතාවක් දැක්වූ ඇයට වීදුරුවේ වූ පැන් පෙවීම අසීරු නොවීය.   


තත්ත්වය තරමක් සංසුන් විය. ඉන් දිරිමත් වූ උන්වහන්සේ අඳන සාක්කුවේ වූ පිරිත් නූල් බෝතලය අතට ගෙන ආරක්‍ෂිත ගාථාවක් සජ්ඣායනා කොට පිරිත් නූලේ කොටසක් කඩා කාන්තාවගේ අතේ බඳින ලෙස වෛද්‍යවරයාගෙන් ඉල්ලූහ. එයද ඉටු විය.   


ආසනය මත දිගාවූ ඇය සිහිසුන් ආකාරයෙන් මඳක් සිට ඇස ඇර වටපිට බැලුවේ කිසිවක් නොවූ ආකාරයෙනි.   


සුදු ජාතික කණ්ඩායම උන්වහන්සේ දෙස බැලුවේ සතුටෙන් මෙන්ම උන්වහන්සේ කෙරේ අපරිමිත ගෞරවයකිනි. මෙතෙක් වෛද්‍යවරයා අසලම සිටි සීක් ජාතිකයා ඔහු කැටුව භික්‍ෂූන් වහන්සේ සමීපයට පිවිසි අතර වෛද්‍යවරයා කිසියම් තිළිණයක් දීමට සූදානම් බව හැඟුණ හෙයින් උන්වහන්සේ අතින් සංඥාවක් කළේ එවැන්නක් අවශ්‍ය නොවන බව පෙන්වීමටය. සීක් ජාතිකයා ද එය අවශ්‍ය නොවන බව පැවසූයෙන් ඔහු යළි කණ්ඩායමට එක් වූයේ විස්මය සහිත මුහුණෙන් භික්‍ෂූන් වහන්සේ දෙස බලමිනි.   


මේ භික්‍ෂූන් වහන්සේ කටුනායක දී යානයෙන් බසිත්ම එම ඉංග්‍රීසි ජාතිකයින් ගෞරව පූර්වකව ආචාර කළ අතර ගුවන් සේවිකාවන් ද සිටියේ ගෞරව සම්ප්‍රයුක්තව උන්වහන්සේ දෙස බලමිනි.   


උන්වහන්සේ ද ගුවන් යානයෙන් බැස ආවේ මහත් සොම්නසකිනි. ඒ බෞද්ධ පිළිවෙතක් තුළින් අබෞද්ධ පිරිසකට සේවය කිරීමට ලැබීම නිසාය. 

 
මේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ කලක් මාතර රන් දූපත උපෝසථාගාරය භාරව සිට දැනට පෙතන්ගහවත්ත සුධර්මාරාමාධිපති ලෙස ඉමහත් ප්‍රජා සේවාවක යෙදෙන විශ්‍රාමික විදුහල්පතිවරයකු වූ බෙංගමුවේ විමල නාහිමිපාණන් ය.   


මෙම සිදුවීම වී කාලයක් ගත වුවත් මේ පිළිබඳව උන්වහන්සේ කිසිවකුට කියා තිබුණේ නැත.   


බුදු දහ​ෙම් දර්ශනය මැනවින් පසක් කළ උන්වහන්සේ මෙවන් උදාරතර පුණ්‍ය කර්මයන්හි යෙදුන අවස්ථා රැසක් ඇති බව අප දැන ගත්තේ විවිධ අවශ්‍යතා සඳහා පිළිසරණ පතා එන බෞද්ධ හා අබෞද්ධ ජනතාව තුළිනි. උන්වහන්සේ වැඩ වසන විහාරස්ථානයේ නිරන්තරයෙන් විවිධ රටවලින් එන භික්‍ෂූන් වහන්සේලා දැකිය හැකිය.   


මෙබඳු පිරිසකට පිළිසරණ වන අතරතුර මඳ විවේකයක් ලැබුවෙන් උන්වහන්සේගේ ගුවන් ගමනේදී සිදුවී ඇති ආශ්චර්යාත්මක සිදුවීම ගැන විමසීමු.   


“මේක අහඹු සිදුවීමක් නෙවෙයි. මම එදා වැඩියේ ජපානයේ බෞද්ධ සම්මේලනයකට. ගිහින් ආපසු ලංකාවට එන අතරේ. අපේ බුදු දහමේ හරවත් බව තේරුම් ගත් අයගේ ඉල්ලීම්වලට මම විදේශීය රටවලට යනවා.   


එදා ඔය කණ්ඩායම ප්ලේන් එකට ඇතුළු වෙන කොටම ඔය සුදු ජාතික කාන්තාවගෙ බැල්මෙන්ම මම අමුත්ත තේරුම් ගත්තා. ඒත් ඔය තරම් පෙරළියක් කරාවි කියල මාත් හිතුවෙ නැහැ.   


මම කොහොමටත් පිරිත් පේ කළ බෙහෙත් දාපු පුංචි මංජුසාවක් එක්ක පිරිත් නූල් ටිකක් ගෙනියනවා. මේ විදියට ඔය පිරිසට උදව් කරන්න පහසු වුණේ ඒකයි. ඉතින් පිරිත් බලය පෙන්නන්න පුළුවන් වුණා. බලන්න ඒ අය බෞද්ධයො නෙමෙයි. අඩි තිස්දාහක් උඩදී, කොහොමද මේ බලපෑම් වුණේ” උන්වහන්සේ පෙරළා අපෙන් අසති.   


‘‘මේක මගේ පුරසාරමක් හැටියට නෙමෙයි, බුදු සරණේ බලය පෙන්වන දෙයක් හැටියට හිතා ගන්න. එදා ඒ දේ වුණා. මම ප්ලේන් එකෙන් බහින කොටම ඒක හිතෙන් අස්කර ගත්තා. ඒත් මේක අහපු නිසා කිව්වෙ.’’   


උන්වහන්සේගේ පිළිසරණ පතා ඈත ගම්මානවල සිට පවා මෙහි එන්නේ ඒ ජනතාව තුළ කටින් කට යන ආරංචිය නිසාය. මේ එන පිරිසට පිළිසරණ සඳහා උන්වහන්සේ බෞද්ධාගමික පිළිවෙත් සිදුකෙරෙන පූජා මන්දිරයක් ද විහාරස්ථානය තුළ ස්ථාපනය කොට තිබේ. මේ කුඩා බුදු මැදුර ඉතාම දර්ශනීය මෙන්ම ඕනෑම කෙනකු තුළ පහන් සංවේගය දනවනසුලු අභිමානවත් එකකි.   

 

 

 

තිහගොඩ උපසේන ලියනගම