අගාධයට වැටුණු පෘතුගාලය


වළ පල්ලට ගිය රටවල්

 

මම කාලයක් තිස්සේ ලියන්නේ දුක පමණක් ඉතිරි කරගෙන මිනිසුන් හිස් අතින් අවසන් ගමන්යාමේ කතාන්දරයයි විවිධ රටවල වාලුකා ගිනිය​ෙම් දැවෙන ජනතාවගේ වේදනාවයි. ගිය සතියේ ලිව්වේ හතර වරක් අගමැති වී හතර වරං ගහන හන්ගේරියාවේ අගමැතිගේ පැටිකිරියයි. කෲර තීරණ ගන්නා පාලකයින් රටකට අවශ්‍ය නැත. ඔව්හු සිදුකරන්නේ තමන්ගේ පැවැත්ම සහ තම ප්‍රතිලාභ තකා ජනතාව පීඩාවට පත් කිරීමයි, රට විනාශ කිරීමයි. එවැනි රටවල් පිළිබඳව ලියන අවසාන ලිපි කීපයයි මේ.   


අද ලියන්නේ පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා යයි හැඳින්වූ පෘතුගාලයයි. (Portugal) ගැනය. නැව් මගින් ලොව පුරා ගොස් ලොවම අත්පත් කර ගැනීමට වෙරදැරූ අද ගිලෙන නැවක් බවට පත්වී තිබෙන පෘතුගාලයේ කෙරුවාව පිළිබඳවය. මේ දිග හැරෙන්නේ අද අතේ සතේ නැතිව අඳුරට ගාල්වූ පෘතුගාලයේ බහුතර ජනතාවගේ ජීවිතයේ පැතිකඩකි. මෙයත් සෞභාග්‍ය දසත පැතිරෙනවා යයි කියන යුරෝපයේ තවත් කළුවර මුල්ලකි.   


අගාදයට ඇද වැටුණු පෘතුගාලය   


දෑකැත්තයි, මිටියයි. අතුරුදන් වූ රටවල් දියුණුවෙන් දියුණුවට පත්වූ අයුරු මගේ ලෝක සංචාරයේදී  මට අවබෝධ වූ කරුණකි. ඒ මගේ හැඟීමය. වර්තමාන ලෝක දේශපාලන සංදර්භය තුළ සිදුවී ඇත්තේ මෙයයි. ලංකාව ප්‍රමුඛ බොහෝ රටවලට වැරදුනේ එම රාජ්‍යයන්හි පාලකයින් තමන් තාවකාලික භාරකරුවන් යයි නොසිතූ නිසාය. පෘතුගාලයද අද අගාදයට ඇදවැටී ඇත්තේ මේ නිසාය.   


මුළු ජනගහණයෙන් ලක්ෂ 26කට වැඩි පිරිසක් ඉතා දිළිඳු ජීවිත ගත කරන දේශයකි පෘතුගාලය. මෙය පොහොසත් රටවල් රාශියක් අතර පිහිටි දුප්පත් රටක් බව 2019 පෙබරවාරි 15 නදා රොයිටර් (Reuters) වාර්තාවක සඳහන් විය. (One of the poorest countries around the richest countries) එම මාධ්‍ය වාර්තාවෙහි සඳහන් වන්නේ පෘතුනගාලයේ ආර්ථිකය අද ශීඝ්‍රගාමී දුම්රියක් මන්දගාමී දුම්රිය තත්ත්වයට පත්වුනා බඳු බවය.   


“ද පෘතුගාල් නිව්ස් (The Portugal News) පත්‍රය 2018 මාර්තු 22 දා පළකළ විශේෂ ලිපියක නිවාස හා රැකියා නොමැතිව ජීවන බරින් මිරිකී පැටලී සහනාධාර තුළින් ජීවිතය ගැටගසා ගැනීමට වෙර දරන පෘතුගාලයේ පුරවැසියන්ගේ ජීවන අරගලය මැනවින් විදහා දක්වා තිබුණි. මෙහි ජනගහනයෙන් ලක්ෂ 26ක් යනු සියයට 25.1 ක් බවද බල්ගේරියාව, රුමේනියාව හා ග්‍රීසිය යන රටවලට වඩා මෙහි වැටුප ඉතා අඩු බවද එම වාර්තාවෙහි සඳහන් වේ.   


පලා ගිය සෞභාග්‍යය   


මෙහි රැකියා විරහිත තරුණ තරුණියන්ගේ ප්‍රතිශතය සියයට 12 කට වැඩිය. බටහිර යුරෝපයේ වැඩිම ඒඩ්ස් රෝගීන් සිටින රට පෘතුගාලයයි. 2009 දී මෙම ලිංගාශ්‍රීත රෝගය වැලඳුණු රෝගීන්ගේ සංඛ්‍යාව 42,000ක් වූ අතර එම සංඛ්‍යාව අද වනවිට වැඩි වී ඇත. ජීවන ගැටලු නිසා ළමයින් අතහැර දමන මව්පියන් වැඩි වශයෙන්ම සිටින රටකි. කුඩා දරු දැරියන්ට වද හිංසා පමුණුවන දේශයකි. මෙම කිරිකැටි දරු දැරි​ෙයා් විවිධ මානසික හා කායික ලෙඩ රෝගවලට ගොදුරු වී සිටිති. යුරෝපයේ ළමා ශ්‍රමිකයන් (Child Labour) වැඩි වශයෙන්ම සිටින රාජ්‍යයයි. තරුණ පරපුර මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වී සිටී. මත්කුඩු ජාවාරම් බහුලව මේ රටේ සිදුවේ.   


ලෝකයේ පැරණිම රාජ්‍යයයකට අද අත් වී ඇති ඉරණම ඉතා ශෝකජනකය. මෙහි කුඩා දරු දැරියන් පොහොසතුන්ගේ නිවාසවල හෝටල්වල සමාජ ශාලාවන්හි පවිත්‍ර කිරීම් හා වළං පිඟන් සේදීමේ යෙදෙන අයුරු දැකගත හැක. ගැහැනු ළමෝ විශාල වශයෙන් ලිංගික අතවරවලට මුහුණ දෙති. තම පුරවැසියන්ට විශේෂයෙන්ම ළමා පරපුරට සතුටුදායක සෞඛ්‍ය සේවයක් ලබාදීමට අපොහොසත් පාලකයින් සිටින පෘතුගාල​ෙයන් සෞභාග්‍යය පලාගොස් තිබේ.   


විනාශයට පත් ලොකු වැඩ කළ කුඩා රට   


පෘතුගාලය නමැති මේ රට හඳුන්වන්නේ පෘතුගීසි ජනරජය (Poruguese Republic) වශයෙනි. මේ දේශය පිහිටා ඇත්තේ දකුණුදිග යුරෝපයේ අත්ලාන්තික් සාගරය හා ස්පාඤ්ඤායට මැදිවය. විශාලත්වය ව.කි.මී. 92,212 ක් හෙවත් ව.සැ. 35,603 කි. ජනගහණය එක් කෝටියකට මදක් වැඩිය. (1,02,76617) එක්කෝටියක පුරවැසියන් සිටින පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 230කි. දිස්ත්‍රික්ක 18 කි. පළාත් 7කි. ජනාධිපති මර්සෙලෝ පබෙලෝ ඩී. සූසාය. අගමැති ඇන්ටෝනියෝ කොස්තාය. අගමැති ඇන්ටෝනියෝ කොස්තා පෘතුගාලයේ 119 වැනි අගමැතිය. මෙය අතීතයේ ලොකු වැඩ කළ යුරෝපයේ කුඩාම රටකි.   


15 වැනි සියවසේදී මේ රටේ ඉපදුණ වස්කෝදගාමා අත්ලාන්තික් සාගරයෙන් අරඹා නැව් මගින් ඉන්දියාව හරහා ගිය ගමන ඉතිහාසගත වී ඇත. පෘතුගීසීන් ලංකාවද අල්ලා ගනු ලැබුවේ මේ ගමනේ ප්‍රථිපලයක් වශයෙනි. මේ ගමනේ ප්‍රතිඵලයක් වශයෙන් අප්‍රිකාවේ සහ ආසියාවේ පෘතුගීසි භාෂාව කතා කරන ජනගහණය මිලියන 200ක් දක්වා වර්ධනය වූ බව කියනු ලැබේ. එදා රටවල් අල්ලා ගන්නට සූරයා යයි කිව් පෘතුගීසිකාරයින්ට අද තමන්ගේ රටවත් රැකගන්නට නොහැකි වී තිබේ. මෙවන් මොහොතක මගේ සිහියට නැගෙන්නේ කොළඹට ආවේ ඉඳලයි ලිස්බන් නගරේ අප ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ. යන මා මිත්‍ර ජෝතිපාල ගැයූ ගීතයේ කොටසකි. ඉපැරණි ලිස්බන් නගරය විරාජමානව දිස්වේ. එහෙත් ඉන් විනෝද මිහිරක් පැතිරෙන්නේ නැත.   

 

 


සූදුකාරයින්ගේ පිරුණු දේශයක් 

 
නැපෝලියන් බොනපාට්ගේ නැගීමත් සමඟ පෘතුගීසීන්ගේ බලය බිඳවැටීම ආරම්භය විය. විශාලත්වය අතින් ලෝකයේ 111 වැනි ස්ථානය හිමි වී ඇති සූදුවට ඇබ්බැහි වූ පුරවැසියන් වැඩිම පිරිසක් සිටින රටයි මේ. ලංකාව ආක්‍රමණය කළ අයුරු සහ මේ රටේ ඉතිහාසය පිළිබඳව විස්තරයක් මෙවැනි කෙටි ලිපියකට ඇතුළත් කිරීම අපහසුය. මේ රටේ පිරිමින්ගෙන් සියයට 51 ක් සහ ගැහැනුන් ගෙන් සියයට 45ක් පමණ කැසිනෝ සූදුවට ඇබ්බැහි වූවන්ය. දේශපාලකයින්ගේ දේශපාලන සූදුව නිසා මේ රටත් මකර කටට ඇද වැටෙමින් පවතී.   
කන්න හපන්නු බොන්නත් හරිම හපන්නු ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නු මා මිත්‍ර ජෝතිගේ ඒ ගී හඬද මගේ සිහියට නැගේ. එහෙත් ඔවුන්ට වඩා දැන් අපි යුද්දයට හපන්නුන් වී ඇතැයි මට සිතේ. ඔව්හු මුළු ලොව හොල්ලන වීරයා නොවේ. මුළු ලොවටම අතපාන ජාතියක් බවට අද පත්වී ඇත්තේ කළ පව් පලදීමක් වශයෙන්ද   


තකතීරු දේශපාළුවන් රටට වැඩක් දුන් හැටි   


2017 අගෝස්තු 24 දා ද ගාඩියන් පුවත්පතේ පළ වී තිබූ විශේෂ වාර්තාවක් මම කියවීමි. පෘතුගාලයේ තකතීරු පාලකයින්ගේ අමන ක්‍රියා හේතු කොට ගෙන රට පුරා තිබූ විවිධ කර්මාන්තශාලවලින් සියයට 41 ක් පමණ වසා දැමීම හේතු කොට ගෙන රටේ ආර්ථික අහේනිය දෙගුණ තෙගුණ වී රැකියා විරහිත වූවන්ගේ සංඛ්‍යාව අධික වූ අයුරු එම වාර්තාවෙහි සඳහන් වේ. බඩගොස්තරවාදී අමනෝඥ දේශපාලකයින් ලංකාවටද සිදු කළේ මේ වින්නැහිය නොවේද? මේ රටේ ජීවන බරින් මිරිකුණ දස දහස් සංඛ්‍යාත ජනතාව පාලකයින්ට එරෙහිව වීදි බැස්ස අයුරු. 2019 ජනවාරි 31 දා ද අයිරිෂ් ටයිම්ස් (The Irish Times) පත්‍රය විදහා දක්වා තිබුණි.   


1900 වර්ෂයේදී මේ දේශයේ ජනගහණය ලක්ෂ 54 කි. (54,23,132) 2019 වනවිට මෙම සංඛ්‍යාව එක් කෝටිය හෙවත් ලක්ෂ 100 ඉක්මවා ඉහළ ගියේය. 1960 ත් 1970 ත් අතර කාලයේදී අප්‍රිකාවේ සිටි අනාථයින් ලක්ෂ 6කට වැඩි පිරිසක් පෘතුගාලයට පැමිණියහ. ජනගහණ වර්ධනය අධික වීම රටේ පරිහානියට බෙහෙවින් බලපෑවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යුරෝ බිලියන 26ක්ද යුරෝපා සංගමය (EU) යූරෝ බිලියන 18ක්ද ලබා දුන්නත් මෙහි පාලකයින් එම අතිවිශාල ධනස්කන්දයෙන් වැඩි කොටසකට වැඩක් දීම එහි රට වාසීන්ගේ කරුමයකි.   


ලෝකයේ වයින් නිෂ්පාදානය කරන රට වලින් 7 වැනි ස්ථානය හිමි වී ඇත්තේ පෘතුගාලයටයි. වැඩිපුරම සිටින්නේ වයින් වත් කියාගන්න බැරි අසරණයින්ය. මෙහි ප්‍රදේශ හතරක පවත්වාගෙන යන ළමා ගම්මාන දකින ඕනෑම අයෙකුට රටේ යථා ස්වභාවය අවබෝධ වනු ඇත. මෙම ගම්මානවල සිටින අසරණ දරු දැරියන්ට ලබා දෙන සහනාධාර පවා ගසා කන දේශපාළුවන් සිටී. මෙහි ඔලිව් ගස් සරුවට වැවේ. ඔලිව් තෙල් හා ඔලිව් ​ෙගඩි ලොව පුරා අපනයනය කරයි. බාර්ලි, පරිප්පු, මිදි, දෙහි, වී සරුවට වැවේ. මෙම වගාවන්ගෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ ගොවියන්ට නොවේ. බහුතර ජනතාවට නොවේ. දේශපාලන හොර දෙටුවන්ටය.   


මෙන්න පෘතුගාලයේ දේශපාලන හොරකම්   


1995 සිට 2002 දක්වා පෘතුගාලයේ අගමැති තනතුර දරනු ලැබුවේ නිව්​ෙ‌යා්ර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) වත්මන් මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස්ය. ඔහුටද තම නිජ භූමියට සහනයක් ලබාදීමට බලයක් නැත. තඹ වැනි ඛනිජ ද්‍රව්‍ය රාශියක් ඇති මෙහි පොළොව පවා විකුණාගෙන කන දේශපාළුවන් අතර පාලන බලය හුවමාරු වෙමින් රට පරිහානියට පත්වෙමින් පවතී. බැටරි සෑදීමට යොදා ගන්නා ලීතියම් වලින් පවා ගසා කන දේශපාලකයින්ගෙන් පිරී පවතී. අද ලෝකයේ දූෂිත රාජ්‍යයන් අතුරින් 29 වැනි ස්ථානය හිමි වී ඇත්තේ මේ පෘතුගීසි කාරයින්ගේ දේශයටය.   


වර්තමානයේ මෙහි පාලන බලය හිමි වී තිබුණේ සෝෂලිස්ට් පක්ෂයටය. එම පක්ෂයේ ප්‍රබලයෙකි හිටපු බලශක්ති ඇමති මැනුවෙල් පින්හෝ. ඔහු හිටපු අගමැති ජොසේ සොක්‍රටීස් සමග යූරෝ මිලියන 34ක් හෙවත් ඩොලර් මිලියන 40ක් පමණ මහජන මුදල් ගසා කෑ අයුරු සාක්ෂි සහිතව හෙළිවූ පසු ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූ අයුරු 2018 මැයි 4 දා ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) මාධ්‍ය වාර්තාවක පළවිය.


ඊට පිළිතුරු වශයෙන් වත්මන් පෘතුගාල අගමැතිවරයා වූ ඇන්ටෝනියෝ කොස්තා (Antonio Costa) සඳහන් කර ඇත්තේ නීතිය ක්‍රියාත්මක කොට ඔවුහු වැරදිකරුවන් වී දඬුවම් ලැබුවහොත් ඒ මාර්ගයෙන් පෘතුගාලයේ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රබල පහරක් එල්ල වන බවය. ජාත්‍යන්තර මාධ්‍ය විමසන්නේ දූෂිත දේශපාලකයින්ට දඬුවම් දීමෙන් රටක ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වන්නේ කෙසේද යන්නයි.   


අවංක නීතිපතිනියට රජය හරස් වෙයි


වත්මන් නීතිපතිනිය ජොආනා විඩල්ය. ඇය මෙහි දූෂිත දේශපාලකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට දැඩි වෙහෙසක් දරන්නීය. ඇයට සේවා දිගුවක් දීම රජය මගින් ප්‍රතික්ෂේප කර ඇත. මේ පිළිබඳව විවාදයක් 2018 ජනවාරි 18 දා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. හිටපු ඇමැති සොක්‍රටීස් බැංකු රාශියක හිමිකරු වූ එස්පිරිටෝ සන්ටෝ සල්ගාදු, ටෙලිකොම් ලොක්කාවූ සීනල් බාවා, ආගමන විගමන පාලක හෙන්රික් ග්‍රැන්ඩෙරෝ, අභ්‍යන්තර කටයුතු ඇමති හා පොලිස් ලොක්කන් පිරිසකට එරෙහිව වංචා දූෂණ නඩු මෙහෙයවන්නේ මේ නීතිපතිනියයි. අවසානයේ රජය තීරණය කර ඇත්තේ නීතිපතිවරයෙකුගේ සේවය අවුරුදු 6කට සීමා කළ යුතු බවය.   


දූෂිත දේශපාළුවන්ට එරෙහිව නීතිපති ගෙන ගිය සටන මෙසේ පෘතුගාලයේ රජය මඟින් නවතා දැමූ හැටි 2019 අගෝස්තු 5 දා පෘතුගාල් නිව්ස් (Portugal News) පත්‍රය විස්තරාත්මකව දක්වා තිබුණි.   


මා 1979 වර්ෂයේදී යුගොස්ලෝවියාවේ බෙල්ග්‍රේඩ් නුවර සිට ජාත්‍යන්තර මාධ්‍ය කරණය පිළිබඳ පුහුණුවක් ලබමින් සිටියදී මාෂල් ටිටෝගේ පාලන තන්ත්‍රය තුළ සිදුවූ විවිධ දූෂණ පිළිබඳ ගවේෂණයක නිරත වීමි. අවසානයේ යුගෝස්ලෝවියාව කෑලි කෑලිවලට කැඩී විනාශ වී ගියේය. පෘතුගාලය වැනි රටවලටද අද සිදුවන්නේ එය නොවේද?   


වසර එක හමාරක් තිස්සේ මේ ලිපි පෙළ මාර්ගයෙන් මා හුවා දැක්වීමට උත්සාහ කළේ රටවල් වැනසෙන්නේ දූෂිත ආත්මාර්තකාමී පුද්ගලයින්ට පාලන බලය ලැබීම නිසා බවය. 2017 ඔක් 11 දා ෆයිනෑන්ෂියල් ටයිම්ස් (Financial Times) දීර්ඝ ගවේෂණාත්මක විශේෂ ලිපියක පේළි කීපයක සිංහල පරිවර්තනය පහත දක්වමි.   


නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ   


2005 සිට 2011 දක්වා පෘතුගාලයේ අගමැති තනතුර දැරුවේ සොක්‍රටීස්ය. ඔහුට එරෙහිව දූෂණ චෝදනා 31ක් එල්ලවිය. ඔහුගේ රජයේ සිටි ප්‍රබලයින් 19 දෙනෙකුටද ඔවුන් සමඟ රාජ්‍ය දේපොළ හොරකම් කළ වෙළෙඳ ආයතන 9 කටද එරෙහිව අධිකරණයට ඉදිරිපත් කළ චෝදනා පත්‍රය පිටු 4000කින් සමන්විතය. සොක්‍රටීස්ගෙන් පසු බලයට පත්වූ අගමැතිද රටේ බැංකු පද්ධතිය විනාශ කළේය. හිටපු අගමැති සොක්‍රටීස් සොරකම් කළ මුදලින් යූරෝ මිලියන 24ක් ස්විස් බැංකු ගිණුම්වල තැන්පත් කළේය.   


නීතිපතිවරයා මේ චෝදනා සානථ කිරීමට සාක්ෂිකරුවන් 200කගේ නම් ලැයිස්තුවක් ද අධිකරණයට ඉදිරිපත් කළේය. දේශපාලකයින්ගේ බැංකු ගිණුම් වාර්තා 500ක් පමණද ලිපිගොනුවට ඇතුළත් විය. හිටපු අගමැති මාස 9ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියා. මාස 9කට පසු ඔහුට ඇප ලබා දුන්නා. ඉන්පසු නඩු වාෂ්ප වුණා. රට විනාශ වුණා. නීතිපතිවරියට යන එන මං නැති වුණා.   


ගිය සතියේ මා ලිව්වේ බල්ගේරියාවේ නීතිය කඩන නීතිපති ගැනය. මේ සතියේ මා ලියන්නේ පෘතුගාලයේ නීතිය සුරැකීමට පොරබදන එරට නීතිපතිවරිය ගැනය.   


රටවල් සූරා කෑ වස්කෝදගාමා   


2007 වර්ෂයේදී පෘතුගාලයේ රැකියා විරහිත තරුණ තරුණයින්ගේ සංඛ්‍යාව 2,70,000ක් පමණ විය. 2010 වන විට එම සංඛ්‍යාව 4,48,000 දක්වා වැඩිවූයේ මෙලෝ හසරක් නොදන්නා පුද්ගලයින් පාලන බලය ලබා ගැනීම නිසා බව නැවත නැවතත් සඳහන් කළ යුතුමය. රටේ නියම තත්ත්වය දැක ගත හැක්කේ ලිස්බන් නගරයේ රවුම් ගැසීමෙන් නොවේ. ට්‍රාස් මොන්ටෙස් බ්‍රාගා වැනි ප්‍රදේශවලට ගියවිට එය මනාව පැහැදිලි වේ. හිටපු මාධ්‍යවේදියෙකු හා ගුවන් විදුලි නිවේදකයෙකු වූ පෘතුගාලයේ 20 වැනි ජනාධිපති පදවියට පත් වූ ඩී සෝසාද රට වළපල්ලට යද්දී බකන් නිලා ගෙන සිටී.   


වස්කෝද ගාමාගේ නම යොදා ඇති පෘතුගාලයේ පිහිටි යුරෝපයේ දිගම පාලම පෘතුගාලයට අත්වූ ඉරණම දෙස බලා සුසුම් හෙළන්නේ යයි මට සිතේ.

 

 

 

සිරි හීන්පැල්ල 
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි