අගමැති ලී ක්වාන් යූට සිංගප්පූරුව හදන්න සහාය වූ ශ්‍රී ලාංකික ඉංජිනේරුවා


දකුණු පළාතේ ගම්මානයක මධ්‍යම පන්තියේ කුල ගෙයක වැඩිමහල් දරුවා වශයෙන් ඉපිද ගමේ පාසලේ ද, මාතර රාහුල විද්‍යාලයේ ද ඉන්පසුව අගනුවර නාලන්ද‌ා මහා විද්‍යාලයේ ද අධ්‍යාපනය හද‌ාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ඉංජිනේරුවරයකු ලෙස ඉහළින්ම සමත් වූ අමරදිවාකර සෑම් සමරසිංහ තරුණයා එයින් ද අනතුරුව ලෝකයේ රටවල් කිහිපයකම තම ඉංජිනේරු ශිල්පයේ දස්කම් දැක්වීය.  


 ඔහු අන්තිමේ සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ මැතිතුමා එරට දියුණුවට පත් කරන්නට නන් අයුරින් කටයුතු කරන විට එයට උර දුන් ප්‍රධාන ඉංජිනේරුවරයා වූ බව කියා ලියා දැක්වූ විට එය සමහරුනට විස්මයට හේතුවක් ද විය හැක්කේය.  


 එහෙත් කතාව ඇත්තය. කවදත් ලොව කොතන ගියත් තම මොළයේ බලයෙන් විචිත්‍ර දස්කම් දක්වන සිංහලයන් අතර ගැනෙන්නට මේ සෑම් සමරසිංහ ඉංජිනේරුවරයා විසින් මෙසේ ලෝකයේ දියුණුම රාජ්‍යයන් අතරට පත් කළ සිංගප්පූරු රාජ්‍යයේ නිර්මාතෘවර ලී ක්වාන් යූ අගමැතිතුමාට උරදුන් අන්දම සුරංගනා කතාවකට ද වඩා විචිත්‍ර බවින් යුතු ඇත්ත කතාවකි.  


 ලොව මෑත යුගයේ සිය ඉංජිනේරු දැනුමෙන් ද සමහර අවස්ථාවලදී තම ප්‍රායෝගික ශක්තියෙන් ඉටුකිරීමෙන් ද මෙම සිංහල ඉංජිනේරුවරයා සෙස්සන් මවිතයට පත් කළේය.  


මෙහිදී මුලින්ම සමරසිංහ මහතා යෙදුණු රාජකාරි තත්ත්වය පිළිබඳව ද කරුණු හෙළි විය යුතුය. ඉංජිනේරු උපාධිය සමත් වීමෙන් පසුව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වර්ෂ පහක සේවා කාලයෙන් අනතුරුව එංගලන්තයේ ප්‍රධානතම ඉදිකිරීම් ආයතනයක ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස පත්ව මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ උමං ජල සම්පාදන ක්‍රමයක කටයුතු කරන්නට ඔහුට ඉඩ සැලසුණි.  


එයින් එම රටට විශාල ධනස්කන්ධයක් ඉතිරි විය. එහිදී මැලේසියාවේ බෞද්ධ කටයුතු දියුණු කරන්නට ද ඔහුට හැකි විය. එය සමරසිංහ මහතා සලකන්නේ තම බෞද්ධ උරුමයට ලොව කොහේ ගියත් තැන දීමක් හැටියටය.  


 ඇමෙරිකාවේ ඉංජිනේරු උප​ෙද්ශක සමාගමක් වූ සෙට්කා කන්සල්ටන් ආයතනයෙන් ලද තනතුරක් අනුව විශාල වැටුපකට සෑම් සමරසිංහ ඉංජිනේරුවරයා ඉරානයට යන්නේ වර්ෂ 1977 දීය. එහිදී භූමිකම්පාවලට ඔරොත්තු දෙන ගොඩනැගිලි නව සැලසුම් අනුව නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කිරීමෙන් මෙම සිංහල ඉංජිනේරුවරයාගේ සංකල්පනාවල අගය වැඩි දෙනෙකුට දැනගන්නට ලැබිණි.  


ඉරාන විප්ලවය නිසා ආපසු ලංකාවට පැමිණ සිටියදී සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ මැතිතුමා ජාත්‍යන්තර ඉංජිනේරු උපදේශන සේවා සමාගමක් පිහිටුවන ආරංචිය ලැබී එහි ගියේය. එහිදී ප්‍රධාන ඉංජිනේරුවරයකු තෝරා ගැනීමේ අවස්ථාවක් පැමිණි විට සෑම් සමරසිංහ මහතා ද ඉල්ලුම් කර තිබුණු අතර සුදුසුකම් අනුව ඔහු තෝරාගනු ලැබීය. එකල තරුණ විද්වතුන්ට තැන දීමේ ප්‍රතිපත්තිය යටතේ ඔහු තෝරා ගැනිණ.  


මෙසේ සිංගප්පූරුවේ රාජ්‍ය ඉංජිනේරු උපදේශක සමාගමේ ප්‍රධාන ඉංජිනේරු තනතුරට සෑම් සමරසිංහ මහතා පත් විය. මාස ගණනක් ගත වී යද්දී එහි මුඩුබිමේ අහස උසට ගොඩනැගිලි ඉදිකෙරෙන්නට විය. එහි කෙරෙන හැම කටයුත්තක්ම සිදුකෙරුණේ රට තුළ ආර්ථික විප්ලවයක් කරමින් නිසා පිටරටින් ණය වශයෙන් එක ඩොලරයක්වත් ලබා ගැනීමට අවශ්‍ය නොවීය.  


සිංගප්පූරු රජයේ ජාත්‍යන්තර ඉංජිනේරු උපදේශක සභාවේ ප්‍රධානියා ලෙස ද සෑම් සමරසිංහ මහතා පත්කරගෙන සිටි හෙයින් සිංගප්පූරුවේ විවිධ ව්‍යාපෘති වෙනුවෙන් කටයුතු කරනු පිණිස ලොව පළපුරුදු දක්ෂ ඉංජිනේරුවන් සෑහෙන පිරිසක් සම්මුඛ පරීක්ෂණ මගින් බඳවා ගැනීමට ද සමරසිංහ මහතා කටයුතු කළේය.  

 

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විශ්ව කීර්ති ශ්‍රී දේශමාන්‍ය සම්මානය ලබා ගනිමින්

 


තමන් කෙරෙහි සිංගප්පූරු රජය තැබූ විශ්වාසය ආරක්ෂා කර ගනිමින් තමන්ගේ සද්ප්‍රාර්ථනා රටේ දියුණුව පිණිස කැප කිරීම සමරසිංහ මහතාගේ අදහස විය. එසේම ඒවා අතිශයින්ම සාර්ථක වූයේ ලී ක්වාන් යූ අගමැතිගේ මෙන්ම සෙසු ඇමැතිවරුන්ගේ ද රටේ වගකිවයුතු ජනයාගේ ද ගෞරවය ද ආදරය ද ඔහු වෙත යොමුවීම නිසාය.  


මෙසේ මෙවන් ගොඩනැගිලිවලින් ද නව ව්‍යාපෘතිවලින් ද සිංගප්පූරුව නව රටාවකට අනුව දියුණුව කරා යද්දී තමන්​ෙග් රට ව්‍යාපාරික වශයෙන් ද පො​ෙහාසත් කෙරෙනු පිණිස අගමැතිතුමා සෑම් සමරසිංහ මහතා ප්‍රමුඛ ඉංජිනේරු උපදේශක සමාගමට දුන් එක් උපදෙසක් නම් ‘ලෝකයේ මෙතෙක් කෙරී ඇති හොඳම නිර්මාණ අධ්‍යයනය කරලා ඒවාට වඩා හොඳ නිර්මාණයක් කරන්න’ කියාය. එම ව්‍යාපෘතිය ද එතුමාගේ අදහසට අනුරූපීව ඉටුකෙරිණ.  


සිංගප්පූරු වරායේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල නිර්මාණය කිරීම ද මේ අතර සෑම් සමරසිංහ මහතාට ලැබුණු ප්‍රධානතම අභියෝගය විය. එකල සිංගප්පූරුවේ පරිගණක පහසුකම් නොතිබුණ ද එංගලන්ත සමාගමක් සමග එකතු වී එම කටයුතු නිම කරන්නට හැකි විය.  


 තට්ටු හතළිස් දෙකකින් යුතු එම වරාය කාර්යාල ගොඩනැගිල්ල ආසියාවේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස ද අගය කිරීමට ලක්විය. ඒ පිළිබඳව ලී ක්වාන් යූ අගමැතිතුමෝ පෞද්ගලිකව ද ප්‍රසිද්ධියේ ද සමරසිංහගේ සේවය අගයට ලක් කරමින් කතා කළහ.  


එකල සිංගප්පූරු යුද හමුද‌ා පුහුණුවලට සෙබළුන් යවනු ලැබුවේ ඕස්ට්‍රේලියාවටය. එහි ගංගාවක කළ යුතු පුහුණුවීම් උදෙසා මුහුදේ කොටසක් හරස් කර ගංගාවක් ලෙසට සකස් කර ඔවුනට එහි පුහුණුවීම් කරන්නට ඉඩ සලසා දෙන ලැබුවේ ද සමරසිංහ මහතාගේ යෝජනාවක් අනුවය. ගුවන් තොටුපළ සකස් කරන ලද්දේ ද එසේම මුහුද ගොඩ කිරීමෙන් අනතුරුවය.  

 

වත්මන් සිංගප්පූරු අගමැති ලී සියොං ලුන්ග් සමග (1985)  ​

 


“සිංහප්පූරු වරාය ලෝකයේ හොඳම හා විශාලතම වරාය ලෙස පත් කරන්නටත් මේ වනවිට එයින් ලෝකයේ රටවල් පහළොවක වරායන් විසිහතරක් පාලනය කරන්නටත් නාවික වශයෙන් එය දියුණු වෙලා තියෙනවා. ඒවායින් ඩොලර් බිලියන ගණන් ආද‌ායම් රටට ගලා එනවා. එහෙම කටයුතු කරන්නට මටත් විශාල කැප කිරීමක් කරන්නට හැකිවීම ගැන මම සතුටු වෙනවා.” යැයි දේශමාන්‍ය සෑම් සමරසිංහ මහතා දිනෙක අප සමග කියා සිටියේ බොහොමත්ම නිහතමානීවය.  


 පිටරටවල සේවා වශයෙන් මෙසේ තමන්ගේ ඉංජිනේරුමය නැණ නුවණ මෙහෙයවා විශාල සේවාවක් සිදුකළ ද වරින්වර නිවාඩුවට මෙහි පැමිණි කාලය අතරතුරදී මෙරටේ පාලකයන් හමු වී මෙර​ෙට් දියුණුව උදෙසා යම් යම් දේ කිරීම පිළිබඳව අදහස් හුවමාරු කර ගත්ත ද ඒවා ඵලද‌ායක වූයේ නැත. එහෙව් කටයුතුවලින් තමනට පෞද්ගලිකව වාසියක් නොලැබෙන නිසා ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කරන්නට ඇතිය යන්න ඒ ගැන සමරසිංහ මහතාගේ අදහසය.  


වරෙක එසේ පැමිණි සෑම් සමරසිංහ මහතා එවකට පැවැති රජයක පාලකයකු හමුවේ ඉදිරිපත් කළ යෝජනාවක් වූයේ රජයෙන් එක සතයකුදු වැය​ නොකර රටේ නොදියුණු ගම්මාන විසිදහසක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලද නමුත් එය පිළිනොගැනුනේ ඉන් තමන්ට පෞද්ගලික වාසියක් නොලැබෙන බව පෙනුණු නිසාය.  
ලෝකයේ කොහේ ගියත් තමන්​ෙග් බෞද්ධාගම පිළිබඳව කැක්කුමක්, උනන්දුවක් ඇතිව කටයුතු කරන සෑම් සමරසිංහ මහතා සිංගප්පූරුවේ සිටියදී එවකට එහි වැඩම කර සිටි අපේ නායක හාමුදුරුවරුන් කිහිප දෙනකු ද ලංකාවෙන් ගෙන්වා ගන්නාලද නායක හාමුදුරුවරුන් කිහිප දෙනෙකු ද සමග එහි බෞද්ධ ප්‍රතිශතය වශයෙන් තිබූ සියයට විස්සේ ප්‍රමාණය සියයට හතළිස් දෙක දක්වා වැඩි කරවන්නට කටයුතු සැලැස් වූයේ අන්‍යාගමිකයන්ගේ තර්ජන ගර්ජන මධ්‍යයේය.  


 එවැනි කටයුත්තක පුණ්‍ය මහිමය තමනට බලපාන බව සමරසිංහ මහතා යළි යළිත් මතකයට නංවා ගත්තේ ද කුඩා කල සිටම පැවැති බුදුසරණ, දම් සරණ සහ සඟ සරණ නිසාමය. සිංගප්පූරුව ද ශීඝ්‍රයෙන් අන්‍යාගමිකකරණය වෙමින් පවතින යුගයක තමන්ට එයට මුහුණ දී එහි බෞද්ධයන්ගේ තත්ත්වය එසේ දියුණු කිරීමට ලැබීම පිළිබඳව සෑම් සමරසිංහ මහතා සිතන්නේ එය තමන් පෙර ආත්ම භවයකදී කළ පුණ්‍යකර්මයක් නිසා වූවක් බවය.  


දකුණු සිරිලක ගම්මානයක ඉපිද මෙසේ ලෝකයටම සිංහලයකුගේ සුරවිරු දස්කම් අංශ කිහිපයක් යටතේ දක්වාලීමට හැකිවූ දේශමාන්‍ය අමරදිවාකර සෑම් සමරසිංහ මහතා විවාපත් වූයේ ගම්පහ පීටර් ඩයස් බණ්ඩාරනායක මහතාගේ එකම දියණිය වූ මනීෂා ඩයස් බණ්ඩාරනායක මහත්මිය සමගය. ඔවුනට දියණියන් දෙදෙනෙක් සහ එක් පුතෙක් ද සිටිති. ඔවුහු ද පියාණන්ගේ අඩිපාරේ යමින් ලද හැම විටෙකම පාහේ අනුන් වෙනුවෙන් සේවාවක් කරන්නට ඇප කැප වී සිටිති.  


මේ ලබන්නේ දේශමාන්‍ය සෑම් සමරසිංහ මහත්මාගේ හැත්තෑ එක්වැනි වසරය. ලෝකයේ රටවල් කිහිපයකටම තමන්ගේ දස්කම් දැක්වූ එතුමෝ දැන් සිය රට පැමිණ පොදුජන සේවාවෙහි නිරත වී සිටිති. මෙවන් අයට සේවාවක් උදෙසා තව තවත් දීර්ඝායුෂ ලැබිය යුතුය.  


 මෙම වසරේ ජනවාරි 20 සිට 30 දක්වා චීනයේ හොංකොංවල ‘ලයිට් ඔෆ් හීලින්’ සංවිධානයේ හා මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සමිතියේ අනුග්‍රහයෙන් මෙරටට පැමිණි චීන වෛද්‍ය කණ්ඩායමක් පූජ්‍ය බුටාවත්තේ සරණංකර හිමියන්​ෙග් අනුශාසකත්වයෙන් පදවිය, දෙහිඅත්තකණ්ඩිය, වත්තේගම, තලාතුඔය, මිහින්තලේ ප්‍රදේශවල වෛද්‍ය සායන පැවැත්වූහ.  


 මෙය සංවිධානය කර තිබුණේ ජපන් - ශ්‍රී ලංකා බෞද්ධ මිත්‍ර සංගමයේ සභාපති දේශමාන්‍ය සෑම් සමරසිංහ මහතාය. මෙහිදී එයට සහභාගි වූ රෝගීන්ට රුපියල් දහසක් වටිනා වියළි ආහාර මල්ලක් බැගින් ද පිරිනැමිණ. මතුවට ද මෙවන් කටයුතු සංවිධානය කිරීමට බලාපොරොත්තු වේ.  

 

 

සෝමසිරි කස්තුරිආරච්චි