අගමැති බණ්ඩාරනායකගේ අවසන් මොහොත


අගමැති එස්.ඩබ්ලියු.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුව ඇමතීමට ඇමෙරිකාවේ නිව්​ෙ‌යා්ක් නුවර බලා යාමට නියමිතව තිබුණේ 1959 සැප්තැම්බර් මස 27 වැනි දිනය.   


අගමැතිවරයා රටෙන් පිටව සිටින කාලයේදී ගතයුතුව තිබූ රාජ්‍ය පාලන පිළිවෙත් ඒ වෙන විට සැකසෙමින් තිබිණ.   


මෙයින් ප්‍රධාන කාර්යය වූයේ වැඩ බලන අගමැතිවරයෙකු පත්කිරීමය. වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය අනුව වැඩබලන අගමැති ලෙසට පත් විය යුත්තේ පාර්ලිමේන්තුවේ සිටින සභානායකවරයාය. එහෙත් සභානායකව සිටි සී.පී. ද සිල්වා මහතා මේ වන විට රෝගාතුරව ලන්ඩනයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.


පාර්ලිමේන්තුවේ දී පානය කළ කිරි වීදුරුවක් විෂ වීම නිසා ඔහු බරපතළ ලෙස රෝගාතුර විය. එම කිරි වීදුරුවට වස දමා තිබූ අතර එය අගමැති බණ්ඩාරනායක මහතාට දීම සඳහා සැලසුම් කර තිබූවක් බව පැවසිණ. වස දමා තිබූ කිරි වීදුරුව වැරදීමකින් සී.පී. ද සිල්වා පානය කර තිබුණේ යැයි කතාවක් ද පැතිර තිබිණ.  


මේ නිසා වැඩ බලන අගමැති ලෙස නම් කරනු ලැබුවේ එවකට අධ්‍යාපන ඇමැතිව සිටි විජයානන්ද දහනායක ය.  


ඇමෙරිකානු සංචාරය ඉදිරියේ තිබූ නිසා අගමැති බණ්ඩාරනායක කාර්යබහුල පසුබිමක සිටියේය.  


1959 සැප්තැම්බර් 25 වැනි දින උදෑසන නවයට පමණ රොස්මිඩ් පෙදෙසේ නිවසේ උඩු මහලේ සිට බණ්ඩාරනායක අගමැතිවරයා පහත මාලයට පැමිණියේ තමා හමුවීමට පැමිණ සිටි පිරිස සමග කතාබස් කිරීමටය. එදින භික්ෂූන් වහන්සේලා දෙනමක් ගොවි නියෝජිත පිරිසක් සහ ගුරුවරුන් දෙදෙනකු ද අගමැති හමුවීමට නිවසට පැමිණ සිටි පිරිස අතර වූහ. මෙයට අමතරව විශේෂ පුද්ගලයන් දෙදෙ​ෙනක් ඒ අතර සිටියහ. ඒ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති බර්නාඩ් ගෆ්ලර් සහ රාජ්‍ය නීතිඥ එන්.ඊ වීරසූරිය යන දෙදෙනාය.  


රොස්මිඩ් නිව​ෙස් පහත මාලයට පැමිණි අගමැතිවරයා පළමුවෙන්ම ඇමෙරිකානු තානාපතිවරයා සමග කතාබහේ නිරත විය. ඊට දින දෙකකට පසු සිදුවෙන ඇමෙරිකානු සංචාරය ඒ කතාබහට අද‌ාළ විය. මේ කතාබහෙන් පසු තානාපතිවරයා අගමැති නිවසින් පිටව ගියේය.  


අනතුරුව අගමැතිවරයා රාජ්‍ නීතිඥ වීරසූරිය සමග කතා කළේය. රාජ්‍ නීතිඥවරයා අගමැතිවරයාගේ පැරණි මිතුරෙකි. දෙදෙනාම නීති ක්ෂේත්‍රයේ එකට කටයුතු කොට තිබිණ. රාජ්‍ නීතිඥ වීරසූරිය කොළඹ විශාඛා විදුහලේ උපදේශක මණ්ඩලයේ සභාපතිවරයාව සිටියේය. ඔහු අගමැති හමුවට පැමිණ සිටියේද විදුහල සම්බන්ධ ප්‍රශ්නයකටය.  


මේ දෙදෙනා අතර හමුව ගැන රාජ්‍ නීතිඥවරයාගේ පුත් ආචාර්ය වික්‍රම වීරසූරිය මෙසේ පැවසීය.  


‘‘අගමැතිතුමාට වෙඩි වැදීමට විනාඩි කීපයකට පෙරයි මගේ පියා සමග කථා කර ඇත්තේ. කථා කර අවසානයේ මගේ පියා යාමට සූදානම් වූ විට අගමැතිතුමා මගේ පියාට කියා තිබෙනවා ‘‘නෝමි කාර් එක පෝටිකෝ එක යටට ගෙන්න ගන්න’’ කියා. ඔහු මගේ පියා අමතන්නේ නෝමි කියායි.  


“නැහැ මම කාර් එක ළඟට යන්නම්” කියා මගේ පියා අගමැතිගෙන් සමුගෙන පිටත්ව ගොස් තියෙනවා. පියා පිටත්වීමෙන් පසු අගමැතිවරයා කතාකර ඇත්තේ සෝමාරාම හාමුදුරුවන්ට. මගේ පියා රොස්මිඩ් පෙදෙසින් පිට​ෙවන විටම වගෙයි වෙඩි තැබීම සිදුවී ඇත්තේ. ඒත් මගේ පියාට වෙඩි හඬ ඇසී නැහැ”.  


 රාජ්‍ නීතිඥ වීරසූරිය සමඟ පෝටිකෝව දක්වා පැමිණි අගමැති බණ්ඩාරනායක නිවස තුළට ගොස් ඊළඟට සිටි භික්ෂුව අසලට ගොස් වැඳ ‘මොකක්ද හාමුදුරුවනේ’ යයි ඇසීය.  


ඒ භික්ෂුව තල්දූවේ සෝමාරාම හිමිය. ඒ අසලම අගමැති හමුවීමට තවත් භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර ඒ නිවන්තිඩියේ ආනන්ද හිමියෝය.  


අගමැති තල්දූවේ සෝමාරාම හිමිට වැඳ කෙළින් වූ විගසම එම භික්ෂුව සිවුර තුළින් රිවෝල්වරයක් ගෙන අගමැතිවරයාට දෙවරක් වෙඩි තැබූහ. පපුවට වැදුණ වෙඩි පහරත් සමඟම කෑ ගැසූ අගමැතිවරයා නිවස තුළට දිව ගියේය. භික්ෂු වේශයෙන් සිටි පුද්ගලයා අගමැතිවරයා පසුපස එලවාගෙන ගොස් තවත් වෙඩි පහර කීපයක් එල්ල කළේය.  


මේ අවස්ථාවේ රොස්මිඩ් අගමැති නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් භටයා භික්ෂූ වේශයෙන් සිටි පුද්ගලයාට වෙඩි තැබීය. මෙම වෙඩි තැබීමෙන් ශ්‍රමණධාරියා බිම වැටිණ.  


මේ අවස්ථාවේ නිවස තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් ඇතිවූ අතර නිවස තුළ සිටි බොහෝ දෙනෙකු ඒ මේ අතට දිව යන්නට වූහ.  


බිම වැටී සිටි ශ්‍රමණධාරියා අසලට ගිය නිවන්තිඩියේ ආනන්ද හිමි සෝමාරාම හිමිට බැණ වදිමින් “ආගම විනාශ කළ පව්කාරයා” යයි පැවසීය.  


සැකකරු අගමැතිට වෙඩි තබා ඇත්තේ 45 වෙබ්ලි මාර්ක් 4 වර්ගයේ රිවෝල්වරයෙනි. එම රිවෝල්වරය තරමක් විශාල ආයුධයකි. (මෙම රිවෝල්වරය කොළඹ බණ්ඩාරනායක කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත)  
වෙඩි වැදීමෙන් පසු බරපතළ තුවාල ලැබූ අගමැතිවරයා කොළඹ මහ රෝහලේ මර්චන්ට් වාට්ටුවට ඇතුළු කරන ලදී.  


වෙඩි වැදීමේ සිද්ධිය ඒ වෙන විටත් රෝහලට ආරංචිව තිබුණේය. මේ නිසා විශේෂඥ වෛද්‍යවරුන් වන සී.ආර්. ඇන්තනීස් ඇතුළු පිරිසක් අගමැතිට ප්‍රතිකාර සඳහා සූදානමින් සිටියහ.  


“අගමැති රෝහලට රැගෙන පැමිණි විට සර් මොකක්ද වුණේ” යයි වෛද්‍ය ඇන්තනීස් අසා ඇත.  


‘‘අර කළු බඩුව සිවුර යටින් එන කල් වෙන්නෙ මොකක්ද කියා හිතාගන්න බැරි වුණා’’ යයි අගමැති පැවසීය. එවිට වෛද්‍ය ඇන්තනීස් මොන සිවුරක්දැයි අසා ඇත.


 සිවුරක් හැඳ සිටි පුද්ගලයකු වෙඩි තැබූ බව එවිට අගමැතිවරයා පවසා තිබේ. පසුව ජාතිය හමුවේ කළ ප්‍රකාශයේ ද තමාට සිවුරක් හැඳ සිටි පුද්ගලයකු වෙඩි තැබූ බවත් ඒ පුද්ගලයාට අනුකම්පා කරන ලෙසත් ඉල්ලා තිබේ. රෝහලේදී අගමැතිවරයා පැය පහක ශල්‍ය කර්මයකට බඳුන් කරනු ලැබීය. සී.ආර් ඇන්තනීස්, එම්.වී.පී. පීරිස්, එල්.ඕ. සිල්වා, නොඑල් බර්තෝලමියුස් යන ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමක් මෙම ශල්‍යකර්මය සිදු කිරීමට සම්බන්ධ වූහ.  


ශල්‍ය වෛද්‍ය සී.ආර් ඇන්තනීස් පසු කලෙක මෙම ලේඛකයාට හමු වූ අවස්ථාවක අගමැතිවරයාගේ මරණය ගැන විමසා සිටි විට ඔහු පැවසුවේ ශල්‍ය කර්මයෙන් පසු සිදු වූ ලේ කැටි ගැසීමක් මරණයට හේතු වූ බවයි.  
රෝහලට ගෙන ආ අවස්ථාවේ දී අගමැතිවරයාගේ හෘද ස්පන්දනය හදිසියේ නතර වූ නිසා පපුව සම්බාහනය කිරීමට සිදු වූ බවද ඔහු කීවේය.  


වර්තමානයේ ඇති වෛද්‍ය පහසුකම් ඒ අවස්ථාවේ තිබුණේ නම් අගමැතිවරයාගේ ජීවිතය ගලවා ගැනීමට තිබුණේ දැයි විමසූ විට වෛද්‍ය ඇන්තනීස් පවසා සිටියේ බොහෝ විට එසේ වීමට ඉඩ තිබූ බවයි. ශල්‍ය වෛද්‍ය ජී. අාර්. ඇන්තනීස් 2009 දෙසැම්බර් 9 දින මිය ගියේය. ඒ වන විට ඔහු 98 වැනි වියේ පසුවිය.  


නිවන්තිඩියේ ආනන්ද හිමියන් ගැන පැවසීමට තවත් කරුණක් තිබේ. අසූව දශකයේ මුල් භාගයේදී කොල්ලුපිටිය පොල්වත්ත පන්සලේ උත්සවයකට මාධ්‍යවේදියකු ලෙස සහභාගී වූ අවස්ථාවක මට හිමි නමක් මුණගැසිණ. කතා බහ කිරීමේදී උන්වහන්සේගේ නම නිවත්තිඩියේ ආනන්ද බව ප්‍රකාශ විය.  


බණ්ඩාරනායක ඝාතන නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වූයේ ඔබ වහන්සේ දැයි විමසූ විට ඔව් යයි පැවසූහ.  


බණ්ඩාරනායක ඝාතන සිද්ධිය ගැන උන්වහන්සේගෙන් විමසූ විට ප්‍රකාශ කළේ සෝමාරාම හිමි දෑතින්ම රිවෝල්වරය ගෙන දත්මිටි කමින් වෙඩි තැබූ බවය. සෝමාරාම තමා වෙතටද ආයුධය එල්ල කළ නමුත් වෙඩි නොතැබූ බව ආනන්ද හිමියෝ පැවසූහ.


අගමැති එස්.ඩබ්ලියු.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මිය ගොස් ගත වී ඇති කාලය වසර 59 කි. මේ සිද්ධි සමුද‌ායේ නම් ප්‍රකාශ වූ ප්‍රධාන චරිත බෙ​ාහෝමයක් දැන් ජීවතුන් අතර නැත.  
ඒ අය ඉතිහාසයේ තම තමන්ට හිමි තැන්වල ස්ථානගතව සිටිති.  


බණ්ඩාරනායක ඝාතන නඩුවේ සැකකරුවන් වූ තල්දූවේ සෝමාරාම, මාපිටිගම බුද්ධරක්ඛිත යන හිමිවරුන් මෙන්ම එච්.පී. ජයවර්ධන, කරෝලිස් අමරසිංහ, නිව්ටන් සිල්වා ආදීන් මියගොසිනි.  


තල්දූවේ සෝමාරාම 1962 ජූලි 6 දින වැලිකඩ බන්ධනාගාරයේදී එල්ලා මරන ලදී. මරණ දඬුවමට ලක්වෙන අවස්ථාවේ ඔහු කතෝලික ආගම වැලඳ පීටර් යන නමින් බෞතීස්මව සිටියේය.  


මාපිටිගම බුද්ධරක්ඛිත 1967 දී වැලිකඩ බන්ධනාගාරයේ දඬුවම් විඳිමින් සිටියදී හෘදයාබාධයකින් මරණයට පත් විය.  


 අගමැති බණ්ඩාරනායකට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් සියලු දෙනාම දැන් ජීවතුන් අතර නැත. මේ අය අතුරෙන් මෑතක් වෙන තුරු සිටියේ ​වෛද්‍ය ඇන්තනීස් පමණි.  


මහ රෝහලේ මර්චන්ට් වාට්ටුවේ අගමැති බණ්ඩාරනායකට ප්‍රතිකාර කළ හෙදියන් අතර පද්මා කරුණාරත්න නම් 24 වැනි වියේ සිටි හෙදියක් ද වූවාය. ඇය දැන් 84 වැනි වියේ පසුවේ.  


අගමැති බණ්ඩාරනායක අවසන් හුස්ම හෙළන අවස්ථාවේදී ඒ අසල සිටි දැනට ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා ද ඇයයි.  


මතුගම සිය නිවසේ සිටින පද්මා කරුණාරත්න මහත්මිය බණ්ඩාරනායක අගමැතිතුමාගේ අවසන් මොහාත පිළිබඳව ඉරිදා ලංකාදීපයට මෙසේ පැවසුවාය.


අගමැතිතුමා ශල්‍යකර්මයට බඳුන් කළ දිනට පසු දින එනම් සැප්තැම්බර් 26 දින උදේ හතට මම සේවයට පැමිණයා. මා නතරව සිටියේ අසල තිබූ හෙදි නේවාසිකාගාරයේ.


මට අගමැති සිටි කාමරයට විටින් විට යාමට සිදු වුණා. ඒ වෙන විට එතුමාට සිහිය පැමිණ විටින් විට සිහින් හඬින් වෛද්‍ය ඇන්තනීස් සමග කථා කරමින් සිටියා. බණ්ඩාරනායක මැතිනිය සහ දරුවන් රෝහලට පැමිණ වාට්ටුවේ බැල්කනියේ සිටියා. මැතිනිය උදෑසන කුප්පියාවත්ත පන්සලේ බෝධි පූජාවකට ගොස් තිබුණා.  


වරක් අගමැතිතුමා වෛද්‍ය ඇන්තනීස්ට පවසා සිටියා තමාට බඩගිනි දැනෙන බව. නිවසින් බැනියමක් ගෙන්වා ගතයුතු බවද එතුමා පැවසුවා. රොස්මිඩ් නිවසේ අගමැති හමුවීමට පැමිණ සිටියදී වෙඩි වැදුණ ගුරුවරයාත් ශල්‍ය කර්මයකට බඳුන් කිරීමට ශල්‍යාගාරයට ඇතුළු කර සිටියා. ඒ අවස්ථාවේ මට ඒ ශල්‍යාගාරයට යාමට සිදු වුණා. මම එහි ගිය ගමන්ම වගේ රෝහල් සේවකයින් දෙදෙනෙක් කලබලයෙන් එහි පැමිණ අගමැතිතුමාට අමාරු බව කියා ඔක්සිජන් මැෂිම රැගෙන ගියා. මමත් ඔවුන් සමග අගමැතිතුමාගේ කාමරයට දිව ගියා. අගමැතිතුමා හුස්ම ගැනීමට අමාරු බව අතින් සංඥා කර තියෙනවා.  


මේ අවස්ථාවේ මැතිනිය ඇතුළු දරුවන්ට කඩිනමින් කාමරයට එන ලෙස දන්වන්නයි වෛද්‍ය ඇන්තනීස් පවසා සිටියා. මේ නිසා කාමරයේ සිටි මා ඇතුළු රෝහල් සේවකයින් කිහිපදෙනාට කාමරයෙන් පිටවෙන ලෙස ඇන්තනීස් මහතා පැවසුවා. මම හිතන්නේ මැතිනිය සහ දරුවන් කාමරයට පිවිසෙන විටම තමයි අගමැතිතුමා මියගොස් ඇත්තේ.  


අගමැතිවරයාගේ මරණය සිදු වූයේ උදෑසන 7.50 ට පමණ විය යුතුයි. රෝහලේ සිටි සියලුදෙනාම හඬා වැලපුණා. රෝහල අවට විශාල පිරිසක් රැස්ව සිටියා. මේ අය පාලනයට පොලිසිය යොදවන්න සිදු වුණා.’’  
වර්තමානයේ ඇති වෛද්‍ය පහසුකම් ඒ අවධියේ තිබු​ෙණ් නම් අගමැති ගලවා ගැනීමට ඉඩ තිබූ බව වෛද්‍ය ඇන්තනීස් කළ ප්‍රකාශය පද්මා කරුණාරත්න මහත්මියට පැවසූ විට ඇය මෙසේ කීවාය.  
‘‘වෛද්‍ය ඇන්තනීස් ඒ කාලයේත් ලංකාවේ සිටි ප්‍රසිද්ධම වෛද්‍යවරයෙක්. අගමැතිතුමාට ප්‍රතිකාර කළ නිසා එතුමා වඩා ප්‍රසිද්ධ වුණත් ඒ වන විටත් ප්‍රසිද්ධව සිටි කෙනෙක්. එතුමා කළ ප්‍රකාශය පිළිගත හැකියි. අගමැතිතුමාට ශල්‍යකර්මය කිරීමට පැය පහක් ගත වුණා. ඒ සඳහා සූදානම් වීමටත් සෑහෙන කාලයක් ගතවුණා.  


දැන් ඇති වෛද්‍ය පහසුකම් යටතේ එපමණ කාලයක් යන්නේ නැහැ. ශල්‍ය කර්මයෙන් පසු සිදුවන ලේ කැටිගැසීම වැළැක්වීමට දැන් නවීන වෛද්‍ය උපකරණ සහ ​ඖෂධ තියෙනවා. ඒ කාලයේ එ් වගේ දියුණුවක් තිබුණේ නැහැ. පනස් ගණන්වලට සාපේක්ෂව ලංකාවේ වෛද්‍ය පහසුකම් ශීඝ්‍රයෙන් දියුණු වුණේ 1965-75 කාලයේදී. මේ කඩිනම් දියුණුවට හේතුවක් තිබුණා. ඇමරිකාව සඳට මිනිසෙකු යවන කාලයේදී මේ සඳහා භාවිත වුණ වෛද උපකරණ පසු කාලයේ ලෝකයේ සෞඛ්‍ය සේවා සඳහා වැඩි දියුණු වීම ඊට හේතුවයි.  


පද්මා කරුණාරත්න මහත්මිය හෙද සේවයෙන් විශ්‍රාම ගියේ 1983 දීය. ඇය සිය සැමියා වන එරික් කරුණාරත්න සහ දරු මුනුබුරන් සමග මතුගම, හොරගල නිවසේ දිවි ගෙවන්නීය.   

 

 

 

රන්ජන් අමරසිංහ