අකුණක් ගහන්න කලින් අනතුර අඳුනාගන්න පුළුවන්ද ?


මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟ අකුණු සැර වැදීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි දින කිහිපය තුළදීත් වැසි වර්ධනයක් පෙන්නුම් කරන බවත් ඒ සමඟම අකුණු ඇතිවීමේ තත්ත්වය ද වර්ධනයක් පෙන්නුම් කරන බවත් එම දෙපාර්​ෙම්න්තුවේ ආවරණ අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය පැවසුවාය. එම අකුණු පවතින අවස්ථාවේ විදුලි උපකරණ  භාවිතා නොකිරීමෙන් හා ආරක්‍ෂිත ස්ථානයක රැඳී සිටීමෙන් අනතුරු අවම කරගත හැකි බව අැය සඳහන් කළාය.   


අකුණක් ඇතිවීමට පෙර එය කල් තියා හඳුනාගත හැකි වෙතත් එය පතිත වන ස්ථානය නිශ්චිත වශයෙන්ම සඳහන් කළ නොහැකි බවයි ඇය ප්‍රකාශ කළේ.   


ප්‍රශ්නය:- කොහොමද අකුණක් කල් තියා හඳුනාගන්නේ?   


පිළිතුර:- සාමාන්‍යයෙන් වර්ෂාව පවතින විට සැමවිටම නොවෙයි ගිගුරුම් හඬත් එක්ක අකුණු පැවතී​ෙම් තත්ත්වයක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන වලාකුළු අපි හඳුන්වන්නේ කැටි වැහි වලාකුළු කියලා. සාමාන්‍යයෙන් මේවා හඳුනාගන්න පිළිවන්. සාමාන්‍යයෙන් වලාකූළු පින්තූර මගින්. ඒවගේ තත්ත්වයකදී විදුලි ආලෝකයත් සමඟ අකුණු පැවතීමේ අවදානමක් පවතිනවා. ඒ වලාකුළු බොහෝ විට හඳුනාගන්න පුළුවන්. ඒ හැරෙන්නට රේඩාර් වැනි උපකරණයකිනුත් ඒවා හඳුනාගන්න පුළුවන්. දැනට අපි භාවිත කරන රේඩාර් යන්ත්‍රවලිනුත් අපි බො​ෙහා් විට වලාකුළුවල තොරතුරු රැස් කිරීම තමයි කරන්නේ. ඒවායිනුත් අකුණු පැවතීමේ හැකියාවන් සාමාන්‍යයෙන් පොඩි කාලයක් තුළ හඳුනාගන්න පුළුවන්. ලොකු කාලයකදී නෙමෙයි පැය භාගයක් වගේ කාලයකදී හඳුනා ගන්න හැකියාවක් තිබෙනවා. ඒත් හරියටම අකුණු මේ, මේ ස්ථානයට පතිතවනවා කියල කියන්න අපහසුයි. මේ මේ ප්‍රදේශවලට අකුණු සැර පතිත වෙයි කියල කියන්න පුළුවන්.   


සාමාන්‍යයෙන් විදුලිබල තාක්‍ෂණික පද්ධති වගේ දේවල් සවිකරනවා. ඒවායින් විදුලියේ එළිය හඳුනා ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය නිරීක්‍ෂණයක්. ඒ තොරතුරු සියල්ලක්ම එකතු කරලා අකුණුසැර ඇතිවෙන බව දැනගන්න හැකියාවක් පවතිනවා. ඒත් නිශ්චිතවම මෙම ස්ථානයටම අකුණුසැර පතිත වෙයි කියලා කියන්න බැහැ.   


ප්‍රශ්නය:- සාමාන්‍ය ජනතාව කොහොමද මේ අකුණු සැර හඳුනා ගන්නේ?   


පිළිතුර:- අැත්තටම දැන් ඈතින් ගොරවන හඬ අැසෙනව නම් අපි දන්නවා ඒ වලාකුළු තිබෙන්නේ තරමක් ඈතින් කියලා. ගොඩාක් දුරට ළඟින් ළඟින් වගේ හඬ ඇසෙනව නම් අපි ඒ ගැන අවධානය යොමු කරන්න ඕනෑ. අන්න ඒ වෙලාවේදී අපි ඉතා පරෙස්සම් විය යුතුයි. විශේෂයෙන් අපි නිරන්තරයෙන්ම සඳහන් කරන දෙයක් තමයි අපිට වැස්ස නැති වුණත් අපිට ගොරවන හඬ ළඟින් ඇසෙනවා නම් අපිට අකුණක් ඇති වෙන්න තිබෙන අවදානම ඉතා ඉහළයි. වැස්සක් ඇති වෙන්නම අවශ්‍ය නැහැ. වෙනත් ප්‍රදේශයකට වැස්ස ඇති වෙන්න පුළුවන්.   


අකුණු වර්ග කිහිපයක් තිබෙනවා. අකුණු වලාකුළු ඇතුළේම අකුණු පවතිනවා. ඊළඟට වලාකුළෙන් පොළොවට පතිතවන අකුණු තිබෙනවා. අනික වලාකුළෙන් වලාකුළට අකුණු ඇති වෙනවා. එතකොට අපි විශේෂයෙන් විවෘත ස්ථානවල රැඳී සිටීම සුදුසු නැහැ.   


ප්‍රශ්නය:- මොනවද එවැනි ස්ථාන?   


පිළිතුර:- විශේෂයෙන් කුඹුරු, ක්‍රීඩා පිටි, වැව්, ජලාශ ආශ්‍රිත ප්‍රදේශ වැනි තැන්වලට අකුණු පැවතීමේ ඉඩකඩ පවතිනවා. අපි එවැනි තැන්වල සිටගෙන සිටියහොත් අපි තමයි ඒ අකුණේ ප්‍රධාන ඉලක්කය. මොකද ඒ අකුණට අවශ්‍ය වෙන්නේ ඉක්මනින් භූගත වෙන්න. ඉතින් ඒ ස්ථානයේ උසම කෙනාගෙන් අකුණ භූගත වෙනවා. කෙටිම මාර්ගයෙන් තමයි භූගත වෙන්නේ. ඒක නිසා තමයි ජනතාව අකුණු සැරවලට ඉලක්ක වෙන්නේ.   


ඊළඟට අපි ඉක්මනින් දිවයනවා වැසි පවතින විට ඉන් ආරක්‍ෂා වීමට ගසක් යටට. ඒක ඉතාමත් භයානකයි. මොකද ගස අපට වඩා උස නිසා අකුණ ගස තුළින් භූගත වෙන්න බලනවා. ඉතින් ඒ අසල සිටියොත් අපිට එහි බලපෑම ඇති වෙන්න පුළුවන්.   


ප්‍රශ්නය:- අකුණක් ඇතිවෙන්නේ කොහොමද? 

 
පිළිතුර:- සාමාන්‍යයෙන් වලාකුළු ඒ කියන්නේ ගිගුරුම් සහිත වැසි ඇතිවන කැටි සහිත වලාකුළු කිලෝමීටර් 12 ක් පමණ උසයි. මේ වලාකු​ළේ හැදෙනවා ඍන තිහක් හෝ හතළිහ වගේ ඉහළට. මේ වලාකුළු වර්ධනය වෙන උෂ්ණත්වය ගතහොත්, මෙහි තිබෙනවා අයිස් කැට. එතකොට මේ වලාකුළු අතර ඉහළ පහළ යන සුළං ධාරාවත් එක්ක මේ අයිස් කැටත් ඉහළ පහළ යනවා. එතකොට අයිස් කැට ගැටෙන කොට එහි අංශු ආරෝපණය වෙනවා. ඒකෙන් තමයි වලාකුළු ඇතුළේ ආරෝපණය සිදුවෙන්නේ. උදාහරණයක් ගත්තොත් අපි හිස පීරන පනාවක් අරගෙන ඒක පිරිමැද්දහම ආරෝපනය වෙන්නේ. අන්න ඒ වගේ සිද්ධියක් තමයි මෙතන සිද්ධ වෙන්නේ​. එතකොට ධන හා ඍන අ​ාරෝපණ විදිහට බෙදිලා විභූ අන්තරයක් ඇති වෙනවා වලාකුළු අත​ෙර්. එතකොට මේ විභූ අන්තරය නිසා තමයි විදුලි ධාරාවක් ගමන් කරන්නේ. වලාකුළේ ධන හා ඍණ බෙදෙනවා වගේම පොළොව මට්ටමේත් ආරෝපණයක් ඇති වෙනවා. එතකොට පොළොව සහ වලාකුළු අත​ෙර්ත් විභූ අන්තරයක් ඇතිවෙනවා. එතකොට මේ විභූ අන්තරේ ඇතිවීම නිසා වලාකුළේ ඉඳලා පොළොවට වගේම වලාකුළේ සිට වලාකුළ ඇතුළේත් විභූ අන්තරයක් තිබෙනවා. එතනින් විදුලි ධාරාවක් ගමන් කරනවා. එතකොට වලාකුළෙන් වලාකුළ අතරත් ප්‍රතිවිරුද්ධ අන්තරයක් ගමන් කරනවා විදුලි ධාරාවක්. මෙන්න මේ ආකාරයට තමයි ආරෝපණයක් ඇති වෙලා විද්‍යුත් ධාරාවක් ඇතිවෙන්නේ.   


අන්න ඒ විද්‍යුත් ධාරාවට තමයි අපි අකුණු කියලා හඳුන්වන්නේ. ඒ විද්‍යුත් ධාරාව ගමන් කරන කොට තමයි අපිට අකුණක් කියලා පෙනෙන්නේ.   


ප්‍රශ්නය:- සාමාන්‍යයෙන් එහි ධාරිතාව කොපමණ වෙනවාද?   


පිළිතුර:- සාමාන්‍යයෙන් ඇම්පියර් විසි දාහක් හෝ තිස්දාහක් අතර ධාරිතාවක් තිබෙනවා.   


ප්‍රශ්නය:-​ හොඳම ආරක්‍ෂිත ස්ථානය කුමක්ද?   


පිළිතුර:- සුදුසුම ආරක්‍ෂිත ස්ථානයක් තමයි වාහනයක් තුළ රැඳී සිටීම. ඒත් සෑම කෙනෙකුටම එහෙම නැති නිසා හොඳ ශක්තිමත් නිවෙසක් තුළ රැඳී සිටීම සුදුසුයි. දැන් ඔය තහඩු සෙවිල් කළ නිවාස, මඩු වැනි ස්ථානවල රැඳී සිටීම අවදානම්. අන්න ඒ වගේ සුදුසු තැනකට ඉක්මණින් පිටත් විය යුතුයි. ඒ වගේ තැනකට යන්නම අපහසුනම්, එළිමහනක රැඳී සිටිනවා නම් අපි කළ යුතු සුදුසුම දේ තමයි අපේ උස අඩු කරගන්න එක. ඒ කියන්නේ දණහිසෙන් නැමිලා පහත් වෙලා ඉන්න ඕනෑ. කොයි මොහොතකවත් වැතිරෙන්න සුදුසු නැහැ. උස අඩු කරගෙන පුළුවන් තරම් ඇඟේ වර්ගඵලය අඩුකරගෙන එරමිණියා ගොතාගෙන කියලා කියන්නේ අන්න ඒ ආකාරයෙන් සිටීම සුදුසුයි. යන්නම තැනක් නැතිනම් සුදුසු ක්‍රමය ඒකයි. ඒ කියන්නේ අකුණු සැර මදක් අඩු වෙනකම්.   


ප්‍රශ්නය:- අකුණු සැර පවතින විටදි විදුලි උපකරණ භාවිතය නුසුදුසු කියන්නේ ඇයි?   


පිළිතුර:- අනිවාර්යයෙන්ම. තදබල හෝ සුළු වශයෙන් අකුණු සැර පවතින අවස්ථාවක විදුලි උපකරණ භාවිතය කොහෙත්ම සුදුසු නැහැ. පුළුවන් තරම් ඒවා භාවිතයෙන් වැළකී සිටිය යුතුයි. ඒවා ප්‍රධාන විදුලි ධාරාවෙන් ඉවත් කොට ඒවායේ ක්‍රියාකාරීත්වය විසන්ධි කළ යුතුයි.   


විශේෂයෙන් විදුලි උපකරණ වගේම රැහැන් දුරකථනවලින් අකුණු පතිතවී​ෙම් අවදානම වැඩියි. දැන් අපි නිවෙසක ඇති මනු (ප්ලග්) වලින් ඒ උපකරණ විසන්ධි කළ යුතුයි. ඒවා ක්‍රියාකාරීත්වය ​ෙනාමැති වුවත් වෙනත් තැනකින් ඇතුළුවන විදුලි ධාරාව ඒ තුළින් ඇතුළු වීමේ ඉඩකඩ වැඩියි. ඒ වගේම ජංගම දුරකථනවලට වඩා රැහැන් සහිත දුරකථන ඔස්සේ දරාගත නොහැකි විදුලි ධාරාවක් පැමිණෙන්න පුළුවන්. ඒ වගේම රූපවාහිනි ඇන්ටනා මගින් විදුලි ධාරා ඇතුළු වෙන්න පුළුවන්. දැන් ජංගම දුරකථනයක තිබෙන්නේ විද්‍යුත් චුම්භකයක්නේ. රැහැන් දුරකථන ඔස්සේ ඒ රැහැන හරහා විදුලිය එහෙමත් නැතිනම් අකුණු සැර නිවෙස තුළට පතිත වෙලා නිවෙසේ විදුලි උපකරණවලට වගේම ජීවිතවලටද හානි සිද්ධවෙන්න පුළුවන්.   


අකුණු සැර විශාල කාල පරාසයක් තුළ පතිත වෙන්නේ නැහැ. පැය භාගයක් හෝ විනාඩි හතළිස් පහක් වැනි කාලයක් තුළදී ඒ දේවල් මඟ හැරලා ඇඳක හරි පුටුවක හරි කකුල් බිම නොගෑවෙන පරිදි තබාගෙන සිටීම ඉතාමත් සුදුසුයි.   


ප්‍රශ්නය:- මේ අකුණු සහිත කාලගුණික තත්ත්වය තව ඉදිරියටත් බලපායිද?   


පිළිතුර:- අනිවාර්යයෙන්ම ඉදිරියටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද, අන්තර් මෝසම් කාලය ටිකක් ප්‍රමාද වෙලා ඇති වුණේ. ඒ කියන්නේ ඔක්තෝබර් 24 න් පස්සේ තමයි අන්තර් මෝසම් තත්ත්වය ඉතා හොඳින් වර්ධනය වුණේ. ඒක නිසා ඉදිරියටත් හිඟුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකියි. ඒ අවස්ථාවේ පුළුවන් තරම් අකුණු අනතුරු අවම කර ගැනීමට අපි වග බලා ගන්නවා නම් ඒවායින් සිදුවන හානි නැති කරගන්න පුළුවන්.   


අකුණු අනතුරු හේතුවෙන් මේ වසර ආරම්භයේ සිට මේ දක්වා ජීවිත 12 ක් අහිමි වුණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මෑතකදී සිදුවූ අකුණු සැර වැදී මියගිය බවට වාර්තා වුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. හම්බන්තොට මැදමුලන හෙලිකොප්ටර් අංගණයේ වී වේලමින් සිටි 3 දෙනෙකුය. ඔවුන් ගල්පොත්තයාය මුල්කිරිගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වී වේලීම සඳහා යොදා ගන්නා පෝරුවේ යකඩය මෙසේ අකුණු සැර වදින්නට ඇතැයි විශ්වාස කෙරේ.   


කෙසේ වෙතත් ඉදිරියේදී ඇතිවන අධික වැසි සහිත තත්ත්වයත් සමඟ ඇතිවිය හැකි අකුණු අනතුරුවලින් වැළකීමට පියවර ගැනීමට අවධානය යොමු කරමු.   

 

 


අකුණුවැදී මියගිය තුන්දෙනා  

පසුගිය 29 වැනිදා සවස උදාවීමත් සමඟම සුපුරුදු පරිදි තම දෛනික කටයුතු සඳහා සියල්ලෝ යුහුසුළු වූහ. එදා වේල සොයා ගැනීමට නම් කාගේ හෝ කුලී වැඩක් කළ යුතු පිරිස් මොවුන් අතර බොහෝය. වීරකැටිය මැදමුලන අවට ගම් වූ සියඹලාහැද්දෑව, කුඩා බිබුළ සහ ගල්පොත්තයාය යන ගම්වලද දවසේ වෙහෙසින් එදවස කුසගිනි නිවාගෙන පසුවදා යළිත් කුලියට යන දුප්පතුන් බහුලය.  


මෙකී ගම්මාන තුනේ නිවෙස් තුනක ගෘහමූලිකයන් තිදෙනා දවසේ කුලිය කරමින් සිටියදී සොබාදහමේ රෞද්‍රත්වයට ගොදුරු වී ඔවුන්ගේ දරු පවුල් හැරදමා ජීවිතවලින් සමුගත්හ. පසුගිය (29) ඉරිදා මැදමුලන වෙල්යායේ සැහැල්ලු ගුවන්යානා අංගනයේ වී වේළමින් සිටියදී අකුණු සැර වැදීමෙන් මරණයට පත් වූයේ කුඩා බිබුළ මැද කොරටුවේ එච්.එන්.ජී. සිරිසේන, සියඹලහැද්දෑවේ අසේල සම්පත් බාලගමගේ, ගල්පොත්තයායේ මුල්ගිරිගලගෙදර අබේපිටියගේ ඩේවිඩ් යන අයයි. මළහිරු බැස යන්නට තැත් කරද්දී, මේ මහා අනතුරින් අසරණ භාවයට පත් වූවන් හමුවන්නට අපි ගියෙමු.  


ප්‍රථමයෙන්ම ගියේ සියඹලහැද්දෑවේ අසේල සම්පත් බාලගමගේ ගේ නිවසටයි. ඔහු වයස 22 පසු කළා පමණි. විවාහකයෙකි. එක්දරු පියෙකි. සිඟිත්තාගේ වයස වසර 1 1/2 කි. අසේලගේ පියා වන බාලගමගේ සිරිසේන අප වෙත අදහස් දැක්වූයේ මෙසේය.  


 “මේ මගේ පුතා. උපන්නේ 1995 සැප්තැම්බර් 16 දා. මීගස්ආර මහා විද්‍යාලයේ 3 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තා. වයස 18 දී විවාහ වුණා. හරිහැටි රක්ෂාවක් නැහැ. වාහන සෝදන තැනක කලින් වැඩ කළා. එතැන පඩි මදිය කියා එදිනෙදා කුලී වැඩ සොයාගෙන යන්න පටන් ගත්තා. මම කිව්වා යන්න එපා ගෙදර ඉන්න කියා. නමුත් ඉතින් මටත් ජීවත් වෙන්න අමාරු නිසා එයා වැඩ සොයාගෙන ගියා. දරුවන් හතර දෙනයි මට උන්නේ. දැනට දූලා තුන්දෙනා තමයි ඉන්නේ. දෙන්නෙක් පාසල් යනවා. ලොකු දුව විවාහකයි. එක් දුවකගේ පාදයක් උපතින්ම ආබාධිතයි. සනීප කරන්න හැකි ආබාධයක් වුණත් අපට කලට වේලාවට මිල මුදල් නැතිකමින් සුව කරගන්න බැරි වුණා. කාගේ හරි උදව්වකින් තමයි ඉතින් මගේ දරු දෙදෙනාටවත් හොඳ ඉගෙනීමක් ලබා දෙන්න හැකිවෙන්නේ.”  
කාලගුණය කළ මේ විපතින් අසරණ භාවයට පත් වූයේ විජේතුංග අබේපිටියගේ ඩේවිඩ්ගේ බිරිය හා දරුවන් පමණක් නොවේ. ඔහුගේ සොයුරියක ද වේ. ඇය ආඝාත රෝගයෙන් පෙළෙන්නීය. ඩේවිඩ් දිනපතා කුලී වැඩට යාමට පෙර තම රෝගී සොයුරිය පවිත්‍ර කර, නාවා, ආහාර ලබාදී දරු දෙදෙනාගේ කටයුතු ද කරයි. එසේ වීමට හේතුව ඩේවිඩ්ගේ බිරිය ද විටින් විට ව්‍යාදියකින් පෙළීමය.  


දහසකුත් එකක් දුක්ගැහැට කරදර මධ්‍යයයේ වුව ද උගතමනා ශිල්පයමයි සිතූ ඉරේෂා ලක්මාලි ඩේවිඩ්ගේ වැඩිමහල් දියණිය සාමාන්‍ය පෙළ විභාගය 'A' සම්මාන හතරක් ද සහිතව විශිෂ්ට ලෙස සමත් වූවාය. 19 වැනි වියේ පසුවන ඉරේෂා ලක්මාලි දියණියගේ අධ්‍යාපන කටයුතු මින් ඉදිරියට අවිනිශ්චිතය. ඩේවිඩ්ගේ පුතා එකොළොස් වැනි වියේ පසු වෙයි. 6 වැනි වසරේ ඉගෙනුම ලබයි. ඔහු ද අක්කා සහ අම්මා ළඟට වී පියාගේ නිසල දේහය දෙස බලා හිඳී.  
මෙම අකුණු අනතුරින් දිවි හැර දමන්නට සිදුවූ අනෙක් තැනැත්තාගේ නිවසට අප යන විට (31) ඔහුගේ සිරුර මිහිදන්කර හමාරය. මළානික මුහුණින් හා අඬා හෙම්බත් වූ නෙත්වලින් ද යුත් තම පියාගේ වියෝවෙන් කම්පිත හේවානැදුන්ගොඩ ගමගේ වාසනා සංදීපනී අප සමඟ වචන කිහිපයක් මිමුණුවාය. හේවානැදුන්ගොඩ ගමගේ සිරිසේන ඇගේ පියාය. ඔහුගේ වයස අවුරුදු 64 කි. වාසනා සංදීපනීට සොයුරු සොයුරියන් නැත. අගේ මෑණියන් වන විජේසිංහගේ යසවතීට වයස 59 කි. ඇය තවත් හඬන්නට කඳුළු නැතිවාක් මෙන් බලා සිටියාය.  


 සුවපහසු මන්දිරවල රසමසුවුලු බුදිමින් සුඛෝපභෝගී වාහනවලින් විදුහල් කරා යන සිසු දරුවන් සිටින රටක කුසට නිසි අහරක් නැතිව ගතට සරිලන වස්ත්‍රයක්, ඉහට නොතෙමනා මනා වහලක් නැතිව ගල්බොරළු මාවතේ ගාටා ගොස් අධ්‍යාපනයෙන් තම විද්‍යාලයටත් ගෞරවයක් ලබාදුන් පියා අහිමි දරුවන් වන එච්.එන්.ජී. වාසනා සංදීපනී හා ඉරේෂා ලක්මාලි දියණියන් දෙදෙනාටත් 6 වසරේ ඉගෙන ගන්නා තත්සර ලක්මාල් පුතුටත් සංවේදී හදවත් ඇති මිනිසුන්ගේ පිළිසරණ ලැබේ යැයි සිතමු.   

 

 

 

 

සටහන ඡායාරූප -
වීරකැටිය විශේෂ පී. සමරසිංහ 

 


 

 

 

 

 

 

 

සටහන:- 
නිශාන්ත කුමාර බණ්ඩාර