71 ජවිපෙ කැරැල්ලේ ආස්වාදය උතුරේ තරුණයන් අවිගන්න හේතුවුණා


ඊළාම් විප්ලවකාරී ශිෂ්‍ය සංවිධානයෙන් බිඳී ගොස් කේ. පත්මනාභගේ ප්‍රධානත්වයෙන් ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ නොහොත් ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය ආරම්භ කෙරුණේ 1980දීය. ඩග්ලස් දේවානන්ද, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර, වර්ධරාජා පෙරුමාල්, තිරුනාවුකරසු ශ්‍රීධරන්, කුනසේකරම්, පෙරිම්පනායගම්, යෝගසංගරී, නඬේසලිංගම් වැනි පිරිසක් එහි ආරම්භක සාමාජිකයෝ වූහ.

1982දී මහජන විමුක්ති හමුදාව නමින් එහි සන්නද්ධ කණ්ඩායම නිර්මාණය කෙරුණු අතර එහි නායකත්වය හිමිවූයේ ඩග්ලස් දේවානන්දටය. 1986දී සංවිධානය දෙකට බෙදිණි. ඉන්පසු ඔවුහු  රන්ජන් පිල (පරන්තන් රන්ජන්) සහ ඩග්ලස් පිල (ඩග්ලස් දේවානන්ද) වශයෙන්  පෙනී සිටියහ. 1986 අගභාගයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයට දරුණු ලෙස ප්‍රහාර එල්ල කළ අතර සංවිධානයේ සාමාජිකයන් විශාල පිරිසක් මරණයට පත්වී පිරිසක් එල්.ටී.ටී.ඊයේ සිරකරුවන් බවට පත් වූහ. 1987දී ඩග්ලස් දේවානන්ද ඊළාම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින්ද, පරන්තන් රන්ජන් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නමින්ද පක්ෂ බිහි කළහ. 1990 ජුනි 19 වැනි දින ඊ.පී.ආර්.එල්.එෆ්. නායක පත්මනාභ,  යාපනය දිස්ත්‍රික් මන්ත්‍රි ජී. යෝගසංගරී සහ උතුරු නැගෙනහිර පළාත් සභාවේ හිටපු මුදල් අමාත්‍ය පී. කිරුබාකරන් ඇතුළු 13 දෙනකු මදුරාසියේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඝාතනය කරනු ලැබිණි.


ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය වර්ධරාජා පෙරුමාල්ගේ නායකත්වය යටතේ 1988දී නැගෙනහිර පළාත් සභාවට තරග කරන ලද අතර වර්ධරාජා පෙරුමාල් මහඇමතිවරයා ලෙස තේරි පත් විය. 1999 පක්ෂය යළි දෙකඩ වූ අතර සුරේෂ් ප්‍රේමචන්ද්‍ර එක් පිලකටත් (සුරේෂ් පිල) ටී. ශ්‍රීධරන් එක් පිලකටත් (පත්මනාභ පිල) වශයෙන් බෙදිණි. පසුගියදා පත්මනාභ පිළේ නම “දෙමළ ජනතා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය” ලෙසින් වෙනස් කෙරිණි. මේ කොමරේඞ් සුගු නමින් ප්‍රකට එහි නායක  තිරුනාවුකරසු ශ්‍රීධරන් සමඟ යාපනයේ පිහිටි පක්ෂ කාර්යාලයේදී කරන ලද සම්මුඛ සාකච්ඡාවකි.

 

● ඔබේ දේශපාලන ජීවිතයේ ආරම්භය කෙබඳුද?
1979 වැනි කාලයේ උතුරේ ශිෂ්‍ය ව්‍යාපාරයක් තිබුණා. ජෙනරල් යූනියන් ඔෆ් ස්ටුඩන්ට්ස් නොහොත් ලෙස් නමින් හැඳින්වූ එම සංවිධානයට මා සම්බන්ධ වුණා. එයට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මෙන්ම පාසල් සිසුන්ද සම්බන්ධ වී සිටියා. අපගේ ව්‍යාපාරය මාක්ස්, ලෙනින් මතවාද ඔස්සේ බිහිවුණු වාමාංශික ව්‍යාපාරයක්. එහි පටු අදහස් තිබුණේ නැහැ. දෙමළ බස කතා කරන සියලු පුද්ගලයන්ගේ ගැටලු සහ ඔවුන්ගේ ස්වයංනිර්ණ අයිතිය පිළිබඳව අප සාකච්ඡා කළා. මිනිසුන් දැනුම්වත් කිරීම සඳහා පන්ති පැවැත්වූවා. අපගේ අරගලය සිංහල ප්‍රජාවට එරෙහිව නොව රජයේ ක්‍රියා පිළිවෙතට විරුද්ධවයි ක්‍රියාත්මක කෙරුණේ.


එවක උතුරේ වීදුරු, සිමෙන්ති, රසායන ද්‍රව්‍ය වැනි දෑ නිපදවන කම්හල් තිබුණා. අපි ඒවායේ වැඩකරන ජනතාව සංවිධානය කළා. වතුකරයේ ජනතාවද අපේ සාමාජිකයන්. අපගේ ශිෂ්‍ය ව්‍යාපාරයට අමතරව කාන්තා සංවිධාන සහ ග්‍රාමීය කම්කරු සංවිධානද පැවතුණා. දකුණේ දේශපාලන ක්‍රියාකාරීන් සමඟද අප සහයෝගයෙන් කටයුතු කළා. ජෝ. සෙනෙවිරත්න, දයාන් ජයතිලක, පුල්සරා ලියනගේ, දයාපාල තිරාණගම, විජය කුමාරතුංග වැනි අය ඒ අතර සිටියා. ඔවුන් දෙමළ ජනයාගේ ස්වයංනිර්ණ අයිතිය පිළිගත් අය.


අප සංවිධානය පලස්තීන විමුක්ති අරගලය, ජාතික නිදහස් ව්‍යාපාරය, සැන්ඩිනිස්ටා ගරිල්ලා ව්‍යාපාරය වැනි ජාත්‍යන්තර විමුක්ති අරගලවලින්ද පන්නරය ලැබුවා. අප කණ්ඩායමේ සිටි පත්මනාභට විමුක්ති ව්‍යාපාර පිළිබඳව මෙන්ම දේශපාලන වශයෙන්ද පැහැදිලි දැක්මක් තිබුණා. ඒ අනුව තමයි පසුව ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ (ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය) නිර්මාණය වුණේ.  එහි ආරම්භක සාමාජිකයන් අතර ඩග්ලස් දේවානන්ද, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර, වර්ධරාජා පෙරුමාල්,  කුනසේකරම්, පෙරිම්පනායගම්, යෝගසංගරී, නඬේසලිංගම් සහ මා ඇතුළු පිරිසක් සිටියා. මේ කාලයේ උතුරේ තරුණ පිරිස් විවිධ සංවිධාන බිහි කළා. මේ සියල්ලන්ගේම අරමුණ වූයේ රජයෙන් උතුරට දක්වන කුඩම්මාගේ සැලකිල්ලට එරෙහි වීමයි.

 


● උතුරේ තරුණ පිරිසට ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් සටන් කිරීමට ආභාසය ලැබුණේ කුමකින්ද?
උතුරේ ඊළාම් ව්‍යාපාරය මතුවන්නට බලපෑ ප්‍රධාන සාධක දෙකක් තිබුණා. පළමුවැන්න 1970 දසකයේ බංග්ලාදේශය පාකිස්තානයෙන් වෙන්වීම. දෙවැන්න 1971 ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලය. එසේම උතුරේ දැඩිව බලපෑ කුලභේදය ද එයට බලපෑවා. ඊළාම් ව්‍යාපාරයට සම්බන්ධ වූ බොහෝ දෙනෙකු කුලභේදය ප්‍රතික්ෂේප කළ අයයි.

 


● දේශපාලනය හේතුවෙන් ඔබට සිරබත් කෑමට සිදු වුණා නේද?
1984 අප්‍රේල් මාසයේ සිට 1986 දෙසැම්බර් මාසය තෙක් මට සිරගෙදර සිටින්නට සිදු වුණා. මට සිරබත් කෑමට සිදුවූයේ සන්නද්ධ අරගලයකට හෝ අවි ආයුධ භාවිත කිරීම නිසා නොවෙයි. ඒ සමයේ බොහෝ තරුණයන් අවි පුහුණුව සඳහා රහසින් ඉන්දියාවට ගියා. ඔවුන් ඉන්දියාවට ගියේ මුහුදු මාර්ගයෙන්. මා අපගේ සහෝදරවරුන් පිරිසක් සමඟ සාකච්ඡාවක් පවත්වමින් සිටියදී මයිලඩි වෙරළේදී හමුදාවේ අත්අඩංගුවට පත් වුණා. අප එතැන සිටියේ ඉන්දියාවට යෑමට නොවෙයි. මා අත්අඩංගුවට ගනු ලැබුවේ මාක්ස් ලෙනින්වාදී පන්ති පැවැත්වීමේ චෝදනාව මතයි. වාමාංශික ව්‍යාපාරය සම්බන්ධයෙන් දේශන පැවැත්වීම ශ්‍රී ලංකාවේ තහනම් නොවන බව  මගේ නීතිඥයා තර්ක කළා. අවසානයේ ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මට චෝදනා ගොනු කළා. මට තිබූ චෝදනා වූයේ ඇඟිලි සලකුණු ලබා දී නීතියට සහය නොදැක්වීම සහ වර්ගවාදී අර්බුද ඇති කිරීමට උත්සාහ කිරීම යන කරුණුයි.

 


● ඔබ සන්නද්ධ අරගලවලට සම්බන්ධ වූවෙක්ද?
මා සන්නද්ධ අරගලයක් සඳහා වන ජනතා නැගිටීමකට සහය දුන්නා. ජනතාව ඒ සඳහා යොමු කළා. එහෙත් මා කිසි දිනෙක අවි පුහුණුවක් ලබා හෝ සන්නද්ධ අරගලයක නිරත වූවෙක් හෝ නොවෙයි. අප පක්ෂයේ ඇතැම් සාමාජිකයන් සන්නද්ධ අරගල, බැංකු කොල්ලකෑම් වැනි දේවලට සම්බන්ධ වුණා.

 


● එල්.ටී.ටී.ඊ. සංවිධානය ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයට එරෙහි වූයේ ඇයි?
ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වූ සංවිධානයක්. වාමාංශික ව්‍යාපාරය පිළිබඳව අප ජනතාව දැනුම්වත් කළේ ප්‍රසිද්ධියේ. අප මැයි දින රැලි, ප්‍රසිද්ධ රැස්වීම් ආදිය සංවිධානය කළා. ඒ සඳහා පොලිසියේ අවසරය ලබාගෙන නීත්‍යානුකූල අන්දමිනුයි කටයුතු කළේ. එහෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානය යටිබිම්ගත සංවිධානයක්. ඔවුන්ට තිබුණේ වෙනත් අරමුණක්. ප්‍රසිද්ධ මහජන රැලි පැවැත්වීමට හෝ ජනතාව සමඟ බුද්ධිමත් සංවාදයක් පැවැත්වීමේ අරමුණක් ඔවුන්ට තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කළේ හමුදාවට හා පොලිසියට ප්‍රහාර එල්ල කිරීම, බැංකු කොල්ලකෑම හා ජනතාව බියකර තබා ගැනීමට උත්සාහ කිරීමයි.
එල්.ටී.ටී.ඊ.යේ ක්‍රියාකාරකම් ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය විවේචනය කළා. අනුරාධපුර ශ්‍රී මහා බෝධියට එල්.ටී.ටී.ඊ.ය කළ ප්‍රහාරය අපේ නායක පත්මනාභ දැඩි ලෙස හෙළා දැක්කා. ඔවුන්ට තිබුණේ ඝාතන සංස්කෘතියක්. එල්.ටී.ටී.ඊ.ය මෙන්ම පටු ජාතිවාදීන් ද අප සංවිධානයට ඊර්ෂ්‍යා කළා. අප මාක්ස්වාදී කණ්ඩායමක් වූ බැවින් ඔවුන් අපව හැඳින්වූයේ ‘රත්තන්’ කියලයි. රත්තන් පහත් පිරිසක් බවත් ඔවුන් සැවොම සහෝදරයන් ලෙස සලකන බවත් පවසමින් අපට දොස් නැඟුවා. විශේෂයෙන්ම මාක්ස්වාදීන් කුල ක්‍රමය විවේචනය කළ බැවින් මෙම පටු ජාතිවාදීන්ට අප කෙරෙහි වූයේ දැඩි කෝපයක්.

 


● එල්.ටී.ටී.ඊ. සංවිධානය ඊ.පී.ආර්.එල්.එෆ්. මර්දනය කිරීමට කටයුතු කළේ කුමන ආකාරයෙන්ද?
අප සටන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. එමෙන්ම විරුද්ධ මතවලට ගරු කළා. එල්.ටී.ටී.ඊ. සංවිධානය අප සංවිධානය හා අනෙකුත් සංවිධාන එකිනෙක තහනම් කළා. මුලින්ම ටෙලෝ සංවිධානය තහනම් කළා. ඉන් මසකට පමණ පසු ප්ලොට් සංවිධානය තහනම් කළා. 1986 දෙසැම්බර් 12 වැනිදා ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය තහනම් කළා. ඊට හේතු වූයේ අනෙකුත් සංවිධාන තහනම් කිරීම පිළිබඳව ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය ඔවුන් විවේචනය කිරීමයි. එසමයේ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයකු වූ විජිදරන් නමැති ශිෂ්‍යයා අතුරුදන් වුණා. එය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාවක් බවට ප්‍රචාරය වුණා. එයටත් අපගේ විරෝධය එල්ල වුණා. ඊරෝස් සංවිධානයේ බාලකුමාර් එල්.ටී.ටී.ඊ.ය සමඟ එකඟතාවකට පැමිණීම නිසා එම සංවිධානය තහනම් කෙරුණේ නැහැ.
ඔවුන් ඊ.පී.ආර්.එල්.එෆ්. සාමාජිකයන්ට ප්‍රහාර එල්ල කළා. මුලින් අප සාමාජිකයන් එකා දෙන්නා ඉලක්ක කර පහර දුන් ඔවුන් අපේ ප්‍රබල සාමාජිකයකු වූ වවුනියාවේ රේගන් ඝාතනය කළා. අපේ සාමාජිකයන් විශාල පිරිසක් ඔවුන්ගේ සිරගෙවල්වල දැම්මා.  සාමාජිකාවන් මහමග මරා දැම්මා. එල්.ටී.ටීඊ.යේ වධ කඳවුරු උතුරේ විවිධ ස්ථානවල පවත්වාගෙන ගියා. යාපනය විශ්වවිද්‍යාලය ආසන්නයේ කන්තන් කරුණෙයි නමින් වධ කඳවුරක් තිබුණා. ටෙලෝ, ප්ලොට් හා ඊ.පී.ආර්.එල්.එෆ්. සාමාජිකයන් විශාල පිරිසක් එහි රඳවාගෙන වධ බන්ධනවලට ලක් කළා. 1987 මාර්තු 30 වැනි දින අරුණා නමැති එල්.ටී.ටී.ඊ. සාමාජිකයා සිරකරුවන් පිරිසක් කාමරකට දමා මැෂින් තුවක්කුවකින් දිගට හරහට වෙඩි තැබුවා. එම ප්‍රහාරයෙන් 60 දෙනෙකු මරණයට පත් වුණා. එම කඳවුරින් ගැලවී පලා යන්නට හැකි වුණේ දෙතුන් දෙනකුට පමණයි. මල්ලාවි අසල වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවක් ඔවුන්ගේ තවත් වධකාගාරයක් ලෙසින් පවත්වාගෙන ගියා. එහිදී අපගේ සහෝදරයන් විශාල පිරිසක් ඝාතනය කළා. මේ හැර තුනුක්කායි වධ කඳවුරත් ඉතා ප්‍රසිද්ධයි. යාපනයේ නගරයේ පමණක් වධ කඳවුරු පහක් හයක් පවත්වාගෙන ගියා. එම වධ කඳවුරු නිවෙස්වල හෝ ඒ සඳහාම ඉදිකෙරුණු ගොඩනැගිලිවලයි පවත්වාගෙන ගියේ.


 අප සංවිධානයට සම්බන්ධ සාමාජිකයකුගේ මව මැද පෙරදිග රටක සේවය කළා. ඉන්දියානු හමුදාව මෙහි සිටි සමයේ ඇය නිවාඩුවක් සඳහා යාපනයට ආවා. ඇගේ පුත්‍රයා අප සංවිධානයේ සාමාජිකයෙකු වූ බැවින් කොටි සංවිධානය ඇය අත්අඩංගුවට ගෙන දෑතට මාංචු දමා මාස ගණනක් සිරගතකර සිටියා. ඇයට ඇඳුමක්වත් මාරු කරන්න අවසර දුන්නේ නැහැ. එකම ඇඳුමින් ඇය සිරගෙදර සිටියා. කොටි කාන්තාවන් වරින්වර ඇය අසලට ගොස් අසභ්‍ය වචනයෙන් බැණ වැදුණා. විවිධ වධ බන්ධනවලට ලක් කළා.


කොටි තම අත්අඩංගුවට පත්වන පුද්ගලයන්ට විවිධ ආකාරයේ වධබන්ධන පැනවූවා. වරක් පලා ගිය පුද්ගලයකු අල්ලාගෙන ඇවිත් වළකට දමා ඔහුගේ ඇඟට සර්පයන් දැම්මා. මාස ගණන් අඳුරු බංකර්වල සිරකර තැබුවා. සිරකරුවන්ගේ ඇඟට මුත්‍ර කළා. පහර දුන්නා. එල්ලා දැම්මා. මේ ආකාරයෙන් විවිධ වූ දරුණු වධ බන්ධනවලට ලක්කිරීමෙන් පසු අවසානයේ මරා දැම්මා.

 


● ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක පත්මනාභ ඝාතනය කෙරුණේ කෙසේද?
පත්මනාභ ආරක්ෂාව පිළිබඳව එතරම් සැලකිළිමත් වූ පුද්ගලයෙක් නොවෙයි. නිදහසේ ගමන් බිමන් යෑමට කැමති පුද්ගලයෙක්. එල්.ටී.ටී.ඊ. තර්ජන නිසා ඔහු ඉන්දියාවේ චෙන්නායිහි කෝඩම්මානා ප්‍රදේශයේ ගොඩනැගිල්ලක තුන්වැනි මහලේ පදිංචිවී සිටියා. එල්.ටී.ටී.ඊ.ය බොහෝ කාලයක් ඔහු පිළිබඳව ඔත්තු බලා තිබුණා. ඔහු ඝාතනය කෙරුණේ 1990 ජුනි 19 වැනිදා. එදින ඔහු අප සංවිධානයේ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ සාකච්ඡාවක නිරත වී සිටියා. මාද එදින එම ස්ථානයේ සිටින්නට නියමිත වුවත් සංවත්සර උත්සවයකට යෑමට සිදු වූ බැවින් එහි ගියා. වර්ධරාජා පෙරුමාල් ඒ දිනවල සිටියේ මුරුසි දිවයිනේ. එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පිරිසක් එම ගොඩනැගිල්ලට කඩා වැදී පත්මනාභ ඇතුළු 13 දෙනෙක් ඝාතනය කළා.

 


● වර්ධරාජා පෙරුමාල් පළාත් සභාවේ මහ ඇමති පදවියට පත් වූයේ කෙසේද?
එල්.ටී.ටී.ඊ.යට ඇති බිය හේතුවෙන් උතුරේ කිසිදු දේශපාලනඥයෙක් මැතිවරණවලට ඉදිරිපත් වූයේ නැහැ. එහෙත් නැගෙනහිර පළාතේ දේශපාලකයන් මැතිවරණවලට ඉදිරිපත් වුණා. ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය නැගෙනහිර පළාතෙන් මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට වර්ධරාජා පෙරුමාල් හා මා ඇතුඵ කණ්ඩායමක් තීරණය කළා. පත්මනාභ ජීවතුන් අතර සිටි කාලයේ මහ ඇමති තනතුර සඳහා ඔහු වර්ධරාජා පෙරුමාල්ව යෝජනා කර තිබුණා. ඔහු නැගෙනහිර පළාතෙන් මැතිවරණයට තරගකොට උතුරු සභාවේ මහ ඇමති ධුරයට පත් වුණා.

 


● ඔහුට මහ ඇමති පදවිය අත්හැරීමට සිදු වූයේ ඇයි?
ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ප්‍රමුඛ එදා පැවැති රජයට උතුරු නැගෙනහිරට බලය බෙදාහැරීමේ අවංක වුවමනාවක් තිබුණේ නැහැ. ජනාධිපති ප්‍රේමදාසට තිබුණේ ඒකපාක්ෂික ආකල්පයක්. රජයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් සභා සාමාජිකයන් තුළ වූයේ විශාල කලකිරීමක්. විරුද්ධ පක්ෂය වූ මුස්ලිම් කොන්ග්‍රසයත් අප  සමඟ සහයෝගයෙන් කටයුතු කළා. නැගෙනහිර පළාත් සභාව ඉල්ලීම් 19ක් මුල්කරගත් ලියවිල්ලක් රජයට ඉදිරිපත් කළා. අපගේ ඉල්ලීම් වසරක කාලයක් තුළ ඉටු කිරීමට අපොහොසත් වුවහොත් නැගෙනහිර පළාත් සභාව තවදුරටත් මධ්‍යම රජය පිළි නොගන්නා බවත් ස්වාධීනව කටයුතු කරන බවත් එම ඉල්ලීම් සමඟ දන්වා යැව්වා. ඉන් අප අදහස් කළේ රජයට විරෝධයක් පෑම පමණයි. එහෙත් රජය එය වටහා ගත්තේ වැරදි ආකාරයෙන්. ඔවුන් සිතුවේ අප වෙනම රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කරන බවයි. ජනාධිපති ප්‍රේමදාස අප සමඟ සාකච්ඡාවට නොපැමිණ එල්.ටී.ටි.ඊ.ය සමඟ ගනුදෙනු කළා. ඔවුන්ට අවි ආයුධ ලබා දුන්නා. මේ අතර තමයි පළාත් සභාවේ පැවැති උත්සවයකදී වර්ධරාජා පෙරුමාල් ධජ දෙකක් ඔසවන්නට කටයුතු කළේ. ඔහු එසවූයේ ශ්‍රී ලංකා ධජයත් පළාත්  ධජයත් විනා ඊළාම් ධජයක් නොවෙයි. එහෙත් එයත් වැරදි ආකාරයෙන් අර්ථකතනය කෙරුණා. වර්ධරාජා පෙරුමාල් නිදහස් ඊළාම් පාලනයක් ප්‍රකාශයට පත් කළා යැයි පවසමින් ප්‍රේමදාස රජය පළාත් සභාව විසුරුවා හැරියා. අප ඉල්ලා සිටියේ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදාහැරීමක් පමණයි. එයට රජයේ ප්‍රතිචාරය වූයේ පළාත් සභාව විසුරුවා හැරීමයි. පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු වර්ධරාජා පෙරුමාල් ඉන්දියාවට ගියා. ඔහු දේශපාලනයට පැමිණීමට පෙර යාපනය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයෙක්. ඉන්දියාවේදී ඔහු නැවත තම පර්යේෂණවල නිරත වෙමින් ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් කෘති කිහිපයක් රචනා කළා.

 


● ඔබේ පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු මොනවාද?
ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය පසුකාලයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පිල හා මගේ නායකත්වයෙන් යුතු පත්මනාභ පිල වශයෙන් දෙකට බෙදුණා. මෙතෙක් ඊ.පී.ආර්.එල්.එෆ්. පත්මනාභ පිල වශයෙන් පැවැති අප පක්ෂයේ නම පසුගියදා ‘දෙමළ ජනතාවගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’ නමින් වෙනස් කෙරුණා. අප පක්ෂයේ අරමුණ සංවර්ධනය මූලික කරගත් ක්‍රියාවලියක් උතුරු නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කිරීමයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය හා ජපානය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. එහෙත් වර්තමානයේ ලෝකයේ ආර්ථික වර්ධනය අතින් තුන්වැනි ස්ථානයට ජර්මනියත්  සිව්වැනි ස්ථානයට ජපානයත් පත්වී තිබෙනවා. ඔවුන් එම ස්ථානයට පත් වුණේ නිසි දැක්මක් ඇතිව රටේ ආර්ථිකය ගොඩනැංවූ නිසා. අප කතාවට නොව ක්‍රියාවට ප්‍රමුඛස්ථානය දිය යුතුයි. සුළු ජාතීන් කෙරෙහි ඇති වෛරය නැවැත්විය යුතුයි. උතුර හා දකුණ සංවර්ධනය කිරීම සඳහා බලය බෙදා හැරීමට හා මෙම ප්‍රදේශවල ආයෝජන ව්‍යාපෘති ඇති කිරීමට රජය කටයුතු කළ යුතුයි.


(විශේෂ ස්තුතිය ජෝ. සෙනෙවිරත්න මහතාට)

සාකච්ඡා කළේ  
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
ඡායාරූප ඇලෙක්සැන්ඩර් බාලසූරිය