71 අරගලයේදී සිරබත් කෑ ලාබාලම තරුණිය


 

 

  • සිරගතව සිටි ලාබාලම තැනැත්තිය වූ ඇය හැඳින්වූයේ චූටි නංගි ලෙසයි.   
  • අයියලා බෝතල් කටු දාල බෝම්බ හදද්දි මම ඔත්තු බැලුවා.   

 

 

71 ඇතැම් අයට කැරැල්ලකි. ඇතැමෙකුට විප්ලවයකි. මේ දෙක දෙපැත්තකි. ආණ්ඩුව කීවේම මේ 71 කැරැල්ල කියාය. නමුත් ජ.වි.පෙ. එය විප්ලවයක් හැටියට හුවා දැක්වීය. විමුක්ති කාමීන් ලෙස පෙනී සිටි ජ.වි​.පෙ. හි අරමුණ වුයේ කාටත් සාධාරණ සමාජයක් උදෙසා රටේ බලය අල්ලා ගැනීමය.   


රටේ බලය ඇල්ලීම බලෙන් කරන්නට ගිය නිසා විමුක්තිකාමීන් බොහෝ දෙනෙකුට මරණය දකින්නටත් තවත් විශාල පිරිසකට සිරබත් කන්නටත් සිදු විය.   
එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 71 කැරැල්ල මර්දනය කළේ එසේය.   


කිසියම් උගත් සමාජවාදී දැක්මක් සහිත පිරිසක් සටනේ සිටියද ඒ අයගේ යම් යම් බොළඳ සහ අඩුලුහුඩු ක්‍රියාවන් නිසා සටන අසාර්ථක වී ගියේය.   
71 ජවිපෙ සටනේදී ජීවිතය බේරා ගත් පිරිසක් තවමත් සිටිති. ඒ අය ජීවිතයේ අළු දූවිලි මතින් නැගී සිටිමින් තම අතීතය මෙනෙහි කරති. ඒ ඇතැම් කතා බොහෝ කළු පැල්ලම් සහිතය. ​එසේම බොහෝ අඳුරු සහගතය. සමහරක්වා උපේක්ෂා අපේක්ෂා සහගතය.   
71 කැරැල්ලේ අමතක නොවෙන තැන් බොහෝය. අළු වී දූලි ගසා ගත් ඒ කතා පෙළක එක පැත්තක් ලියමි.   
71 ජවිපෙ විමුක්ති අරගලයේදී ඇය චූටි නංගි වූවාය. චූටි නංගි යැයි ඇයට කීවේ හිර ගෙදර සිටි ලාබාලම තැනැත්තිය ඇය වීම නිසාය. හිර ගෙදරට චූටි නංගි වුණු වයලා කහගල්ල මහත්මිය පසුගියදා අපි මුණ ගැසුණෙමු.   


71 කැරැල්ලට අවුරුදු 50 යි. ඇය කීවේ ගැඹුරු අතීතයක් තුළට කිඳා බසිමිනි. ඒ කතාව තුළම වයලා මහත්මිය බොහෝ මතක දරා සිටින බව අපට දැනිණි.   
71 කැරැල්ල ගැන මොකද හිතෙන්නේ.   
එදා මේක අසාර්ථක වුණේ යම් යම් අඩුපාඩු නිසයි. සටනේ සමහර තැන් හරි බොළඳයි. එදා අපට චේ ගුවේරා කාරයෝ කියලා තමයි කීවේ. මේකෙන් අපට පුද්ගලිකවත් බොහෝ දේ නැති වුණා. අපේ ගෙවල් ගිනිබත් කරලා, ඇඳිවත පමණක් අවසානේ ඉතිරි වුණා. හිර ගෙවල් කීපෙක හිටියා.   
කහගල්ල මහත්මිය කියන්නීය.   


71 අරගලයේදී කහගල්ල මහත්මියගේ එක් සහෝදරයකු මරණයට පත්විය.   


මගේ අයියා ජිනදාස කහගල්ල 71 ​පොලිස් ප්‍රහාරයකින් මිය ගියා. එයාට කවුරුත් කීවේ ‘ක්ෂණික’ කියලා. අපි කිවුවේ ‘චුට්ටි අයියා’ කියලා.   
අරගලයේ අය චුට්ටි අයියට ක්ෂණික කියලා කියන්න හේතුවක් තිබුණා. ඒ තමයි එයා බොහොම වේගයෙන් වගේම ඉක්මනට බෝම්බ හදනවා. බෝම්බ නිෂ්පාදනයේ අපූර්ව හැකියාවක් එයාට තිබුණා. එයා පාසලේ ඉගෙන ගෙන තිබුණේත් විද්‍යා ධාරාවෙන්.   


වයලා මහත්මිය අපේ කතාවට ප්‍රවේශයක් ගත්තාය. ඒ කාලේ මම පාසලේ යන වයස ඒත් චුට්ටි අයියා නිසා අපිත් ජවිපෙ පන්ති පහට සහභාගි වුණා.   
චුට්ටි අයියා (ජිනදාස කහගල්ල) පන්ති කළේ අපි හිටපු වත්තේ. අපේ තාත්තා අක්කර සීයක විතර පොල් වත්තක් බලා ගත්තා. ඒක පොතුහැර වළගම්මුල්ල ගමේ තිබුණේ.   
මේ වත්ත හරහා බස් යන පාර. පාරේ වංගු හතක් උඩ ඉඳන් පහළට තිබුණා. වංගු හත කියලා තමයි කීවේ. මේ වත්තේ විශාල ගලක් තිබුණා. ඒ ගල උඩ සමහර දාට පන්ති කරනවා. සමහර දාට චුට්ටි අයියා තවත් අය එක්ක එකතු වෙලා කම්බි කපලා බෝතල් කටු දාලා බෝම්බ හදනවා.   
එහෙම වැඩක් ගල උඩ කරද්දි මට තමයි වංගු හතේ ඔත්තු බලන්න පැවරුණේ. මේ පාරේ සැක කටයුතු වාහනයක් හෝ පිරිසක් එනවා නම් දුවලා ගිහින් සංඥා මගින් අයියාට කියන්න ඕනෑ.   


ඊළඟට අයියා අපට කියලා තිබුණා පාවා දීම් කිසිවක් නොකළ යුතු බව.   
කවුද මේ පන්ති පහ කරන්න ආපු විශේෂ අය. මම වයලා මහත්මියගෙන් විමසීමි.  
පන්ති පහ කරන්න සමරතුංග නමින් සිටි බෝල සමරෙ ආවා. එයා කුරුණෑගල ප්‍රධානියා ලෙස හිටියා. ඒ වගේම පොල්ගහවෙල සංවිධානය කරපු ජයතිලක සහෝදරයා, පොතුහැර බලපු චුට්ටි අයියා, පොතුහැර ජිනේ, සෝමසිරි සහෝදරයා, අර්නෝලිස් මාමා වගේ විශාල පිරිසක් සහභාගී වෙනවා.   
දවසක් හරි රසවත් දෙයක් වුණා. ඇය මතකය අවදි කරන්නීය.   
ගල උඩ සහෝදරවරු එකතු වෙලා බෝම්බ හදනවා. මම පහළට වෙලා පාර ඈතින් එන වාහන දෙස ඔත්තු බලමින් හිටියෙ. එක පාරටම කොළ පාටට පොලිස් ජීප් එකක් පාරෙ උඩට එනවා.   


මම ඉක්මණට දුවගෙන ගිහින් අයියලාට සංඥාව දුන්නා.   
ඒ ගමන්ම ඒ අය ඉක්මණින්ම එහෙට මෙහෙට විසිරිලා පැනලා ගියා.   
ටික වේලාවක් ගත විය. පාර දිගේ උඩට ආ ජීප් රිය මොහොතක් ඒ පාරේ නවත්වා ගත්හ. යළිත් පණ ගන්වා යන්නට ගියේය. ඒ ආවේ පොලිස් ජීප් රථය නොව ප්‍රදේශයේ මිනින්දෝරු කන්තෝරුවට අයත් වාහනයකි. ටික වේලාවකින් කැලයට පැන ගත් සහෝදරවරු එළියට ආහ.   
ඒ වන විට එකකු දෙන්නකු කොර ගසමින් තමන් ඇඳ සිටි කමිස ගලවා එයින් කකුල් බැඳගෙන උන්හ.   
මොකද වුණේ විසිරී ගිය සහෝදරවරු විමසූහ.   
දුවද්දි කම්බි කටු වලටයි බෝතල් කටු වලටයි කකුල කැපුණා. එය එතැනින් අවසන් විය.   
1971 අප්‍රේල් 05 වැනිදා ලංකාවේම පොලිස් වලට ගහල බලය අල්ලන්න සැලසුමක් තිබුණා. පොලිසියට ගහන්න වගකීම පැවරුණේ ජිනදාස කහගල්ල (ක්ෂණික) අයියාට. පක්ෂය දුන්න වගකීම. අයියා එක්ක පොල්ගහවෙල පොලිසියට ගහන්න යන සියලු දෙනා හවස අපේ ගෙදරටත් ආවා. හැන්දෑවේ 7.00 ට විතර සියලු දෙනාම මම හිතන්නේ 50 ක විතර පිරිසක් තුවක්කු එහෙම අරන් පොලිසියට ගහන්න ගියා. නමුත් ඒ ප්‍රහාරය සාර්ථක වුණේ නෑ. පොලිසියෙන් දිගට හරහට වෙඩි තිබ්බ නිසා කට්ටිය සේරම පසු බැහැලා ආවා. ගිය සහෝදරවරු කවුරුවත් මරණයට පත් වුණේ නෑ.   
එදා මේ සිදුවීමෙන් පසු චුට්ටි අයියා ගෙදරට ආවේ නෑ. එයා දැන ගෙන හිටියා තොරතුරක් හොයාගෙන එයා සොයන්න ගෙදරට පොලිසියට ඒවි කියලා. වයලා මහත්මිය කියන්නීය.   


ඉන් පසු ජිනදාස (චුට්ටි අයියා) පදිංචියට තෝරා ගත්තේ පොතුහැර පැත්තේම පාත්තරාගල වත්තයි. එය විශාල කොකෝවා වත්තක් විය. මේ පාත්තරාගල වත්තේ පක්ෂයේ සහෝදරවරු 500 ක් පමණ කඳවුරු බැන්දාහ. ඒ සියලු දෙනා පිරිමින් වූහ.   
අප්‍රේ‍ල් 05 දින ලංකාව පුරා පොලිසි වලට සහෝදරවරු පහර දුන් නිසා ආණ්ඩුවත් පොලිසිය හා හමුදාවත් දැඩි තීන්දුවක සිටියහ. අහු වුණොත් මරණය යනු පක්ෂයේ සහෝදරයන්ට උරුම ඛේදවාචකය විය. මේ නිසා දැන් කළ යුතුව ඇත්තේ නිරායුධව සටන් කිරීම නොව කෙසේ හෝ වැඩි වැඩියෙන් බෝම්බ සෑදීමය. වැඩි වැඩියෙන් තුවක්කු සොයා ගැනීමය. ඒ සඳහා සහෝදරවරු නොගත් උත්සාහයක් නැත.   
චුට්ටි අයියා රෑ දාවල් නැතිව බෝම්බ සෑදුවේය.   
මේ කාලයේ ප්‍රදේශයේ රජයේ බලපත්‍ර සහිත තුවක්කු ඇති අයගේ ලැයිස්තුවක් ද සාමාජිකයෝ සොයා ගත්හ.   
බලපත්‍ර තුවක්කු ටික අරගමු. ගෙවල් වලට ගිහින් ගන්න පුළුවන්.   
සියලු දෙනා එයට එක පයින් කැමැති වුහ. කඳවුරේ සහෝදරවරු 500 කට නිසි ආරක්ෂාව ඇත්තේ තුවක්කු වැඩියෙන් සොයා ගන්නා තරමටය.   
පොතුහැර පොලිසියට ප්‍රහාරය එල්ල කර දින තුනකට පසු චුට්ටි අයියා ගෙදරට ආවේය. ඒ ආවේ තුවක්කු ගත් සහෝදරවරු පිරිසක් ද සමගය.   
ඒ පිරිස එන විට චුට්ටි අයියාගේ වැඩිමල් අයියා වූ පියදාස ද ගෙදර සිටියේය. ඔහුට කවුරුත් කීවේ ලේලන්ඩ් පියදාස කියාය. ඔහු තරුණ කාලයේ ලේලන්ඩ් රථයක් සෑදූ නිසා ලේලන්ඩ් පියදාස නමින් ප්‍රසිද්ධ විය. ඔහු කවදාවත් පන්ති පහට ආවකු නොවේ.   


චුට්ටි අයියා (ලේලන්ඩ් පියදාසගේ මල්ලි) සටනේ සිටි නිසා ඔහුට යම් කැක්කුමක් පමණක් තිබිණි.   
චුට්ටි අයියේ ගෙදර සිටි ඔහුගේ සහෝදරියක වූ කාන්තිට එක්වරම කියැවිණි. ගෙදර සිටි හැමෝම එළියට ආහ. අපි ඉන්න ආපු ගමනක් නොවෙයි. බුද්ධදාසගේ ගෙදරට ආවේ. එහෙම කියාගෙන චුට්ටි අයියා පිරිස සමග එදෙසට ගියේය.   
බුද්ධදාස කීවේ ජිනදාසලා පදිංචිව සිටි වත්තට යාබද වත්තේ සිටි අයිතිකාරයාය. ඔහු ජිනදාසලා එක්ක අමනාපයක් තිබුණකු ද නොවේ.   
චුට්ටි අයියා බුද්ධදාසගෙ ගෙදරට යද්දි අපිත් පිටිපස්සෙන් ගියා. අපට මොකුත් කියන්න වත් බෑ. සහෝදරවරු ගොඩක් හිටියා. එහෙම යද්දි බුද්ධදාස ගෙදර හිටියා. එයා අයියලාව අඳුර ගත්තා. ජිනදාස මොකද මේ.   
ඔව්. ජිනදාස තමයි එහෙම කියන විටම පියදාස ද ඉදිරියට පැන්නේය.   
තුවක්කුව ගන්න ආවේ. ඒක අදින් පස්සේ අයිති අපට.   


බුද්ධදාස බිය වූ සෙයකි. සහෝදරවරු එක හඬින් තුවක්කුව ගේන්නැයි කියද්දී බුද්ධදාස තුවක්කුව රැගෙන ආවේය.   
මේ තුවක්කුව උදුරා ගන්නට ඉදිරියට ආවේ පියදාසය. ඔහු තුවක්කුව අතට ගෙන එය බුද්ධදාසගේ පපුවට ළං ක​ළේය. පියදාස මුල් වරට තුවක්කුව අතට ගත්තේද එදාය.   
ලොකු අයියා තුවක්කුව බුද්ධදාසගේ පපුවට ළං කරලා අපි මේක ගන්නේ සාධාරණ සමාජයක් ගොඩ නැගීම වෙනුවෙන්. මේක ගත්තා කියලා අපේ පවුලේ අනික් අයට කිසිම කරදරයක් ඉදිරියට වෙන්න බෑ. ටිකක් සද්දෙට කිවුවා.   
එහෙම කියමින් තුවක්කුව ආ පස්සට ගනිද්දි තුවක්කුව පත්තු වුණා.   
හිතපු නැති දෙයක්. එක පාරටම තුවක්කුව පත්තු වුණා. බුද්ධදාසගේ පපුව පසාරු කරගෙන වෙඩි වැදුණා. එයා එතැනම ඇද ගෙන වැටුණා. දැන් මොකද කරන්නේ. එතැන ඉන්න බෑ. අපි සේරම බය වුණා. මිනිමැරුමක් නිසා දැන් මෙතැනට පොලිසියෙන් එනවා. එහෙම ආවොත් තවත් ප්‍රශ්න ගොඩයි. ඒ හින්දා සහෝදරවරු ඉක්මනට අපේ ගෙදරට ආවා.   
දැන් කරන්න දෙයක් නෑ. දැන් ගෙදර ඉන්න බෑ. අපි ගෙදරින් යමු. එහෙම කියලා චුට්ටි අයියා ගෙදර ඔක්කොම අරගෙන පාත්තරාගල වත්තේ කඳවුරට ගියා. අපේ අම්මා, තාත්තා එක්ක පවුලේ 11 දෙනෙක් හිටියා. ඔක්කොම කඳවුරට ආවා. ගෙදරින් කියලා කිසිම දෙයක් ගන්න තරම් කල්පනාවක් වුණේ නෑ. ඒ තරම් කලබලකාරී වේලාවක්. අපි පාත්තරාගල වත්තේ ඉන්න කොට ආරංචි වුණා අපේ ගෙදරට ගිනි තියලා කියලා.   
ගේ ඇතුළේ අපි එකොළොස් දෙනාගෙම සියලු සහතික ලියකියවිලි ගෙදර තිබුණු බඩු මුට්ටු මේ හැමදේම ගිනිබත් වුණා. ඒක ආරංචි වුණාම අපි ඇඬුවා. පුංචි කාලේ ඉඳලා මම ඉස්කෝලේදි දුවල ගත්ත සහතික මහ ගොඩක් තිබුණා. ඒ මොකුත් නැතිව ඇඳිවත විතරක්ම අපි එකොළොස් දෙනාට උරුම වුණා. දවස් දෙකක් ගෙදර ගිනි ගත්ත බව ආරංචි වුණා. ගේ පිරෙන්නම තිබුණේ වී.   
එක දෙයක් ගැන හිතේ සතුටක් තිබුණා. මොකක් වුණත් පවුලේ කාටවත් කරදරයක් වුණේ නෑ කියලා.   
කොහොම හරි සහෝදරවරු කණ්ඩායම් කණ්ඩායම් පාත්තරාගල කඳවුරෙන් එළියට යනවා. එද්දි තුවක්කු කීපයක් වැඩිපුර අරගෙන තමයි එන්නේ. බලපත්‍ර තුවක්කුත් මේ විදියට ගෙවල් වලට පැන පැන එකතු කළා.   


මේ විදිහට ඉද්දි ඊට දවස් දෙකකට පස්සේ චුට්ටි අයියා (ජිනදාස) සහ චන්ද්‍රවංශ කියලා සහෝදරයෙක් පොල්ගහවෙල තිබුණු පක්ෂයේ කඳවුරට ගිහින් එන්න ගියා. ඒ තමයි ජිනදාස අයියා දැකපු අන්තිම දවස.   
චුට්ටි අයියයි, චන්ද්‍රවංශ සහෝදරයයි ගියේ පක්ෂයේ සැලසුමක් සාකච්ඡා කරන්න. ඒ අය ආපසු එද්දි රත්මල්ගොඩ කියන ගමේදි අයියාව අඳුර ගෙන මිනිස්සු අල්ලාගෙන තිබුණා. ඒ අය නිරායුධව ඇවිත් තිබුණේ.   
චුට්ටි අයියා ගමෙන් අල්ලා ගත් බව කඳවුරට ආරංචි වුණ ගමන් සහෝදරවරු ඒ ගමට පිටත් වුණා. ඒත් ඒ වෙද්දි පොතුහැර පොලිසියෙන් ඇවිත් අයියාව ගෙනිහින් තිබුණා.   
ඒ ආරංචිය කඳවුරට ආවා විතරයි. අපේ තාත්තා ඔළුව කළු ගලේ ගහ ගත්තා. අපි ගියේ සහෝදරවරුන්ගේ ජීවිත දීලා හරි ජිනදාස සහෝදරයා බේර ගන්න. එ්ක බැරි වුණා කිවුවා.   
ඊට දවස් ගාණකට පසු ජිනදාස සහෝදරයාගේ ඉරණම විසඳුණු බව ආරංචි විය.   
ජිනදාසට පොලිසියේදී බොහෝ වධ විඳින්නට සිදු වූ බවත්, පසුව ඔහු මල්කඩුවාව කනත්තේදී තමන් කළ අරගලය වෙනුවෙන් වෙඩි උණ්ඩ වලට මුහුණ දුන් බවටත් තොරතුරු ලැබිණ.   
එතැනින් අරගලය වෙනුවෙන් පොතුහැර ජිනදාස හෙවත් ක්ෂණිකගේ කාර්ය භාරය අවසන් විය.   
මේ ආකාරයට අරගලයට මැදි වූ දහස් ගාණක් අයට මේ ඉරණමම උරුම විය. ආණ්ඩුවට දවසින් දවස කැරැල්ල මර්දනය කිරීමට ඔත්තු සේවා ක්‍රියාත්මක කළහ. අල්ලා ගත් බහුතරය මරා දැමූහ.   


පොලිස් කූඩුවේ රෑ සිටින බහුතර ​දෙනෙක් උදේ වෙද්දි කූඩුවේ සිටියේ නැත. ඒ සමහරු කනත්තක උන්හ. සමහරු මහ මඟ උන්හ. අත්පා ගැට ගසා පපුව සහ හිස පසාරු කළ වෙඩි උණ්ඩ මතින් ඔවුහු අරගල බිමෙන් සමුගෙන ගොස් තිබිණ.   
මේ අතරේ බුද්ධදාසගේ මරණය සම්බන්ධයෙන් පියදාසව හොයන ආරංචියට ඔහු විල්පත්තුව කැලයට පසු බැස තිබිණි. විල්පත්තුවේ සිටි පියදාසගේ රැවුල කුස දක්වා වැවී තිබිණි. ඔහු දිනක් ගමට ආ අවස්ථාවක හමුදාව ඔහු අල්ලා ගත්තේය.   
ජිනදාස කලක් හමුදා කඳවුරක නවතාගෙන දර පැළීම ආදී බර වැඩ වලට යොදවා ගෙන තිබිණි.   
ලොකු අයියා කඳවුරේ ඉද්දි වැඩ වැඩි කමටම පැනලා එන්න හදලා තියනවා. එහෙම ඇවිත් කිතුල් ගහක හැංගිලා ඉද්දි අයියාව අල්ලාගෙන සිගරැට් කොට වලින්, ගිනි පෙනෙලි වලින් අයියාගේ මුළු ඇඟම පුච්චලා. ඒත් මැරුවෙ නෑ. එයාව පස්සේ බෝගම්බර කඳවුරට එවලා තිබුණා. පක්ෂයේ පැට්‍රික් ප්‍රනාන්දු එහෙම හිටියේත් අයියා එක්කයි. පස්සේ බෝගම්බර පොඩි ප්‍රශ්නයක් වෙලා අයියාවයි, පැට්‍රික් ප්‍රනාන්දුවයි කිලිනොච්චියේ කඳවුරකට ගෙනිහින් තිබුණා.   


​මේ සිදුවීම් පෙළින් පසු සියල්ලෝ පොතුහැර අවටින් නික්ම රඹුක්කන නාරංබැද්දේ පදිංචියට ආහ. ඒ වයලාගේ පියාගේ ගම විය. එහි පුංචි නිවසක ගත කරන අතරේ ඉස්කෝලේ ලොකු පන්ති වල සිටි වයලාට ආපසු පාසල් යාමේ උනන්දුව ඇති විය. පරෙස්සම් සහිතව නමුත් වයලා එක සතියක් පාසලට ගියාය.   
දවසක් මම පන්තියේ ඉද්දි විදුහල්පති තුමා මට එන්න කිව්වා කියලා පණිවුඩයක් එවලා තිබුණා. මම විදුහල්පතිතුමාගේ කාමරයට ගියා. ඒ යද්දි පොලිස් නිල ඇඳුම් ඇඳ ගත් නිලධාරීන් රාශියක් එතැන හිටියා.   
පොලිසිය කිව්වා නගින්න ජීප් එකට කට උත්තරයක් ගන්න තියනවා කියලා.   
එ් වෙලාවේ විදුහල්පතිතුමා මාව පාසලින් යවන්න කැමැති වුණේම නෑ. ඒත් හදිසි නීතිය යටතේ මාව ජීප් එකේ දාගෙන අරන් ගියා. ඒ යන ගමන් ඇහුවේම උඹලගේ අයියලා කෝ. කොහේද ඉන්නේ කියලා. උඹලා තව මොනවද කළේ කියලා.   


ඒ විදිහට අරන් ගිහින් මට නොයෙක් කරදර කළා. මාව පොල්ගහවෙල කරඳන පාලම උඩට නග්ගලා මිනිස්සුට පෙන්නුවා. මේ ඉන්නේ ජේ.වී.පී. එකේ නායිකාවක්. ජිනදාසගේ නංගි කියලා. කරඳන පාලම කියන්නේ මම හිතන විදියට පක්ෂයේ ගොඩක් අයට මරණය උරුම වෙච්ච තැනක්.   
නමුත් මාව ආපසු ජීප් එකේ දාගෙන අපේ ගේ අහගෙන ගෙදරට අරන් ගියා.   
ගෙදරට ගිහින් මුළු පවුලම කට උත්තරයකට එක්ක යනවා කියලා කිව්වා. ආයෙත් ගෙදර එන්න පුළුවන් කිව්වා. එහෙම කී නිසා බාල නංගියි මල්ලිලා දෙන්නයි ළඟ ගෙවල් දෙකකට පොඩ්ඩක් බලා ගන්න කීවා. ඒ වෙද්දි එයාලා ගොඩක් පුංචි අය.   


මේ විදිහට අම්මයි, තාත්තයි මායි අක්කලා තුන් දෙනයි පොතුහැර පොලිසියට අරන් ගියා. ඒකේ කාන්තාවන් රඳවන්න වෙනම සිර මැදිරිත් පිරිමි අයට වෙනම සිර මැඳිරිත් තිබුණා. රෑට මරලතෝනි හඬවල් ජාමය වෙනකල් ඇහෙනවා. අපි බයේ හිටියේ තාත්තා මරලා දාවි කියලා. එයා ඉන්න සිර මැදිරියේ ළඟින් රෑට අපි කීප විටක් වැසිකිළියට යනවා වගේ ගිහින් තාත්තා ඉන්නවාද කියලා බැලුවා. එහෙම යද්දි පොලිසියේ අය කියනවා මේවයේ බිත්ති වලට කතා කරන්න පුළුවන් නම් උඹලා විප්ලව කරන්නේ නෑ ආයේ කියලා.   
කොහොම නමුත් තාත්තාට කරදරයක් වුණේ නෑ. නමුත් රෑ හිටපු ගොඩක් අය එළි වෙද්දි පොලිසියේ හිටියේ නෑ. සමහර සිර කුටි වල ලේ පැල්ලම් අපි දැක්කා.   
එතැනින් පසු තාත්තාව බෝගම්බර පිරිමි සිරගෙටත් අපිව බෝගම්බර කාන්තා සිරගෙටත් දැම්මා. ටික දවසකින් අපි බෝගම්බරින් වැලිකඩට එවුවා. වැලිකඩ හිටියේ ටික දවසයි.   
අපිව මීරිගම පුනරුත්ථාපන කඳවුරට එවුවා. මීරිගම පුනරුත්ථාපන කඳවුරේ සෑහෙන දවසක් අපි හිටියා. ඒකේ හිටපු ලාබාලම කෙනා මමයි. ඒ නිසා හැමෝම මට කිවුවේ චූටි නංගි කියලා. 71 කැරැල්ලේ චූටි නංගි විදිහට අවසානයේ කවුරුත් දැන හැඳින ගත්තේ මාවයි. මේ කඳවුරේදී තමයි මම වැඩිවියට පත් වුණෙත්. එතැන කඳවුරේ හිටියා කරුණා ගමනායක, යූ.ඒ. නන්දසිරි, කමනි දේශප්‍රිය, විනීතා ප්‍රනාන්දු, (පැට්‍රික් ප්‍රනාන්දුගේ වැඩිමල් සහෝදරිය) ලිලී අක්කා වගේ අය. යූ.ඒ. නන්දසිරි සහෝදරයා තමයි රොස්මිඩ් එකේ හිටපු සිරිමාවෝට ගහන්න සැලසුම් කළ එකේ ප්‍රධානියා. මේ සියලු දෙනාත් පුනරුත්ථාපන කඳවුරේ අයත් එකතු වෙලා මගේ මල්වර වීම වෙනුවෙන් පුංචි සංග්‍රහයකුත් පැවැත්වුණා.   
මේ විදිහට තමයි සියලු දේ සිද්ධ වුණේ. කඳවුරු වලින් නිදහස් වෙලා එද්දි ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුණා. අපිට පක්ෂයෙන් මුදල් වගයක් ලැබිලා ඒකෙන් පුංචි ඉඩමක් අරන් මඩහපොළ පදිංචියට ගියා. එහෙ හේන් කොටා දුෂ්කර ජීවිතයක් ගෙවමින් යළි නැගිට ගත්තා.   


වයලා කහගල්ල (71 කැරැල්ලේ චූටි නංගි) කියන්නීය. 

 
71 කැරැල්ලට අඩසියවසකි. පරාජිත පිළේ ලියැවුණු බොහෝ කතා මීට වෙනස් නැත. ලංකාවේ හතර කොනේම 71 කැරැල්ලෙන් උපන් ජවය වෙඩි උණ්ඩ වලට යටපත් විය. ඉතිරි වූ ජවය කඳවුරු වල කල් ගෙවා අද වියපත් වී ඇත. නමුත් මහපොළොවෙන් මතු වූ කිසියම් විප්ලවයක හඬක් මිහිදන් වී අවුරුදු 50 ක් ගෙවී ඇත. එය මතකයක් ලෙස ඇතැම් ජීවන චරිත තුළ තවමත් ඉතිරි වී ඇත. 

 

 

 

සටහන සහ ඡායාරූප   
අසංක ආටිගල