ලිංගික අල්ලස් ඉල්ලූ ව්‍යාජ ගිණුම


තාක්ෂණයෙන්  කරන  සයිබර්  අපරාධ

 

උසස් පෙළ නිම කරන සියලු පිරිස්හි ඊළඟ අවශ්‍යතාව වන්නේ රැකියාවක් ලබාගැනීමය. එහිදී පුවත්පත් දැන්වීම්, අන්තර්ජාල රැකියා බැංකු හා ගැසට් නිවේදන පිරික්සීම නිතැතින්ම සිදුවේ.  


මෙවැනි වාතාවරණයකදී ඇතැම් පිරිසක් ෆේස්බුක් හෙවත් මුහුණු පොත මගින් ද රැකියා තොරතුරු ප්‍රචාරය කිරීම සිදුකරයි. එහිදී මතුවන ගැටලුව වන්නේ එම තොරතුරු සත්‍ය ද අසත්‍ය ද යන්න පිළිබඳ නිවැරදිව දැන ගැනීමයි. එනම් ඇතැම් තොරතුරු සත්‍ය වනවාසේම ඇතැම් තොරතුරු ව්‍යාජ ගිණුම් හිමියන් විසින් එවන ලද ව්‍යාජ ඒවා වේ.  


මෙවර ලිපියෙන් අවධාරණය කරනුයේ ව්‍යාජ ගිණුම් හිමියකු විසින් එවන ලද ව්‍යාජ තොරතුරු නිසා අපහසුතාවට පත්වූ තරුණියක් පිළිබඳවය.   


දියණියන් තිදෙනකු සිටින පවුලේ වැඩිමල් දියණිය වූයේ සඳුනිය. ඇයටත් නැගණියන්ටත් සිප්සතර ලබාදීම සඳහා ඇගේ මව අනේක දුක් කරදර වින්ද‌ාය. සැමියා මියගියද‌ා සිට ඔහු සේවය කළ ගල් වැඩපළේ රැකියාව කරමින් දියණියන් පෝෂණය කිරීමට ඇය ඉමහත් වෙහෙසක් ගත්තාය.   


මවගේ බලාපොරොත්තු ඉටුකරමින් සඳුනි උසස් පෙළ ලියා නිම කළාය. අනතුරුව නිවසේ නතර වූ ඇයට රැකියාවක අවශ්‍යතාව තදින්ම දැනෙන්නට විය.   


ඇය දිගින් දිගටම පුවත්පත් හා ගැසට් නිවේදන පිරික්සමින් සුදුසු රැකියාවක් සොයන්නට වූවාය. එහිදී ඇයගේ ඇස ගිය අයුරින් ඇයට නිවෙස අසලම විසූ නීතිඥවරයකුගේ ලිපිකාරිනියක ලෙස සේවය කිරීමට අවස්ථාව උදාකර ගත්තාය.   


අඩු වැටුපකට වුව ද එම තනතුර ඇය භාර ගත්තේ සිය මවගේ උරමත වැටී තිබූ ජීවන බරට යම් පමණකට හෝ ද‌ායක වීමේ අදිටනින්ය.  


සඳුනි මාස කීපයක්ම එම රැකියාව කළාය.   


ඇය ලද වැටුපෙන් යම් මුදලක් ඉතුරු කරගත් අතර ඉන් නවීන ජංගම දුරකතනයක් මිලදී ගත්තාය. ඇගේ යෙහෙළියන් සමඟ දුරකතනයෙන් සම්බන්ධ වූ සඳුනිට ඔවුන් පවසා සිටියේ ඔවුන් ෆේස්බුක්වල සිටින බවත් ඇයටත් ෆේස්බුක් ගිණුමක් සාද‌ාගන්නා ලෙසත්ය. සඳුනි ඒ අනුව කටයුතු කළාය.  


එම ෆේස්බුක් ගිණුමට දන්නා මිතුරන් මෙන්ම නොදන්නා මිතුරන් ද එකතු කරගත් ඇය විවිධ ලයික් පේජ් (Like Page) එකතුකර ගත්තාය.   


නිවාඩුවක් ලද හැම මොහොතකම ෆේස්බුක් ගිණුමට එන නව පින්තූර, වීඩියෝ නැරඹුවාය. සඳුනිගේ ජීවිතය එසේ සැකසෙද්දී ඇයට වැඩි වැටුපක් ඇති රැකියාවක් සොයා ගැනීමේ ආශාව තදින්ම දැනුණි. ඒ වනවිට මුහුණු පොතට එන ලස්සන ඇඳුම්, ලස්සන සපත්තු, බෑග් සහ බොහෝ දේ ඇගේ යොවුන් සිත පැහැරගෙන තිබුණාය.  


ඇගේ යටි සිත යළි යළිත් වැඩි වැටුපක් සහිත රැකියාවක් සෙවීමට පෙරැත්ත කළාය. දිනක් මුහුණු පොතට ගිය සඳුනිගේ නෙත ගැටුණේ නව රැකියාවක් පිළිබඳ තොරතුරුය.   


සඳුනි මුහුණු පොතට පැමිණ තිබූ නව පණිවිඩය දිග හැර බැලුවාය. එහි තිබූ උපදෙස් කියවූ ඇය ජීවදත්ත සටහනක් සමඟ ඡායාරූපයක් අද‌ාළ වෙබ් ලිපිනයට යොමු කළාය. ටික දිනකින් සඳුනිගේ ඊමේල් ලිපිනයට පිළිතුරු ලැබිණ.  


සඳුනි ඇමුණුම දිග හරින්නට වූයේ සතුටිනි. එහෙත් එය කියවූ ඇය තැති ගත්තාය. එනම් එහි සඳහන් වී තිබුණේ රැකියාව ඇයට ලැබෙන බවත් ඊට පෙර කාමරයකදී ඇය හමුවිය යුතු බවත්ය.   


එය කියවූ සඳුනිගේ කෝපය නිම් හිමි නැතිවිය. ඇය අද‌ාළ වෙබ් ලිපිනයට නැවතත් ලිපියක් යොමු කළේ එම අයථා ඉල්ලීම පිළිබඳ දොස් පවරමිනි.  


එම සිදුවීමෙන් පසු සඳුනිගේ සිතට කිසිදු සැනසීමක් නොවීය. ඒ නිතර නිතර අයථා යෝජනා සහ තර්ජනාත්මක ලිපි ලැබෙන්නට වූ නිසාය.  


පියාත් නොමැතිව අම්මාගේ දුක් මහන්සියේ බලයෙන් අධ්‍යාපනය ලබා රැකියාවක් කර හිස ඔසවාගැනීමට යත්න දැරූ තමාට සිදුවූයේ කුමක්දැයි ඇය සිතුවාය. තමාට වැරදුණේ කොහේදැයි ඇය කල්පනා කළාය. මේ කරදරයෙන් ගැලවීමට කරන්නේ කුමක්දැයි සොයා බැලුවාය. අවසානයේ ඇය පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ උදව් ලබා ගත්තාය.  


සඳුනි එවන් වූ මානසික ව්‍යාකූලතාවකට පත්වූයේ නොදන්නා වෙබ් ලිපියක තිබූ රැකියාවකට අයැදුම් කිරීමට යාමෙනි. එහිදී මුහුණු පොතට එන සියලු ​ෙද් සත්‍ය ද අසත්‍ය ද ලෙස හඳුනා ගැනීම ඉතාම වැදගත් බව අවබෝධ කරගත යුතුවෙයි.   


මුහුණු පොත හරහා එන මෙවැනි ව්‍යාජ දේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු ගෙන ඒමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන පරිගණක ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සම්බන්ධ කර ගත්තෙමු.  


මේ එම මඟපෙන්වීමයි.  


ව්‍යාජ ෆේස්බුක් පිටුවලින් ආරක්ෂා වීමට ගත යුතු ක්‍රියාමාර්ග  


ෆේස්බුක් පිටුවක් (Facebook Page) හරහා අපිට රැකියා සඳහා ඉල්ලීම් කිරීම, භාණ්ඩ මිලදී ගැනීම වගේ විවිධ දේවල් කරන්න හැකියි. ඕනෑම පුද්ගලයකුට Facebook පිටුවක් නිර්මාණය කළ හැකි නමුත් එය ව්‍යාජ එකක් ද සැබෑ එකක් ද යන වග අප විසින් හඳුනාගත යුතුයි. ව්‍යාජ ගිණුමක් සමඟ ගනුදෙනු කිරීම අනතුරුද‌ායක විය හැකියි.  


ව්‍යාජ පිටුවක් හඳුනා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු,  


Facebook පිටුවට සම්බන්ධ වීමට පෙර, මුලින්ම එය විශ්වාස කළ හැකි බවට සහතික විය යුතුයි. ඔබ Facebook පිටුවක් ක්ලික් කළ විට, පිටුවේ About කොටසේ සමාගම පිළිබඳව කෙටි විස්තරයක් දැකගත හැකි වේවි. තොරතුරු අසාමාන්‍ය ලෙස පෙනුණේ නම්, එම ගිණුම ව්‍යාජ එකක් බවට ලකුණක් විය හැකියි.  


Facebook පිටුවේ කිසිදු ආකාරයක ක්‍රියාකාරීත්වයක් නොමැති නම් හෝ සමාගමට සම්බන්ධ නොවන අසාමාන්‍ය Facebook Post තිබේ නම්, එය බොහෝ විට ව්‍යාජ ෆේස්බුක් පිටුවක් විය හැකියි.  


Facebook පිටුවේ ව්‍යාජ හෝ අව්‍යාජ බව Facebook පිටුවේ ඇති Comments, Page Likes සහ Followers අධ්‍යයනය කිරීමෙන් ඔබට දළ අදහසක් ලබාගත හැකිය.  


ඔබ සමාජ මාධ්‍ය පිටුවක් හරහා ඔබේ රැකියා අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවක් ඇත්නම්, පළමුව ඔබ එම සමාගමේ නිල වෙබ් අඩවියක් භාවිත කරන්නේ දැයි පරීක්ෂා කර බලා ඔබට තොරතුරු තහවුරු කරගත හැකිය. මෙය වඩා ආරක්ෂිතයි.  


මෙම වෙබ් අඩවියේ ඇත්තේ සැබෑ විස්තර, ඔබට එයට ඇතුළත් වී එම සමාගමේ ඇමතුම් විස්තර මගින් එම සමාගම හා සම්බන්ධ විය හැකියි. එමගින් පුද්ගලික තොරතුරු වඩා ආරක්‍ෂිත මාධ්‍යයක් මගින් හුවමාරු කරගත හැකියි.  


සමහර පුද්ගලයන් සමාජ මාධ්‍ය අඩවි හරහා ඔවුන්ගේ රැකියා අයැදුම්පතක් ඉදිරිපත් කරනු ඇති. එමගින් ඔබ ඔබගේ දුරකතන අංකය, ඊමේල් සහ සමහරවිට ජාතික හැඳුනුම්පත් අංකය වැනි පුද්ගලික තොරතුරු තෙවන පාර්ශ්වයකට අනාවරණය කරනවා විය හැකියි.  


ඔබ ඊමේල් හරහා සමාගමකට තොරතුරු යවන්නේ නම් ඔබ දැන සිටිය යුතු කරුණක් වනුයේ බොහෝ ප්‍රධාන සමාගම් ඔවුන්ගේ ඊමේල් එකට සමාගමේ නමින් ඩොමේන් එකක් භාවිත කරනු ලබන බවයි. නමුත් සමහර සමාගම් එසේ නොවෙයි. උද‌ාහරණයක් ලෙස, සමාගමේ නම ABC නම්, සමාගමෙ විද්‍යුත් තැපැල් ලිපිනය වන්නේ personname@ABC.com. වෙබ් අඩවියක් ඇති සමාගම් බොහෝ විට ඩොමේන් භාවිත කරයි. Gmail හෝ Yahoo ගිණුම් සමාගම් තුළ භාවිත කළ හැකි නමුත් එය සැබෑ හෝ ව්‍යාජ විය හැකියි.  

 

 

 

 

 

සටහන 
කුමාරි හේරත්