මරණීය දණ්ඩනය සුදුසුද


අද අප රටේ උක්ත මාතෘකාව ගැන නොයෙක් දෙනා නොයෙක් මත පළ කරති. එය බුදු දහමට අනුව විමසා බැලීම සුදුසු යැයි සිතමි. දඬුවම් දෙන්නේ කාටද? වරදක් කළ අයෙකුටයි. එයින් තමා කළ කර්මයට විපාකය මෙලොවදීම ලැබීමකි. එය දිට්ඨ ධම්ම වේදනීය කර්මයයි. එයට තවත් අයට එපා කියන්නට හෝ එය අසාධාරණයි කියන්නට හෝ අයිතියක් නැත. දඬුවමට භිය නම් අපරාධ නොකර සිටිය යුතුය. නීතියේ උසාවියෙන් වරදකරු වෙන්නේ චේතනාත්මකව වරදක් කර ඇති නිසාය. ඒ නිසා එයට නියමිත දඬුවම දිය යුතුමය. දියුණු රටවල අපරාධ මර්දනයට මරණීය දඬුවම හේතු වී ඇත.


බුදු දහමට අනුවත් අපරාධයට නියමිත දඬුවම ලැබීම සාධාරණය.


තලල්ලේ ධම්මානන්ද හිමියන්ගේ ත්‍රිපිටකයෙහි සංස්කෘතික ලක්‍ෂණ නම් පර්‌යේෂණාත්මක පොත ඇසුරින් අපරාධ හා දඬුවම් ගැන සාමාන්‍ය පාඨකයාට දැනුමක් ඇති කිරීමද නායක කාරකකාදීන්ට මේ ගැන දැනුම්වත් වීමද යහපත් යැයි සිතන නිසා මෙය මෙසේ ලියන්නට වන්නෙමි.


එම පොතේ 53 වැනි පිටුවේ දසරාජ ධර්මය ගැන මෙසේ සඳහන් වේ. ‘‘ත්‍රිපිටකය දැහැමි රජවරුන් තුළ පැවැති දසරාජධර්මයන් නොයෙක් අවස්ථාවන්හි ඉදිරිපත් කරයි. ජාතකට්ඨ කථාවේ අසිති නිපාතයෙහි මහා හංස ජාතකය මෙසේ ඉදිරිපත් කෙරෙයි.


දානය, ශීලය, පරිත්‍යාගය, ඍජුභාවය, මෘදුභාවය, පෙහෙවස්කම්හි යෙදීම නම් වූ තපස මෛත්‍රී පූර්වභාග අවස්ථාව වූ අක්‍රෝධය, කරුණා පූර්වභාග වූ අවිහිංසාව ඉවසීම යැයි කියන ලද ක්ෂාත්තිය හා අවිරුද්ධභාවය යන ඒ දසරාජධර්මයයි.


රාජ දණ්ඩන


දැහැමි රාජධර්මයන් මෙසේ දක්වා අැතත් එම රාජ්‍යයන් දැහැමිව පවත්වාගැනීම සඳහා තිබූ රාජ දණ්ඩනයන් පිළිබඳව නොයෙක් සූත්‍රයන්හි ඉදිරිපත් කැරෙන වාර්තාවන් අසන්නවුන්ගේ සිත්හි ත්‍රාසය දනවනසුලු වෙයි.


අංගුත්තර නිකායෙහි තික නිපාතයෙහි තෙවැනි භය වර්ගයට අයත් ප්‍රථම භය සූත්‍රයෙහි එසේ දැක්වෙන රාජ දණ්ඩන විසි හයකි.


1. කසයෙන් තැළවීම
2. වේවැලින් තැළවීම
3. අඩ දඬුයෙන් තැළවීම
4. අත් සිඳුවීම
5. පා සිඳුවීම
6. අත් පා සිදුවීම
7. කන් සිඳුවීම
8. නාසා සිඳුවීම
9. කන් නාසා සිඳුවීම
10. හිස්කබල ගලවා ගිනිගෙන දිලිසෙන ලෝහ ගුළියක් හිස මත තැබීමෙන් කැඳ සැළියක් සේ උතුරා යන බවට පත් කරන බිලංගථාලික වධය.
11. උඩු තොල් දෙකන්සිළු ගලවා සීමා සිඳ කෙස්වැටිය දඬු කඳක බැඳ අදිමින් හිස් සම ගලවා හිස් කබල මත බෙරලු දමා සත්ගෙඩියේ සේ සුදුවන තුරු අතුල්ලන සංඛමුණඩික වධය.
12. කට අරවා මුඛය තුළ පහනක් දල්වා කන් සිළුවෙන් විද කටට ලේ පුරවන රාහු මුඛ නම් වධය.
13. මුළු සිරුර තෙල්කඩින් වෙලා ගිනිදල්වන ජෝතිමාලක නම් වධය.
14. අත්හි තෙල් කඩ වෙළා ගිනිදල්වන හත්ථජොතික නම් වධය.
15. ගෙල පටන් සම ගලවා ගොස් මස තෙක් ඇද එල්ලෙන සේ තබා තමන්ගේම සම මතටම පෑගී බිම ඇද වැටෙන සේ යොතින් බැඳ ඒ මත අත අදින එරකවත්තික නම් වධය.
16. ගෙලෙහි පටන් කටීය තෙක් ද කටීයෙහි පටන් ගොප් ඇටය තෙක් ද හම ගසා තබන වීරකවාසික නම් වධය.
17. දෙදණින් ද දෙවැලමිටෙන් ද යවුල් ගසා බිම සිටුවා වටේට ගිනි දැල්වන එත්‍යොයක නම් වධය.
18. දෙපසට ඇවිළෙන කටු ඇති උභතොමුක බිලියෙන් අදිමින් ඇඟ මස්ගලවන බලි සමංසිත නම් වධය.
19. කහවනු පමණින් සිරුර මස් ලියාලන කහාපණක නම් වධය.
20. කැපෙන ආයුධයකින් සිරුරේ කේඳි එළා කොස්සකින් සැරකාරම් ගල්වා මස් දියකොට හරින ඛාරපතච්ඡික නම් වධය.
21. කන් සිළුයෙන් උලක් ගසා බිම සිටුවා දෙපයින් ගෙන කරකවන පළිඝ පරිවත්තික නම් වධය.
22. සිවිය නොසිඳෙන සේ තළා ඇටකටු කුඩු කොට පිදුරු මිටික් සේ අකුලන පලාල පිඨික නම් වධය.
23. උණු තෙල් ඉසීම
24. සුනඛයන් ලවා කැවීම
25. දිවස්හුල හිඳවීම
26. කඩුයෙන් හිස සිඳුවීම

 


ඒ ඒ වැරදිවලට දෙන රාජ දඬුවම් විසි හය එසේය.


හිස සිඳුවීම


එකල රාජාපරාධකාරීන් හට හිස සිඳුවාලීමේ දඬුවම සිදුකළ අයුරු නොයෙක් සූත්‍රයන්හි කියවීමට ලැබේ. අංගුත්තර චතුක නිපාතයේ පස් වැනි පණනාසකයට අයත් ආපත්තිය මාර්ගයෙහි දෙවැනි ආපත්ති සූත්‍රයේ එය මෙසේ සඳහන් වේ.


මහණේනි යම් පරිදි අපරාධ කරන සෙරහු ගෙන රජුට දක්වද්ද දේවයිනි මේ සොරා අපරාධකාරීය. මොහුට දේවයෝ දඬුවම් පමුණුවත්වා! කියායි. රජු මේ අපරාධකරු ගැන මෙසේ කියයි. භවත්නි යව මේ මිනිසා දළ රැහැනින් දෙකොන් පිටි අත්කොට දැඩි සේ බැඳ හිස මුඩුකොට රළු හඬ ඇති වදබෙර ගසමින් වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට ගෙන ගොස් දකුණු දෙසින් පිටතට ගෙන නුවරට දකුණු දිග්හිදී හිස සිඳුව යනුවෙනි.


එසේ රැහැනින් බැඳ වීථියක් වීථියක් පාසා මංසන්ධියක් මංසන්ධියක් පාසා ගෙනයනු ලබන්නේ අපරාධකාරයා අප්‍රසිද්ධියේ මරා දැමීමට වඩා ඒ මරණය සිදු කරන අයුරු ජනතාවට ප්‍රසිද්ධියේ දැකගන්නට සැලැස්වීම ප්‍රයෝජනවත් වීම නිසයි. මතු අපරාධකරුවන්ගේ භීතිය ඇතිවන්නේ එවිටය.


වධයට නියමිත පුරුෂයා නගරයේ දෙවෙනි වාසල් දොරින් නුවරින් පිටතට ගැනීමත් මේ වධය සිදු කරන විට හැම තැනකම පාහේ දක්නට ලැබෙන ක්‍රමයයි. එයත් සලකා බැලිය යුතු කරුණකි. නිතරම මෙසේ හිස ගසා දැමීම සිදු කරන්නේ නගරයට දකුණෙහි වූ නගරයෙන් පිටත වදකස්ථානයක දී බැවිනි.


සංයුක්ත නිකායේ කෝසල සංග්‍රහයට අයත් තෙවැනි බන්ධන වර්ගයෙහි දසවෙනි බන්ධන සූත්‍රය එකල පැවැති තවත් රාජ දණ්ඩන කීපයක් අනාවරණය කරයි.


එකල්හි පසේනදී කොසොල් රජු විසින් ඇතැම්හු රැහැනින්ද, ඇතැම්හු යදමින් ද, ඇතැම්හු හැකිල්ලෙන් දැයි මෙසේ අපරාධකාරීන් බන්ධනගත කිරීමේ ක්‍රම තුනක් පැහැදිළි කරයි.


1. රජ්ජු බන්ධන (රැහැනින් බැඳීම)
2. අන්දු බන්ධන (යදමින් බැඳීම)
3. සංඛලික බන්ධන (හැකිල්ලෙන් බැඳීම)


යන ඒ ක්‍රම තුනයි. මේ සූත්‍රයෙහි


1. අයෝමය බන්ධන
2. දාරුම බන්ධන (දඬුකඳගැසීම)
3. බබ්බජ නමැති තෘණ රැහැනින් බැඳීම


යනුවෙන් තවත් බන්ධන ගත කිරීම් තුනක් සඳහන් වේ.


මේ බන්ධන සූත්‍රයේ අතීත කතාව කියවන විට පැහැදිලි වෙන තවත් වැදගත් කරුණක් නම් බෝසත් කුස රජතුමාට ශක්‍රයාගෙන් ලැබුණු අෂ්ටවංක මාණික්‍ය පරපුරෙන් පරපුරට හිමිවෙමින් අවුත් මේ කාලයෙහි එය කොසොල් රජතුමාට අයත්ව තිබුණ බවයි. ඒ මාණික්‍යය නැතිවීම නිසා මෙසේ සැකකරුවන් බන්ධන ගත කරන ලද බව පැවැසෙයි.


එහි දැක්වෙන පරිදි අනුන්ට අයත් දෙය පැහැරගත් සොරෙකුට නියමිත දඬුවම් තුනකි.


1. මැරීම
2. බැඳීම
3. නෙරපීම


යන දඬුවම් තුනයි.


අතින් පයින් කසයෙන් වේවැලින් අඩදඬුවෙන් තැළීම් ආදී වශයෙන් මැරීමේ ක්‍රම කලින් දක්වා ඇත. එකී යම්කිසි අයුරකින් මැරීම මරණීය දණ්ඩනයයි. බන්ධන කිරීමේ ක්‍රම අටක් පාරාජිතා පාළිය ද ඉදිරිපත් කරයි.


දසරාජධර්මයෙන් රාජ්‍ය කරන රජ කෙනෙකු පවා වරදට දඬුවම් දී ඇත්තේ ඒ අයුරිනි. එසේ දඬුවම් දෙන්නේ අනෙක් මිනිසුන් එම වරදින් මුදවාගෙන යහපත් සමාජයක් ඇති කිරීමටය. සමාජයට හිතවත් අයෙකුට මෙවැනි දඬුවම් අසාධාරණය කියා කීමට කිසිම යුතුකමක් නැත. අද ලෝකයේ දියුණු රටවලට ද අපරාධ වැළැක්වීමට දැඩි තීරණ අරගෙන ඇත. එම නිසා එම සමාජ යහපත් වී ඇත. එම යහපත් අගය නොකරන විනාශය අගය කරන අය මෙවැනි දඬුවම්වලට විරුද්ධ වෙති.


දස දහසක් දෙනාගේ ජීවිත විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම වැනි අපරාධ කරන අයට එසේ දඬුවම් පැමිණවීම ධර්මයට අනුව කිසිම වරදක් නැත.


මනෝවිද්‍යාව අනුව අභිප්‍රේණය (Motivation) හා දඬුවම (Pain) දක්වා ඇත. අභිප්‍රේරණය කළ යුතු අය අභිප්‍රේරණය කළ යුතු අතර දඬුවම් දිය යුතු අයට දඬුවම් දී යහපත් තත්ත්වයට පත් කිරීම මනෝවිද්‍යාව අනුව ද සාධාරණය.


කැලයෙන් අල්ලාගෙන එන අලියකු හීලෑ කරනු ලබන්නේ දඬුවම් ආදිය කිරීමෙනි. යහපත් මනසක් නැති, කියන දේ අහන්නේ නැති, සතුන් වගේ වැඩ කරන මිනිසා හදාගැනීමට දඬුවම් දීමේ කිසිම වරදක් නැත.


බුදු දහමට අනුව මේවා විග්‍රහකිරීමට මා අදහස් කළේ සියලු නායකකාරකාරදීන්ට ද සාමාන්‍ය මිනිසුන්ට ද යම් අවබෝධයක් ලබාදීමේ අදහසිනි.

 


සියලු සත්වයෝ සුවපත් වෙත්වා.

 

 

මනෝවිද්‍යා උපදේශක
ආචාර්ය ජී. හල්ගස්වත්ත.