කොළඹ වාහන තදබදයට කුලසිංහ දුන් ට්‍රෑම් කාර් විසඳුම


පනහ දශකයේදී වරායේ බණකට වැඩියේ හේන්පිටගෙදර ඥානසීහ හිමියන්ය. ඥානසීහ හිමියන් තම ධර්ම දේශනවලදී ගෙන හැර පෑවේ ඉතා සරල දේවල්ය. එම දේශනවල කිසිදු අනවශ්‍ය බැරෑරුම් දේවල් නොවීය. එදා වරායේ බණට වැඩසිටි ඥානසීහ හිමියන්ගේ ස්වරූපය නොරුස්නා එකක් විය.  


“කොළඹ වරායෙන් ලංකාවට එන අමුත්තෙකුට දකින්න පුළුවන් අපේ මේ විශාල බෞද්ධ රටේ අනන්‍යතාව මොකක්ද? බණ්‍ඩාරනායක මහත්මයා කතෝලික ආගම අතහැරලා බුද්ධාගම වැළඳගත්තාම පප්පා දේපළ නොදී කොළඹ උසාවිය ළඟ කබල් බංගලාවේ ඉන්නකොටත් සනී මහත්තයට බණ කිව්වේ මම. ඒත් අදත් ලංකාව පේනකොට යන්තං පේන්නේ කොච්චිකඩේ පල්ලියේ මුදුන් කොතයි. කොළඹ වරායෙන් රටට ඇතුළු වෙනකොට සිංහල බෞද්ධයන්ගේ අනන්‍යතාව ලෝකයට කියන්න පුළුවන් නිර්මාණයක් ඉදිකිරීම මේ වරායේ වැඩකරන තමුන්නාන්සේලාගේ වගකීමක්. මේක මගේ යෝජනාවක් නොවෙයි” අණක් යැයි හේන්පිටගෙදර ඥානසීහ හිමියන් තම බණෙන් කිහිප තැනකම පුන පුනා පවසන්නට වූහ.  


හේන්පිටගෙදර හිමියන් තම ජීවන කතාව ලියුවේ තනිකරම ටයිප් රයිටරයෙනි. එහි නිවැරදි කළ යුතු තැන් නැවත සැකසුවේද ටයිප් රයිටරයෙනි. උන්වහන්සේගේ ජීවන චරිතය ගැන වූ ‘හේන්පිටගෙදර සිට වැලිකඩ හරහා’ කෘතියේද මේ ගැන සඳහන් වේ.  


සිංහල බෞද්ධයින්ට අනන්‍ය සංකේතයක් වරායේ සිට හැතැප්ම 100ක් විතර ඈතට පෙනෙන ලෙස ඉදිකරන වගකීම පැවරුණේ ඉංජිනේරු කුලසිංහයන්ටය. කොන්ක්‍රීට් කුලුනු හතරක් මත බිහිවුණු වරාය බුද්ධ ජයන්ති චෛත්‍ය ඉදිවන්නේ ඉන් පසුවය.  


අපේ සමාජය ඩී.එන්.එස්. කුලසිංහ කියූ සැණින් ඔහු සතු කුසලතා කොටු කරන්නේ ඔහු හුදෙක් ඉංජිනේරුවකු පමණක් කියමිනි. එහෙත් ඔහු විවිධ ක්ෂේත්‍රයන් පුරා විහිදී ගිය කුසලතාවන්ගෙන් යුතු වූ බව බොහෝ දෙනා විශ්‍වාස කරන්නේ නැත. ඉංජිනේරු කුලසිංහයන් බොහෝ දෙනා හඳුන්වා ඇත්තේ කොන්ක්‍රීට් කුලසිංහ කියාය. නමුත් ඔහුගේ දැනුම එක් ක්ෂේත්‍රයක් තුළට හිරවී තිබුණේ නැත.  


හැටේ දශකයේදී ලංකාවේ දැවැන්තම පරිගණකය තිබී ඇත්තේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතුවය. මෙම පරිගණකයේ යම් දෝෂයක් නිසා වරක් පරිගණක ඉංජිනේරුවකු ගෙන්වන්නට සිදුවූයේ එම පරිගණකය නිපදවූ රටකිනි. එහෙත් පරිගණක ගැන කුලසිංහයන්ට තිබූ දැනුම ඉංජිනේරු සංස්ථාවේ කිසිවකු දැන සිටියේ නැත.  


පරිගණකය අලුත්වැඩියාවට ආ පරිගණක ඉංජිනේරුවා තම කාර්ය නිමවා යන විට පවසා ඇත්තේ කුලසිංහ මහතා පරිගණක ගැන තමන්ටත් වඩා අවබෝධයක් ඇති පුද්ගලයකු ලෙසය.  


මාලිගාවිල කැබලි තුනකට කැඩුණු බුදුපිළිමය නැවත ඔසවන්නට කුලසිංහයන් තුළ වූ සුවිශේෂ ඉංජිනේරු තාක්ෂණය ගැන මතු මතුත් පරම්පරාවෙන් විමසන්නට වනු නියතය.  


අද දේශපාලන වේදිකාවල ප්‍රධාන මාතෘකාවක් වී ඇති හම්බන්තොට වරාය ගැන මුල් අදහස තමන්ගේ බවට කියන පීතෘවරුන් බොහොමයක් බිහි වී ඇත. එහෙත් හම්බන්තොට වරායක් ගොඩනැගීමට කුලසිංහයන් යෝජනා කළ යුගය ඇසුවොත් ​ඔබ මවිතයට පත් වනු නියතය. හම්බන්තොට වරායට විදේශාධාර අනවශ්‍ය බව කුලසිංහයන් තම​ ලේඛනවල පැහැදිලිවම දක්වා ඇත.  


“හම්බන්තොට වරායක් හැදුවොත් ලංකාවට විශාල ආදායමක් එන්නට පටන් ගන්නවා. ඒක හැබැයි මහවැලියටත් වඩා විශාල ව්‍යාපෘතියක්. හම්බන්තොට වරාය ව්‍යාපෘතියට කිසිම විදේශ විනිමයක් අවශ්‍ය නැහැ. මේ මුළු වැඩේම අපිට තනියෙන් කරගන්න පුළුවන්. පිටරට කාගේවත් උදව් නැතිව.”  


අපේ රටේ අය මේ කුලසිංහ නම් ඉංජිනේරුවාගේ මතයට ඉඩක් දුන්නේම නැත. තමන්ට පැමිණි බාධක හමුවේ ඔහු 1971 සිට 1977 දක්වා විදේශගතව සිටියේය. එවක නිවාස අැමැති වූ පීටර් කෙනමන් අඩු වියදම් නිවාස ඉදිකිරීම් තාක්ෂණය සොයා ගියේ මැලේසියාවටය. මැලේසියන් නිවාස ඇමැතිගේ කතාව උපහාසයෙන් යුතු එකක් විය.  


“අපි මේ තාක්ෂණය ඉගෙන ගත්තේ උඹලගේ කුලසිංහ කියන පුද්ගලයාගෙන්. මිනිහා දැන් මෙහෙ වැඩ. කුලසිංහ උඹලගේ රටට හඳුන්වලා දුන්න දේවලට වඩා මැලේසියාව මිනිහගෙන් දේවල් ඉගෙන තිබෙනවා” යනුවෙනි.  


කුලසිංහයන්ගේ ශරීර ප්‍රමාණයත් නිර්මාණයන් දෙස බැලූ විට පැහැදිලිවම පෙනී යන කරුණක් නම් ඔහු දෛ​ෙවෝපගත මේ ශිල්පයට පෙර ආත්මවල සිට පැවත එන පුද්ගලයකු බවය. ඔහු මේ ගැන පවසා ඇත්තේ මෙවැන්නකි.  


“මම නාඩි වාක්‍ය විශ්වාස කරනවා. මට විශ්වාසයි මම වැඩකරපු නිර්මාණවල නැත්නම් වැඩවල දැනුම මම මීට පෙර ආත්මවල ඉඳන් ගෙනාපුවා කියලා. මම නාඩි වාක්‍යයෙන් විශ්වාස කරපු අන්දමට මම පෙර ආත්මයක වාරිමාර්ග කැණීම් කටයුතුවලට සම්බන්ධ ශිල්පියකු බවට කියූ නාඩි වාක්‍ය මම පිළිගන්නවා. ඊටත් වඩා පොත පතින් ඉගෙන ගත්ත දැනුමටත් වඩා සමහර නව නිර්මාණයන් කරන්න සැලසුම් කරනකොට මටම දැනිල තියෙනවා මට මහ පුදුම ඵලවන දැනුමක් තියෙනවා කියලා.”  


එදා මොරගහකන්ද ජලාශය ගැන කියන්නට ගොස් ජනපති මෛත්‍රීට කුලසිංහ අමතක කරන්නට බැරිවිය. එමෙන්ම ජේ.ආර්.ගේ පාලන යුගයේ මහවැලිය ගැන කියන්නට ගිය විටද කුලසිංහ අමතක කළේ නැත. මහවැලිය කියූ විටම මතකකයට එන තවත් කාර්යක් නම් ඉංජිනේරු කාර්යංශයක් නම් ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍ය උපදේශක කාර්යාංශයයි (CRCB). එහි සභාපති පුටුවට පත්කළ ඉංජිනේරු කුලසිංහයන් තම වගකීම දැරුවේ ආචාර්ය කුලසිංහ ලෙසය. කුලසිංහයන් CRCB යට හත් අවුරුදු මහවැලියේ ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ භාවය තහවුරු කළේ එහි සිටය.  


කුලසිංහ චරිතය ගැන නිරීක්ෂණයේදී ඉංජිනේරුවකු ලෙස පමණක් කොටු කර ගැනීම ඓතිහාසික අඩුපාඩුවක් ලෙස හැඳින්විය හැකිය. කුලසිංහයෝ උපන්ගෙයි කලාකාරයකු වූහ. කළුගල් යකඩ සිමෙන්ති සමඟ බැඳුණු නාමයක් ලෙස පොදු ජනතාව අතර ඇති මතය කුලසිංහයන් ප්‍රතික්ෂේප කොට ඇත්තේ තමන් රසාස්වාදයට යොමුවූ පුද්ගලයකු බව මෙසේ සඳහන් කරමිනි.  


“අපේ පවුලේ තාත්තට විතරයි සංගීත කුසලතාවක් තිබුණේ නැත්තේ. ඒ කාලේ ටෙක්නිකල් එකේ ලෙක්චර් කෙනෙක්ගේ දුවක් හිටිය විරිඳු කාරියක්. එයාලා එක්ක මං ගුවන් විදුලියේ යනවා විරිඳු කියන්න. මං කළේ රබන් ගැහුවා. විරිඳුත් කිව්වා. බටනළා වයන්න සහ තබ්ලාව වාදනය කරන්න මට හොඳට පුළුවන්. මගේ මල්ලි නන්දා කුලසිංහ සංගීතය පැත්තෙන් ඉස්සරහට ගියා. මල්ලි ගීත නාටක ඉඳන් කරලා තියෙනවා.” 

 
කුලසිංහයන්ගේ ජීවිතයම ගොඩනැගුණේ සුවිසල් වාරි කර්මාන්තය සමගය. එමෙන්ම කුලසිංහයන්ගේ තනිකඩ ජීවිතය නව මානයකට යොමුවුණේද මේ වාරි කර්මාන්ත සමග සබැඳුණු මිතුරෙකු නිසාය. කුලසිංහයන් මනාව දැන හඳුනාගත් ඈ නමින් ඩල්සි ස්වර්ණලතා ද සිල්වා නම් වූවාය.  


“ඒක යෝජිත විවාහයක්. ඩල්සිගේ අයියා වැඩ කළේ නෝටන් ජල විදුලි ක්‍රමයේ මාත් එක්ක ඉංජිනේරුවෙක් විදියට. ඩල්සිගේ අයියගෙත් මල්ලි වෙද මහත්තයෙක්. ‘අයියෙ ඔය යකා සහකාර ඉංජිනේරුවෙක් නිසා අපේ පවුලට ගැලපෙයිද’ කියලා අහලා තිබුණා.”  


අවුරුදු අනූවකට ටිකක් අඩුවෙන් ජීවත් වුවද මිය යන තුරුත් ඔහු සිටියේ හොඳ සිහිකල්පනාවෙනි. කුලසිංහයන් තබා ඇති සටහන් සහ සම්මුඛ සාකච්ඡා කොන්ක්‍රීට් මෙන් ගොරහැඩි ඒවා නොවීය. ඔහුගේ ජීවිතය පුරාම එවැනි රසවත් සිදුවීම් ගැණිය නොහැකි තරම් අගේට රසවිඳිය හැකිය.  


1925 දී ගාන්ධිතුමා ලංකාවට එන විට කුඩා කුලසිංහ සිටියේ ඉහවහා ගිය ප්‍රීතියෙනි. ඉස්කෝලේ ළමයි හැමෝගේම සම්මාදම් එකතු කිරීමේ වගකීම පැවරුණේ කුලසිංහයන්ටය.  


“අපි හැමෝම කාසි එකතු කරලා ගාන්ධිතුමාට තෑග්ගක් ගත්තා. මම තාත්තාගෙන් සත 15කුත් මස්සිනාගෙන් ශත 10කුත් එකතු කරලා සත විසිපහක් ඒකට දුන්නා. ඒ කාලේ ඒක ලොකු ගාණක්.”  


අද අපට කොළඹ යන්න ඇති පොදු ප්‍රවාහන සේවය වන්නේ ඩීසල් බස් රථයය. එහෙත් කුලසිංහයන් ඩීසල් බස් විරෝධියකු බව බො​ෙහා් දෙනා නොදන්නා කරුණකි.  


“එදා මරදානේ ඉඳන් ට්‍රෑම් කාර් තිබුණා. ටෙක්නිකල් එක හරහා මරදානේ ඉඳන් ග්‍රෑන්ඩ්පාස් වලටත් ට්‍රෑම් කාර් සර්විස් එකක් තිබුණා. මේ ට්‍රෑම් කාර් අයින් කරල තමයි ට්‍රොලි බස් දැම්මේ. ට්‍රොලිවලට ඩීසල් අවශ්‍ය නැහැ. පරිසරය දූෂණය වුණෙත් නැහැ. ට්‍රෑම්කාර් වගේ පීලි උඩ විතරක් යන්න ඕන වුණේ නැහැ.  


අපි නවීකරණය රටට වැද්දගත්ත වේගය වැඩියි. අද යුරෝපයේ තමන් ට්‍රෑම් කාර් දුවන රටවල් තියෙනවා. ට්‍රෑම් කාර්වලට වඩා ට්‍රොලිබස් හොඳයි. හෙට අනිද්දාට කොළඹ නගරයට ඇතුළු වෙන්න බැරි තරම් වාහන තදබදයක් එනවා. නියමිත මාර්ගයක ගිය ට්‍රෑම් කාර් අයින් කරපු එක කොළඹ නගරයේ වාහන තදබදයට ප්‍රධාන හේතුවක්” යැයි කුලසිංහයන් පවසා ඇත්තේ 2006 දීය.  


කුලසිංහයන්ගේ ජීවිතයේ තිබූ හීන දෙක නම් කොත්මලේ මහවැලි මහාසෑය සෑදීමත් එහි වැඩ නිමවා වැඳපුදා ගැනීමත්ය. නමුත් ඒ සිහිනය සැබෑ කරගන්නට ඉඩක් නොදී ඔහු අපගෙන් සමුගෙන ගියේය.

 

 

 

 

 

 

වජිර ලියනගේ