‘හූ’ කීමට පිළියමක් ගෝඨාභයගේ සහායට ශ්‍රීලනිපය වෙනම රැස්වීම් තියයි


(ප්‍රේමකීර්ති රණතුංග)   

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පිණිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන මැතිවරණ රැලිවලදී ශ්‍රීලනිප නියෝජිතයන්ට හූ කීම වැළැක්වීම සඳහා ශ්‍රීලනිපය වෙනම රැස්වීම් මාලාවක් පැවැත්වීමට ඉකුත් සඳුද‌ා පැවැති පොහොට්ටු ශ්‍රීලනිප උපාය මාර්ග කමිටුවේදී තීරණය කර ඇත.   

මෙම රැස්වීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ වීඩියෝ දර්ශන ඇසුරින් නිරීක්ෂණය කිරීමේදී අනුරාධපුර රැස්වීමේදී හූ කී පුද්ගලයාම ඇහැලියගොඩ රැස්වීමේදී ද හූ කියන ආකාරය හඳුනාගත හැකි බවයි. මෙය සංවිධානාත්මක පිරිසකගේ ක්‍රියාවක් බව ද මෙම රැස්වීමේදී සාකච්ඡාවී ඇත.   


ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහාය පිණිස එක් වූ ශ්‍රීලනිප නියෝජිතයන්ට යම් පිරිසක් විසින් හූ කියා විරෝධය පළ කිරීම ගැන කනගාටුවන බව මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පවසා ඇත. මේ අනුව ශ්‍රීලනිපය දිස්ත්‍රික්කයකට එක බැගින් ජන රැලියක් සංවිධානය කරන අතර එයට ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගිවීමට නියමිතය.   


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු පක්ෂ නායකයන් මෙම උපාය මාර්ගික කමිටුව නියෝජනය කරන අතර එයට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, ජී.එල්. පීරිස් සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුද ශ්‍රීලනිපයෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතා ද සහභාගි වෙයි.