‘රාඩා’ නඩුවෙන් ටිරාන් අලස් නිදහස්


(මනෝප්‍රිය ගුණසේකර)

සුනාමියෙන් හා යුද්ධයෙන් පීඩාවට පත් වී සිටින උතුරු නැගෙනහිර ජනතාවට නිවාස ඉදිකරදීම සඳහා මහාභාණ්ඩාගාරයෙන් ‘රාඩා’ ආයතනය වෙත නිකුත් කළ රුපියල් කෝටි 17කට ආසන්න මුදලකින් එකඳු හෝ නිවසක් ඉදිනොකර එම මුදල් අවභාවිතා කළ බවට චෝදනා ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුළු සිව්දෙනෙකු කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් නිදහස් කරන ලදී.

‘රාඩා’ නඩුවෙන්....
මෙම නඩුවේ මුල් ලේඛණ කිසිඳු අවස්ථාවක දැක නොතිබු බවත් දැක ඇත්තේ ඡායා පිටපත් පමණක් බවත් ‘රාඩා’ ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී චන්ද්‍රකාන්ති ප්‍රනාන්දු මහත්මිය සාක්කි දෙමින් පැවසීමෙන් අනතුරුව මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා කළ දැනුම් දීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවන් සිය`ථ දෙනාම නිදහස් කිරීමට නියම කළේය.
‘රාඩා’ ආයතනයේ හිටපු සභාපතිවරයා මෙන්ම හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකුවූ ටිරාන් අලස් මහතාට අමතරව මෙලෙස නිදහස් කරන ලද්දේ කොටි සංවිධානයේ මුල්‍ය අංශයේ නායකයකු බව කියන එමිල් කාන්තන්, ‘රාඩා’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් සාලිය වික්‍රමසූරිය සහ එහි ගණකාධිකාරීවරයකු වන ජයන්ත ඩයස් සමරසිංහ යන මහත්වරුන් තිදෙනාය.
පසුගිය යහපාලන රජය සමයේදී විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබූ අතර මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී දෙවැනි විත්තිකාර එමිල් කාන්තන් නමැත්තා හැර සෙසු විත්තිකරුවන් තිදෙනාම අධිකරණයේ පෙනී සිටියහ.
සුනාමියෙන් හා යුද්ධයෙන් පීඩාවට පත් වී සිටි උතුරු නැගෙනහිර ජනතාවට පසුගිය රාජ්‍ය පාලන සමය තුළදී “ජය ලංකා” ව්‍යාපෘතිය යටතේ ත්‍රීකුණාමලය හා මඩකළපුව ප්‍රදේශ වලින් නිවාස 1600 ක් ඉදිකරදීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් ‘රාඩා’ ආයතනය වෙත නිකුත් කළ රුපියල් මිලියන 167ක මුදලක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම, එම කුමන්ත්‍රණයට අනුව අදාළ මුදල් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා මත විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරුවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 වගන්තිය යටතේ තමන්ට පැවරී ඇති බලතල මත මෙම නඩුවේ සියළුම විත්තිකරුවන් නිදහස් කරන බව දැනුම් දුන්නේය.


ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් දෙවැනි විත්තිකාර එමිල් කාන්තන් නමැත්තාට එරෙහිව නිකුත් කොට ඇති වරෙන්තුව ආපසු කැඳවීමට නියම කරන්නැයි කළ ඉල්ලී පිළිගත් විනිසුරුවරයා අදාළ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කළේය.


පළමු විත්තිකරු වෙනුවෙන් නීතීඥ දිනේෂ් ලියනගේ, ශාලික ගුණවර්ධන, ලසන්ත සෙනෙවිරත්න, අසංති ද අල්මේදා, යු.එල්.බණ්ඩාර සමඟ ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා ද දෙවැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ පියසරා පද්මසීලී, ලක්‍ෂමන් පෙරේරා සමඟ ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා ද තුන්වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ චන්දික පීරිස්, මහින්ද ජයවර්ධන සමඟ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ද සිව්වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා ද පෙනී සිටියහ.