​ෆේස්බුක් සමාජෙට සෙට් වෙන අය මත්වෙන්න බොන නරක පෙත්ත


 

තරුණ පරපුර විසින් බීච් පාටි පැවැත්වීම අද වනවිට විලාසිතාවක් බවට පත්වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. බොහෝ විට මේ බීච් පාටිවලට කෙල්ලෝ කොල්ලෝ සෙට් වෙන්නේ ෆේස්බුක් හරහා දැන හඳුනාගෙන ගොඩනගාගත් මිතුරු සම්බන්ධතා හරහාය.  
ළාබාල යුවතියන් පවා මේ බීච් පාටිවලට සම්බන්ධ මේ නැඹුරුතාවක් දැන් දැන් පෙනෙන්නට තිබෙන බව පොලිසිය කියයි.  


බීච් පාටිවලට සෙට් වන කොල්ලෝ කෙල්ලෝ මත් පෙති වර්ග, එහෙමත් නැතිනම් සමහර රෝගීන්ට හටගන්නා අධික වේදනාව සමනය කිරීමට බටහිර වෛද්‍යවරුන් විසින් ලබාදෙන ඇතැම් වේදනා නාශක ඖෂධ වර්ග පවා පානය කිරීමට පෙළඹී සිටිති.  


මත් පෙති හෝ වේදනා නාශක ඖෂධ වර්ග බීච් පාටිවලට එන අැතැම් තරුණ තරුණියන් පාවිච්චි කරන්නේ වෙන කිසිවක් නිසා නොව යම් ත්‍රිල් එකක් ලබාගැනීමට හෝ පැය ගණනාවක් එක දිගට වෙහෙස මහන්සියකින් තොරව නර්තනයේ යෙදීමටය.  
පොලිසියට හෝ සුරාබදු නිලධාරීන්ට කොටුවූ විට සමහර තරුණ තරුණියෝ මේ බව පවසා ඇත්තාහ.  


මේ ළඟදී දවසක කොටුව දුම්රිය ස්ථානයේ පස්වැනි වේදිකාවේ සිටි තරුණ ගැටව් දෙදෙනකුගේ හැසිරීම ගැන ඇතිවූ සැකයක් මත දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් දෙතුන් දෙනෙක් ඔවුන් දෙදෙනා ළඟට ගොස් පරීක්ෂා කර බලා ඇත්තේ නිකමට වාගේය.  
කොණ්ඩය ටින්ටඩ් කරගෙන සිටි මේ තරුණ ගැටව් දෙන්නා කණ් විද කරාඹු පැළඳගෙන සිටියෝය.  
ඔවුන් දෙදෙනා ළඟ තිබූ පාර්සල් දෙකක කිසියම් පෙති තොගයක් තිබී සොයා ගැනීමට ද දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන්ට හැකිවිණ.  


“පිටකොටුවේ කෙනකුගෙන් අපි මේවා සල්ලිවලට ගත්තා” යැයි තරුණයෝ දෙදෙනා පැවැසූහ.  


“ඇයි මෙච්චර පෙති ගොඩක්?”  


ඒ ප්‍රශ්නය දුම්රිය ආරක්ෂක හමුදා නිලධාරියකුගෙනි.  


“මගේ බර්ත්ඩේ පාටිය ලබන සතියේ. පුංචි හෝටලයක පොඩි පාටියක් ගන්නවා. ඒකට මගේ මිතුරු මිතුරියෝ කට්ටියකට ඉන්වයිට් කරලා තියෙනවා. එදාට පාටියට එන මගේ මිතුරු මිතුරියන් ඩාන්ස් කරනවා. ඒ ගොල්ලන්ට ගොඩක් වෙලා එක දිගට මහන්සියක් නැතිව ඩාන්ස් කරන්නයි, ඒත් එක්කම​ පොඩි ත්‍රිල් එකක් ගන්නයි මම මේවා සල්ලිවලට ගත්තේ. පාටියට එන කැමති අයට පෙත්ත ගානේ නිකම් දෙනවා.”  


ඒ දුම්රිය ආරක්ෂක හමුදාවේ අයට කොටුවී සිටි 19 හැවිරිදි තරුණයා දුන්නු පිළිතුරය.  


සම වයසේ පසුවූ මේ තරුණයෝ දෙන්නාම මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෝය.  


මේ බෙහෙත් පෙති පිළිකා රෝගය නිසා හටගන්නා අධික වේදනාව නැසීමට ගන්නා ඖෂධ වර්ගයක් බව සොයාගත්තේ දුම්රිය ආරක්ෂක හමුදාවේ අධිකාරී අනුර ප්‍රේමරත්න හා සහකාර අධිකාරී ඕ.කේ. ලලිත් කුමාර යන මහත්වරුන් විසිනි.  


වෛද්‍ය නිර්දේශයකින් තොරව මෙම බෙහෙත් පෙති ඖෂධශාලාවලට විකිණීමද තහනම්ය.  


නීති අණ පනත් එසේ වුවත් මේ තරුණ ගැටව් දෙදෙනා අතේ තහනම් පෙතිය.  


ඒ වෙන කිසිවක් නිසා නොව බර්ත්ඩේ පාටියට එන මිතුරු මිතුරියන්ට ඇතිවෙනකම් ඩාන්ස් කිරීමටය.  


මත් පෙති, වේදනා නාශක පෙති හා ඖෂධ වර්ග ගැනීම නිසා ඇතිවිය හැකි ලෙඩ රෝගවලට ගොදුරුවන්නේ මේ රටේ අනාගතය බාරගැනීමට සිටින වත්මන් තරුණ පරපුරය.  


කොකේන් වැනි මත්ද්‍රව්‍ය ලබාගැනීමේදී රුධිරයේ ඇති ඩොපමින් නමැති රසායනිකය ඉහළ යන නිසා ගතට සිතට සතුටක් සුවයක් දැනෙන බව පෙනී යයි.  


එහෙත් මේවාගේ මත්ද්‍රව්‍ය හා මත් පෙතිවලට ඇබ්බැහිවීම නිසා ඒ තාවකාලික සතුට හා සුවය පහව ගොස් ඔහු හෝ ඇය සදාකාලික රෝගියකු බවට පත් කිරීමේ මාවත කරා යොමු කරවයි.  


මේ මාවතට ඇද වැටෙන තරුණයෙක් හෝ තරුණියක් අවසානයේ නවතින්නේ සීතල මරණයේ දොරටුව අභියසය. එතකොට බොහෝවිට ප්‍රමාද වී හමාරය.  


බීච් පාටිවලට බර්ත්ඩේ පාටිවලට හෝ වෙනත් පාටිවලට යන නව යොවුන් වියේ පසුවන යුවතියන් හා තරුණයන් මේවා ගැන හොඳින් කල්පනා කර බැලිය යුතුය.  


මේවායින් ලැබෙන තාවකාලික ත්‍රිල් එක ගැන පමණක් කල්පනා නොකර බුද්ධිමත්ව සිතා බැලිය යුතු කාලය පැමිණ ඇති බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙන්නේ ඒ නිසාය.  


සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්. හේමන්ත මහතාගෙන් මේහා සම්බන්ධ කරුණු කාරණා විමසූ අවස්ථාවේ ඔහු මෙසේ කීය.  


“බීච් පාටිවලට සහභාගි වෙන අය අතරේ ගොඩක් දෙනෙක් ඉන්නේ සමාජයේ ඉහළ පැලැන්තිවල අයගේ දුවා දරුවෝය. සමහරුන් බාල වයස්කාර යුවතියන් වීම මෙහි ඇති කනගාටුදායකම තත්ත්වය වශයෙන් හැඳින්වීමට පුළුවනි.  


ෆේස්බුක් හරහා සංවිධානය වන මේ බීච් පාටිවලට එන හුඟදෙනෙක් භාවිත කරන මත්ද්‍රව්‍ය විශේෂ හයක් විතර තියෙනවා. ගංජා, හෂීස්, කොකේන්, ඈෂ්, කුස්, එල්.එස්.ඩී, එක්ස්ප්‍රසි, අයිස් හා කෙවමින් කියන මත්ද්‍රව්‍ය විශේෂ තමා බීච් පාටිවලදී විශේෂයෙන් පානය කරන මත්ද්‍රව්‍ය විශේෂයන්.” 


මෙවැනි මත්ද්‍රව්‍ය විශේෂයක් පානය කිරීමෙන් ඇතිවන අතුරු ආබාධ ගැන ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්. හේමන්ත මහතා කරුණු හෙළිකර සිටියේය.  


“මෙවැනි මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය ඇනහිටීම, රුධිර පීඩනයේ වෙනස්කම්, සියදිවි නසා ගැනීමට සිතීම, මානසික ව්‍යාකූලත්වය, සිරුරේ මස් දියවීම, ඇස් අසාමාන්‍ය ලෙස ලොකුවීම, යම් යම් දේවල් බොඳවී පෙනීම, දත්වල විදුරුමස් දියවීම හා මුහුණ විකෘතිවීම වැනි අතුරු ආබාධ රැසක් ඇති වෙනවා.  


යොවුන් වියේදී මෙවැනි රෝගාබාධවලට ලක්වීම නිසා අපේ තරුණ තරුණියන් අකාලයේ මිය යාමට පවා තිබෙන ඉඩකඩ බෙහෙවින්ම වැඩියි. ඒ නිසා මේ වගේ පාටිවලට සහභාගි නොවී සිටීම තමා වැදගත් වන්නේ. ඔබ ඔබේ වටිනා තරුණ ජීවිත අකාලයේ අඳුරු ආගාධයකට වැටෙන්න ​ඉඩදෙන්න එපා.”  


ඒ ප්‍රධාන සුරාබදු පරීක්ෂක හේමන්ත මහතා වත්මන් යෞවන යෞවනියන්​ගෙන් කරන කාරුණික ඇරයුමයි.  


“බීච් පාටිවලට ගියාම මීට කලින් කිසිම දවසක මත්ද්‍රව්‍ය පානය නොකර සිටින තරුණ තරුණියන්ට ඒ වාට ඇබ්බැහි වී සිටින අය විසින් කෙසේ හෝ පොළඹවා ගන්නවා” යැයි පැවැසුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියෙකි.  


මේ හා සම්බන්ධව තොරතුරු දැනගැනීමට ඊළඟට කතා කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතාටය.  


“වෛද්‍ය නිර්දේශවලින් තොරව විකිණීම තහනම් කර ඇති ඖෂධ වර්ග අලෙවි කරන ස්ථානයි අපි වටලන්නේ. එවැනි තැන් ගණනාවක් පසුගිය කාලයේ අපි වටලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. එක්තරා කරල් වර්ගයක් මෙරටට ගෙන එන්නේ මිලිග්‍රෑම් 100 ප්‍රමාණයේ ඒවා පමණයි. නමුත් මේ කරල් වර්ගය මිලිග්‍රෑම් 250 ප්‍රමාණයේ ඒවා ගෙන්වා වෛද්‍ය නිර්දේශවලින් තොරව විකුණද්දී ඒ ෆාමසිය අපි වටලා ඒ ෆාමසියට එරෙහිව නීති මගින් කටයුතු කරලා වසා දමා තිබෙනවා. මෙවැනි නීතිවිරෝධී ලෙස ඖෂධ වර්ග අලෙවි කරන ෆාමසි අපි දිගින් දිගටම වටලනවා.  


භයානක බෙහෙත් වර්ග විකිණීම හා ගබඩා කිරීමේදී ඒවා කරන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට නිසි ක්‍රමවේදවලට අනුවයි. මෙවැනි ඩ්‍රග්ස් වර්ග ප්‍රවාහනය කරන්නේ පවා ඒ සඳහා අනුමැතිය ලත් නිලධාරීන් පමණයි. ජිනීවා සම්මුතිය යටතේ තමා මෙවැනි ඖෂධ අපේ රටට ගෙන්වා බෙදාහරින්නේ.  


සමහර ෆාමසි අධික වේදනා නාශක බෙහෙත් පෙති කරල් වර්ග අධික මිල ගණන්වලට වෛද්‍ය නිර්දේශවලින් තොරව විකුණනවා. රුපියල් 10ක් වැනි සුළු මුදලකට වෛද්‍ය නිර්දේශ මත පමණක් මිලදීගත හැකි මෙවැනි ඖෂධ වර්ග වෛද්‍ය නිර්දේශවලින් තොරව රුපියල් 1000ක් වැනි මිල ගණන්වලට විකුණන බවට තොරතුරු අපට ලැබී තිබෙනවා” යැයි ද වෛද්‍ය කමල් ජයසිංහ මහතා පවසයි.  
මෙවැනි ෆාමසි වටලා ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට අප කිසිසේත් පසුබට වෙන්නේ නැති බව ද වෛද්‍ය ජයසිංහ මහතා අවධාරණය කරයි.  


වෛද්‍ය නිර්දේශවලින් තොරව මත්වීමට ඇතැම් රෝගවලට ලබාදෙන වේදනා නාශක, බෙහෙත් පෙති, කරල් පමණක් නොව මත්පෙති සමහරු පානය කිරීම නිසා ඒවා යමකුගේ ශරීරයට බලපාන්නේ කෙසේ ද යන්න කියා දැන ගැනීමට මීළඟට කතා කළේ කොළඹ නයනාරෝග්‍ය රෝහලේ (අක්ෂි රෝහල) කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතාටය.  


“බීච් පාටි ලංකාවේ සීමාසහිත ප්‍රදේශයකට සීමාවෙච්ච දෙයක්. මෙහෙම ගියොත් මත්ද්‍රව්‍ය හා සමහර වේදනා නාශක හා ලිංගික උත්තේජනය කරන ඖෂධ වර්ග භාවිත කරන බීච් පාටි වෙනත් ප්‍රදේශ දක්වා ව්‍යාප්ත විය හැකියි.  


මේවා පාවිච්චි කිරීමෙන් යම් මානසික උද්දීපනයක් ඇතිවෙනවා. පාවෙනවා වාගේ දැනෙනවා. මායාකාරී ලෝකයක් මැවෙනවා. නමුත් මේවා දිගින් දිගටම ගැනීමෙන් කායික හා මානසික වශයෙන් පිරිහෙනවා. භයානක ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. පළමුවෙන් ලබන අත්දැකීම යළිත් ලබන්න කලින් ගත්තාට වඩා වැඩි මාත්‍රාවක් ගන්න සිදුවෙනවා. මේ විදිහට එන්න එන්නම ලබාගත යුතු මාත්‍රාව වැඩිකරන්න වෙනවා. අන්න එත​ෙකාට තමා රෝගවලට ගොදුරු වෙන්න පටන්ගන්නේ. මානසික වියවුල් ඇතිවෙන්න පටන්ගන්නේ එත​ෙකට තමා. හොඳම දේ තමා මේ වාගේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීම.”  


බීච් පාටිවලට සහභාගිවීමට එන අය මත්ද්‍රව්‍යවලට අමතරව ලිංගික උද්දීපනය ඇතිකරවන පෙති හා කරල් වර්ග ද භාවිතයට ගන්නා බවට තොරතුරු ලැබී තිබෙන බව විශේෂඥ වෛද්‍ය වරුණ කරුණාතිලක මහතා පෙන්වා දෙයි.  


“බීච් පාටිවලට යන සීමිත පිරිස් විතරක් නොවේ අනෙකුත් තරුණ කොටස් අතර ද මත්ද්‍රව්‍ය බහුල වශයෙන් පැතිර යනවා. ඒ විතරක් නොවේ ලිංගික උත්තේජනය ඇතිකිරීමට ගන්නා පෙති හා කරල් වර්ග ද ෆාමසිවල බහුල වශයෙන් අලෙවි වනවා. ලිංගික උත්​තේජනය ඇතිකරන ඖෂධ අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශ මත ලබාගත යුතුයි. එවැනි ඖෂධ යම් යම් අයට වෛද්‍යවරුන් නියමිත මාත්‍රාවකට අනුව පාවිච්චි කරන්න උපදෙස් ලබාදෙන්නේ ඔවුන්ට වැළඳී ඇති රෝගී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පමණයි.  


ලිංගික උත්තේජනය ඇතිකරන ඖෂධ අද සීනිබෝල, ටොෆි අලෙවි වන ගාණට අලෙවි වනවා. වෛද්‍ය නිර්දේශ නොමැතිව මේවා පාවිච්චි කිරීමෙන් පසුගිය කාලයේ අවාසනාවන්ත මරණ කිහිපයක්ම සිදුවුණා. සමහර ෆාමසිවලින් කිසිදු වෛද්‍ය නිර්දේශයක් නොමැතිව අලෙවි කරනවා. මේක හරිම වැරදි වැඩක්. සමහර ඖෂධ සමාගම් මේවා 100ක් අලෙවි කළොත් ඒ ෆාමසියට තව සීයක් නොමිලයේ දෙන බවටත් අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒ විතරක් නෙමේ ලිංගික උත්තේජනය ඇති කරන මෙවැනි ඖෂධ ප්‍රවර්ධනය කරන්න එක උපත්පාලන කොපුවක් එක්ක මෙවැනි ඖෂධයක් නොමිලයේ දෙන බවටත් අපට තොරතුරු ලැබී තිබෙනවා.  


ලිංගික උත්තේජන ඖෂධ ප්‍රවර්ධනය කර ගැනීමට සමහර ඖෂධ සමාගම් ඇතැම් ෆාමසි නොමිලයේ වායුසමනය කර දෙනවා. ලෝකයේ දියුණු රටවල් ඖෂධ හඳුන්වා දෙන්නේ වෛද්‍යවරුන් ඉලක්ක කරගනිමින්. නමුත් නොදියුණු රටවල් ඖෂධ හඳුන්වා දෙන්නේ ෆාමසිකරුවන් ඉලක්ක කරගනිමින්. මොවුන් මේවා මේ විදිහට කරන්නේ වෙළෙඳ ආචාරධර්මවලට පවා සම්පූර්ණයෙන්ම පටහැනිවයි. ඒ නිසා ඖෂධවලට දැඩි නියාමනයක් අවශ්‍ය වනවා” යැයි ද කායික රෝග විශේෂඥ වරුණ ගුණතිලක මහතා පවසයි.  

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය