​ලෙස්ටර්ගේ අවමඟුල දා පැහැරගත් සම්මානය බස්රියක රාක්කයේ


 

හෙළයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට පිරිනැමුණු යාවජීව ප්‍රණාම සම්මානය සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය මහතා පසුගියදා නියෝග කර තිබේ. මොවුන් 6 දෙනා එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියෝග කෙරිණ.  


මෙසේ රක්ෂිත බාරයට පත්කෙරුණේ කඩුවෙල, ගම්පොල, නාවලපිටිය, හිනිදුම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.​ මොවුන් සංවිධානාත්මකව විවිධ උත්සව අවස්ථාවලට සහභාගි වී එම ස්ථානවල යම් යම් භාණ්ඩ මෙන්ම, මුදල් පසුම්බි ද සොරකම් කරන අය බව ප්‍රශ්න කිරීමේ දී හෙළි වී තිබේ. පීරිස් මහතාගේ ඥාති සොයුරියකගේ රුපියල් ලක්ෂයක් වටිනා ජංගම දුරකථනය ද මොවුන් සොරකම් කර ඇති අතර එය රුපියල් 4000 කට නාවලපිටියේ ජංගම දුරකථන අලෙවි මධ්‍යස්ථානයකට විකුණා ඇති බව ද අනාවරණය වී තිබේ. මෙම කල්ලිය විසින් හොරකම් කරන ලද තවත් ජංගම දුරකථන 8 ක් ද සොයාගත් බව පොලිසිය පැවසීය.  


ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට මෙම යාවජීව සම්මානය පිරිනැමුණේ 2000 වසරේ නවදිල්ලි චිත්‍රපට උළෙලේදීය. මීට අමතරව ඒ මහතාට ශ්‍රී ලංකාවේ දී සම්මාන රැසක් හිමිවූයේ ඔහු කළ නිර්මාණවලට ඇගයීමක් ලෙසිනි. ඔහුගේ අවමංගල්‍ය උත්සවය පැවැති නිවසේ මෙම සම්මානය සමඟ අනිකුත් සම්මාන මහජන ප්‍රදර්ශනය සඳහා තිබූ අතර ඒ අවස්ථාවේ දී මෙම සම්මානය සොරා ගෙන ගොස් ඇත. මේ පිළිබඳව පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වීමට පොලිසිය කටයුතු කළේය.  


මෙම සම්මානය මාර්ග අංක 177 කොල්ලුපිටිය - කඩුවෙල මාර්ගයේ ධාවනය වෙන සුඛෝපභෝගී බස්රථයක් තුළ තිබිය දී එය මගියෙකු විසින් කොන්දොස්තරවරයාට පෙන්වා තිබේ. පසුව එම කොන්දොස්තර සහ රියැදුරු දෙදෙනා කොල්ලුපිටිය පොලිසිය වෙත දුරකථනයෙන් දැනුම් දී තිබේ. වහා ක්‍රියාත්මක වූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන සිල්වා මහතාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පිටත්ව ගොස් එම සම්මානය පොලිස් බාරයට ගැනුණි. මෙම බස්රථය කඩුවෙල සිට කොල්ලුපිටිය අතර ධාවනය වන විට ග්‍රීන්පාත් ප්‍රදේශයේ දී එම සම්මානය සිය බාරයට ගත් බව පොලිසිය පැවසීය.  


බස්රථයේ කොන්දොස්තර හා රියදුරු මේ බව බම්බලපිටිය පොලිසියට ද දැනුම් දී ඇති අතර බම්බලපිටිය පොලිසියේ නිලධාරි කණ්ඩායමක් ද එම ස්ථානයට පැමිණ තිබේ. පොලිසිය මේ බව ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ වන චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියට දැනුම් දීමෙන් පසු ඇය විසින් එම සම්මානය සිය නිවසේ තිබූ එක බව හඳුනා ගත් බව පොලිසිය ප්‍රකාශ කළේය. පසුව වැඩිදුර පරීක්ෂණය පැවැත්වීම සඳහා එය කොල්ලුපිටිය පොලිසිය විසින් බම්බලපිටිය පොලිසිය වෙත බාර දී තිබේ. මෙම සම්මානය සොරාගෙන එහි මූල්‍යමය වටිනාකමක් නොමැති බව හෙළිවීමෙන් පසු යළි එම සම්මානය මෙලෙස අතහැර දමා යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.  


 හෙළයේ මහ සිනමාකරු අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට අයත් රණමයුර යාවජීව සම්මානය සොරා ගැනීමේ සිද්ධියට අදාළ සැකකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් පවරණ නඩුව මහාධිකරණයක විභාග කිරීම සඳහා අවසරය ලබා ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට ක්‍රියා කරන බවද ඔහු ප්‍රකාශ කළේය. මෙම සැකකරුවන්ට උපරිම දඬුවම් පැමිණ වීම සඳහා මෙහි උධෘත ගොනු නීතිපතිවරයා වෙත යැවීමට කටයුතු කෙරේ. මොවුන් වෘත්තීමය වශයෙන් ගැටකපන්නන් ලෙස හඳුන්වන බව පොලිසිය පැවසීය.  


 මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පදිංචිව සිටි නිවෙස අවට නිවෙස්වල තිබූ සීසීටීවී කැමරා දර්ශන ද උපයෝගී කරගෙන තිබේ. ඒ අනුවත් ඉකුත් 01 වැනිදා සහ 02 වැනිදා දින දෙකෙහිදීම මෙම පිරිස පීරිස් මහතාගේ නිවසට පැමිණි බව අනාවරණය වී ඇත. ඔවුන් දෙවැනි දින සම්මානය රැගෙන යන අයුරු ආරක්ෂක කැමරාවල සටහන් වී තිබිණි. ඔවුන් පීරිස් මහතාගේ නිවසට පැමිණ ඇත්තේ ත්‍රිරෝද රථයකිනි. එම ත්‍රිරෝද රථයේ අංකය ඔස්සේ සිදුකළ පරීක්ෂණවල දී එහි ලියාපදිංචි අයිතිකරු කඩුවෙල ප්‍රදේශයේ කාන්තාවකි. ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇත්තේ සිය පියා එම ත්‍රිරෝද රථයෙන් කුලී ගමනක් යන බව පවසා එය රැගෙන ගිය බවය.  


ඒ අනුව පොලිසිය එම ත්‍රිරෝද රථයේ රියදුරා සොයා පරීක්ෂණ ක්‍රියාත්මක කළේය. පසුව ඔහු හමුවී ඇති අතර දින 2 ක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසට ගිය බව ප්‍රකාශ කර ඇත. පළමු දිනයේදී ඒ මහතාගේ නිවසට ගොස් සම්මානය තිබෙන ස්ථානය පිළිබඳ විමසීමක් කළ බවත් තමන් කිසිවෙකුත් හඳුනා ගැනීමට නොහැකි වූ බවත් ඔහු ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කළේය. දෙවැනි දිනයේ සම්මානය සොරා ගැනීමට තවත් දෙදෙනකු සහභාගි වී ඇත. ඔහුගේ ප්‍රශ්න කිරීම මත වලල්ලාවිට සහ නාවලපිටිය ප්‍රදේශවලදී තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට පත්විය. ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඥාති දියණියගේ ජංගම දුරකථනය සොරාගත් තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබීය. ඒ අනුව එම දුරකථනය මිලට ගත් නාවලපිටියේ දුරකථන අලෙවි සැලක හිමිකරුවකු ද අත්අඩංගුවට ගැනිණ.  


අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස්දෙනා සංවිධානය වී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රභූවරුන් ඇතුළු මිල මුදල් අතැති අය පැමිණෙන උත්සව අවස්ථා සඳහා ගොස් මුදල් පසුම්බි, ජංගම දුරකථන ඇතුළු වටිනා දේපළ සොරා ගැනීමේ පුරුද්දක් කරගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එක් පුද්ගලයකු පසුගිය 06 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති මැයි රැලියේදී ගැට කැපීමට උත්සාහ ගත් අවස්ථාවේ දී අත්අඩංගුවට පත් විය.  


 ලෙස්ටර් ජේම්ස් පීරිස් යනු ලෝකය පිළිගත් සිනමාවේදි​ෙයකි. ඔහුට අයත් මෙම සම්මානය සොරා ගෙන යාම පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු නොවේද? මෙවැනි අයට උපරිම දඬුවම් ලබා දිය යුතුය. මින් එක දෙයක් පිළිබඳ අපට සිතා බැලිය යුතු වෙයි. අවමංගල්‍ය උත්සව හෝ මහජනතාව ගැවසෙන ස්ථානවලට පැමිණෙන අය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මෙයින් ඉගෙන ගත යුතු පාඩම එයයි.

සටහන 
නිශාන්ත කුමාර බණ්ඩාර