​බොන වතුරේ සිට සියලු ආහාරවලට වස මිශ්‍රයි


 

වස විසෙන් තොර ආහාර භාවිතය පිළිබඳව රටේ ජනතාව තුළ බලවත් උනන්දුවක් පවතින තත්ත්වයක් උදාවී ඇත. පැරණි කාලයේ ආහාර රටාව යළි ඇතිවිය යුතු බවට වෛද්‍ය විශේෂඥයෝ අදහස් පළ කරති. ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා​ෙගන් විමසුවෙමු.   


මව්කුස පිළිසිඳගත් දා සිට මැරෙන මොහොත දක්වාම ශ්‍රී ලංකාවාසීන්ට බොන වතුරේ සිට සියලු ආහාර වර්ගවල වස මිශ්‍රවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.   


අප පරිභෝජනය කරනු ලබන ආහාර පිළිබඳව පැහැදිලි කරමින් වෛද්‍ය පාදෙණිය මහතා මෙ​සේද කීය.   
ධාන්‍ය, එළවළු, පලතුරු සියල්ලකම ජාන විකෘති කර ඇත. එය අපේ ශරීරයට ලබා දෙන්නේ අහිතකර තත්ත්වයකි. රසායනික පොහොර මිශ්‍ර කිරීම නිරන්තරයෙන්ම සිදු වෙයි. ස්වාභාවිකව හැදෙන ගසකට කෘමීන් සම්බන්ධවීම නිසා ඒ සඳහා කෘමිනාශක හා වල් නාශක යෙදීම සිදු කරනු ලබයි. මේ සියල්ලම ව්‍යාපාරයක් වී ඇත. ඒ ව්‍යාපාරය මගින් රටේ ජනතාවට දෙනු ලබන්නේ අයහපත් ආහාර සංස්කෘතියකි. වසවිස සහිත පිළිකාකාරක දියවැඩියාව ප්‍රවර්ධනය කරනු ලබන අයහපත් ආහාර සංස්කෘතියකට ජනතාව බිලිවී සිටිති.   


බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටිස් ප්‍රකාශ කර ඇති ලෙස ආහාරය ගත යුත්තේ ඖෂධයක් ලෙසටය යන්න මුළුමනින්ම උල්ලංඝනය වී ඇත. හිපොක්‍රටීස් පවසා ඇත්තේ ඖෂධීය ආහාර සංස්කෘතියක් පැවතිය යුතු බවයි. Let Food be thy Medicine and let Medicine be the food රජයේ වෙබ් අඩවිවලින් පවා ප්‍රකාශ කරනු ලබන්නේ නැවුම් පලතුරු එළවළු ආහාරයයට ගත යුතු බවයි. රස කාරක අඩංගු ආහාර ගත යුතු බවට ප්‍රවර්ධනය කරන්නේ නැත.   


ගහෙන් දිවුල් ගෙඩියක් බෙලි ගෙඩියක් කෑම වෙනුවට රසකාරක යොදා වානිජ මට්ටමට දියුණු කරන ලද බීම වර්ණ පානය කිරීම අද කුඩා දරුවා ගේ සිට වැඩිහිටියා දක්වා පුරුදු වී සිටිති. එය වැරදි දෙයකි. නොකළයුතු දෙයකි. රසායනික ද්‍රව්‍ය එක් නොකළ පලතුරු පාවිච්චි කිරීමට අප පෙලඹිය යුතුව ඇත. 

 
අද අප පාවිච්චියට ගන්නා ලුණු පොල් කටුවේ ලුණු බැදෙන්නේ නැත. එයට හේතුව විවිධාකාර රසායනික ද්‍රව්‍ය ලුණුවලට මිශ්‍ර කර තිබීමයි. සීනිවලට කූඹි පවා නොපැමිණෙන අවස්ථා ඇත. ඒවාට රසකාරක මිශ්‍ර කර තිබීම එයට හේතුවයි. ආහාර නිෂ්පාදනයේදී හෝමෝන වර්ග හා රසායනික ද්‍රව්‍ය එකතු කිරීම සිදුවෙයි. පුළුවන් තරමින් එවැනි ආහාරවලින් වැළකී සිටීම සෞඛ්‍යසම්පන්න ජීවත්වීමට හේතු වෙනු ඇත.   


පැරණි ආහාර සංස්කෘතියට යොමුවීමට උත්සාහ දැරිය යුතු වෙයි. වානිජ මට්ටමින් තිබෙන ආහාර සංස්කෘතිය බෙහෙවින් අපහරණය වූ තත්ත්වයක් පවතී. කෘෂිකර්ම අමාත්‍යාංශය ආහාර නිපදවීම සම්බන්ධයෙන් වස විසෙන් තොරව නිපදවීම පිළිබඳව දක්වන ප්‍රතිචාරය සතුටුදායක තත්ත්වයක නැත. වස ස්වල්ප ප්‍රමාණය තිබීම සාධාරණීකරණය කිරීම ඔවුන් කරනු ලබයි. එය වැරදි මතයකි. අපිට ආහාර අවශ්‍ය තරම් රට තුළ පවතී. වස විෂ සහිත ආහාර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැත. එවැනි තත්ත්වයක් තිබියදීත් රටේ ජනතාව වසවිස සහිත ආහාරවලට පෙලඹී සිටීම අතිශයින්ම කනගාටුදායක තත්ත්වයකි.   


පිටි කිරි රසායනයක් බව අප කල් ඇතිවම පැහැදිලි කර ඇති කරුණකි. වි​දේශීය පිටිකිරි නිෂ්පාදනය කරන ආයතන අඩු වශයෙන් එළදෙනක් දැකලවත් නැති තරම්ය. ඒවා විද්‍යාගාරවලදී රසායන ද්‍රව්‍ය එකතු කර නිපදවන පිටිකිරි නමින් විකුණයි.   


පොල් තෙල් ලෙසට විකුණනු ලබන්නේ පොල් තෙල් නොවන ද්‍රව්‍යයකි. සියයට 10 ක ප්‍රමාණයක්වත් පොල් තෙල් අඩංගු වෙන්නේ නැත. ඒවාට විවිධ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර ඇත. 

 
ධාන්‍ය වලට වසවිස මිශ්‍ර කිරීම කරනු ලබයි. අපේ අල වර්ග ආහාරයට නොගෙන වසවිස මිශ්‍ර කළ අර්තාපල් ආහාරයට ගනු ලබයි. පලතුරු එළවළුවලටත් විවිධාකාර වස කලවම් කරන බව මේ රටේ සියලු පුරවැසියන් දන්නා කරුණකි. ගස වැඩීමට ඉක්මනින් ඵල නෙලා ගැනීමට කෘමීන් හා වල් පැල මර්දනයට අස්වැන්න කල් තබා ගැනීමට නරක් නොවීමට මිශ්‍රකරනු ලබන දේ රසායනිකයන්ය. වස විස සහිත මෙය නොදන්නා කරුණක් නොවේ. එහෙත් එය වළක්වා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ගයක්ද නැත.   


දරුවකු පිළිසිඳ ගත්දා සිට මව ගනු ලබන්නේද මේ වසවිස සහිත ආහාර වර්ගයි. අද දරුවන්ගේ අංගවිකලතාවයන්ට, පිළිකා ප්‍රමාණයන් ඉහළ යාමට, ඇස් පෙනීම දුර්වල වීමට, විවිධාකාර හෝමෝන අසමතුලිතතා ඇතිවීම සිදුවෙන්නේ මව ගර්භනි සමයේ ගනු ලබන ආහාර නිසා වෙයි. නිරෝගී දරු පරපුරක් අැතිවීමට අපේ පරණ ආහාර සංස්කෘතියට යාම අත්‍යවශ්‍ය කරුණකි.   


ආහාර පිළිබඳ ප්‍රඥාවෙන් දුටු අතීතයක් අපට පැවතුණි. මෙය හොඳින්ම දුටුවෝ අප රටට පැමිණි බටහිර ජාතික ආක්‍රමණිකයන්ය. ඔවුන් විසින් ශ්‍රී ලාංකිකයන් හඳුනා ගනු ලැබුවේ ඉතාමත් හොඳ සිහි බුද්ධියෙන් යුතුව ජීවත්වන සහ ඉතා ඉහළ ප්‍රඥාවකින් යුතුව නිවැරදිව ජීවන රටාවක් පාරම්පරික ජන විඥානයෙන්ම උරුම කර ගන්නන් ලෙසය. එනිසාම ජාතියක් අඩපණ කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස අපගේ පාරම්පරික ජනවිඥානය විනාශ කිරීම අැරඹිණි. එහිදී විශේෂයෙන්ම බලපෑමට යමක් වූයේ ලාංකිකයන්ගේ ආහාර රටාවයි. එලෙස ඇරඹි අපගේ ආහාර සංස්කෘතියේ අභාග්‍ය සම්පන්න බව සුද්දන් අප රට හැර ගියා පසුද බටහිර ගැති කළු සුද්දන් විසින් තවදුරටත් අගාධයට රැගෙන යනු ලබයි  


මෙය වඩාත් තීව්‍ර වූයේ 1960 දශකයෙන් පසු ඇමරිකාවේ මොන්සැන්ටෝ ආයතනය විසින් ප්‍රවර්ධන කෙරුණ හරිත විප්ලවය නම් වූ වස විසෙන් යුතු ආහාර නිෂ්පාදනය හා පරිභෝජනය කිරීමේ වැඩපිළිවෙළ සමගයි. එතැන් පටන් වස විස නිසා රෝගී වීම ඇරඹිණි. මේ නිසාම බටහිර ආහාර රටාව බටහිර රටවල පවා අභියෝගයට ලක්වී ඇත. මෙවන් තත්ත්වයක් යටතේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප උරුමයෙන් ලද පාරම්පරික ආහාර රටාව වෙත පුනරාගමනය කළ යුතුව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ 2002 අධ්‍යයන වාර්තාවෙන් පවා පෙන්වා දී ඇත්තේ රෝග වලින් ආරක්ෂා වීම සඳහා පාරම්පරික ආහාර රටාවන් වෙත යොමු විය යුතු බවයි.   


ලාංකිකයාට වස විස පරිභෝජනය නවත්වන ලෙස කීමට සිදුවීම පවා ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. එතරම් දුරකට අපගේ විඥානය මොටවී ඇත. වස විස පරිභෝජනය අතින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇත්තේ ඉතාමත් ඉහළ මට්ටමකි. ලොව අන් රටවල වසවිස පරිභෝජනය දළ වශයෙන් එ්කක 7 ක් පමණ පවතින තත්ත්වයක ශ්‍රී ලංකාව ඒකක 280 ක් පමණ පරිභෝජනය වේ.   


ආහාර පමණක් නොව ජලයටද වස විස එක්වෙන තත්ත්වයක් පවතී.   


මෙරට පිහිටීම අනුව අරීය ගංගා පද්ධතියක් පවති. කඳුකරයේ වගාවන්ට යොදන රසායනික ද්‍රව්‍ය මගින් පිටකරෙන වස විස ගංගාවලට එකතුවී දිවයින පුරා ව්‍යාප්තවෙන තත්ත්වයක් උද්ගතවී ඇත. එනිසා අප පරිභෝජනය කරන ජලයද විසවලින් අපවිත්‍ර වී ඇත.   


පිළිකා රෝහලකට දෛනිකව වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව 78 ඉක්වන තත්ත්වයට 2019 වෙන විට ලංකාව පත්ව ඇත. එමෙන්ම පිළිකා රෝහලේ දත්ත අධ්‍යයනයේදී පෙනී යන්නේ දිනකට රෝගීන් 38 දෙනෙක් මියයන බවයි. ​බෝ නොවන රෝගවල තත්ත්වයද ඉතා භයානකය. මරණ ප්‍රතිශතයෙන් සියයට 75 කටම හේතුව ඇත්තේ බෝ නොවන රෝගය.   


එමෙන්ම එම මරණ අතුරින් සෑම පුද්ගලයන් 5 දෙනකුගෙන් එක් අයෙක් අඩු වයස් කරුවන්ය.   


මෙම තත්ත්වයට පැහැදිලිවම හේතු සාධක ලෙස වැරදි ආහාර රටාව හඳුනා ගෙන ඇත.   


එළවළු, පලතුරු අතින් වැඩිම විවිධත්වයක් ඇති අපේ රටට පිටරටින් පලතුරු ආදිය ගෙන්වීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.   


මෙම අවාසනාවන්ත තත්ත්වය වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර කමිටුව, ප්‍රමිති ආයතනය, පාරිභෝගික සේවා අධිකාරිය සහ පොල් සංවර්ධන මණ්ඩලයේ ක්‍රියා කලාපය ගැන අප්‍රසාදය පළ කළ යුතුව ඇත.   

 

 

දයාසිලී ලියනගේ