​පොහොට්ටුව ශ්‍රීලනිපය මහ ඡන්දයට පුටුව ලකුණින්


පක්ෂ දෙක එකතුවෙන  ගිවිසුමත් ලෑස්තියි

(අජන්ත කුමාර අගලකඩ)   

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇති කරගනු ලබන එකඟතාව අනුව ලබන මහ මැතිවරණයට පුටුව ලකුණින් තරග කිරීමට දෙපාර්ශ්වයේම අවධානය යොමුවී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග කියයි.   
ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කැමැත්ත පළකර ඇති බවද එම ආරංචිමාර්ගවලින් පැවැසේ.

දෙපාර්ශ්වය අතර ඇතිකර ගත් එකඟතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සකස් කරන ලද අවබෝධතා ගිවිසුම් දෙකක කෙටුම්පත් දෙකක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉකුත් අඟහරුවාදා භාරදී තිබූ අතර එහි සඳහන් බොහෝ කරුණුවලට පොදුජන පෙරමුණ එකඟතාව පළවී ඇතැයි වාර්තා වේ. පොදුජන පෙරමුණ විසින් සංශෝධනය කරන ලද එම කෙටුම්පත් දෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත පෙරේදා (04) භාරදීමට නියමිතව තිබිණි. එම කෙටුම්පතට අනුව දෙපාර්ශ්වය එක්ව සන්ධානයක් පිහිටුවීමට නියමිත අතර එහි නම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය වේ.   


ඉදිරි මහ මැතිවරණයට තරග කරන ලකුණ පුටුව ලෙසද එමගින් යෝජනා වී ඇත. යෝජිත සන්ධානයේ නායකයා සහ සභාපති යන තනතුරු දෙකෙන් එකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් අනෙක් තනතුර පොදුජන පෙරමුණටත් ලබාදීමට යෝජනාවී ඇත. එම සන්ධානයේ මහලේකම් ජාතික සංවිධායක සහ භාණ්ඩාගාරික යන තනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් නියෝජ්‍ය මහලේකම් සහ උපසභාපති ධුර කිහිපයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ලබාදීමට යෝජනාවී ඇතැයි වාර්තාවේ.   


මීට අමතරව එම නව සන්ධානයේ විධායක සභිකයන්ගෙන් සියයට 51ක් පොදුජන පෙරමුණටත් සියයට 31ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඉතිරි සියයට 18 සන්ධානයට එකතුවන සෙසු පක්ෂවලටත් ලබාදීමට යෝජනාවී ඇතැයි පැවැසේ.   


ජනාධිපතිවරණයේදී පොහොට්ටුව ලකුණින් තරග කර මහ මැතිවරණයේදී වෙනත් පොදු ලකුණක් යටතේ තරග කළ හැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොදුජන පෙරමුණේ නායකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ගිය සතියේ පැවැති සාකච්ඡාවලදීද ප්‍රකාශ කර තිබිණි.   
ඒ අනුව ලබන මහ මැතිවරණයට ශ්‍රීලනිපයත් පොදුජන පෙරමුණත් පොදුජන එක්සත් පෙරමුණේ ඡන්ද ලකුණ වන පුටුව ලකුණ යටතේ තරග කරනු ඇතැයි වාර්තාවේ.