​පොහොට්ටුව-ශ්‍රීලනිප එකතු වුණොත් අලුත් ලාංඡනයක්


(අජන්ත කුමාර අගලකඩ)   

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත නව දේශපාලන සන්ධානයේ ලකුණ අත හෝ පොහොට්ටුව නොව දෙපාර්ශ්වයම එකඟ​ෙවන වෙනත් ලකුණක් විය යුතු බව ශ්‍රීලනිප පාර්ශ්වයෙන් යෝජනාවී ඇතැයි වාර්තාවේ.   

නව සන්ධානයේ නම ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ ලෙස හැඳින්වීමට දෙපාර්ශ්වය එකඟවී ඇති අතර සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවක් ඇතිවී නැති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.   


යෝජිත දේශපාලන සන්ධානයේ ව්‍යුහය සම්බන්ධයෙන් යෝජනාවලියක් දෙපාර්ශ්වය අතර හුවමාරුවී ඇති අතර එය මේ වනවිටත් අධ්‍යයනය කරමින් පසුවේ.   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම යෝජනාවලිය අධ්‍යයනය කර සංශෝධන ඉදිරිපත් කිරීමට නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර ඇත.   


එම කමිටුව මේ දිනවල රැස්වී යෝජනාවලිය පිළිබඳව සාකච්ඡා කර සංශෝධන ඉදිරිපත් කර ඇති බවද වාර්තාවේ.   


ඒ අනුව යෝජනාවලියේ සංශෝධන ​දෙපාර්ශ්වය අතර ළඟදීම හුවමාරු කර ගැනීමට නියමිතය.